Follow by Email

Tuesday, 27 December 2016

..ජු මාමා අංජු මාමා වෙයි

මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නෙමි.

ඒ මගේ වාර්ෂික නිවාඩු සති පහ අපේ ගමේ සහ නිම්මිලා ගමේ  ගත කරන බලාපොරොත්තුවෙනි.

මේ ගමනේදී මා ලියන "සොඳුරු අතීතයට " සම්බන්ධ බොහෝ චරිත සහ ඔවුන්ගේ බිරින්දෑ වරු දුවා දරුවන් මුණ ගැසුණෙමි.
එමෙන්ම සුරංග , කල්යාන , ලොකුපුතා, දුයිෂෙන් වැනි බ්ලොග් රචකයින්ද මුණගැසුණෙමි.
සුරංග දුයිෂෙන් සහ ඔහුගේ පවුලේ අය සමග මා මුණගැසෙන්නට අපේ නිවසටම පැමිණියේය.

ඒ මා ජිවිතයේ මුහුණ දුන් සොඳුරුතම අවස්ථාවකි.
ලොකුපුතා මට ගාලු මුවදොරදී මුණගැසී රංජිත් රාජපක්ෂගේ නිවසට අවශ්‍ය ෆිලර් ලබා දුන්නේය.
ලොකුපුතා මට වඩා අවුරුදු බර ගණනකින් බාල පුතෙකි.

කලන සුපුරුදු පරිදි ඔහුගේ අහස සූරන මැදුරක සිට ( තවමත් ගොඩනැගෙමින් පවතින ) මා මුණගැසුනේ  බ්ලොග් වසන්තය සම්මාන ඵලකයද මට ලබා දෙමිනි.
මේ අපේ නෑදෑයින් නොවන එහෙත් සමීප සබඳකම් ඇති හිතවතුන්ය.

මේ අතර අපේ ... ජු මාමාගේ බිරින්දෑ  අපේ අම්මාට ඇමතුමක් ගෙන මගේ කතාවේ ඔහුගේ නම පමණක් ගමේ භාවිතා වන සත්‍ය නාමයෙන්ම සඳහන් කිරීම ගැන නෝක්කාඩු කියා තිබේ.

මා ඇය මුණගැසුණු මොහොතේද ආ ඒ බව සඳහන් කලේ
"අනිත් අය ගැන බොරුනම් දාල තියෙනවලු ඒත් ..ජු මාමාගේ නම විතරක් ඒ විදිහටම ලියලා " කියමිනි

"හරි හරි මං එයාගේ නම වෙනස් කරන්නම් කෝ. එයා තමයි මගේ වැඩ වලට  ගොඩක් සම්බන්ධ . ඒ නිසා ඒ නම නිතරම ලියවෙනවා. .


හැබැයි නැන්දා එයාගෙන් අහලා බලන්න .

ඔය ලියලා තියෙනවට වඩා ගොඩක් අකටයුතු කම් ඔය කට්ටිය කරලා තියෙනවා. "

ඒ අනුව අද සිට මගේ බ්ලොගයේ අංජු මාමා නම් චරිතය මතුවනු ඇත.

Thursday, 8 December 2016

ඇතුළෙන් ඉළියට ( රංජිත් රාජපක්ෂ පවුල අඳුරෙන් එළියට එන හැටි )

රංජිත් රාජපක්ෂගේ නිවස අපට හමුවන විට 

මේ තියෙන්නේ අපේ  වර්තමාන  සමාජ සත්කාරය වන රංජිත් රාජපක්ෂගේ නිවසයි.

මේ තත්වයෙන් අවුරුදු ගණනාවක් තිබු රංජිත්ගේ  නිවස  මේ වෙනකොට සෑහෙන රූපාන්තරණයකට ලක්වී අවසන්.

ඒ  අපේ  බ්ලොග් කියවන හිතවතුන්  සහ හිතවතියන් පිරිසක්  එකතු වී කල උදව් උපකාර වල ප්‍රතිඵලයක් වශයෙනි.

ඉහත චායාරුපය ඇතුළු තවත් චායාරුප සමුහයක් සහිතව මා මුලින්ම පලකළ බ්ලොග් පොස්ට් එක ඔබට මතක ඇති.

රංජිත්ලා අපි සම වයසේ ගමේ සිටි කාලය සහ  බද්දට ගත් රංජිත් ලා  කුඹුරේ  අම්මාත් මමත් එළවළු හැදු හැටිද මම එහි සඳහන් කලෙමි.

ඒ බ්ලොග් පොස්ටුවට ප්‍රතිචාර දැක්වූ අපේ හිතවතුන් රංජිත්ගේ නිවස මේ තත්ත්වයට ගෙනෙන්නට තම දායකත්වය සැපයුහ .

රංජිත්ගේ නිවස  බිත්ති ඔසවා වහලය ගැසීමෙන් පසු 

වහළය ගැසීම තෙක් රංජිත් ට සහය වන්නට එහි ගිය අප කපරාරුව ද කරන තත්වයට යොමු කලේ අපේ තාත්තා  සහ මේ චයාරුප ලබාදෙන කළු ( දයානි දිසානායක ) විසිනි.

එයට හේතු වශයෙන් ඔවුන් සඳහන් කලේ රංජිත්ට පාසැල් යන වයසේ දරුවන් තිදෙනෙක් සිටිනා බවත් වැඩිමහල් ම දරුවා ඉගෙනීමට ඉතා දක්ෂ අයෙක් බවත්ය.

එමෙන්ම දෙවෙනි දැරිවිය හෙට අනිද්දා වැඩි වියට පත්වන වයසක පසුවන බැවින් රංජිත්ගේ නිවස සැලකිය යුතු තත්වයකට ගෙන ආයුතු බවද කළුගේත් අපේ තාත්තාගේත් අදහස විය.


අපේ තාත්තා , ගමේ පන්සලේ හාමුදුරුවෝ රංජිත්, පොඩිදුව සහ ලොකු පුතා 

රංජිත් ගේ දුවලා දෙන්නා 

මේ අපි අපේ ගමේ හදවන හතරවෙනි ගෙදර. 

මුල්ම ගෙදර හිමිකාරිය කළු සහ ඇයගේ සැමියා ඇලෙක්ස් තමයි රංජිත්ගේ ගෙදරටත් උදව් කලයුතු බව අපට මුලින්ම කිව්වේ.

දෙවන නිවස හැදුවේ "චමින්ද" නම් වතු කම්කරුවෙකුට. නිවසේ වැඩ අවසන් වීමත් සමගම චමින්ද අප හා තිබු ගණුදෙනු සැහෙන්න අඩුකලා .  

චමින්ද තමන්ගේ වැඩේ අවසන් විමත් සමග ( භාගෙට ) අප කරනා අනෙක් වැඩ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවේ නැහැ. 

ඔහුට අවශ්‍ය වුයේ අප ඔහුගේ නිවසේ  වැඩ වලම රඳවා ගැනිමටයි. 

එහෙත් චමින්දට ලැබුණු උදව් උපකාර අඩුවීමත් සමග අප භාගෙට වුවත් හොඳට වැඩ නිමකළ ඔහුගේ නිවස ඔහුට භාරදී එතැනින් ඉවත් වුණා. 

මෙය ගම පුරා ඇවිද යමින් ඕපා දුප කියවන චමින්දගේ අම්මා ගේ හිතේ නොසතුටට හේතුවුණා කියලයි මට හිතෙන්නේ. 


ඒ වෙනුවෙන් මම ලියු බ්ලොග්පොස්ට් දෙකට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුණා. 


අප මෙසේ ගමේ ආර්ථික අපහසු කම් වලින් පෙළෙන අයට අත දෙද්දී ඒ දෙස බලා සිටි අනෙක් ගැමියන් විවිධාකාර අදහස් ඉදිරිපත් කර තිබුණා.

"ඇයි ඔය අතපය හතර හොඳට තියෙන මිනිස්සුන්ට උදව් කරන්නේ ? 

ඔයිට වඩා යමක් කමක් කරගන්න බැරි අය කොච්චර නම් රටේ ඉන්නවද ? ඇයි ඔය එක ගෙදරකටම උදව් කරන්නේ ?"


"මොකද  ඔය දොස්තර මහත්තයාලා හැම ගෙදරම භාගෙට හදන්නේ ? 

එකක් වත් හරියට ඉවර කරන්නේ නැතුව ? "



"ඕවට සෑහෙන සල්ලියක් හම්බවෙනවා ඇති  උඹලට පොඩ්ඩක් විතරක් දුන්නට . 

ඕක ලොකු එන්. ජී. ඕ.  එකක් වෙන්න ඕනා. 

ඔය ළමයින්ගේ ෆොටෝ එහෙම පෙන්නලා ලොකු ගානක්  ගන්නවා ඇති  සුද්දන්ගෙන් එහෙම "




වැනි අදහස්  ඒ අතර තිබුණ බව  කළු , අපේ තාත්තා සහ අපට සම්බන්ධ ගමේ හිතවතුන් ගෙන් දැන ගන්න ලැබුණා.

රංජිත්ගේ නිවසේ වැඩ ගැනත් ගමේ සමහරුන් බලා ගෙන හිටියේ මෙවැනි යමක් කියන්න. 

ඒ නිසාම රංජිත්ගේ නිවසේ කපරාරුව කරන්නත්  , එය අවසානය දක්වා කර ගන්නත් අපි  තුන්දෙනාට උවමනා වුණා.

රසිකලොජි, නිර්නාමික එහෙත් ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක්, දම්සෝ පුතා ඇතුළු බ්ලොග් ලියන හිතවතුන් රාශියකගේ සහභාගිත්වයෙන්  කපරාරුව ආරම්භ කළා.

අපේ හිතවත් බ්ලොග් රචකයෙක් වන මේනක වසන්ත  දවසක් පුරා ශ්‍රමයෙන් දායක වුණා " MBBS" කරමින්.

ඈත සිටියත් කල්‍යාණ මිත්‍ර, සුරංග රංජිත් වගේ අය  දවසක් හෝ  රංජිත්ට උදව්වට එන්න කැමැත්ත පළකලා.

මුලින්ම කෙරුණේ ගේ ඇතුළේ කපරාරුව.  එළියට පස්සේ එන්න හිතාගෙනයි ඒක ආරම්භ කලේ 

ඒත් අපේ  ළඟ තිබු මුදල් ප්‍රමාණවත් වුණේ ඇතුළේ කපරාරුවට  පමණයි.







ඒකත් කුස්සිය සහ තව එක් කාමරයක් හැර  තමයි ඉවර කරන්න පුළුවන් වුණේ.


මට අවශ්‍ය වුණේ  රංජිත් ගේ නිවසේ එළියේ බිත්ති දක්වාත් කපරාරුව රැගෙන එන්න.  

ඒ සඳහා මට  තවත් රුපියල් දහසය දහසක් නිර්නාමික ඔස්ට්‍රේලිවේ වෙසෙන ශ්‍රී ලංකික යකු  ලවා ලබා දෙන්න සිදුවුණා.

මේ චායාරුප වල තියෙන්නේ  එළියේ කපරාරුව කෙරෙන හැටි අද දහවල් කළුගේ මොබයිල් ෆෝන් එකේ කැමරාගත වුණා හැටි.







 දහසය දහස වැලි ටිපර් භාගයක් සහ සිමෙන්ති වලට වියදම් වූ පසු ඉතිරි වී ඇත්තේ බාස්ට දවස් දෙකකට පඩි දෙන්න විතරයි.

රංජිත් දිගටම වැඩ කරගෙන යනවා .  බාස් ට ඊළඟ පඩි ගෙවන්න උදව් අවශ්‍ය බව කියමින්.  



බාසුන්නැහැ සහ අත්වැඩ දෙන රංජිත් 



එළියේ බිත්ති එලිය වැටී









දැන් අපේ ගමේ අයගේ හිත් වල ඇති  දැවෙන ප්‍රශ්න යක්  ගැන මගේ හිතත් යොමුවෙනවා .



මේ ගෙදරත්  භාගෙට වෙයිද ???

උත්තරය:  " නෑ"   කියලා කියන්න බලමු .  

Tuesday, 6 December 2016

නමුණුකුල බාප්පා ( ලොකු අප්පා )





උදේ පාන්දරම  මගේ මොබයිල් එකට මිස් කෝල් එකක් ඇවිත් . බලනකොට අපේ ගෙදරින්

" ඒයි  දැන් ලංකාවේ වෙලාව කීයද ?

රෑ දෙකයි  වගේ නේද ?

මොකද  දන්නේ නෑ  අපේ කට්ටිය මට රින්ග් කට් එවන්නේ

කාට වත් කරදරයක් වත්ද ? "  මම නිම්මිගෙන් ඇසුවෙමි. ඇය සිටියේ මගේ  උදේ තේ එක හදමිනි.

" ලොක්කා වත් අසනීප වෙලාද දන්නේ නෑ එහෙනම් ? "

ඈ මා දෙස  ගැටළු සහගත බැල්මක් හෙළුවාය.

" කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක .

කෝකටත් මොකද කියලා බලන එක හොඳයිනේ "

මම අපේ ගෙදරට ඇමතුමක් ගත්තෙමි.

" හලෝ  අම්මා ..  මොකද මේ රෑ දෙගොඩහරියේ නැගිටලා ? කාටවත් කරදරයක් වත්ද ? "

එහා පැත්තෙන් දුරකතනයට පිළිතුරු දුන්නේ මා ඇමතු වහාම දුරකථනය ට පැමිණ සිටි අපේ අම්මා විසිනි .

" ඔව් පුතා නමුණුකුල ලොකු අප්පා නැති වෙලා  .

උණ  හැදිලා හිටියේ කිව්වා . ඊයේ රෑ හදිසියේම නැතිවුණා ලු"

අම්මා ශෝක බරිත හඬකින්  තම නැගණියගේ ස්වාමි පුරුෂයා  මියගිය බව මට සැලකර සිටියාය.

මේ ශෝකාකුල ආරංචියත් සමගම මම අවුරුදු බර ගණනක් අතීතයට ගමන් කළෙමි.

නමුණුකුල විස්තර 



අපේ අම්මාගේ ලොකුම නංගි  විවාහ වී සිටියේ නමුණුකුල සිටි තැපැල් පියුම් මහත්තයෙක් සමගයි. 

කණවැරැල්ල  උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සිටි  නමුණුකුල බාප්පා  අපේ පුංචිට වඩා අවුරුදු පහළොවක් පමණ වයසින් වැඩි කෙනෙක් බව මගේ මතකය පවසයි. 

වයස අවුරුදු දහහතරක් හෝ පහළොවක් වැනි අඩු වයසකදී  අපේ  මුත්තලා විසින් ඇය විවාහ කර දී තිබුණේ  අපේ අම්මා හා තාත්තා විවාහ වන්නටත් අවුරුදු හතර පහකට පමණ පෙර කාලයකයි.

ඉස්කෝලේ නිවාඩු කාල වලදී නමුණුකුල බාප්පලා ගෙදර යන්නට පුරුදු වී සිටි මට ඔහු තැපැල් පියුම් කෙනෙක් ලෙස සේවයට ගිය හැටි තාමත් මතකය .

කාකි කොට කලිසමක් සහ පිත්තල බොත්තම් ඇල්ලු කාකි කෝට් එකකින් සැරසෙන බාප්පා  පොලිස් කාරයින් පළඳින වර්ගයේ තඩි සපත්තු දෙකක්ද පළඳියි.

ඊට අමතරව ලොකු කාකි පාට තොප්පියක් පැලඳ  උදේ හය හය හමාර වනවිට බයිසිකලයත් රැගෙන කනවැරැල්ල බලා පිටත් වෙයි.

එසේ වැඩට පිටත් වෙන බාප්පා හවස තුන තුනහමාර පමණ වන විට නැවත නිවසට පැමිණෙන්නේ

"සුගුණෝ හරි මහන්සියි බන් ඔය කහට ඩිංගක් වක් කරලා ගනිං කෝ " කියමින් අපේ පුංචි අම්මා අමතමිනි. 




නමුණුකුල බාප්පා තද යුඇන්පී  කාරයෙක් වු අතර එය අපේ අම්මලාට ප්‍රයෝජනවත් වුයේ 1977 චන්දයෙන් පසු උදාවූ  භීම සමයේදීය .

තාත්තා සමග ශ්‍රී ලංකා රැස්වීම් වල කවි කියූ නිසා චන්දයෙන් පසු කිරඹඔයේ සිටි එක්සත් ජාතික පාක්ෂිකයින්  අපේ සමන්තව පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබිණි.

කිරඹ ඔයේ අයටත් වඩා තදබල  එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ  නමුණුකුල බාප්පා අපේ අම්මලාගේ පිහිටට එන්නේ මේ වේලාවේදීය .

සමන්තත් අපේ ලොකු අක්කත් නමුනුකුලට  රැගෙන ගිය ඔහු  අපේ ගමේ ඔහුගේ පාක්ෂිකයින්ට  අමතක වනතෙක් ඒ දෙදෙනා ඔහුගේ නිවසේ සිට පාසැල් යැව්වේය.

නමුණුකුල නැවතී පාසැල් ගිය අක්කත් සමන්තත් බලන්න අම්මා නිතර නිතර බාප්පලා ගෙදර ගියාය.

ඒ ගිය හැම වතාවකම  බාප්පා සමන්ත ගැන අම්මා සමග ගතු කීවේය. හේතුව තද බල එක්සත් ජාතික පාක්ෂිකයෙකු ගේ නිවසේ සිටිනා අතර සමන්ත දිගටම  තාත්තලා ගේ ප්‍රගතිශීලි දේශපාලනය ගැන කතා කිරීමයි.
ඊට අමතරව  ඒ වන විට පහේ පන්තියේ සිටි අපේ අය්යා  නමුණුකුල මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට  බිත්ති පුවත් පතක් ආරම්භ කර තිබිණි.

සමන්තගේ  ලිවීමේ හැකියාව දුටු විදුහල්පති තුමා ඔහු බිත්ති පුවත් පතේ කතෘ තුමා බවටද පත් කර තිබිණි.

එක් වරක් තම දුව සහ පුතා බලන්නට නමුණුකුල ගිය අම්මා  බාප්පා ගෙන් ඔවුන්ගේ වැඩ ගැන අසා ඇත.

"අය්යා කොහොමද කොල්ලගෙයි කෙල්ලගෙයි ඉස්කෝලේ වැඩ එහෙම ? "

"කෙල්ල ගෙන් නම් කරදරයක් නෑ නංගි හැබැයි කොල්ලා නම් ගානට වැඩියි "

"ඒ කිව්වේ අය්යා ? "

"නංගි උඹේ කොල්ලා හිතන් ඉන්නේ එයා මහලොකු ලියන්නෙක් කියලා . ඔය හැමතැනම   කතුරු කතුරු ගගා ලිය ලියා ඉන්නේ "

" මම නම් දන්නා කතුරක් නෑ හැබැයි ඔහොම ගියොත් මහා අමාරුවක තමයි මෙයා වැටෙන්නේ "


එසේ කියමින් සමන්තගේ බිත්ති පුවත් පත් කලාව ඇතුළු ලිවීමට විරුද්ධව කතා කර ඇති නමුණුකුල බාප්පා එක් වරම තම කේන්තිය පිට කර ඇත්තේ

මෙයා ගේ ඉතින්


"අතන කතුරු , මෙතන  කතුරු , පුකේ කතුරු "



කියමින් අතක්  හරහට අතක් යවා " පුකේ කතුරු කොටස"  රඟ දක්වමිනි.

ගෙදර පැමිණි අම්මා ඒ රඟ දැක්වීම එලෙසම අප හට රගපා පෙන්වූ මොහොතේ මමත් චුටි නංගිත්  බඩ අල්ලාගෙන සිනාසුනෙමු.



Friday, 2 December 2016

පුංචි චන්දය



දැන් කාලේ  අපේ රටේ  චන්දයක්  තිබ්බොත් එය කුඩා යුද්ධයක  ස්වරුපය  ගන්නා බව නොරහසකි.

අපේ අම්මලා  තාත්තලා කියන්නේ 1977 ට පෙර තිබු චන්ද ව්‍යපාර ඉතා  විනෝදජනක  ඒවා වූ බවයි. 

අවාසනාවකට  මට සහ අපේ පවුලේ  සියළු  දරු දැරියන්ට මතකයේ රැඳී ඇත්තේ 1977 ජන්දය සහ ඉන් පසුව පැවති  ලාම්පු -කළගෙඩි ජන්දය වැනි යම් යම් කළබල කාරී සිදුවීම් ඇතුළත් ජන්ද ව්‍යාපාරයි.

ඔබ දැන් මා නැවතත් දේශපාලනය සම්බන්ධ ලියවිල්ලකට යොමුවනවා යැයි හිතනවා  ඇති.

 නෑ මේ කියන්න යන්නේ  අපේ සමන්ත , අක්කා , චුටි නංගි සහ මා සම්න්ධ වූ "පුංචි චන්දයක් " ගැනයි.

ඒ වනවිට  කුඩා දරුවන් වූ අප  නිවසේදී  එකිනෙකට වෙනස් ආකාරයේ සෙල්ලම් වල යෙදෙන්නෙමු. 


"ඒයි  චුටි , චුටි පුතා  වරෙල්ලා සෙල්ලම් කරන්න "

කණඩායමේ  නායකයා වූ සමන්ත අය්යා  අප සෙල්ලමට කැ ඳවුයේය.

"අද මොකක්ද අපි කරන සෙල්ලම?  "

"අපි මගුල් ගෙදරක් තියමු "  යෝජනාව  අපේ චුටි නංගි  ගෙනි.

" නෑ ඒක හරියන්නේ නෑ  ඒකට මනමාලියෙක් , මනමාලයෙක්  වගේම  අෂ්ටක  කියන්න කට්ටියත් එපැයි.

මල්කා, කළු එහෙම මෙහේ ආපු දවසක ඒ සෙල්ලම කරමු. 

අද අපි වෙන සෙල්ලමක් කරමු. "

සමන්ත  චුටි නංගි ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් දැම්මේය.

"ඒයි ශාන්ත   ඒක නෙවෙයි අපි අද  චන්දයක් තියමුද? "

යෝජනාව ලොකු අක්කා ගෙනි.

"අන්න හොඳයි . අපි චන්දයක් කරමු .

හරි දැන් පක්ෂ දෙකට කට්ටිය බෙදෙන්න වරෙල්ලා "

සමන්ත අය්යා අපි කට්ටිය චන්දයට සහභාගී වන පක්ෂ දෙකට වෙන් කල යුතු බව සඳහන් කළේය.

චන්ද  සෙල්ලමට  අප කණ්ඩායම් දෙකකට  බෙදිය යුතු විය.


බොහෝ විට පිරිසේ නපුරුම සහ ගණන් කාරම සාමාජිකයා වන්නේ වයෙසෙන් වැඩිම කෙනා වූ  සමන්තයි.

ඔහු අප සියළු දෙනා භය කරගෙන ඉන්නා නිසා මා බොහෝවිට සිට ගන්නේ අක්කා සමගය.

එදත් මම ඉක්මණින්ම අක්කාගේ පක්ෂයට එකතු වුයේ චුටි නංගිට විකල්ප පක්ෂයක් ඉතිරි නොකරමිනි.

ඇය වෙනදා මෙන්ම එදත් සමන්තගේ පැත්තේ කණ්ඩායමට එකතුවුවාය.

ප්‍රධාන පක්ෂ දෙක   එක්සත් මහජන පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පෙරමුණ වැනි අමුතු නම් දෙකක් ලබා දෙමින් වෙන් කෙරුවේ සමන්ත විසිනි.

ලොකු අක්කා එක්සත් මහජන පක්ෂයේ නායිකාව වුවාය . මම එම පක්ෂයේ ලේකම් තුමා වුයෙමි.

සමන්ත  පෙරමුණේ  සභාපති වූ අතර චුටි නංගි එහි ලේකම් තුමිය වුවාය.

ඉන් අනතරුව සිදු වුයේ පක්ෂ ලකුණු තෝරා ගැනීමයි.  එය පක්ෂ නායකයාට අයිති කාර්යක් බව ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති තුමා විසින් දැනුම් දුන්නා පමණි.

"අපේ පක්ෂේ ලකුණ බෝතලය " ලොකු අක්කා වහාම තම පක්ෂ ලකුණ සභාවට හෙළි කලාය.



" සමන්ත උඹලා ගේ පක්ෂේ ලකුණ මොකක්ද ? "  ඇය තම ප්‍රතිවාදියා ගෙන් විමසා සිටියාය .

"අපි තවම ලකුණක් ගැන හිතනවා . නේද ලොකු අය්යා ? "

චුටි නංගි හඬ ඉස්සර කලාය.

"හු... හු .. මෙන්න මුන්  දැන්මම පැරදිලා  . තවම තමන්ගේ පක්ෂේ ලකුණ ගැනවත් හිතලා නෑ. "

මම චන්දය ආරම්භ වන්නටත් මත්තෙන් අපේ පැත්තේ සටන් ව්‍යාපාරය පටන් ගත්තෙමි.

"අනේ පලයන් බන් යන්න . බෝතලේ දිනන්නේ කොහෙද ?

 අපි ලකුණක් හිතා ගෙන හිටියේ අපේ ලේකම් තුමියට දැනුම් දෙන්න බැරිවුණාට.

අපේ ලකුණ තමයි පනාව.

අපි පාටකුත් තේරුවා අපේ පාට නිල් "

සමන්ත මට සමච්චල් කරමින් සිය පක්ෂයේ චන්ද ලකුණ  සහ වර්ණය ජනතාව හමුවේ තැබීය.

"උඹලා එහෙමනම් කොළ පාට ගනිල්ලා " ඔහු අපේ පක්ෂයේ පාටද තීරණය කර තිබිණි.

"හා.. හා නිල් පනාව ? හරියට පල්ලැහැ පොඩි බාප්පාගේ හිල් පනාව  වගේ "

මම නැවතත් සමන්තලා ගේ චන්ද ලකුණ සමච්චලයට ලක් කෙළේ අපේ තාත්තගේ මල්ලි කට කොණකින් දානා සමච්චල් හිනාවද මතක් කරමිනි.




"හරි හරි බලමුකෝ පනාවද  බෝතලේද දිනන්නේ කියලා. නේද ලොකු අය්යා ? "

"නිල් පනාව" පක්ෂයේ ලේකම් තුමිය පක්ෂ දෙකේම  ලොක්කා වූ සමන්ත දෙස බලමින් පැවසුවාය.

ඇය කවදත් ලොක්කා සමග එකතු වුයේ ඔහුට ඇති භය වගේම ඔහු හොඳින් හෝ නරකින් සෙල්ලම් ගෙදර ජයග්‍රාහකයා වන බවද හොඳින් දන්නා නිසාය.

චන්ද සටන ඇරඹේ

මුලික පක්ෂ වැඩ වලින් පසුව එළැඹියේ චන්ද ප්‍රචාරක වැඩ පිළිවෙලයි.  පුංචි චන්දයක් වුවද මහා චන්දයකට  නොදෙවිනි පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි.

සුදු පාට හාෆ් ෂිට් කොළ ඉවර වෙන තෙක් නිල් පාටින්

 "පනාව දිනවමු", 

"පනාවට ජය"  

"අපි පනාවට , පනාව අපිට " වැනි සටන් පාඨ ලියවුණේ මුතු කැට වන් අකුරිනි. 

ඒ පක්ෂ නායක සමන්තගේ අත් අකුරුය.

අපේ පැත්තේ සටන් පාඨ සකස් කලේ අක්කා විසිනි 

සමන්තලාගේ මෙන් තම චන්ද ලකුණ ඉල්ලක්ක කර නොගත් ඒවා විරුද්ධ පක්ෂයේ ලකුණට මඩ ගහන වර්ගයේ ඒවා විය .

හාෆ් ෂිට් එකක්  පුරා 

"හිල් පනාව  අපට එපා "

"කුණු පනාව අපට එපා"

වැනි සටන් පාඨ ලියන ලෙස මට උපදෙස් දුන්නේ සභාපති අක්කා විසිනි.

මමත් සමන්තට නොදෙවිනි  මුතුකැට අකුරින් අපේ පක්ෂයේ පෝස්ටර ව්‍යාපාරය ආරම්භ කලෙමි.

ගෙදර එළිය පැත්තේ බිත්ති වල , කක්කුස්සියේ බිත්තිය  ආදී තැන් වල පෝස්ටර් ඇල වීම සිදු විය.

අප පෝස්ටර් ඇලවූ වහාම නිල් පක්ෂයේ කට්ටිය ඒ දෙස බලා ගෙන ගියේ අධික කෝපයකිනි.

හේතුව අප ඔවුන්ගේ චන්ද ලකුණ අපහාසයට ලක් කිරීමයි .

අක්කත් මමත් අපේ පක්ෂ කාර්යාලය ( ලොකු කනප්පුව උඩින් රෙද්දක් දමා සකස් කල )  අසලට වී සිටිද්දී කෝපයට පත් අනෙක් පක්ෂයේ අය  වහ වහා පෝස්ටර් අඳිනු පෙනුණි. 

සුළු මොහතකින් දෙවන වටයේ පෝස්ටර් ව්‍යාපාරය ඇරඹුණේ තරමක් සැර බර සටන් පාඨ වලිනි.

ඉන් මගේ සිත්ගත් සටන් පාටයක් වුයේ සමන්ත විසින් නිර්මාණය කල  බෝතලයක් ඇඳ ඒ වටා  

"බෝතලයට ගූ  පුරවමු "

යන ආකර්ශනීය චන්ද පෝස්ටරයේ වූ සටන් පාඨ යයි.

පෝස්ටර් බලමින්  යන අතරේ මේ දුටු සභාපති අක්කා වහ වහා අපේ කනප්පු කාර්යාලය වෙත දුව ගියාය.

මම ලියන්නටත් පෙර කොලපාට පැලැටිග් නම් එක අතට ගත් ඈ පොල්ගෙඩි අකුරින්  හාෆ් ෂිට් ගණනාවකම  තම පිළිතුරු පෝස්ටරය ඇන්දාය.

බෝතල් සටන් පාඨය මෙන්ම ආකර්ශනිය වූ එම පෝස්ටරයේ ලියා තිබුනේ 

"පනාව කක්කුස්සියට දමමු "  කියාය. 

පනාවේ සහ බෝතලයේ ගුණ අගුණ විස්තර කරමින් රැස් වීම් කිහිපයක් ද මේ වන විට පැවැත් වී තිබුණි.

එහෙත් වලියට බර පෝස්ටර් ව්‍යාපාරය නිසා  චන්දය පවත්වන්නත් පෙර උදා වුයේ චන්ද ගැටුම් ව්‍යාපාරයයි .

කුස්සිය පැත්තේ අගුව දෙසට ගිය අපේ පක්ෂ සාමාජිකයින් බිත්තිය මුල්ලට වී සැඟවී සිටියේ අනෙක් පක්ෂයේ අයට පහර දීමටයි.

සැඟවී සිට පහර දීමෙන් ආරම්භ වූ චන්ද ගැටුම් උත්සන්න වීම නිසා සෙල්ලම් කිරීම නවතා  පැනයාමට මුලින්ම තීරණය කලේ චුටි නංගි විසිණි.

දෙවනුව සමන්තත් ඉවත් වීමත් සමග පුංචි චන්දයේ වැඩ කටයුතු නිමාවට පත් විය.