Follow by Email

Friday, 28 October 2016

මේ පුංචි රටේ






"හැමදාම  කාගේ හරි ගෙවල් හැදිල්ලක්  , වහල  ගැහිල්ලක් ගැන ලියනවා මිසක් කෝ ආදර කතාවක් වත් ලියන්නේ නෑනේ " 

අපි බ්ලොග් රසික රසිකාවියන්ගෙන් ලැබුණු පණිවිඩ  වල තිබුනා මතකයි.

ඒ  නිසා  මෑතකදී  මා අත්දුටු මෙන්න මේ සිද්ධිය  අද ඔබ වෙත ගෙන එන්න හිතුවා.

අපි ගමේ ඇවිත් 


වර්ෂය  දෙදහස් දාහතර.   ලංකාවවට ඇවිල්ලා ගෙවී යන අන්තිම සතිය.

අරලගංවිල  මහ ගෙදර කට්ටිය බලන්න දෙවැනි වතාවටත්  එහෙ ඇවිත් හිටී ගමන්.

රටින් පිටත් වෙන්න තිබුණෙත් තව දවස් කිහිපයක් විතරයි වගේ.

මම මහගෙදරට වී සුපුන් සහ නංගිලාගේ  ළමයි සමග දොඩමළු වෙමින් සිටියෙමි.

"ඒයි  අපේ දැන් මෙහෙ හිටියා ඇති නේද ? අපි හෙටවත්  අපේ දිහා යමු.

ගෙනියන්න බඩු ලැස්ති කර ගන්නත් තියෙනවනේ "  යෝජනාව නිම්මි ගෙන්.

"ඔව්  ඔව්   මටත් කැම්පස් එක පැත්තේ යන්නත් බැරිවුණා .

දවසක් දෙකක් තියා ඔයාල දිහා ගියොත් මගේ ගමන් ටිකත් කර ගත්තහැකි.

 එහෙනම් හෙට එහෙ යන්න ලෑස්ති වෙමු"  ගමේ හිටියා ඇති යැයි සිතු මම නිම්මිගේ යෝජනාව අනුමත කලෙමි.

අපි නැවතත් තුන්දෙනාගේ  ගමන් බෑග් සකස් කරන්නට ගත්තෙමු.  හවස් වෙද්දී  අපේ ලොකු නංගි අපව බලන්නට ආවාය.

"ආනේ  අක්කලා  ආපහු යන්නද යන්නේ?

 මම  හිටියේ  අක්කා  කේ. අයි. බී . එකට එක්කන් යන්න ලස්සන රෙදි තියෙනවා අක්කා ඒකෙ.

අපරාදේ කාලෙකින් ආපු එකේ එතෙන්ට ගොඩ වෙලා යන්න තිබුණා නම් වටිනවා. "

"ඇත්තද නංගි ? ඒයි අපි තුන්දෙනා ටක් ගාලා ටවුන් එකට ගිහිල්ල එමුද  ඒ කඩේ බලලා ? "

ගමේ යන්න රෙදි අස්කර කර සිටි නිම්මි නැවතත් රෙදි සාප්පු යන්නට සුදානම්ය .

"පිස්සුද ඔයාට ? මේ රෑ වෙලා  මාවනැල්ලේ වගේ නෙවෙයි  මෙහෙ කඩවල් කලින්ම වහනවා.  හෙට උදේ පාන්දරින්ම  ගෙදරින් පිටත් වුනොත්  කේ. අයි. බී  එකටත් ගොඩ වෙලා යන්න පුළුවන් වෙයි.

මම රෙදි සාප්පු බලන්න යෑම පසුදාට කල් දැමුවෙමි.

ඒ පසුදාට  හිමින් සීරුවේ කේ. අයි. බී එක පැත්තෙන් නොයා අනික් පැත්තෙන් අරලගංවිල නගරය පසු කර යන අදහසද ඇතිවයි.

රැයක් ගෙවී තවත් නැවුම්  දවසක්  උදාවී තිබේ .

උදා හිරු නැග එද්දී  නිම්මි සහ මා ගමනට අවශ්‍ය බෑග් ආදිය සකස් කරමින් සිටියෙමු. 

අපේ නංගිලා අක්කලා පවුල් වල අයද අපට සමුදෙන්නට නිවසට පැමිණෙමින් සිටිති. 

සුපුන් තවමත් ලංකාවේ අක්කලා මල්ලිලා එක්ක සෙල්ලමේය.  

තාත්තා සුපුරුදු පරිදි අපේ ගමන ගැන  වෙහෙසෙයි. 

ඒ අපි සකස් කරනා ගමන් මළු එකින් එක වාහනයට පටවන්නට මට උදව් වෙමිනි. 

"පැය ගානක් එලවන්නත් තියෙනවා නේද ? උදෙන්ම පිටත් වෙනන්නයි තියෙන්නේ " ඔහු පාන්දරින් පිටත් වීමේ වටිනාකම අපට මතක් කර දෙයි.

කෙසේ හෝ එදා අප ගෙදරින් පිටත් වෙද්දී අට - නමය පමණ වී  තිබු බව මතකය.  

මම රියදුරු අසුනට බර දුන්නෙමි. තේ වත්ත පාරේ  උදා හිරු නිසා යන්තමින් මැකීයන මිහිදුම කපාගෙන වාහනය පැදවුයෙමි.

යාබද අසුනේ සිටින නිම්මි කඳු මුදුනේ මිදුම් අතරින් එන හිරු රැස් වල පහස විඳියි.

ඇගේ වුවනත  තැඹිලි පැහැයෙන් දිළිසෙයි. 

මෙවැනිම සුසිනිදු මුහුණක් හිමි "ඇය" මා ඉදිරියේ මැවී නොපෙනී යයි . 

ඒ කාලේ මට කාර් තිබුණේ නැත.  

එදා පසළොස්වක පොහොය දවසකි.   මගේ දකුණු පසින් සිටියේ ඒ මුහුණේ හිමි කාරියයි . 

296  බසය වංගුවක් ගන්නා වාරයක් පාසා ඇය මගේ දකුණත තදින් අල්ලා ගනියි.

ඔව් එදා අපි  මුතියංගනය වඳින්නට ගියෙමු. 

ජයංගනී. දැන් එයා මොනවා කරනවා ඇද්ද ? 

එයාටත් මාව මතක් වෙනවා  ඇති  මේ වගේම 

"ඒයි . ඒයි ...අර බලන්න. තේ වත්ත මීදුමෙන් වැහිලා ඒ අතරින් ඉර පායාගෙන එනවා. 

 හරි ලස්සණයි නේද"

ඒ හඬත් සමග මම දැහැණෙන් මිදුනෙමි.  

ඔව් මම  වසර විසි ගණනක් පිටුපසට ගොස් නැවත  වර්තමානයට ආවෙමි . 

ඔය පරණ දේවල් දැන් හිතලා වැඩක් නෑ . 

වෙන්න ඕනෑ විදිහට තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ 

සියල්ල අමතක කරන අටියෙන් මම යටි හිතට පැවසුවෙමි.







එසේ ටික වෙලාවක් නිම්මි සමග කතා බහේ යෙදෙමින් නගරය බලා රිය ධාවනය කලෙමි. 

නගරයෙන් දකුණට නිම්මිලා නිවස දෙසට යන පාරය.  

කේ. අයි. බී . එකට යන්න නම්  නගරය පසු කර වම් පැත්තට ගොස් තෙළුල්ල පාරට දැමිය යුතුය. 

"ටවුන් එකට යන්න ඕනේ නෑනේ  . 

එහෙනම් මම මේ පැත්තට හරවනවා. 

දකුණු පසට වාහනය හරවන්නට සිගනල් දමමින් නිම්මි දෙස බැලුවේ  කේ. අයි. බී . අමතක වී ඇතැයි සිතමිණි.

"අනේ  ටක් ගාලා අර කඩේට ගිහින් එමුකෝ මෙයා. 

ඔයාලට කම්මැලියි නම් තාත්තයි පුතයි ජීප් එකට වෙලා ඉන්නකෝ  මම රෙදි බලලා එන්නම් "


ඔන්න ඔහේ  රෙදි කඩේටත් ගිහිල්ලම යනවා . 

කලින් ගියා කියලා ලෙනදොරත්  එක්ක මොනවා කතා කරන්නද ?  

මම වාහනය වමට හැරවුයෙමි .

"අන්න අර තියෙන්න මහා ලොකු කේ. අයි. බී .  එක.

 ඉක්මණට  ගිහින් එන්න ඕනේ හැබැයි.  එතන පැල වෙන්නේ නැතිව.

අම්මා ඉතින් කඩවල් වල ගියොත් පැල වෙනවනේ නේද සුපුන්? "

නිම්මි කඩයට යැවූ මම සුපුනුත්  ජීප් එකට වී සිටියෙමු.


සුපුරුදු  මුහුණක්  


රියදුරැ අසුන පිටුපසට කර එහි ඇලවූයෙමි. 

ඉදිරියෙන් ඇති තෙළුල්ල පාර මට පැහැදිළිව පෙනේ . 

නොයෙක් ආකාරයේ ගැහැණුන් හා මිනිසුන්  බස් වලින් බැස හෝ , ත්‍රී විල් වලින් හෝ තම පුද්ගලික වාහන වලින්  විත්  කේ. අයි. බී .  එක වෙත පිය මනිති.

මේ අතර කිසියම් හුරු පුරුදු බවක් ඇති කාන්තා රුවක් මට  ඉදිරියෙන් ඇති පාරේ කේ. අයි. බී .  එක දෙසට ඇදේ.

මම ඉදිරිපස වීදුරුව පහත් කලෙමි. 

උදේ තේ වත්ත හරහා රිය ධාවනය කරද්දී දුටු රුවට සමාන කමක් ඒ මුහුණෙන් දිස්වේ .


පැහැපත් රුව වසා ගත් තැඹිලි පැහැති සාරියකි.

එයට කැපෙන වර්ගයේ කළු පැහැති හැට්ටයක් හැඳ සිටි මේ ලලනාව මට සිහි ගැන්වුයේ   පාසැල් ගුරුවරියකි. 


එක් වරම ඒ හුරුපුරුදු මුහුණ  අප දෙසට හැරවූ ඈ පාර පැන  මගේ රියදුරු අසුන ළඟටම පැමිණියාය. 


"දෙය්යනේ  කවිඳු අය්යා දැක්ක කාලයක් .  

මම මේ අය්යා වාහනේ ඉන්නවා දැකලා  ආවේ . 

කෝ නෝනා පේන්න නැද්ද ?"

ඇය එක වරම මගේ වාහනය අස්සට එබුණාය . 

"කෝ අය්යා පුතා ? මම පුතා බලන්නත් හිතා ගෙනමයි මේ පැත්තට ආවේ "


" මම මේ කව්ද බැලුවා .  අපේ රත්නා ලාලනී නංගි නේ ?  

අක්කා ගියා  නංගි කේ. අයි. බී .  එකට . 

ඔය පිටිපස්සේ ඉන්නේ අපේ පෝරිසාදයා.

ඔයාට බලන්න ඕනෑ කිව්වේ එයානේ ඔන්න ඉන්නවා ඇති තරම් බලා ගන්න "

ඇය වාහනයේ පිටුපස දොර විවුර්ත කලේ සුපුන් හොඳ හැටි බලා ගන්නටය .

"ආනේ අය්යා කොල්ලා  ඔයා පොඩි කාලේ වගේමයි.  

පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ? 

ජයංගනී මෙන් නොව ඇගේ අක්කා රත්නා ලාලනී හරි කටකාරය . 

මා මුල් කාලයේ  ලියු  බ්ලොග් සටහන් වල සඳහන් කල අයුරින්ම ඒ පවුලේ හැමෝම මට සමීපය.

 අක්කලා නංගිලා මෙන්ම එකම මල්ලී  ජානක ද  මට සැලකුවේ තමන්ගේම සහෝදරයෙකුට මෙනි.

ඒ ලෙන්ගතු කම නැවතත් මට හමුවී තිබේ.  

ඒ කේ. අයි. බී .  එකට අහම්බයෙන් පැමිණි මේ ගමන නිසාය. 

මම වහනයෙන් බැස ඈ හා දොඩමළු වුයෙමි. 

"ඔයා කොහේ යන ගමන්ද නංගි ?  "

"මමත් මේ කේ. අයි. බී .  එකට යන ගමන් අය්යා "

"චුට්ටක් ඉන්නකෝ  පුතත් එක්ක කතා කර කර " 

කියමින් මම වාහනයේ පිටුපසට ගියේ නිම්මිගේ තෑගි මල්ලක් විවුර්ත කාරනා අටියෙනි. 










නිල් පාට මල්ලක් තුල තිබු චොක්ලට් පොදිය වෙත ලංවූ මම එහි ඇති ලොකු ටෝබ්ලරෝන් එකක් ගෙන රත්නා ලාලනී අත තැබුවෙමි.

"ආ මේක ගන්න .  ලොකු තෑග්ගක් දෙන්න ඕනේ හරිනම් කවුද දන්නේ ඉතිං හම්බවෙයි කියලා?" 

චොක්ලට් එක අතට ගත් ඈ ටික වෙලාවක් එක එල්ලේ මගේ මුහුණ දෙස බලා සිටියාය .

"ඒක නෙවෙයි දැන් මේක දුන්නේ මටද ? නැත්නම් නංගිටද ? "

මම තරමක් අපහසුවට පත්වූයෙමි.

"හරි හරි ඉතිං දෙන්නම බෙදා ගන්නකෝ එහෙනම් "

අපහසුව ඇයට නොපෙන්වා කියාගෙන ගියෙමි.  මට හදිසියේම යමක් මතක් විය.

"ආ. ඒක නෙවෙයි . අපිට යන්න පුළුවන් වෙයිද නංගි බලන්න ? "

"මොකෝ බැරි යන්න . යන්න එයා සන්තෝෂ වෙයි ඔයා දැක්කම. ඇවිල්ල ඉන්න බව ආරංචි වෙලා ඇත්තේ"

රත්නා ලාලනී කතා කරන්නේ කිසි බරක් පතලක් නැති ගාණටය.  මෙයා ඒ කාලෙත් එහෙමනේ මම අපේ පාසැල් කාලය සිහි කළෙමි. 

"අය්ය එයා දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් . 

බයවෙන්න එපා ගිහිල්ලා කතා කරලා යන්න. 

ඒ මල්ලිත් හරි හොඳයි .  එයා බැංකුවක වැඩ කරන්නේ. අද ඉරිදා නිසා මල්ලිත් ගෙදර ඇති. 


හරි එහෙමනම් මම යනවා  අය්යා . දැක්කට සන්තෝෂයි . මම නංගිට කියන්නම් ඔයා හම්බවුණා කියලා .

යනවා පුතා. "


ඈ සුපුන්ටත් මටත් සමුදී කඩේ පඩිපෙළ නගින්නට විය.




යළිහමුවීම 




නිම්මි තවමත් එන පාටක් නැත. දැන් රත්නා ලලනිත් නිම්මිත් සිටින්නේ එකම  කඩයක් තුලයි.

සුපුනුත්  සමග මමත්  කේ. අයි. බී .  එක වෙත පියමැන්නෙමි . ඒ ලොකු සැලසුමක් හිතේ ඇතිවයි.

ඒ නිම්මි සමග රෙදි තෝරන අතරේ අහම්බෙන් මෙන් රත්නා ලාලනී මුණගැසීමත් , අනතුරුව ඇය හා නිම්මි එකිනෙකාට හඳුන්වා දීමත් යන අරමුණ  සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මයි.

හිතුවාටත් වඩා පහසුවෙන් සැලසුම සාර්ථක වුයේ නිම්මි සහ මා දුටු රත්නා ලාලනී නංගි අප දෙසට පිය මැනීමත් සමගයි.

"කොහොමද කවිඳු අය්යා ? මේ ඔයාගේ නෝනද? "

"ඔව් . ඔව් මේ  නිම්මි " මම ඇයට උත්තර දෙන අතරේ නිම්මිට රත්නා හඳුන්වා දුන්නෙමි.

"මෙයාගේ නංගි තමයි අර....   ...... "ජයංගනී කියන්නේ "  මම කියන්නටත් පෙර රත්නා ඉස්සර වුවාය .

"නංගි කොහෙද ඉන්නේ ? "

මම නොදන්නා ආකාරයෙන් රත්නා ගෙන් ඇසුවෙමි.

"එයාල ඉන්නේ මේ පාර අයිනෙමයි තව කිලෝ මිටර් 10 - 12ක් ඇති වැඩිම වුනොත් .

රත්නා ගෙන් සමුගත් අපි රෙදි බෑග් කිහිපයකුත් රැගෙන වාහනයට ආවෙමු.

ටෝබ්ලරෝන් දුන් කතාවක් නිම්මිට නොකියන්නට සුපුන් වග බලාගත්තේය.

"ඒක නෙවෙයි නිම්මි අපි අරහේ ගිහින් එමුද? "

"කොහෙද අනේ දැන් පරක්කු වෙනවා කියා කියා දැඟලුවා නේද?

දැන් ඔය කියන තැනට යන්න තව කිලෝ මීටර් ගානක් අනික් පැත්තට යන්නත් එපැයි."

"කමක් නෑ අම්මා ටක්ක  ගාල ගීහිල්ල එමු".

අලුත් තැනකට යන බව දැනගත් සුපුන්ද මගේ අදහසට පක්ෂව කතා කළේය.

වයස අවුරුදු එකොළහක් වුවත් කොල්ලා මගේම පුතෙක් බව නැවතත් සනාථ කළ තවත් අවස්ථාවකි.

"හා.. හා  එහෙනම් ගිහිල්ලා එමු.

මහා උන්දැලා  දැනගත්තනම් එහෙම හිනා වෙයි තවමත් පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්  බලන්න යනවා කියලා.






නිම්මිලා ගෙවල් පැත්තට ප්‍රති විරුද්ධ දිශාවට වාහනය පැදවූ මා අදාළ නිවස ඉදිරිපිට වාහනය නතර කළෙමි.

ඉදිරිපස දොරටුවට තට්ටු කරත්ම ජයංගනී ගේ සැමියා විත් අපට දොර හැර දුන්නේය .

එන්න ඇතුළට ඔහු අප ජයංගනී සිටි දෙසට රැගෙන ගියේය.

නිම්මිත් කිසි ගානක් නැතිව වට පිට බලමින් ජයන්ගනී සමගම කුස්සියට ගියාය.

"එන්න වාඩි වෙන්න . අපි තේ එකක් බොමු නේද ? "

නිම්මිත් මමත් තේ මේසයේ රැන්දුනෙමු

මේ අතර පුරුදු කාරයෙක් මෙන් නිවස තුලට දිව ගිය සුපුන් නිවසේ උඩ තට්ටුවටද ගොස් හමාරය.

නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.

ඒ නිමේෂය   ඒ නෙත් පියවෙන  තෙක්ම  මතකයේ   රැඳෙනු නොඅනුමානය .






Saturday, 22 October 2016

හිසට වහලක් හිතට නිවනක්





පසුගිය කළාපයකින්   රංජිත් රාජපක්ෂගේ  නිවසේ  වහලය  හැදීමේ  වැඩ  ගැන කතා කළා මතකයි .

ඒ  පොස්ට් එක බලා බ්ලොග් කියවන /බ්ලොග් ලියන කිහිප දෙනෙක්ම  රංජිත් ගේ උදව්වට ආවා.

අද ලියන්න යන්නේ රංජිත්ගේ  භාගෙට වැඩ කර තිබු නිවසේ  වහළය සකස් කරගත් හැටි කියැවෙන කතාවයි.

මුලින්ම  සිදු කෙරුනේ වහලයට අවශ්‍ය  ලි  සකස් කර ගැනීම  සහ භාගෙට  බැඳ තිබු බිත්ති  ගේබල්  උස්සා  වහළය ගැසීමට සුදුසු ලෙස සකස් කර ගැනීමයි.

මේ සඳහා  මා විසින් යොමුකළ රුපියල් තිස් දහසක්  අපේ ගමේ නියෝජිත  චාමර මල්ලී  ( චාමර රාජපක්ෂ )  අදාළ තැන්වලට ගෙවා තිබුණා.

ලී වලට   රුපියල්  15070 ක් සහ ගඩොල් වලට  රුපියල් 12000 ක් වශයෙන්.

චාමර මල්ලී සහ රුවන් මල්ලී   එවූ  ලී තුණ්ඩුව


ප්‍රොජෙක්ට්  එකේ මුල් කාලයේදී  මම අපේ තාත්තා  සහභාගී  කර ගත්තේ  නෑ  . හේතුව  "කිරඹ ඔය"   ප්‍රදේශයේ  (අපේ ගමේ රාජපක්ෂලා ඉන්න කොටසේ )  සමහර මිනිසුන් "මල්දෙණියේ  " කෙනෙකු වූ  ඔහු එවැනි වැඩ වල යෙදෙනු දැකීමට ඇති අකමැත්ත නිසා.

මා  මගේ මුල්ම බ්ලොග් පොස්ට් වල සඳහන් කළා වගේම  මේ ගම් දෙකේ අය නිරන්තර "බල "ගැටුමක නිරත වෙන කට්ටියක්.

ඒ "බල  අරගලය"  මගේ වැඩ වලට  බාධාවක්  කර නොගන්නයි මට  ඕනෑ වුණේ.

ඒ අනුව  රුවන්  මල්ලී  ( අපේ පුංචිගේ පුතා ) , විස්කම් මල්ලී ( සමරසිංහ මාමගේ පුතා )  සහ අසංක ( අමරේ මාමගේ පුතා ) ඇතුළු පිරිසක්  මේ වෙනුවෙන් සහභාගී කර ගත්තේ ඔවුන්  කිරඹඔයේ  නැගී එන තරුණයින් ලෙස  කාගේත් සිත් දිනා ගෙන සිටි නිසයි .




විස්කම්  සහ   අසංක  




බිත්තිය  ඉහළට යනවිට  අපි පොඩියට පෙනෙන්නේ 


ඊළඟට කරන්නට තිබ්බේ දෙපැත්තේ බිත්ති දෙක සහ හතර වට බිත්ති  වහලය ගහන මට්ටමට ඉස්සිමයි.  ඒ සඳහා අවශ්‍ය සිමෙන්ති  සහ වැලි සකස් කර ගත්තත් බාස් කෙනෙක් සොයා ගැනීම තරමක් අපහසු වුණා.

අපේ මුල්ම නිවසේ වැඩ කල  "රාමන් " මල්ලී  හට පණිවිඩ කිහිපයක් යැව්වත් ඔහු වත්තේ කෝවිලේ වැඩක  සිරවී සිටින බවයි ආරංචි වුණේ.

මේ වගේ වෙලාවට  මගේ ඉවසීමේ සිමාවන්  ඉක්මවා යෑම සිද්ධ වෙන්නේ හරි පහසුවෙන්.

බාස් කෙනෙක් ගෙන්වා ගන්නට චාමරට හෝ නුවන්ට බැරි වීම නිසා මම අපේ  තාත්තා දෙසට හැරෙන්නට තීරණය කළා.

මේ වන විට  අපි රංජිත්ගේ ගෙදර වැඩට බැහැලා  සිටි බව වත් තාත්තා දන්නේ නෑ.  

මම තාත්තට සිද්ධිය මුල සිටන් විස්තර කර මෙතැන් සිට වැඩේ හැසිරවීම සඳහා සහය වන ලෙස ඉල්ලා සිටියා.  
කිරඹඔයේ කට්ටිය කොච්චර අකමැති වුනත් තාත්තා ගේ සංවිධාන ශක්තිය ඉස්තරම්ම බව අපි කවුරුත් දන්නා  කාරණයක්.

ඔහු පසුදා උදෑසනම   පොඩි අප්පු මාමා  රන්ජිගේ ගෙදර වැඩ වල මේසන් විදිහට ගෙන්වා ගත්තා.  

ඒ අනුව බිත්ති ඉහළට එසවීම ආරම්භ වුණා.




එහෙන් මෙහෙන් ගමේ කාන්තාවක් දෙන්නෙක්  

"අපේ මහත්තයා ඕකට එන්න කැමති නෑ  . 

මොකද අර  නාමෙයා  ඔතන ගෑවිලා ඉන්නවනේ  " 

වැනි කතා කියූ බව මට ආරංචි වුණා.

එහෙත් මම තාත්තා වැඩේට ගාවා ගැනීමත් සමගම රන්ජිගේ ගේ වැඩ ඉතා වේගයෙන් ඉදිරියට යන්න පටන් ගත්තා. 




ඒ අතර රංජිත් ගේ ලොකු තාත්තගේ පුතා ගේ නිවසින් කෑම සකස් කිරීම වැනි දේවල් වලට සැහෙන සහයෝගයක්   ලැබුණා. 

මේ හැම තැනකම  ඉතා උනන්දුවෙන්  ගැවසුණ තව කෙනෙක් හිටියා ඒ  තමයි  අපි හදා දුන් මුල්ම නිවසේ හිමිකාරිය  කළු.

කළු  වියිබර් , ඉමෝ සහ ෆේස් බුක් හරහා රන්ජිත්ලා ගෙදර වැඩ වල ප්‍රගතිය  මට දැන්වුවා. 



කිහිප වරක්ම ඇයගේ  ෆෝන් එකෙන් රංජිත් , බාසුන්නැහෙලා  පමණක් නොව අපේ තාත්තාත්  වැඩ කරන අතරේදී මා හා සම්බන්ධ කළා.

මේ අතරේ  ධාතු මන්දිරයක් හදමින් සිටි ගමේ පන්සලේ හාමුදුරුවෝ කතරගම සුනෙත්ත හිමිපාණෝ මා  හා සම්බන්ධ විය.

මම  ගමේ අය  හාමුදුරුවන් කෙරෙහි ඇති  ගරුත්වය රංජිත් සහ අපගේ වැඩ වලට පහසුවක් කර ගන්නට සිතුවෙමි.

හාමුදුරුවනේ පුළුවන් කමක් තියෙයි නම් රංජිත්ගේ ගේ හදන පැත්තේ ගිහිල්ලා එන්න.

වියිබර් ඔස්සේ හාමුදුරුවන් ඇමතු මම යෝජනා කළෙමි.

මා දන්නා හැටියට හාමුදුරුවොත් මා වැනිම කෙනෙකි . තමන්ට අවශ්‍ය දේ කවුරු ආවත් නැතත් කරගෙන යෑම උන්වහන්සේගේ සිරිතයි.

මා යෝජනා කල පරිදිම වරක් නොව දෙවරක් ම උන්වහන්සේ  රංජිත් නිවසට  වැඩම කලේද ඒ ගතිය නිසාම විය යුතුය.







පළමු වරට රංජිත් නිවසට පැමිණි හාමුදුරුවෝ අපේ තාත්තා සහ රංජිත් සමග 



මේ  අතර කළු  වැඩ කරන අයට කෑම උයන "කුස්සියේ අය" සමග මට කතා කරන්නටත් සැලස්සුවා .



රංජිත්ගේ බිරිඳ ( වම් කෙලවරේ ) සහ අනෙකුත් කාන්තා  ස්වෙච්චා  සහභාගිකාවන්   රංජිත්ගේ  ලොකු අප්පලා ගේ ගෙදර  කෑම සකස් කරමින්

වහලේ වැඩ ආරම්භ වෙයි






මේ අතර වහලේ වැඩ  සති අන්තයක කල යුතු බව  මා තාත්තාට සහ රංජිත්ට යෝජනා කළා.  


එහෙත් පොඩි අප්පු මාමා ( හෙඩ් බාස් ) තවත් වැඩක් අමුණාගෙන සිටි නිසා එය එසේ සිදුවුයේ නෑ.

මම නැවතත් තාත්තට කතා කළා. 

"තාත්තා මොකද වෙන්නේ  රංජිත්ගේ  වහලේ වැඩ පටන් ගන්නේ නැද්ද ?"

"මේකනේ පුතා යට ලීය  තියා ගන්න විදිහක් නෑ පොඩි අප්පු අය්යා මහියංගනේ ගිහින්. "

"තාත්තා මිනිහට කෝල් එකක් ගත්තේ නැද්ද? "

"ගත්තා ,  ගත්තා  ම්හු  ෆෝන් එක උස්සන්නේ නෑ. "

මේ අතරේ මම රන්ජිත්ටත් කතා කලා 


"රංජිත් ,  කොහොමද වැඩ?"

"හා දොස්තර මහත්තයා  බිත්ති වල වැඩ නම් ඉවරයි.  දැන තියෙන්නේ වහලේ වැඩේ "


 "හරි හරි  වහලේ ගැන තමයි මමත් අහන්නේ 

මොකෝ  මනුස්සයෝ වෙන්නේ සෙනසුරාදා ගහනවා කියපු වහලේ තවම ගහලා නෑනේ ? " 

මම තරමක් සැරෙන් ප්‍රකාශ කර සිටියා.

"මේකනේ මහත්තයා පොඩි අප්පු අය්යා මහියංගනේ  ගිහින්ලු  .

 එයා නැතිව යට ලීය තියන්න බෑ."

රංජිත් ද තාත්තා කියූ කතාවම කියයි.

මට අසු හාර දාහට ටිකක් අඩු වන්නට කේන්ති ගොස් තිබිණි.

බාස්ලා මෙච්චර ඉන්නා ගමේ වහලේ වැඩට මිනිහෙක් නැති හැටි. 

මම කල්පනා කලෙමි.

මේ අතර  ණුවන් මල්ලී ගෙන් දැන ගත් පරිදි  පොඩි අප්පු මාමා ඒ ගමේම  තවත් ගෙදරක් හදන්නට  භාර ගෙන තිබේ.

එදාම  උදේ ඒ නිවස අසල පොඩි අප්පුගේ යමහා සුපර් කබ්  එක  නවත්වා තිබුණ බව ණුවන් මල්ලී මා හා පැවසුවේය.

මම රංජිත් ඇමතුවෙමි.

"රංජිත් තමුසේ කියනවා පොඩි අප්පුට දොස්තර මහත්තයා කිව්වා හොඳින් හරි නරකින් හරි හෙටම වහලේ වැඩ පටන් ගන්න ඕනෑ බව. 

මිනිහා මහියංගණේ බැරිනම් කොයි තූත්තූ කුඩියේ හිටියත් මට කමක් නෑ.  

භාර ගත්තු වැඩේ ඉවර කරන්න කියනවා ඇද ඇද ඉන්නේ නැතිව. 

අපේ තාත්තාටත් ඒකම කියනවා . මමත් එයාට මතක් කරන්නම් "

"හරි හරි මහත්තයා  අපි අද දවසේ ඇතුලත කොහොම හරි මිනිහා සම්බන්ධ කරගන්නම් "

ආරංචියේ හැටියට එදා පොඩි අප්පු මාමා අල්ලා ගන්නට මේ දෙදෙනාටම නොහැකිවී තිබේ. 

රෑ බෝ වෙද්දී තාත්තා ඔහු සමග දුරකතයෙන් සම්බන්ධ වුවද පසුදා වැඩට පැමිණිය  නොහැකි බව ඔහු තාත්තාට පවසා ඇත.

මේ වන විටත් මගේ දෝස් මුරයට භාජනය වී සිටි තාත්තා 

"හෙට ආවේ නැත්නම් ආයේ ආවේ නැතිවට කමක් නෑ  . 

අපි වෙන කෙනෙක් දාලා හෙට වහලේ ගහනවා නැත්නම් මට චුටි පුතාගෙන් විසුමක් වෙන්නේ නෑ . "

යැයි පොඩි අප්පුට පවසා තිබේ. 

කිවූ පරිදිම පසුදා හෙඩ් බාස් වෙනුවට වෙන බාස් කෙනෙක් යොදා වැඩේ ආරම්භ විය. 

මම කලුගේ දුරකථනය හරහා අලුත් බාස් සමග සම්බන්ධ වීමි.

"මල්ලි ඔයා කෙටි දැනුම් දීමක් මත වුනත් මේ වැඩේට සමබන්ධ වීම ගැන සන්තෝෂයි .  

වැඩේ ඉවර වෙනකන් ඔතන ඉන්න. 

අපි පඩි දෙනවා භය වෙන්න එපා "

පොඩි අප්පු වැඩට නොඑන්නේ අප ළඟ මුදල් නැතිව ඇති යැයි සිතු නිසා වත් දෝ යන දෙගිඩියාවෙන් සිටි මම පැවසුවෙමි. 



කිරඹ ඔයේ විපුල්  වහලේ වැඩ වල උදව්වට ඇවිත්



උක්කුං මල්ලී සහ විස්කම් ( ගුරුවරයෙකි ) මල්ලී 



පළමු දවසේ වැඩ හෙඩා නැති වුවද සාර්ථකව අවසාන විය. තාත්තා ඇමතු මම පොඩි අප්පු ආවත් නැතත් වැඩේ ඉදිරියටම කරගෙන යන ලෙස උපදෙස් දුන්නෙමි.

එහෙත් දෙවැනි දවසේ  පොඩි අප්පු මාමා ද  වහලේ වැඩට එකතු විය. 



පොඩි අප්පු  මාමා ( හෙඩ් බාස් ) සහ  උදව්වට  පැමිණි අය 





අසංක මල්ලී ( මේ ගෙදර වැඩට වඩාත්ම  ශ්‍රමයෙන් දායක වූ කිරඹ ඔයේ තරුණයෙක් )






නැවතත් "ඉමෝ" සහ කළු රන්ජිත්ලා නිවසට යැව්වෙමි.  ඉමෝ ඔන් කල කළු දුරකථනය  වහලයට යැ ව්වාය. 

"කෝ පොඩි අප්පු මාමා  .මෙන්න දොස්තර මහත්තයා කතා කරනවා කියන්න "

දුරකථනය  වහලය උඩ සිටි කොල්ලෙකුට දුන් ඈ  කියා සිටියාය. 

"පුතා මේ  පොඩි අප්පු මාමා කතා කරන්නේ "

බුලත් විටක් හපමින් වහලය මත සිටි හෙඩ් බාස් උන්නැහේ මගේ ඇමතුමට උත්තර දුන්නේය.

"මාමා මොකද ඊයේ උනේ. අපේ කට්ටියට හොයා ගන්න බැරිවුණා කිව්වේ ? "

මම කෙලින්ම මාතෘකාවට බැස්සෙමි.

"නෑ පුතා මේ හදිස්සියේ මහියංගණේ යන්න වුනා එනකොට රෑ වුණා."

පොඩි අප්පු තුන්වන වරටත් මහියංගණ චාරිකාව සිහිකළේය.

"ඔව් ඔව් මට ආරංචියි.  

මාමා තවත් ගෙදරක වැඩ භාර අරගෙන හිරවෙලා ඉන්නවාළු නේද අර කිව්ලේ ගෙදර අය්යලා ගේ ? "

මම මහියංගණේ නොව අපේ ගමේම ඇති පොඩි අප්පුගේ බයිසිකලය නවතා තිබුනා යැයි කිවූ නිවස ගැන ඔහුට මතක් කර දුන්නෙමි.

"ඒක නෙවෙයි අද වැඩේ කොහොම හරි ඉවර කරන්න බලන්න " වැඩේ අවසන් කල යුතු බවද ඔහුට මතක් කර දෙමින් සංවාදය හමාර කලෙමි. 






අසංක ඇතුළු  පිරිස වහලේ ගසමින්. 




අවසානයේ  ඇදී ඇදී යනු ඇතැයි සිතු වහලය දින දෙකක් ඇතුළත අවසන් කෙරිණි.  

මෙහි ප්‍රසංසාව හිමිවිය යුතු විශේෂ පුද්ගලයින් අතර අපේ තාත්තා, කළු, හාමුදුරුවෝ , ණුවන් මල්ලී සහ අසංක මල්ලී ප්‍රධානය. 

කවදත් මෙවැනි වැඩ වලදී මගේ නියෝජිතයා ලෙස වැඩ කරන චාමර මල්ලී රංජිත්ගේ වැඩෙත් ඉතා උනන්දුවෙන් කරගෙන ගියේය.


දක්ෂ ගොවියෙකු සහ ගමේ කා ගේත් වැඩට පොළට යන කෙනක් වූ රංජිත් වෙනුවෙන් ශ්‍රම දායකත්වය දුන්  ඔහුගේ සහ අපගේ හිතවතුන් රාශියකි. 

නම් වශයෙන් සඳහන් නොකලද ඒ හැමෝටම අපගේ අවංක ආදර ස්තුතිය. 

මේ වැඩේ වෙනුවෙන් උදව් කල මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ අපේ හිතවතුන් අනෙක් පිරිසයි.  

ඔබ සැමට ස්තුතියි.



වහලය  ගැසීම  සහ බිත්ති එසවීම කොටසේ බජට්ටුව  ( අපේ තාත්තා විසින් එවූ ) 
















ඊළඟ පියවර





ඊළඟ පියවර ලෙස රංජිත් නිවසේ කාමර කිහිපයක් කපරාරු කලයුතු බව අපේ තාත්තා යෝජනා කළා.  

ඒ වෙනුවෙන් මෙය කියවන ඔබටත් දායක වෙන්න පුළුවන් 



මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )

මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න






රංජිත් ගේ නිවසේ දැන් තත්ත්වය 

Friday, 14 October 2016

පුද්ගලික වෙදකම සහ ටියුෂන් පංතිය



පසු ගිය දිනවල  පුද්ගලික   බෙහෙත් ශාලා පවත්වාගෙන යන දොස්තර වරුන් ගැන බ්ලොග් ලිපි කිහිපයක්ම පළවුණා මතකයි.

එකක් ලිව්වේ රුවන් ජයතුංග  මට මතක හැටියට  පුද්ගලික වෙද කම නිසා දොස්තර වරුන් අතර ඇතිවන ගැටුම් ආදිය ගැනත් රුවන් ලියලා තිබුණා මතකයි.

අනෙක් ලිපිය ලිව්වේ දම්සෝ පුතා . දම්සෝ ගේ පී. පි කෙරුවාවයි මගේ පී  පී කෙරිල්ලයි හරි සමානයි.

වෙන විදිහකට කියනවා නම් අපි  දෙන්නම ඒ කාලේ කලේ එදා වේල පී. පී. තමයි.

ඒ කියන්නේ මගේ කාර් එකේ පෙට්‍රල් ගහගෙන  මුදලාලිට කඩ කුලිය දුන්නම මගේ මාසික පි. පි  අදායම ඉවරයි.

මම ගත්ත මුල්ම කාර් එක ටොයෝටා කරීනා  එකක්.  ඒක  ලංකාවේ භාෂාවෙන් කිව්වොත් පෙට්‍රල් බොන කාර් එකක් . හැබැයි සැප පහසුව නම් හරි ඉස්තරම්.





පාරේ යද්දිත් තරමක පෙනුමක් තිබ්බ වාහනයක්. ඒ කාලේ  මගේ කාර් එකට මාසෙකට රුපියල් 5000  පෙට්‍රල් ගහන්න ඕනේ.

පොළ කරපු කඩ කාමරේට කුලිය රුපියල් 3500 යි. මම නැවතිලා හිටපු තැනට රුපියල් හාර දාහයි.

ඒ කාලේ මගේ පොලේ මාසික අදායම රුපියල් 12000 ත් 15000 ත් අතර තමයි තිබුණේ . ඉතින් ඒ නිසාම  මගේ පොලත්  කරගෙන  ගියේ එදා වේල  පොලක් හැටියට තමයි

ඒ කියන්නේ මම දවසකට බලන්නේ ලෙඩ්ඩු හතක් හෝ අටක් පමණ.

ඒ  ලෙඩ්ඩු හය හත්දෙනත් එක පැයක් අතුලත එන අය නෙවෙයි.  හවස හතරේ සිට රෑ අට හමාර නවය වෙන තෙක් සිටියාමයි මේ ලෙඩ්ඩු ගාන එන්නේ.

මේ හේතුව නිසා  මම  ලාහට ගෙම්බෝ එකතු කරන්නාක් මෙන් කල අළුතින් ලෙඩ්ඩු එකතු කර ගැනීම  මුල්ම කාලයේ  කෙරුනේ ඉතාම හෙමින්.

මාස දෙක තුනක් යනවිට මගේ ලෙඩ්ඩු සංක්‍යාව  වැඩි වෙන්න පටන් ගත්තා.

ඒත්  වර්ධනය සිදුවුනේ හෙමින් හෙමින් .  ඔය කියන කාලෙම තමයි මට පේරාදෙණියේ  කාර් විකුණන දොස්තර මහත්තයා  ( සු....) හඳුනාගන්න ලැබුණේ.

ඒක සිදුවුණේ  හින්නි අප්පුහාමි හරහා නෙවෙයි.

පැණිදෙණියේ  ජිවත් වූ මේ කාර් විකුණන දොස්තර මහත්තයා ගැන මට මුලින්ම කිව්වේ හින්නි වුවත් ඔහු මට පෙන්නුවේ අපේ දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රේමදාස විසින්.

"සර් සර් .. අන්න අර  ස්ටුඩන්ට් මහත්තයා තමයි සු..... කියන්නේ. එයා තමයි ඔය පැණිදෙණියේ  තැනක ඉඳන් කාර් විකුණනවා කියන්නේ "

"ඒ කියන්නේ එයාට පැණිදෙණියේ   කාර් සේල්  එකක් තියෙනවද ප්‍රේමේ ? "

"නෑ නෑ සර්  මම හිතන්නේ පැණිදෙණිය ඒ මහත්තයාගේ ගමම  තමයි .

එයා ගෙදර කාර් ගෙනැත් තියාගෙන විකුණනවා. "

"ඔය මනුස්සයා නේද බැච් මිස් වෙන්න යන්නේ  "

" ඒකනේ සර් බලන්නකෝ අපරාදේ දෙමව්පියන් මහන්සිවෙලා උගන්වලා.

බලන්නකෝ මේ   සමහර  ස්ටුඩන්ට් මහත්තුරුන්ට   ඒවගේ බරක් පතලක් තේරෙන්නේ නැති හැටි ?"

ප්‍රේමදාස     මා සොයමින් සිටි වෛද්‍ය  ශිෂ්‍යයා  මට සොයා දුන්නේ එසේය. 


ගුරු ගෝල  හමුවක්















එදා ප්‍රේමදාස  මට අදාළ වෛද්‍ය  ශිෂ්‍යයා  පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ගැන ඇහැ ගසාගෙන සිටියෙමි . 

හවස පැවති  රිවිෂන්  ප්‍රායෝගික පංතිය  මට ඔහු හමු වන්නට හොඳම වේලාවයි.

"මේ ඔයා නේද සු ... කියන්නේ  මට පොඩ්ඩක්  ඔයත් එක්ක කතා කරන්න ඕනේ "

"ඇයි  අය්යා . මොකක් ගැනද?  "

"මෙහාට  එන්නකෝ  .. කාර්  ගැන . ඔයා  කාර් විකුණන වලු නේද ? "

මම සිනාසෙමින් පැවසුවෙමි.

"දැනටනම්  මා ලඟ  ට්‍රැඩ සනියක් තමයි තියෙන්නේ  අය්යා "

ඔහු ඇත්තටම කාර් ගැන විස්තර කරන්නට සුදානම් වෙද්දී  ඊට හරස්පුකැවෙමි. 

"හලෝ මේ කාර් නෙවෙයි  සෙකන්ඩ්  එම් . බී  එක ගැන විස්තර කියනවා. තව කී සැරයක් තියෙනවද තමුන්ට ? "

මම සු...  ට  වඩාත්ම අදාළ  යැයි මා සිතු මාතෘකාවට බැස්සෙමි. 

" හරි වැඩේ අය්යා  ඇනටමි ඇර අනිත් සබ්ජෙක්ට්  දෙකම ගොඩ ගියා දෙවැනි සැරෙන්ම  . ඒත් ඇනටමි දාගන්න බැරිවුණා. 

 මේ අන්තිම වතාව "

ඔහු මම පරිවාස කථිකාචාර්ය කෙනක් වුවද මට කතා කලේ අය්යා කියාය. හේතුව ඒ දිනවල  මා පෙනුමෙන් ඔහුටත් වඩා කෙට්ටු  අයෙක් වීම විය හැකිය. 

"ඒ කියන්නේ  ඔයා මේ පාර ෆේල් වුනොත් දොස්තර කම් ඉවරයි.  ගෙදර යන්න වෙනවා  ? "

"ඔව් අය්යා  .. මේ හතරවෙනි සැරේ "

"මේ මම කියන එක හොඳට  හිතට ගන්නවා  තව මාස තුන -හතරක් තියෙනවනේ  විභාගෙට. 

අද ඉඳලා හිතට අරන් පාඩම් වැඩ කරනවා . ඔය  කාර් විකිණිල්ල පොඩ්ඩකට ස්ලෝ  ඩවුන් කරලා.  

"අය්යා හිස්ටෝ තමයි අමාරු. හැමදාම  විභාගේ අනෙන්නේ හිස්ටෝ නිසා තමයි"


"ඔයා පැණිදෙණියේ නේද ඉන්නවා කිව්වේ ? මගේ පොළ තියෙන්නේ ඔය ළඟමයි  . 

කැමතිනම්  හවසට හවසට  ඒ පැත්තේ එන්න. මම හිස්ටෝ පාස් කරගන්න හැටි කියලා දෙන්නම්."

මම ඇනටමි  කථිකාචාර්ය වුණේ නිකන්ම නොවේ  . 

මට ඇනටමි සෙකන්ඩ් එම්. බී  ඩිස්ට්‍රො  එකක් ද  සහිතව පාස් වුන කෙනෙකි. 

ඒ නිසා  මේ සිසුවාට ඇනටමි  පාස් කර ගන්නා සරල ක්‍රම  කියා දෙන්නට මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබිණි. 

"ලෙඩ්ඩු නැතිවෙලාවක් බලලා එන්න . මම දිනපතා මොනවා හරි කියලා දෙන්නම්"

එදා හවස් වෙද්දී  මගේ පොළ ළඟ  කරීනා එක පිටි පස්සෙන් නැවත්වුයේ  බීට් පාට  ලාන්සර් බොක්ස් එකකි.  

උඩ තට්ටුවේ පිහිටා තිබී මගේ පොලේ සිට පහළින්  එන්නේ කවුදැයි බලා ගැනීම ඉතා පහසුය.  ඒ එන්නේ  අපේ කාර් මල්ලියාය.

ඒ වන විට  මගේ ළඟ ලෙඩ්ඩු සිටියේ නැත. ඒ නිසා ප්‍රථම පාඩම ඔහු පැමිණි සැණින් පටන් ගන්නට හැකි විය.

එදා සිට දිනපතා රාත්‍රී නවය නවය හමාර වන තෙක් මම සු.... ට  කාය ව්‍යව්ච්චේදය  කියා දුන්නෙමි.  

ඒ  ඔහුට අමාරුයි  කිව්  පටක විද්‍යාව ද  සමගය.

ලෙඩ්ඩු වැඩි වූ  සමහරක් දිනවල  මා පොළ අවසන් වී නිවසට යන්නේ රෑ දහයට පමණය.  

ඒ දහය වෙනතෙක් පොල් කැඩිම නිසා නොව  අපේ කාර් මල්ලිට  පැයක් එක හමාරක් උගන්වන්නට සිදු වූ නිසාය.

ඒ කාලේ මගේ තනියට  නිම්මි හිටියේ නැත . හිටියේ මට ඩ්‍රයිවින්  උගන්වන්නට පැමිණ සිටි අපේ තාත්තය. 

මා පරක්කු වී නිවසට එනවිට  රෑ කෑම කන්නට බලා සිටිනා තාත්තා අහන්නේ 

"ඇයි පරක්කු වුණේ ? අදත් අර ළමයාට  ටියුෂන් එක තිබ්බද ? " කියාය.

සෙකන්ඩ් එම් බී රිසල්ට්ස් ඇවිත් 




මාස දෙක තුනක් ගිය තැන  සෙකන්ඩ් එම්. බී රිපීට් එක පැවැත්විණ. 

අපේ ගෝලයා මගේ උවමනාව නිසාම විභාගයට උනන්දුවෙන් මුහුණ දුන්නේය. 


සති කිහිපයක් ගතවූ පසු සිනාමුසු මුහුණින් යුත් සු... මගේ පොලේ පඩිපෙළ නැග්ගේ ඈත සිටම කෑ ගහගෙනයි.

"කවිඳු අය්යේ මම විභාගේ පාස්  .  අය්යට පිංසිද්ධ වෙනවා මම ගොඩ දැම්මට"


ඒ මෙතෙක් පේරාදෙණියේ  බමුණු කුලයට ආවැඩූ අපි වැනිම වූ පරිවාස කථිකාචාර්ය වරුන්ගේ මෙන්ම  මම රුහුණෙන් පැමිණි නිසා මට  කෙණෙහිලි කම් කල එක්තරා මහාචාර්ය තුමියගේ දසුනින් ඉවත් වී නෙදර්ලන්තය යෑමට  මට අවස්තාවක් උදාවී ඇති ආරංචියයි.

ජාන විද්‍යාව ගැන කෙලපැමිනි යැයි සම්මත මෙම මහාචාර්ය තුමිය මට වෙනස් කම් කලේ විශ්ව විද්‍යාලය තුල බණ භාවනා පංති ද කාරනා අතරේ  වීම සිහිපත් කල යුතුම කාරණයකි. 

මම සුභ ආරංචි  දෙක එකට ගැලපුවෙමි.

"මල්ලී හොඳ වැඩ කරාම හොඳ ප්‍රතිඵල  ඒ ආත්මෙම ලැබෙනවා.   බොරුවට පන්සල් පල්ලි යන්න ඕනේ නෑ. 

ඔයා ගොඩ දාන්න මම බැස්සේ  හොඳ හිතින්. මොනවත් ඔයාගෙන් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ.  

ඔන්න ඒකෙ ප්‍රතිඵල මටත්  ඇවිල්ලා . 


මල්ලී මටත්  පිටරට යන්න සිස්‍යත්වයක් හම්බවුණා  මේ ලඟදි. "

"නියමයි අය්යා. එහෙනම් අපි දෙන්නම ගොඩ ගියා  . මට හරි සන්තෝෂයි. "

එදා මගෙන් සමුගත් ඔහු  ඊට පසු අවස්ථා කිහිපයකදීම විශ්ව විද්‍යාලයේ සැරි සරණු  දුටුවෙමි. 

පසු කලෙක මම නිවාඩුවකට  මම ලංකාවට ගොස් සිටියදී අපේ ප්‍රේමදාස මට කාර් මල්ලී මතක් කර දුන්නේ මෙසේය .

"සර් අපි දන්නවා . .....සර්  අර  සු.... සර්ට විභාගේ පාස් වෙන්න උදව් කලාලු නේද ?  "

"අයිසේ ප්‍රේමදාස බෙල්ල ගහලා යන කතා කියන්න එපා . 

මම උදව් කරලා නෙවෙයි මිනිහා එයාගේ උත්සාහයෙන් පාස් වුණේ. මම කරේ පාඩම් කරන්න උදව් කරන එක විතරයි"

මට මෑන්ස් ඊට පස්සේ හම්බවුනේ නෑ  කොහේ හරි වැඩ ඇති නේද දැන් . ?"

ටික කාලෙකට ඉස්සර නුවර ඉන්ටර්න් කරා කිව්වා සර්.

 ඔව් එයා දැන් දොස්තර කෙනෙක් " 

.  
  

Wednesday, 12 October 2016

අපේ ගමේ අපි කරනා හතර වන නිවාස ව්‍යාපෘතිය - රංජිත් ගේ ගෙදර


අතීත  කතාව


රංජිත් රාජපක්ෂ  කියන්නේ අපේ අම්මාගේ ගම වූ  කිරිඔරුවේ  ඉන්න ඉතා කඩිසර  සහ උනන්දුවෙන් වැඩ  කරනා ගොවි මහතෙක්.

අපට  සම වයසේ වූ  රංජිත් ලා  එළවලු හදන්න පටන් ගත්තේ  අපි තරුණ කාලේ  එළවලු හදද්දීමයි.

අපි මුලින්ම  එළවළු වගාවට  බහිද්දී  අපේ අම්මා  කිරිඔරුව  පුරා එළවලු කන්නෙට  බදු ගන්න කුඹුරු  හොයමින් ඇවිද්ද හැටි  මට තාම මතකයි.

එතකොට  මම හිටියේ  හතේ පන්තියේ  , ඒ කියන්නේ මගේ වයස  අවුරුදු  13  යි.

 මම අපේ  අම්මත් එක්ක  රංජිත් ලා මහා ගෙදර ( ඤන්   ඤඋන් ආතලා ගෙදර )  ගියේ අපිට මුළු කිරිඔරුවේ  කොහෙන් වත්  බද්දට ගන්න කුඹුරක් නැතිව හිටපු මොහොතකයි.

"හරි හරි විමලා  නංගි  මට රුපියල්  හාර සීයක්  දියන්   මම   උඹලට  එළවළු හදා ගන්න  මගේ  කුඹුර  දෙන්නම් "

ඤන්   ඤඋන් ආතා  අපේ  අම්මාට  ඇයගේ  කුඹුරේ එළවළු හදා ගන්න යැයි පැවසුවේ  අපේ අම්මාගේ  ජාතක  කල  පියා පවා අපට කුඹුරක්  නොදී සිටි කාලයකයි.

ඒ වන විට රංජිත්ගේ  වයස  අවුරුදු 12ක්  පමණ වුවත් දුප්පත් කමේ  පතුලේම ගිලි සිටි රන්ජිත්ලාට  අපේ අම්මා වැනි ශක්තිමත් කාන්තාවකගේ  මග පෙන්වීම  ලැබී තිබුණේ නෑ.

තිබුනානම්  අද මෙසේ ලියන්නේ මම නොව රන්ජිත්ම  වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

රංජිත් ගේ අම්මා හෝ තාත්තා ඒ කාලේ අපේ දෙමව්පියන් මෙන් තම දැරූ දැරියන් ඉගෙනීමට මෙන්ම  කැත්තේ උදැල්ලේ වැඩට  පෙළඹ වූ අය නොවේ .

ඔවුන්  ඉඩම් හිමියන් වුවද රංජිත් ලා තාත්තාගේ ලඟම  නෑදෑයින් විසින් ඔවුන්ගේ සියළු ඉඩම් සටකපට කමින් ඔවුන්ගෙන් "පැහැර ගෙන තිබිණි " .

ඉතිරි වී තිබුණේ  වී  පෑල් දෙකක කුඹුරු කෑල්ලක් සහ දැනට රංජිත් පදිංචි වී සිටින ඉඩම් කෑල්ල පමණි.

ඤන්   ඤඋන් ආතා  අපේ අම්මාට දුන්නේ ( 1983 දී ) මේ  කියනා  වී පෑල්  දෙකේ කුඹුරු  කෑල්ල යි.



ප්‍රථම වරට  ඒ කුඹුරේ  අල,  බටු , තක්කාලි  සහ  බෝංචි  ඇතුළු මිශ්‍ර වගාවක්  කර ආරම්භ කල අපේ  ගොවි ජීවිතය  අවසන් කෙරුනේ  1993 දිය.

ඒ  රුහුණු විශ්ව විද්‍යාලයේ  වෙද සිසුවෙක් ලෙස මට ගමෙන් සමුගන්නට  සිදු වීමත් සමගයි.

ඒ වනවිට  අපේ  ගෙදර සියළුම  සාමාජිකයින්  ( සමන්ත සහ තාත්තා හැර ) කරේ පවුම් එකේ දෙකේ රත්‍රන් චේන් වැටී තිබිණි.

එමෙන්ම මගේ බැංකු පොතේ  අඩුම තරමින්රු පියල් දහ පහළොස් දාහක් වත් තැන්පත් වී තිබෙන්නටද  ඇත.

1993  තම කුඹුර දෙස වත් නොබැලු රංජිත්  ඊට වසර තුනකට පමණ පසු ( එතෙක් ඒ කුඹුරේ එළවළු හැදුවේ  අපේ  කට්ටියයි )  තමන්ගේ  කුඹුරේ  එළවළු හදන්නට  පටන් ගත්තේය.

එදා සිට අද දක්වාම  රංජිත්  එහි වගා කටයුතූ කාරනා අතර   අම්මා  අපේ වගා කටයුතු හුරියගස්වැල්ලේ  කුඹුරකට  ( අපේ මුත්තාගේ ඉඩමට අල්ලපු ඉඩමේ ) මාරු කළාය .

හේතුව කර දඬු මහත්වූ රංජිත් තනියෙන්ම වගා සටනට  පැමිණ ඔහුගේ  මව අපට බදු  දී තිබුණ කුඹුරු  කෑල්ල  ඔහු ගේ වගාවට  යොදා ගැනීමයි.

වර්තමාන  කතාව


ඤන්   ඤඋන් ආතා මියගිය  පසු  ඈ සිටි නිවසේ  තනිවූ  ඇගේ  දියණියන් දෙදෙනාට  නිවසක් තනා දුන් හැටි ඔබට මතක ඇතැයි සිතමි.

ඒ සඳහා අපේ කල්‍යාණ මිත්‍ර ඇතුළු බොහෝ පිරිසක් දායක වූ අතර අපේ තාත්තා සහ  කිරිඔරුවේ  "අමරේ  මාමා "  මූලික වී  ගමේ අයගෙන් ද මුදල් සම්මාදම් කර  තිබුණි.

ඒ නිවසේ වැඩ කරද්දී අපට නැවතත් සමීප වූ රංජිත් ජිවත් වුයේ කෙබඳු නිවසක දැයි අප ඒ වනවිට  හාන්කවිසියක් වත් දැන සිටියේ නැත.

තම අක්කලා ගේ නිවසේ වැඩට අප ආධාර සොයා දෙද්දී ඉතා උනන්දුවෙන් එහි වැඩට යොමු වූ රංජිත්  මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

ඔහු තම දරුවන් සහ බිරිඳ රකින්නේ  අප 1983  එලවලු වගා කල ඒ  කුඹුරු කෑල්ලේම  එළවළු හැදීම  තම ප්‍රධාන  ජීවනෝපාය කරගෙනයි.

ඤන්   ඤඋන් ආතා ගේ  දුවලා දෙන්නට ( රංජිත්ගේ අවිවාහක අක්කලා දෙන්නා ) නිවස අලුත් වැඩියා කර දීමෙන් අනතුරුව  රංජිත් ගැන තව තවත් පැහැදුනෙමි.

ඒ  තම දරු පවුල රැකීමේ බර තිබෙද්දිත් රංජිත් සිය අක්කලා ගේ නිවසේ වැඩට  උනන්දුවෙන් ඉදිරිපත් වූ බව  දැන ගැනීමත් සමගයි.

මගේ ගමේ වැඩ ගැන ආදරයෙන් සොයා බලනා හිතවතෙක් ඇමතු මම රංජිත්ගේ  නිවස ගැන විමසුවෙමි.






මේ  අපේ හිතවතා ලබා දුන්  මුල්ම  චායා රූප සමුහයයි.

ඉන් නොනැවතුණ ඔහු  මා හා මෙවැනි සාකච්චාවකට එක් විය. 

"මාමා  දන්නවද  වැඩක් ? "

"ඇයි  මොකද ඇලෙක්ස් .රංජිත් මේ ගේත් හදලා දෙන්න කිව්වද?"


හදලා දෙන්න කිව්වා නම් තමයි. ඒ වුනාට මට  මිනිහගේ ගේ  වහලේ දැක්කම හරි බය හිතුනා " 

"ඒ  කිව්වේ ?"

රංජිත්  වහලේ  ෂිට් තියලා තියෙන්නේ නිකන්ම  ගඩොල් කෑලි ටිකකුයි  "බෝල්  ලි " ටිකකුයි උඩ. 

ලොකු හුළඟක්  එහෙම ආවොත්  වහලේ කඩා වැටෙනවා. 

ඔය විදිහට වහලේ ගහගෙන මිනිහා අවුරුදු දහයකුත් ඉඳලානේ  අප්පා " 




"ඒක නෙවෙයි , මිනිහට ලොකු ළමයි ඉන්නවද  ?  "

"ළමයි තුන්දෙනයි.  අපේ පුතාගේ  වයසේ ලොකුම පුතා  . ඒ කියන්නේ අවුරුදු දා හතරයි .  

දුවලා දෙන්නා ඊට  බාලයි .  තුන්දෙනාම යන්නේ ගමේ ඉස්කෝලෙට  "




"හරි හරි ඔයා දැන් මොකක්ද මට කියන්නේ ? මේකටත්  කර ගහන්න කියලද? 

මට  විසුමක්  වෙන්නේ  ගෙදර  අයගෙන් "

"ඔව් මාමා පිං සිද්ධ වෙනවා .  මොකක්  හරි කරමු. 

අඩුම ගානේ මේ  වහලේ වත් හරියට  ගහලා දෙමු. "

ඇලෙක්ස් ගේ වදෙන් බේරෙන්න බැරි තැන මම වැඩට බැස්සෙමි.  

මුහුණු පොතේ  මේ පින්තුර ටික  පළකර  මගේ හිතවතුන් ගෙන් උදව් ඉල්ලුවෙමි.

මුල්ම  වටයේ රුපියල් 35250 ක්  එකතු කර ගන්නට සමත් වීමි.

එයින්  රුපියල් 15000 ක්  වහලේ  ලි වලටත්  තව 12000 ක්  බ්ලොග් ගල් වලටත් වැයවී තිබිණි. 





ලි තුණ්ඩුව 



ගඩොල් අදින්නට  සහ  ගේ වැඩ කටයුතු අධීක්ෂණයට  මෙවර ඉදිරිපත් වුයේ  කිරිඔරුවේ  ජනප්‍රිය  තරුණ කණ්ඩායමකි.

මුදල් පරිපාලනය  කලින් ව්‍යාපෘති වලදීත්  ඒ සඳහා දායකවූ  "කුමාර මල්ලී " විසින්මය.  

මගේ  ලංකා බැංකු ගිණුමට  වැටුන  මුදල්  කුමාරගේ  ගිණුමට  අන්තර්ජාලය හරහා යවමින්   කටයුතු කරගෙන ගියෙමි. 






කිරිඔරුවේ  තරුණයින්   අපේ වැඩට උදව් වෙමින්. 


ගඩොල් සහ ලි සකස් කරගෙන  දින කිහිපයක් ගෙවී ගියේ මේසන් බාස්ලා  සොයා ගැනීමට නොහැකි වීමත් සමගයි. 

මම අපේ තාත්තාට කතා කලෙමි. ඔහු දින දෙකක් ඇතුලත  මේසන් වරු දෙදෙනෙක්  සොයා ගත්තේය.  

ඔවුන්ගේ දිනක අය කිරීම  රුපියල් 1700 කී ( එක අයෙකුට)  අත් වැඩ කරුවෙකුට  රුපියල් දාහක් ගෙවිය යුතුය. 

දැන් බාස්ල දෙදෙනෙක් සහ අත් වැඩ කරුවෙක් එහි වැඩ කරති.  ආරම්භ වුයේ  පසුගිය සඳුදා  ( 08/10/2016 ) ය.  








රංජිත්ගේ  නිවස ඊයේ  (09/10/2016 ) වනවිට.

වැඩ  තව දුරටත් කෙරෙමින් පවතී. රංජිත්ගේ  වහලයෙන් භාගයක් බිමට පැමිණ තිබේ  ඒ  එහි බිත්ති ඉහලට එසවීම සඳහා ය.

බාස්ලට මුදල් ගෙවන්නට නොහැකිව කුමාර මල්ලී  පසු තැවෙමින් සිටි.

මම නැවතත් ඔබ දෙසට හැරෙමි.

කරුණාකර  අපට/ රන්ජිත්ලා  වැඩේ වෙනුවෙන් උදව් කරන්න

මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )


මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න.