Follow by Email

Saturday, 22 October 2016

හිසට වහලක් හිතට නිවනක්





පසුගිය කළාපයකින්   රංජිත් රාජපක්ෂගේ  නිවසේ  වහලය  හැදීමේ  වැඩ  ගැන කතා කළා මතකයි .

ඒ  පොස්ට් එක බලා බ්ලොග් කියවන /බ්ලොග් ලියන කිහිප දෙනෙක්ම  රංජිත් ගේ උදව්වට ආවා.

අද ලියන්න යන්නේ රංජිත්ගේ  භාගෙට වැඩ කර තිබු නිවසේ  වහළය සකස් කරගත් හැටි කියැවෙන කතාවයි.

මුලින්ම  සිදු කෙරුනේ වහලයට අවශ්‍ය  ලි  සකස් කර ගැනීම  සහ භාගෙට  බැඳ තිබු බිත්ති  ගේබල්  උස්සා  වහළය ගැසීමට සුදුසු ලෙස සකස් කර ගැනීමයි.

මේ සඳහා  මා විසින් යොමුකළ රුපියල් තිස් දහසක්  අපේ ගමේ නියෝජිත  චාමර මල්ලී  ( චාමර රාජපක්ෂ )  අදාළ තැන්වලට ගෙවා තිබුණා.

ලී වලට   රුපියල්  15070 ක් සහ ගඩොල් වලට  රුපියල් 12000 ක් වශයෙන්.

චාමර මල්ලී සහ රුවන් මල්ලී   එවූ  ලී තුණ්ඩුව


ප්‍රොජෙක්ට්  එකේ මුල් කාලයේදී  මම අපේ තාත්තා  සහභාගී  කර ගත්තේ  නෑ  . හේතුව  "කිරඹ ඔය"   ප්‍රදේශයේ  (අපේ ගමේ රාජපක්ෂලා ඉන්න කොටසේ )  සමහර මිනිසුන් "මල්දෙණියේ  " කෙනෙකු වූ  ඔහු එවැනි වැඩ වල යෙදෙනු දැකීමට ඇති අකමැත්ත නිසා.

මා  මගේ මුල්ම බ්ලොග් පොස්ට් වල සඳහන් කළා වගේම  මේ ගම් දෙකේ අය නිරන්තර "බල "ගැටුමක නිරත වෙන කට්ටියක්.

ඒ "බල  අරගලය"  මගේ වැඩ වලට  බාධාවක්  කර නොගන්නයි මට  ඕනෑ වුණේ.

ඒ අනුව  රුවන්  මල්ලී  ( අපේ පුංචිගේ පුතා ) , විස්කම් මල්ලී ( සමරසිංහ මාමගේ පුතා )  සහ අසංක ( අමරේ මාමගේ පුතා ) ඇතුළු පිරිසක්  මේ වෙනුවෙන් සහභාගී කර ගත්තේ ඔවුන්  කිරඹඔයේ  නැගී එන තරුණයින් ලෙස  කාගේත් සිත් දිනා ගෙන සිටි නිසයි .




විස්කම්  සහ   අසංක  




බිත්තිය  ඉහළට යනවිට  අපි පොඩියට පෙනෙන්නේ 


ඊළඟට කරන්නට තිබ්බේ දෙපැත්තේ බිත්ති දෙක සහ හතර වට බිත්ති  වහලය ගහන මට්ටමට ඉස්සිමයි.  ඒ සඳහා අවශ්‍ය සිමෙන්ති  සහ වැලි සකස් කර ගත්තත් බාස් කෙනෙක් සොයා ගැනීම තරමක් අපහසු වුණා.

අපේ මුල්ම නිවසේ වැඩ කල  "රාමන් " මල්ලී  හට පණිවිඩ කිහිපයක් යැව්වත් ඔහු වත්තේ කෝවිලේ වැඩක  සිරවී සිටින බවයි ආරංචි වුණේ.

මේ වගේ වෙලාවට  මගේ ඉවසීමේ සිමාවන්  ඉක්මවා යෑම සිද්ධ වෙන්නේ හරි පහසුවෙන්.

බාස් කෙනෙක් ගෙන්වා ගන්නට චාමරට හෝ නුවන්ට බැරි වීම නිසා මම අපේ  තාත්තා දෙසට හැරෙන්නට තීරණය කළා.

මේ වන විට  අපි රංජිත්ගේ ගෙදර වැඩට බැහැලා  සිටි බව වත් තාත්තා දන්නේ නෑ.  

මම තාත්තට සිද්ධිය මුල සිටන් විස්තර කර මෙතැන් සිට වැඩේ හැසිරවීම සඳහා සහය වන ලෙස ඉල්ලා සිටියා.  
කිරඹඔයේ කට්ටිය කොච්චර අකමැති වුනත් තාත්තා ගේ සංවිධාන ශක්තිය ඉස්තරම්ම බව අපි කවුරුත් දන්නා  කාරණයක්.

ඔහු පසුදා උදෑසනම   පොඩි අප්පු මාමා  රන්ජිගේ ගෙදර වැඩ වල මේසන් විදිහට ගෙන්වා ගත්තා.  

ඒ අනුව බිත්ති ඉහළට එසවීම ආරම්භ වුණා.




එහෙන් මෙහෙන් ගමේ කාන්තාවක් දෙන්නෙක්  

"අපේ මහත්තයා ඕකට එන්න කැමති නෑ  . 

මොකද අර  නාමෙයා  ඔතන ගෑවිලා ඉන්නවනේ  " 

වැනි කතා කියූ බව මට ආරංචි වුණා.

එහෙත් මම තාත්තා වැඩේට ගාවා ගැනීමත් සමගම රන්ජිගේ ගේ වැඩ ඉතා වේගයෙන් ඉදිරියට යන්න පටන් ගත්තා. 




ඒ අතර රංජිත් ගේ ලොකු තාත්තගේ පුතා ගේ නිවසින් කෑම සකස් කිරීම වැනි දේවල් වලට සැහෙන සහයෝගයක්   ලැබුණා. 

මේ හැම තැනකම  ඉතා උනන්දුවෙන්  ගැවසුණ තව කෙනෙක් හිටියා ඒ  තමයි  අපි හදා දුන් මුල්ම නිවසේ හිමිකාරිය  කළු.

කළු  වියිබර් , ඉමෝ සහ ෆේස් බුක් හරහා රන්ජිත්ලා ගෙදර වැඩ වල ප්‍රගතිය  මට දැන්වුවා. 



කිහිප වරක්ම ඇයගේ  ෆෝන් එකෙන් රංජිත් , බාසුන්නැහෙලා  පමණක් නොව අපේ තාත්තාත්  වැඩ කරන අතරේදී මා හා සම්බන්ධ කළා.

මේ අතරේ  ධාතු මන්දිරයක් හදමින් සිටි ගමේ පන්සලේ හාමුදුරුවෝ කතරගම සුනෙත්ත හිමිපාණෝ මා  හා සම්බන්ධ විය.

මම  ගමේ අය  හාමුදුරුවන් කෙරෙහි ඇති  ගරුත්වය රංජිත් සහ අපගේ වැඩ වලට පහසුවක් කර ගන්නට සිතුවෙමි.

හාමුදුරුවනේ පුළුවන් කමක් තියෙයි නම් රංජිත්ගේ ගේ හදන පැත්තේ ගිහිල්ලා එන්න.

වියිබර් ඔස්සේ හාමුදුරුවන් ඇමතු මම යෝජනා කළෙමි.

මා දන්නා හැටියට හාමුදුරුවොත් මා වැනිම කෙනෙකි . තමන්ට අවශ්‍ය දේ කවුරු ආවත් නැතත් කරගෙන යෑම උන්වහන්සේගේ සිරිතයි.

මා යෝජනා කල පරිදිම වරක් නොව දෙවරක් ම උන්වහන්සේ  රංජිත් නිවසට  වැඩම කලේද ඒ ගතිය නිසාම විය යුතුය.







පළමු වරට රංජිත් නිවසට පැමිණි හාමුදුරුවෝ අපේ තාත්තා සහ රංජිත් සමග 



මේ  අතර කළු  වැඩ කරන අයට කෑම උයන "කුස්සියේ අය" සමග මට කතා කරන්නටත් සැලස්සුවා .



රංජිත්ගේ බිරිඳ ( වම් කෙලවරේ ) සහ අනෙකුත් කාන්තා  ස්වෙච්චා  සහභාගිකාවන්   රංජිත්ගේ  ලොකු අප්පලා ගේ ගෙදර  කෑම සකස් කරමින්

වහලේ වැඩ ආරම්භ වෙයි






මේ අතර වහලේ වැඩ  සති අන්තයක කල යුතු බව  මා තාත්තාට සහ රංජිත්ට යෝජනා කළා.  


එහෙත් පොඩි අප්පු මාමා ( හෙඩ් බාස් ) තවත් වැඩක් අමුණාගෙන සිටි නිසා එය එසේ සිදුවුයේ නෑ.

මම නැවතත් තාත්තට කතා කළා. 

"තාත්තා මොකද වෙන්නේ  රංජිත්ගේ  වහලේ වැඩ පටන් ගන්නේ නැද්ද ?"

"මේකනේ පුතා යට ලීය  තියා ගන්න විදිහක් නෑ පොඩි අප්පු අය්යා මහියංගනේ ගිහින්. "

"තාත්තා මිනිහට කෝල් එකක් ගත්තේ නැද්ද? "

"ගත්තා ,  ගත්තා  ම්හු  ෆෝන් එක උස්සන්නේ නෑ. "

මේ අතරේ මම රන්ජිත්ටත් කතා කලා 


"රංජිත් ,  කොහොමද වැඩ?"

"හා දොස්තර මහත්තයා  බිත්ති වල වැඩ නම් ඉවරයි.  දැන තියෙන්නේ වහලේ වැඩේ "


 "හරි හරි  වහලේ ගැන තමයි මමත් අහන්නේ 

මොකෝ  මනුස්සයෝ වෙන්නේ සෙනසුරාදා ගහනවා කියපු වහලේ තවම ගහලා නෑනේ ? " 

මම තරමක් සැරෙන් ප්‍රකාශ කර සිටියා.

"මේකනේ මහත්තයා පොඩි අප්පු අය්යා මහියංගනේ  ගිහින්ලු  .

 එයා නැතිව යට ලීය තියන්න බෑ."

රංජිත් ද තාත්තා කියූ කතාවම කියයි.

මට අසු හාර දාහට ටිකක් අඩු වන්නට කේන්ති ගොස් තිබිණි.

බාස්ලා මෙච්චර ඉන්නා ගමේ වහලේ වැඩට මිනිහෙක් නැති හැටි. 

මම කල්පනා කලෙමි.

මේ අතර  ණුවන් මල්ලී ගෙන් දැන ගත් පරිදි  පොඩි අප්පු මාමා ඒ ගමේම  තවත් ගෙදරක් හදන්නට  භාර ගෙන තිබේ.

එදාම  උදේ ඒ නිවස අසල පොඩි අප්පුගේ යමහා සුපර් කබ්  එක  නවත්වා තිබුණ බව ණුවන් මල්ලී මා හා පැවසුවේය.

මම රංජිත් ඇමතුවෙමි.

"රංජිත් තමුසේ කියනවා පොඩි අප්පුට දොස්තර මහත්තයා කිව්වා හොඳින් හරි නරකින් හරි හෙටම වහලේ වැඩ පටන් ගන්න ඕනෑ බව. 

මිනිහා මහියංගණේ බැරිනම් කොයි තූත්තූ කුඩියේ හිටියත් මට කමක් නෑ.  

භාර ගත්තු වැඩේ ඉවර කරන්න කියනවා ඇද ඇද ඉන්නේ නැතිව. 

අපේ තාත්තාටත් ඒකම කියනවා . මමත් එයාට මතක් කරන්නම් "

"හරි හරි මහත්තයා  අපි අද දවසේ ඇතුලත කොහොම හරි මිනිහා සම්බන්ධ කරගන්නම් "

ආරංචියේ හැටියට එදා පොඩි අප්පු මාමා අල්ලා ගන්නට මේ දෙදෙනාටම නොහැකිවී තිබේ. 

රෑ බෝ වෙද්දී තාත්තා ඔහු සමග දුරකතයෙන් සම්බන්ධ වුවද පසුදා වැඩට පැමිණිය  නොහැකි බව ඔහු තාත්තාට පවසා ඇත.

මේ වන විටත් මගේ දෝස් මුරයට භාජනය වී සිටි තාත්තා 

"හෙට ආවේ නැත්නම් ආයේ ආවේ නැතිවට කමක් නෑ  . 

අපි වෙන කෙනෙක් දාලා හෙට වහලේ ගහනවා නැත්නම් මට චුටි පුතාගෙන් විසුමක් වෙන්නේ නෑ . "

යැයි පොඩි අප්පුට පවසා තිබේ. 

කිවූ පරිදිම පසුදා හෙඩ් බාස් වෙනුවට වෙන බාස් කෙනෙක් යොදා වැඩේ ආරම්භ විය. 

මම කලුගේ දුරකථනය හරහා අලුත් බාස් සමග සම්බන්ධ වීමි.

"මල්ලි ඔයා කෙටි දැනුම් දීමක් මත වුනත් මේ වැඩේට සමබන්ධ වීම ගැන සන්තෝෂයි .  

වැඩේ ඉවර වෙනකන් ඔතන ඉන්න. 

අපි පඩි දෙනවා භය වෙන්න එපා "

පොඩි අප්පු වැඩට නොඑන්නේ අප ළඟ මුදල් නැතිව ඇති යැයි සිතු නිසා වත් දෝ යන දෙගිඩියාවෙන් සිටි මම පැවසුවෙමි. 



කිරඹ ඔයේ විපුල්  වහලේ වැඩ වල උදව්වට ඇවිත්



උක්කුං මල්ලී සහ විස්කම් ( ගුරුවරයෙකි ) මල්ලී 



පළමු දවසේ වැඩ හෙඩා නැති වුවද සාර්ථකව අවසාන විය. තාත්තා ඇමතු මම පොඩි අප්පු ආවත් නැතත් වැඩේ ඉදිරියටම කරගෙන යන ලෙස උපදෙස් දුන්නෙමි.

එහෙත් දෙවැනි දවසේ  පොඩි අප්පු මාමා ද  වහලේ වැඩට එකතු විය. 



පොඩි අප්පු  මාමා ( හෙඩ් බාස් ) සහ  උදව්වට  පැමිණි අය 





අසංක මල්ලී ( මේ ගෙදර වැඩට වඩාත්ම  ශ්‍රමයෙන් දායක වූ කිරඹ ඔයේ තරුණයෙක් )






නැවතත් "ඉමෝ" සහ කළු රන්ජිත්ලා නිවසට යැව්වෙමි.  ඉමෝ ඔන් කල කළු දුරකථනය  වහලයට යැ ව්වාය. 

"කෝ පොඩි අප්පු මාමා  .මෙන්න දොස්තර මහත්තයා කතා කරනවා කියන්න "

දුරකථනය  වහලය උඩ සිටි කොල්ලෙකුට දුන් ඈ  කියා සිටියාය. 

"පුතා මේ  පොඩි අප්පු මාමා කතා කරන්නේ "

බුලත් විටක් හපමින් වහලය මත සිටි හෙඩ් බාස් උන්නැහේ මගේ ඇමතුමට උත්තර දුන්නේය.

"මාමා මොකද ඊයේ උනේ. අපේ කට්ටියට හොයා ගන්න බැරිවුණා කිව්වේ ? "

මම කෙලින්ම මාතෘකාවට බැස්සෙමි.

"නෑ පුතා මේ හදිස්සියේ මහියංගණේ යන්න වුනා එනකොට රෑ වුණා."

පොඩි අප්පු තුන්වන වරටත් මහියංගණ චාරිකාව සිහිකළේය.

"ඔව් ඔව් මට ආරංචියි.  

මාමා තවත් ගෙදරක වැඩ භාර අරගෙන හිරවෙලා ඉන්නවාළු නේද අර කිව්ලේ ගෙදර අය්යලා ගේ ? "

මම මහියංගණේ නොව අපේ ගමේම ඇති පොඩි අප්පුගේ බයිසිකලය නවතා තිබුනා යැයි කිවූ නිවස ගැන ඔහුට මතක් කර දුන්නෙමි.

"ඒක නෙවෙයි අද වැඩේ කොහොම හරි ඉවර කරන්න බලන්න " වැඩේ අවසන් කල යුතු බවද ඔහුට මතක් කර දෙමින් සංවාදය හමාර කලෙමි. 






අසංක ඇතුළු  පිරිස වහලේ ගසමින්. 




අවසානයේ  ඇදී ඇදී යනු ඇතැයි සිතු වහලය දින දෙකක් ඇතුළත අවසන් කෙරිණි.  

මෙහි ප්‍රසංසාව හිමිවිය යුතු විශේෂ පුද්ගලයින් අතර අපේ තාත්තා, කළු, හාමුදුරුවෝ , ණුවන් මල්ලී සහ අසංක මල්ලී ප්‍රධානය. 

කවදත් මෙවැනි වැඩ වලදී මගේ නියෝජිතයා ලෙස වැඩ කරන චාමර මල්ලී රංජිත්ගේ වැඩෙත් ඉතා උනන්දුවෙන් කරගෙන ගියේය.


දක්ෂ ගොවියෙකු සහ ගමේ කා ගේත් වැඩට පොළට යන කෙනක් වූ රංජිත් වෙනුවෙන් ශ්‍රම දායකත්වය දුන්  ඔහුගේ සහ අපගේ හිතවතුන් රාශියකි. 

නම් වශයෙන් සඳහන් නොකලද ඒ හැමෝටම අපගේ අවංක ආදර ස්තුතිය. 

මේ වැඩේ වෙනුවෙන් උදව් කල මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ අපේ හිතවතුන් අනෙක් පිරිසයි.  

ඔබ සැමට ස්තුතියි.



වහලය  ගැසීම  සහ බිත්ති එසවීම කොටසේ බජට්ටුව  ( අපේ තාත්තා විසින් එවූ ) 
















ඊළඟ පියවර





ඊළඟ පියවර ලෙස රංජිත් නිවසේ කාමර කිහිපයක් කපරාරු කලයුතු බව අපේ තාත්තා යෝජනා කළා.  

ඒ වෙනුවෙන් මෙය කියවන ඔබටත් දායක වෙන්න පුළුවන් 



මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )

මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න






රංජිත් ගේ නිවසේ දැන් තත්ත්වය 

28 comments:

  1. විස්තරය සිත් ගත්තා. මාත් කපරාරුවට සම්මාදම් වෙන්නම්.

    ගමේ වලිය නම් තේරුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික. සම්මාදම් වෙන එකටත් එක්ක. ගමේ වලිය ලොකු "බ්ලොග් සීරිස් "එකක් . ආරම්භ වන්නේ අපේ අම්මා සහ තාත්තගේ විවාහයත් සමග. මගේ ළඟ කතා මුලාශ්‍ර තියෙනවා "රාජපක්ෂ- ජයසිංහ" ශීතල යුද්ධයේ ආරම්භය ගැන. ඉදිරියේදී මේ රසවත් කතාව ලියවෙන්න නියමිතයි.

      Delete
    2. ස්තුතියි රසික ඔබේ සම්මාදම ලැබුනා.

      Delete
  2. රාජපක්ෂ සිරිසේන යුද්ධය තමා දැන් හිට්.
    ජයසිංහ අපේ අම්මලාගෙ පැත්තෙ වාසගමක්. සමහරවිට නෑකමක් ඇති.
    අම්මාගේ වාසගම ජයසිංහ.

    වැඩේට ජය. පුළුවන්නම් උදව්වක් කරනවා. අතේ සල්ලි නැති එකයි ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උඩුවා. අපේ අය ශීතල යුද්ධ වලට තමයි කැමති හිටං . වැඩේට දැනටත් රුපියල් 20000ක් විතර තියෙනවා. තව කවුරු කවුරු හරි එකතු වෙයි. ඔය රසික එකතුවුනා වාගේ. ජයවේවා !!!!

      Delete
  3. බොහොම පිං අතේ වැඩක්... කපරාරුවට සහයෝගයක් වෙන්න උත්සහ කරන්නම්කො...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කලින් ඔබ කල උදව්ව අපි වහලේ වැඩට යොදා ගත්තා

      Delete
  4. හොඳ වැඩක් කරන්නත් තියෙන අමාරුවක් නේ?

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි. අපි එච්චර ගණන් ගන්නේ නෑ වැඩේ කරගෙන යනවා මිසක්

      Delete
  5. කරලා තියෙන්නේ හොඳ වැඩක්. සමාජජාල වෙබ් අඩවි තියෙන්න ඕන මේ වගේ වැඩ වලට උදව් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
  6. නියමයි. මටත් සහයෝගයක් දෙන්න පුලුවන් උනානම් ඊටත් වඩා නියමයි. ඒත් මද්ද තාම එච්චර සල්ලිකාරයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා . අදහස වටිනවා පුළුවන් කාලෙක මේ වගේ වැඩ තිබුනොත් උදව් කරමු

      Delete
  7. සතුටුයි . පොඩි එස්ටිමෙට් එකක් දැම්මොත් ඉදිරි වැඩේට අපි කොහොම හරි කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදහස, ඔබේ සහයත් වහලේ සහ බිත්ති වල වැඩට ප්‍රයෝජනවත් වුණා. ඊයේ තාත්තට කතා කළා (24/10/16) එයාල දැනට තියෙන මුදලින් වැලි ට්‍රැක්ටර් එකක් ( රුපියල් 100000යි) සහ සිමෙන්ති මිටි 5ක් ( රුපියල් 5000ක් ) ගෙනෙනවා කිව්වා. බාස් සහ අත්වැඩ කුලිය දවසකට රුපියල් 2500ක් . ඒ නිසා එයාලට පඩි ගෙවන්නත් දෙවැනි වැලි සහ සිමෙන්ති ලෝඩ් එක ගෙනෙන්නත් තමයි මුදල් අවශ්‍ය වෙන්නේ..

      Delete
  8. රසිකත් (රසික සුරියආරච්චි ) මේ ගිණුමට ඕස්ට්‍රේලියාවේ සිට මුදල් යැව්වා කිව්වා. තවම අපේ බැංකු ගිණුමට වැටී නැහැ. ලැබුණු ගමන් දන්වන්නම්..

    ReplyDelete
  9. යටලී අඩියක් රුපියල් අසූවයි.වැලි කියුබ් එකක් නමදාහයි දහදාහයි.සිමෙන්ති කොට්ටයක් දාහට කිට්ටුයි.දොර ජනෙල් වල ගණන් අහනකොට බඩ දනවා.. නැති බැරි මිනිහෙක් ගෙයක් හදන්න ගියොත් කම්මුතුයි.
    ඒ වගේ වෙලාවක මේ ලැබෙන සහය අමිලයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ගස්.. රංජිත් මේ ගේ මුල් හරිය හැදුවේ පියවර තුනකට කිව්වා කාමර දෙක , දෙක වගේ... වහලේ සහ බිත්ති වල අවසන් කොටස් කරගන්න බැරිව අවුරුදු දහයක් විතර ලතවෙද්දී තමයි අපි සම්බන්ධ වුණේ. තව සතියකින් දෙකකින් කපරරුරුව ඉවරකල රංජිත් ගේ නිවස දකින්නයි අපේ බලාපොරොත්තුව

      Delete
  10. අද මේ ගිණුමට කපරාරුව සඳහා යොදාගන්නට ලැබුණු පලමු උදව්ව ලැබුනා බ්ලොග් කියවන/ලියන ..... හිතවතා ගෙන් , ඔහු අපේ බ්ලොග් කියවන කෙනෙක්. මේ උපාකාරය රන්ජිත්ලා ගෙදර කපරාරුව කරන අයට වැටුප් ගෙවන්න යොදා ගන්නවා.. ඔබට බොහොම ස්තුතියි ...

    ReplyDelete
  11. රසිකලොජි ලබා දුන්න සහයෝගය අද අපේ ගිණුමට වැටී තිබුනා. බොහොම ස්තුතියි රසික..

    ReplyDelete
  12. 31/10/2016 අද රන්ජිත්ලා නිවසේ වැඩට තවත් උදව්වක් ලැබුණා බ්ලොග් ලොවේ අපේ හිතවත් බ්ලොග් කාරියක් වූ පොකුරුවැහි ගෙන් . පොකුරුටත් බොහොම ස්තුතියි.

    ReplyDelete
  13. නියමයි.. කියවන්නත් ආසයි.. මේ දවස්වල නොහිතූ කරදර ගොඩක් මැද ඉන්නේ.. නැත්නං ගිහිං දවසක් උදව් වෙලා හරි එනවා.. :(

    ReplyDelete
    Replies
    1. මේකේ කපරාරුව අද හෝ හෙට පටන් ගන්නට නියමිතයි. ක. මි. ගේ ගෙදර වැඩ කොහොමද? ඇලෙක්ස් ඔහේ ගෙන්වා ගන්න කැමතියි කියලා ආරංචි වුනා . මනුස්සය වැඩ පොලේ ජනප්‍රියම බාස් . ගෙදර එන්න වත් නිවාඩු දෙන්නේ නෑ එයාගේ ලොක්කෝ ( ඉන්ජිනිර්සලා )

      Delete
    2. ඇලෙක්ස් මෙහෙ එන්න කැමතියි කියුවට ආයේ කතා කරේ නෑ. ඔය හේතුව නිසා එන්න දෙන්නේ නැතුව ඇති. ගේ වැඩ වලට අතවත් තියන්න බැරි උනා. හේතුව ඉන්බොක්ස් දාන්නම්.

      Delete
    3. 13/11/2016 අද රන්ජිත්ලා ගෙදර වැඩට ( මේසන් බාස් ලා දෙන්නෙක් වැඩ කරනවා අද හතරවෙනි දවස ) උදව් කරන්න එහෙ ගියා අපේ බ්ලොග් ලියන්නෙක් වන මේනක වසන්ත . මේනක තමයි "මේනකයාගේ ගොඩේ කතා " කියන බ්ලොග් එක ලියන්නේ. මේනක මල්ලිට අපේ බලවත් ස්තුතිය.

      Delete
  14. 08/12/16 ඕස්ට්‍රේලියාවේ සිට "නිර්නාමික හිතවතෙක් " රුපියල් 16000ක් පරිත්‍යාග කළා රංජිත්ගේ නිවසේ එළිය පැත්තේ බිත්ති කපරාරුව පටන් ගන්න ( මේ වන විට නිවසේ ඇතුල් පැත්තේ බිත්ති වැඩි හරියක් කපරාරු කර අවසන් අපේ හිතවතුන් ලබා දුන් උදව් වලින්). පහු ගිය දවස් දෙකේ බාසුන්නැහැ කෙනෙක් එළියේ කපරාරුව කරනවා (දවසට රුපියල් 1500 වැටුපට ) අත්වැඩ දෙන්නේ රන්ජිත්මයි . වැලි සහ සිමෙන්ති අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගත්තා කිව්වා ඒ 16000න් 12500 ක් වියදම් කරලා . තව සුළු මුදලක් අවශ්‍ය වෙනවා බාස්ට වැටුප් ගෙවන්න ....

    ReplyDelete
  15. කමියයි සුරංගයයි අපියි කරපු එකේ දෙවෙනි කොටස කරන්නත් බැරි වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට ආරංචියි. නැවත සංවිධානගත වෙලා පටන් ගන්න තියෙන්නේ . අපිත් පුළුවන් උදව්වක් කරන්නම්

      Delete