Follow by Email

Tuesday, 6 December 2016

නමුණුකුල බාප්පා ( ලොකු අප්පා )





උදේ පාන්දරම  මගේ මොබයිල් එකට මිස් කෝල් එකක් ඇවිත් . බලනකොට අපේ ගෙදරින්

" ඒයි  දැන් ලංකාවේ වෙලාව කීයද ?

රෑ දෙකයි  වගේ නේද ?

මොකද  දන්නේ නෑ  අපේ කට්ටිය මට රින්ග් කට් එවන්නේ

කාට වත් කරදරයක් වත්ද ? "  මම නිම්මිගෙන් ඇසුවෙමි. ඇය සිටියේ මගේ  උදේ තේ එක හදමිනි.

" ලොක්කා වත් අසනීප වෙලාද දන්නේ නෑ එහෙනම් ? "

ඈ මා දෙස  ගැටළු සහගත බැල්මක් හෙළුවාය.

" කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක .

කෝකටත් මොකද කියලා බලන එක හොඳයිනේ "

මම අපේ ගෙදරට ඇමතුමක් ගත්තෙමි.

" හලෝ  අම්මා ..  මොකද මේ රෑ දෙගොඩහරියේ නැගිටලා ? කාටවත් කරදරයක් වත්ද ? "

එහා පැත්තෙන් දුරකතනයට පිළිතුරු දුන්නේ මා ඇමතු වහාම දුරකථනය ට පැමිණ සිටි අපේ අම්මා විසිනි .

" ඔව් පුතා නමුණුකුල ලොකු අප්පා නැති වෙලා  .

උණ  හැදිලා හිටියේ කිව්වා . ඊයේ රෑ හදිසියේම නැතිවුණා ලු"

අම්මා ශෝක බරිත හඬකින්  තම නැගණියගේ ස්වාමි පුරුෂයා  මියගිය බව මට සැලකර සිටියාය.

මේ ශෝකාකුල ආරංචියත් සමගම මම අවුරුදු බර ගණනක් අතීතයට ගමන් කළෙමි.

නමුණුකුල විස්තර 



අපේ අම්මාගේ ලොකුම නංගි  විවාහ වී සිටියේ නමුණුකුල සිටි තැපැල් පියුම් මහත්තයෙක් සමගයි. 

කණවැරැල්ල  උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සිටි  නමුණුකුල බාප්පා  අපේ පුංචිට වඩා අවුරුදු පහළොවක් පමණ වයසින් වැඩි කෙනෙක් බව මගේ මතකය පවසයි. 

වයස අවුරුදු දහහතරක් හෝ පහළොවක් වැනි අඩු වයසකදී  අපේ  මුත්තලා විසින් ඇය විවාහ කර දී තිබුණේ  අපේ අම්මා හා තාත්තා විවාහ වන්නටත් අවුරුදු හතර පහකට පමණ පෙර කාලයකයි.

ඉස්කෝලේ නිවාඩු කාල වලදී නමුණුකුල බාප්පලා ගෙදර යන්නට පුරුදු වී සිටි මට ඔහු තැපැල් පියුම් කෙනෙක් ලෙස සේවයට ගිය හැටි තාමත් මතකය .

කාකි කොට කලිසමක් සහ පිත්තල බොත්තම් ඇල්ලු කාකි කෝට් එකකින් සැරසෙන බාප්පා  පොලිස් කාරයින් පළඳින වර්ගයේ තඩි සපත්තු දෙකක්ද පළඳියි.

ඊට අමතරව ලොකු කාකි පාට තොප්පියක් පැලඳ  උදේ හය හය හමාර වනවිට බයිසිකලයත් රැගෙන කනවැරැල්ල බලා පිටත් වෙයි.

එසේ වැඩට පිටත් වෙන බාප්පා හවස තුන තුනහමාර පමණ වන විට නැවත නිවසට පැමිණෙන්නේ

"සුගුණෝ හරි මහන්සියි බන් ඔය කහට ඩිංගක් වක් කරලා ගනිං කෝ " කියමින් අපේ පුංචි අම්මා අමතමිනි. 




නමුණුකුල බාප්පා තද යුඇන්පී  කාරයෙක් වු අතර එය අපේ අම්මලාට ප්‍රයෝජනවත් වුයේ 1977 චන්දයෙන් පසු උදාවූ  භීම සමයේදීය .

තාත්තා සමග ශ්‍රී ලංකා රැස්වීම් වල කවි කියූ නිසා චන්දයෙන් පසු කිරඹඔයේ සිටි එක්සත් ජාතික පාක්ෂිකයින්  අපේ සමන්තව පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබිණි.

කිරඹ ඔයේ අයටත් වඩා තදබල  එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ  නමුණුකුල බාප්පා අපේ අම්මලාගේ පිහිටට එන්නේ මේ වේලාවේදීය .

සමන්තත් අපේ ලොකු අක්කත් නමුනුකුලට  රැගෙන ගිය ඔහු  අපේ ගමේ ඔහුගේ පාක්ෂිකයින්ට  අමතක වනතෙක් ඒ දෙදෙනා ඔහුගේ නිවසේ සිට පාසැල් යැව්වේය.

නමුණුකුල නැවතී පාසැල් ගිය අක්කත් සමන්තත් බලන්න අම්මා නිතර නිතර බාප්පලා ගෙදර ගියාය.

ඒ ගිය හැම වතාවකම  බාප්පා සමන්ත ගැන අම්මා සමග ගතු කීවේය. හේතුව තද බල එක්සත් ජාතික පාක්ෂිකයෙකු ගේ නිවසේ සිටිනා අතර සමන්ත දිගටම  තාත්තලා ගේ ප්‍රගතිශීලි දේශපාලනය ගැන කතා කිරීමයි.
ඊට අමතරව  ඒ වන විට පහේ පන්තියේ සිටි අපේ අය්යා  නමුණුකුල මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට  බිත්ති පුවත් පතක් ආරම්භ කර තිබිණි.

සමන්තගේ  ලිවීමේ හැකියාව දුටු විදුහල්පති තුමා ඔහු බිත්ති පුවත් පතේ කතෘ තුමා බවටද පත් කර තිබිණි.

එක් වරක් තම දුව සහ පුතා බලන්නට නමුණුකුල ගිය අම්මා  බාප්පා ගෙන් ඔවුන්ගේ වැඩ ගැන අසා ඇත.

"අය්යා කොහොමද කොල්ලගෙයි කෙල්ලගෙයි ඉස්කෝලේ වැඩ එහෙම ? "

"කෙල්ල ගෙන් නම් කරදරයක් නෑ නංගි හැබැයි කොල්ලා නම් ගානට වැඩියි "

"ඒ කිව්වේ අය්යා ? "

"නංගි උඹේ කොල්ලා හිතන් ඉන්නේ එයා මහලොකු ලියන්නෙක් කියලා . ඔය හැමතැනම   කතුරු කතුරු ගගා ලිය ලියා ඉන්නේ "

" මම නම් දන්නා කතුරක් නෑ හැබැයි ඔහොම ගියොත් මහා අමාරුවක තමයි මෙයා වැටෙන්නේ "


එසේ කියමින් සමන්තගේ බිත්ති පුවත් පත් කලාව ඇතුළු ලිවීමට විරුද්ධව කතා කර ඇති නමුණුකුල බාප්පා එක් වරම තම කේන්තිය පිට කර ඇත්තේ

මෙයා ගේ ඉතින්


"අතන කතුරු , මෙතන  කතුරු , පුකේ කතුරු "



කියමින් අතක්  හරහට අතක් යවා " පුකේ කතුරු කොටස"  රඟ දක්වමිනි.

ගෙදර පැමිණි අම්මා ඒ රඟ දැක්වීම එලෙසම අප හට රගපා පෙන්වූ මොහොතේ මමත් චුටි නංගිත්  බඩ අල්ලාගෙන සිනාසුනෙමු.



23 comments:

  1. බාප්පාට සුභ ගමන්.. ගමේවත් හිටියා නම් ගිහිං සහභාගී වෙලා එන්න තිබුනා.. දුක පරයා නැගෙන සොඳුරු අතීතය අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      ඔව් ඔව් බාප්පා අවුරුදු අසු පහක්ම ආයු වළඳලා තමයි අභාවප්‍රාප්ත වුණේ. මම නමුනුකුල ගිහින් නෑ පොඩි කාලේ ( මට වයස අවුරුදු දහය වගේ කාලේ ) ගියාට පස්සේ . මේ පාර නිවාඩුවට ආවහම පුංචි අම්මා බලන්න යන්නයි ඉන්නේ. ඒක නෙවෙයි බාප්පාගේ පොඩි දුව "සීතා අක්කා " බදුල්ලේ ඉස්කෝලෙක උපාධිධාරී ගුරුවරියක්.ඉස්කෝලේ නම නම් හරියට මතක නෑ. විහාරමහාදේවි වගේ.

      Delete
  2. තාත්තා සමග ශ්‍රී ලංකා රැස්වීම් වල කවි කියූ නිසා චන්දයෙන් පසු කිරඹඔයේ සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අපේ සමන්තව පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබිණි./////// political violence in SL

    ReplyDelete
    Replies
    1. ඔව් ට්‍රාන්ස් .. එයාලට අපි දෙන්නව ලේසියෙන්ම නැතිකරන්න තිබුණා 1989/90 කළබල වලට සම්බන්ධ කරලා . අපේ අම්මා ඒ දවස් වල දිගටම ඒ ගැන හරි බයෙන් හිටියේ. එක්සත් ජාතික පාක්ෂිකයින් වැඩි හරියක් රාජපක්ෂලා ( අපේ අම්මගේ නෑදෑ යෝ ) සමහර විටතරහ තිබ්බට තමන්ගේ කෙනෙක් ගේ ළමයි නිසා ඉවසන්න ඇති . ඒක තමයි අපේ අය්යා තවමත් කියන්නේ " මේ අපිට ලැබිලා තියෙන්නේ බෝනස් ලයිෆ් එකක් /89 කාලේ බේරුණ නිසා " කියලා

      Delete
  3. දැන් වගේ නෙමෛයි ඒ කාලේ. ඡන්දයක් තිබුණ ගමන් පටන් ගන්නේ පැරදුනු එකාට කෙලින්න. දැන් රටේ තත්වේ හොදයි ඒ අතින්. මොන වැරදි තිබුණත් මේ සංස්කෘතිය ආරම්භ උනේ චන්ද්‍රිකාගේ ජයග්‍රහණයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කුරහන් ... හැබැයි වැඩේ මුලින්ම පටන් ගත්තේ 1977 ජේ ආර් විසින්

      Delete
    2. ඔව් ඔව් පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගත්තේ ජේ ආර් තමයි. මොනවට කියනවද. 1970 දී වෙච්ච දේවල් ගැන හොයල බලන්න මේ කියන එක හරිද කියල. 1970 මහනුවර කුණ්ඩසාලේ එ.ජා.පෙ සංවිධායක මගේ මාමා. ඒ නිසා මම හොඳින් දන්නවා වෙච්ච දේවල්. ඒවගේ හැම මැතිවරණයකට පස්සෙම තිබුණා. පොලිසියට දවස් තුනේ නිවාඩු කථාව ආවේ 1970 කරපු දේවල් වලට කියපු දෙයක් ලෙස. එහෙම නැතුව දුනුවට පස්සෙ කියපු දෙයක් නෙවෙයි.

      Delete
    3. ස්තුතියි ඉයන් ඔයා කියන එක හරි වෙන්න ඕනේ. 1970 සමගි පෙරමුණු රජයයෙන් "තරමක් සැර අඩුවෙන්" පටන් ගත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහලම තලයකට ගෙනාවේ ජේ ආර් කියලයි මම අහලා තියෙන්නේ . 1970 විස්තර මම පුද්ගලිකව දන්නේ නෑ මම ඉපදුන අවුරුද්දනේ .. ඔය රසික කියන 1977 දවස් තුනේ කතාව මමත් අහලා තියෙනවා අපේ අම්මලා එහෙම කියනවා. ඔයාලා නෑදෑයෝ යුඇන්පී වුනා වගේ අපේ නෑදෑයෝ ශ්‍රී ලංකා නේ . හැබැයි මේ සැරේ හැමෝම එකට චන්දෙ දීලා යහපාලනයට මම දන්නා හැටියට (අපේ නෑදැයෝ). මම නම් ඔය පක්ෂ දෙකටම පුද්ගලිකව කැමති නෑ..

      Delete
  4. හැත්තෑ හතේ ජේආර්කාරයා පොලිසියට දවස් තුනක් නිවාඩු දුන්නා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ... ඔව් ....මිනිහා එහෙම නිවාඩු දුන්නා . ඔය නමුණුකුල පැත්තේ හරි කළබල කරලා තිබ්බා , කඩ ගිනිතියලා මට මතකයි වලස් ඇල්ලේ කඩේ කියලා එකක ගෙදර ගෑනු ළමයි පවා දුෂණය කරලා තිබුණා. ඉස්සර ඔය නමුණුකුල සිතා අක්කලා එහෙම කියනවා..

      Delete
    2. පප්පා 77 පොලිසියට නිවාඩු දුන්නා...83 හමුදාවට නිවාඩු දුන්නා.

      Delete
    3. රසික, මෙහෙම පොලිසියට නිවාඩු දීමක් වුණේ නැහැ. 1970 දී මැතිනිගේ ආධාරකරුවන් එජාපෙ අයගෙ ගෙවල් ගිණි තැබීම්, දේපල විනාස කිරීම් ගැන ඒකාලේ කරපු කථාවකදී ජේ ආර් විසින් ඔවුන් නැවත බලයට ආවම පොලිසියට දින තුනක් නිවාඩු දෙන බවට තර්ජනයක් කලා. ඒක 1970 වුණ කථාවක්. ආදි කාලේ සිටම එක පැතක් දින්නම අනික් පැත්තෙ අයට ගහනවා. ඒක වැරදියි. හැබැයි ඒක ජේ ආර් පටන් ගත්තු එකක් නෙමෙයි.

      Delete
    4. අපි ඔය ගැන කලබල වෙන්න ඕනේ නෑ . මගේ කතාවම බලන්නකෝ . අපිට ගහලා (විපක්ෂයේ අය නිසා ) ගමේ අය අපේ අය්යා පැහැර ගන්න යනකොට නැවැත්තුවේ ඔය කතුරු බාප්පා (පක්ෂයේ ආධාර කාරයෙක් ) ළඟ පක්ෂ /විපක්ෂ දෙගොල්ලොම එකතු වෙච්ච මොහොතක් ..

      Delete
    5. මම කියපු ක්‍රමේට නේද විස්තරේ තියෙන්නේ ? හැත්තෑ හතට කලින් එච්චර සංවිධානය නොවී වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා එතැන් සිට සංවිධානාත්මකව ලොක්කන්ගේ ( පක්ෂ දෙකේම) අනුමැතිය ඇතිව සිද්ධ වෙනවා..

      Delete
    6. දේශපාලන මැරකම් ආරම්භ වී ඇත්තේ ඩීඑස් මළ පසු පැවැත්වුණු අතුරු මැතිවරණයේ දී බව මා කියවා තියෙනවා. ඒ 1952 දී!

      ඉයන් ජේ ආර් ගේ ජඩ වැඩ සුද්ද කරන්න නම් හදන්න එපා!

      Delete
    7. ජඩ වැඩ ප්‍රධාන පක්ෂ හැම එකකින්ම සිදුවී තිබෙනවා අඩු වැඩි වශයෙන්. අප කලේ අපට ගැසූ , අප විනාශ කරන්න හැදු අයගේ දු දරුවන්ට උදව් කිරීම සහ යහමග පෙන්වීමයි . අපේ තාත්තට වැඩ ඇරිලා එද්දී මහපාරේ දමාගෙන ලේ එනකන් ගැසූ යුඇන්පී සපෝටර්ලා ගේ දු පුතුන්ට සාමාන්‍ය පෙළ ගණිතය , විද්‍යාව ඉගැන්වුවේ මා විසිනි . එක් අයෙක් දැන් දොස්තරවරයෙක් ඔස්ට්‍රේලයාවට එන්නත් මම මග පෙන්වීම් කළා , දුව නර්ස් කෙනෙක් අනෙක් පුතා ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙක් වැදගත් වන්නේ ජේ ආර් ලා සිරිමලා කලේ කුමක්ද කියන එක නොව ඒවා දෙස බලා පාඩම් ඉගෙන ගෙන අප කරන්නේ කුමක්ද යන්නයි

      Delete
  5. බලාගෙන ගියාම ඔහේලයි සීයා බාල අපරාධ කාරයෙක්නේ හිටන්.... :)

    බාප්පට සුභ ගමන්....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ. නෑ ඒ කාලේ ඔය අඩු වයසින් විවාහ කරදීම් හරියට වෙලා තියෙනවා.. අපේ මුත්තාගේ අය්යා ( බෝගොන් මුත්තා) ගේ ආච්චිත් කඳන් ඇවිල්ල තියෙන්නේ අවුරුදු දාසයෙන්ලු

      Delete
  6. ගමේ ඉන්න යූඇංපී කාරයො 5 හේ පන්තියෙ ඉන්න ළමයෙකුටත් බයද?

    බාප්පාට නිවන් සුව පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன ,
      ඔව් ඔව් ඒ කාලේ යුඇන්පී කාරයෝ අපේ මෑන්ස් දේශපාලනයට එයි කියලා වත් බය වෙන්න ඇති. ( පහේ පන්තියේ ළමයා ) . එයා දැන් විදේශ රටක ඉන්න මහාචාර්ය වරයෙක්.

      Delete
  7. දුක තමයි ඉතින්. ඒත් ආවොත් යන්න එපැයි. අපේ අයට ජයග්‍රහනය සමරන්න හූවක් හරි තියන්න එපැයි. ඒ අපේ සිතීමේ දිග, පළල නේ. මරාගන්න සංස්කෘතියක්නේ. බාප්පා ගැන මතකය තව කාලයක් තියෙයි. ඊට පස්සේ අමතක වෙලා යයි. සුබ ගමන් කතුරු බාප්පේ......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ, ඇත්ත තමයි අපේ අයට චන්දයක් දිනුවට පස්සේ හුවක් හරි තියන්න ඕනා. කතුරු බාප්පා හරි හොඳ මනුස්සයෙක් . ඉස්සර එයා අපේ ගෙවල් වලට අවුරුද්දට එහෙම එනකොට ගේන්නේ පාන් ගෙඩියක් . අපේ අම්මා හිනාවෙනවා කතුරු බාප්පගේ ලෝභකම කියලා ..

      Delete