Follow by Email

Sunday, 5 February 2017

සුමීර නෑයින් බලන්න ඇවිත්




ඒ දෙදාහේ  අවුරුද්දේ  අගහරිය.
අප  විවාහ වුන අලුතම .

මේ වෙනකොට පේරාදෙණිය  අවට  ප්‍රදේශයක  නැවතී සිටි  නිම්මිත්  මමත් පුරුද්දක්  ලෙස සතිඅන්තයේ මාවනැල්ලේ පිහිටි  එයාලගේ මහ ගෙදර යනවා .

සිකුරාදා  හවස  මාවනැල්ලට  යන අප නැවත  එන්නේ  ඉරිදා හවස් වෙද්දී . ඒ සඳුදා විශ්ව විද්‍යාලයේ වැඩට යන්න බලාගෙන.

ගෙදර ගිය ගමන් නිම්මිලා අම්මා හදන තේ එක බොන මම ඉන්පසුව වහාම යන්නේ නිම්මිලා ගෙවත්ත  එළි පෙහෙළි කරන්න .

උදැල්ලක්, කැත්තක්  සහ  තවත් අඩුම කුඩුම අරන් වැඩට  බහින මගේ  තනියට නිම්මිලාගේ සුරතල් බල්ලා වූ බන්ටියත්  එනවා.

කුස්සිය පැත්තේ මිදුලේ වේල්ලට උඩින් තිබුණ කොටස තමයි මම මුලින්ම ශුද්ධ කලේ.  ඒ බෝංචි පාත්තියක් වට්ටක්කා  මන්ඩියක්  ආදී ගෙදර දොරට අවශ්‍ය එළවළු ටිකක් හදන්න හිතාගෙන  .

මුල්ම වතාවේ දෙකේ මෙහෙම වැඩ කරගෙන යද්දී  හිටියේ බන්ටිත් මමත් පමණක් වුවත් සති දෙක තුනක් යද්දී මට තවත් උදව් කරුවෙක් අහුවුණා.  ඒ තමයි සමීර.

"පුතේ , පුතේ .. මෙන්න ඔයාට උදව්වට කෙනෙක් ඇවිල්ලා " නිම්මිලා අම්මා කුස්සියේ සිට මට කතාකරනවා.

මම ඒ වෙලාවේ   නිම්මිලා මිදුලේ තිබු අවර වැලට  මැස්සක් ගහන්න ලෑස්ති වෙනවා.  කුස්සිය අසළම තිබු අවර වැල ඔහේ ඕනෑවට  එපාවට  එතැනම තියෙන ග්ලිරිසීඩියා  ගහක එතෙනවා.

"කවුද අම්මා ? එවන්න එවන්න  මම මේ  මැස්සක් ගහන්න ලී  එකතු කරනවා . දෙන්නෙක් ඉන්නවා නම්  ඒ වැඩේට  ලේසියි "

" මේ අර ලීල් ලැයි  ලොකුපුතා  සුමීර ඇවිල්ලා  . අය්යාට උදව් කරන්න කියලලු  ආවේ "

අම්මා මට අමුත්තා හඳුන්වා  දුන්නාය.  නිම්මිලා ගමට සම්බන්ධ වී  ගතවී තිබුණේ සති කිහිපයක් පමණි.

ඒ දවස්වල ඉස්සරහ ගෙදර සිටි " පුවක් බාස් " මා දෙස එහෙන් මෙහෙන් බලා ගියද මේ වන විට මට මාවනැල්ලේ මිතුරන් සිටියේ නැත.

ඒ අනුව  බලනකල මේ එන්නේ මගේ පළමු "මාවනැල්ලේ සගයා" ය.


මම  ඔහු ඉතා ලෙන්ගතු අයුරින් පිළිගත්තෙමි.

"ආ .. එන්න එන්න සුමීර  . කරුණා නැන්දද එන්න කිව්වේ  ?  නැත්නම් ඔයාටම හිතිලා ආවද? "

" නෑ නැන්දා එන්න කිව්වේ නෑ. මට හිතිලම ආවා  අය්යා තනියෙන් වැඩ බව දන්න නිසා"

" සුමීර , ඔයා ඉස්කෝලේ යනවද?  "

"ඔව්  ඔව්  කොන්ඩදෙණියේ  කනිස්ටෙට යන්නේ "

" ගෙදර වෙන කවුද ඉන්නේ සුමීර? "

" මල්ලියි, තාත්තයි  ආතම්මයි"

"ඇයි අම්මා ? "

"අම්මා ඉන්නේ රට "

"අම්මා  සුමීරලට සල්ලි එහෙම එවනවා ඇති එහෙනම්  ?"

සුමීර  මගේ ඒ පැනයට  උත්තර දුන්නේ නැත.   කතාව මදකට නැවතූ මම  සමීර  කරන්නට  ආ රාජකාරිය  ගැන  කතා කළෙමි.

" සුමීර , මම  මේ  අවර වැලට මැස්සක් ගහන්න හදන්නේ  . ඔයාට  පුළුවන් නේද  මට ලී  එහෙම  ගෙනල්ලා දෙන්න ?"

"අපොයි පුළුවන්  අය්යා  ලී  කපලා දෙන්නකෝ  මං ගෙනැත් දාන්නම්"


ඒ  වනවිට  අවුරුදු දහයක් -දොළහක්  පමණ  වයසක වූ සුමීර මගේ වැඩට උදව් කරන්නට එක පයින්ම  කැමති  පාටය.

නිම්මිලා වත්තේ උඩහට ගිය මම  අවශ්‍ය තරමට  ලි  කෝටු  කපා ගත්තෙමි.  මගේ  පසු පසින් වැටුන  සුමීර ඒ ලි කෝටු එකින් එක අවර වැල  ලඟට  ගෙන එන්නට පටන් ගත්තේය.

"සුමීර  කරුණා නැන්ද ගෙන් අලවංගුව ඉල්ලන් එනවද?  "

මම දැන් අත් උදව් කරුවා හරිහරියට වැඩට යොදවන්න  පටන් ගත්තෙමි.

සුමීරත්  මට නොදෙවෙනිව  මහන්සි වෙමින් අවර වැලට මැස්සක් ගැසීමට වෙහෙසෙයි.

අලවංගුව අතට  ගත් මම වෙර  යොදා වලවල්   හාරන්නට පටන් ගත්තෙමි.

සුමීර  මම  හාරන හාරන වල ලඟින්  මැස්සට  උවමනා කරන කණු ගෙනැත් තබයි.

මම නැවතත් කතාව පටන් ගත්තෙමි.

" සුමීර  ඔයාගේ මල්ලිගේ  වයස කීයද?  මෙහේ එන වෙලාවේ  මල්ලි එක්ක සෙල්ලම් කරන්න තිබ්බනේ ඔයාට? "

" අපෝ මල්ලි පොඩියි . එයාට  අවුරුදු හතරයි වෙන්නේ.  මල්ලි හරි සැරයි මම කැමති නෑ එයත් එක්ක සෙල්ලම් කරන්න "

"ඇයි මල්ලි ඔයාටත් සැර කරනවද ? "

" ඔව් ඔව්  අත්තම්මා නම් කියන්නේ මල්ලි ඉපදුණ  ගමන් එයා මෙහේ දාලා අම්මා රට ගිය නිසා එයා මුරණ්ඩු වුණා කියලා තමයි "

"ඉතිං තාත්තා  ? එයා බලන්නේ නැද්ද මල්ලි ගැන ? "

" බලනවා බලනවා . තාත්තා  දවල්ට  කුලී වැඩට එහෙම යනවනේ . අර  පුවක් අත්තත් එක්ක  එහෙම වැඩ කරන්නේ ලීල් කියලා එක්කෙනෙක්  ඒ තමයි අපේ තාත්තා "

කතාව පිටම  සුමීරත්  මමත් මැස්සට අවශ්‍ය  කණු සිටුවා අවසන්  කළෙමු.

දැන් තිබෙන්නේ  කණු එකිනෙක යා කරමින්  ග්ලිරිසීඩියා  කෝටු  බැඳීමේ   රාජකාරියයි.

නිම්මිලා කුස්සියේ තිබු වංගෙඩියක්   රැගෙන  ආ  මම  එය අනික් පැත්ත  දමා එහි උඩ නැග ගත්තෙමි.

"සමීර  මට කෝටුවක් දෙන්න ?  "  නියම  උදව් කරුවෙකු සේ  සුමීර මගේ බසට අවනත වෙයි

  "දැන් හොඳ සුමීර වගේ මම මේ   කෝටුව  මෙතන  ගැට ගහන කන්  ඔය  පැත්තෙන්   අල්ල  ගන්න"

මම  කෝටුවේ  එක  අන්තයක්  කෙසෙල්  පොත්තකින් ඉරා ගත්  කෙසෙල්  " ලණු "  යොදා  ගෙන  මැස්සේ කණුවලට ගැට ගසන්නට පටන් ගත්තෙමි .

සුමීර අනික් පසින්  ඒ කෝටුව  අල්ලා ගෙන මා දෙස බලා සිටියි.

" අය්යා  හැම සෙනසුරාදාම  මෙහේ එනවද ? "

" ඔව්  .. ඇයි සුමීර එහෙම ඇහුවේ නෑ  එහෙනම් මාත් හැම සෙනසුරාදා ඉරිදම  මෙහේ එනවා "

" ඒ කියන්නේ සුමීර හෙටත් මගේ උදව්වට එනවද ?  "

" ඔව්  කමක් නෑ නේද මම ආවට ? "

" කමක් නෑ. කමක්  නෑ . එහෙමනම හෙටත් එන්නකෝ සමීර  අපි මොනවා හරි වැඩක් කරමු හෙටත් .

මම හිතාගෙන ඉන්නේ කෙසෙල් පැල ටිකක් හදන්න  . ඒක වත් කරන්න බැරියැ හෙට ? "

මම සුමීරගේ අදහසට  උල්පන්දම් දෙමින් කතා කලෙමි.


එදා දවල්  දෙක තුන වෙද්දී  සුමීරත්  මමත් පංකාදු පහේ මැස්සක්  ගසා අවසන් කළෙමු.

අලුත් බෑණාගේ  සහ   සුමීරගේ  හපන්කම්  දුටු  නිම්මිලා අම්මා සතුටින්  පිනා ගොස් සිටියාය  .

"ආ  ඔය අය්යයි මල්ලියි දෙන්නා අත පය සෝදා ගෙන  එහෙම එන්න බත් ටිකක් කන්න .

කිරිකොස් මාලුවකුයි  කැකිරි ඇඹුලක්  එහෙම හදලා තියෙන්නේ ඔන්න "


                                 කැකිරි ( චායාරුපයට අනුග්‍රහය  සාරභූමි මුහුණුපොත් පිටුව )

සතියට  දෙකට  නිම්මිලා අම්මා මම කැමති මාළු  පිණි ආදිය  හඳුනාගෙන තිබේ.

කිරිකොස් මාලුව  මගේ ප්‍රියතම ආහාරයකි.

කැකිරි  ඇඹුල  ගැන නම් දන ගත්තේ  මාවනැල්ලේ යන්න එන්න පටන් ගත්තායින් පසුවයි.

මැස්සේ වැඩ නිමා කල සමීරත්  මමත් දහවල් ආහාරයට ගෙට ගොඩ වූයෙමු.

"ආ  දොස්තර අය්යාට  හොඳ මල්ලි කෙනෙක් හම්බවෙලා  තියෙන්නේ ?

 සුමීර  දිගටම  අය්යාගේ උදව්වට  එනවලු  නේද  අම්මා  ?"

කියමින්  හිනහ වෙමින් නිම්මි සමිරටත්  මටත්  කැකිරි  බෙදුවාය .





'



මම , නිම්මිලා අම්මා  සහ  සමීර  2002  දී


ඊළඟ  කොටසට  මෙතැනින්  පිවිසෙන්න

14 comments:

  1. සමීර හොඳ වැඩ කාරයෙක් වගේ. බලමු ඉස්සරහට

    ReplyDelete
  2. මේ පැත්තේ ආවට ස්තුතියි. ඔව් බලමු බලමු සමීර ගැන තව විස්තර ඉදිරියේදී එනවා

    ReplyDelete
  3. ගොවිතැන් කරන දොස්තර නම ගම පැතිරෙයි
    නැංදම්මාට බෑනන්ඩිව හරිම අගෙයි
    යහපත් දෙයට උපකාරය ලඟට ඇදෙයි
    වැල හැදෙනා විටදි මැස්සක් ඉබේ තැනෙයි

    ReplyDelete
    Replies
    1. ඉඩ තැබීමේදී ඇතිවූ ප්‍රමාද දෝසයක් නිසා කවිය ඡේදයක් වූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. ස්තුතියි සුරංග කවියට. "එලිසම" තියෙන නිසා ජේදය වුනත් කවියක් බව පෙනෙනවා.
      ස්තුතියි කවියට

      Delete
  4. ඔබ සරල නිහතමානී මිනිහෙක් බව ඔබ කියවීමේදි මට නිතර හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.. ඒත් ඔය රටාව ලංකාවේ අපේ ගම් ගොඩේ මිනිසුන්ට හරියන්නේ නෑ වෙලාවකට. මේ වතාවේ ගමේ ගිහින් මට ලොකු අකරතැබ්බ සිද්ධවෙන්න ගියා. බ්ලොග් පොස්ට් එකකින්ම දුන්නත් හොඳයිද මන්දා කතාව. මම පුරුදු ක්‍රමේට අපි ගෙවල් හදලා දුන්න මිනිස්සුන්ගේ ගෙවල් වල ගිහින් කුස්සියේ වාඩිවෙලා තේ බොන එක එහෙම දිරවව්වේ නෑ අපේ කට්ටියට .. ඒක නිසා බොරු කතා හදලා ඇලෙක්ස්ලා ගෙදරින් ( අපි හදවපු මුල්ම ගෙදර) අපි වෙනුවෙන් හදපු බත් වේල අපිට දිගන්න නැති කරා අපේ ගෙවල් වල කට්ටිය ( අපේ නෝනා ඒ ගෙදර යන එක ප්‍රතික්ෂේප කරවීම මගින් )

      Delete
    2. මිනිසුන්ව ඈත්කරන මිසක්, ලංකරන රටාවක් අපේ සමාජයේ නැහැ කවිඳු. ඒක ගමේ, නගරයෙ, දුප්පත්, පෝසත්, උගත් නූගත්, සයිබරයේ, මහ පොලවේ කියලා වෙනසක් නැහැ. දුකයි...ඒත් මොනවා කරන්නද..

      Delete
  5. දැන් හොඳ සමීර වගේ ඊලඟ කොටසත් දාන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. ලියන්න ඕනේ..

      Delete
  6. සැහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. සමීර ගැන දුකක් හිතුන මොකද එහම් පවුල් වගේම එහම් ළමයි දාල ආපු අම්මලත් දැකල තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් ඔව් ඔව් අම්මලා දාල ගිය ළමයි පව් තමයි . සමීර ගැන ඉදිරි කොටස් කියවන්නකෝ ..

      Delete
  7. මන් දෙවෙනි ලිපිය කියවලයි මෙතෙන්ට ආවෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට .. ඊළඟ කොටස් කියවන්න.

      Delete