Follow by Email

Sunday, 28 August 2016

බෝගොන් මුත්තාටත් විප්ලවීය ආචාරය



ඒ එක් දහස් නමසිය  අසු  ගණන් වල මුල් හරියයි.


මේ වනවිට  අපේ ගමේ  වැඩි හරියක් ම හිටියේ පැවති රජයට (යුඇන්පී) පාක්ෂික මිනිසුන් ය.

විශේෂයෙන්   කිරඹඔය- මල්දෙණිය  ගම් දෙකේ  කිරඹ ඔය කොටස කවදත් යුඇන්පී  ගුහාවකි.

මල් දෙණිය කොටසේ යුඇන්පී කාරයන් සිටියා වුවද අපේ තාත්තලා  ඇතුළු ප්‍රගතිශීලි පවුල් ගණනාවක්ම  එහි විසු නිසා ඒ කොටසේ යුඇන්පී ගතිය එතරම්ම කැපී පෙනුනේ නැත.

එහෙත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසු මල්දෙණියේ වුවද වැඩි පුර බර තිබුණේ  යුඇන්පියටයි.

ඒ  සිරිතක් ලෙස බලය තියෙන පක්ෂයට තමන් පක්ෂපාති බව කියන්නට බොහෝ ගැමියන් කැමති වූ බැවිනි.

එහෙත් මුළු  පළාතම ආණ්ඩුවට පක්ෂ වූ ඒ කාලේ  පවා  ජයසිංහ පවුලේ කට්ටිය සහ ඔවුන්ට හිතවත් පවුල් කිහිපයක්  දිගටම  ශ්‍රී   ලංකා එක සමග සිටියහ.

ඒ කාලේ  ගමේ ප්‍රසිද්ධ  ජ.වී. පෙ. සාමාජිකයා ( දැනටත් සිටින)  පාලමළඟ  ගෙදර මානික්කේ අය්යා 1971 සිපිරිගෙයි සිට පැමිණි අයෙකි.

නිල් සහ කොළ වශයෙන් බෙදී සිටි  අපේ ගමේ බොහෝ  අය මානික්කේ ගැන දැන සිටියේ  ගමේ සිටි එකම සමාජවාදියා  වශයෙනි.

මේ අතර මල්දෙණියේ  බාස් මාමගේ පුතා අමරේ අය්යා , කිරඹඔයේ දයා මාමා , අපේ පල්ලැහැ බාප්පා  සහ කිරඹ ඔයේ  සමරසිංහ මාමා යන හතරදෙනා ඒ කාලේ වෙනමම කල්ලියක් හදා ගෙන සිටියහ.

 පංසලේ, ඉස්කෝලේ  සහ ගමේ අනෙකුත් පොදු වැඩ වලදී එකට සිටි මේ හතරදෙනා අපේ තාත්තලා සමගද  හොඳින් ගණුදෙනු කලහ.

මේ හතරදෙනා අතරින්  අපේ පොඩි බාප්පා  සහ  කිරඹ ඔයේ දයා මාමා ඒ වන විටත් විවාහ වී දරු සුරතල් බලමින් සිටි අයයි.

එහෙත් සමරසිංහ මාමා ( උක්කු පුංචිගේ අය්යා ) සහ  බාස් මාමලා අමරේ අය්යා ඒ වනවිට සිටියේ  අවිවාහක තරුණයින් ලෙසයි.

ඒ කාලේ අමරේ අය්යා බැංකුවක වැඩ කල අතර සමරසිංහ මාමා  රත්නපුර  පැත්තේ ඉස්කෝලෙක  වැඩ කළේය.

ඔහු එකල කිරඹ ඔයේ සිටි එකම උපාධිධාරී ගුරුවරයාය.

මේ නම් සඳහන් කල ප්‍රගතිශීලින් අතරින් සමරසිංහ මාමා හැර සියළු දෙනාම උග්‍ර ශ්‍රී ලංකා කාරයෝ ලෙස හංවඩු ගැසී සිටියද සමරසිංහ මාමා  මොන පාක්ෂිකයෙක් දැයි ගමේ කවුරුත් දැන සිටියේ නැත.

ඉතා නිහඬ චරිතයක් වූ ඔහු පන්සලේ වැඩ වලදී මෙන්ම  ගමේ අනෙකුත් පොදු වැඩ වලදී කැපී පෙනෙන වැඩ කොටසක් කලේ  මල්දෙණියේ අයගෙන් පිරිණු ඒ තැන්වල සිටි එකම කිරඹ ඔය සාමාජිකයා  ලෙසයි.

අපේ  සුභේරත්න මුත්තාගේ  අය්යා ( බෝගොන් මුත්තා ) සමරසිංහ මාමගේ "අපුච්චා " ය.

ඒ වනවිටත්  බෝගොන්  මුත්තා සිටියේ  සිය අසුවන දශකයේ බව මාගේ හැඟීමයි.

බෝගොන්  මුත්තා  මිය යයි.

දිනක්  අපේ  ගෙදරට දුව ආ හෙලගෙදර  බණ්ඩාරේ  ( බෝගොන් මුත්තාගේ  ලොකු පුතාගේ පුතා )  තම මුත්තා මිය ගිය බව අපේ අම්මාට සැලකර සිටියේය.

මගේ සමවයසේ සිටි අයෙකු වූ බණ්ඩාරේ   ඇතිමලේ  බාප්පා ගේ මරණය  දැනුම් දුන් දිනයේ තරම් කලබලයක්  මේ පුවත අපේ අම්මා තුල ඇති කලේ නැත. 

හේතුව   බෝගොන් මුත්තා ඒ වන විටත් තම සැඳා සමය පසු කරමින් සිටීම විය යුතුය. 

ආරංචිය  රැගෙන  ආ  බණ්ඩාරේ සමගම කිරඹ ඔයට ගිය මම නැවත ගෙදර ආවේ  බෝගොන්  මුත්තා ගේ හත් දවසේ දානයටත් සහභාගී වීමෙන් අනතුරුවයි.

බෝගොන්  මුත්තා ගේ  මිනිය ගෙට  ගෙනා වෙලාවේ සිට බණ්ඩාරේ ටත් මටත් රජ මගුල් මෙන් විය.

තැඹිලි පාට  ඔරේන්ජ් බාර්ලි සහ කොළ පාට අලියා බීම  බොමින්  මන්චි නයිස් බිස්කට් කමින් අපි  ඔහු මිය ගිය එක ගැන ශෝක වුනෙමු.

උක්කු  පුංචි අප දෙදෙනාට කිසියම් වැඩක් පැවරුවේ නැතිනම්  බිම බොමින් උදේ එසේ සිට රෑ වෙන තුරු ඔහුගේ මිනිය අසල ගැවසීම අප දෙදෙනා ගේ ප්‍රධාන රාජකාරිය විය.

මෙසේ මළ ගෙදරම  අපේ කාලය ගතවෙද්දී  බෝගොන් මුත්තා  භූමදාන  කරන දවසද ලඟාවිය,

බණ්ඩාරේ සහ  මා හටද  ඇති පදම්  බිම  සහ නයිස් බිස්කට්  රස විඳීමේ අවස්ථාව ලැබුනේ  එදාය.

ගමේ ගොඩේ මිනිසුන් මෙන්ම  බෝගොන් මුත්තාගේ පුත්තු තිදෙනා ගේ හිතවතුන් ද මරණ ගෙදරට  ඇදී  ආහ.

කලබල අස්සේ අප දෙදෙනා අමතන උක්කු පුංචි

"ඒයි  බණ්ඩාරේ  උඹලා දෙන්නට පුළුවන් ද  සොහොනේ වැඩ කරන මිනිස්සුන්ට  තේ අරන් යන්න "  යැයි ඇසුවාය.

"චුටි පුතා... ඉඳා මෙන්න මේක ගෙනියපන් උඹ"    කියමින්  පාන් මල්ලක් සහ  පොල් සම්බෝල භාජනයක් මා හට  දුන් ඈ..

"බණ්ඩාරේ උඹ ගනින් මේ තේ පෝච්චිය" කියමින් අප දෙදෙනා සොහොන වෙත පිටත් කළාය.

සාමාන්‍ය යෙන් සොහොනේ වැඩ කරන්නේ  ගමේ මරණාධාර  සමිතියේ  සාමාජිකයින්  විසින්.

මට මතක හැටියට  සමරසිංහ මාමා ඒ කාලේ  ඒ සමිතියේ  ලේකම් හැටියටයි හිටියේ.

ඒ නිසාම බණ්ඩාරේ සහ මම සොහොන වෙත යන් විටත් සෑහෙන සෙනගක්  සොහොනේ සහ සොහොනට යන පාරේ ගොක්කොළ  සැරසිළි කරමින්   සිටියා මතකයි.

මේ අතර  දුටු යම්කිසි අමුත්තක් දුටු මා  එය  බණ්ඩාරේ ටද පෙන් වූවෙමි.

"බණ්ඩාරේ ..ඒයි  අර මොක්කුද බන් ?

අපේ ගමේ කට්ටියත් එක්ක හරිහරියට සොහොනේ වැඩ කරමින් සිටි "රතු කමිස කාරයින්" පිරිස දුටු මම බණ්ඩාරේ ගෙන ප්‍රශ්න කලෙමි.

"ආ .. ඔය  පොඩි බාප්පා ගේ පක්ෂේ කට්ටියනේ .

කොමියුනිස්ට් ද  මොකක්ද  එකක්.

ඒක නෙවෙයි.

මම අහගෙන අපේ  බාප්පා   ඒ ගොල්ලන්ට කතා කරන්නේ  සහෝදරයා  කියලා බං "







ඒ රතු කමිස කාරයන් බොහෝ දෙනෙක් රැවුල වවා සිටියහ .

සොහොනේ  සිටි දහයක්  දොළහක් පමණ වූ  ඒ කට්ටිය අතර  සිටි පුරුදු මුහුණක් දුටු මා තරමක් විමසිල්ලෙන් බැලුවෙමි.

මුහුණ පුරා ගැන රැවුලක් වවා සිටි ඔහු ගේ පැහැපත් සම නිසා ඔහුට නියමම විප්ලවවාදියෙකුගේ පෙනුමක් ලැබී තිබිණි.

මට එක් වරම හතරේ පන්තියේ සිටි මගේ යහළුවා චන්න ද සිල්වා සිහි විය .

චන්නයා වරක්

"මචං  කවිඳු   අපේ තාත්තා තමයි බං කොමියුනිස්ට් එකේ බදුල්ල ප්‍රධාන සංවිධායක "

කියලා ඔහුගේ  පියා හඳුන්වා දුන් හැටි මා මතකයට නැගිණි.

හරියට හරි  ඒ ඉන්නේ බදුල්ලේ සිල්වා අංකල්  ය.

සිල්වා අංකල් ඒ කාලේ බදුල්ල ඩිපෝවේ වැඩකළ  අයෙකි .

ඔහුගේ පුතා  චන්න ද සිල්වා  එවකට හතරේ  පංතියේ සිටි මගේ  හොඳ ගජයෙකි.

කොමියුනිස්ට්  කාරයන් ගැන අපේ සමන්ත ගෙනෙනා  "සෝවියට් දේශය " සඟරා වලින් කියවා තිබු මම  ඔවුන්  හොඳ මිනිසුන් සමුහයක් ලෙස වටහාගෙන සිටියෙමි.

දැන් දැන් මට සිද්ධියේ  "පරිවර්තනයක්"  දැනෙමින් පවතී.

එකත් එකටම  අපේ සමරසිංහ  මාමා  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  සාමාජිකයෙකි.

චන්නලා තාත්තා එහෙම ඇවිත් බෝගොන් මුත්තාගේ  මළ ගෙදර හරි හරියට වැඩ කරන්නේ  ඒ නිසාය.

නිශ්ශබ්ධ චරිතයක් ලෙස සිටිනා අතරේ අපේ  සමරසිංහ මාමා  කිසියම් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්  වැඩ කල බවක් පෙනෙන්නට  තිබේ.

මම සිල්වා අංකල් ට කතා කලෙමි.

"අංකල්  මම චන්න ගේ යාළුවෙක් . අංකල් ලා  බිඳුණු වැවේ නේ  කොහොමද අපේ  පොඩි මාමා  අඳුරන්නේ ?"

"පුතා  සමරසිංහ  සහෝදරයා ඉස්සර ඉඳන් අපිත් එක්ක වැඩ කරනවා.

එයාගේ තාත්තා  වෙනුවෙන් එන්නේ නැත්නම් අපෙන් ඇති වැඩේ මොකක්ද?

හරි මම චන්නට කියන්නම් කෝ ඔයා හම්බවුණා  කියලා "

තම පුතාගේ හිතවතෙක් හමුවීම  ගැන ඔහු හදවතින්ම සතුටු වන බව පෙනෙන්නට තිබිණි.


විප්ලවීය ආචාරය



සොහොනේ වැඩ වලින් ඉවත්ව නැවතත්  බෝගොන් මුත්තාගේ  මිනිය තිබු නිවසට පැමිණි බණ්ඩාරේත්  
මමත් සුපුරුදු පරිදි අලියා බිම  බොමින් සිටියෙමු.

දැන් මිනිය ඔසවන වෙලාවත් පැමිණ තිබේ.

මළ ගෙදර ගුණකථන ආදිය සංවිධානය කලේ හරස්ගෙදර අමරේ මාමා විසිනි.

"ශෝකාකුල මෑණි වරුනි , පියවරුනි සහෝදර සහෝදරියනි.. 

මියගිය සත්ගුණවත්  ටිකිරිබණ්ඩාර  රාජපක්ෂ මහතා ගේ   කනිෂ්ට  පුත්‍ර රත්නය   ශ්‍රී  ලංකා  කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රභල  සාමාජිකයෙක් .

ඒ කාලේ ගමේ ලොකුම යුඇන්පී කාරයෙකු වූ අමරේ  මාමා කිසි කලබලයක් නැති ගානය. 

 "අවමංගල සභාව අමතා වචන ස්වල්පයක්   පැවසීමට  මේ ආරාධනය  ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රධාන සංවිධායක  කේ. පී . සිල්වා  මහතාට"

අමරේ මාමා චන්නගේ තාත්තාට  මයික්‍රෆෝනය  දුන්නේ  පක්ෂයේ  සහ සමරසිංහ මාමගේ සම්බන්ධය  ගැන හොඳ විස්තරයක්  අහගන්න විය යුතුය.

සැහෙන වෙලාවක්  සමරසිංහ මාමගේ  සමාජවාදී  අදහස්  සහ වැඩ  ගැන සඳහන් කල සිල්වා අංකල්  එවැනි පුතෙක් කිරඹඔය වැනි ප්‍රදේශයකින්  බිහි කිරීම ගැන බෝගොන් මුත්තට  ස්තුති කළේය.

අනතුරුව පැමිණියේ මිනිය සහිත දෙන  සොහොන දක්වා රැගෙන යාමයි. 

නැවතත් මයික්‍රෆෝනය  අතට ගත් සමරේ මාමා  

"දේහය  සහිත දෙන  නිවසේ සිට රැගෙන යන්නේ  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි.

 අනතුරුව  එය කිරඹඔය මරණාධාර සමිතියේ සාමාජික මහතුන් විසින් සුසාන භුමිය ආසන්නයේදී  භාර ගන්නවා ඇත ."

යනුවෙන්  නිවේදනය කළේය.

උක්කු පුංචි , බණ්ඩාරේ ලා අම්මා ඇතුළු ගැහැණුන් මරහඬ දෙද්දී  රතූ කමිස සහ කළු කලිසම් හැඳ හිසේ පැත්තකට වන්නට තොප්පි දමා සිටි හය දෙනෙක්  බෝගොන් මුත්තා ගේ මිනියට කර ගැසුහ.



ඉදිරියෙන්  "යන් යන් රන්කඳ .." යන අනුසාරයෙන් වැයුනු දවුල් සහ තම්මැට්ටම් හඬ මධ්‍යයේ  අවමගුල් පෙරහැර ගමන් ඇරඹුහ.  

සිල්වා අංකල් ප්‍රමුඛ සමරසිංහ මාමගේ  රතු සහෝදරයෝ  බෝගොන් මුත්තා ගේ  මිනිය  රැගෙන තේවත්තේ  ඉහලට ගමන් කරති. 


ඔවුන් පසු කර  ගිය බණ්ඩාරේත් මමත්  අවමංගල පෙරහරේ ඉදිරියට ගමන් කළෙමු.

අවමංගල්‍ය පෙරහරේ මුලින්ම ගමන් කලේ  රතිඤ්ඤ පත්තු කරමින් ගිය කොළු රෑනයි.

 බණ්ඩාරේත් මමත්  හිමින් සීරුවේ ඒ කොළු රෑනට  එකතු වීමු. 


"සාදුකින් පෙළෙන උන්- දැන් ඉතිං නැගිටියව් !! 

අන්තිම සටනට  සැරසියව්!!! අන්තිම සටනට , අන්තිම සටනට ...

අන්තිම සටනට සැරසියව්!!! "










Monday, 22 August 2016

කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩු පාඩු

පසුගිය  සති කිහිපයේ  අප  ඇසුරු කාරනා  බ්ලොග් රචකයින්  සෑහෙන  පිරිසක්  තම තමන් කැමති ගීත  16 ක්  බ්ලොග් පොස්ට් ලෙස පළකරනවා දුටුවෙමි.

රැල්ල ආරම්භ  කර තිබුණේ  ඉයන් ගේ අඩවිය  ලියනා ඉයන් විසිනි.

මේ වනවිට 25  දෙනෙකුට  වැඩි පිරිසක්  ඒ වෙනුවෙන්  ගීත  පෙලගස්වා තිබෙන අයුරුද දුටුවෙමි.

රසිකලොජි වැනි අයෙක්  මේ හා සම්බන්ධ  මාතෘකා යටතේ  ( නවතම පිස්සුව ගැන )  පොස්ට්  පලකර තිබුණි.

මා මෙතෙක්  ලිවූ බොහෝ බ්ලොග් පොස්ට් අතර  ගීත වෙනුවෙන්ම වෙන් කල  පොස්ට් ගණනාවක් ම ඇත.

එකක්  ගුවන් විදුලි යන්ත්‍ර  ගැන වන අතර  තව එකක් ලියවුනේ  බෙස්ට් සිලෙක්ෂන් යන මාතෘකාව යටතේ ලියවුනු  තරුණ  මගේ හිතට සමීප වූ ගීතයි.

මා කැමතිම ගීත දහසයකට  ගොනු කිරීම ඉතාම අපහසු  කාර්යයයකි.

හේතුව  මෙතෙක්  ගතවූ  මගේ  ජිවිත  කතාවම  එකම ගීත සාගරයක් වීමයි.

වැඩි පුර නොසිතා ගීත 16ක්  පෙළගස්වනවා වෙනුවට අප ජිවන ගීතයේ  එක් එක් කාල වකවානුවල  මා අසන්නට/ ගයන්නට  ආශා කල ගීත  ලියන්නට අදහස් කලෙමි.

ඒ  එසේ වීමට හේතුවූ  අවස්ථා  සම්බන්ධයත්  එක් කරමිනි.

හද  රැඳී  ගී.


1. පිණිබර  යාමේ  -සුනිල් එදිරිසිංහ  



මා ඉතා කුඩා කාලයේ සිටම  අපේ  අම්මා අප වෙනුවෙන් කල  කැපවීම් හොඳින් අත්දැක ඇත්තෙමි.

 ඒ  අහල  පහළ අය කියන්නාසේම  මම අම්මාගේ  පුතා නිසාය.

මා මෙතෙක්  දුටු හොඳම  මානව හිතවාදී  කාන්තාවද  අපේ  අම්මාය.

මට අවුරුදු අටක් - දහයක් වෙන කාලයේ උදේ පාන්දර  ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීතය  මගේ  අම්මා කෙරෙහි මා තුල තිබු ආදරය  තීව්‍ර කරවන්නක් වූ යේ එබැවිණි.

එකල ඉතා දඟකාර කොලුගැටයෙක් වූ  මා පාසලේ සිටි දඟයන් ගේ   ප්‍රමුඛයෙකි.

එහෙත් එවන්  චරිතයක්    අධ්‍යාපනයේ  හිණිපෙත්තටම  ගෙන යන්නට ඉතා කුඩා කාලයේම අඩිතාලම දැම්මේ මෙන්න මේ ගීතයයි.




2.   පන්දම් අල්ලා  - එච් . ආර්. ජෝතිපාල

"පන්නරය " නම් වචනය මා කවදත් ප්‍රිය කල එකකි. එය අද මෙන්ම  අවුරුදු අටක- දහයක  කොළු පැටියා කාලයේද එසේමය.

මේ ගීතය  සම්බන්ධ වන්නේ එ වැනි කථාවකටයි .

ඒ කාලේ  අපේ ගෙදර සිටි වැඩිමහල් දරුවන් තිදෙනා වූ සමන්ත, අක්කා සහ මම  මේ ගීතය  කියමින්  වත්තේ උඩහ පැත්තේ තිබු පේර ගසත්  , තුන් ඈඳුතු අලිපේර ගසටත්  නගින්නෙමු.

සිංදුව කියමින් පේර ගසේ සහ අලිපේර ගසේ අතු සොලවන  අප  "යමෙකුට " පණිවිඩයක් දුන්නෙමු.

එයින් කියනන්ට  බලා පොරොත්තු වුයේ

"ඔබ අපට එරෙහිව වැඩ කරන්න කරන්න අප  එයින් පන්නරය ලබන්නෙමු "

යන්නයි.

ඉතා කුඩා කාලයේම  මා සිත් රැඳුනු  මේ ගීතය  මෙහි සඳහන් කරන්නේ  ඒ  කාලේ  කුඩා අපි අතර තිබු සමගිය  බලයක්  කර වූ  මේ ගීතයට කරනා  අගය කිරීමක් වශයෙනි.





3.  අහසින් පොලවට  කඩා වැටිලද - සුනිල් එදිරිසිංහ 


ඉහත සිදුවීම් වලටම ආසන්න කාලයකදී  මා සිතට  මේ ගීතය ඇතුල් වුයේ  පුදුමාකාර හේතුවක්  සමගය.  

කුඩා දරුවෙකු  ගේ  සිතට  "අනේ මම කොතරම් අසරණද ? " යන සිතුවිල්ලක් ඇති වේ නම්  එය එකත් එකටම  වැඩිහිටි සමාජයේ  වරදක්  හෝ අතපසු වීමක්  නිසාමය.

ඉතා කෙටි කලකට හෝ එවැනි අදහසක් මා සිතට ඇතුළු වූ ඒ කුඩා කාලය  මතක් කර දෙන මේ ගීතයට මම අදටත් ප්‍රිය කරමි.

මෙහි කියැවෙන අදහස කෙලින්ම මගේ අතීතයට  සම්බන්ධ  නොවුනත් මට  අදටත්  මල් කැකුළු වන් පොඩි  දරුවන් ගේ ලෝකය  විනාශ කරනා වැඩිහිටියන් ගැන මතක් කර දෙන්නේ මේ ගීතයයි. 







4.  හිරු  පායා එන සුන්දර  මොහොතක -විල්බට් ඇන්තනි 

මා අධික ලෙස මම උපන් බිමට ආදරය කරන්නෙක් යැයි  කිවොත් එය විශ්වාස කරනු ඇත්තේ  කීයෙන් කී දෙනෙක්ද? 

මුහුණු පොතේ මගේ  හැසිරීම බලන්නෙක්  මොහු ජ. වී. පෙ  හිතවාදියෙකි .  අප මෙන් "දිනු දේශය "  ගැන සිතන්නෙක් නොවේ  යැයි  කියනු ඇත.

තවකෙක්  "ඔච්චර රටට ආදරේ නම්  මොකද ඔය පිටරටකට වෙලා ඉන්නේ ?. මෙහෙ ඉන්න  සුරන්ලා වැනි හොඳ කොල්ලොත් පිට රට ගෙන යන්න දඟලන්නේ  ? "  යැයි අසනු ඇත. 

එහෙත් "සත්‍ය  මිනිසා"  හඳුනන්නේ  මා සමග දැනට ජිවත් වන අනෙක් මිනිසුන් දෙදෙනා වන නිම්මි සහ අපේ එකම පුතා සුපුන්ය.

ඉතා කුඩා කාලයේම මගේ රටට ගමට එහි දුක් විඳින මිනිසුන්ට සැබෑ ලෙසම ආදරය කරන්නට  මා පෙලඹ  වූ  ගීත රාශියකි  . 

ඒ හැම එකක්ම  ඇහුනේ  උදේ පාන්දර  අසුගණන්වල අපේ  රේඩියෝ වේ  ගිය "අරුණ කිරණ " සහ  "උදා ගී " වැනි වැඩ සටහන් වලිනි. 

කුඩා කල ඒ ගීත ඇසෙද්දී  මගේ පිට කොන්ද දිගේ ඉහළට ගලා විත් හිස මත පතිත වන "කරන්ට් එකක් වැනි හිරියක්"  මා පුබුදු වයි. 

ඒ මා උපන් දේශයට  මගේ ඇති අතිමහත් ආදරය මා සිත තුල තදින්  කා වද්දමිනි.  






5. දවසක්  පැල නැති හේනේ  -  ගුණදාස කපුගේ 

අම්මලා දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිති.  අම්මාගේ  ආදරය වෙනුවෙන් ගීත පොත් පත්  තොග ගණන් ලියවෙන්නේද  ඒ නිසාමය. 

මෑත කාලයේ ශ්‍රී ලාංකීය  සමාජය  ඇවිස්සු  උපුල් ශාන්ත  සන්නස්ගලගේ අම්මා එවන් තවත් දිරිය කාන්තාවකි.  

මට අපේ අම්මා  අප වෙනුවෙන් කල අප්‍රමාන  කැප කිරීම් නැවත නැවතත් සිහි කර දුන්නේ උපුල්ගේ  පොතයි. 

ඔහුගේ ලිවීම් රටාව ගැන විවේචන ඇතත් අපේ පළාතේ  අම්මා   කෙනෙක්  ගේ ආදරය මොනවගේද යන්න ඔහු හෙළි කල බව මගේ හැඟීමයි.

මගේ මුල්ම බ්ලොග් පොස්ට් කිහිපයකම  අපේ අම්මා අප වෙනුවෙන් විඳි දුක් ගැහැට  පිලිබඳ  සඳහන් වී තිබේ. 

ඇය  අද අපේ මුළු ගමක්,  පළාතක්  ගරු  බුහුමන් දක්වන මාතාවකි . 

හේතුව  ඇය ලොවට  දායාද කල දරු දැරියන්  ගමට, රටට,  ලෝකයට කාරනා සේවයයි.

මේ ගීතය මා තෝරා ගත්තේ අපේ ආදරණිය අම්මා වෙනුවෙන්.

 මේ ගීතයට එන අවස්ථා සම්බන්ධය  පැලක  නොවේ වෙලේ සිට ගෙදර එද්දී අම්මාත් මමත් අනෝරා වැස්සේ තෙමුණ කතාවයි.

ඒ කතාව තරමක් දිග කතාවකි . ඒ නිසා එය  මතු  කවදා හෝ දිනක මගේ බ්ලොග් ලිපි අතර පළවනු ඇත.








6. දඟගෙයි දඬුවම්   - විජය කුමාරතුංග 

මම උසස්පෙළ  කලේ  1987-1990   අවසනාවන්ත  කාලයේය .  ඒ  කාලේ  අපි හැමෝම  පාසල්  පුරා පැතිරී ගිය  දේශපාලන පිබිදීමේ යම් පමණක හෝ කොටස් කාරයින් වූයෙමු.  

මා කෙලින්ම  ශිෂ්‍ය සටන් වලට සම්බන්ධ සාමාජිකයෙක් නොවුවද ඒවාට  සහභාගී  වී  තම වටිනා ජිවිත අකාලයේ අහිමි වූ පිරිස් අතර අපගේ ලඟම මිතුරන් රාශියක් සිටිති. 

එකල  අප ඇසු ගීත අතර  වැඩි හරියක්ම තිබුණේ විරෝධාකල්ප ගීතයි. 

විජයගේ "වේදනා"  සහ නන්දා මාලනිගේ  "පවන"   අපේ  ගෙදර කැසට් එකේ නිතර වාදනය කිරීමේ වගකීම හිමිවන්නේ අපේ අය්යා සමන්තටයි.

ඒ ගීත  මා සිත තුලට කිඳා බැස්සේ මගේ හිතවතුන් බොහෝ දෙනෙක් ඇත්තටම  ඒ ගීත වල තේමාවන අනුගමනය කරමින් සිටි බැවිනි.








7 . සුන්දරත්වයෙන් පිරි-   මිල්ටන් මල්ලවආරච්චි


අසුව දශකයේ  අග භාගය ( භීම සමය) මම හිරිමල් යොවුන් වියේ ආදරවන්තයෙක් වූ  කාල වකවානුවයි. 

සටන් කාමී හිතවතුන් මෙන්ම විනෝදකාමී හිතවතුන් ද මැද දෝලනය වූ මගේ යව්වනය තවත් පාසැල් සිසුවියක්   වෙත  ඇදීයාමම  මගේ අනාගත ගමන් මග  වෙනස් කිරීමක්ද විය. 

ඒ කාලේ  මම වැඩියෙන් මිල්ටන් ගේ ගීත වලට සමීප වූ අතර. 

මේ ගීතය මගේ හිතේ රැඳෙන්නේ  එහිදී තෝරා ගත් බෙස්ට් සිලේක්ෂ්න් එක ආරම්භ වුයේ මේ ගීතයෙන් වන බැවිනි






මගේ  ප්‍රියතම ගී අතර මිල්ටන් ගේ ගීතම 16 කට වඩා තිබේ . 

ඒ අතර මේ ගීතයද  ඔය කියනා  මල් සමයේ  සිටම මා ප්‍රිය කරන තවත් ගීතයකි.






8. පබළු නගේ නාමල්  තිලකේ  - ගුණදාස කපුගේ 


අවුරුදු දහනමය -විස්ස වෙද්දී මම වැඩිපුර ප්‍රිය කලේ  "විරෝධාකල්ප සහ ප්‍රබුද්ධ ගායකයින්ගේ ගීත" වලටයි. 

ඒ කාලේ මට එච් . ආර්. ජෝතිපාලගේ ගීත පෙන්නන්න බැරි යැයි කිව්වොත් අද නම් කිසිවෙක් විශ්වාස නොකරනු ඇත. 

එහෙත් යොවුන් වියේ පසු වූ මා ආදර /විරහ ගීත වලින් වෙන් කරන්නට එය හේතුවක් වුයේ නැත. 

යොවුන් ආදරය  තේමා කර ගත් ගීත දහස් ගණනක් 1989-90 කාලයේ  මා සිතට සමිප වූ අතර  විරහ වේදනාවට  අලුත් අරුතක් දුන් මේ ගීතය මගේ හිත පත්ලටම ගියේ ඒ කාලයේදීය.







9.  සිංහල සිංදු කියන - නළලේ  තිලක තියෙන -  ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ මගේ ප්‍රියතම ගායකයා වුයේ  1980 ගණන් වල හිරිමල් යව්වන වියේදීමය.  ඔහුගේ සිංහල සිංදු කියන ගීතයට මා ඒ කාලේ සිටම ඇලුම් කලෙමි. 

මෑතක සිට මේ ගීතය මගේ සිතට නව හැඟීමක් එක් කරන්නට විය

නිදහසෙන්  පසු අවසනාවන්ත ලේ වැගිරීම් හතරකට අසුවූ අපේ රට සදාකාලික ශෝක වන්නන් සහිත බිමක් කල තවත් අවස්ථාවක්  මේ ගීතය මට මතක් කර දෙයි.

මේ ගීතය  ඇසෙද්දී  මගේ සිත ඉතා තද කම්පනයකට පත්වෙන්නට ගත්තේ 2009  මැයි  මාසයෙන් පසුවය. 

මේ  ගීතය ඇසෙන වාරයක්  පාසා   "පණ බේරාගන්නට දුවනා දමිළ කොටි සාමාජිකයෙක් විවාහ කරගත් සිංහල කාන්තාව "  මා සිතේ අඳින්නට පටන් ගත්තේ මේ මෑතක සිටයි. 

හේතුව මේ ගීතයේ  පසුබිම් කතාව මා මනසේ තදින්ම තැන්පත් වී තිබීම විය යුතුය. 





10.   දුක හාදු දෙන රැයේ

දශක හතරකට වඩා වැඩි  වූ මගේ ජිවිත කාලයේ  මේ  වන තෙක් මා ලැබූ   විවිධාකාර  අත්දැකීම් රාශියකි . 

 ඒ බොහෝ අත්දැකීම් ඒවායේ උපරිමයට  ටිකක් එහාට වන්නට  වාගේ ලැබුනා කිවොත් එය  අතිශෝක්තියක්  නොවේ . 

අවුරුදු  18 -20 කොලුගැටයෙක් ලෙස මා අත් විඳි විරහ වේදනාවද   එසේ උපරිමයෙන්ම ලැබූ එකකි.

ඒ කාලේ රෑ නින්දට යද්දී  මා සිතේ හොල්මන් කල ගුණදාස කපුගේ ගයන  මේ ගීතය ට  මා කවදත්  ණයගැති  වන්නේ  තරුණ මගේ සිත කිසිවෙකුටත් වයිර නොකරන තත්වයක තබන්නට  එය සමත් වූ නිසයි .





11. රජ මැදුරක ඉපදී සිටියානම් - මාලනී බුලත්සිංහල 

මා ඉතාම කැමති මේ ගීතයේ නිධාන කතාව නම් තරමක්  විනෝදය දනවන සුළු එකකි  . 

විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් වූ අප  ඇහැට කනට පෙනෙනා නවක සිසුවියක් අල්ලා ගත්තෙමු.

තංගල්ල පැත්තේ කෙනෙකු වූ ඇය  නවක  සංග්‍රහ කාලයේ දැලේ දමා ගැනීම තරුණ මගේ බලාපොරොත්තුව විය.

"ඒයි .. උඹේ නම මොකක්ද? "

"යසන්ති  ජේස්ට උත්තමයා."

" හ්ම්.. යසන්ති ඇයි  බොට වාසගමක් නැද්ද ? "

"යසන්ති ද  සිල්වා   ජේස්ට උත්තමයා "

මගේ හිතවතා කුමාරද  මේ අවස්ථා වේ මා අසලම සිටියේ මගේ සහයටයි.

"ඒයි උඹ දන්නවද ? මේ ජේස්ට උත්තමයා සිංදු අහන්න .. සිංදු කියන්න හරි ආසයි .

කියපන් බලන්න එතුමාගේ හිතට වදින හොඳ සිංදුවක් "

යසන්ති අපි දෙදෙනාට වඩා සටකපට පාටය. ඇය මේ ගීතය කියන්නට ඇත්තේ  ඒ නිසාය.  

එදා මම දැහැනකට සම වැදුනා මෙන් මා කැමතිම ගීතයක් ඇසුවේ එසේය.





12.  පාන්කිරිත්තා - ෆ්‍රෙඩි සිල්වා

ප්‍රේම කිර්තිද අල්විස්  මා ඉතාමත් ප්‍රිය කල ගීත රචකයෙකි.  ඔහු විසින් රචනා කල බොහෝ ගීත මාගේ ප්‍රියතම ගීත වෙයි. 

මර්වින් පෙරේරා  ගයන ගීත ගණනාවක් ඒ අතර තිබේ.





ප්‍රේම කිර්ති අපේ සමාජයේ දුර්වලතා ඉලක්ක කරගෙන ලියු ගීත රාශියක් ද තිබේ . 

ඒ අතරින් මා කැමති එක ගීතයක් මෙහි සඳහන් කරමි. එහි ප්‍රේමකීර්ති උපහාසයට ලක් කරන්නේ අපේ රට වැසියන්ගේ  මා අකමැතිම ලක්ෂණයයි . 

ඒ  තමන්ගේ වැඩේ හරියට නොකර අනුන් විවේචනය කිරීමයි .


ලන්කාවේදී පමණක් නොව පිටරටවලදී පවා අපේ අය පෙන්වන මේ දුර්වලතාවය  මා අකමැතිම එකකි.

ඔස්ට්‍රේලියාවේ අපේ හිතවතෙකුගේ නිවසේ පැවති දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී සාදයකදී මා මේ ගීතය ගැයුවේ එබැවිණි. 


Saturday, 20 August 2016

මහා හඬක් හිමි කුඩා රවී


මම  මින් වසර විසි හතකට - අටකට   පෙර අතීතයට ගියෙමි.   ඒ අපි උසස්පෙළ කල අසු අට -අසු නමය භීම සමයටයි .

නිමිත්ත  අපේ කෙමිස්ට්‍රි  ගුරුවරයා  වූ සමන් අය්යා ය.

බණ්ඩාරවෙල  අපිත් එක්ක සමන් අය්යාගේ  පංති ගිය කෙනෙක් වූ  ( මගේ පාසැල් මිතුරා )  වෛද්‍ය  සාගර රත්නායක  මැතකදී කතා කළේය.

එදා සාගර මට සමන් අය්යා  ගේ අවශ්‍යතාවයක්  මතක් කර දුන්නේය. ඒ ඔහුගේ  වෛද්‍ය වරයා වූ සාගරගේ මල්ලී සමන් අය්යා පිලිබඳ මතක් කල දෙයකි. 

සිද්ධිය  තරමක් දුරට  සොයා බැලු මම  සමන් අය්යා සහ අපි අතර වූ සබඳතා ගැන  කතාවක් ලිව්වෙමි .

ඒ කතාවෙන් මා ඉල්ලා සිටියේ අපේ ගුරුතුමා වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු යන්නයි.

සමන් අය්යා ගැන කතාව  බණ්ඩාරවෙල  මධ්‍ය මහා විදුහලේ ආදී සිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වී ගියේය .

ව්‍යාප්ත කිරීමේ මුලිකයා වුයේ මගේ  කතාවට මුලින්ම  ප්‍රතිචාර  දැක්වු අපේ පාසැලේ   මට එක පංතියක් පහළ සිටි  අපේ  මිතුරෙකි.

ඔහු නමින් රවින්ද්‍ර බණ්ඩාර නම් වෙයි.


මහා හඬක් හිමි කුඩා මිනිසා





මා රවින්ද්‍ර මල්ලී මුලින්ම  හඳුනා ගන්නේ  1988-89  කාලයේදීය. 

එවකට  පාසැලේ උසස් පෙළ සිසුන් වූ අපට  පැවති රජයට එරෙහිව පැවති ශිෂ්‍ය විරෝධතා වලදී  ඉදිරියට එන්නට සිදුවිය. 

ඒ පාසැලේ  ඉහළම පංති වල සිසුන් වීම නිසාය.  

ඒ කාලයේ පාසලේ  මේන් හෝල්  එක අසලට මුලින්ම රැස්වන පිරිසට එකතු වූ කුඩා හුරුබුහුටි කළු කොල්ලෙක් අපේ අවධානයට ලක් විය.

ඒ  තම කුඩා ශරීරයට  උසුලාගත  නොහැකි තරමේ සැර බර කටහඬක්  හිමි කොලු ගැටයෙකු නිසාය.

කටහඬ  පමණක් නොව ඔහු කතාකළ දේවල්ද  ඔහුගේ  තරමට තරම් නොවිය. 

අපේ පළාත්වල  සිසුන්ට ඇති අපහසුතා,  පැවති රජයෙන් අධ්‍යාපනයට වෙන අකටුයුතුකම්  ආදිය ගැන  බර සාර  කතාවක්  ඒ කාලේ  රවී මල්ලිගෙන් අහන්නට  පුළුවන් විය.

පසු කලෙක කළබල උත්සන්න වී පාසැල් වැසි යද්දී රවීලා අපි දුරස් වුවද  ඒ  කටකාර  කොළුවා මට වසර  විසි ගණනකින්  පසු වුවත් තදින් මතකයේ රැඳුනු චරිතයක් විය.

සමන් අය්යා සම්බන්ධ කතා පුවතත්  සමග රවී හා මා කෙලින්ම සම්බන්ධ වන්නේ  ඒ  අතීත මතකයන් නිසාමය.

පුද්ගලික  අධ්‍යාපනය තුල හමු වූ  මානව හිතවාදියා 



සමන් අය්යා  ගැන මා ලිවූ  කතාවට  ( අපේ කාලයේ  පුද්ගලික පංති කල මානව හිතවාදියා පිලිබඳ )  මුලින්ම ප්‍රතිචාර  දැක්වූ  රවී  අප මෙන්ම  සමන් අය්යා ගෙන් අකුරු කල අයෙකි.


කියා  මගේ මුහුණු පොතේ  දමා තිබු පණිවිඩය  මට  නැවතත් අර 1989 දී හමුවූ ස්ථිර අධිෂ්ඨානය  සහ කැපවීම    පෙන්නුම් කල  කුඩා මිනිසා මතක් කර දුන්නේය.

ඔබ අප කවුරුත් දන්නා පරිදිම  රවී එසේ යමක් කිව්  පමණින් එය අමතක කාරනා වර්ගයේ අයෙක් නොවේ.

රවී  යමකට  අත දැම්මොත්  එය  උපරිමයෙන්  වෙහෙස වී  / කැපවී  ඉටු කිරීම  රවීගේ සිරිතයි. 

 ඒ අනුව යමින්ත මගේ පණිවිඩයත්   සමග වහ වහ ක්‍රියාත්මක වූ  රවී  සමන් අය්යාගේ  වැඩේ  වෙනුවෙන් බොහෝ ඇප කැපවී වැඩ  කළේය.

රවිගේ මේ වැඩ කටයුතු දෙස  විදේශයක  සිට බලා සිටි මා හා ඔහු අතර  ලොකු සබඳතා වක් ගොඩ නැගෙන්නේ ඒ අනුවයි.

පුද්ගලික  පංති කලාවට අලුත් අර්ථකථනයක්   එක් කරන රවී  මුදල්  මත පදනම් වූ සමාජයක  අපට  හමුවූ සමන් අය්යා වැනි  මානව හිතවාදීන් තවමත්  ටියුෂන් ලෝකයේ ඉන්නා බව මට පසක් කළේය.


මම  තවමත් ඒ වර්තමාන රවී අධ්‍යනය කරමින් සිටින්නෙමි.  

ඔහුගේ වැඩ මගේ නෙතට සිතට ප්‍රිය උපදවයි.  


ඔහුගේ සහ මගේ අන්තර්ජාල  සහ  සමාජ ජාලා හරහා කෙරෙන ගණුදෙනු  හැමවිටම අවසාන වන්නේ ධනාත්මක අවසානයක් සමගිනි.



රවී අපට හිරු මෙන් විශ්වාසය.


සුභ අනාගතයක්  මිත්‍රයා !!  



ඔබේ රජත  ජයන්තියට  අපේ    උණුසුම් සුභ පැතුම් !!


ප. ලි.  

මේ  අපේ  හිතවතා  රවින්ද්‍ර බණ්ඩාර ( රබා )   තම  ගණිත  පංති යට  අවුරුදු  විසිපහක්  සම්පුර්ණ  වීම  වෙනුවෙන්  පැවැත්වෙන  ගුරු  පුජා  ප්‍රණාම  වෙනුවෙන් ලියන  ලද්දකි.  

මෙහිදී  සමන් අය්යා  ඇතුළු ගුරුවරුන් රැසක් පිදුම්  ලැබීමට නියමිතයි . 

රවී  ගැන ලියවුනු  තවත් හර්දයාංගම  සටහනක්  මෙතනින්  කියවන්න.




Tuesday, 16 August 2016

හිත ඇත්නම් පත කුඩාද ?










පසු ගිය  කළාපයෙන් 



කොන්ඩදෙණිය  ගමේ වෙල් යාය මැදින් යන පාර හා  නිම්මිලාගේ නිවස සම්බන්ධ කරමින් සැදු පාර දැන්  හරි ලකේට පෙනේ.

කොළ පාට ගොයම් ගස් දෙපැත්තට වෙන්නට තබා මහත දෙහෙත කහ ගැරඬියෙකු  යන්නාක් මෙන් වූ පාර දෙස පුවක් ලා ගෙට පහළ බෝක්කු ගලට වී බලා සිටියෙමි.

ඒ අතරේ පුවක් බාස් ගේ දුව දුල්මිණි සහ අපේ සුපුන් පාරේ සෙල්ලම් කරති.

දුල්මිණි  විටෙක අපේ සුපුන් ට්‍රයිසිකලයක තබා පාරේ ඉහළ පහළ ගෙනයයි.

තවත් විටෙක ඈ  සුපුන් ගේ අතින් අල්ලා ගෙන  පාරේ ඇවිද්දවයි.

ඒ වන විට  අපේ සුපුන්ට යන්තම් අවුරුදු දෙකක් පහුවුනා පමණි.

දුල්මිණි ඒ වනවිට අවුරුදු නවයක දහයක කෙලි පොඩිත්තියකී.

අක්කා  මලෝ  සෙල්ලමේ  යෙදෙනා අතරේ  මම බෝක්කු ගලට වී අනාගතය ගැන සිහින මැව්වෙමි.

මේ  ඉන්නේ අපේ සහ පුවක්ලා ගේ මෙන්ම රටේද අනාගතයයි.

කවදා හෝ මේ දරුවන් දෙදෙනාද පුවක් ලා සහ අප මෙන් රටට  ලෝකයට වැඩක් ඇති මිනිසුන් දෙදෙනෙක් වනු ඇත.

එක් වරම  මගේ දැහැන  බින්දේ  ළමුන්  දෙදෙනාගේ සුරතල්  හඬ වල්  පරදවා ඇසුණු  රළු පරළු  හඬකිනි.

හිස ඔසවා බැලුවෙමි.

ඒ හඬේ හිමි කරු  දුල්මිණි සහ  සුපුන් සෙල්ලමේ යෙදෙනා තැනින්  ගිය කොන්ඩ දෙණියේ ගම් වැසියෙකි .

මා අසා ඇති පරිදි ඔහු ඩිංගිරි බණ්ඩා මාමගේ  අල්ලපු ගෙදර පදිංචි  වී සිටියේය.

ඔහු මා සිටි තැන අසලින් යන අතර කතා කලේ මට නොව  පුවක් ගේ දුව දුල්මිණිටය.

"හා.. කොහොමද  දුල්මිණි  දුවේ .. අළුත් පාර හරි ලස්සනයි නේද? "

"මම අහගෙනයි මේ පාර හැදිල්ල නොකෙරෙන තැනට හරි හරි දේවල් කෙරුණා කියලා?

දැන් බලන්න ඉතින් කවුරු  කවුරු උඩ පැන්නත් වැඩේ  ඉවරයි නේ  ...

ඔන්න ඕක තමයි පුතේ කියන්නේ ...

හිත ඇත්නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා "

උස් හඬින් එසේ පැවසූ ඩිංගිරි බණ්ඩා ගේ අසල්වැසියා  මා දෙසද  මිත්‍රශීලි බැල්මක් හෙලා  අප තිදෙනා පසුකර ගියේය.

මගේ සිත විදුලි  වේගයෙන් අපේ ගම වෙත  ඇදී  ගියේය.

ඒ   අපේ අම්මා අප කුඩා කාලයේ නිතරම කියනා යෙදුමක් මතක් විමත් සමගිනි .

ඒ කාලේ එහි තේරුම කුමක් දැයි හරියට දැන නොසිටියද ඈ  නිතර නිතර අපහට කියනා ඒ යෙදුම ඒ මොහොතේ  මා මනසේ හොල්මන් කළේය.

"ඕකනේ චුටි   උඹලාට  මම හැමදාම  කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා ? "

ඈ බොහෝ විට අපේ සමන්තට සහ අක්කාට  එසේ කියන්නේ  ඔවුන් දෙදෙනා කල කිසියම් හෝ වැඩක්  අගය කීරීමට  බව නම් මතකය.



පාරේ පිරිතක්





ගමේ වැඩි දෙනෙක් අප කල දේ  අගය කාරනා බව  ඩිංගිරි ගේ අසල් වැසියා ගේ ප්‍රකාශයෙන් සනාත විය .

මම හවස්  යාමේ නිම්මිලා ගෙදර හැමෝටම  යෝජනාවක්  කරන්නට සිතුවෙමි.

ලෙනදොර  , නිම්මි , අමරා ඇතුළු සැම  රාත්‍රී කෑම මේසයට එක් වෙන  වෙලාව   ඒ  සඳහා යොදා ගත්තෙමි.

නිම්මිලා අම්මා දෙසට හැරුණු මා

"අම්මා පන්සලේ හාමුදුරුවෝ  මොකද දන්නේ නෑ  කියන්නේ පාර ගැන නේද?

"පෙරේදා අම්මලා දානේ අරන් ගියා නේ එතකොට ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ඇතිනේ ? "

යැයි ඇය ගෙන් ඇසුවෙමි.

ඒ පන්සලේ හාමුදුරුවෝ මේ පිටගම්කාර කොල්ලෝ දෙන්නා ගැන කියන්නේ  කුමක්දැයි  දැනගන්නා  අටියෙන් පසුවු නිසාමය.

"මොනාද ඉතින් කියන්නේ  ? උන්වහන්සේට  හරි සතුටුයි ."



"උපාසකම්ම ගේ  බෑනලා දෙන්නා නම් නියමයි. 

  මේ  ගමේ  උන් එක්ක  ලේසියෙන් වැඩක්  කරන්න  බෑ

  ඒ අතින්  ඒ  ළමයි දෙන්නා  හරි උත්සහවන්තයි  " 






කියලා කිව්වා ඕන්.. ඈ එසේ කියමින් අප හා සතුටින් සිනා සුණාය.

ලෙනදොර  මා වෙත  ස්තුති පුර්වක  බැල්මක්  හෙලයි.

මම කෙලින්ම  ඔහු ඇමතුවෙමි.

"මල්ලී  මට හිතුණා මෙහෙම වැඩක් කරන්න.

අපි මේ පාරේ වැඩ ඉවරයි  කියලා හොඳ පිරිතක්  කියවමු.

ඔය පුවක් බාස් ගේ ගෙට පහළ  තියෙන  කමත  හරියේ පොඩි මන්ඩපයක්  ගහමු.

ඒ කරලා ඔතෙන්ට ලොකු හාමුදුරුවෝ ගෙන්නව්වා නම් මුළු ගමටම පෙනෙනවා නේ "

"ඔව් අය්යා ඒක නම් හොඳ අදහස  .

හැබැයි  අවිශ්ක ලා  ට  ලොකු පාටියක්  දාන්න  ඕනේ  කිව්වා  පුවක්ට  එහෙම  සළකන්න .

පිරිත් කිව්වොත් ඒක කොයි වේලාවේද  කරන්නේ ? "

ලෙනදොර ඒ  වනවිටත්  නිම්මිගේ  මාමගේ  පුතා ඇතුළු ගමේ කොල්ලන් සමග  "පිරිතකට  පේ වන "  ලකුණු පෙන්වන්නට  විය.

"ඒ කියන්නේ අවිශ්ක ලා පුවකාට  බොන්න දෙන්නයි ලෑස්තිය?  ඔය මනුස්සයාගේ  ඔය තියෙන  හොඳ  ඔක්කොම  නැති කරන වැඩක්  තමයි  ඔය බී මන"

නිම්මිලා  අම්මා ලෙනදොර ලා ගේ අදහසට  තම අප්‍රසාදය  පල කළාය.

එහෙත්  පිරිත්  ගැන  කල සාකච්චාව අවසන් වුයේ  ලෙනදොර  සහ ඔහුගේ හිතවතුන් ගේ අදහසට  ඉඩ  ලබා දෙමිනි.

මගේ අනුමැතිය  ලැබුණු වහාම  ලෙනදොර තම මිතුරන් දැනුවත් කරන්නට ඇත.

ඒ බව සනාථ වුයේ  පසුදා  හවස් වෙද්දී  අළුත කැපු පාරේ ඇසුණු ශබ්දයකිනි.

අවිශ්ක ගේ සුදුපාට  ලොරි භාගය  පුවක්ලා  ගෙට පහළ  කමතට  පැමිණ තිබේ.


එහි පිටුපස්සේ  නැග සිටියේ  ගමේ  සිටි තරුණ සමුහයයි. ඔවුන්ගේ  බොහෝ දෙනෙක්  වාහන  වෙළඳ කටයුතු කල අවිෂ්කගේ මිතුරන්ය.

පාරේ ශබ්දය  දෙස බලන්නට ගිය ලෙනදොර  මා සොයා පැමිණියේ

"අය්යා අන්න අරුන්  පුවක් ලාට  දෙන්න බඩු ගෙනැල්ලා  ..

සෙල්ලම්  නෑ බ්‍රැන්ඩි  බෝතල්ම  දහයක් .

චයිනිස්  එකෙන් ඩේවල්  චිකන්  දෙකකුත්  දාගෙන  ඇවිල්ලා."

කියමිනි.

"කෝ ඉතින්  පුවක්ලා එහෙම  ඇවිල්ලද? "

"ඇවිල්ලදත්  අහනවා . අන්න පුවක්  දැන්මම  බ්‍රැන්ඩි  සප්පායම්  වෙනවා "

"එතකොට  ගනේ  .. සුසන්ත  ? "

මම  විමසා සිටියේ  පාර හදන්නට නොතිබූ  උනන්දුවකින්  පාරේ  සාර්ථකත්වය  සමරන  අවිශ්ක ලා  ගැන  පුදුමයෙන්  පුදුම වෙමිනි.


"ගනේ සුසන්ත විතරක්  නෙවෙයි මුළු ගමේම  කොල්ලෝ එතන. උන් හැමෝම  අය්යට  එන්න කියනවා  අය්යා නේ  පාර  හැදුවේ"

ලෙනදොර  මා පාරේ  සාදයට  රැගෙන  යන්නට බලවත් උත්සාහයක යෙදෙයි.

"අය්යා  බොනවද  ඇහුවම  මම නෑ කිව්වා.. ඒක  නිසා අය්යට  කරදරක්  වෙන  එකක්  නෑ  .

 මම ත් බොන්නේ නෑ කිව්වා .

අපි දෙන්න ගිහිල්ලා  කට්ටියගේ විනෝ දේට එකතු වෙමු එච්චරයි "

ලෙනදොර  මා අස්වැසුවේ ගමේ තරුණයින් අපට  බ්‍රැන්ඩි පොවන්නට එන්නේ නැති බව  මා හා පවසමිණි.

"පිරිතක් කිව්වා නම්  මේක  මිට වඩා වටිනවා. කොහෙද මේ අවිෂ්කලා  එක්ක බෑනේ .

දැන් කමක් නෑ  ඉතිං ...යමු යමු  "

. මම  ලෙනදොරට  එකතු වුයෙමි.

"පන්දම්  අල්ලා  ගත්  නම්බු  නාමේ  //

මේ කාලේ  අවලංගුයි  නෝනේ...

දුප්පත්  අපි රජවරු  මේ  කාලේ  .. දුප්පත්  අපි  රජවරු  මේ  කාලේ.. //

පාරේ  "පිරිත් සාජ්ජය"  ජයටම ඇසේ..









Wednesday, 10 August 2016

ආණ්ඩුවට අබ සරණයි !!!



පසුගිය කලාප වලින්


මගේ ශිෂ්‍යත්වය  සහ ටෙලිනාට්‍ය.


අවේලාවේ හමුවූ හිතවතා.


පාර කැපුණේ මෙහෙමයි 



ඒ දෙදහස්  හය වසරේ ආරම්භයයි.  මේ වන විට ශ්‍රී ලංකාවට  නව නායකයෙක් පත්වී  ගතවී තිබුණේ සති කිහිපයක් පමණි.

මේ වන විට මම ලෙනදොරලා  සමග සිදු කල  ගම නැගුම  සහ මග නැගුම වැඩ  අවසන් අදියරට පැමිණ තිබිණි.

නැවත නෙදර්ලන්තයට  යෑමට  ඉල්ලුම්පත් දමා තිබුනද   මගේ අදහස වූයේ හැකිනම් ඔස්ට්‍රේලියාවට   යාමටයි

මේ කියන දිනවල දී  ගමනැගුමේ  වැඩ වල යෙදෙන අතරම  ඕස්ට්‍රේලියා ගමන සඳහා අවශ්‍ය  ඉල්ලුම් පත් ඇතුළු ලියකියවිලි වල  වැඩ  කරමින් සිටියෙමි.



මේ මා පමණක් නොව මුළු රටේම  ජනතාව නව  රජය  සහ එහි නායකයා  ගැන  ඉතා බලාපොරොත්තු සහගතව සිටි කාලයකි.

ඔහු පත්වීමට  පෙර යුඇන්පී  ගුලාවක් වූ අපේ දෙපාර්තමේන්තුව    තුල   නව නායක මහින්ද වෙනුවෙන් හඬක් නැගුවේ  මාත්  තව එක කථිකාචාර්ය වරයෙකුත් පමණි.

විශේෂයෙන් අපේ මහාචාර්ය තුමිය  සහ අනෙකුත් කථිකාචාර්ය වරියන්   සියල්ලෝම  යුඇන්පී අදහස් දැරූ අය වූහ.

අප දෙදනාම  ටිකක්  ප්‍රගතිශීලි අදහස් ඇති අය බව   අධ්‍යන  මෙන්ම  අනධ්‍යන කාර්ය මණ්ඩලයද  හොඳින් දැන  සිටියහ.

 හේතුව මහින්ද  රාජපක්ෂගේ  ගුණ වර්ණනා  කරමින්  සිටි අපි ඔහු ජනාධිපති කීරීමට  සහය වන ලෙස හැකි සෑම  අවස්ථාවකම   ඔවුන්ගෙන් ඉල්ලා  සිටීමයි.

දහවල් ආහාරය  ගන්නා වෙලාව  අධ්‍යන කාර්ය මණ්ඩලය ඇල්ලීමට වෙන් කරගත් අප  පියතිලකලා ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇල්ලුවේ  ප්‍රයෝගික පංති හෝ  ටියුට් එකක් සුදානම් කිරීම වැනි වෙලාවකයි.

"කවිඳුලා  සංජිව   ලා  ඉතින්  1989  කලබල  කාලේ  කට්ටියනේ.


ඒකනේ  තමන් ගේ යාළුවන් වෙනුවෙන් කතා කරපු මහින්ද ට කැමති. "

කියමින්  සුරේඛා  වැනි කථිකාචාර්ය වරියන් අප  මහින්ද පසුපස යෑම  සිනහවට   ලක් කළහ.

සුරේඛා කෙලින්ම නොකිව්වද ඈ එයින් අදහස් කලේ  සංජිව සහ මම ජ.වී. පෙ. හිතවාදී කථිකාචාර්යවරුන් දෙදෙනෙක් බවයි .

ඇත්තටම අප ජ.වී. පෙ. ට ලැදි එහෙත් ඒ කාලයේ හැටියට මහින්ද රාජ්‍ය නායකයා විය යුතුයි යන බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනෙකි.


"අපි නුවර අපි නම් ඩොක්ටර්  ඉතින් කැපුවත්  කොළ තමයි"

එසේ කිවේ චිරාත් කාලයක් දෙපාර්තමේන්තු ලේඛන වැඩ කල සුරංගනී  සහ  පිළිමතලාවේ   නම් ටෙක්නිෂන් මහතා ඇතුළු අනධ්‍යන කාර්ය මඩුල්ලේ අයයි.

එමෙන්ම ඉරුගල්බණ්ඩාර   වැනි  අප හා සම වයසේ වූ   එහෙත් පරම්පරාවෙන් යුඇන්පී හිතවාදී වූ  කථිකාචාර්යවරු   එළිපිටම  රනිල්ගේ  ගුණ ගයමින් සිටියහ.

ඔබ අප කවුරුත් දන්නා පරිදි ඒ කාලේ නුවර  ප්‍රදේශය මෙන්ම  අපේ විශ්ව විද්‍යාලයද යුඇන්පී බලකොටුවකි.

මා හා සංජීව  වැනි අතලොස්සක් හැරෙන්නට  අප මණ්ඩපයේ  මහින්ද වෙනුවෙන්   කතා කරන්නට කිසිවෙක් නොසිටියහ.

අවසානයේ නුවරින් ලොකු චන්ද ගණනක් නොලැබුවත් දකුණෙන් සහ අපේ පළාත්වලින් සැලකිය යුතු ජයක් ලැබූ මහින්ද  රටේ ජනාධිපති වුයේය.

  මා මෙන්ම සංජිව ඇතුළු  මහින්ද වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ හඬක් නැගු පිරිසද  නව නායකත්වය  සහ රටේ අනාගතය ගැන සුභ සිහින දකින්නට ඇත.


මහා ශ්‍රමදානය සහ  ශ්‍රී. ලං. ග. ම. 






එදා  සතියේ මැද දවසකි.

මම   කොළඹ යන්නට තීරණය කලේ  ඕස්ට්‍රේලියානු  ගමනට   සුදානමක් වශයෙනි.


මතක හැටියට  මා ගියේ බ්‍රිටිෂ් කවුන්සිල්යටයි.

ඒ IELTS විභාගය  සඳහා  අයැදුම් පත් බාරදීමේ අරමුණිනි.


එදා පාන්දරම  නිම්මි සකස් කර   පොල්සම්බෝලය සමග බත් කටවල් කිහිපයක් ගිල දැමු මම කොළඹ  යන්නට පාරට බැස්සෙමි.

පුවක් බාස් , ලෙනදොර ඇතුළු අප එක්වී සකස් කල   නව මාවත  මා  මාවනැල්ල වෙත රැගෙන යයි.

නිම්මිලා ගේ ගමේ නව පිබිදීමත් නව නායකයෙක් ලැබුණු රටේ වෙන්නට යන පිබිදීමත් ගැන සිහින දකිමින් කොළඹ- නුවර පාරට ලඟාවුනෙමි.

මේ වන විටත් " රජයේ වැඩ වෙනුවෙන් අන්තිම සතේට උදව් කරන්නෙමි" යන යහපත් සිතිවිල්ල මගේ ලේ නහර සියල්ලටම  කා වැදී තිබිණි.

හැකි සෑම විටම රාජ්‍ය ආයතන සමග ගණුදෙනු කරන්නට මා සිත පොලඹ වන්නේ ඒ  රාජ්‍ය හිතකාමී සිතිවිල්ලයි.

අනාගතය ගැන සිහින දකිමින් බ්‍රිෆ් කේස යත් දකුණතින් ගෙන පාරට වී සිටියෙමි.

නුවර - කොළඹ ඒ සි. බස් කිහිපයක්ම

"සර් කොළඹ ට සිට් තියෙනවා "

කියමින් මා බස් වලට ඇදගන්නට  වළි කෑහ.

ලංගමයක්  එනකන් ඉන්නවා . මම මටම පිළිතුරු දුන්නෙමි.

රතුපාට  අලුත්ම අලුත් ලංගම බසයක්  මා අසල නතර කෙරුනේ  මගේ බලාපොරොත්තුව සෆල  කරමින්ය.

රියැදුරාට මද සිනහවක් පෑ  මම  ඔහුගේ බසයට ගොඩ  වුයෙමි.





නිවසේ සිට කොළඹ ගිය ගමනේ විශේෂයක්  නොවිය.

බසය වැඩි ප්‍රමාදයකින් තොරව මා කොළඹට රැගෙන ගියේය.

මතක හැටියට එය යටිනුවර  ඩිපෝවේ බසයකි.

අදාළ වෙලාවට බ්‍රිටිෂ් කවුන්සිලයට ගොස්  ගිය කාර්ය  අවසන් කර ගත්තෙමි.

දැන් නැවතත්  නිම්මිලා ගම බලා පිටත් වෙන වෙලාවයි.

138 බසයකට  ගොඩවූ  මා  දහවල් දොළහ පමණ වෙද්දී පිටකොටුවට   ලඟා වුයෙමි.

නැවතත් මගේ රාජ්‍ය හිතවාදී බව පුද්ගලික බස් නැවතුම පසු කර මා රැගෙන ගියේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ වෙතයි.









ඉක්මනින්  ගෙදර යෑමට අදහස් කරගෙන සිටියේ ලෙනදොර පුවක් ඇතුළු පිරිස ඒ වන විටත් අපේ පොල් සහ කෙසෙල් වගා වැඩ වල නිරත වී සිටි නිසයි.

ඔවුන් හා එකතු වී වැඩ කිරීමටත් ඒ අතර අල්ලාප සල්ලාපයේ යෙදීමටත් ඒ දිනවල  මා දැක්වුයේ දැඩි කැමැත්තකි.

බස් නැවතුමේ නුවර පෝලිම තරමක් දිග එකකි.

අළුත් ආණ්ඩුවෙන් දැමු අලුත්ම  අලුත් රතු පාට බස් නුවර -කොළඹ  දුවනා බව මේ මගීන් දනිති.

පුද්ගලික බස් මෙන් කොට- කොටා ගමන් නොකරන නිසා ඉක්මනින් ගමනාන්තයට  යන්නට ද පුළුවන.

ලංගම බස් වෙත මේ තරම් සෙනගක් එන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

හිස පහත්කරගෙන පෝලිම වෙත ලඟා වූ මම එයට එකතු වුයෙමි .

මතකයේ හැටියට මා එන්නට ඇත්තේ පෝලිමේ විසි - තිස් ගණන් අතරටයි.

 මේ අතර  මා ඉදිරියෙන් පෝලිමේ සිටි මැදිවියේ  වූ මහතෙක්  මා දෙස බලා  මද සිනහවක් පෑවේය.

ඒ කාලේ නිම්මි බැබළෙන්නට සෝදා ඉස්ත්රික් කර දෙන යුරෝපිය ඇඳුම හැඳ  මනාව හිස පීරා  සිටි මට ලැබී තිබුණේ    කඩවසම් තරුණයකුගේ පෙනුමකි.

එමෙන්ම අතේ රැඳී විශ්ව විද්‍යාලයෙන් දුන් බ්‍රිෆ් කේසයත්  ( මෙහි වටිනාකම  අපේ වැටුපෙන් අඩු කරගන්නා ලදී )  මා සැලකිය යුතු රැකියාවක්ද කරන්නෙක්බව පෙන්නුම් කළේය.

දකින හැම කෙනෙකුටම මුව පුරා සිනාසීමේ අපේ අම්මා ගෙන් මා ලද පුරුද්ද   විසින් අදාළ මගියා හා මා අතර සතුටු සාමීචියකට මග පෑදුවේය.

මා දොස්තර වරයෙකු බවත් එමෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකුද  බවත් ඒ හරහා ඔහුට සංනිවේදනය වන්නට ඇත.









අප දෙදෙනා අතර කතා බස් එක සැහෙන්න දුර ගියද  නුවරට යන බසයක් එන පාටක් නැත.

මා  බස් නැවතුමට ලඟා වී විනාඩි විස්සකට ත් වැඩිය.

සාමාන්‍යයෙන් නුවර -කොළඹ  බස් සේවය එකක් යන විට එකක් එන තරම් ඉක්මන් සේවයකී. එහෙත් මේ කියන දවසේ කිසියම් වෙනසක් සිදු වී තිබේ.

අප  සිටිනා පෝලිමේ අනෙක් පස එක එල්ලේම  ඇත්තේ  ටයිම් කීපර් කුඩුවයි.

එහි සිටි නිල් පැහැති කමිසයක් සහ කළු කලිසමක් හැඳි  මිනිසෙක් වරින් වර අපේ පෝලිම දිගුවන දෙස බලමින් සිනාසෙයි.

පොතේ හැටියට නම්  ඒ වේලා සටහන්කරු  හෙවත් ටයිම් කීපර් මහතාය.

ඒ නිසාම  අපේ  බස්  එකේ ප්‍රමාදයට හේතුව ඔහු දැනගෙන සිටිය යුතුය.

අප  බස් නැවතුමේ සිටිනා අතර මා නෙත ගැටුණු තවත් දසුනකි.

රතු කමිස සහ කළු කලිසම් හැඳි තරුණ පිරිසක්  බස් නැවතුමේ වට පිටාවේ ඇති කලි කසල ඉවත් කරමින්  , අසල ඇති කොට්ටම්ම්බා  අතු කපමින්  සිටිනා දසුනයි ඒ .

මමත් මගේ හිතවත් මගියාත් වරින් වර ටයිම් කීපර් දෙස බැලුවේ බස් එකක් එන පාටක් නැති බැවිණි.

එක් වරම  බස් නැවතුමේ ඇති   මහජන ඇමතුම් යන්ත්‍රය ක්‍රියාත්මක විය.

"කාරුණික නිවේදනයයි... 

අද දින ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ  රියදුරු සංගමය විසින් පිටකොටුව බස් නැවතුම පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදාන යක් පැවැත්වෙයි"

තරමක නිහැඬියාවකී.

ඒ අතර  මගී ජනයා අර රතු කමිස කාරයෝ කවුරුන්දැයි හඳුනාගනිති.

දැන්  නිවේදනයේ ඉතිරි කොටස කියවෙයි.

"අද දින කොළඹ සිට නුවර බලා යන බස් රථවල ප්‍රමාද වීමක් තිබේ . 

ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව.. ස්තුතියි ඔබ සැමට සුභ ගමන් !!"



නිවේදනයට සවන් යොමුකල මා නෙත අහම්බයෙන් මෙන් නතර වුයේ  දහඩියෙන් තෙත්වී කළු ගැසුණු මුහුණින් අප දෙස බලා සිනාසෙන නිල් පාට කමිස කාරයෙක් ලඟයි.

ඒ අර වේලා සටහන් කරුවාය.

ඇත්තටම මේ නිවේදනය කරන්නේ එතුමාය.

හැබැයි නිවේනදය නිකුත් කර අවසන් වූ ඔහුගේ  සිනහවේ කිසියම් හාස්‍ය ජනක ගතියක් තිබුනා කිවොත් නිවැරදිය.

පළමු නිවේදනය නිමවී තවත් පැය භාගයක් පමණ ගතවන්නට ඇත.

 තවමත් නුවර බසයක් එන ලකුණක් වත් නැත.


 අපට ඉදිරියෙන් පෝලිමේ සිටි විස්සක්- තිහක් වූ මගෙන් ගෙන දැන් ඉතිරිව ඇත්තේ දෙදෙනෙක් පමණි.

අපේ පිටුපසින් සිටි පිරිස්ද   පුද්ගලික බස් සොයාගෙන ගොසිණි.

අප දෙදෙනාත් තව කිහිප දෙනෙකුත් හැරෙන්නට පෝලිම දැන් හොඳටම අඩු වී තිබේ.

නැවතත්   වේලා සටහන් කරු මයික්‍රෆෝනය  අතට ගනියි.

"කරුණාවෙන් සවන් දෙන්න . අද දින කොළඹ - නුවර බස් සේවය ප්‍රමාද බව දන්වන්න කැමතියි.  

ඒ නිසා මගීන්ට සිදුවන අපහසුව ගැන අපේ බලවත් කණගාටුව "

නැවතත්  අඟුරු ගොඩක් මැද ඇති පොල් කෑල්ලක් වැනි මුහුණක්  ටයිම් කීපර් කුඩුවේ සිට අප දෙස බලයි.

දැන් නිවේදනයේ ඉතිරි හරියයි .

"අද දින පිටකොටුව  බස් නැවතුම් පොලේ මහා  ශ්‍රමදානයක් පැවැත්වේ.   

එය සිදු කෙරෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලං. ග. ම . සේවකයින්ගේ   සහභාගිත්වයෙනි"

අප දෙස  උපහාසාත්මක බැල්මක් ද ඔහු වෙතින් එල්ල වනු මා හොඳින් නිරික්ෂණය කල දෙයකි. 



මේ අතර අප දෙදෙනාත් කිහිප දෙනෙකුත් හැර පෝලිමට එන බොහෝ දෙනෙක් ටික වෙලාවකින් පසු   පුද්ගලික  බස් නැවතුම වෙත ඇදී යති. 

ඒ නිකම්ම නොව 

"අළුත් ආණ්ඩු තියා මොනවා ආවත් මෙයාලා නම් හැදෙන්නේ නෑ"

 කියමින් ලංගමයට  බණිමිනි .

මුලින් සඳහන් කළා වැනි නිවේදන දහයක් පහළොවක් වත් ප්‍රචාරය වන්නට ඇත. 

තවමත් නුවරට බසයක් නැත. 

මගීන්ගේ  සුව පහසුව සහ කලට වෙලාවට බස් සැපයීම තම රාජකාරිය වූ වේලා සටහන් කරු නුවර බස් නැතිවීමත්  සමගාමිව පැවැත්වෙන  ශ්‍රමදානයත් ගැන නිවේදන නිකුත් කරමින් විනෝද වෙයි.

මම මගේ හිතවත් මගියාට කතා කළෙමි.

"මහත්තයා අරයා නේද ටයිම් කීපර් ? එන්න.. අපි ගිහිල්ලා අහමු ඇයි නුවර බස් නැත්තේ කියලා "

"ඒකනේ සර් බලන්නකෝ මේ යක්කු බස් එකක් දාන්නේ නෑ . දැන් අපි මෙතනම පැය දෙකකට වැඩියි.  යමු යමු මාත් එන්නම් "

මේ වන විටත් ටයිම් කීපර් ගේ නුවරට බස් නැති වීම නිවේදනය කාරනා විසුළු කාරී ස්වභාවය නිසා මා පසුවූයේ කේන්තියෙනි.

මගේ යටි හිත කතාවේ අවස්ථා සම්බන්ධය හොඳින්ම තෙරුම් ගෙන තිබිණි.  

ශ්‍රමදානයට සභාගි වන්නෝ බොහෝ දෙනෙක් නුවර - කොළඹ බස් වල රියදුරැ , කොන්දොස්තරවරුන්  විය යුතුය.  ඔවුන් ජ. වී. පෙ සමාජිකයින් ය.   

ටයිම් කීපර් හොඳ ශ්‍රී ලංකා කාරයෙක් විය යුතුය. ඔහු මේ ශ්‍රම දානයට  කැමති නැති පාටය.  

ඒ නිසා ඔහු නුවර -කොළඹ බස් ධාවනය නවතා ඒ  බව මගීන්ට දැනෙන්නට සලස්වයි. 

අපි ටයිම් කීපර් කුඩුවට කිට්ටු කළෙමු.

"මහත්තයා ඔයා නේද ටයිම් කීපර්?  අපිට කියන්න පුළුවන්ද ඇයි නුවර යන්න බස් එකක් දාන්නේ නැත්තේ ? "
මම සාකච්චාව  ආරම්භ කලෙමි.

කිසි බරක් පතලක් නැති විසුළු මුහුණකින් අප දෙස බැලු ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"නුවර- කොළඹ බස් වල ඩ්‍රයිවර් ලා අද ශ්‍රමදානයක් . ඒක හින්දා නුවර බස් ගෙනියන්න කෙනෙක් නෑ."

"ඉතින් මහත්තයා එහෙම කියලා හරියනවද ? අපිට නුවර යන්න බස් එකක් දාන එක ඔයාගේ රජකාරියනේ ?"

මම නැවතත් ඔහුට තම රාජකාරිය මතක් කර දුන්නෙමි. 

"මගෙන් අහන්න එපා . ශ්‍රමදාන කරන අයගෙන් අහන්න කීයටද  නුවර බස එන්නේ කියලා ?" 

ඔහු තම රාජකාරිය අප පිට පටවන්නට හදයි.

"එහෙම කියලා හරියනවද ? අපි ගෙවල් දොරවල් වලට යන්නේ නැද්ද ?"

මගේ මිතුරු මගියාද සංවාදයට එකතු වුවේය. 


"ඉතින් බස් නෑ කියලා දැන් සෙනග පිරිලා  ඉන්න එපැයි .  

එතකොට   අර අනික් කට්ටිය කොහොමද ගියේ? ඒ වගේ ඕගොල්ලන්ටත් යන්න තිබ්බනේ ? "



ටයිම් කීපර් නැවතත් තම රාජකාරිය විහිළුවකට ගෙන කතා කරන්නට විය. 

දැන් නම් මගේ සැකය හොඳටම තහවුරු වෙයි. 

මේ තම දේශපාලන පිල ගැන විතරක් සිතමින්  රාජකාරිය  පැහැර හරිනා තවත් ලංගම සේවකයෙකි.



"මේ මහත්තයා මේ ආණ්ඩු හදන්න මහන්සි වෙච්ච මිනිස්සු තමයි අපිත්.   

අපි බලාපොරොත්තු වුණේ ඔය දෙගොල්ලොම  එකතුවෙලා  මහින්දට රට ගොඩ නගන්න උදව්  කරයි කියලා . 

මෙහෙම ගියොත්  ඔයාලගේ   ආණ්ඩුවට  අබසරණයි තමයි  ඉතින් ". 

"හරි හරි අපි ඒක බලාගමුකෝ ඉස්සරහට  තවම මහින්ද මහත්තයා  ආණ්ඩුව ගත්තා විතරයිනේ?"


තවමත් මේ  ලංගම සේවකයාට තමන් සේවය හරියට නොකරොත් එහි පාඩුව ආණ්ඩුවට බව තේරුම් ගොස් නැති සෙයකි.  

ඒ නිසාමදෝ  අපට ඔලොක්කුවට මෙන් සිනාසෙයි . 

ඒ අතරම  නුවර  පාරට බසයක් දෙන පාටක් පේන්නට වත් නැත . 


පැය දෙකකටත් වඩා රජයේ ප්‍රවාහන සේවයේ බසයක් වෙනුවෙන්  බලා සිටි මගේ  ඉවසීමේ සීමාවත්  ඉක්මවා යන්නේ ඉබේටමය. 


ඔහොම  බකන් නිලාගෙන  ඉන්නවා . 

තමුසෙලාගේ ආණ්ඩුවට  හෙණ ගහයි   !!!


මා පැවසුවේ ඇතිවූ අධික කේන්තිය නිසාමය

එය ඇසු ටයිම් කීපර් බෙහෙවින් කලබල විය. 

"මොනවා එහෙම කියන්න හොඳද   මේ අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ?  

අපේ මහින්ද මහත්තයගේ ආණ්ඩුවට බනින්න ඔයා කවුද ?  "


ටයිම් කීපර් තැන  තමන් ගේ දේශපාලන ගැතිකම මොනවට ප්‍රදර්ශනය කලේ,  

තමන්ගේ ආණ්ඩුවට   හෙණ ගහයි කියූ සැණින්  ඔහු හුන් අසුනෙන් නැගිට්ටුනේය.

"මේ  මහත්තයා විශ්ව විද්‍යාල කථිකාචාර්ය තුමෙක්. එයා කියන කථාවේත් ඇත්තක් තියෙනවා  " 

අනෙක් මගියා මා කවුදැයි ටයිම් කිපර්ට හඳුන්වා දුන්නේය. 

එවිට තම සැර තරමක් බාල වේලා සටහන් කරු

"විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු ඔහොම නරක කතා කියනවද මන් අහන්නේ?

 මේ නමෝ විත්තියෙන් වැඩ පටන් ගත්ත  ආණ්ඩුවකට? "

අප දෙදෙනා දෙසම බලමින් ඇසුවේ සාකච්චාව ආරම්භ වීමට හේතුව ඔහුගේ වරද බව සම්පුර්ණයෙන් අමතක කරමිනි.







Friday, 5 August 2016

තමන් පමණක් නොව අනෙකාත් හැදු සාර්ථක මිනිසෙක්






මස්සිනාලා  ගොඩ  දැමීමේ  වෑයමෙන්  මා පරාජය වූ කතාව දැන් ප්‍රසිද්ධ රහසකි (ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ)

ඒ නිසා තම නෑදෑයින්ට උදව් කීරීමට යමෙක් පසුබට වෙයි නම් මා කියන්නට යන මේ කතාව බලන්න.

අද කතාවට  පාදක වෙන්නේ  මා වැනිම  මෙහෙවරක  යෙදී එය සාර්ථක කර ගත්  මිනිසෙකුගේ වැඩපිළිවෙලයි.

ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්නා ප්‍රසිද්ධ   වාහන විදුලි කාර්මික  ශිල්පියෙක්  (auto electrician ) නම සුරංග 

අදටත් ඔහු සිටින ප්‍රදේශයේ   සිදු කෙරෙන බොහෝ ශ්‍රී ලාංකික  සමාජ මය වැඩ සටහන් වලදී  සෑහෙන  දායකත්වයක් දරන්නේ  අපේ කතානායකයා  විසින්.

ඒ ප්‍රාන්තයේ තිබෙන  ශ්‍රී ලංකික  සමාජ මය වැඩ  සහ  ප්‍රදේශයේ පන්සලේ වැඩ වලට වුනත් එහෙම තමයි කියලයි  මම අහලා තියෙන්නේ.

සුරංග  විතරක් නෙවෙයි  එයාගේ   නංගිලා දෙන්නත්  මල්ලිත්   ඇතුළු සිය පවුලම  දැන් ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . 

ඒ  අප කලා වැනිම වූ නෑදෑයින් ගොඩ දැමීමේ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන්.

අපේ කතා නායකයා මුලින්ම  ඔස්ට්‍රේලියාවට  එන්නේ  මිට අවුරුදු විස්සකට  විසිපහකට  පෙර.

ඒ   වාහන විදුලි  කාර්මික  ශිල්පියෙක්  (auto electrician )  හැටියට.





ඒ කාලේ  ඕස්ට්‍රේලියාවේ  රස්සා ඕනා තරම් තිබ්බ කාලයක්. 

සුරංගලා  මෙහි එන දවස් වල ඔහු වැනි මිකැනික් වරු රාශියක්   ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය වී තිබුණා   නිපුනතා  සහිත සංක්‍රමණය ( skilled  migration)  ක්‍රමය  යටතේ.

මේ අය හැමෝම වගේම සුරංගත්  ජර්මානු කාර්මික ආයතනයේ  කාර්මික  පුහුණුව ලැබූ අයෙක්  . 

ඒ කාලේ සිට අද දක්වාම  ජර්මන් ටෙක්   සහතිකයට  ඕස්ට්‍රේලියාවේ  ලොකු පිළිගැනීමක් තියෙනවා.

අදටත් යම්  තරුණයෙක්  ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය  වීමට  මගක් හොයනවා  නම්  ඒ සඳහා  හොඳම  ක්‍රමයක් තමයි ජර්මන් ටෙක්  පාඨමාලාව හැදෑරීම.



පාසැලේදී සඳු  හමුවී 









මට  සුරංග මුණගැසෙන්නේ  මම ඒ ප්‍රදේශයේ  හිටපු අවසාන  කාලයේදීයි .

එය සිදුවන්නේ  අපේ සුපුන්ගේ පාසලේ සිටි තවත් ශ්‍රී ලංකික දියණියක් හරහා.

ඇයගේ පියා  බුද්ධි ප්‍රසන්න    සුරංගගේ   ගේ වර්තමාන  මෝටර් විදුලි කාර්මික  ව්‍යාපාර  පද්ධතියේ  ප්‍රධාන පුරුකක්.

සඳු  නම් කෙටි නමකින් හැඳින්වූ මේ දියණිය  අප  සුපුන් පාසැලට  රැගෙන ගිය මුල්ම දවසේ අපට  හමුවුණා.


"නැන්දේ ඕ ගොල්ලෝ ලංකාවෙද ? "  


"ඔව්  ඔව්   අපි ලංකාවේ  තමයි "  නිම්මි   උත්තර දුන්නා.

ඇසිල්ලකින්  සුදු  කෙල්ලෝ රංචුවක්  මැද සිට අප වෙත දුව ආ  මේ කෙලි පොඩිත්තිය   අපේ නිම්මිගේ අතේ එල්ලුණා.  

"මල්ලියා මේ ඉස්කෝලෙට  ද  දාන්නේ ? "

"ඔව්  ඔව්.. මෙයාගේ නම සුපුන්.

හෙට ඉඳලා  එයා මේ ඉස්කෝලෙට  එනවා "

"හරි හොඳයි නැන්දේ  ලංකාවේ කෙනෙක් නැතිව මම හරි පාළුවෙන් හිටියේ"

අවුරුදු  හතක  පමණ වයසක වූ මේ කටකාර කෙලි පොඩිත්තිය  දැන් හැසිරෙන්නේ අප අවුරුදු ගණනාවක සිට ඇසුරු කරන්නියක් මෙනි.

"මගේ නම සඳු . ඉස්කෝලෙට කියන්නේ සඳරු  කියලා .. ගෙදරදී නම්  නිකන්ම  සඳු .." 

ඇය තව තවත්  නිම්මි සමග දොඩමළු වෙයි. 

ඒ වනවිට  සඳු  ලා  ඔස්ට්‍රේලියාවට  ඇවිත්  වැඩි දවසක් නෑ.

ඒ  නිසා ඇයට  අප තිදෙනා  සහ තමාගේ පාසැලට  එන අලුත් මල්ලී දැකීම  ලොකු සතුටක් වුනා.

"ඔයාගේ අම්මා තාත්තා ?

එයාලා  වැඩ කරන්නේ කොහෙද ? "

නිම්මි සඳු ගේ  පවුලේ විස්තර අහන්න පටන් ගත්තා .

"අපේ තාත්තා  බුද්ධි  . එයා මිකැනික් කෙනෙක්   

එයා වැඩ කරන්නේ  සුරංග  මාමා  ළඟ .  අර එස්. එල්.  කියන්නේ අන්න  එයා ළඟ .

අම්මා නම් මොකුත් කරන් නෑ  ගෙදර ඉන්නවා. "

"ඒක නෙවෙයි නැන්දලා අද හවස අපේ ගෙදර එන්න . මම අම්මාට කියන්නම්  ඔයාල හම්බවුණා කියලා."


මෙසේ අහම්බෙන් හමුවූ සඳරු  හරහා  ඇයගේ පියා බුද්ධි සහ  මව ශිරාණි  හඳුනාගත්තෙමු.







එතැන් පටන්  බුද්ධි ලා හා අප අතර ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගුනේය.

ඒ  දිනවල හැම සති අන්තයකම  වාගේ අපි සඳු ලා ගෙදර යන්නෙමු .


එහි ගොස් රෑ බෝ වෙන තුරු සඳු ලා තාත්තා සමග කයිවාරු ගසන්නෙමු.

එහිදී අපේ මගනැගුම  , ගම නැගුම මෙන්ම  මස්සිනාලා ගෙන්වීමේ වැඩ ගැනද  කතා කළෙමු.

මා බුද්ධි සමග දොඩමළු වෙද්දී  ශිරාණි අපි හැමෝටම  රාත්‍රී ආහාරය  හදයි.

සඳු සහ සුපුන් සෙල්ලම් කරති. නිම්මි ශිරාණි ගේ කුස්සියේ දොරට පිටදී  දෙපැත්තම සමග  කයිවාරුවේ යෙදෙයි.

පසුකලෙක  බුද්ධි   සමග මගේ  මස්සිනාලා  ගොඩ දැමීම  සහ  ග්‍රාමීය සංවර්ධන  වැඩ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මට සුරංග   මුණගැසේ.

එක් ඉරිදා දිනක බුද්ධි විසින් මා සුරංගගේ නිවෙසට කැඳවාගෙන  ගියේය.

"සුරංග  මෙන්න මෙයා තමයි අපේ සඳුගේ යාළුවගේ තාත්තා කවිඳු "

බුද්ධි  අමුත්තා තම ස්වාමියා /මිතුරා ට  හඳුන්වා දුන්නේය.


"කවිඳු මල්ලී ගැන  මන් හරි පැහැදිලා ඉන්නේ 

මල්ලී ගොඩක් හොඳ වැඩ කරන කෙනෙක්  කියලා අපේ බුද්ධි කිව්වා ? 

අපෙනුත් මොනවා හරි උදව්වක්  ඕනේ නම්  කියන්න.

ඔය මාසෙකට ඩොලර් සියයක්  හමාරක්  දෙන එක සිම්පල් කේස් එකක්.  අනෙක හොඳ වැඩකටනේ ?"


"නෑ අය්යා අපි සල්ලි ගන්නේ නෑ.  අපි ගන්නේ බෝතල්  , කෑන් වගේ දේවල්.  ඒවා රිසයිකල්  කරලා  සල්ලි කරලා ලංකාවට  යවනවා ."


"හරි එහෙනම්  අපේ වර්ක්ෂොප් එකේ   පාවිච්චි කරලා අහක දාන බිම බෝතල් කොකා කෝලා කෑන් එහෙම තියෙනවා .

ඒවා අරන් යන්න. "

"ඉරිදා සෙනසුරාදා දෙකෙන් එකක ඇවිත් ගෙනියන්නකෝ "

එතැන් සිට  අපේ  ග්‍රාමීය  සංවර්ධන  වැඩ සටහනට  හිස් බෝතල් සැපයීම මගින් දායක  වූ ඔහු හා මා අතර සෑහෙන මිත්‍රත්වයක්  ගොඩ නැගෙන්නේ  ඉතා කෙටි කාලයකින්. 

"මල්ලී මමත් ඉතින් පුළුවන් හැටියට  මගේ අයට උදව් කරා ඒ කාලේ.

දැන් ඉතින් මේ බුද්ධිලා වගේ අයට  ඔස්ට්‍රේලියාවට  එන්න ඇවිල්ලා පිලිවෙලක් වෙන්න උදව් කරනවා.

ඒ අතරේ මගේ බිස්නස් එකත් හැදෙනවා තමයි ඒ වුනාට ඉතින්  ලංකාවේ ඉඳලා මිනිහෙකුට මෙහාට එන්න පාරකුත් මම හදලා දෙන්වානේ "


ඔහු තමාගේ  සමාජ මෙහෙවර මා හට  විස්තර කලේ එසේය.

"ඔයාට පස්සේ ආරංචි වෙයි .

ලංකාවේ හැමෝමත් ඉතින්   මට කැමති නෑ .

මම  වාහන හදලා ලොකු ගණන්  ගන්නවා කියලා එහෙම කියනවා.

ඒ නිසා මගේ ගණුදෙනු වැඩි හරියක් ඉතින් මේ රටේ මිනිස්සු එක්ක තමයි.

 සමහර විට මම ලංකාවේ මිනිස්සුන්ගෙන්  ඕනෑවට  වඩා වැඩ ගන්නවා කියලා එහෙමත් කියනවා ඇති "

සුරංග  මම ඔහු ගැන කනින් කොනින් අසා තිබු කරුණු  කිහිපයක්  තහවුරු කළේය.

එහෙත් මට එය ප්‍රශ්නයක් වුයේ නැත. මට අවශ්‍ය තවත් මිනිසෙකුට උදව්වක් කාරනා මිනිසෙකි.

සුරංග තුල මම කැමති ඒ මිනිසා ජිවත් වෙයි.

ලංකාවේ පවුල් බර ගානකට  උදව් පදව් කරනා කෙනෙක් ඔවුන්ට ටිකක් තදින් සිටීම ඇත්තෙන්ම හොඳ දෙයකි.

නැතිනම් සුරංග නිසා මෙහි ළඟාවන ඔවුන් තවත් මිනිහෙකුගේ කේළම් වලට අසුවී  අනාථ වනු ඇත.




මෝටර් විදුලි කාර්මික   ශිල්පියෙකුගේ ගේ  සමාජ  මෙහෙවර 






ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය  වීමේදී  ඉංග්‍රීසි  අත්‍යවශ්‍ය  බව  කවුරුත් දන්නා  කාරණයකි.

IELTS ලකුණු  හයක්  ගන්න ඕනා   කියන්නේ  අපේ මස්සිනා ලා වැනි අයට  මරණ වරෙන්තුවක්  දෙනවා වැනි දෙයකි. 

එහෙත් එවැනි අයටත්  ඔස්ට්‍රේලියාවට  පැමිණිය හැකි පාරවල් තිබේ . 

ඒ  අනුග්‍රාහකයෙකු  මගින් ඕස්ට්‍රේලියාවේ  රැකියාවකට  පැමිණීම   ( skilled sponsored visa)  මගිනි.

ඒ  ක්‍රමය යටතේ මෙහි පැමිණීමට නම්  රැකියාවක් දීමට කැමති අනුග්‍රාහකයෙකු සිටිය යුතුය. 

සුරංග  ගේ  සමාජ  මෙහෙවර  වැදගත් වෙන්නේ මෙන්න මෙතනදීය.

හේතුව ඔහු අප දන්නා කාලයේ සිටම  ඔහුගේ  ව්‍යාපාර වල සේවය කීරීමට ශ්‍රී ලංකවෙන්  කාර්මික ශිල්පින් ගෙන්වන  අනුග්‍රාහකයෙකි. 

අපට  එදා  පාසලේදී  හමුවූ  සඳුගේ  පියා  එස්.  එල්. ගේ අනුග්‍රහයෙන්  රැකියාවක් ලබා ඇඩිලේඩ් වලට  පැමිණි පළමු  ශ්‍රී ලංකික මිකැනික් වරයාය. 

බුද්ධි මුලින්ම පැමිණෙන්නේ සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.

වසර දෙකක  සේවයකින් පසු ඔහුගේ සේවයෙන් සතුටට පත්  එස්.  එල්.  බුද්ධි හා පවුලට  PR ලබා ගැනීමට  සහය වන්නේය. 

ඒ  සේවකයා  ගේ වැඩ ගැන තමා සතුටු බැවින්  ඔහුට  දිගටම රැකියාව කිරීම සඳහා  ස්ථිර පදිංචිය  සහතික කරන්නයි  රජයෙන් ඉල්ලීම මගිනි.


එතෙක්  එක වහනයක්  තබාගෙන මොබයිල්  මිකැනික් වැඩ කල    සුරංග  බුද්ධි ගේ පැමිණීමත්  සමග  තම ව්‍යාපාරය  වාහන  දෙකක්  දක්වා ව්‍යාප්ත කළේය.

ටික කලකින්  තවත් මල්ලී කෙනෙක් ( විශ්ව මල්ලී ) එස්.  එල්.  ගේ  ව්‍යාපාරයට එකතු විය. 

මට මතක හැටියට විශ්ව මුලින්ම  ආවේත්  සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.  

අවුරුදු  දෙකකින් පසු  එය  දීර්ග කීරීමට  යාමේදී  ප්‍රශ්නයක්  ඇති බවත්  හේතුව විශ්වගේ  ඉංග්‍රීසි හොඳම නැති වීම  බවත්   මට ආරංචි විය.

ඒ සඳහා  යම් යම් විකල්ප යෙදු එස්. කේ. ඔහුටද  PR  ලබා  ගැනීමට  සහය විය.

ඒ කාලේ ඉංග්‍රීසි  අඩුපාඩු සහිතව මෙහි පැමිණිය හැකි වුවද දැන් නම් කාර්මික  රැකියා සඳහාද  හොඳ  IELTS ලකුණු ප්‍රමානයක් තිබිය යුතුය.

අද වන විට  සුරංග ඉතා සාර්ථක ව්‍යාපාරයක්  කරන්නෙකි.

එමෙන්ම   බුද්ධි ගෙන් ආරම්භ වූ සේවකයන් ගණන  දැන් පස්  දෙනෙක් දක්වා  වැඩිවී ඇත.

ඔවුන්ගේ බිරින්දෑවරු දැන් ඕස්ට්‍රේලියාවේ රැකියා කරති .

 දරුවෝ අපේ  සුරංගලා  ගේ දරුවෝ මෙන්ම  හොඳ පාසැල් වල ඉගෙන ගනිති.

මා පිළිගන්නා  හැටියට නම්  සුරංග   ඇත්තෙන්ම  කරන්නේ  ලොකු  සමාජ මෙහෙවරකි.

 ඒ සද් කාර්යය වෙනුවෙන් ස්වභාව ධර්මයා ද  ඔහුට  සලකන්නේය.


ඒ ඔහුගේ දරුවන්   වැරදි වැඩ වලට යොමුනොවී  සාර්ථක අධ්‍යාපනයක් වෙත යොමුවීම මගිනි. 


අපි සුරංගට  ට  මේ සමාජ  මෙහෙවර  ඉදිරියටත්  කරගෙන යන්නට හැකි ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු