Follow by Email

Wednesday, 28 September 2016

හින්නි අප්පුහාමිලා සහ මගේ කාර් එක



මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පරිවාස කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වෙන්නේ වසර දෙදාහේ මැද භාගයේදීය.

තනිකඩයෙකු ලෙස පේරාදෙණියට පැමිණි මා  මුලින්ම නතර වුයේ  පිළිමතලාව පාරේ නිවසකයි.

විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුට අයත් නිවසේ යට තට්ටුව මගේ ප්‍රථම කුලී නිවාසය විය.

ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට
විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.


"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා .  කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි.

"ඉතින් ඩොක්ටර් අර හින්නි අප්පුහාමි ගෙන් අහන්නකෝ  .

එයා හොයලා දෙයි හොඳ වාහනයක් "

"කවුද හින්නි අප්පුහාමි?  අර  මගෙන් බෙහෙත් ගන්න එන ඊ ෆැකල්ටියේ  ටෙක්නිෂන් මහත්තයද? "

"ඔව් . ඔව් එයා තමයි ඩොක්ටර් .

හින්නි මහත්තයා වැඩ කරන්නේ  මෝටර් මිකැනික් අංශයේ ම නේ ? "

ඒ වන තෙක් විශ්ව විද්‍යාල  කාර්ය මණ්ඩල ගැන විශේෂ අවධාණයක්  යොමු නොකල මට ඔවුනගේ ජිවිත ගැන බොහෝ පාඩම් ඉගෙන ගන්නට ඉඩ ලැබෙන්නේද මේ වකවානුවේදීය.

උදේ අටට වැඩට එන ටෙක්නිෂන් මහත්වරු බොහෝ දෙනෙක් දවස ගෙවන්නේ පත්තර බලමින් හෝ රේඩියෝ අහමිනි.

අපේ දෙපාර්තමේන්තුවේ පමණක් ටෙක්නිෂන් වරු අට දෙනෙක් සිටි බව මතකය.

සතියකට දෙතුන් වරක් එන ප්‍රැක්ටිකල්  එක සකස් කිරීම හැරුණු විට ඔවුන් කල වෙන වැඩක් මට නම් මතක නැත.

මට මතක හැටියට  ඒ කාලේ  අපේ දෙපාර්තමේන්තුවේ වැඩි බර ඇද්දේ කම්කරුවන් විසිනි .

ඒ අතරින් පියතිලක  , ප්‍රේමදාස වැනි කම්කරුවෝ ඉතා වෙහෙස වී වැඩ කල හැටි මට මතකය.

මෙය විශ්ව විද්‍යාලයේ බොහෝ දෙපාර්තමේන්තු වලට පොදු වූ ලක්ෂණයකි.

අනියම් කම්කරුවන්  වැඩ කරනා අතරේ ස්ථිර කම්කරුවන් සහ ටෙක්නිෂන් වරු තම තම අතිරේක රැකියා  වල වැඩිපුර යෙදුනේ අපේ දෙපාර්තමේන්තු වේ පමණක් නොවේ

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් වරු සහ බොහෝ කම්කරුවෝ තමන්ගේ රාජකාරියට  අමතරව වෙන රැකියා දෙකක් වත් කරති.

ත්‍රී විලර් එළවීම වැනි රැකියා කම්කරුවන් ගේ අතිරේක රැකියා වූ අතර ටෙක්නිෂන් වරු කිහිපදෙනෙක් ම වාහන බ්‍රෝකර් වරුන් ලෙස කටයුතු කළහ.

කෘෂිකර්ම පීඨයේ  සිසිල් සහ ඉංජිනේරු පීඨයේ  හින්නි අප්පු හාමි  මෙන්ම  වෛද්‍ය පීඨයේ රියැදුරෝ කිහිපදෙනෙක්ම මේ  බ්‍රෝකර් රැකියාවේ නිරත වූ බව මතකය.

ලේ වමනය කල රෝගියා 



ඒ මම  "පොල් කඩන්නට " පටන් ගත් මුල්ම කාලයේ දිනයකි.  පුරුදු පරිදි  සිල්ලර බඩු කඩයක උඩ තට්ටුවේ වූ  මගේ "ෆැමිලි කෙයා  " එකට වී සිටියෙමි.

මුහුණපුරා රැවුල වවා ගත්  කළු මිටි රෝගියෙක් මගෙන් බෙහෙත් ගන්නට පැමිණ සිටි.

"කෝ දොස්තර මහත්තයා ඉන්නවද? " මා සිටි මේසය ඇති කොටස වසා තිබු කොළ පාට තිරය මෑත්  කරමින් රෝගියා  මා ගැන විමසන්නට විය.

"ඉන්නවා . එන්න එන්න. මෙහෙන් ඇවිත් ඉඳ ගන්නකෝ "

"මාර වැඩේනේ ඩොක්ටර්  .ඊයේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා යාළුවොත් එක්ක  අද කීප පාරක්ම ලේ  වමනේ  ගියානේ "

රෝගියා  රෝග ඉතිහාසය කියන්නට පටන්ගත්තේය.

ඒ කාලේ මගේ පොලේ රෝගීන් ගේ පැමිණීම දහයක් දොළහක් වැනි උපරිමයකට යටත් ව තිබුනා කිව්වොත් නිවැරදිය.

ඒ නිසා රුපියල් හැටත් අසුවත් අතර ගානක් මට ගෙවනා රෝගියෙකු වෙනුවෙන් අඩුම තරමේ විනාඩි විස්සක් හෝ පැය භාගයක් වැය කිරීම මගේ සිරිතයි.

රෝගියා ගේ මද්‍යසාර භාවිත කිරීමේ ඉතිහාසයේ සිට  මද්‍යසාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි ඵල විපාක (සිරෝසිස් වැනි අක්මාවේ  අබාධ තත්වද ඇතුළුව )  විස්තර කරන්නට  එය අවස්ථාවක් කර ගත්තෙමි.

ඔහුට ඇතිවී ඇති තත්වය  "මැලෝරි වයිස් ටෙයාර්"  නමින් හඳුන්වන   ගලනාලයේ  සියුම් ඉරීමක් විය හැකි බවත් එහෙත් ඔහුගේ  මද්‍යසාර  භාවිත කල ඉතිහාසය අනුව  අක්මාව  පිලිබඳ ලේ පරික්ෂා සහ  ගලනාලය තුලට  බටයක් දමා කාරනා පරීක්ෂණ වැනි දේවල් කලයුතු බවත්  රෝගියාට පැවසුවෙමි.

"මිට පස්සේ නම් අරක්කු බොන්නේ නෑ ඩොක්ටර් . 

යාළුවෝ එක්ක සෙට් වුනාම තමයි වැඩි පුර පෙවෙන්නේ "

රෝගියාද  මගේ වෛද්‍ය උපදෙස් පිළිගත් බවක් පෙන්නුම් කළේය.

පොල් කඩේ මුල්ම කාලය නිසා මගේ රෝගීන්ගේ  රැකියාව , පවුලේ විස්තර  , සිගරට් අරක්කු බිම වැනි පුරුදු ගැනද  කතා කිරීම මගේ සිරිතයි.

ඒ  අනුව  මේ ලේ වමනය ගොස්  පැමිණ සිටින්නේ  පේරාදෙණිය  ඊ ෆැකල්ටියේ   ටෙක්නිෂන්  කෙනෙකු සහ නමගිය  වාහන  බ්‍රෝකර් කරුවෙකු වූ  හින්නි අප්පුහාමි බව හඳුනා ගත්තෙමි. 


එමෙන්ම ඊට පළමුදා   රාත්‍රියේ ඔහු අරක්කු බී ඇත්තේ තවත් වාහන බ්‍රෝකර් කෙනෙක් මෙන්ම  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ටෙක්නිෂන් කෙනෙකු ද වූ සිසිල් සමග බවද  දැනගත්තෙමි. 


මෙන්න මේ  බෙහෙත් ටික ගන්න කියමින් "ඇන්ටසිඩ් පෙති" සහ විටමින් වර්ග තුනක්  හින්නි අප්පුහාමිට දුන් මම දිගටම ලේ වමනය  ගියහොත් පේරාදෙණිය ශික්ෂණ  රෝහලට  යායුතු බවත් ඉහත සඳහන් කල පරීක්ෂණ  කර ගත යුතු බවත් පැවසුවෙමි. 

"බොහොම ස්තුතියි ඩොක්ටර් දුන්න උපදෙස් වලට  මම ගිහින් එන්නම් එහෙනම්"

රුපියල් අසුවක් මට දුන් රෝගියා  මගෙන් සමුගත්තේ ලබාදුන්   වෛද්‍ය උපදෙස් වලටද ස්තුති  කරමිනි. 

ඊට පසු කිහිපවතාවක්ම  හින්නි අප්පුහාමි සහ ඔහුගේ පවුලේ අය මගෙන් බෙහෙත් ගන්නට පැමිණි අතර  දින ගණනාවක් අතුලත ඔවුන්ගේ පවුලේ   වෛද්‍ය වරයා ලෙස මාව තෝරාගත් ලකුණු දක්නට ලැබිණ.







කාර් බැලු හැටි



මෙසේ කාලය  ගත වෙද්දී  මගේ  ලෙඩුන් සංක්‍යාවද  ටිකෙන් ටික වැඩි වෙන්නට විය. 

බොහෝවිට කඩුගන්නාව බස් එකක එල්ලී සේවය අවසන් කර එන මම කෙලින්ම පොලට යන්නට  හුරු වීමි.

නුවරට ආසන්න වුවද ප්‍රධාන පාරෙන් එපිට වූ ගම් වැසියන්ගේ  ඉල්ලීම පිට රාත්‍රී කාලයේ  නිවසේද  හදිසි රෝගීන්ට බෙහෙත් කරන්නට පටන් ගත්තෙමි. 

ඒ ගැන වඩාත්ම  සන්තෝෂ වුයේ මා කුළියට ගත් ඇනෙක්ස් එකේ හිමි කරු වූ සරප් මහතාය.

හේතුව ඔහුගේ  නිවසේ නැවති සිටින  දොස්තර මහතා ගෙන්  ගමේ අයට තිබෙන ඵල ප්‍රයෝජන අධික වීමයි.

විශේෂයෙන්  රාත්‍රියේ  සිදුවන හදිසි ආපදාවන් වලදී  දොස්තර කෙනෙක්  අතළඟ සිටීම ගම්මුන් බොහෝ සෙයින් අගය  කල කාරණයකි.

මෙසේ කාලය ගතවෙද්දී  මා වෙත  පැමිණි සරප්  මහතා

"ඒක  නෙවෙයි  ඩොක්ටර්  දැන් ලෙඩ්ඩුත්   ටික ටික වැඩිවෙනවා නේද?  දැන්නම් ඉතින් කාර් එකක් විතරයි අඩු "

යනුවෙන් මට කාර් එකක් ගැනීමේ  වැදගත් කම සිහිපත් කළේය.


"ඔව් ඔව්  සමහර ලෙඩ්ඩු මගෙනුත් අහනවා  කෝ ඩොක්ටර් අද කාර් එක කියලා එහෙම "

මම මගේ රෝගීන්  ගේ  කාර් එකක් සහ දොස්තර කෙනෙක් අතර අවස්ථා සම්බන්ධය දකින්නට ඇති  කැමැත්ත සරප් මහතාට මතක් කර දුන්නෙමි.

"මේකනේ ඩොක්ටර් වැඩේ .

ගොඩක් ලෙඩ්ඩු  ඩිස්පැන්සරියේ  දොර ඇරලද  කියලා බලනවට වඩා පුරුදු වෙලා ඉන්නේ මහත්තයාගේ  කාර් එක පාර අයිනේ තියෙනවද  කියලා බලන්න .

පාර අයිනේ කාර් එක පේන්න  තියෙනවා නම් ලෙඩ්ඩු දන්නවා දොස්තර මහත්තයා ඇවිත් ඉන්නේ කියලා .

ඔන්න ඔහේ  පොඩි කාර් එකකුත් ගමු ඩොක්ටර් එතකොට  ඔක්කොම සම්පුර්ණයි. "

සරප්  මහතා කියාගෙන ගියේය.

මේ අතර කිරිබත්කුඹුරේ  දුමි අය්යා ( අපේ සමන්ත ඉස්සර නැවතී සිටි ගෙදර )  මට කාර් එකක් ගැන හෝඩුවාවක් ලබා දුන්නේ ය.


ඒ  ඔවුන්ගේ නිවසට එහා පැත්තේ නිවසක සිට ඊට ආසන්න කාලයකදී මියගිය අංකල් කෙනෙක් පාවිච්චි කල  කොරොල්ලා  AE 81 කාර් එකක් විකුණන්නට  තිබෙන ආරංචියයි.



දුමි අය්යා ගේ පනිවිඩය ගැන සරප් මහතාට මතක් කලේ  මාත්  සමග කාර්  බලන්නට යන්නෙක් අවශ්‍ය  බව කියමිනි.

"ඉතින් ඩොක්ටර්  අර  හින්නි අප්පුහාමි එක්කන් යන්නකෝ  එයා වාහන ගැන හොඳට දන්නවනේ . 

මිනිහා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නත් එනවා නේද ? " සරප් මහතා කාර් බැලීමට හොඳම  කෙනා මට මතක්  කර දුන්නේය .

ඊට ටික දිනකට පසු  පාර අයිනේ සිටි හින්නි අප්පුහාමි  හමුවූ මම කාර්  එක ගැන විස්තරය  ඔහු සමග පැවසුවෙමි.

"හරි ඩොක්ටර් මම වැඩ කරන ගමන් වෙලාවක ඩොක්ටර් එක්ක යන්න එන්නම්  . 

මම එනවෙලාවට  කෝල් එකක් දෙන්නම් කෝ " හින්නි වැඩේට එක පයින් කැමතිවුනේ මගේ හිතවත් රෝගියෙකු  ලෙසිණි.

හින්නිත් මමත් කාර් එක තිබු නිවසට ගොස් ලා කොලපාට ඉතා පිළිවෙලට තිබු කොරොල්ලා කාරය පරික්ෂා  කළෙමු.

කාර් එකේ ලොකු වරදක්  හෝ ලොකු හොඳක් නොකියා සිටීමට  හින්නි මහත්තයා  වග බලා ගත්තේය . 

අවසානයේ  මම නිහඬතාවය  බින්දෙමි .

"අන්තිම  ගාන කියද ඇන්ටි ? " 

"පුතා අංකල් මේක හරි ආදරෙන් පාවිච්චි කලේ  . 

අපිට මේකට දෙකයි තිහැක වත් ඕනෑ. 

ඔක්කොම ටුල්  කිට් එහෙම එහෙම්ම තියෙනවා . ඒවත් එක්කම  තමයි කාර් එක දෙන්නේ ".

"ඩොක්ටර්  දෙකයි දහයක්  කියන්න . ඔක  ඒ ගානට ගන්න පුළුවන් " හින්නි අප්පු හාමි මගේ  කනට කර පැවසුවේය.

මම දෙකයි දහයක් ලන්සුව ලෙස තැබුවෙමි.  කාර් එක එදිනම මගේ සිත් ගත්තද කාර් ගැන දන්නා  හින්නි  ගේ අදහසට  ඉහලින් යන්නට මට සිතුනේ නැත.

දින කිහිපයක් ගතවී  ගියේය. කිරිබත්කුඹුරේ දුමි අය්යා හමුවූ මොහොතක කාර් එක ගැන ඇසුවෙමි.

"අන්න මල්ලි ලොක්කා  උඹට වැඩේ දීල.

එදා උඹ එක්කන් ආපු බ්‍රෝකර් පහුවදාම වෙන මනුස්සයෙක් එක්කන් ඇවිත් අල්ලපු ගෙදර ඇන්ටිගේ  කාර්  එක දෙකයි තිහටම  විකුණලා  දීලා.

මරූ කාර් එක බන් අපරාදේ  උඹට එදාම  ගන්න තිබ්බේ "

දුමි අය්යා  කාර් එක විකුණු ආරංචිය  මා හට පැවසුවේ  එසේය.  හින්නි අප්පුහාමි මට මුල්ම  පාඩම ඉගැන්වූයේ  එසේය.

දෙවන පාඩම ඉදිරියේදී  බලාපොරොත්තු වන්න 







Wednesday, 14 September 2016

තුන්වරක් සැම්සන් දෙවන කොටස -ජයතිලකෙදි යලි හමුවී



මම මේ කියන කාලය වනවිට  වෛද්‍ය පීඨයේ අවසාන වසර විභාගය සමත් වී සිටියෙමි.  

ඒ වනවිටත් අය්යා සිටියේ අවිවාහකවයි .  

මා ජයංගනී නංගිගෙන් වෙන්කර තැබීමේ උපක්‍රමයක් ලෙස  අය්යාගේ තනියට නුවර යන ලෙස අම්මලා ගෙන් උපදෙස් ලැබිණි. 

ඒ වෙනුවෙන් සමන්තද  මට පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය තනතුරක් සහ සේවයෙන් පසු කල හැකි පුද්ගලික වෛද්‍ය සායන කිහිපයක්ද සාකච්චා කර තිබිණි.

මම පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය කෙනෙක් ලෙස වැඩ කරන්නට පටන් ගත්තෙමි. 

අය්යා දොඩම්වල පැත්තේ කුළියට ගෙන තිබු විශාල නිවස බලාගෙන උයා පිහාගෙන සිටීම මගේ රාජකාරිය විය.

ටික කලක් ගෙවී ගිය තැන ඔහුට  ඔහුගේ වර්තමාන බිරිඳ සම්බන්ධ වූ අතර ඔවුන් විවාහ වී දොඩම්වලට පැමිණීමත් සමග මම අලුත් නිවසක් සොයා යන්නට තීරණය කලෙමි.

"මල්ලී උඹ කැමති නැද්ද සබ් වෝඩන් කෙනෙක් වෙලා හෝල් එකකට යන්න ? " මම කැම්පස් එකට කතා කරලා අරන් දෙන්නම් .

සමන්ත මගෙන් විමසා සිටියේය. 

"ඉතින් මම මෙහෙ කොල්ලෝ අඳුරන්නේ නෑ නේ ? "

"නෑ.. නෑ.  උඹට උන් අඳුරගන්න අවශ්‍ය නෑ. 

හොස්ටල් එකේ තනි කාමරයක් දෙයි ඒකට වෙලා ඉන්නයි තියෙන්නේ . 

කොල්ලෝ උන්ගේ පාඩුවේ ඉඳියි "

හවසට ජිම් එක පැත්තේ එහෙම ගිහිල්ලා ,කැම්පස් එකේ රවුමක් ගහලා ඉන්න පුළුවන් . 

ඔය අතරේ උඹට පේරාදෙණි කෙල්ලෙක් වත් සෙට් වෙන්නත් බැරි නෑ"

"හරි හරි එහෙම හොඳයි . බෝඩිමක ඉන්නවාට වඩා හෝල් එකක ඉන්න එකට මම කොහොමත් කැමතියි. "

මෙතෙක් අය්යාගේ ගෙදර අයිතිකාරයා සේ මල් පාත්ති හදමින් මිදුල් අතුගාමින් සිටි මා "සබෙක් " ලෙස ජයතිකයට යන්නට තීරණය කලේ එසේය. 

ඒ කාලේ එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය වරයෙකු වූ සමන්තට විශ්ව විද්‍යාලයේ බොහෝ සම්බන්ධකම් තිබිණි.


තරුණ කථිකාචාර්යවරයෙකු ලෙස ඔහු විශ්ව විද්‍යාලයේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය චරිතයකි. 

ඒ නිසාම  තම මල්ලී ට ජයතිලකයේ ස්ටාෆ් කාමරයක් සොයා දීම ඔහුට ඉතා ලෙහෙසියෙන්  හා පහසුවෙන් කල  හැකි විය. 


ජයතිලකේ කැන්ටිම








ජයතිල්කේ කුඩා කාමරයකට  මගේ රෙදි මල්ලත් සමග පිටත් වූ මට උඩ තට්ටුවේ මුල්ලක වූ සබ්වෝඩන් කාමරයක් ලැබිණි.

වෙනම බාත්රුම් ආදිය නොතිබුණු නිසා  කොල්ලෝ පාවිච්චි කරනා  නාන කාමර ,වැසිකිලිම ආදියටම මටද යන්නට සිදුවිය. 

ඒ වන විට ජයතිලකයේ සිටියේ අවසාන වසර වල සිසුන්ය ඉංජිනේරු හැර සියළුම පීඨ වල අවසාන වසරේ සිසුන් මෙහි වාසය කළහ.  

දින දෙක තුනක් ගත වෙද්දී  එහි සිටි අරලගංවිල සිසුන් ද මට මුණගැසුන අතර වෛද්‍ය සිසුන් වූ විමල් , නිහාල් සහ නිසල ගුණතිලකද  ඒ අතර විය .

මේ අය හලෝ මචං හෝ හලෝ අය්යා  කියා කතාබහ කලත්  මාත්  සමග වැඩි භජනයකට නො ආවේ ඔවුන් අවසන් වසරේ විභාග වැඩ වල යෙදී සිටි නිසා විය යුතුය. 

දැන් තදබල දේශපාලනයක යෙදෙනා  නිසල ඒ දිනවල ෆොටෝ කොපි බිස්නස් කරමින් තම පෙම්වතිය සමග රවුම් ගසමින් සිටි අයෙකි. 

අරලගංවිල මහා විද්‍යාලේ ගිය වෛද්‍ය සිසුන් තම පාඩම් වැඩ වල යෙදී "බිසී " වී සිටිද්දී මම තනියෙන් ජයතිලකයේ  එහා මෙහා සැරිසැරුවෙමි. 

කැන්ටිමට  ගොස් තනියෙන් කෑම කෑවෙමි. තේ බිව්වෙමි.

මහමෝදර  හොස්ටල් එකේ එක් එක් වසර වල කොල්ලෝ ගොඩක් මැද සිංහයෙකු මෙන් දිවි ගෙවූ මට මේ ජීවිතයේ  පුදුම තනිකමක් පාළුවක් දැනීම අරුමයක් නොවේ. 

වෛද්‍ය  පීඨයේ වැඩ නිමකළ මා ජය්තිලකයේ "සබා" ගේ කාමරයට පැමිණියෙමි. 






"වඩේ එකක් කාල ප්ලේන්ටියක් ගැහුවනම් හරි "

මම යට තට්ටුවේ ඇති කැන්ටිම වෙත යන්නට තීරණය කලෙමි. 

කොරිඩෝවේ මද දුරක් ගියා පමණි 

"හලෝ කවිඳු කොහෙද මෙහේ "  

මම කොරිඩෝව දිගේ ජයතිලක කැන්ටිම දෙසට යද්දී මා ඉදිරියට හමුවූ අමුත්තෙකි.

අතේ ෆ්ලොපි  ඩිස්ක් එකකි. වෙහෙසකර බවක් පෙන්වූ මුහුණේ නැගෙන අව්‍යාජ සිනහවත් සමග මම මගේ පැරණි සගයා හඳුනා ගත්තෙමි.

"දෙය්යනේ සැම්සන්? කොච්චර කාලෙකට  පස්සෙද ? "

"ඔයාත් කැම්පස් ඇවිල්ලා එහෙනම් ? 

මම වැල්ලවායේ ඉස්කෝලේ වැඩට ගියත් හරි  ඔයාගන විස්තර මට නැතිවුණා .

"කොහොමද  ? කොහොමද විස්තර ? මේ කොහෙද යන්නේ ?"

"කවිඳු  දක්කිනත් සන්තෝෂයි . මම  දෙවැනි පාර විභාගේ කළා ඒකෙන් ඇග්රි සිලෙක්ට් වුනා . 

දැන් ඉන්නේ ෆයිනල් ඉයර් එකේ . මේ ප්‍රොජෙක්ට් එකක් ලියන්න කොම්පියුටර් රුම් එකට යන ගමන් "

"එහෙනම් ඔයා බිසී ඇතිනේ. ?"

ටිකක් බිසී නම් තමයි. කමක්  නෑ කාලෙකින් නේ හම්බවුනේ යමු කැන්ටිමට තේ එකක් බොන්න"

මම නැවත හමුවූ මගේ පාඩම් සගයා සමග ජයතිලකයේ පඩිපෙළ බැස්සෙමි. 

"මුදලාලි අපිට වඩේ  හතරකුයි  ප්ලේන්ටි දෙකකුයි දෙන්න "

සැම්සන් කොටුදැලෙන් එබී බලනා මුදලාලි ට  ඕඩර් එක භාර දුන්නේය.

"එක නෙවෙයි දැන් මොකද කූජනා නංගි කරන්නේ ?  "

"එයා ඒ ලෙවෙල් එක පාරක් කරලා එන්. ටි. එස්. ගියා"

"දැන් එයා බදුල්ලේ එන්. ටි. එස් . එකේ ඉන්නේ "

"අම්මා තවම වැඩ කරනවද ?  "

"නෑ . නෑ .. එයාලත් බදුල්ලට ගියා . නංගිට දැන් පඩියක් හම්බවෙනවනේ "

"නියමයි. ඒක  නෙවෙයි   ඔයත් එක්ක පාඩම් කරපු විරරත්නට මොකද වුණේ ? 

 පොර කැම්පස් ගියාද  ? "

"නෑ නෑ වීරරත්න  පළවෙනි පාරම හොඳට පාස් වුනා. 

කැම්පස්  යන්න ලකුණු දෙකක්  තමයි මදි වුණේ. 

ඊට පස්සේ එයා බලන්ගොඩ පොලිසියේ කොස්තාපල් කෙනෙක් විදිහට වැඩට ගියා. 

ටික දවසකින් ඒ පැත්තෙන්ම බැන්දා කියලා ආරංචියි"

මම වඩේ එකක් හපමින් ප්ලේන්ටිය තොලගාන්නට ගත්තෙමි. 

සැම්සන්ලා , කූජනාලා හා අප සම්බන්ධ කතා බොහෝය. 

කුජානා සහ ජයංගනී එකට පංති ගිය ඒ කාලේ සැම්සන් සහ මම එකට පාඩම් කල හැටි මට සිහිවේ . 

දැන් දැන් සැම්සන් ජයංගනී ගැන අසනු ඇත්දෝයි  මා සිත අනියත බියක් හට ගත්තේය. 

සැම්සන් මගේ බර්ත් ඩේ කාර්ඩ් එකක් ජයන්ගනිට දෙන්නට ගොස් අපේ තාත්තාගෙන් බැනුම් ඇසු හැටි මට සිහි වෙයි .

එහෙත් අප දැන් වසර හත -අටකින් මුහුකුරා ගොස් ඇත්තෙමු. 

ඒ කාලේ කල කී දේවල් වලට වඩා සැම්සන්ට මා ගෙන් ඇසිය යුතු කරුණු බොහෝය. 

"කවිඳු මොකද බර කල්පනාවක? "

"දැන් ඉතින් අපි දෙන්නා එක හොස්ටල් එකේනේ ඉන්නේ . 

අනිවාර්යෙන් හවස වැඩ ඉවරවෙලා ආවම සෙට් වෙමු.

මම එහෙනම් කොම්පියුටර් රූම් එකට යනවා .රෑ කෑමට යනකොට ඔයා එක්ක යන්න එන්නම් "

සැම්සන් මගෙන් සමුගත්තේ තමන්ගේ ෆයිනල් ඉයර් ප්රෝජෙක්ට් එකේ වැඩ කරන්න යන්නටයි.

එදා සිට මා පේරාදෙණියේ සිට හැම දිනකම සැම්සන් සහ මා කෑම ගත්තේ  එකටය.  සමහරක් දිනවල ඔහු මගේ සබ් වෝඩන්  කාමරයේ නිදා ගත්තේය. 

මම ඔහුගෙන් ටික ටික දෙමළ ඉගෙන ගන්නට පටන් ගත්තෙමි. 

මම :

"රෙදි ටික හෝදගෙන එන්නම් "

සැම්සන් :

"උඩුප්පු කළුව වෙන්නුම් "


පසු සටහන:

පසු කාලිනව සැම්සන්  මඩකලපුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරු ලෙස වැඩ භාරගත්තේය . එම ප්‍රදේශයෙන්ම විවාහ වූ ඔහු දැන් දරු දෙදෙනෙකුගේ පියෙකි. 

මා සැම්සන් සමග අවසාන වරට දුරකථන සකච්ච්වක් කලේ 2011 දිය. 

ඒ වන විට සැම්සන් එම බැංකු ජාලයේ වයඹ පළාත් ප්‍රධාන කළමනාකරු ලෙස වගකිව යුතු නිලයක් දැරුවේය.

කුජානා නංගි ඒ වන විට රත්නපුර  මහා රෝහලේ හෙද නිලධාරිනියකි.  

මෙවර ලංකාවේ ගිය පසු සැම්සන් සහ කූජනා සොයා ය යුතුයැයි මම තීරණය කලෙමි. 











සිංහලෙන් දෙමළ සහ තුන් වරක් සැම්සන්




දුෂ්කර  අතීතයක් පසු කර ගොස් තමන්ටත්  අනුනන්ටත්  ප්‍රයෝජනවත් දෙයක් කල  මිනිසුන් බොහෝ වෙති.

ඒ  කාලේ  පුවත් පත්  වල "දුක දිනා ජය ගත් හපන්නු " යනුවෙන්  තීරු ලිපි පළවුයේ  එවැනි ආදර්ශමත් ජීවිත ගෙවන්නන් වෙනුවෙනි.

කුඩා තැනකින් පටන්ගෙන තමන්ටත් අනුනටත් යහපත්  ලෝකයක් ගොඩනැගූ  මෙවනි මිනිසුන්  මතු පරපුරට ආදර්ශයක් ම විය යුතුය.

එවැනි ආදර්ශමත් චරිත ඇසුරින් ලියවුනු කතා කියවා අප ලබා ගන්නා අවසාන පාඩම  කුමක්ද?

තමා බිහිකළ  ගමට, රටට ලෝකයට  වැඩක් කල හැකි , වැඩක් කාරනා මිනිසුන් එදත් අදත් කවදත් බිහිවුයේ  හොඳ අධ්‍යාපනයක්  ලැබීම තුලින් යන්නයි.

ඒ දැනුවත්ව හෝ නොදැනුවත්ව තමාට කෙණෙහිලි කම් කල මිනිසුන්, ආයතන සමුහයක් තමාගේ අතීත ජිවිතයේ කොටස්කරුවන් බව හොඳින් දැන දැනමය.

අද පොස්ට් එකට පාදක කර ගන්නේ එවැනි චරිතයකි.

මා කියන්නට හදනා කතාවට සමීප වෙනත් ආරක  කතාවක් මින් වසර කිහිපයකට පෙර ලියවුනේ තිලකසිත අතින්.

අද මා කියන්නට යන්නේ  තිලක්සිතගේ  කතාවට  පාදක වූ අපේ ගම් පියසේම  සිදු වූ වෙනත් සිද්ධි දාමයකට සම්බන්ධ කතාවකි.

මේ දෙකටම මා හා අපේ පවුලේ අය සම්බන්ධ නිසා   තිලකසිතගේ තුන්වරක් තිස්ස අනුසාරයෙන්  තුන් වරක් සැම්සන් ගොඩනගන්නට අදහස් කලෙමි.


සැම්සන් එක  -  ආර්. ඇම් . සැම්සන් සහ ආර්. ඇම්. කූජනා







ඒ අපි අරලගංවිල මහා විදුහලේ  හත අට පංති වල සිටි කාලයයි.

උදේ පාන්දර  බෙලගන්වැව බසයෙන් පාසැලට යන ගමන ආරම්භ වන්නේ මල්දෙණියේ සිට මල්වත්ත දක්වා ඇති කිලෝමීටර් එක හමාරක් පමණ දුරක් හැල්මේ දුව යෑම මගින්.

මේ යන අතර තුර දිනපතා මා  හට මුණ ගැසෙනා ( මම ඇත්තටම ඔවුන් පසු කර දුවද්දී ) අය්ය නගෝ යුවලකි.

නිල් කොටකලිසම  සහ සුදු අත්කොට ෂර්ට් එක හැන දණහිස් ලඟට වෙන තෙක් කළු දිග මේස් දමා  පිළිවෙලට  ඇඳුම් හැඳි අය්යා නමින් සැම්සන් ය .

සුදු ගවුමේ ඉරි එකක් වත් පොඩි නොවෙන්නට අයන් කර කරල් දෙකට ගෙතු කොණ්ඩය රතු රිබන් පටි දෙකකින් ගැට ගසා සිටියේ  සැම්සන් ගේ නංගි කූජනා ය.

ඒ කාලේ අප අරලගංවිල මහා විද්‍යාලයට ගියද මේ අය්යා නගෝ  ගියේ අරලගංවිල ධර්මපාල විදයලයටය.

ඒ වනවිට  සැම්සන් අපට වඩා එක පන්තියක් පහළින් සිටි අතර කුජානා නංගි සිටියේ   ජයංගනී නංගි ලාට සමාන්තර පංති වලයි .

ඒ කාලේ ධර්මපාලය අපේ පාසැල තරම් ම   ජනප්‍රිය නොවුවද  අපට සැම්සන් ලා සමග යහළුකම් පවත්වන්නට ඔවුන් ගිය පාසැල හරස් වුයේ නැත.

උදේ පාන්දර  කුඩා සුට් කේස් දෙකක් අතින් ගෙන  රවුම් වතුර  බෝතල් දෙක කරේ එල්ලා ගෙන සංසුන් ගමනින් පාසැල් යන සැම්සන් සහ අතේ ඇති සුට් කේස් එක එහෙ මෙහෙ පද්දමින්,  රවුම් වතුර බෝතලේ දිගටි පටියෙන් අල්ලා එහා මෙහා කරකවමින් පාසැල් යන අපි සහ චමින්ද රාජපක්ෂලා අතර සෑහෙන වෙනසක් දක්නට ලැබිණි.

ඒ හැදියාව සහ හැසිරීම අතිනි. එහෙත් අධ්‍යාපනයට ඇති ලැදියාව අතින් සැම්සන් මා මෙන්ම චමින්ද ද සිටියේ එකම අරමුණකයි.

මේ දෙදෙනා කවුරුන්ද යන්න සහ පාසැල් එන්නේ කොහේ සිටද යන්න අප දැනගත්තේ අපේ වැඩිහිටියන් ගෙනි .

ඒ දෙදෙනා අසල පිහිටි කේෂන් වත්තේ "අක්කර පනහ" ලැයිමේ සිට අපත් සමග පාසැල් ගිය අයයි.

සැම්සන් සහ කුජානා අප මෙන් හොඳ සිංහල කතා කල අතර බැලු බැල්මට ඔවුන් සිංහල ළමයින් දෙදනෙක් ම යැයි රැවටුණු අය බොහෝය.

මේ අතරට ධර්මපාල විද්‍යාලයේ සැම්සන් ගේ පන්තියේ සිටි අය හැමෝම වාගේ ඇතුලත් වෙති.

වෙනෙකක් තබා ඔවුන් ගේ නමේ මුලකුරු ලෙස තිබුණු ආර්. ඇම්. යන්න  පළාතේ  විසු සිංහලයින් අතර ප්‍රසිද්ධම  මුලකුරු දෙකකි .

කිරඹ ඔය ගමේ සියයට අනු පහක්ම ළමයින් ගේ නම් ආරම්භ වුයේ  ආර්. ඇම්. යන අකුරුදෙකෙන් වූ අතර රාජපක්ෂ මුදියන්සේලාගේ යන්න කෙටි කිරීමෙන් ඒ මුලකුරු ලැබී තිබිණි.

මල්දෙණිය ගමේ  පවුල් විශාල සංඛයාවක් ද ආර්.එම්. වාසගමට හිමිකම් කියූ අතර ඔවුන් හැමෝම රත්නායක මුදියන්සේලාගේ ළමුන් වූහ.

සැම්සන් ලා තාත්තා ගේ නම රාසප්පු මයිල්වාගනම් නිසා  සැම්සන් ට සහ කුජානා දෙදෙනාට තම නමේ මුලකුරු ලෙස ලැබී තිබුණේ රාසප්පු මයිල්වාගනම්  කෙටි කර හැදු ආර්. ඇම්. යන අකුරු දෙකයි.

නම ආර් . ඇම් . සැම්සන් කිවූ පමණින් මේ දෙදෙනා  අප ගම පැත්තේ දෙදෙනෙක්  කියා සිතෙනවා මිසක මේ අය දමිළ ළමයින් බව කිසිවෙක් සිතන්නේ නැත.

ඔවුනේ අක්කර පනහේ ලැයිමේ සිට පාසැල් ගිය බව අපමෙන්ම බොහෝ ළමයින් දැන සිටියා වුවද ඒ බව විශේෂයෙන් මතක් කරන්නට කිසිවෙක් උත්සාහ නොගැනීමද විශේෂත්වයකි.

සැම්සන් ලා අක්කර පනහේ ලැයිමේ සිටින්නට හේතුව වුයේ ඔවුන්ගේ අම්මා  ඒ තේ වත්තේ දළු කඩන  කාන්තාවක් වීමයි.

එහෙත් ජැන්ඩි පහට කොට කලිසම් සහ කමිස වලින් සැරසී උල් තොප්පියක් පළඳින  මයිල්වාගනම් ( සැම්සන් ලා තාත්තා )  ඒ  කාලේ  තේ වත්තේ වැඩ කලේ නැත.

සැම්සන් දෙක - බුරුස් මාමලා  කඩේ පාඩම් වැඩ 


කුඩා කල සිටම අප සමග එකට පාසැල් ගියත්  සැම්සන් සහ මා අතර තදබල මිත්‍රත්වයක් හට ගත්තේ  අප උසස්පෙළ පංති  වලට පැමිණීමෙන් පසුවයි.
එකදහස් නවසිය අසුහතේ   ධර්මපාලයෙන්  සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත්වූ සැම්සන්  උසස්පෙළ කරන්න අපේ පාසැලට පැමිණියේය. 

අපට වඩා එක පන්තියක් පහළ  සිටියද සැම්සන් ලා ද කෙමිස්ට්ට්‍රි  ෆිසික්ස්  පංති ගියේ අපත් සමගමය.

චමින්ද සහ සුරාජ් සමග  කෙලි කවට කම් කරමින්  උසස්පෙළ ප්‍රථම වර කළ මා පැවති  කලබල කාරී  වාතාවරණය නිසා පොත් පත් බැලීම කලේ යලට මහටය. 

එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයැදුම් කල හැකි මට්ටමේ සාමාර්ථයක්  උසස්පෙළ ප්‍රථම වර ලබා ගත්තෙමි.

මම උසස්පෙළ දෙවන වතාවට සුදානම් වෙද්දී මල් දෙණිය පුරා "අපේ දොස්තර මහත්තයා " යැයි හඳුන්වන්නෙක් මතුවන්නට විය.

මට අපේ දොස්තර කියනවා වෙනුවට  අපේ ගුණවතී ලොකු අම්මලා එහෙම  අපට ඔලොක්කුවට මෙන් මෙසේ හැඳින්වුයේ අනෙකෙකු නොව  අපේ සැම්සන් ය.

මේ වන විට   උඩහ ලැයිමේ කොල්ලෝ කුරුට්ටන් ගෙන් තමන් ගේ පාඩම් වැඩ වලට ඇතිවන බාධා නිසා සැම්සන් පාඩම් කරන්නට අපේ ගමේ පදිංචි වී සිටියේය.

සැම්සන් මෙසේ තාවකාලිකව පදිංචි වී සිටියේ   ගමේ ඉහළ කෙලවරේ තිබු වසා දැමු කඩයකයි. 

ඒ අපේ  කුඩා කාලයේ වටගමුවේ බුරුස් මාමා ට අයිතිව තිබු කඩයයි . 

ඒ වනවිට බුරුස් මාමගේ කඩේ බංකොලොත් වීම නිසා වසා දමා තිබිණි. පාසැල් නිමවී අපත් සමග නිවෙස බලා එන සැ ම් සන්  බුරුස් මාමගේ කඩේ නතර වෙයි.

ගමේ ගැහැණු පිරිමි හැමෝම සැම්සන් ට තමන්ගේ පුතෙකුට මෙන් ආදරය කල නිසා කඩේ තනියෙන් සිටි ඔහුට කිසි තනිකමක් දැනුනේ නැත.

මේ අතර චමින්දලා සමග දෙවන වර පාඩම්  කීරීමට නොගිය මම හිමින් හිමින් සම්සන්ට කිට්ටු කලෙමි.

දෙවන වර විභාගයෙන් කෙසේ හෝ සමත් වෙමියි යන දැඩි අධිෂ්ඨානය ඇතිව සිටි මට චමින්ද සහ විරාජ් ට වඩා සැම්සන් සමග පාඩම් කිරීම හොඳ යැයි සිතුනේ ඔහුගේ ඉගෙනීමට තිබු දැඩි කැපවීම  හොඳින් දන්නා නිසාය.

මම එක දවසක් ඉස්කෝලේ ඇරී එන අතරේ සැම්සන් හා දොඩමළු වුනෙමි.

"මචං  කොහොමද දැන් පාඩම් වැඩ ?

 උඹ බුරුස් මාමලා කඩේලු දැන් නතරවෙලා ඉන්නේ නේද?

ගොඩක් දවස් ද එතෙන්ට ඇවිල්ලා? "

මේකනේ කවිඳු ලැයිමේ කොල්ලෝ කෙල්ලෝ සද්ද කරද්දී හිත එකලාසයක් කරන් පාඩම් කරන්න අමාරුයි.

  අම්මා තේ ගස් එක්ක ඔට්ටුවෙලා අපිට උගන්වන්න ගන්න මහන්සිය දැක්කම මට මන් ගැනම දුක හිතෙනවා"

ඒ හින්දා කොහොම හරි කැම්පස් යන්න තමයි ට්‍රයි   එක දෙන්නේ මේ පාර " .

"මට තේරෙනවා  මචං  අපේ අම්මලා උනත් කොච්චර මහන්සි වෙනවද ? ඒ උනාට ඔයාලා අම්මා ඔය දෙන්නා වෙනුවෙන් කරන කැප කිරීම මට හිතාගන්න  බෑ

ඒක නෙවෙයි උඹ කැමති නම්  අපේ දෙන්නා සෙට් වෙමු  එකට පාඩම් කරන්න."

මම දැන් චමින්දලා එක්ක වැඩි ගණුදෙනුවක් නෑ "

"හරි හරි එහෙනම් අද ඉඳන්ම පටන් ගනිමුකෝ "

ඔයා මෙහෙ එනවද? මම එහෙ එන්නද? "

ඕනා විදිහක් මෙහෙට තව කවුරුද එන්නේ ? "

මා සැම්සන් ගෙන එසේ ඇසුවේ අපේ ගෙවල් අසලම ගෙදරක සිටි අපේ සමවයසේ කළා විෂයන් හැදෑරු  වීරරත්න ද සැම්සන් සමග මෙහි ගැවසෙන බව මා අසා තිබු නිසාය.

"අර නෝනා නැන්දලා වීරරත්න  නම් පාඩම් කරන්න එනවා . එයත් කොහොමහරි  කැම්පස්  යන්න තමයි හදන්නේ "

"පොර නම්  මම එච්චර කැමති  එකෙක් නෙවෙයි . ඒකට කමක් නෑ එයා එයාගේ පාඩුවේ ආර්ට් සබ්ජෙකට් බලයි අපි අපේ දේවල් සාකච්චා කරමුකෝ? "

එදා පටන්  මම සැම්සන් සමග පාඩම් කරන්නට පටන් ගත්තෙමි.

ඒ අනුව සමහරක් දිනවල බුරුස් මාමලා කඩෙත් තවත් දවසක අපේ ගෙදරත්  අප දෙදෙනා පාඩම් කළෙමු.

අපේ ගෙදර පාඩම් කල දවස් වල අපේ අම්මා සැම්සන්ට තමන්ගේම දරුවෙකුට මෙන් තේ , කෝපි ආදිය සාදා  දෙමින් අපේ පාඩම් වැඩ වලට උදව් කළාය.

අපි  විභාගය ආසන්න වෙත්ම ඉතා රෑ බෝ වෙනකම් පාඩම් කළෙමු.

එවැනි දිනයක "පුතා දැන් මේ දෙගොඩ හරියේ  ගෙදර යන්න ඕනේ  නෑ අද මෙහේ ඉන්න " යැයි කියන අම්මා සැම්සන් අපේ ගෙදර නවත්වා ගනියි.

ඒ හරියටම මිට වසරකට පෙර චමින්ද  අපේ ගෙදර නතර කර ගත් ආකාරයටමය.

ගිය වසරේ ආර්. ඇම්  .චමින්ද ට හිමිවූ මගේ ඇඳේ අනෙක් භාගය මේ වසරේ ආර්. ඇම්. සැම්සන්ට හිමිවුයේ මෙලෙසයි.

උදේ පාන්දර  හතරට පමණ අපේ අක්කා හෝ චුටි නංගි හදා දෙන කිරි තේ කෝප්පයකින් සප්පායම් වන අප දෙදෙනා  නැවතත් පොත් පත්  සමග ඔට්ටුවන්නෙමු.

සමහරක් දිනවල  සැම්සන් අපේ නිවසට නොපැමිණේ එවැනි දිනයක මම සැම්සන් සොයා ලැයිමට ගියෙමි .

මා එසේ සැම්සන් ලා ලැයිම් කාමරයට ගිය වාර ගණන කොපමනදැයි මට මතක නැති වුවත් එහි ගිය මුල්ම දිනය මගේ මනසේ සාදා රැඳී පවතී.

ඒ  සැම්සන් ලා සමග එකම ලැයිම් පේලියේ ජිවත් වන   අනෙකුත් කම්කරු පවුල්  ගෙවන දුක්ඛිත ජිවන රටාව මට ඉතා හොඳින් දර්ශනය වූ පළමු වතාව එදින වූ බැවිනි.

උඩහ  කෝවිල ලඟින් ඇති කුඩා අඩි පාරෙන් පහලට  බසිත්ම  හමුවූ කොනේම  ලැයිම් කාමරයෙන් සැම්සන් ලා ගෙදර කොහේදැයි ඇසුවෙමි.

"ආ  මේ දොරේ මාතියාලා  පොඩි පුතානේ  . එන්න මාතියා  සැම්සන් ඉන්නේ  අට වෙනි  ලැයිම් කාමරේ "

යැයි එහි සිටි ද්‍රවිඩ  ගැහැණියක්  මට සැම්සන් ලා නිවසට යන පාර පෙන්නුවාය.

මම ලැයිමේ මිදුල මැදින් සැම්සන් ලා නිවස දෙසට පිය මැන්නෙමි.

තැන තැන හොටු පේරා ගත් උඩු කය නිරාවරිත කුඩා ළමෝ වැලි සෙල්ලම් කරති .

ඒ දෙස බලමින්ඉදිරියට ඇදුනෙමි ලැයිමේ මිදුලට ඉදිරියෙන් ඇති කුඩා ගෙවතු කොටස් වල ලීක්ස්, කැරට් , තක්කාලි වැනි වගාවන් සරුවට වැවී තිබේ.

තවත් කොටුවක බැඳ සිටියේ හොඳ කිරි හරකෙකි.

මා තව තවත් මේ කුඩා වපසරියේ ඇති වගා , සහ පශු සම්පත්  දෙස බලමින් සතුටු වෙද්දී

 ටික දුරක් ගෙවූ තැන  දුටු දෙයින් ගැස්සී ගියෙමි.

ලැයිමේ පොදු  ගෙමිදුල මැද තිබු කුඩා ළමයින් ගේ අසුචි  ගොඩ වල් වල දසුනයි ඒ.

සරමත් කොණකින් ඔසවා ගත් මා හිරිකිත නිසාම වේගයෙන් ඉදිරියට ඇදුනේ  තව තවත්  අසුචි ගොඩවල් පසු කරමිනි.

දැන් දැන් මා කල මෝඩකම යැයි සිතමින් ඉදිරියට යත්ම

"හා මේ කවිඳු අය්යනේ  . එන්න එන්න අන්නා  ගෙදර ඉන්නවා "

කියමින් මා ඉදිරියට ආ යුවතියකි. ඒ සැම්සන් ගේ නංගි කුජානා ය.

"එන්න අය්යා ගෙට  "

මෙතෙක් මා සිත ඇතිකළ හිරිකිතය සහ සැක සංකා පහව ගියේ එවැනි අපිරිසිදු පරිසරයක් පසු කර පැමිණි මා නැවතුනු නිවසේ ඇති සිරියාව දැකීමෙනි.

මනාව සමර ආලේප කර බිම ගොම මැටි ගා දුවිල්ලක් වත් නැතිවන සේ පිරිසිදු කර තිබු නිවසේ ඉස්සරහම ඇති ඉස්තෝප්පු කොටසේ සැම්සන් පාඩම් කරයි.

ඊට එහා පැත්තේ කුජානා ගේ පොත් මේසයයි .

ඒ වනවිට රාසප්පු අංකල් ගෙදර නොසිටි අතර  සැම්සන් ලා අම්මා ලිප ලඟට වී යමක් සදමින් සිටියාය.

පසුව කුජනා සකස් කර දුන් තේ කෝප්පයක් බොමින් සැම්සන් සහ  මම  විෂය කරුණු සාකච්චා කලේ  මා එන මග දුටු පෙරනිමිති සියල්ල අමතක කර දමමිනි.

එදා එසේ ලැයිමට ගිය මා නැවත නැවතත් ලැයිම වෙත ගියේ අසුචි ගොඩවල් උඩින් පැන පැන එහි යාමට ඇති අශාවකට නම් නොවේ. .

 ඔවුන්ගේ ලැයිමේ ජිවන රටාව දුටු මා  නැවත එහි නොගියහොත් සැම්සන් ගේ හිතට කිසියම් මදිපුංචි කමක් දැනේවි යැයි බියක් මා සිතේ පැන නැගුණේය.

ඒ නිසාම  මම  සැම්සන්ලා  ලැයිමට  පුරුද්දක් ලෙස යන්නට පටන් ගත්තේ සැම්සන් ගේ හා අපගේ අතර ලොකු වෙනසක් නැති බව ඒත්තු ගන්වන අදහසිනි.




සැම්සන් තුන  අද හෙටම  ලියන්නම්....





Friday, 9 September 2016

ණයට ඉල්ලා අමනාප නොවන්න





ණය  ගැනීම් සහ  ණය පියවීම් පිළිබඳව  ලියවුනු බ්ලොග් පොස්ට් කිහිපයක්  නිමිති කර ගෙන  මෙය ලියන්නට සිතුනා.

එකක් මගේ ණයක් ගත් පුවක් බාස් ණය ගෙවූ හැටි  සහ මම අපේ නෑදෑයින්ට  ණය ගෙවූ හැටි ලියවුනු මේ පොස්ට් එක. 

අනික  මෑතකදී  බ්ලොග් කලාවට පිවිස එහි පිණුම් ගහනා නවතම පෙරලි කාරයා වන "දම්සෝ පුතා " තමා උපන් දේශය වෙනුවෙන් කල ණය ගෙවීම.

නිමිත්ත එසේ වුවත් මේ පොස්ට් එක ගොඩක් සමීප වන්නේ "දම්සෝ පුතා " මිට කලින් ලියු  "විසා අලකලංචි " නම් පොස්ටුවටයි.

එහෙනම් අටුවා ටීකා ටිප්පනි මොකුත් නැතිව කතාවට බහිමු.

මේ සිද්ධි මාලාවට පාදක වන්නේ මගේ නෙදර්ලන්ත ගමනත් ඉන්පසු නිම්මි සුපුන් ඇතුළු පවුලේ ඉතිරි කොටස මාහා සමබන්ධ වීමත්ය.

එහෙමනම් අපි දෙදහස් තුනේ අග භාගයට යමු.  මේ වන විට මම  නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණ සිටියෙමි.

නිම්මි සහ සුපුන් මා වෙත ගෙන්වා ගැනීමට තිබුණ ලොකුම බාධකය ලෙස මේ වන විට මා ඉදිරියේ තිබුණේ ලොකු අභියෝගයකි.

ඒ  කෙසේ හෝ නෙදර්ලන්ත ක්රෝනර්  80000 සොයා ගැනීමේ අභියෝගයයි .

 මගේ හිතවතුන් අතර වු දකුණු අප්‍රිකානු තරුණිය  "මට්සී"  සහ  සැම්බියානු ජාතිකයෙකු වූ "රිචර්ඩ් සුලූ" මේ වෙනුවෙන් මා කල කී දෑ හොඳින් දැන සිටි දෙදෙනෙකි.

එදා දවසේ වැඩ නිමවී   නවාතැනට ලඟා වුවා පමණි.

ක්‍රින්.. ක්‍රින්.. ක්‍රින්   මගේ කාමරයේ  දුරකථනය  එක දිගටම  නාද වෙයි.

"හලෝ  කවිඳු   දැන්ද ආවේ ?" එහා පැත්තෙන් ඇහුනේ පුරුදු  කටහඬකි.

"ආ  හලෝ මට්සී නේද  මේ  ? ඔව් ඔව් දැන් තමයි ආ වේ  මොකද  අපිට ඔයාලාට වගේ බස් තියෙන එකක්යැ? "

"ඔව් . ඔව් මම දැක්කා ඔයයි රිචර්ඩුයි  දෙන්නා පයින්ම "ෆන්ටෝෆ්ට්" එක පැත්තට එනවා  මම බස් එකේ එද්දි"

"ඔයා දන්නවනේ මට්සී,    මට අපේ නෝනයි පුතයි මෙහාට ගෙන්වා ගන්න ඕනේ.

ඒ වෙනුවෙන් පුලුවන් තරම් ඉතිරි කරන්නයි හදන්නේ .

බස් කාර්ඩ් එකට යන ක්රෝනේර් 240 වුනත් මට වටිනවා. "

"හරි හරි  මට තේරෙනවා  ඔයා ඔයාගේ පවුලට හරි ආදරෙයිනේ?

ඒක නෙවෙයි කවිඳු හවසට යමුද  ක්ලබ් ෆන්ටෝෆ්ට්  පැත්තේ ?   රිචර්ඩ් වත් එක්කන් එන්න .

ක්ලබ් එකේදී   ඔයාගේ ෆැමිලි රියුනියන්  එක ගැන කතා කරමුකෝ .

ඔන්න එහෙනම් එන්න ඔනේ . හයට හය හමාරට විතර .  එහෙනම්  තිබ්බා . බායි..යී.."


මට්සී මෆිලි යනු ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ සිට  නෙදර්ලන්තයට පැමිණි කථිකාචාර්යවරියකි.

ඇයත් මමත් නෙදර්ලන්තයට  පැමිණියේ  එකම දවසේය.

දෙදෙනාම පැමිණියේ  ජාත්‍යන්තර  සෞඛ්‍ය පිලිබඳ  මාස්ටර්  උපාධියක්  කිරීමටයි.

එබැවින් අප දෙදෙනාම හැදෑරුවේ එකම විෂයයන්  සමුහයකි.

එකම දවසේ රටට පැමිණියේ වුවත්  මට  වඩා පැය කිහිපයකට  කලින්  ඇය "ෆන්ටෝෆ්ට්  ශිෂ්‍ය ගම්මානය "  වෙත  ලඟා වී තිබිණි.

කාමර දෙකකින් යුත් අපේ යුනිට් වල මගේ කාමරේට  අල්ලපු කාමරේ ලැබී තිබුණේ ඇයටයි.

අසල ඇති අනෙක් කාමරයට එන්නේ පිරිමියෙකු බව දැන ගත්  ඈ  ඉන් ඉවත් වී  වෙනත් බිල්ඩිමක  තිබු තනි කාමරයකට   ගොස් තිබුණේ  මගේ පැමිණීමට  පැය  කිහිපයකට කලිනි.

පසුදා පාන්දර  CIH එකට  යද්දී මට්සී මට හමු වුවාය.

"හලෝ  මම මට්සී   දකුණු අප්‍රිකාවේ  ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලෙන්  "

"මම කවිඳු ශ්‍රී ලංකවෙන් . දැනගන්න ලැබුනට සතුටුයි"

"මම ඉන්නේ A බිල්ඩින් එකේ  .ඔයා මොකේද ඉන්නේ?  කළු හීන්දැරී කෙල්ලක් වූ මට්සී මගෙන් ඇසුවාය.

 "මම  ඉන්නේ C 212  . ඒක නෙවෙයි  . ඊයේ කවුරු හරි 211 ට ඇවිත් වෙන කාමරේකට ගිහිල්ලා"

"අය්යෝ  ..ඔයාද 212 දොළහට  ආවේ .

ෂික් අපරාදේ   මම තමයි 211 ට ඇවිත් තනි කාමරේකට  ගියේ.

එන්නේ ඔයයි කියලා දන්නවනම්  මම ඒකේම  ඉන්නවා. "

මා හා ඉතා ලෙන්ගතුව කතා කල ඈ  මා අසලම කාමරයේ ඉන්නට තිබු අවස්ථාව කෙස් ගහෙන් මිස් වී  ගිය එක ගැන බොහෝ සෙයින් කණගාටු වුවාය.

එදා ඇරඹි මට්සී ගේ සහ මගේ මිත්‍රත්වය   ඉතා සමීප එකක් බවට පත් වුයේ ඈ මගේ   "ෆැමිලි  රියුනියන්" එක ගැන පවා හිතන තරමට  අප කුළුපග වීම මගිනි.

ක්ලබ්  ෆන්ටොෆ්ට්









හවස හය  හය හමාර වෙද්දී රිචර්ඩ්  සහ මම ක්ලබ්  එක වෙත ලඟා වූයෙමු. 

ශිෂ්‍ය ගම්මානයේ  මට්සී  ඉන්නා පැත්තට වෙන්නට  පිහිටා තිබු එය සිසුන් පන්සියයකට  හය සියයකට  අත දිගහැර  හැසිරිය  හැකි තරම් විශාල  එකකි. 

අප එහි යන විටත්  මට්සී  එහි ලඟා වී සිටියාය. 

ජනේලයක් අයිනේ වූ මේසයක්  අල්ලා ගෙන සිටි ඈ මනරම් ඇඳුමකින් සැරසී සිටියාය. 

"ඒයි කවිඳු සහෝදරයා  අර බලනවකෝ අර කෙල්ලගේ හැඩ . කාට පේන්නද දන්නේ නෑ"

මා දෙස හොරැහින් බැලු රිචර්ඩ් සුලූ  පැවසුවේ  අප දෙදෙනා හොඳ මිතුරන් බව දැන දැන මය. 

"කවිඳු මොනවද බොන්නේ?  " සුරතල් වදනින් මා ඇමතු මට්සී  අපට  බිම ඕඩර් කරන්නට සුදානම්ය. 

"අපි මොනවා හරි කුල් එකක් බොමු නේද සුලූ ? " මම මගේ සගයා දෙසද බලමින් පිළිතුරු දුන්නෙමි .

"හරි එහෙනම් කුල් ඩ්‍රින්ක්ස් තුනක් " කියමින් ඈ කවුන්ටරයේ සිටි තරුණිය වෙත ගියාය. 

මට්සී ගෙනා බිම වීදුරුව අතට ගත් මා එය තොල ගාන්නට පටන් ගත්තෙමි.




මට්සී කතාව ඇරඹුවාය. 

"රිචර්ඩ්   මට කවිඳු නිතරම කියනවා එයාගේ  ෆැමිලි රියුනියන් එක ගැන. ඒකට ලොකු ගානක් යනවලු නේද ? "

"ඔව් ඔව් ක්‍රෝනර් අසු දාහක් ඕනේ කියනවනේ  ? මම නම් අපේ නෝනා ගෙන්වන අදහස අතහැරලා දැම්මා " 

"ඔයාට වගේද ළමයෝ කවිඳුට  . එයාට ඉන්නේ අළුත උපන් ළමයෙක් . කවිඳුට  එයාගේ පුතා ළඟ ඉන්න ලැබුනේ සතියක් විතරයි කිව්වනේ? "


"ඒක නෙවෙයි කවිඳු මේ මාස හයට ඔයා කීයක් විතර ඉතුරු කරන් තියෙනවද? " 

රිචර්ඩ් වෙතින් තම නෙත් ඉවතට ගත් ඈ මා දෙසට හැරුණාය. 

"ක්‍රෝනර් දා හතර දාහක් .  මෙහෙම ගියොත් මට කට්ටිය එක්කන් එන්න අවුරුදු හතරක් පහක් යයි. " මම පැවසුවේ  මේ වේගයෙන් මුදල් ඉතිරි කර  තව මාස කිහිපයක් ඇතුලත සුපුන් ලා  එරටට ගෙන්වීම සිහිනයක් බවයි.

"එහෙම නෙවෙයි අපිට  ඔයාගේ අකවුන්ට් එකේ ක්‍රෝනර් අසුදාහ තියෙනවා කියලා ලියුමක් ගන්න ඒකනේ තියෙන්නේ . 

ඒ සල්ලි ඔයාම ඉතුරු කරපුවා වෙන්න ඕනේ නෑනේ. " 

මට්සී බැරෑරුම් සහගත මුහුණක් ආරුඩ කර ගනිමින් පැවසුවාය.

මට අප කුඩා කාලේ අපේ අම්මා මුදල් හදල් ගණුදෙනු  කල ආකාරය මතක් විය. 

අරපරිස්සම,  දුර දිග බලා කටයතු කිරීම ආදී ගැහැණුන් ට ආවේණික ලක්ෂණ වලට ආසියානු හෝ අප්‍රිකානු භේදයක් නැත. 

මේ වෙලාවේ මට්සී  මට අපේ අම්මා සිහි ගැන්වුයේ එබැවිණි.

"ඔයා දාහතර දාහක් ඉතිරි කර ගත්තද? මාර ළමයෙක් නේ  ?  මා ළඟ නම් ඇත්තේ හය දාහක් විතර.

"ඇයි ඉතින් කවිඳුයි මමයි  පයින් නේ CIH එකට යන්නේ ? එතනත් සල්ලි ඉතිරි වෙනවා නේ ? " රිචර්ඩ් සුලූ ද කතාවට එක් වෙයි.

"ඒ  විතරක් යෑ . අපි දෙන්නා බයිසිකල් බිස්නස් එකකුත් කරනවනේ . නේද කවිඳු සහෝදරයා ? "

රිචර්ඩ් අප දෙදෙනා "සමර්"  එකේදී ආරම්භ කල  අලුත්ම බිස්නස් එක ගැන මට්සි ට සැලකර සිටියේය.

ඒ දිනවල  ශිෂ්‍ය ගම්මානේ  අවට සැරිසරණ අප දෙදෙනා නෙදර්ලන්ත තරුණ තරුණියන් විසින් මහා මග දමා යන බයිසිකල් ගෙනවිත් අලුත් වැඩියා කරන්නෙමු.

ඇත්තටම  මා කරන්නේ එවැනි බයිසිකල් සොයාගැනීම පමණි. පැච් දමා ඒවා යතා තත්වයට පත් කරන්නේ රිචඩ් සුලූ  ය .

අනතුරුව  අප ඉන්නා බිල්ඩින්  එකේ  දැන්වීම් දමා බයිසිකල් විකුණන අප අදායම පනහට පනහ වනසේ බෙදා ගන්නෙමු.

ඊට  අමතරව  නේපාල ජාතික රාජේශ් ඇතුළු මිතුරන් ගෙන් ලද පත්තර බෙදීමේ රැකියාවද  මට සුළු හෝ අතිරේක අදායමක් ගෙන දුන්නේය.


"හරි හරි මෙහෙමයි දැන් අපි කරන්න ඕනේ.  කවිඳුගේ  අකවුන්ට් එකට අපි හැමෝම ටික ටික සල්ලි දාලා  එයාගේ අකවුන්ටට් එක 80000 දක්වා නග්ගමු.

ඔයා ඊට පස්සේ බැංකුවේ ලියුම අරන් විසා ඔෆිස් එකට දෙන්න. වැඩේ ඉවර වුනාම අපිට ආපහු සල්ලි දෙන්නකෝ . "

මට්සී  නිම්මිලා ගෙන්වීමට අවශ්‍ය ක්‍රෝනර් අසු දහස පෙන්වන හැටි මටත් සුලු ටත් පැහැදිලි කළාය.

"එහෙනම් මම  ඔයාගේ අකවුන්ට් එකට හෙට ක්රෝනර් පන්දාහක්  දානවා " ඇය මුල්ම ගඩොල බඳින්නට  සුදානම්ය.

"කවිඳු සහෝදරයා මමත් මගේ පන්දාහ හෙටම දානවා" රිචර්ඩ් සුලුද  තම  කොටස පරිත්‍යාග කළේය.

පසුදා සිට ගතවූ දින කිහිපයේදී  මගේ අනෙක් හිතවතුන් වූ නේපාල ජාතිකයින්, ඉන්දියානු සහ පකිස්තාන් ජාතිකයින් ආදීන් ගේ උදව්වෙන් ගිණුම පනස් දහසද පැන්නුවේය.


ඔහුට සහ මට හිතවත් ඉන්දියානු ජාතිකයින් හරහා  පණිවිඩ පිට පණිවිඩ ලබාදීමෙන්  පසු සුමංගල  ද  ක්‍රෝනර්  දහ දාහක් ලබා දුන්නේය.

අවසානයට ම  මා සිරවී සිටිද්දී මගේ පිගිටට ආවේ අපේ තාත්තා ය.

ඒ  ඔහුගේ අතේ ඇති සල්ලියක් නිසා නොව ඒ වන විට ඕස්ට්‍රේලියාවේ සිටි අපේ අය්යාගේ නිවසේ ඔහු රැඳී සිටි නිසාය.

මා අය්යා ගෙන් මුදල් ඉල්ලීමට  අදිමදි  කරන බව දැනගත් තාත්තා මා වෙනුවෙන්  ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වුයේ මම අය්යට කතා කරලා ඔයාට අවශ්‍ය ගාන අරන් දෙන්නම් කෝ කියමිනි.

මගේ    ෆැමිලි රියුනියන් එකට අවශ්‍ය මුදල් වල හිඟ මුදල ක්‍රෝනර් විසි දහසක්  ( ඩොලර් හාර දහසක් ) බව  දැනගත් ඔහු  අය්යාගේ බිරිඳ හා සාකච්චා කර ඒ මුදල  මා වෙත එවන්නට අය්යලා  පොලඹවා තිබිණි.

අවසානයේ ජාත්‍යන්තර  සම්මාදමකින් පසු නිම්මි සහ සුපුන්  නෙදර්ලන්තයට  ගෙන්වීමේ සිහිනය  සැබෑ විය.

මම ණයට ගත් සියළු මුදල් විසා ලියුම ගැනීමත් සමගම නැවත මගේ මිතුරන් අතට  පත්කලෙමි.



.