Follow by Email

Sunday, 29 January 2017

'Across Puwakdeniya Village' a Painting by Lasith Kulasekara




මේ  වීඩියෝවේ  තියෙන්නේ  නිම්මිලා ගෙදරට යන  පාර අපේ පුතා චිත්‍රයට නගපු හැටියි.  ඔබ මගේ  මග නැගුම  බ්ලොග් පොස්ට් ටික කියවා තිබේනම්  මේ තියෙන්නේ ඒ "මග නැගුම " වැඩ සටහනෙන් හදපු පාර  ( 2005 දී)

Wednesday, 25 January 2017

වියලුණු හීල් ඔය සහ අපේ පංතියේ මුණසිංහ




පසුගිය මාසයක කාලය පුරා කිසිම බ්ලොග් පොස්ට් එකක් ලියවුණේ නෑ. හේතුව අවුරුදු තුනකට පස්සේ සිදුවන අපේ ලංකාගමනය .

යන්න ගමන් බිමන් ගොඩයි. ඒ වගේම කරන්න වැඩත් එමටයි.

 ඒ අස්සේ බ්ලොග් ලියවුණොත් ඒක ඉතිං නොලියාම බැරි දෙයක් ගැන තමයි.

මේ ගමෙනේදී තම තමන් කරන්නේ මොනාද ? යන්නේ කොහේද ? මුණ ගැහෙන්නේ කවුද කියන එක ගැන නිම්මිට වත් මටවත්  එච්චර ගාණක් වුණේ නෑ.

ඒත් අපේ  පුත්‍රයා සුපුන් නම්  මාස  ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ගැන අධ්‍යනය කරමින් හිටියේ.

කොහොමින් කොහොම හරි ලංකාවට ආවට පස්සේ කල කී දේවල් , ආ ගිය ගමන් බිමන් සහ මුණගැසුණු හිතවතුන් නිසා බොහෝ අතීත සිදුවීම් මතක් වුණා .

මේ ලියැවෙන්නේ ඒවායින් එකක් ....


මෙවර ලංකාවට ගිය   ගමනේදී අපට මුලින්ම හමුවූ කෙනෙක් තමයි  ඌව පළාත් සභාව  නියෝජනය කරමින් පළාතේ ප්‍රශ්න ගැන නිතර කතා බහ කරන සමන්ත විද්‍යාරත්න.

 සමන්ත මේ දිනවල අපේ පළාතට බලපෑම් කරන ලොකුම ප්‍රශ්නය වූ උමා ඔය ව්‍යාපෘතියේ අහිතකර බලපෑම්  ( ගෙවල් දොරවල් ඉරිතලා පුපුරා විනාශ වීම, ලිං සහ දිය උල්පත් සිඳී යෑම වගේ ) දේවල් ගැන බලධාරීන්  සමග කතා කරමිනුයි ඉන්නේ.


ඇත්තටම කියනවා නම්  බණ්ඩාරවෙල , වැලිමඩ ඇතුළු ඌව පළාතේ එලවලු වවන  ප්‍රදේශ වලට ඉතා අහිතකරව බලපා ඇති මේ ව්‍යාපෘතියේ නරක පැත්ත ගැන  මිනිස්සුන්ගේ පැත්තෙන්, මිනිස්සු වෙනුවෙන්  හඬක් නගන එකම දේශපාලකයා සමන්ත පමණයි.

මම සමන්තගේ මේ වගේ ජනතාවාදී වැඩ ගැන ඉතා කැමැත්තෙන් හිටියේ දැන් අවුරුදු ගණනනාවක ඉඳලා.


ඒත් සමන්ත  සහ ඔහුගේ පවුලේ අය මම ,සුපුන් සහ නිම්මි ඇතුළු "අපේ කණ්ඩායම" මෙතෙක් හමුවී තිබුනේ නෑ .  අප දෙගොල්ල  ප්‍රථම වරට   මුහුණට මුහුණ හමුවුයේ මේ වතාවේ අපි ලංකාවට ගිය වෙලාවේ .

ඒ අපි නිම්මිලා ගෙදර දවසක් ගතකිරීමෙන් පසු අපේ ගෙදරට පැමිණ  ගතවූ පළමු රාත්‍රියේදී.

සමන්තත්  ඔහුගේ බිරිඳ සහ  දරු තිදෙනාත් එදා  අපේ නිවසට පැමිණියේ  සමන්තලා පක්ෂයේ අපේ  පළාතේ නියෝජිතයා වූ වසන්ත නම් ගණිත  ගුරුවරයෙකුත්  එකතු කරගෙනයි.

ඒ විතරක් නෙවෙයි   ඔබ අපි කවුරුත් දන්නා බ්ලොග් කරුවෙක් වන සුරංග මලයා සහ ඔහුගේ "යාන්හැල්ල" වගේම ප්‍රසිද්ධ ඔහුගේ බිරිඳත් සමන්තලා සමග පැමිණ සිටියා.

මේ කියන දවසේ   "යාන්හෑල්ල" ලියන සුරංගත්  ඔහුගේ බිරිඳ  චුටි මැණිකෙත් අපිට   මුණ ගැහුණේ  සමන්තලා වගේම ජිවිතේ ප්‍රථම වතාවට.

මේ හමුවීම් දෙකම  ඉතාම සුන්දර ඒවා  වූ නිසා ඒ ගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියවෙන්න ඉඩ තියෙනවා.



ඒ නිසා ඒ සුහද හමුවේ විස්තර පසෙකට තබා  අද බ්ලොග් පොස්ට් එකේ නිමිත්තට යොමු වෙමු.

සමන්තලා සහ අපගේ මේ හමුවීම හරහා සිදු වූ තවත් හමුවීම් සහ සිද්ධි දාමයක් වෙනුවෙනුයි  අද බ්ලොග් පොස්ට් එක වෙන්වන්නේ .

මේ දිනවල අපේ පළාතට තදින්ම දැනෙන ගැටළුවක් වන වතුර හිඟයත් ,  ඒ වතුර හිඟය වෙනදාට වඩා තදින් පළාතට දැනෙන්නට හේතුවක් වී ඇති පළාතේ භූ ගත ජලය  හිඟවීමත්  මා මේ කියන්නට යන කතාව හා සම්බන්ධයි.

එමෙන්ම   අපේ පැත්තේ ලිං , දිය උල්පත් සහ ඇල දොළ බොහොමයක් හිඳීයමින් පවතින්නේ හරියටම උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගය වැටි තිබෙන  ප්‍රදේශ හරහාම කියලයි තතු දත් අය පවසන්නේ .


 හීල් ඔය  සහ අපේ අතීත මතක 

හීල්ඔය නමැති ගම  මගේ  මතකයට  මුලින්ම  ඇතුළු වන්නේ  නමසිය අසුවේ මුල් භාගයේ , ඒ කියන්නේ මම ගමේ පාසැලින් ඉවත්වී  නගරයට ඔබ්බෙන් පිහිටි කිණිගම ප්‍රදේශයේ  තිබු බණ්ඩාරවෙල කණිස්ටයට ආපු මුල්ම කාලයේ. 

මා හතරේ පංතියේ සිටි කුඩා කොලුවෙකු වූ ඒ කාලයේ  අපේ පාසල් බසය ලෙස තිබුණේ අංක 325 මකුල් ඇල්ල නමැති  බස් රථයයි . 

උදේ හතට පමණ  වරකා දන්ඩේ සිට මල්වත්තට පැමිණෙන බස් එක මල්වත්තෙන් අපත් නංවාගෙන  කිණිගම පිහිටි අපේ පාසල බලා පිටත් වෙනවා. 

අනෙක් පාසල් බස්මෙන් කිණිගමෙන් නතර නොවෙන මේ 325 බස් එක  හීල් ඔය  නමැති මනරම් තැනිතලා ප්‍රදේශයක් පසු කර මකුල් ඇල්ල දක්වාම ගමන් කරනවා.



ඒ නිසාම මල්වත්තෙන් පාසල් බසයක් ලෙස ළමුන් පමණක් රැගෙන එන මේ බසයට බණ්ඩාරවෙල නගරයේදී  හිල්ඔය , මකුල් ඇල්ල වැනි ගම් බලා යන ගොවි ජනතාවත්  ගොඩ වෙනවා.

බණ්ඩාරවෙල තොගපොළ  පැවැත්වෙන බ්‍රහස්පතින්දා  දවසට මේ ගොවිජනතාව  අපේ  සිසුන් ට වඩා වැඩි සංක්‍යාවකින්  බස් එක අරක් ගෙන ඉන්නවා දකින්න පුළුවන් .

හේතුව ඒ  කාලේ බණ්ඩාරවෙල තොගපොළට බෝංචි, තක්කාලි, අල , ගෝවා , කැරට් වගේ එළවළු රැගෙන එන බොහෝ පිරිසක් හීල්ඔය අවට වගා කරන්නන් වීමයි.

හීල්ඔය ප්‍රදේශයට ඒ නම ලැබී තිබෙන්නේ  එහි තිබුණු සශ්‍රික කුඹුරු යාය සහ එළවළු කොටුවලට ජලය සැපයු  "හීල් ඔය"  ගලා යන්නේ මේ ප්‍රදේශය හරහා වීම නිසයි. 

අපේ ගමේ තියෙනව  හීල් ඔයේ නැන්දලා ගෙදර කියලා ගෙදරක්.

 ඒ ගෙදරට මේ  නම ලැබිලා තිබුණේ  මේ කියන ගමේ කාන්තාවක්  වූ  "හීල් ඔයේ නැන්දා"  අපේ ගමේ ඩේවිඩ් මාමාගේ සහකාරිය ලෙස පැමිණීමත් සමගලු.

ඒ වගේම  අපේ ගෙදරට ගෙවල් දෙකක් පහළින් තිබු ගෙදරක විසු සැම්සන් අය්යා ඔහුගේ භාර්යාව ලෙස රැගෙන ආවේත් හීල්ඔය ප්‍රදේශයේ කාන්තාවක් .

මේ  දෙදෙනාම අපේ අම්මාගේ හිතවතියන් නිසා  ඒ අය අපේ ගෙදර ඇවිත් හීල් ඔයේ එළවළු වගාව වර්ණනා කරන හැටි මම හොඳට අහලා තියෙනවා. 

විශේෂ යෙන්  ගමේ හොඳ පම්පෝරි කාරියක් වූ පොඩ්ඩි අක්කා හීල්ඔයේ සිටි ගොවි තරුණයින් දෙදෙනෙක් වූ ඇගේ  සහෝදරයන් දෙදෙනා ගේ තක්කාලි වගාව  විස්තර කරන්නේ පදමට  පොහොර බෙහෙත් දමමින් .

ඒ කාලේ මම  අවුරුදු දහයක  කුඩා ළමයෙකු වුණත්  අපේ පාසල් බස් එක යන ගමත්,  හීල්ඔයේ ගෙදර නැන්දගේ ගමත් , සැම්සන් අය්ය ගේ නෝනා වූ පොඩ්ඩි  අක්කා ගේ ගමත් එකම "හීල්ඔය"   බවහොඳින්  තේරුම් අරන් තිබුණා.

හිල්ඔය ගම මැදින් ගලාගිය මනරම් "හීල්ඔය "  මම පොඩි කාලේ දැකලා තිබෙනවා.   ඒ ඔයේ සෙල්ලම් කරන්න. ඉස්ගෙඩි අල්ලන්න , කීටියෝ හොයන්න වගේ දේවල් කරන්න තරම් ළඟක නෙවෙයි අපි හිටියේ.

කුඩා අපි ඒ කාලේ වතුරත් එක්ක සෙල්ලම් කලෙත්  දියබල්ලෝ , දියනයි, ඉබ්බෝ  වගේ ජලාශ්‍රිත සත්තු දැක්කත්  අපේ ගම වූ කිරිඔරුව මැදින් ගලාගිය "කිරිඔරුවේ  ඔය"  තුලින්.

මා කිරිඔරුවේ ඔයේ දුටු මේ දේවල් ඒ කාලේ හීල්ඔයේ සිටි මගේ සම වයසේ අය දකින්න ඇති.

 ඒත් මට මතක හැටියට බණ්ඩාරවෙල කනිෂ්ටයේ අපිත් එක්ක හිටි කල්ලියේ හීල් ඔයේ අය හිටියේ නෑ.

ඒ නිසා හීල්ඔයේ තිබු සුන්දරත්වය අත්විඳි හැටි අහගන්න තරම් මට කුඩා කාලයේදී අවස්ථාවක් ලැබුනේ නැහැ.

එහෙත් හිල්ඔය ගැන සැම්සන් අය්යාගේ අක්කා කියන විස්තර මම අහලා තිබෙනවා . ඇය කියූ හැටියට ඇයගේ මල්ලිලා දෙන්නා  හීල්ඔයේ වතුරෙන් කල එළවලු වගාව ඉතා සරුසාර එකක් .

ඒ බව සනාථ කරමින් පොඩ්ඩි අක්කාගේ මල්ලිලා දෙන්නා තක්කාලි වගාවෙන් හම්බ කරගත් මුදල් යොදවා රෝසා බස් එකක් ගත්තෙත් මේ කාලයේදී මයි.


















මට හීල්ඔය මතක් කරවන හිතට සමීප පංති සගයෙක් හමුවන්නේ නමසිය අසු හතේදී  .ඒ අපි උසස් පෙළ ජීව විද්‍යා පංති වලට යද්දී.

ඊට කලිනුත් අපේ පංති වල හීල්ඔයේ අය හිටියට  ඒ අයකිසියම් හේතුවක් නිසා අපේ ලඟම මිතුරන් වුණේ නෑ.


හීල්ඔයේ සිට අප සිටි 12 වසර  සී පංතියට ආපු  "උපුල් මුණසිංහ" ඒ කාලේ හරි අහිංසක කොල්ලෙක්.

තුනී තඹ පාට ගැහුණු කොන්ඩේ පැත්තට පීරලා සිටි මුණසිංහ හරි නිහඬ චරිතයක්.

 වැඩි කතාවක් බහක් නෑ. ලොකුවට මොඩ් කිරිලි නෑ .

කිසිම කෙල්ලෙක් මිනිහා දිහා වැඩි උනන්දුවකින් බලන්නේ නෑ.

 කොටින්ම කිව්වොත් පංතියේ සිටි  ගණන් කාරයන් ගේ අවධානයට ලක්විය හැකි කිසිම ලක්ෂණයක් නෑ.

 පංතියේ හිටි ගණන් කාර සෙට් එකේ සිටියා වුනත් ( හයේ පංතියේ සිටම ඒ පාසලේම සිටි අය නිසා )  මමත් , දිළුම් සෙට්ටිනායක  නම්වූ  මගේ ලඟම හිතවතාත්  ඉතා ඉක්මණින් මුණසිංහ, වෙලේවත්ත ඇතුළු නවකයින් සමග සමිපවුණා.

ඒ කාලේ මම හිටියේ පංතියේ මුල්ම පේලියේ උහනේ  පුතා සහ තාරක  මගේ පේලියේ හිටපු හතර දෙනා අතර හිටියා.

තුන්වෙනි පේලියේ හිටියේ  පිලිවෙලින් හීල්ඔයේ උපුල්  මුණසිංහ, සුරංජිත් රත්නායක , වෙලේවත්ත  සහ දිළුම් සෙට්ටිනායක  යන සිසුන් බව මගේ මතකයයි.

අසුහතේ නිශ්ශබ්ද චරිතයක් වූ මුණසිංහ  කොල්ලන් අතර ප්‍රසිද්ධියට පත්වන්නේ අසු නමයේදී.

ඒ   පාසලේ රජයට විරුද්ධ දේශපාලනයේ යෙදුන පිරිසත් සමග  උපුල් මුණසිංහත් ගණුදෙනු කරන බව සැලවීමත් සමගයි .

පැවතුණ  කළබලකාරී වාතාවරණය නිසා සී සී කඩ විසි වී ගිය අපට  මුණසිංහ පුනරුත්ථාපන කඳවුරකට ගෙන  ගිය බව ආරංචි වෙන්නේ මේ කාලයෙදී.

ඒ වනවිට මුණසිංහ සමග එකම පේළියේ සිටි සුරංජිත් රත්නායකත්  පාසැල් ආවේ මුණසිංහ ලා ගෙදර ඉඳන්.

සුරංජිත් කළබල සමයේදීම යෝධඇල මෝටර්ස්  කඳවුරේ සිටි හමුදා අණුකණ්ඩය විසින් අත්අඩංගුවට ගෙන පරලොව යැවූ බව  ඒ වනවිට  පුනරුත්ථාපනය  වෙමින්  සිටි මුණසිංහටත් දන ගන්න ලැබී තිබුණා.

මා ඒ  බව දැන ගත්තේ  මෙවර අපගේ  ලංකාගමනයේ මැදදී  සිදුවූ මුණසිංහ සහ මාගේ සුහද හමුව දවසේ.

වසර තිහකට පසු සිදුවූ හීල්ඔය ගමන.

එදා රාත්‍රී අප මුණගැසෙන්නට පැමිණි  සමන්ත සහ ඔහුගේ සගයන් සමග  මම කල කතා බහේදී   සුරංජිත් සහ  හඳපානගල  ජයරත්න වැනි අපේ පාසැල් හිතවතුන් ගැන කතා කරන්නත් මා අමතක කලේ නෑ. 

ඒ ඔවුන් ගැන සමන්ත  නොදැන සිටිය හැකි වුනත්  ඔහුගේ බණ්ඩාරවෙල නියෝජිතයා දැනගත යුතු යැයි මට හැඟී ගිය නිසා. 

එහිදී හදිසියේම  උපුල් මුණසිංහ යන නම මතක් කරමින් මම  ඔවුන්ට පැවසුවේ 

"උපුල් මුණසිංහ 1989 හමුදාවෙන් අල්ලන් ගියාලු . මට හිතෙන විදිහට මිනිහත් ජිවතුන් අතර නෑ "  කියලයි.

" නෑ.. නෑ .. උපුල් මුණසිංහ ඉන්නවා.  තවමත් හීල්ඔයට වෙලා එළවළු ටිකක් එහෙම හදාගෙන "

 සමන්තගේ බණ්ඩාරවෙල හිතවතා  වසන්ත කියනවාත් සමගම මට 1987 -89 අපේ පංතියේ සිටි ඒ නිශ්ශබ්ධ චරිතය නැවතත්  මතකයට ආවා.

" උපුල් මුණසිංහගේ  ටෙලිෆෝන් අංකෙ හොයාගන්න බැරිද? 

මිනිහා අපේ ලඟම හිතවතෙක් ඒ  කාලේ "

යැයි මම ඉතා උනන්දුවෙන් පැවසුවේ . අසුනමයේ භීම සමයේ ඉතිරි වී ඇති නටඹුන් අතර වැදගත් සාක්ෂි කිහිපයක් උපුල් ළඟ තිබිය හැකි බව මට තදින්ම දැනුන නිසයි.

"තියෙනවා . තියෙනවා .  දෙන්නම් .

මුණසිංහට කෝල් එකක් දෙන්න . එයා ගොඩක් සතුටු වෙයි " 

එසේ මා හට ලැබුණු මුණසිංහගේ දුරකථන අංකය ඔස්සේ මම මුණසිංහ හා සම්බන්ධ වුනෙමි. 

පසුදා හවස් කාලයේ අපේ තාත්තාත්   මෝටර් රථයට දමා ගත්  මම උපුල් මුණසිංහ  සොයා හීල්ඔය බලා ගියෙමි.

එදා මා මුණසිංහ නිවසට පිය මැන්නේ ජිවිතයේ ප්‍රථම වතාවටයි.

එහිදී දැනගත් කරුණු අනුව මුණසිංහ ගේ මා නොදැන සිටි ජිවන තොරතුරු දිග හැරෙන්නේ මෙලෙසයි.

අසු නමයේ අත්අඩංගුවට පත් ඔහු  දවුලගල කොබෝදයිෂි කඳවුරේ දිනපතා ගුටි කමින් ( මස් මාළු ආහාරයට ගත්තේ නැති නිසා ) වසරකට නොඅඩු  "පුරුත්ථාපනයක් " ලබා තිබේ .

ඒ  පුනරුත්ථාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හීල්ඔය ට පැමිණ නැවතත් සුපුරුදු එළවළු වගාවට බැස ඇත. 

අප මෙන් දෙවන වතාවටත් උසස් පෙළ කරනු වෙනුවට තම අසල් වැසි නිවසක වූ  කාන්තාවක් සමග විවාහ වී ඇති උපුල් මුණසිංහ දැන් දරුවන් තිදෙනෙකු ගේ පියෙකි.

ඉන් දෙදෙනෙක් දැන් විශ්ව විද්‍යාල සිසුන්ය .  ලොකුපුතා දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකි . ලොකු දුව ඊයේ පෙරේදා  කළමනාකරණය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයට ගියේය.

බාලම දුවත් , බිරිඳත් වියපත් මවත් සමග උපුල් මුණසිංහ ජිවිත සටනට මුහුණ දෙමින් හීල්ඔයට වී සිටි.

ඒ සුපුරුදු එළවළු වගාව කරමිනි.

මුල්කාලයේ මුණසිංහ ලාත්  සැම්සන් අය්යා ගේ මස්සිනා ලා මෙන් ජයටම එළවලු වවා ඇත.

ඒ බව යන්තමින් හෝ සනාථ කරන්නේ ඔහුගේ භාගයට වැඩ නිමකළ නිවසත්  විශ්ව විද්‍යාලයට ඇතුල්වීම තෙක් අධ්‍යාපනය  නිමකල ඔහුගේ දරු දෙදෙනාත්ය. 

ඒත් 1989 උපුල් මුණසිංහට  සරදම් කල ඔහුගේ දයිවය නැවතත් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සරදම් කරන්නට පටන්ගෙන තිබේ.

ඒ එළවළු වගාවට තබා   බිමට වත් වතුර පොදක් නැතිවෙන තරමට හිල්ඔය සහ භූ ගත ජල මුලාශ්‍ර හින්දවිම මගින්.


වතුර හිඟකමින්  වගා කල නොහැකිව වැස්සක් වැටෙන තෙක් බලා සිටිනා හීල්ඔයේ එළවළු කොටුවක්




පතුලේ වැලි පමණක් ඉතිරිවන සේ අද වන විට සම්පුර්ණයෙන්ම සිඳී ගොස් ඇති හීල්ඔය


මුණසිංහ ඇතුළු හිල්ඔය ප්‍රදේශයේ ගොවියන් අමාරුවේ දැමීම ගැන චෝදනා  එල්ල වන්නේ  හරි සක්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භ කල  "උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය" සංවර්ධන වැඩ සටහනටයි.


  
වැරැද්ද කාගේ වුනත්  උපුල් මුණසිංහ නැවතත්  පරද්ද වන්නට   මේ බලවේගයට බැරි කමක් නැත. 

ඒ ඔහුගේත්  තම වැඩි දුර අධ්‍යාපනය කර ගන්නට මහන්සි ගන්නා ඔහුගේ දරුවන්ගේත් අදායම් මාර්ග බිංදුවට බැස්සවීම මගින්ය.

මට  උපුල් මුණසිංහ සහ ඔහුගේ නැගිටින්නට වෙර දරන පවුල ගැන  තදබල අනුකම්පාවක් ඇතිවිය.  

ඒ අනුකම්පාව අපත් සමග උසස් පෙළ කල අපේ සියලුම සගයන් අතරටත්  පැතිර ගියහොත් අපට  උපුල් මුණසිංහ පවුල වෙනුවෙන් යමක් කල හැකි වනු ඇත.

අපට සිඳී ගිය හිල්ඔය නැවත පිරවිය නොහැක.

 එහෙත් හීල්ඔය හිඳී ගිය  නිසා තම ජීවනෝපාය නැති වූ මිනිසෙකුට සහ ඔහුගේ  උත්සාහවන්ත පවුලට සහනයක් වීම  කල නොහැක්කක් නොවේ.

මම ඔබේ ප්‍රතිචාර දෙස බලා සිටිමි.  '

 මෙහි පළකර ඇති හිල්ඔය ප්‍රදේශයේ චයාරුප ලබා ගත්තේ "සුරන් චානක " ගේ මුහුණු පොතේ පලකල පොස්ටුවකින් .

ප. ලි. උපුල් මුණසිංහට  අලුත් රැකියාවක් සොයාදීම සහ ඔහුගේ දරු තිදෙනාගේ වැඩිදුර අධ්‍යාපනයට සහය දැක්වීම කියන මාතෘකා දෙක ගැන මේ ශ්‍රී ලංකා සංචාරයේදීම සාකච්චා කරන්න අවස්ථාවක් ලැබුණා. දැනට අපේ ගම්  ප්‍රදේශයේ දොස්තර කෙනෙක් ලෙස සේවය කරන තාරකත් , නව මහාමාර්ග හදමින් සිටින ඉංජිනේරුවරයෙක් වන කමල් සසරසිංහත්  මේ වෙනුවෙන් උනන්දුව දැක්වුවා ( දෙදෙනාම මුණසිංහ සහ අප සමග එකට උසස් පෙළ පංතිවල සිටි අය ) . ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යමක් සිදුවෙන්නට ඉඩ තියෙනවා.  අප තිදෙනාගේම මතය වුනේ පහුගිය දේවල් ගැන කියමින් එකිනෙකාට දොස් කියනවාට වඩා ඉදිරියට කරන්න පුළුවන් දෙයක් කරන එක අපේ වගකීම විය යුතු බවයි .

04/02/17
ඉහත සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙස  මුණසිංහගේ  දරුවන් දෙදෙනාට  ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම් දෙකට මුදල් තැන්පත් කිරීම මගින් උදව් කල යුතු බව අපි තීරණය කළෙමු.

ඒ අනුව කමල්ගේ යෝජනාව වුයේ  මුලින් මුදල් පොදු ගිණුමකට රැස් කර අනතුරුව ඒවා ළමුන් දෙදෙනාගේ  ගිණුම වලට බැර කලයුතු බවයි .



Tuesday, 24 January 2017

වියලුණු හීල්ඔය සහ වැහැරුණු මුණසිංහ



ළඟදීම එනවා...

එදා ලස්සනට තිබුණු හීල්ඔය දැන් වියළිලා ගිහිල්ලා .. එදා අහිංසක කොල්ලෙක්ව සිටි  මුණසිංහ දැන් වැහැරිලා ගිහිල්ලා .

අපිට දැන් හීල්ඔයට වතුර පුරවන්න බෑ.. ඒත් හීල්ඔයේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ...

ඒ වගේම අපිට දැන් මුණසිංහ  මනුස්සයෙක්  කරන්න ( මුදල් හදල් , රැකි රක්ෂා  වලින්) වෙලාවක් නැහැ ..

ඒත් මුණසිංහගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵල ලෙස විශ්ව විද්‍යාලයට ගිය ඔහුගේ දුවටත් පුතාටත් උදව් කරන්න අපි තවමත් ප්‍රමාද නැහැ කියලයි මට හිතෙන්නේ......

හීල්ඔයේ චායාරූපය  ගත්තේ  "සුරන් චානක " ගේ මුහුණු පොතෙන්