Follow by Email

Monday, 5 June 2017

කොච්චරක් බොනවද? (පවුලේ වෛද්‍යවරයා ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යභාරය)



පහුගිය දවස් ටිකේම  බ්ලොග් පැත්තට එන්න බැරි වුණා.

හේතු කිහිපයක්ම තිබුණා එහෙම වෙන්න. එකක් තමයි රාජකාරිය (දින කිහිපයක් එක දිගට වැඩ කරන්න වුණාම බ්ලොග් කියවන්න , ලියන්න , කමෙන්ට්ස් ලියන්න වෙන්නේ හරිම අඩුවෙන්) .

තවත් හේතුවක් තමයි අපි හැමෝගෙම සිත් සසල කරමින් , ජීවිත දේපල හානි කරමින් සිදුවු ගංවතුරක් කල විනාශය.

තවත් හේතුවක් තියෙනවා . ඒක නම් පෞද්ගලික හේතුවක් . ඒ පවුලේ වෛද්‍ය වරයකු  ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නට සිතූ නිසා සිදූ වූ දෙයක්.

ඒක තමයි  අපේ වෘත්තියට අදාල පොත්පත් වල වැඩ කටයුතු වලට ඉස්සරට වඩා කාලයක් යොමුකරන්නට සිදු වීම.

ඒ පොත් කියවීම නිසාම තමයි අද මේ ලියන බ්ලොග් පොස්ට් එක ලියවෙන්නේ.

අද උදේ පාන්දර ඇඳට වෙලා ඉස්සරහ කාමරේ පෙනෙන පරිගණකයෙන්  මුහුණු පොත් ගත නොවී කියවු කාරනා ඔස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන් ( සමහරුන් කියන විදිහට පී පී කරන අපේ වෘත්තිකයන්) ටත් වැදගත් වෙයි කියලා හිතුණා.

මාතෘකාව - පී පී එකේදී සෞඛ්‍යානූකූල ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම  ( Promoting healthy life style in General Practice) 







මේ ගැන කියවන් යද්දී මම ලංකාවේ ඉද්දි කල පී පී කෙරුවාවත් මතකයට නැගුනා. 

මිනිස්සුන් ගේ ජීවන රටාව ගැන ඔවුන් සමග පුද්ගලික බෙහෙත් ශාලාවේදී කතා කිරීම හරි පරිස්සමින් කල යුතු දෙයක් . 

මට මතකයි මම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගිය පළාතේ තිබුණ "කසිප්පු සහ හෙරොයින්" උවදුර ගැන මට මගේ හිතවත් සේවාදායක/දායිකාවන් විසින්ම පවසා තිබුණා. 

මේ මත් ද්‍රව්‍ය උවදුර නිසාම  මගේ බෙහෙත් ශාලාව තිබූ මේ පළාත (පේරාදෙණියට ආසන්න ප්‍රදේශයක් වුනත්)   තරමක නරක නාමයක් තමයි අරන් තිබුණේ.

කසිප්පු විකුනණ තැනැත්තාගේ පවුලේ අයත් , කුඩු විකුනණවා යැයි ප්‍රසිද්ධ පුද්ගලයාගේ පවුලේ අයත් මගේ ගනු දෙනු කරුවන් (කසිප්පු කරුවා පළාතේ නමගිය සිංහල බෞද්ධ දායකයෙක් වූ අතර කුඩු මුදලාලි ඒ ගමේම අනික් පැත්තේ ජීවත් වූ මුස්ලිම් හාදයෙක් ).

මේ දෙන්නාගෙන්ම තමන් කරන රැකියාව කුමක්ද යන්න එහෙම මම කලින්ම අහලා තිබුණා. 

කසිප්පු මුදලාලි ගොවි තැන් කිරීමත්  කුඩු මුදලාලි හරක් බැලීමත් තමයි තමන්ගේ ප්‍රාතමික රැකියාව විදිහට කලේ .

ඒ වගේ ඇඟපත වෙහෙසා කරන රැකියා ඉතා හොඳ බවත් සමහරුන් ඉතා පහසුවෙන් දියුණු වෙන්නට සිතා මත්ද්‍රව්‍ය විකීනීම වැනි දේවල් කරනා බවත් , එවැනි දේවල් නිසා දරු පවුල් අනාථ වෙන බවත් ආදී කරුනු ටිකෙන් ටික මේ දෙදෙනාටම කියන්නටත් මම අවස්තාවන් උදාකර ගත්තා. 

එහෙත් පළාතේ මත්ද්‍රව්‍ය උවදුර නම් අඩු වෙන පාටක් පෙනුණේ නෑ. 

හවස් වෙද්දී මගේ බෙහෙත් ශාලාව ඉස්සරහම වාගේ තිබුණ ගෙදරක ( මගේ ගනුදෙණු කරුවන් නොවන පවුලක්) එකම පිරිමි දරුවා  ( හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ලු ) පාර මැදට වී හතර අතට වඳිමින් "සූර්ය වන්දනාව " කරනවා.

රෑ නමය දහය වෙද්දී ගමේ පංසල පැත්තෙන් කසිප්පු පදම වැඩිවීම නිසා සුද්ධ සිංහලෙන් ජාතිය අමතන කෙනෙක් ගේ හඬ ඇහෙනවා. 
මේ දිනවල මා නතර වී සිටියේ ඒ ගමේම තිබු විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුගේ නිවසේ ඇනෙක්ස් එකේ. 

පහුවදාට සරප් මහත්තයා ලැජ්ජාවෙන් වගේ මා දිහා නොබලා වැඩට යන්නේ රාත්‍රී "ජාතිය ඇමතීම" මටත් ඇසෙන්නට ඇති බව දැනුන නිසාමයි.

මෙහෙම ටික දවසක් ගත වුණා. බෙහෙත් ශාලාවෙදි ගමේ බවලත් උදවිය අරක්කු/කසිප්පු බොන ස්වාමි පුරුෂයින් ගැන කියනවා. ගම්පොල පැත්තේ මන්ත්‍රී කෙනෙක් ගෙන් ගෙනත් ගමේ කුඩු විකුනණ හරක් බලන්නා ගැන කියනවා.

මම අපේ ගෙදර අයිති සරප් මහත්තයාට කතා කලා.

"ගුඩ් මෝනිං මිස්ට සුනන්ද"

"ගුඩ් මෝනිං ඩොක්ටර් කොහොමද විස්තර ? දැන් ක්ලිනික් එකට කට්ට්ය හොඳට පුරුදු වෙලා නේද?"

"ඔව් ඔව් දැන් දවසට පහලොවක් විස්සක් විතර වගේ කට්ටියක් එනවා මාව හම්බවෙන්න."

"ඒක නෙවෙයි සුනන්ද මහත්තයා. මේ ගමේ පංසල කොහෙද තියෙන්නේ?"

"මට පංසලේ ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න ඕන වෙලාවක."

"නියමයි ඩොක්ටර් අපි යමුකෝ වෙලාවක පංසල පැත්තේ .

ලොකු හාමුදුරුවොත් හරි සතුටින් ලු ඉන්නේ ඩොක්ටර්  කෙනෙක් අපේ ගමේම පදිංචි වෙලා ඉන්න එක ගැන."

කොහොම හරි ඒ දිනවල යෙදී තිබුණු වෙනත් වැඩ රාජකාරි නිසාම  මට පංසල පැත්තේ යන්න වෙලාවක් ලැබුණේ නෑ .

ඒ අතරේ දවසක් සුදෝ සුදු ඇඳුමක් ඇඳගත් උපාසක මහත්තයෙක් මගේ ඩිස්පැන්සරියේ පඩිපෙළ නගිනවා.

ඒත් එක්කම වඩින්නේ මැදිවියේ පසු වන හාමුදුරුවන් වහන්සේ කෙනෙක්.

මම ඉක්මණින්  මගේ  කබඩ් එක ඇතුලේ තිබුණු සුදු රෙද්දක් අරන් මා ලඟ ඇති රෝගීන්ට වෙන් කල පුටුවට දැම්මා.

"අපේ මහත්තයා කොහොමද? "

"හොඳින් ඉන්නවා ලොකු උන්නැහේ. මේ අපේ පංසලේ ලොකු හාමුදුරුවෝ වෙන්ඩ ඕනේ?"

"එහෙමයි එහෙමයි උන්නාස්සේට උණ හෙම්බිරිස්සාව හැදිලා බෙහෙත් ටිකක් ගන්ට කියලා එක්කන් ආවා."

"හාමුදුරුවනේ මෙහෙන් වාඩි වෙන්නකෝ .

අපි හම්බවෙන පලමුවෙනි වතාව මට හිතෙන හැටියට.

මම සුනන්ද මහත්තයා එක්ක කිය කිය හිටියේ පංසල පැත්තේ එන්න ඕනේ කියලා.

කොහෙද තවම වෙලාවක් හොයා ගන්න බැරි වුණානේ."

"ඒකට කමක් නෑ මහත්තයා . අපිට හරි සන්තෝශයි මහත්තයා වගේ කෙනෙක් ලඟ ඉන්න එක ගැන .

ගම්මු හැමෝම සුනන්ද මහත්තයාට පිං දෙනවා දොස්තර කෙනෙක් ගමටම ගෙනාවා කියලා."

"ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ දැන් රාත්තිරි ජාමේ හදිස්සියක් වුනත් බය නෑ ගමේම දොස්තර මෙනෙම් ඉන්නවා නේ . "

උපාසක තැනත් ලොකු හාමුදුරුවන්ගේ කතාවට හූමිටි තිබ්බා.

මේ අතරේ මගේ සිත මම මුලින්ම පංසල ට යන්න හිතූ කාරණය වෙත ඇදී ගියා.


කසිප්පු , කුඩු සහ ඉන් මගේ සේවාදායක පවුල් වලට ඇතිවන අහිතකර බලපෑම්. 


මම සැනෙකින් අදාල මාතෘකාවට අවතීර්ණ වුණා.

"හාමුදුරුවනේ ගමේ  ඉන්න තියෙන එක නම් හොඳ දෙයක් තමයි ඒ වුණාට මත්කුඩු , මත්පැන් වගේ දුරාචාර වලට මිනිස්සු පෙළඹිලා නේ.

මේ ඊයේ පෙරේදත් මට ඇහුණා පංසල පැත්තේ බීපු මනුස්සයෙක් කෑ ගහනවා  මහා රෑ ජාමේ?

ඔය කසිප්පු විකුණන එක්කෙනා පංසල ලඟමලු නේද ඉන්නේ?"

"කසිප්පු කාරයෝ ඉන්නවා නම් තමයි ඒ හිටියට පංසලට නම් එයාලගෙන් කිසි කරදරයක්  නෑ මහත්තයෝ"

කියමින් හාමුදුරුවන්ට පෙර මට උත්තර බැන්දේ උපාසක තැන විසිණි.

"එහෙම කියලා හරියනවද නේද අපේ හාමුදුරුවනේ  පංසල කියන්නේ ගමේ මූලිකම ස්තානය ගමේ අකටයුතුකම් සිද්ද වෙනවා නම් දුරාචාර සිද්ධ වෙනවා නම් පංසලෙන් ඒවා නැති කරන්න ක්‍රියා මාර්ග ගැනෙන්න ඕනේ .

පළාතේ මිනිස්සුගේ වෛද්‍යවරයා ලෙස මටත් වග කීමක් තියෙනවා මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න.

ඔය කාරෙනෙත් හිතේ තියාගෙන තමයි මම පංසලෙට එන්න හිතුවේ.

ලොකු හාමුදුරුවෝ අවවාදයක් දුන්නම ගමේ මිනිස්සු ඒක පිළිගන්නවා.

ඒක නිසා ඔය කසිප්පු වෙළදාම කරන අයට ඔබ වහන්සේ අවවාද කරන්න.

ගමේ දුසිරිත් අඩුවෙන එක ගමටත් පංසලටත් දෙකටම හොඳයිනේ "

මම කියාගෙන ගියා.

"ඔව් ඔව් මහත්තයා කියන එක හරි අපි බලමුකෝ මොකද මේ ගැන කරන්න පුලුවන් කියලා. "

එසේ කියමින් මගෙන් සමුගන්නට සැරසුන පංසලේ ලොකු හාමුදුරුවෝ  රුපියල් අසූවක් වු මගේ ගාස්තුව මාවෙත ගෙවන්නට හැදුවේය.

මම එයෙ කාරුණිකව ප්‍රතික්ෂේප කලේ හාමුදුරුවන් ගෙන් ගාස්තුවක් අය කිරීමට මම කැමති නැති බව කියමිනි.

එදා මගෙන් බෙහෙත් රැගෙන ගිය පංසලේ හාමුදුරුවෝ නැවත වතාවක් අසනීප නොවූ නිසාදෝ යලි කිසි දිනක මගේ බෙහෙත් ශාලාවට වැඩම කලේ නැත.

මම මට හැකි පමණින් ගමේ සිදුවන අයහපත් ක්‍රියාකාරකම් ගැන පංසලේ හාමුදුරුවන් දැනුවත් කිරීමට හැකි වීම ගැන සතුටු වූයෙමි.

ඒ එදා මම ගමේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට පංසලේ හාමුදුරුවන් ගේ සේවය ලබා ගන්නට උත්සාහ කලහැටි.





අපි දැන් බලමු ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන්  සෞඛ්‍ය ප්‍රවර්ධනය කල යුතු ආකාරය ගැන කියාදෙන හැටි.

මෙහි   ජනගහණයෙන් සියයට අසූවක් වසරකට එක් වතාවක්  වත් පවුලේ වෛද්‍ය වරයෙකුට ලඟට යනවා.

සාමාන්‍යක් ලෙස එක්කෙනෙක්වසරකට පස් වතාවක් පමණ තම වෛද්‍යවරයා හමුවෙනවා. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් වෛද්‍යවරයාට කරන්න පුළුවන් .

වෛද්‍යවරයා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා තමන්ට කලහැකි දේවල් ගැනත්, ඒ ගැන සාකච්චා කරන්නට තමන්ට උදාවෙන අවස්ථා ගැනත් සෑහෙන අවදියකින් ඉන්න ඕනේ.

මේ අවස්ථා උදාවෙන්නේ රෝගියා සමඟ තමා  පැමිණි කාරනය ගැන කතා බහ කරන අතරතුරමයි.

පවුලේ වෛද්‍යවරුන්ට මේ සම්බන්ධව තීරණ ගැනිමෙදී ප්‍රයොජනවත් වෙන ලියවිල්ලක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක  ගැන රජයෙ කමිටුවකින්  සකස් කර ඇති ලියවිල්ල.

ප්‍රධාන සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක කෙලින්ම යොමුවන කාරණා කිහිපයක් මීට ඇතුලත්.

ඒවා කෙටියෙන් මෙලෙස දැක්විය හැකියි.

1. ජනගහණයේ ගති ලක්ෂණ




ඔබේ සේවාදායකයා ( රෝගියා) කුමන සමාජ ආර්ථීක පසුබිමකින් එන කෙනෙක්ද ? 

ඔහු සමාජ වශයෙන් අවාසි සහගත කණ්ඩායමට අයත් කෙනෙක්ද? 

වැනි කාරණා පවුලේ වෛද්‍යවරයා සැලකිල්ලට ගන්න ඕන.

ගැමියෙක්ද? වතු කම්කරුවෙක්ද, පැල්පත්/මුඩුක්කු වාසියෙක්ද? යන කරුණු අපට සෞඛ්‍ය ප්‍රවර්ධන්යෙදී ඉතා ප්‍රයෝජනවත්.

ඔබේ රෝගියාගේ වයස, ගැහැණු - පිරිමි, බාල-මහළු ආදී ජීවිතයේ විවිධ අවස්ථාද ඔබට ප්‍රයෝජනවත් වෙනවා ඔවුන්ගේ සෞඛ්‍යය ඉහළ නැංවීමේදි. 


2. රෝගී වීමට හෝ මරණය ඇති කිරීමට ප්‍රධාන හේතු



හෘදරෝග සහ අංශභාග තත්වයන්, පිළිකා රෝග ( මුඛ, ස්වසන, පියයුරු, ගැබ්ගෙල,මහාඅන්ත්‍රය, සමේ), හදිසි අනතුරු සහ ආපදා, බෝවන රෝග, දියවැඩියාව,ඇදුම සහ මානසික රෝග( විශාදය, සියදිවි නසා ගැනීම්)


3. අනතුරුදායක තත්ත්ව සහ ගතිසිරිත් 



පෝෂණතත්ත්වය ( ඔබේ සේවාදායකයාට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරයක් ලැබෙන්නේද? )

ශාරීරික (ක්‍රියාකාරකම් ඔහු/ඇය ප්‍රමාණවත් ලෙස ව්‍යායාම වල යෙදෙයිද?),

අධි රුධිර පීඩනය, ලේ වල අධික කොලෙස්ටරෝල් තිබීම

ඔහුගේ/ඇයගේ ලිංගික ක්‍රියාකාරකම් (අනාරක්ෂිත  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙයිද?) 

මත් පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය (සිගරට්, දුම්කොළ, අරක්කු අවභාවිතය , කසිප්පු, වයින්, බියර් ආදියේ අවභාවිතය, ගංජා/මරිජුවානා, අයිස් වැනි නීත්‍යානූකූල නොවන ද්‍රව්‍ය භාවිතය)







ඔබ හමුවට එන සේවාදායකයා සමඟ මෙම කරුණු සාකච්චා කිරීමත් ඉන් අනතුරුව ඔහුගේ/ඇයගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ඔබට ඇති අවස්තා/ ප්‍රවර්ධනය විය යුතු පැති ගැන සිතාගැනීමත් පවුලේ වෛද්‍ය වරයා ලෙස ඔබේ/ අපේ වගකීමයි. 

මේ එක් එක් මාතෘකා ගැඹුරින් සලකා බැලෙන තවත් කොටසක්  ඉදිරියේදී

17 comments:

  1. කසිය බුවා පන්සලේ ප්‍රධාන දායකයෙක් වෙන්නැති. ඉතිං හාමුදුරුවො කැමති වෙයිද එහෙම කෙනෙක් නැති කරගන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පංසල් වල ප්‍රධාන දායක දායිකාවෝ ඇත්තටම ගොඩක් දුරාචාර වල යෙදෙන අය. ඔය කතාවේ කියන කුඩු මුදලාලීට ඒවා සැපයුවා කියන්නේ ගම්පොළ පැත්තේ ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලකයෙක්. එතුමා තමයිලු ඉස්සර පන්සල් වලට/විශ්ව විද්‍යාලේ ළමයින්ගේ උත්සව/ පල්ලිවලට එහෙම වැඩියෙන්ම පිණට දෙන්නේ

      Delete
  2. සාදු වුනත් කන බොන මනුස්සයෙකු ද දන්නේ නෑ නේ!

    (හැබැයි අපේ ගමේ පන්සලේ සිටි සාදුලා ගේ අපචාර ගැන නම් කිසිම කතාවක් ඒ දවස්වල තිබුණේ නෑ)

    ReplyDelete
    Replies
    1. කන නෙවෙයි වළඳන

      Delete
  3. හාංදුරුවො අකමැති වෙන එකේ පුදුමයක් නෑ
    අදටත් මිනිස්සු කොච්චර තමන්නෙ එකාට බැන්නත් බොනව ⁣ බොනව කියල කසිප්පු කාරයෙක් ගැන ඇහුවම
    වැඩිහිටි තොත්ත බබාලා මතක් වෙනව කියන්නකො

    ReplyDelete
    Replies
    1. බොන මිනිහා විතරක් නෙවෙයි බොන්න දේවල් හදලා දෙන කෙනෙත් වැරදියි . ඉක්මන් ලාභය බලලා කට්ටිය වැඩි වැඩියෙන් ඔය වැඩේට යොමුවෙනවා ( කසිප්පු/ මත්කුඩු වෙළඳාමට

      Delete
  4. පංසලට නම් කිසි කරදරයක් නෑ හේ හේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කතාව ඇහුවම තමයි පොඩි තරහක් ආවේ . පන්සලට කරදර නම් විතරද හාමුදුරුවෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ ?

      Delete
  5. අවුරුදු 3 කට විතර කලින් බ්ලොග් කීපයක් කියවලා ඒක අතෑරලා දාල හිටියේ. ආපහු ළඟදී කියවන වැඩේට බැස්සා. ගංවතුර දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න ගමන් මුල ඉඳල ඔක්කොම කියවල ඉවර කලා.

    හැබැයි ඉතින් ඔය කතා කියද්දී නම් විතරක් මනඃකල්පිත කරලා ගම් ඒ විදියටම ලිව්වනම් තමයි හොඳ. ජීවිතේ වැඩි හරියක් මාතරට වෙලා හිටියට බණ්ඩාරවෙල හොඳටම කරක් ගහල තියන නිසා කරකවල අතෑරලා දැම්ම වගේ. දන්නෙම නැති පැත්තක් නම් එහෙම වෙන්නැති කියල හිතාගෙන කියවන්න පුළුවන්. ඒත් හොඳට දන්න පැත්තක් වුණාම ඔය ගම් මාරු වුණාම මැවෙන්නේ වෙනම චිත්‍රයක්. මටනම් ඒක රසවිඳින්න ලොකු බාධාවක්. පුළුවන් නම් වෙලාවක් තියේනම් පරණ ලිපිවල ඉඳල ඒවා හදන්න. කොහොම වුණත් හරි ආසාවෙන් කියෙව්වා.

    ___________________________

    ගොඩක් හාමුදුරුවෝ ඉතින් ඔහොම තමයි. කොච්චර බලු වැඩ කරලා ආවත් පන්සලට කීයක් හරි දෙනවනම්, ලොක්කෙක් නම් "සියලු වැඩ කටයුතු" සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සෙත් පතනවා.

    ඒ සාර්ථක වෙන "සියලු වැඩ කටයුතු" නිසා රටට සමාජෙට කෙලවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. ටිකෙන් ටික හදන්න බලනවා. මුල්ම පොස්ට් එක හැදුවා . ජයවේවා !!

      Delete
    2. දැන් හොඳටම වදිනවා කතාව.
      දෙවන වර කියවීම කරගෙන යනවා. ඊට පස්සේ සම්මත කරගන්න බැරියැ.

      Delete
    3. නියමයි. හැබැයි අපේ ගමේ අයගෙන්, නෑදෑයින්ගෙන් ගුටි කන්න වුනොත් බේරගන්නත් වෙයි

      Delete
    4. ටික ටික හැගෙන් එන්නේ මුල ඉඳන්..

      Delete
  6. අපොයි එහෙම ද.... හරියට ලංකාවේ රේස් බුකි බාර් එහෙම ඇති අය පවා ප්‍රධාන දායකයෝ වෙනවා නොවැ... බෞද්ධ සංගම් වල නායක කම් දරනවා නොවැ. ඉතින් මොකද කිව්වලු. සමහර ලොකු පන්සල් වල ගරු සැලකිලි දක්වනවා දැක්කම අප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ඔව් සමහර ආගමික ස්ථාන වල ප්‍රධානීන්ට ඕනා එහි භෞතික දියුණුව විතරයි . ගොඩනැගිලි හැදිලා ලස්සන වෙලා එනවනම් ආධාර එන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික දියුණුව බල්ලට දාලා වුනත් කමක් නෑ.

      Delete
  7. ඔය ගම්තුලාවල සෞඛ්‍ය ප්‍රවර්ධනය පරිස්සමින්.

    ඔන්න කොහෙන්දෝ ගහගෙන ඇවිත් මම 100 වැනියට ෆලෝ කළා.

    ReplyDelete
  8. ඔව් ඔව් ඕවා බෙල්ල ගහල යන වැඩ. එහෙම කියලා අපි නිකං හිටියොත් ගම්තුලාවලුත් හැම දාම ඔහොමම තියෙයි. දැනට රටේ නැතත් හිමි හිමිහිට අපි ඉපදුන ගම ප්‍රවර්දනය කරගෙන යනවා.

    ReplyDelete