Follow by Email

Saturday, 30 July 2016

අප නොදකින ඔවුන්ගේ ලෝකය - ළමා හිංසනය නතර කරමු



පසුගිය සතියේ පළවූ සුවිශේෂ  බ්ලොග් පොස්ට් දෙකක්   දැක මේ ලිපියට අකුරු අමුණන්න සිත් විය.


පළමු වැන්න


සිය  සැමියා  අකාලයේ මිය යන  අම්මා කෙනෙක්  දු  දරුවන් තිදෙනෙක් සමග තනිවෙයි.  පවුලේ සිටියේ දුවරු දෙදෙනෙක් සහ  පුතෙකි.

වයස අවුරුදු දෙකක් වූ එකම පුතා පසුකාලීනව ඌව පළාත පමණක් නොව මුළු රටම ආදරයෙන් වැළඳ ගන්නා  මිනිසෙක් බවට පත්වේ.

එහෙත් අග හිඟ කම්  බහුල වීම නිසා මේ කුඩා දරුවා  අම්මා සමග නොවිදිනා දුක් විඳින හැටි කියැවෙන අනුවේදනීය  කතාවක්   මෙහි ඇතුලත්ය.

නැති බැරි කම නිසා වයස අවුරුදු හයක වැනි කිරිසප්පයෙක්   ගල්කැඩිම , ගඩොල් කැපීම  වැනි බර වැඩවල යෙදී අම්මා සමග  කුසගින්න නිවීමේ සටනට  යොමුවේ.

එහෙත් අවාසනාවකට  ඒ  සටනෙන්  පැරද  අවසානයේ  අසල්වැසියෙකුගේ  කෙසෙල් කැනක්  කපන කතාවක්  මෙහි කියැවේ.

මේ ලියන්නේ අන් කිසිවෙක් නොව අප ඔබ කවුරුත් හොඳින් හඳුනන  "දුයිෂෙන්"    සමන්ත විද්‍යාරත්නයි.



දෙවැන්න














මේ කතාව සිදුවන්නේ නාගරික පරිසරයක්  තුලයි.  

මෙහි එන කුඩා පිරිමි දරුවා  ඔහුගේ පියාගේ රැකියාව  නිසා  බන්ධනාගාර නිල නිවසක සිටින්නෙකි.

ඒ කර්කශ පරිසරයේ හැදී වැඩෙන අනෙක් ළමයින් ( වැඩිහිටි පිරිමි ළමුන් ) කාරනා අකටයුතු කම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය පියාගේ  දැඩි  දඬුවම් වලට යොමුවේ.

සිරකරුවන්  හා සේවය කිරීමෙන් ලැබෙන කර්කශ  බව ඒ දඬුවම්  රටාවේ  මොනවට සඳහන් වී තිබෙයි 

මේ කතාව එන්නේ  සිංහල  බ්ලොග් කලාවේ  ප්‍රසිද්ධ  පුරුකක්  වන  "අටම්පහුර "  ගේ   නවතම බ්ලොග් පොස්ට් එකකින් 


ළමයින්ගේ  ලෝකය සහ වැඩිහිටි අපි










මේ කතා දෙක සිදු වන්නේ රටේ එකෙනෙකට හාත්පසින්ම වෙනස්  පරිසර වලය.  එහෙත්  දෙකේම සිටින්නේ ඔබේත් මගෙත් දරුවන් වැනිම   වූ  කුඩා දරුවන් දෙදනෙකි.  

ගෘහමුලිකයා  අකාලයේ මියගිය  පවුලක් ගැන  සොයා නොබලන  සමාජයක්  විසින් පලමුදරුවා  ගේ  ළමා ලෝකය නැති කරයි. 

දෙවැන්නා  ගේ හැදෙන වැඩෙන පරිසරයේ  ඇති කර්කශ බව විසින් ඔහු කුඩා කාලයේදීම  වැඩිහිටියෙක් බවට  පත් කරයි. 

මේ දෙකම නොවිය විය යුතු දේවල් ය.  

එහෙත් එවැනි  "ළමා  අපචාර" දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අපේ  අයගේ නොසැලකිල්ල නිසා )    තවමත් අපේ රටේ හැමතැනම සිදුවෙමින් පවතී.

විශේෂයෙන්  අපේ සමාජයට  පිළිලයක් වී ඇති  පක්ෂ දේශපාලනය  මත පදනම් වී මිනිසුන් ගෙන් පලිගන්නා මානසිකත්වය  මේ ආකාරයෙන් ළමා ලෝකය විනාශ කරන කතා මට හොඳට  හුරුපුරුදුය.






අතීත  කතාව 





ඒ 1978  වසරයි.  මේ වන විට  මගේ වයස  අවුරුදු  අටකි. මම  අපේ ගමේ ඉස්කෝලේ  දෙකේ පන්තියේ ඉගෙන ගනිමින්  සිටියෙමි. 

අපේ තාත්තා   ඊට පෙර පැවති සමගි පෙරමුණු  රජය කරවූ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ  ප්‍රභල  ආධාර කරුවෙකි.  

ඒ නිසාම  දරුවන්  සහ බිරිඳ  ගෙන් ඔහු වෙන් කාරනා යුඇන්පී ආණ්ඩුව  ඔහු "සයිබීරියාවට " යවන්නට තීරණය  කරයි.




ඒ කියන්නේ  ගෙදරට බත සපයන්නා  බෝඩිම් වල නතරවී  වැඩට යන්නට යන තත්වයකට පත් කිරීමයි.

ඒ හරහා ඔහු සහ දරු පවුල ආර්ථිකව අපහසුවට  පත්කරමින් යුඇන්පී ආණ්ඩුව අපේ තාත්තා කොළඹ  පළාත් පාලන දෙපාර්තමේන්තුවට මාරු කර  යවයි.

ඒ ඇසු අපේ ගමේ විසු ( මේ බොහෝ පිරිසක් අපිට  ලේ නෑකම් ඇති අය වෙති)  යුඇන්පී කාරයෝ මෙන්ම   අපි  ඉතා දක්ෂ ළමුන් බව සහ තාත්තා  හොඳ  දේශපාලන  අනාගතයක්  ඇති අයෙක් බව  දත් ඔහුගේ   ලඟම හිතවතුන් (ශ්‍රී ලංකා කාරයෝ ) පවා සතුටු වෙයි.

මේ එකෙක් වත් කුඩා ළමුන් පිරිසක් වූ අපේ දුක ගැන කල්පනා  කලේ නැත.

ඔවුන් ගෙන් සමහරෙකුට  අවශ්‍ය වුයේ  තම දේශපාලන හතුරා ගෙන් පලිගැනීම පමණි. 


අනෙක් පිරිසට  ( ඔහුගේම පක්ෂයේ අයට ) අවශ්‍ය වුයේ ඔහුගේත් අපේ පවුලේත්  අනාගතය අඳුරු වනු දැක සතුටු විමටයි.


වයස අවුරුදු 13 ක් වූ වැඩි මහලු ළමයත්  හැත්තෑ හතේ චන්දේ  තිබුණු මැයි මාසයේ  උපන් බාලම දියණියත් ඇතුළු ළමයින් පස් දෙනෙක් සමග තනි වූ අපේ අම්මා දිවි සටනට මුහුණ දුන් හැටි ඉතා ආදර්ශමත්  කතාවකි.


එසේ අප හැදු වැඩු අපේ අම්මා  සහ  සමන්තගේ ( දුයිෂෙන් ගේ )   අම්මා  අතර වෙනසක්  මට නම් නොපෙන්.

ඒ  නිසාම ඒ කාලයේ අප අත්විඳි  දුෂ්කර තා  සියල්ල  තාත්තා  මියගිය සමන්තගේ ( දුයිෂෙන් ගේ ) අත්දැකීම් වලට  ඉතා සමගාමී  ය  

පියා අසලක නැති අපේ අත්දැකීම් සහ  පියා මියගිය සමන්තලා ( දුයිෂෙන් ලගේ ) ගේ  අත්දැකීම අතර ලොකු වෙනසක් ඇත්තේ  නැත.




වර්තමාන කතාව




මෙවැනි අතීත  කතා කොපමණ කිවත්  අපේ  මිනිසුන්  ඒවායින් පාඩම් ඉගෙන ගන්න බවක් පෙනෙන්නට  නැත. 

එදා අනික් පාර්ශ්වයකින් පහර කෑ  මිනිසා මෙදා  තවත් දරුවන්  පිරිසක් අනාථ වනු බලා සතුටු වීම අපේ සාමාන්‍ය  ලක්ෂණ යයි.

එය එසේ නොවිය යුතු යැයි කියන අතලොස්සක් අතරේ   දුයිෂෙන් සහ  අප සිටියද රටේ බොහෝ දෙනා සිතන්නේ  අප අනෙකා ගෙන් සහ ඔහුගේ හත්මුතු පරම්පරාවෙන්ම පළිගත යුතු බවයි.

මේ හා අදාළ කතාවක්  ඊයේ මට අසන්නට ලැබිණි.

අප ලංකාවේ හැදු පළමු නිවස ගැන ඔබට මතක ඇති යැයි සිතමි. එහි ගෘහමුලිකයා   වූ ඇලෙක්ස්  දැන්  මගේ හිතවත්ම  ඉංජිනේරුවෙක්  ළඟ  සේවය කරයි.

ඒ  අපේ තාත්තා ඒ  කාලේ සිටියාක් මෙන් තම දරු තිදෙනා සහ බිරිඳගෙන් වෙන්වූ ඈත  පළාතකය. 

මේ අතර  ඇලෙක්ස් සහ පවුලට අළුතින් නිවසක්, විදුලිය, රුපවාහිනී ආදිය  ලැබෙනු දුටු ( මින් අවසාන දෙක ඇලෙක්ස් සහ පවුල තම ස්වඋත්සාහයෙන්  ලබා ගත් දේ වෙති )   අසල්වැසියෝ තම ඉර්ෂ්‍යා ව සහ කුහක කම පෙන්වන්නට පටන්ගෙන තිබේ.

ඒ ඔවුන් වතුර බොමින් සිටි ලිඳට යන පාර වසා දමා වතුර සොයා ඈතට  යන තත්ත්වයට  ඔහුගේ දරු පවුල  පත් කිරීම මගිනි.

ගමේ අය  අපි සහ චමින්ද  රාජපක්ෂලා  එකතු වී ඇලෙක්ස් ලා ගොඩ දැමු බව දනිති. 

දැන් ඔවුන් බලන්නේ ඒ වා ආයුධ කරගෙන  ඔහුගේ  පවුලෙන්  පලිගැනිමටයි.

මට නම් මේ වර්තමාන කතාවේ සහ අපේ අතීත  කතාවේ අතර ලොකු වෙනසක් නොපෙනේ  . 

තමන් සමග එකට වැටී සිටි එහෙත්දැන් අළු ගසා දමා නැගිටින  තවත් පවුලක්   දැක ඇතිවන ඉරිශ්යව සහ කුහක කම මේ මිනිසුන් ගේ හිත්වල තවමත් එසේමය.

මෙවැනි මිනිසුන් සිටිනා ගම් හදන්නට  දඟලන දුයිෂෙන් ලා ගේ කාර්ය භාරය එතරම් පහසු නැත්තේද  එබැවිණි.

තමන් වැනිම වූ අනෙක් මිනිසාට , ඔහු නැති වෙලාවේ  ඔහුගේ දරුවන්ට  ආදරය දක්වන්නට  බැරි මෙවැනි නොමිසුන් පිරී රටක්  හදන්නේ කෙසේද?

කුහක මිනිසුනි......  

දෙමව්පියන් සමග ඇති තරහට ( නුඹලගේ නොදැනුවත් කම නිසා )  දරුවන් ගෙන් පලිගැනීම  දැන් වත් නවත්තපල්ලා !!!!


Friday, 29 July 2016

අවේලාවේ හමුවූ හිතවතා.




පසුගිය කළාපයෙන්



පේරාදෙණි තැපැල් කාර්යාලයෙන්  මගේ අයැදුම් පත EMS කර දිනකිහිපයක් ගෙවී ගියේය.

මේ කියන දවසේ මම  මාවනැල්ලේ නිවසට වී  සිටියෙමි.

 සාමාන්‍යයෙන්  මම ඉන්ටර්නෙට් බලන්නේ SLT ඉන්ටෙර්නෙට්ර් කාඩ්  එකකින් මගේ  පරිගණකය  සම්බන්ධ  කරගෙනයි.

එදත්ඊ එලෙස ඉන්ටනෙට් ගිය මම  මගේ ඊ  මේල් බැලුවේ ටිනාට මගේ අයදුම්පත ලැබී ඇද්දැයි බලන්නටයි.

  ඒ වනවිට මගේ මහාචාර්ය තුමිය ටීනා ගෙන් මට ඊ මේල් එකක් ලැබි තිබිණි.

"කවිඳු ඉක්මනට  ඇප්ලිකේෂන්  එක එවන්න . තව දවස් දෙකයි ක්ලොසින් ඩේට් එකට තියෙන්නේ"

එහි සඳහන් වී තිබිණි.

"මම EMS කරලා දවස් හතර පහක් වෙනවා . අද හෙට හම්බවෙයි " මම පිළිතුරු ඊ මේල්  එකේ සඳහන් කලෙමි.

තව දවසක් බලා සිටියෙමි.  ඒ පේරාදෙණියෙන් යැවූ මගේ ලිපිය EMS හරහා නෙදර්ලන්තයට යනු ඇතියි යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

පසුදා දහවල් වෙද්දී ( නෙදර්ලන්ත වේලාවෙන් පාන්දරම ) ටීනා නැවතත් මට ඊ ලිපියක් එවා තිබිණි.

"වැඩේ හරියන්නේ නෑ කවිඳු  ...අද කොහොමහරි ඔක්කොම ලියකියවිලි ස්කෑන් කරලා මට ඊ මේල් කරන්න . මම  රිසර්ච්  ඔෆිස් එකට ඒවා  ඔයාගේ ඇප්ලිකේෂන් එක විදිහට බාර දෙන්නම්.

කඩිමුඩියේ ලියකියවිලි ටික  හදා ගත් මට දෙවියන් සිහිවුයේ ඒ වනවිට අපේ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල සම්බන්ධ තාව බිඳ වැටී ඇති බව මතක් වූ විටයි .

"දැන් මොකද කරන්නේ ? "  තැපැල් කාර්යාල ගැන  තිබු විශ්වාසය ද EMS සිද්ධියත් සමග බිඳ වැටී  ගොස්ය.

"ඔන්න ඔහේ ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් වත් හොයන් යනවා.  "

හිත හදාගෙන පාරට බැස්සෙමි.

"මාවනැල්ලට යනවද  කෙලින්ම කෑගල්ලට යනවද ? "

සිතමින්  මාවනැල්ලට යන බසයකට ගොඩ වුයෙමි  ( මම ඒ  වනවිට  නෙදර්ලන්තයේ වසර දෙකක් ගතකර සිටියෙමි.  නෙදර්ලන්තයේ  යෑමට පෙර මගේ කාර්ඒ එක විකුණුව  නිසා ඒ දිනවල  මට කාර් එකක් තිබුණේ නැත ).

මාවනැල්ලට පැමිණ ඒජන්සි තැපැල් හලක් හොයන්නට පටන් ගත්තෙමි.

බලන බලන ඒජන්සි පොස්ට් ඔෆිස් එකේ   "වසා ඇත "   යැයි බෝඩ් එකක් දොරේ එල්ලා තිබේ.

අසල සිටි කෙනෙක් ඇමතු  මා

" ඇයි දන්නේ නෑ  මේ කඩ ඔක්කොම වහලා අද ? "  කියා ඇසුවේ එසේ වීමට හේතුවක් එක් වරම හිතට ආවේ නැති නිසයි.

"ඇයි මහත්තයා අද සිකුරාදා නේ  . ගොඩක් මුදලාලිලා පල්ලි ගිහිල්ලා "  .

යැයි පිළිතුරක් ලැබිණි.

"තව පැයකින් විතර ඒයි මහත්තයා . ටිකක් හිටියා නම් හරි  " ඔහු මගේ කලබල කාරී ස්වභාවය හඳුනාගත් සෙයකි.

"නෑ අංකල් මන් කෑගල්ලට  ගිහිල්ලා බලන්නම් "

මම නැවතත් බස් නැවතුම් පල දෙසට පියමැන්නෙමි.



පළමු හමුවීමෙන් ම හිතවත් වූ  අමුත්තා 





මා කෑගල්ල නගරයට පැමිණෙන විටත්  හවස තුනට පමණ වන්නට ඇත.  

ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් හොයා යන ගමන ඵල රහිත බව පෙනුනේ පෙනෙන තෙක් මානයක එවැන්නක් නොතිබීමත්  අසන අසන අය  තැපැල් කාර්යාලය හැර කිසිවක් ගැන නොදැන සිටීමත් නිසාය.

කෑගල්ලේ සිංගර් එක ලඟට පැමිණි මම ඒජන්සි තැපැල් හලක් තිබෙන්නේ කොහේදැයි විමසුවෙමි. 

මා ප්‍රශ්නය ඇසු පුද්ගලයා  ඒ හරිය ගැන හොඳින් දන්නා බවක් දක්නට ලැබිණි.

සිංගර් එකට යාබදව ඇති වැඩ නිම නොකළ තට්ටු තුනක ගොඩනැගිල්ලක් පෙන්වූ ඔහු

"ඒජන්සි පොස්ට් ඔෆිස් නම් මම දන්නේ නෑ සර් හැබැයි මෙන්න මේකේ තුන් වෙනි තට්ටුවේ කම්පියුටර් කඩයක් නම් තියෙනෙවා . ගිහින් බලන්නකෝ "

යැයි පැවසීය. 

"හැබැයි ඒ කට්ටිය වැඩ කරන්නේ නම් රෑට වගේ මම හිතන්නේ ". 

ඔහු කියනා ආකාරයට නම් මේ රෑ කම්පියුටර්  කඩයකි. 

"කෝකටත් ගිහින් බලනවා " යැයි හිත හදාගත් මම පටු සිමෙන්ති පඩිපෙළ නගින්නට පටන් ගත්තෙමි.

තුන්වෙනි තට්ටුවට ලඟා වුවද කිසිම පරිගණක කඩයක ලකුණක් පෙනෙන්නට නැත.  

පඩිපෙළ වම්පැත්තේ වසා තිබු දොරක් දුටු මා එයට තට්ටු කලෙමි. 

"ගෙදර කවුද ?  ගෙදර කවුද ? "

සුලු මොහොතකින්    දොර විවුර්ත විණි.

සිනහමුසු එහෙත් විඩාබර මුහුණකින් යුත් කාන්තාවක්  දොර අසල සිට ගෙන සිටි. 

"මෙතන කම්පියුටර් කඩයක් තියෙනවා කිව්වා..? "

මම ප්‍රශ්නාර්ථයක් සහිත  හඬකින් පැවසුවෙමි. 

"ඔව් . ඔව් අපි කම්පියුටර් වලින් වැඩ කරනවා.  පොඩ්ඩක් ඉන්න මම මහත්තයා  කූද්දලා  එන්නම්.."

ඇය නැවතත් කාමරයක් ඇතුළට ගියාය.  

"පෙනෙන හැටියට මෙයාලගේ ගෙදරත් කම්පියුටර් කඩෙත් එකම තැන වගේ තියෙන්නේ ? "

මම මටම කියාගත්තෙමි.

"මේ මහත්තයා කවුද?  මොකක්ද අපෙන් කෙරෙන්න ඕනේ ? "

නිදිමත ඇස් පිසදමමින් පැමිණි  අයෙක්මා මගෙන් විමසිය. 

ඔහු බැලු බැල්මට අප හා  සම වයසේ අයෙක්  බව පෙනෙන්නට තිබිණි.

"මගේ නම කවිඳු . මම පේරාදෙණිය කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් "

"ආ .. ඇත්තද ? සන්තෝෂ යි හඳුනාගන්න ලැබුණු එක ගැන .  

කම්පියුටර් කඩයක් හොයනවා කියලා අපේ නෝනා කිව්වා.?

ඉතින් හිටගෙන ඉන්නේ එන්නකෝ ඇතුළට වාඩි වෙන්න.  

මේක අපේ ගෙදර. අපි මෙතැන කුළියට ඉන්නේ "

"එතකොට කම්පියුටර් කඩේ ? "

"එන්නකෝ ඇතුළට පෙන්නන්න "

මා නොදන්නා හිතවතා මා ඔහුගේ නිවස   ඇතුළට කැඳවා ගත්තේය.

විසිත්ත කාමරය වැනි කොටස පසු කල ඔහු . 

"මෙන්න මෙතැන තමයි අපේ කම්පියුටර් තියෙන්නේ " 

කියමින් එම "නිවස " ඇතුලේ තිබු තවත් කාමරයක් ඇතුළට මා රැගෙන ගියේය. 

"බබා තේ එකක් හදන්න මේ මහත්තයට " යැයි තම බිරිඳ ඇමතු ඔහු මට  පරිගණක කාමරය පෙන්නන්ට විය.

මා දුටු දර්ශනයෙන් පුදුමයට පත් වීමි.




















පිළිවෙලට  මේස මත තබා තිබු පරිගණක දහයක් දොළහක් පමණ පිරුණු කාමරයකි. 

ඒ සියල්ල අන්තර්ජාල යට සහ ප්‍රින්ටර් , ටෙලිෆෝන්  , ෆැක්ස්  ආදියට ද සමබන්ධ කර තිබේ .

"කෝ කවුරුත් වැඩ කරනවා පෙන්නේ නෑනේ .. ? "

මා කුතුහලයෙන් යුතුව ප්‍රශ්න කළෙමි.

"අපි වැඩ කරන්නේ රෑට.  මොකද අපේ බිස්නස් තියෙන්නේ අමෙරිකාවත් එක්ක.  

එහේ  දවල් කාලේ අල්ලලා තමයි අපේ වැඩ පටන් ගන්නේ රෑ අට විතර වෙනකොට  අපේ සේවකයෝ එනවා.

අපි ළඟ දහදෙනෙක් වැඩ කරනවා  රෑ අටේ ඉන්දලා උදේ හය වෙනකම් "

ඔහු තම පරිගණක ආයතනය ගැන මට විස්තර කරන්නට විය. 

"එහෙනම් මම ඇවිත් තියෙන්නේ හරිම තැනට.. මට ලොකු ඇබැද්දියක් වෙලා ඉන්නේ "

මම මගේ EMS ප්‍රශ්නය සහ ටීනා මගේ අයැදුම් පත් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නා කතාව අමුත්තා සමග පැවසුවෙමි.

"අය්යෝ අපි ගාව සේරම තියෙනවා .  මම ස්කෑන් කරලා දෙන්නම් 

කෝ ගන්නකෝ ඩොකියුමන්ට්ස් ටික ".

අමුත්තා ජිවිතේ ප්‍රථම වතාවට හමුවූ නාදුනන මිනිසෙක් වෙනුවෙන් සියල්ල කරදෙන්නට සුදානම් ය . 

මගේ මුහුණේ ඇති අපබ්‍රංශ පෙනුම  තේරුම් ගත් ඔහු .

" මම සුරාජ් විමලානන්ද අපේ මුල්ගම බදුල්ල  . කවිඳුලා ගෙවල් කොහෙද ?"

යැයි මා හට ඔහු හඳුන්වා දෙන්නට විය.

"ආ ඇත්තද? අපිත් ඒ පැත්තේ තමයි.  මම මගේ ගම සහ පාසැල ගැන ඔහුට පැවසුයෙමි. "

"ඒක නෙවෙයි කවිඳු  ඔයා දැක්ක ගමන්  මට මතක් වුණේ  අපේ අය්යාගේ හොඳ යාලුවෙක් එයාගේ නම සමන්ත නාමරත්න "

 එයාගේ  මුහුණුවරත්  ඔයාගේ වගේ මයි. 

 ඔයා දන්නවද සමන්ත අය්යා ? 

"සමන්ත කියන්නේ මගේ අය්යා . එයා දොස්තර කෙනෙක් . එතකොට ඔයාගේ අය්යත් දොස්තර කෙනෙක්ද? "

"ඔව් . ඔව් . සමන්ත අය්යයි අපේ අය්යය් එක බැච් එකේ "

"හරි හරි මට මතක් වුනා එතකොට බදුල්ලේ සමීර විමලානන්ද කියන්නේ ඔයාගේ අය්යද? "

මම පුදුමයෙන් පුදුමයට පත් වුයේ එකටම ඉගෙන ගත් අය්යලා දෙදෙනෙකුගේ මල්ලිලාට හමුවන්නට මීටත් වඩා සුදුසු ක්‍රමයක් තවත් තිබේදැයි   සිතමිනි.
























ගහට ගහක් මොරටුවේදී හමුවෙන වා  කියන්නේ කට කහනවට නෙවේය.

බදුල්ලේ උපන් සුරාජ් සහ ඒ ආසන්නයේ පිහිටි නගරයක උපන් මම   මේ අවේලාවේ කෑගල්ලේදී මුණගැසෙන්නේ එබැවිණි.

කෙසේ වෙතත් ඒ හමුවීම මටනම්  මහත් ආශීර්වාදයක් විය. 

මගේ සියළු ලියකියවිලි සුරාජ් ළඟ තැබූ මා නිම්මිලා නිවස වෙත පියනැගුවේ ඉතා සැහැල්ලුවෙනි.

ඒ  එදින රාත්‍රියේ සුරාජ් සියළු ලියකියවිලි ටීනා වෙත යවන්නට පොරොන්දු වූ නිසයි.

සුරාජ් ලා සමග පැයක් දෙකක් ගත කල මා නිවසට ළඟාවූ වහාම නිම්මි සමග සියළු විස්තර පැවසුවෙමි.


"මට හැමදාම ඔහොමමයි  වෙන්නේ... 

කොච්චර  ලැබෙන්න තිබෙන දේ නැතිකරන්න හැදුවත්    අන්තිම මොහොතේ කවුරු හරි ඇවිල්ලා මට පිහිට වෙනවා .

 මාර වෙලාවක් තමයි  මට නම් තියෙන්නේ  "


මම හැමදාම නිම්මිට කියන කතාව එදත් කියන්නට හැකිවීම මගේ වාසනාවකි. 

සුරාජ් ලා ගැන විස්තර අසා නිම්මිද ඉතා පැහැදුණු සිතැත්තියක් වුවාය.

පහුවදා   පාන්දර  මගේ අලුත් හිතවතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසෙන්නට යන ගමනට නිම්මිද මා සමග එකතු වුයේ එබැවිණි.

ඒ වනවිටත් 

"Dear Kawindu,

I have received all the necessary documents today.  I have alredy submitted your application to the reserch office and hopefully we will hear something soon.

Best regards,

Tine " 

යැයි ඊ  ලිපියක් මා වෙත ලැබී තිබිණි.  










Monday, 25 July 2016

මගේ ශිෂ්‍යත්වය සහ ටෙලිනාට්‍ය.




අපේ බ්ලොග් හිතවතා  සුරංග  රංජිත්  තම යාන්හැල්ලේ  මෑතකදී  ලිවූ  "කාර්යාල ක්‍රමය" බ්ලොග් පොස්ට් එක   මම කාලෙකට පස්සේ දැක්ක හොඳම බ්ලොග් පොස්ට් එකක්.

එහි සුරංග අපට කියාදෙන  පාඩම  ලංකාවේ  සියළු කාර්යාල වල  අත් පත්‍රිකාවක් ලෙස බෙදාහරින්නට තරම් සුදුසු එකක් කියලයි  මට නම් හිතෙන්නේ

මේ බ්ලොග් පොස්ට් එකට  පාදක කරගන්නේ  සුරංග  කියන දේ අනික් පැත්ත  ..කාර්යාල සේවකයෙක් ලෙස අප  නොකලම යුතු දේවල් පිලිබඳ සාකච්චාවක්   ......

මේ සිද්ධිය  සිදුවුණේ  2005 නොවැම්බර්  -දෙසැම්බර්   කාලේ. මේ වෙනකොට  අපි නෙදර්ලන්තයේ  අවුරුදු දෙකක් ගතකර ( මගේ මාස්ටර් උපාධිය අවසන් කර) ලංකාවට ඇවිත් හිටියේ .

ඒ වනවිටත් පේරාදෙණියෙන්  අධ්‍යන  නිවාඩු පිට සිටි මම  මාවනැල්ලේ   ගමනැගුම  හා  මග නැගුම  වැඩ වල උපරිමයෙන් සහභාගී වෙමින් සිටියා මතකයි.

හැමදාම වාගේ  ඒ දවස් වලත් නිම්මි මගේ ඒ වෙලාවේ ප්‍රමුඛ  රාජකාරිය මතක් කර දුන්නා .. ඒ මගේ ආචාර්ය උපාදියට  අවශ්‍ය  ශිෂ්‍යත්වයකට  අයැදුම් කිරීම ගැනයි.

"මේ  ඔය  කැලෑ  කොට කොටා ඉඳලා හරියන්නේ  නෑ  දැන්  ලබන අවුරුද්දේ නෙදර්ලන්තේ  ශිෂ්‍යත්වයය ඉල්ලුම්පත්‍ර  දාන කාලේ හරි නේද?".

"දවසක් දෙකක්  වත්තේ  වැඩ මල්ලිට බලන්න කියලා ඔය වැඩේට  මහන්සිවුනොත් නරකද ?

 අන්තිමට  යන්න තැනක් නැති වුනොත් ඔය කව්රුත් එන්නේ නෑ උදව්වට .

මතකනේ  මුලින්ම රට යන්න විදිහක් නැතුව දඟලපු දැඟලිල්ල .

යන්තම් මේ කොලු පැටියාගේ වාසනාවට නෙදර් ලන්තේ යන්න හම්බ වුනා.."

නිම්මි කියන්නේ සුපුන් බඩට ඇවිත් මාස කිහිපයක් ඇතුලත  මට සියළු කරදර වලින් ගැලවී  නෙදර්ලන්ත යට යන්න ලැබුණ ආකාරය ගැනයි.

"හරි හරි නත්තල් නිවාඩුව එන්න ඉස්සෙල්ලා දාන්නම් ඉතින්. කෑගහන්නේ නැතිව ඉන්නකෝ  ඩිංගක්..

වෙලාවක  කැම්පස් එකට ගිහින්  ඇප්ලිකේෂන් එක හදාගෙන එන්න ඕනේ"

"මේ  ඕවා ලංකාවෙන් එහාට  යන්න කාලෙකුත් ගත්වෙනවනේ  අද හෙටම පටන් ගන්න තියෙන්නේ "

නිම්මි අයැදුම් පත් වැඩේට  මා පෙළඹ වුයේ එලෙසය.

"ඇයි DHL කරලා යවන්න පුළුවන් නේ.

දවසෙන් දෙකෙන් නෙදර්ලන්තෙට  බඩු ලැබෙයි.

 ඇප්ලිකේෂන් එක  දාලා "ටීනාටත්" ඊ මේල්  එකක් යවන්නයි  මන් හිතන් ඉන්නේ  එතකොට හරිනේ. "

ටීනා කිව්වේ  මගේ නෙදර්ලන්තයේ සුපර්ව්‍යිසර් තුමියයි.

ඇය මේ වනවිට විශ්ව විද්‍යාලයේ  සිටි research vice rector ගේ  ලඟම මිතුරියක්වී   සිටියාය (  දැන්   මේ තනතුර  හොබවන්නේ ටීනා විසින් ).

ඒ නිසා මගේ අයැදුම් පත විශ්ව විද්‍යාලයට  ලැබුණ වහා එය ඇයට දැනගන්නට  ලැබෙන බව මා දැන සිටියෙමි.

ෆයිව් "S" පේරාදෙණියේ තැපැල් කන්තෝරුව 



කැම්පස් එකේ අය සමග අයැදුම් පත ගැන කතා කරද්දී  පේරාදෙණියෙන් ම එය තැපැල් කල හැකි ක්‍රමයක් ඇති බවත්  එය හඳුන්වන්නේ  EMS නමින් බවත් දැන ගත්තෙමි. 

කවදත් රජයේ ආයතන වලින් වැඩ කරගැනීමට  කැමති මම ...

( මා විශ්වාස කරන්නේ අපේ පුළුවන් හැටියට  අපේ සහය දීලා රජයේ ආයතන ගොඩ ගත යුතුයි කියලයි.. 2006  මුල  පිටකොටුවේ  ලංගම බස් එකක යන්න ගිය හැටි ලියන්නම් ඉදිරියේදී )

DHL වෙනුවට  EMS හරහා මගේ  අයැදුම්පත්  යවන්නට තීරණය  කලෙමි. 

සාමාන්‍යයෙන්  මෙවැනි අයදුම්පතක් යැවීමේදී  මට  සෑහෙන ආතතියක් දැනේ.  

ඒ එය මට  ලැබෙයි දෝ නොලැබෙයිදෝ යනුවෙන් හිතේ ඇතිවන දෙගිඩියාව නිසාම නොව ලිපිලේඛන රාශියක් සකස් කීරීමට සිදුවීම නිසා ඇති වන්නකි.

උප්පැන්න සහතික, විවාහ සහතික  , අධ්‍යාපන සුදුසුකම්  , ඉංග්‍රීසි නිපුණතාව ( IELTS)  වැනි  ලිපි ලේඛන රාශියක්  මෙයට ඇතුලත් කල යුතු විය. 

කෙසේ හෝ වදෙන් පොරෙන්  ලියකිවිලි ටික එකතුකර ගත් මම එක් සඳුදාඋදැසනක  පෙරා දෙණියේ තැපැල් කන්තෝරුවට ලඟා වුයෙමි.
මේ කන්තෝරුව පිහිටා ඇත්තේ  නුවර- කොළඹ පාරේ  අපේ පීඨයට පෙනෙන නොපෙනන මානයකයි. 

හිටපු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නිමල් සිරිපාල මහතා යටතේ තිබු කාලයේ  නව මුහුණු වරක් දුන් තැපැල් කාර්යාල අතරට  මෙයද  අයත්වී තිබිණි.

ඒ අනුව මා කාර්යාලයට අතුල්වත්ම දක්නට ලැබුනේ ඉස්සර මෙන් කම්බි කුඩු වල ඇතුළට වී සිටි නිලධාරීන් නිලධාරිනියන් නොව පාරිභෝගිකයා හා සෘජුව  ගණුදෙනු කල හැකි මට්ටමේ මේස වල සිටි අයයි. 


මේ නුවරඑළිය  තැපෑල්  කාර්යාලයේ  පින්තූරයක්  - දැන් මේකෙත් 5S තියෙනවා....

කාර්යාලයේ  දකුණු පස ඇති මේසවල සිටි මහත්මයෙකුට  මා ආ කාරණය පැවසුවෙමි.

"සුභ උදෑසනක්... මට   ඩොකියුමන්ට් වගයක්  නෙදර්ලන්තෙට  EMS කරන්න ඕනේ  .. කොහොමද කර ගන්නේ "

"සුබ උදැසනක්.. අන්න අර නෝනා තමයි කරන්නේ .. එතෙන්ට යන්න මහත්තයා "

තැපැල් සේවක මහතා මාව අදාල තැනට යොමු කළේය.   

උඩරට  සාරියක් සැරසී  මනාව මේක් දමා සිටි ලස්සන නිලධාරිනියක් කිසියම් වැඩක යෙදෙමින් සිටි.  

ඒ අතර ඇය ඉදිරියේ සිටි පාරිභෝගික මහතා එය දෙස උනන්දුවෙන් බලා සිටි. 

මම ඒ මහත්මාට පිටිපස්සෙන්  සිට ගත්තෙමි.  

මගේ දකුණු අතේ  විශාල ලියුම් කවරයකි. 

 ඒ නෙදර්ලන්තයේ ආහුස්  විශ්ව විද්‍යාලයට  යැවීමට ඇති මගේ අයදුම්පතයි.

කන්තෝරුවේ නෝනා හිමින් හිමින්  තම කටයුත්ත කරමින් සිටි . 

ඒ අතර  ඇය තම මේසයේ ඇති දුරකථනය කරකවා කිසියම් කෙනෙකුට ඇමතුමක් ගත්තාය.  



"හලෝ  ගුඩ් මොර්නින්  .. කොහොමද අනේ ...? බස් එක අල්ලගන්න ලේසි වුනාද "

එහා පැත්තේ  ඉන්න කෙනා නාවලපිටියේ හෝ  ගම්පොළ තැපැල් කාර්යාලයේ සේවිකාවක් බව ඇයගේ කතා බහට බලෙන්ම සවන්දෙන්නට ලැබුණු මම පසුව තේරුම් ගත්තෙමි. 

"ඒකනේ මෙයා මේ බස් කාරයෝ හරියට එයාලගේ රාජකාරිය කරන්නේ නෑනේ .. එයාලා වෙලාවට එනවානම් අපිටත් වෙලාවට වැඩට එන්න පුළුවන් වෙනවනේ "

"ඒක  නෙවෙයි ....ඔයා ඊයේ  "අහිංසා " බැලුවද?  බලන්නකෝ මේ කෙල්ල කරන මෝඩ වැඩ ?  මම එහෙමනම්  හොඳ වැඩක්  කරනවා අරයට..."

"ඔය කතාව ලියන්නේ කවුද දන්නේ නෑ අනේ බලන්නකෝ බලන් හිටියා වගේ අපේ පවුල් වල ඇතිවෙන ප්‍රශ්න  ගැන ලියන හැටි ."

එහා පැත්තේ සිටිනා නිලධාරිණියද  හරි හරියට ඇයගේ කතාවට පොහොර දමන අයුරකි.  කතාව නොනැවති ඉදිරියට යයි දැන් මගේ පිටුපසින් තව පිරිසක් එකතු වී සිටි.

ඒ EMS යවන්නට නොව ෆොටෝ කොපි වැනි දේවල් කරන්නේද මේ කවුන්ටරය හරහා වීමයි..  

මේ අතර ෆොටෝ කොපි යන්ත්‍රය ක්‍රියාකරවන්නාද  වැඩක් නැතිව නිකම් සිටි.  

හේතුව ඔහුට වැඩ ලැබීමට නම්  මේ නිලධාරිනිය හරහා ඔහු වෙත ඒවා යොමු කලයුතු වීමයි.

මට සුරංගගේ  භාෂවෙන් ම  කිව්වොත් පුෂ්ප පිපි මකරන්ද  ගලා එන්නට ආසන්නය.

දුරකථන සංවාදය අහිංසා ගෙන් තව ටෙලියකට මාරු විය.  

"බලන්නකෝ නේද මේ ගැනුන්ගේ  හැටි.. 

දැක්කනේද  අර  @#$)  තමන්ගේ  අක්කගේ  මහත්තයත් එක්ක  රවුම් ගහනවා.

පව් අනේ ඒ ළමයි තුනේදෙනා .."

කතාවේ හැටියට  ඒ නාට්‍යයේ එකම පවුල ඇතුලේ සිදුවෙන අයතා ලිංගික සම්බන්ධතාවයක්  ගැන කියවෙන අවස්ථාවක්  තිබෙන හැඩයි.

එහි දරු තිදෙනෙකු සිටින පියෙක් සහ එම කාන්තාවගේ නැගණිය අතර පවතින  අයතා සම්බන්ධය  මේ නිලධාරිනියන්ගේ  අවධානයට  ලක්වී ඇත.

"ඔයාගේ හස්බන්ඩ්  එහෙම කියනවද? ඔව් අනේ අපේ  එක්කෙනෙත් වැඩිය කැමති නෑ මම  ටෙලි ඩ්‍රම බලනවට "

නේද මෙයා ඒවායේ කියන්නේ අපේ පවුල් වල තියෙන ප්‍රශ්නමනේ  

මම නම් අපේ හස්බන්ඩ්ට කියන්නේ 

"මේ වගේ කතා  බලන එකෙන් අපේ පවුල් ජිවිතේ හදා ගන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් " කියලා.

කතාව දැන් පැය භාගයකටත් වැඩිය  . මේසය ඉදිරිපස ඇති පෝලිම එන්න එන්නම දික් වෙයි.  එහෙත් කිසිවෙක්   මේ නිලධාරිණියට  තම රාජකාරිය  කලයුතු බව මතක් කරන්නේ නැත.







ඉවසීමේ සිමාව ඉක්මවා ගිය මම දැහැන බින්දෙමි.

"මිස් කරුණාකරලා  ඔය මහත්තයාගේ වැඩේ ඉවර කරලා දෙනවද ? 

අපි කට්ටිය ගොඩක් ඉන්නවා නේ වෙන වෙන වැඩ කරගන්න "

"ඇයි මිස්ටර් මොකද හදිස්සිය පොඩ්ඩක් ඉන්න බැරිද මගේ කෝල් එක ඉවරවෙනකන්..?"

ඇය තම දුරකථන සංවාදයේ ඇති වැදගත් කම මට මතක් කර දුන්නාය. 

දැන් මගේ "පුෂ්පය එළියට පනින එක"  සක්කරයටවත් නවත්තනන්ට නොහැකිය.  

"ඔයාලා සතිඅන්තයේ  කාපු බිපුවා, ගිය ගමන් බිමන් කතාකරනකම්  අපි මෙතෙන්ට වෙලා හිටගෙන ඉන්න ඕනෙද? 

අපිත් වැඩ තියෙන මිනිස්සු "

"ඔයලාට වැඩ තිබුණට අපිට කරන්න දෙයක් නෑ. ටිකක් ඉවසලා ඉන්න වෙනවා."

මගේ ඉදිරිපත් වීම නිසා සිය දුරකථන සංවාදය අතරමග නතර කල ඇය තම රාජකාරිය ට නැවතත් අත ගැසුවාය.

එහෙත් ඈ  දිගටම සිටියේ  අබ ටිකක් දැම්මා නම්  පුපුරණ වර්ගයේ මුහුණක් සහිතවයි.

ටික වෙලාවකින් මගේ අවස්ථාව පැමිණි විට  " මේක EMS කරගන්න ඕනෑ මට " කියමින් මගේ ලියකියවිලි ටික ඇයට දුන්නෙමි.

මගේ ලියකියවිලි කියවූ ඇය මා පේරාදෙණියේ  කථිකාචාර්යවරයෙකු බව හඳුනා ගත්තාය .

අනතුරුව මා දෙස ඔලොක්කුවට බැලු ඇය

"අහවල් මහාචාර්ය තුමා එහෙම මෙහෙට නිතර එනවා හරි නිහතමානී මිනිස්සු  .

එයාලා මේ වගේ ඇඟට කදාපනින්නේ නෑ  තමන්ගේ වැඩේ කෙරෙනකම්  ඔළුව පහත් කරන් ඉන්නවා "

යැයි පැවසුවේ අප සමග සිටි ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙකු ගැනයි.

ඒ අතරම  මා තව තවත් අවුස්සන්නට ඇයට ඕනෑ වී තිබේ..

"පිට රට වල් වලනම් මෙහෙම් මින්ස්සු රස්තියාදු කරන්නේ නෑ "

මමත් ඇයගේ උගුලට අසුවුයෙමි..

"ඉතින් ඉන්නනෙ  තියෙන්නේ පිට රටට වෙලා මෙහෙ ඇවිල්ලා අපිව හදන්න එන්නේ නැතිව.. "

ඇය නැවතත් වාදය පටන් ගත්තාය..

"සුමනේ මෙන්න මේ ටික EMS කරන්න ලෑස්ති කරන්න " කියමින් මගේ ලියකියවිලි ටික හය්යෙන් තම සහයකයා  දෙසට  විසිකළ ඈ  ගාන රුපියල් 2500 යි කියමින් මා දෙස බැලුවාය..


පසු සටහන:

මම EMS කල ලියවිල්ල තවමත්  නෙදර්ලන්තයට  ගියේ නැත.  නිලධාරිනියගේ  ටෙලිනාට්‍ය රසයට බාධා කිරීමේ වරදට  මගේ සිස්යත්වය  කඩාකප්පල් කරන්නට  ඇය තීරණය කරන්නට ඇත.

මට ඊ මේල් පිට ඊ මේල් එවූ ටීනා අවසානයේ  මගේ අයැදුම් පත  ඊ මේල් මගින් ගෙන්වා ගත්තාය.

ඒ සම්බන්ධයෙන් මට උපකාර කලේ ජිවිතයේ ප්‍රථම වරට  මට කෑගල්ලේදී හමුවූ අමුත්තෙකි.

 ඒ කතාව මෙතැනින්











Friday, 22 July 2016

ඔස්ට්‍රේලියාවට අපේ අය සංක්‍රමණය වන විවිධ ක්‍රම 1- ශිෂ්‍යයෙක් ලෙස




පසුගිය සතියේ  මා විසින් ලියන්නට යෙදුන  අපේ මස්සිනාලට  ගඩොල්  ඇතිරීමේ පාඨමාලාවක්  කරවීමේ ලිපි පෙළ බලා මේ සම්බන්ධව  උනන්දු වූ අය කිහිප දෙනෙක් මේ ගැන විමසුවා මේ ඒ අය වෙනුවෙන්.

ශ්‍රී ලාංකිකකයින්  ඔස්ට්‍රේලියාවට එන ක්‍රම සහ නිත්‍යානුකුලව එසේ කල හැකි ක්‍රම රාශියකි.  

මේ ක්‍රම වේදයන් පාවිච්චි කර ඔස්ට්‍රේලියාවට එන්නේ ලාංකිකයින් පමණක් නොවේ ඉන්දියාව, චීනය, නේපාලය , බංග්ලාදේශය , පකිස්ථානය ආදී අපේ අසල්වැසි රටවල අයද මෙහි එන්නේ  මේ ක්‍රම වලටය. 
එමෙන්ම බොහෝ සංවර්ධිත රටවලින්ද  ශිෂ්‍යයන් ලෙස මෙහි මුලින්ම  පා තබන්නෝ රාශියකි.

ඉන් පලමු සහ ප්‍රධාන ක්‍රමයක් වන්නේ ශිෂ්‍ය විසා ලබා ගෙන මෙරටට පැමිණීමයි . 

පළමු උපාධිය කීරීමට ( undergraduate degree) මෙන්ම දෙවැනි , තුන්වැනි උපාධි ( post graduate degree) හෝ සමහර විට  ඩිප්ලෝමාවක් කීරීමට මෙහි එන ලාංකික පිරිස් සිටිති. 

අපේ මස්සිනාලට ලංකාවේදී ඉගැන්වූ ගඩොල් ඇතිරීමේ පාඨමාලාව වැනි  ඒවා කිරිමටද  ශිෂ්‍යයෙක් ලෙස මෙහි පැමිණිය හැකිය . 

එය වර්ග කර ඇත්තේ  vocational training යටතේය. 

තමා එන පාඨමාලව තෝරා ගැනීමේදී   මෙහි ස්ථිර පදිංචිය  ( Permanent Residency) සඳහා  හැකියාවක් ලැබෙන අධ්‍යන ක්‍රමයක් තෝරා ගන්නට  හැමදෙනාම උත්සුක වෙති . 

මේ සඳහා  හොඳ පරිගණක සහ අන්තර්ජාල දැනුමක් ඇති අයෙකුට වෙනත් කිසිදු උදව්වක් අවශ්‍ය නොවේ.   

අනෙක් අයට කලින් එහි ගිය අයෙක් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) මගින් හෝ නොඑසේනම් මේ සඳහා මුදල් අයකර සේවය සලසන   ඕස්ට්‍රේලියා රාජ්‍ය යේ පිළිගත් ඒජන්සියක්  හරහා  මේ කාර්යය කර ගත හැකිය.

මෙහිදී  තමන්ට යායුතු ප්‍රාන්තය, පාඨමාලව හැදෑරිය හැකි විශ්ව විද්‍යාලය , අඩුම පාඨමාලා ගාස්තු වැනි බොහෝ දේවල් සොයාබැලීමක් සිදු කෙරේ.

ඔස්ට්‍රේල්යානු මුදලෙත් තම තමන් එන රටේ මුදලේ වටිනකමේත් ඇති වෙනස සහ තම දෙමව්පියන්ට වියදම්හෝ කල හැකි හෝ  තමා රැස්ගකරගත් මුදල් ප්‍රමාණය අනුව මේ හැකියාවන් වෙනස් වේ. 

ඒ නිසා බොහෝ ශිෂ්‍ය විසා ලබා එන්නන් පාඨමාලවට ඇතුල් වීමට අවශ්‍ය අවම ගාස්තුව පමනක් ගෙවන අතර ඉතිරි මුදල්  අතිරේක රැකියාවක් කර සොයන්නට පෙළඹෙති .


ශිෂ්‍ය  රැකියා 




මා දන්නා හැටියට ශිෂ්‍යකුට  රැකියාවක් කල හැක්කේ සතියකට පැය විස්සක් පමණි. ඔහුගේ , ඇයගේ සහකරුවාටද එසේමය.  

මෙය වෙනස් වන්නේ ශිෂ්‍යයා  පස්චාත් උපාධියක් කරන්නේ නම් පමණි.  

එවිටද ශිෂ්‍යයාට  කල හැක්කේ පැය විස්සක් උපරිමයක් වුවද   ඔහුගේ ඇයගේ සහකරුවාට  සීමාරහිත කාලයක්  (සාමාන්‍යයෙන් සතියට පැය තිස්පහක්-හතළිහක් ) වැඩ කලහැකිය.

මේ සියළු දේවල් ඉතා තද නීති යටතේ ක්‍රියාත්මක වන අතර  ඕස්ට්‍රේලියානු  සංක්‍රමණික  ආයතනයේ වෙබ් අඩවිය මැනවින් අධ්‍යනය කිරීමෙන් මේ විස්තර හරියටම සොයාගත හැකිය.

මා මෙහි ලියන්නේ මගේ මිතුරන් සහ සමහර විට මා පුද්ගලිකව ලැබූ අත්දැකීම් නිසා පොඩි පොඩි වැරදි තිබිය හැකිය.  කරුණාකර නිවැරදිම තොරතොරු සඳහා ඒ  ඒ ආයතන වල  වෙබ් අඩවි බලන්න.

මෙම ක්‍රමය "ලංකවේ අය දකිනා හැටියට" ටිකක් දුෂ්කර ක්‍රමයක් වුවත්  අප දන්නා බොහෝ පිරිස් මේ ක්‍රමයට  සංක්‍රමණය වී සිටිති . 

අධ්‍යාපනය කාරනා අතරම  තම  වියහියදම් සඳහා මුදල් සෙවීමට සිදුවීම    මේ "දුෂ්කර බව" දැනීමට  හේතුවයි. 

එහෙත් මෙය  සියළු වර්ග වල ශිෂ්‍යයන්ට  අත් විඳින්නට  සිදුවන දෙයකි. 

උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියානු ජාතික  සිසුන් ( මගේ විශ්ව විද්‍යාල  සිසුන් ) සුපර් මාර්කට් වල සපත්තු කඩ වල  සේල්ස්  ගල්ර්ස් ලා ලෙස සතිඅන්තයේ හමුවීම සාමාන්‍ය දෙයකි.


ලංකාව ඉන්දියාව වැනි රටවලින් එන සිසුන් පිට්සා  කඩවල, පෙට්‍රල් ස්ටේෂන් වල  සහ  බොහෝ  රජයේ ආයතන  පිරිසිදු කිරීමේ රස්සා වල යෙදෙන බව කවුරුත් දන්නා දෙයකි.

පත්තර බෙදීම,  ගෙවතු අලංකරණය වැනි රැකියා කරන්නේ අපේ රටේ අය පමනක් නොවේ.  

යුරෝපිය රට වලින් පැමිණි සිසුන් පවා තම ආර්ථිකය සහ රැකියාවන් පැහැදිලි වනතෙක් හෝ මෙවැනි රැකියා වල නිරතවෙති.

පත්තර බෙදීමේ රැකියාව  සඳහා  මෙහි ඇති ප්‍රධාන  සමාගම් දෙකකි .   එකක් PMP නමින් හඳුන්වන අතර අනෙක  Salmat නම් වේ. 

ඒ දෙකේ  සතියට දෙවතාවක්  බෙදා හරින්නට ලබා දෙන  වෙළඳ දැන්වීම් පත්‍රිකා  ගෙයින් ගෙට ගොස්  බෙදා දීම  කෙනෙකුගේ රැකියාවයි.  

මේ රැකියාවෙන් පැයකට ලැබෙන්නේ ඩොලර්  පහක -දහයක අදායමක් වුවද  තමන්ට කැමති වෙලාවක කීරීමට හැකිවීම ( රෑ දොළහට හෝ දහවල දොළහට වුවත් ) එහි ඇති ප්‍රධාන වාසියකි. 

අනෙකුත් රැකියා බොහොමයක අවම පැයක වැටුපක් රජයෙන් නියම කර ඇති අතර එය අප සිසුන් කාලයේ  ඩොලර් පහළොවකි.  දැන් එය අනිවාර්යයෙන් එයට වැඩි විය යුතුය. 

 පුරුද්දක්අ ලෙස අපේ අය  ( අවුරුදු ගණනාවකට කලින් මෙහි පැමිණි හෝ  කෙලින්ම   යහපත් ආරථික මට්ටම් ඇති රැකියා වලට පැමිණි අය ) සමහර විට මෙවනි සිසුන් ලෙස  බලන්නේ , මෙවැනි අය ගැන සිතන්නේ අත පල්ලෙන් වැටුණු ගාණටය. 

එහෙත් මේ බොහෝ දෙනෙක්  සංක්‍රමණය කල මුල්ම අවධියේ "මේ කට්ට කෑ අය බව "  ඔවුන් සමග  විවුර්ත සංවාදයක් ( genuine discussion) කිරීම මගින් දැන ගත හැකිවේ. 

මේ  එවන්උ අවස්ථාවකි.

දිනක් මා ඉන්නා පළාතේ ඉන්න ප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්   ( මගේ ලඟම හිතවතෙක් ) 

"කවිඳු මොකද අනේ අර ලංකාවේ අච්චර සල්ලි තියෙන ළමයි මෙහෙ ඇවිල්ලා දුක් විඳින්නේ " 

යැයි මගෙන්  ඇසුවේය. මට මතක හැටියට එය මිට වසර දෙකකට පමණ පෙරදී ඇති වූ කතා බහකි. 

ඒ මා හිතවත් කම් දක්වන  ලංකාවේ බස් හිමි , කඩ සාප්පු  හිමි පවුලක මල්ලී කෙනෙක් මේ පළාතේ  සුපර් මාර්කට්  පිරිසිදු කිරීමේ කොන්තරාත්තුව අරගෙන පැමිණි මුල් කාලයේය.

මා මගේ මිත්‍රයට ( මොහු දැන් ඔස්ට්‍රේලිවේ ඉන්න ලොකු සල්ලි කාරයෙකි )මා   දුන්නේ ඉතා සරළ පිළිතුරකි . 

එහි අගට   ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයක් ද විය .

"අපිට  ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනේ  නැනේ  #$% ..

අපි මුලින්ම පිටරටකට  ඇවිත් ජිවත් වූ මාස කිපය  ගැන හිතුවනම්   ඒ මල්ලිලායි අපියි අතර ලොකු වෙනසක් නෑ නේද කියලා හිතෙයි ඔයාට"  

"මමනම් හිතන්නේ එහෙම යි . එ

හෙම කෙනෙක් "දුක් විඳිනවා .. කට්ටක් කනවා "

 කියලා මට කවුරු හරි මතක් කලොත් පොඩ්ඩක් අපේ මුල් කාලෙට ගිහින් බලනවා "

"හැබැටම   #$%  ඔයාලා ආපු මුල්ම  කාලේ  ඔය වගේ අමාරුකම්  තිබ්බේ නැද්ද?

පොඩි පොඩි රස්සා කරන්න වීම් වගේ "

"මොකෝ නැත්තේ .. ඒ දවස්වල @&%$ මෙල්බන් වල  ස්පෝට්ස් සෙන්ටර් එකක් පිරිසිදු කරලා ගෙදර එන්නේ රෑ  තුනට විතර  ..

අපිත් ඒ වගේ දුක් විඳලා තියෙනවා . 

ඒත් මන් කල්පනා කරන්නේ කවිඳු .. 

මේ පොඩි ළමයි ..අම්මලා තාත්තලාට  අරහේ  විසිකරන්න සල්ලි .. මේ රට වල් වල ඇවිල්ල දුක් විඳිනවා නේ "  

" #$% . අපි ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ . ඒක එයාලට  ඕනේ නිසා කරන දෙයක් නේ.. ඔය ළමයිනුත්  අපි වගේ අවුරුදු දහයක් පහළොවක් මෙහෙ ඉන්න කොට  අපිටත් වඩා "සැපට "  ඉඳියි..

"ඔව්.. ඔව්  කවිඳු ඒකත් ඇත්ත තමයි .."

සීනියර්  ඉංජිනේරු මහතා සහ මගේ දුරකතන සංවාදය අවසාන වුයේ එසේය. 

 #$% . මහතාගේ  මේ දුරකථන ඇමතුමට හේතුව වුයේ ඊට කලින් තිබු සති අන්තයේ අපේ සුපුන්ගේ උපන්දින සාදයට  මේ  පිරිසිදු කරන මල්ලිද ප්‍රධාන අරාධිතයෙක් වූ බැවිනි.  

මගේ නිවසේ සින්දු කියමින් නිදහසේ විනෝද වූ  ඒ තරුණ යුවල  රැකියා ලෙස කරන්නේ  පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ( තරුණයා )   සහ KFC එකක කැෂියර්  තනතුර  ( තරුණිය )  වීම  #$% . මහතාගේ ඒ සංවාදයට  නිමිත්ත වන්නට ඇත.



සිසුන්ලෙස එන ලොකු  ලොක්කන්ගේ  දරුවෝ 


ලංකාවේ  පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකේම මැති ඇමති වරුන්ගේ  දුවරු සහ පුත්තුද  විශාල පිරිසක්  
සිසුන් ලෙස මෙහි පැමිණ සිටිති.
ප්‍රසිද්ධ කලාකරුවන්ගේ දරුවන්ද ඒ අතර වෙති. 

සුප්‍රකට  බැල්කනියකින් වැටීමේ සිද්ධිය  සහ  නිතර නිතර මෙල්බන් නුවර පැවැත්වෙන සංගීත ප්‍රසංග වලට  හේතුවක් වන්නේ  මේ අයගේ දුවා දරුවන් මේ රටේ පදිංචි වී සිටීමයි.

ඒ අයද  ගත කරන්නේ මා ඉහතින් සඳහන් කල  ආකාරයේ රැකියා කරන වරගයේ ශිෂ්‍ය ජිවිත මය. 

හේතුව අම්මලා තාත්තලා කොතරම් ලංකවේ මුදල් රැස් කලත් එය මේ මුදලේ අගයට පරිවර්තනය කල විට එය සිය ගුණයකින් අඩු වීමයි.

මා අසා ඇති පරිදි හිටපු අගමැති තුමාගේ දියණිය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් , උදය ගම්මන්පිල මහතා වැනි අය මෙල්බන් නුවර ශිෂ්‍ය ජිවත ගත කොට නැවත ලංකාවට  පැමිණි අය වෙති.

කලාකරු  රෝහණ වීරසිංහ මහතාගේ පුතෙක් සහ සුනිල් එදිරිසිංහ මහතා හේ පුතෙක් මෙල්බන්  නුවර වාසය කරන බවද මා අසා ඇත්තෙමි.


මම ශිෂ්‍යයෙක් ලෙස ගතකල කාලයේ අවසාන දිනවල මට හමුවූ එවැන්නෙක් මගේ මතකයට එයි.

ඔහු එවකට පැවති විපක්ෂයේ ( යුඇන්පී එකේ ) හිටපු ඇමතිවරයෙකුගේ පුතෙකි. 

ඉතා තදබල සෙල්ලක්කාරයෙකු වූ ඔහු ගේ විනෝදාංශ ය වුයේ  තරුණ සිසුවියන් ආශ්‍රය සහ රේසින් කාර් පැදීම බව මා අසා තිබේ.







අප දන්නා කෙනෙකුගේ නිවසේ නැවතී සිටි මේ සිසුවා මට හමුවූ ප්‍රථම දිනයේ  ( කොලබෙදීමේ  රැකියාවක් සොයා දීමට ) අප දෙදෙනා අතර ඇතිවූ සාකච්චාව  ඔබ හැමෝටම වැදගත් වේ යැයි සිතමි.

රට හදන්නට අවුරුදු පහෙන් පහට බලයට පත්කරගනනා කණ්ඩායම් දෙකේ ඇයගේ දරුවන් ( අනාගතයේ අපේ රටේ පාලකයන් ) හැසිරෙන්නේ කෙසේද යන්න ඔබට එයින් වටහා ගත් හැකි වන නිසයි.

"හලෝ කවිදු අය්යා මට  $%#@ අය්යා කිව්වා ඔයාව හම්බවෙන්න කියලා කොළ ජොබ් එකක් හොයාගන්න "

"ආ .. ඔයාද  $%#@ අය්යලා ගෙදර ඉන්නේ ? හරි හරි එයා මට කිව්වා තමයි "

"මල්ලී කොහෙද?  "

"අපි කුරුණෑගල අය්යා.. "

"එතකොට ඔයාලා අම්මා තාත්තා ? "

"ඒ ගොල්ලෝ දැනට
ලංකාවේ ඉන්නේ අය්යේ . අපේ තාත්තා හිටපු ඇමතිකෙනෙක් "

"යුඇන්පී ද ? ශ්‍රී ලංකාද ? "

"යුඇන්පී අය්යා එයා තමයි හිටපු  #@#(%&+ ඇමති"

"මට යුඇන්පී හාදයෝ නම් පෙන්නන්න බෑ .. එත් ඔයාට උදව් කරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි "

"නෑ අය්යා ඒ වුනාට අපේ තාත්තා  හරි අහිංසකයි.. අනික් යුඇන්පී අය වාගේ නෙවෙයි  . "

"ඔයාලා ගෙදර එතකොට ඔයා විතරද?"

  "නෑ මමයි අක්කයි  . අක්කා ඇමෙරිකාවේ  උපාධියක් කරනවා .. "

"අක්කා . ඇමෙරිකාවේ මල්ලි ඕස්ට්‍රේලියාවේ නියමයිනේ.. වියදම් කරන්නේ ?"

"තාත්තලා තමයි. 

මම එහෙන් මෙහෙන් කෑමට එහෙම වියදම් හොයාගන්නවා "

ඉතින් මලයා දැන් තාත්තා ආණ්ඩුවේ නෙවෙයිනේ ...  ඔයාලට සල්ලි වලින් කරදර ඇති ඒ නිසා "

නෑ නෑ අය්යා.. 

අපේ තාත්තාගේ යාළුවෝ නේ ආණ්ඩුව පැත්තේ ඉන්නේ එයාලා තාත්තට තමයි ඔක්කොම ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් දෙන්නේ එයා දැන් කරන්නේ කොන්ත්‍රාත් .. 

අපිට ඒ කාලේ වගේම සල්ලි තියෙනවා නැත්තේ  ඇමති තුමා කියන නාමේ විතරයි. "

"ඉතින් මල්ලි ..ඔයාගේ උපාධිය ඉවර වෙන්න ලඟද? "

"නෑ නේ මගේ මේ වැඩ නිසා කිහිප සැරයක්ම  කෝස් මාරු කළා . තවම ඩිග්රි එකක් ඉවර කලේ නෑ .."

"ඒක ටිකක් භයානකයි නේ මල්ලී උපාධිය ඉවර කර ගන්න බැරිවුනොත් ලංකාවට යන්න වෙයි නේ ඔයාට"

"ගානක් නෑ අය්යා . කරගන්න බැරිවුනොත් ආපහු ලංකාවට යනවා."

"ගිහිල්ලා ?  කොන්ත්‍රාත් කරනවද .. දේශපාලනේට යනවද? "

"ඔව් අය්යා ඒ දෙකම තමයි  තමයි ඉතින් මට කරන්න වෙන්නේ "

"හරි හරි .. එහෙනම් කුරුණෑගල පළාත් සභා මන්ත්‍රී විදිහට ඔයා හම්බවෙන්න ලැබෙයි "

"ඔව් .. ඔව් දිගටම දේශපාලනේ හිටියොත් ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ "

තම රටේ දුක් විඳින මිනිසුන්ගේ ධනයෙන් මේ රටට ඉගෙන ගන්න කියා ඇවිත් එය අමතක කර දමා සෙල්ලකාර ජිවිතයක් ගෙවන  @#$%))%@  මල්ලී මා සමග  කල සාකච්චාව  එවැන්නකි.

(ඒ පළාතේ සිටි අනෙක් ලංකික සිසුන්ගෙන් අසා දැන ගත් කරුණු අනුව මොහු තමන් පැමිණි උපාධිය නොකර කාන්තාවන් ආශ්‍රය සහ  කාර් වලින් රේස් යෑම වැනි දේවල් කරමින් කාලය ගෙවූ අයෙකි)

මම ගල් ගැසී ගියෙමි.

 @#$%))%@  මල්ලීට කොලපාරවල් දෙකක් අරන් දුන් මා ඔහු වහාම  මා නිවසින් පිටත් කර හැරියෙමි. 

මට අපේ ගම් වල සිටිනා මගේ නංගිලා මල්ලිලා ඇතුළු නෑදෑයින් ගැන තදබල දුකක් දැනිණි. 

ඔවුන් කල්ලි වලට බෙදී අවුරුදු හයෙන් හයට කරනා අපරාධයේ  ප්‍රතිඵල මා අසලම සිටි.  

"දෙය්යනේ.... මගේ රටට දෙවියන්ගේ පිහිටයි !!!  . බුදු සරණයි දෙවි පිහිටයි !!! " 

මගේ ධාර්මික සිත ප්‍රාර්ථනය කලේ ඉබේටමය.






මා මා මිත්‍ර සමන්ත විදයරත්නට  චන්දයක් දීපල්ලා  යැයි කිවූ විට ජ.වී. පෙ. මිනීමැරුම් , භිෂණ ආදිය ගැන කතා කරමින් වාද කල මගේ මස්සිනාලා ගැන මට බලවත් දුකක් ඇතිවිය.



මේ ශිෂ්‍යයා වැනි  කොල්ලෙක් තව අවුරුදු පහකින් ලංකාවට ඇවිත් 

" දිනු දෑය අනතුරේ රට බෙදෙන්නයි යන්නේ ... අහවල් පක්ෂේ හොර ගිවිසුමක් ගහලා  .. රට බේරාගන්න  මා වටා රොක්වව් "

කියූ සැණින් ඔහු තරුණ මන්ත්‍රී කෙනෙක් වනු ඇත.

ඒ සඳහා  ඔහුට අත්වශයම සුදුසුකම  ( ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකේ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙකු වීම ) ඉහලින්ම තිබේ. 

අපේ රටේ අනාගතය මේ වගේ තරුණ කාලයක් ගතකල  අයෙක් විසින් තීරණය කරනු ඇත.





ලොකු ලොක්කන්ගේ සමහර දරුවෝ එසේ වුවද සිසුන් ලෙස පැමිණ  හොඳ දේවල් කරන්නෝද නැත්තේම නොවේ  .

විශේෂයෙන් කළා කරුවන්ගේ දරුවන්  මේ රටේද කලා කටයතු කරමින් සිටිනා අවස්ථා එමට තිබේ  . ඒ ගැන ඉදිරියේදී  ....



Thursday, 21 July 2016

ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ (නුලෙන් මිස් වුන ඕස්ට්‍රේලියා ගමනක අනුවේදනීය කථාව....)



පසුගිය කලාප වලින්.





මේ වනවිට  අපේ කට්ටිය මේසන් පාඨමාලාවත් උයන්හේවා මහතා මගින් NITA SL හි පැවැත්වූ කඩිනම් ඉංග්‍රීසි පාඩම් මාලාවත් අවසන් කර සිටියහ.  

මම සියළු පාඨමාලා අවසන් බැවින් IELTS කරන ලෙසත් ඒ සඳහා බ්‍රිටිෂ් කවුන්සිලයට ගොස්  ලියාපදිංචි වන ලෙසත්  අපේ මස්සිනාලට උපදෙස් දුන්නෙමි.  

මෙහිදී ලෙනදොර පමණක් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ අතර  විපුල් ද ඉංග්‍රීසි විභාගය කරන්නෙමියි කියා කොළඹ නැවතුණේය.

අපේ ලොකු අක්කාගේ මහත්තයා සහ පොඩි නංගිගේ මහත්තයා පාඨමාලා දෙක අවසන් කර ලැබුණු සහතික ආදිය රැගෙන අරලගන්විලට පැමිණියහ. එසේ පැමිණුන ඒ දෙදෙනා තම තමන්ගේ රස්සා වල නැවත නිරත වූහ.

"සුදු  දැන් කෝස්  එක ඉවරයි නේද ? දැන්  ඔය දෙන්නා IELTS  කරන්නේ නැද්ද? "

 මම දවසක් අපේ පොඩි නංගිගේ මහත්තයා ගෙන් ඇසුවෙමි .

"නෑ අය්යා . මායි අය්යයි කතා වුණා අපේ ඉංග්‍රීසි දැනුම මදී කියලා ඒක නිසා අපි විභාගේ ලියන එකේ තේරුමක් නෑ කියලා හිතුවා."

"උඹලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ.. මම විභාග ගාස්තු ගෙවනවා නේ .. නිකන් හරි ගිහිල්ලා ලියන්න තියෙන්නේ  ලකුණු කියක් ගන්න පුළුවන්ද  බලන්න හරි. "

මම පැවසුවේ මෙච්චර කරපු එකේ ඒකත් කරලා බලන එක හොඳයි කියා සිතුනු බැවිණි.

"නෑ.. නෑ.. කාගේ වුනත් සල්ලිනේ ?  අපි ෆේල් වුනොත් අපරාදේ අය්යාගේ සල්ලි   නාස්ති වෙන එක විතරයි වෙන්නේ?"

කතාවේ හැටියට ඒ දෙදෙනා නම් ජීවිතේට IELTS  කරන පාටක් නැත.

"හරි උඹලා දෙන්නා කරන්නේ නෑ කියමුකෝ ? මොකද විපුල් අය්යා කියන්නේ ?"

"එයා කොළඹ නැවතුනා කොහොම හරි ඉංග්‍රීසි ගොඩ දාගෙන තමයි එන්නේ කිව්වා. "

"නියමයි. එයයි ලෙනදොරයි නම් කොහොම හරි IELTS  කරයි මම හිතන්නේ"

මගේ යටිහිතේ සැකයක් නැත්තේම නැති වුවද මෙතෙක් කල වැඩ වල ප්‍රතිඵලයක් නැති වෙවී යැයි පිළිගන්නට අකමැති මගේ  මුවින් සැනසුම් වදනක් පිටවුවේය.

"ඔව් .. ඔව් ඒ දෙන්නා නම් කියනවා කොහොම හරි ඔස්ට්‍රේලියාවට ගිහින් තමයි පස්ස බලන්නේ කියලා "

සුදු මා අස්වැසුවේ   අය්යා සහ ඔහු එතරම්බ උනන්දු නැති වුවද අනෙක් දෙදෙනා අප හා එකතු වනු ඇති බවට ඉඟි පළකරමිනි.  

ව්‍යාපෘතියේ සාර්ථකත්වය  සියයට පණහක් වත් විය  හැකි දැන ගත් මා ඒත් මදැයි සිතා සතුටින් පසුවුයෙමි.

පිටරටකට  යන්න ......ඉංග්‍රීසි කරන්න.......




වසරේ දෙදාහේ මා කථිකාචාර්ය වරයෙක් ලෙස විශ්ව විද්‍යාලයට බැඳුනු කාලයේම  විදේශගත වීමට ( අධ්‍යන කටයුතු සඳහා) අවශ්‍ය ඉංග්‍රීසි විභාග ගැන උනන්දු වූ හැටි මතකය. 

ඒ කාලේ මුලින්ම IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක් කල යුතුයි  යන අදහස මට ලැබුණා මතකය.

කැනඩාවට  හෝ ඇමෙරිකාවට  යන්නෙමියි මුලින් සිතා සිටි මා විශ්ව විද්‍යාලයේ වැඩ නැතිවෙලාවට  TOEFL  විභාගය සඳහා සුදානම් වුයෙමි.

ඇත්ත වශයෙන් කිවහොත්  මා පිළිගන්නට සුදානම් කිසිදු රටක් නොමැතිව  මම TOEFL  ලකුණු 478 ක්  වැනි ප්‍රමානයක් ගෙන  සමත්වූ  හැටි තාම මතකය.

ඒ 2001-2002  වසර වලින් එකකදීය. . 

කෙසේ වුවත්   2003 වසරේ  නෙදර්ලන්ත ගමන සඳහා මට ප්‍රයෝජනවත්  වුයේ  මේ  TOEFL   ප්‍රතිඵලයයි. 

IELTS  හෝ TOEFL යන දෙකෙන් එකක්  තිබුණොත් මා  මාස්ටර්  උපාධියට  බාර ගන්නා  බව "ආහුස් විශ්ව විද්‍යාලය " පවසා තිබුණි.  

ඒ අනුව මම කිසිදු  පැහැදිලි ඉලක්කයක් නොමැතිව පවා කල  විභාගයක් මට ප්‍රයෝජනවත්  වුණේ  එලෙසයි. 

මා අපේ  නෑදෑයින්ට  නිතර නිතර මතක් කලේද මේ සංසිද්ධි යයි.

ගඩොල් ඇතිරීමේ පාඨමාලාව මෙන්ම IELTS වැනි විභාග කර තිබීම  කවදාවත් අපතේ නොයන  අත්දැකීම්ය  .

 IELTS වලංගු වන්නේ අවුරුදු දෙකකට පමණක් වුවද  විභාගයට වරක් හෝ මුහුණ දී ලබාගන්නා අත්දැකීම ඉතා ප්‍රයෝජනවත් එකකි .  

මා හතරදෙනාම එක වරක් හෝ  ඉංග්‍රීසි විභාගය කල යුතුය යන පදනමක  සිටියේ එබැවිනි.

මා දුක් විඳ මුදල් හොයන බව ඇත්තකි. එහෙත් මා හිත හොඳින් දෙන  මුදල්  යොදවා එවැනි වැදගත් වැඩක්  කිරීම මුදල් අපතේ යාමක් ලෙස මම නම් කවදාවත් සිතුවේ නැත.

කෙසේ හෝ වේවා අවසානයේ  මගේ  අදහස් මුදුන් පමුණුවන්නට ඉතිරි වුයේ  ඒ වනවිට  තම බිස්නස්  වලින් පාඩු වී ගැලවෙන්නට  මගක් සොයමින් සිටි විපුල් සහ  "විශ්‍රාමික  හමුදා  සෙබලෙකු " වූ ලෙනදොරත්  පමණි.


IELTS විභාගය  සහ ප්‍රතිඵල



මේ වන විට ලෙනදොර නැවතත් මාවනැල්ලට ගොස්  කෑගල්ලේ ඉංග්‍රීසි පන්තියකට ගිය අතර විපුල් දිගටම කොළඹ නැවතී සිටියේය.

ළමයින් තිදෙනෙකුගේ පියෙක් පවුලෙන් ඈත් කර කොළඹ නවත්වා තැබීම ගැන මට යම් යම් චෝදනාද එල්ලවන්නට  පටන් ගත්තේය.

මේ කතා වලට  යම් පදනමක් වැටෙන බව මට හැඟෙන්නට වුයේ විපුල් දිගටම මගෙන් මුදල් ගෙන කොළඹ ඉන්න බෑ කියා රස්සාවක් සොයාගැනීමත් සමගය.

ඔහු රස්සාවට ගියේ ඒ කලේ ප්‍රසිද්ධ "විචිත්‍ර ධර්ම කථික " තරුණ හාමුදුරුවන් කෙනෙක් ගේ    ලේකම් ලෙසයි.

මේ හාමුදුරුවන් වහන්සේ නිතර රුපවාහිනි වල මතුවන , රැස් විහිදෙන පෙනුමක් ඇති කෙනෙකි.  මා කොතරම් එපා කීවද විපුල් මසකට රුපියල් 20000 ක රැකියාවට  එම  පන්සලට ගියේය.

ඔහුට තිබුණේ  පිට රට ඉන්නා දායකයින්  ලක්ෂ තුන බැගින් වෙන්කර භාර ගන්නා කළුගල් වලින් හදන අටවිසි බුදු පිළිම  වලට ලැබෙන ආධාර  ගණුදෙනු සහ එකල රජයේ ප්‍රසිද්ධ ඇමති බිරින්දෑ වරු ආදීන් පන්සලට දෙන ආධාර ලැයිස්තු ගත කිරීම ආදී  රාජකාරින්ය.

මේ වනවිටත් මම දිගින් දිගටම විපුල් හා ලෙනදොර සමග දුරකථන ගණුදෙනු කලේ ඔවුන් දෙදෙනා  විභාගයට  සුදානම් වෙමින් සිටි නිසයි.

එහෙත් එක් දිනක විපුල් හා මා අතර ඇති වූ දුරකථන සංවාදයකින් පසු මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තු ද කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය.

"මල්ලී කොහොමද දැන් වැඩ?  පන්සලේ වැඩ ලේසියිද?"

"ඔව් ..ඔව් අය්යා .මට තියෙන්නේ දායක දායිකාවන් දෙන මුදල් පොත් පත් ලේජර වල සඳහන් කරන්න "

"හාමුදුරුවෝ දන්නවද ඔයාට කොමර්ස් වලින් බී එකයි සී තුනක් තියෙනවා කියලා ?"

"ඔව් .. ඔව් .. ඒකනේ  බුදු පිළිම හදන්න මේසන් කෙනෙක් ලෙස රස්සාවකට ඉන්ටවිව් කරලා මට ලේකම් කමක් දුන්නේ '

"ඒක නෙවෙයි ඔය හාමුදුරුවෝ දිලිසි දිලිසි ඉන්න කෙනෙක් නේද ? අමුතු පාටක සිවුරක් එහෙම ඇඳලා? "

"ඔව් අය්යා.. හාමුදුරුවන්ට කුටියේ ඉඳලා බුදුගෙට යන්න උඩින් පාරක් හදලා තියෙන්නේ ?"

"ඇයි ඒ.. හරිනම් උපාසකයින් එක්ක කතා කර කර යන්න එපැයි "  මම විමතියෙන් ඇසුවෙමි..

"ඇයි එන ගෑණු කට්ටිය  උන්වහන්සේ ගේ ඇඟ අතගාන්න පොරකනවා කියලා එකෙන් බේරෙන්න නේ "

විපුල් පැවසුවේ මා  පුදුමයට පත් කරමිනි.

"ඒක නෙවෙයි අය්යා මේ හාමුදුරුවන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක  අට විසි බුද්ධ වන්දනා  ගල් පුවරු වල ලියන එක .

ලෝකේ හැම රටකම මිනිස්සු ආධාර කරනවා.  මම නේ ලේකම් වැඩ කරන්නේ . මාර සල්ලියක් එනවා අය්යා.

එක ගල් පුවරුවක් ලක්ෂ තුනයි. ,

මේ ඊයෙත් කැනඩාවේ නෝනා කෙනෙක්  ලක්ෂ තුනක් දුන්නා.  

විහිලුවකට නෙවෙයි අය්යා . අය්යත් එකක් ගන්න තියෙන්නේ.. ලක්ෂ තුනක් විතරනේ යන්නේ "

විපුල් කියාගෙන ගියේ මා පිංකම් දෙස බලනා ආකාරය නොදන්නා පරිද්දෙනි.

මා මෙතෙක් ඔහු සහ අනෙක් තිදෙනෙක් වෙනුවෙන් කලේ "පිං කමකි " 

 ඒ මගේ හිතට සතුටක් ලබා දෙන , එමෙන්ම රටට ලෝකෙට වැඩක් වෙන "මගේ වර්ගයේ පිංකමකි".  

කතාවේ හැටියට විපුල් හිතන්නේ මට පිනක් ලැබීමට නම්  මේ අසපු හාමුදුරුවන්ගේ  ගල් පුවරුවක් වෙන් කල ගතයුතු බවය.

"දැන් කොහොමද විභාගේ වැඩ ? කරගෙන යනවා අය්යා. තවම විභාගෙට දිනයක් නැද්ද?  "

'ගත්තේ නෑ අය්යා මට තව ටිකක් දැනුම මැදි කියලා හිතුණා"

දැන් දැන් මගේ විපුල් ගැන තිබු බලාපොරොත්තුව අඩුවෙනවා මෙන්ම ඉවසීමේ සීමාවද ඉක්මවා යමින් පවතී.

"මල්ලී මම ඔයාට රුපියල් විසි පන්දාහක් එවනවා ගිහිලලා විභාගෙට සල්ලි බඳින්න . 

නිකන් හරි එක පාරක් කරලා බලමු . ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියලා හරි බලා ගත්තැකි නේ ?

අන්න ලෙන්දොර නම් නුවර  බ්‍රිටිෂ් කවුන්සිල් එකේ විභාගේ ලියනවලු .."

අවසානයේ මම විපුල්ට  පැවසුවේ .....

"මේ උඹ ගැන මගේ තිබෙන අන්තිම බලාපොරොත්තු වයි"  යන්න නොකියා කියමිනි.

ලෙනදොරට මුදල් යැවූ අවස්ථාවේම විපුල්ටද  මුදල් යැව්වෙමි. ඒ ඔහු එපා කියද්දිය.  

ලෙනදොර විභාගය කල අතර ඔහුට තිබුණේ  IELTS   ලකුණු තුනයි දශම පහක් පමණි.

මා ඒ අසා ඉතාමත් සතුටු වුයේ  තව කිහිප වරක් විභාගය කළහොත් ලෙනදොරට අනිවාර්යයෙන්ම  ඔස්ට්‍රේලියාවට යා හැකි බව දැනගෙන සිටි නිසයි.

"මල්ලී මේ රිසල්ට් එක සැහෙන්න හොඳයි . ආයිත් කරන්න කියා ඔහුට දෙවැනි වතාවටත් විභාග ගාස්තු යැව්වෙමි.  "
ලෙනදොර ඇත්තටම විභාගේ කර තිබු අතර ඔහු විභාග අංකය මට ලබා දුන් නිසා එය සත්‍ය බව දැන ගත්තෙමි.

විපුල් විභාගේ කොළඹ කල බවත්  ලකුණු හතරක් ලබා ගත් බවත් අපේ නංගි මට පැවසුවාය.

"චුටි අය්යා ආයේ සල්ලි එවන්න එපා . එයා IELTS   ආයි කරන්නේ නෑ කිව්වා.. " අපේ නංගි  විපුල්ගේ ඔසී ගමන සම්බන්ධ සියළු දොරටු වැසි ඇති බව මට දැනුම් දුන්නාය. 

ලෙනදොර දෙවැනි වර විභාගය කර ලබාගත්තේ ලකුණු හතරක් හෝ හතරයි දශම පහකි.  

ඔහුද ඉන්පසු ඕස්ටේලියා එන අදහස අත  හැරියේය.






පසු සටහන:


මේ දෙදෙනාම කුරුණෑගල පැවැත්වූ ඉදිකිරීම් පිලිබඳ උපාධියක් කීරීමට තේරුණත් ( ගඩොල් ඇතිරීමේ සහතික පත්‍රයේ ඊළඟ පියවර) ඒ සඳහා ඔවුන්ට කාලය සොයාගැනීම ගැටළුවක් විය ( ළමයින්ගේ සහ පවුල් වල රාජකාරි නිසා).   

විපුල් පංසලට එන ප්‍රධාන දායිකාවක් ( එකල ප්‍රවාහන ඇමතිගේ බිරිඳ) හරහා අරලගන්විල ඩිපෝවේ රස්සාවකට ගියේය.

ලෙනදොර තමන් උගත් ඉංග්‍රීසි සහ පරිගණක දැනුමෙන්  ප්‍රයෝජන ගෙන දැන්  "ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්" ලෙස තමන්ගේම රැකියාවක් කරයි.  

මේ කතාව  ඕස්ට්‍රේලියාවේ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් වී ඇති මගේ අතීසාර මිත්‍රයා චමින්ද රාජපක්ෂට  කීවා මතකය.

ඔහු මට ගොඩක් දැන මුතුකම් දී මෙන්න මේ  වාක්‍යයෙන් කතාව අහවර කළේය..



"දුක් වෙන්න එපා මචං  .. අපිට අශ්වයා වතුර ලඟට ගෙනියන්න පුළුවන් .. එත් ඌට වතුර පොවන්න අපිට  බෑනේ...උඹ කරන්න හැදුවේ හොඳ දෙයක් .. උන්ගේ වෙලාවට ඒක හරිගියේ නෑ..."



Monday, 18 July 2016

ඔස්ට්‍රේලියාව පෙනෙන නොපෙනන මානයේ...


ඉඹුලාන  මහතාගේ  ආයතනයෙන් පැවැත්වූ  පෙදරේරු  ( ගඩොල් ඇතිරීමේ ) පාඨමාලාව සාර්ථකව නිමකල අපේ කට්ටිය  Mason NVQ level IV සහතික  ලබා ගත්හ.




මේ වනවිට  මම  ඕස්ට්‍රේලියාවේ  මෙල්බන් නුවර සිටි  එවකට ලංකාවේ වුර්තිය පුහුණු අමාත්‍ය අංශයේ ලේකම් තුමාගේ  පුත් "මිතිල  පාතේගම " සමග දුරකථන මගින් සම්බන්ධ වී සිටියෙමි.




මිතිලගේ  අංකය මට ලබා දුන්නේ  එය ඉඹුලාන ගෙන් ඉල්ලා ගත්  අපේ ලෙනදොර මල්ලී විසිනි.

මිතිල  හා මා අතර ඇති වූ සාකච්චා ඉතා සාර්ථක විය. මිතිල  ලංකාවෙන්  ඕස්ට්‍රේලියාවේ  බටහිර  ප්‍රදේශයට   මේසන් වරු ගෙන්වන  ද්විපාර්ශවිය ගිවිසුම ගැන සියළු විස්තර මට සපයා දුන්නේය.


එම ගිවිසුම  අත්සන් කර තිබුණේ  බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ  ටෙක්නිකල් කොලිජියත්   (TAFE WA)  NITA SL දැන් වුර්තිය පුහුණු විශ්ව විද්යාලය   සමගයයි . 

ඒ මිතිලගේ තාත්තා ස්ථිර ලේකම් ධුරය දැරූ ශ්‍රී ලංකාවේ  වුර්තිය පුහුණු හා විදේශ රැකියා අමාත්‍යන්ශයේ මැදිහත් වීම මතයි.

මෙම විශ්ව විද්‍යාලය  රත්මලාන  ප්‍රදේශයේ පිහිටා ඇති අතර  ලෙනදොර හරහා මා හඳුනා ගත්  උයන්හේවා මහතා තවමත් එහි කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරයි.



මිතිල සඳහන් කල තොරතුරු, ඉඹුලාන මහතා සමග වූ දුරකථන සාකච්චා සහ  උයන්හේවා  මහතාගේ  සමග ඇති වූ සකච්චා වල ප්‍රතිඵලය වුයේ ඇමතිගේ චිට් එකෙන් එන හතලිහක කණ්ඩායම සමග අපේ හතරදෙනාට ද ඔස්ට්‍රේලියාවට ඒමට  සියළු වැඩ කටයුතු සැලසෙන බව ස්ථිර වීමයි.

ඒ පදනම මත උයනහේවා මහතා වුර්තිය පුහුණු අමත්යන්ශ්යෙන්  ඉංග්‍රීසි ඉගැන්වීමේ කඩිනම් පාඨමාලවට  තමන් ලඟට ආ හතලිස් දෙනා අතරට අපේ හතර දෙනාද  රිංගවා ගත්තේය.

ඒ අනුව මගේ සියළු සැලසුම් පොතේ හැටියට සිදුවුවහොත් වසරක් දෙකක් අතුලත  අපේ මස්සිනා වාරු පැයට ඩොලර් හතලිහක -පනහක වැටුපක් ලබන රැකියා ලබා බටහිර ඕස්ට්‍රේලියාවේ පදිංචියට එනු ඇත.

මා පිටරට ඒමට කල කැපකිරීම් හා මහන්සිය සලකු විට ඔවුන්ට කරන්නට ඇත්තේ ඉතා සුළු වැඩ කොටසකි.

ඉංග්‍රීසි භාෂාව සහ "අපේ අය "


මේ අතර අපේ කට්ටිය චමරිය ජයටම කරගෙන යමින්  IELTS අරමුණු කරගෙන කෙරුණු උයනහේවා විසින් වුර්තිය පුහුණු විශ්ව විද්යාලය තුල පැවැත්වූ  ඉංග්‍රීසි පංතියට  සහභාගී වූහ.

"හලෝ මිස්ට උයනහේවා  .. මම කවිඳු  කතාකරන්නේ ? කොහොමද ඔයාලගේ වැඩ පිළිවෙල?"

ඉංග්‍රීසි පාඨමාලාව මැද හරියකදී මා ගත් දුරකථන ඇමතුමකි.

"හොඳයි ඩොක්ටර්  කරගෙන යනවා.  ඔයාගේ  නෑදෑයෝ හතරදෙනා නම් හරි උනන්දුයි.

වැඩියෙන්ම අර ලෙනදොර කියන එක්කෙනෙයි  විපුල් කියලා  එක්කෙනෙක් ඉන්නේ... එයයි.

ඒ දෙන්නා මට නිතරම කියනවා කොහොමහරි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තමයි පස්ස බලන්නේ කියලා .

ඔයා එයාලා වෙනුවෙන් වෙන මහන්සිය ගැනත් එයාලා මට නිතර මතක් කරනවා.

ඩොක්ටර් කරන්නේ හරි හොඳ වැඩක්..

මේ වගේ උවමනාවකින්  ඉගෙනගන්න කට්ටියක් මට ලබා දුන්න එකත් ලොකු දෙයක් ..

අර හතලිහට විතරක් ඉගැන්වුවා නම් මට මේක එපා වෙනවා.  "

මගේ අදහස ටිකෙන් ටික මල් ඵල ගැන්වෙමින් තිබේ.. ලෙනදොරලා නියම උනන්දුවෝ ලෙස වැඩ කරති. ඒ නිසාම  උයන්හේවා ද ගුරුවරයෙක් ලෙස  ආත්ම තෘප්තියක් ලබයි..



එහෙත්  ඔහු නොදන්නා දෙයක් ඇත.

 දිනපතා දුරකථන ඇමතුම් ගනිමින් , සමහර විට ස්කයිප් හරහා ලෙනදොර ලාට ඉංග්‍රීසි වචන සහ යෙදුම් කියාදෙමින්  මා ඔවුන් උනන්දු කරන හැටිත්


" යකෝ ..ඉංග්‍රීසි කියන්නේ පණ යන්න දෙයක් නෙවෙයි .  

ඕක  භාෂාවක්.. 

ඉංග්‍රීසි කියන්නේ මරණ වරෙන්තුවක් නෙවෙයි.  

තොපි මොකද ඕකට ඔච්චර බය? 

තොපිට අමු කුනුහරුප ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වගේම  ඕකත් පුළුවන් වෙන්න ඕනේ.. 

මීහරක් නොවී ලැබෙන චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා.. 

මෙහෙම චාන්ස් එකක් ආය එන්නේ නෑ උඹලට "


වැනි දොස්තර කෙනෙකුට හෝ මස්සිනා කෙනෙකුට නොගැළපෙන භාෂාවලින් පවා මා ඔවුන් අමතන බවත් ..

උයනහේවා   දන්නේ නැත.

මම ඒ දිනවල  සමහර අවස්ථා වලදී  ( විශේෂයෙන්  ඉංග්‍රීසි ඉගෙනීමට  ඇති  කම්මැලිකම පෙන්වූ අවස්ථා වලදී )  අපේ සොයුරියන්ගේ  වල්ලභයන් ඇමතුවේ  ...

එදා   අප මග නැගුමේ අවසාන අදියරේදී  ඩිංගිරි මාමා ඇමතුවා  වැනි වචන වලිනි.

ඒ සියළු කැපකිරීම් අවසානයේ  ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ඇති  භය/ අපහසුව නිසා  මේ අය  ඕස්ට්‍රේලියා ගමනින් ඉවත් වේ දැයි ඇතිවූ සැකය නිසාය.

ඒ වෙනුවෙන්   වැය වූ  මගේ  වටිනා කාලය හා ශ්‍රමය වතුරේ යාවි දැයි  සිතුනේ වුවද මේ වන විටත්  මා බොහෝ සෙයින් "ගඟට  හිනි කපා තිබු කෙනෙක් නිසා "  ඒ ගැන මට ලොකු කනගාටුවක් තිබුනේ නැත.




පංසලේ චමරිය



පසුගිය කළාපයෙන් 

අපේ  මස්සිනාලා   තුන්දෙනා ටත් නිම්මිගේ මස්සිනාටත්  අප සිටිනා රටට පැමිණීමට  අවශ්‍ය මුලිකම සුදුසු කම ලෙස  certificate IV brick layering ( Masonry) පාඨමාලාවක්  සකස් කර ගත් හැටි පසුගිය කලාපයෙන් ඉදිරිපත් කළෙමි.

එම පාඨමාලාවට අවශ්‍ය ගාස්තුව මා විසින් ගෙවූ අතර අවසානයේ  අපේ අරලගංවිල මස්සිනා ලා තුන් දෙනාත් මාවනැල්ලේ නිම්මිගේ මස්සිනාත් යන සහභාගිකයින් හතර දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වූහ.

පාඨමාලාව  සැලසුම් කල ඉඹුලාන  මහතා මම ගෙවූ රුපියල් ලක්ෂ එක හමාරට සහභාගිකයින්  10 දෙනෙකුගේ උපරිමයකට සහභාගී විය හැකි බව ලෙනදොරට දන්වා තිබිණි.

මේ වන විටත්  අපේ ගමේ සමාජ පරිවර්තනයක්  ( ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ) සැලසුම් කරමින් සිටි මගේ හිත එක්වරම ඇදී ගියේ එහි මූලික අරමුණ වෙතටයි.

ගමේ ළමයින්ට අධ්‍යාපනයට රුකුලක් දෙන අතරේ ඔවුන්ගේ දෙමව්පියනට නව අදායම් අවස්ථා සලසා  දීම මගේ මූලික අරමුණ වී තිබිණි.

ඉඹුලාන මහත්මා  අපේ අය වෙනුවෙන්  ආරම්භ කරන  ගඩොල් ඇතිරීමේ පාඨමාලාවටට දහදෙනෙකුගේ උපරිමයක් පැමිණිය හැකියි කී සැණින් මා සිත් මේ ගමේ අනෙක් අයට රැකියා අවස්ථා සැලසීම වෙත ඇදුනේ ඉබේටමය.

මේ නිසා සුවඳේ අය්යට කතා කල මා  දැනට අපේ මස්සිනාලා මගේ වියදමින් යවන මේ වැඩ පිළිවෙල ඉදිරියේදී ගමේ තරුණ පියවරුන්ට හෝ රැකියා විරහිත තරුණයින්ට රට යාමේ වැඩ පිළිවෙලක් ලෙස තබා ගතයුතු බව දැනුම් දුන්නෙමි.

මේ අතර ලෙනදොරට අපේ ගම නැගුමේ වැඩ කල සුසන්ත  සහ කැමතිනම් පුවකා ( මොවුන් දෙදෙනාම අ. පො. ස. උසස් පෙළ වාණිජ විෂයයන් තුනක් සමත් අය වෙති ) ඔහුත් සමග කොළඹ යෑමට එකතු කර ගන්න ලෙස කීවෙමි.

අපේ විපුල් ට කතා කර මල්දෙණියේ මා සමග පාසැල් ගිය එහෙත් ඒ වන විට එලවලු වගා කරමින් හෝ සුළු රැකියා කරමින් සිටි වීරරත්න,  ශාන්ත සහ කවිඳු දිසානායක වැනි අයට මේ ගැන දන්වා 10 දෙනා සම්පුර්න කර ගන්නා ලෙස පැවසුවෙමි.

"පුවකලා සුසන්තලා ඕවට එන එකක් නෑ අය්යා " යැයි ලෙනදොර කිව් අතර  "මම හිතන්නේ නෑ  විරරත්නලා  ( මොහු 1990 අ. පො. ස. උ.පෙ. කළා අංශයෙන් ලකුණු 224 ක් ගත් අයෙකි ) ඕවට කැමති වෙයි කියලා අය්යා " යැයි අපේ මල්දෙණියේ මස්සිනා ගේ අදහස විය.

ඒ අනුව දසදෙනෙකුට ඉඩ ඇති පාඨමාලාව  හතර දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

මට අවශ්‍ය වුයේ මගේ මුදලට උපරිම සේවය ඉඹුලාන මහතාගෙන් ලබා ගැනීම සහ  අපි ගිය පාරේ ගමේ සිටිනා අනෙක් අයත් යැවීම වුවත්  අපේ මස්සිනාලා මගේ සිතැඟි තේරුම් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ඒ නිසාමදෝ  ඔවුන් අපේ ගම් දෙකේ  අනෙකුත් තරුණයින් ඒ පාඨමාලාවට එකතු කර ගත්තේම  නැත.

මේසන් වැඩ ඉගෙනගන්න කොළඹ ගිය මල්ලිලා





මේ අපේ විපුල්ට ලැබුණු සහතිකය  ( ඔහුගේ නම මකා මෙය සකස් කල අපේ  හිතවතාට ස්තුතියි) 

මේ වන විට අපේ තාත්තා  අප නිවසට පැමිණ මාස කිහිපයක් ගතවී තිබිණි.  අම්මා නංගිලා  , අක්කලා සහ ඔවුන්ගේ  දරුවන්ගෙන් ඈත්ව  ගෙවන මේ ජීවිතය  ඔහුට   තරමක් අපහසු බව මට තේරුම් ගිය දෙයකි.


එහෙත්  මගේ ග්‍රාමීය සංවර්ධන වැඩ සැලසුම තුලින් පටන් ගත් තාත්තා සහ ලංකාවේ සිටි අපේ අය නැවතත් ඔහු සමග සම්බන්ධ කිරීමේ වැඩ පිළිවෙල  මේ අපහසු ගතිය තරමක් මග හරවන්නට හේතු විය.


නොඑසේනම්  ලංකාව ගැන නිතර සාකච්චා කිරීම අපේ තාත්තා නිතර සතුටින් තබන්නට  හේතුවක් විය.


ඒ සතුට  මෑතකදී ආරම්භ කල  විපුල් ඇතුළු අපේ මස්සිනා ලා කොළඹ යැවීමේ  වැයමත් සමග තවත් පියවරක් ඉදිරියට ගියේය.  


ඒ දිනවල මා විශ්ව විද්‍යාලයේ සිට නිවසට පැමිණි වහාම කරන්නේ ස්කිය්ප් හෝ මගේ ජංගම දුරකතනයෙන්  විපුල් ට හෝ ලෙනදොරට කතා කිරීමයි.


එවැනි එක් දවසක  ලැබුන දුරකථන ඇමතුමකි.  එහා පැත්තෙන් ඇහුනේ මෙවැන්නකි. 


"අය්යා මේ  මල්ලී කතා කරන්නේ . මම කොළඹ ගිහිල්ලා ඔක්කොම දේවල් කතා කරගෙන ආවා."


ඒ කතා කරන්නේ නිම්මිගේ මස්සිනා හෙවත් ලෙනදොර මල්ලියාය. 


"නියමයිනේ මල්ලී . මොකද  ඉඹුලාන මහත්තයා කියන්නේ. ?"


"අපි හෙට ගිහිල්ලා සල්ලි බඳිනවා.  අර පැත්තෙන්  රාමනායක අය්යා , විපුල් අය්යා එහෙම  එනවා කිව්වා. "

"කොහෙද මල්ලිලා නවතින්නේ ?   "

"ආ ... අය්යට මම කියන්නමයි හිටියේ මේ ගැන .  අපි ඉන්න යන්නේ අත්තිඩිය පැත්තේ පංසලක "

"දැනටත් එතන කට්ටිය ඉන්නවා . ඒ හාමුදුරුවෝ  මාසෙට රුපියල් පන්සීය ගානේ එක්කෙනෙක් ගෙන්ගන්නවලු "

"ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ට  අපි කතා කරා ".  

"හාමුදුරුවන්ට  අය්යා ගැන කිව්වහම  මාර සන්තෝෂයි  පිටරටක  ඉන්න දොස්තර මහත්තයෙක්  මෙහෙම වැඩක් කරවනවා කියලා .

මම කිව්වා අපේ අය්යා හාමුදුරුවන්ට  හරි කැමතියි එයා  ළඟදීම ඔබ වහන්සේට කතා කරයි කියලා "

"ඒක නෙවෙයි  .. මම හාමුදුරුවන්ගේ  මොබයිල්  එක ඉල්ලා ගත්තා  අය්යට දෙන්න කියලා . අය්යා කෝල් එකක් ගන්නවද එහෙනම් ?"

"හරි හරි මම  කතා කරන්නම් කෝ . නොම්මරේ කියන්නකෝ එහෙනම් ?"

ලෙනදොර මා ලවා හාමුදුරුවන්ට කතා කරවන්නට හදන්නේ  කිසියම් යටි අරමුණක් ඇතිව විය යුතුය. 

එය   මා ලවා හාමුදුරුවන්ට කතා කරවිම  මගින්  ඔවුන්ගේ  බෝඩින් ගාස්තු ව අඩු කර ගැනීම වැනි දෙයක්   විය හැකිය.  

ඒ සැණින්  මම අත්තිඩියේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ  ඇමතුවෙමි.  උන්වහන්සේ  අත්තිඩියේ පුණ්‍යරතන නම් හිමි නමකි.

"හාමුදුරුවනේ මම කවිඳු ජයසිංහ  අහවල් රටේ ඉඳන් කතා කරන්නේ.  ඔබ වහන්සේ අපේ මල්ලිලාට  ලොකු උදව්වක් කරනවා කියලා ආරංචියි. "

මම කතාව පටන් ගත්තෙමි. ඉස්කෝලේ යන කාලේ ඇත්තලපිටිය පන්සලේ ගිය කතා . 

අපේ ගමේ පන්සලේ  රාත්‍රී  තුන්සුත්‍රය  කී හැටි  වැනි දේවල් හරහා මගේ පන්සල් වලට ඇති නැඹුරුව උන්වහන්සේ සමග පැවසුවෙමි.

සකච්ච්චාව අවසාන හරිය සිදු වුයේ මෙලෙසය. 

"මහත්තයා හරි පින් ඇති වැඩක් කරන්නේ. තමන්ගේ නෑදෑයින් ට  හොඳ රැකියාවක් කරන්න අවශ්‍ය පාර පෙන්නන එක එහෙම වැඩක්..



බලමුකෝ අපිට ඔබතුමා වෙනුවෙන් කරන්න පුළුවන් උදව්ව මොකක්ද කියලා.  මහත්තයෝ ඔය ලමයි හතර දෙනා කොච්චර කල් කොළඹ ඉන්නවාද?"

"මාස දෙකක් විතර අපේ හාමුදුරුවනේ "

"එහෙනම් අපි මෙහෙම කරමු දොස්තර මහත්තයා.  මම මේ ළමයින්ට නොමිලේ ඉන්න ඉඩ දෙන්නම් මාස දෙකටම.  මේ ඔබතුමාගේ හොඳ වැඩේ වෙනුවෙන් මට කරන්න පුළුවන් එක උදව්ව තමයි ".

"එහෙමයි අපේ හාමුදුරුවනේ.. ගොඩක් පිංසිද්ධ වෙනවා ඔබ වහන්සේට.  අපි ලංකාවේ ආවහම එන්නම්කෝ පංසල බලන්න. "

මම ඉතා සතුටින් එසේ පැවසුවේ හාමුදුරුවන් කෙරෙහි ඇතිවූ සැබෑම ලෙන්ගතු කමකින් යුතුවයි.





මස්සිනාලගේ පන්සලේ චමරිය



පසුදා  ලෙනදොරට දුරකථන ඇමතුමක් ගත් මා ඔවුන්ට පන්සලේ නොමිලේ නවාතැන් ලැබෙන බවත් ඔවුන් පන්සලේ කුස්සියේ තම තමන්ගේ කෑම බිම පිළියෙළ කර ගත් යුතු බවත් සඳහන් කළෙමි.

ඉන් අනතුරුව  රුපියල් පනස් දහසක මුදලක් මල්දෙනියට යැව්වේ  අරලගංවිල සිට කොළඹ යන බස් ගාස්තුවත්  පංසලේ  සිටින අතර හතරදෙනාගේ ඉවුම් පිහුම් වියදම් ආවරණය කර ගැනීමත් වෙනුවෙනි.

ලෙනදොරගේ බස් ගාස්තුව  මාවනැල්ලට යැව්වෙමි.

කොළඹ ගිය මස්සිනාලා ටික  පන්සලේ චමරියක් පටන් ගත්තා මතකය.  අපේ අක්කගේ මහත්තයා චමරියේ මුදල් පරිපාලනයට ස්වෙච්ච්වෙන් ඉදිරිපත් වුවේ මගේ මුදල් අර පරිස්සමින් වියදම් කරන්නට විය යුතුය.

කාලය සෙමින් ගලා යයි දැන් අපේ කට්ටිය උදෙන්ම අවධි වී  ටෙක්නිකල් එකේ මේසන්රි හෙවත් ගඩොල් ඇතිරීමේ පාඨමාලාවට පිටත්ව යති.  

හවසට පැමිණ පන්සලේ චමරියේ උයාගෙන කති.  පන්සලේ බෝධි පුජා ආදියටද සහභාගී වෙති.

සෙනසුරාදා දිනයක  උදෑසන විපුල්ට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

"හලෝ.. කොහොමද ? මේ අය්යා කතා කරන්නේ "

"හලෝ හොඳින් ඉන්නවා. අද නිවාඩුනේ... "
කුක් කු කූ... කුක් කු කූ... 

"කොහෙන්ද මල්ලී ඒ කුකුලෝ අඬලන  සද්දේ එන්නේ ? "

"පන්සලේ කුකුලෝ ඉන්නවනේ අය්යා.. "

සරස්.. සරස්.. ස්රාස්.. සරාස්.....

"ඒ සද්දේ මොකක්ද විපුල් ?"

ආ... ඒ  අපේ සුදු පන්සලේ මිදුල අමදිනවා අය්යා . එයා අන්න බෝ මලුව  අමදිනවා..



"ඒක නෙවෙයි කොහොමද  brick layering  වැඩ ? නැගලා යනවද?  ඉඹුලාන මහත්තයා ඔයාලට හොඳට උගන්වනවද? "

"ඔව් .. ඔව්.. ඊයේ  ප්‍රැක්ටිකල්  ටෙස්ට් එකක් තිබ්බා  . අපි එක එක්කෙනාට  අඩි  6 X  8  බිත්තියක්  ගානේ බඳින්න දුන්නා "

"නියමයිනේ විපුල්  දැන් ඉතින් තියෙන්නේ හිමින් හිමින් ඉංග්‍රීසි කර ගන්න එක.  


"ඔව් .. ඔව්  . විභාග ගාස්තු හරි සැරයිනේ අය්යා  . රුපියල් පහළොස් දාහක් වෙනවා එක පාරක් කරන්න.. "

"හරි හරි .. ඔයාලට  ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ.. මම දෙනවා විභාග ගාස්තු ඔක්කොටම  . ඔයාලට තියෙන්නේ  මහන්සිවෙලා  ඉංග්‍රීසි කර ගන්න විතරයි."

"ඒ  වුනාට අපරාදේ නේ සල්ලි ෆේල් වුනොත් එහෙම ?"

"හරි ..හරි උඹලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ  . මම කියන විදිහට කරපල්ලා.. 

මම විභාග ගාස්තු ගෙවනවා .. උයනහේවා  සර් කට්ටියට  උදව් කරයි ඉංග්‍රීසි කර ගන්න.. "

"කෝ  රාමනායක අය්යා ? "

මම එසේ අසත්ම විපුල් දුරකථනයත් රැගෙන පන්සලේ වෙන තැනකට යන හඬක් ඇහෙන්නට විය..

"බ්‍රාස්.. බ්‍රාස්..බ්‍රාස්.. බ්‍රාස්..බ්‍රාස්.. බ්‍රාස්.."

"මේ ඉන්නේ අපේ අය්යා . එයා පොල් සම්බෝලයක් හදන්න පොල් ගානවා.  ලෙනදොර  අරහේ දර පලනවා.."

නියමයිනේ යකෝ.  උඹලා නෝනලා ළමයි අරහේ දාලා මෙහෙ ජොලියේ ඉන්නවා මට පින් දීපල්ලා පොඩි වෙනසක් හදලා දුන්නට...

මම දුරකථනය විසන්ධි කලේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු මසිතේ රඳවාගෙනයි... 



Sunday, 17 July 2016

ගඩොල් ඇතිරීමේ සහතික පත්‍ර අංක IV පාඨමාලාව



පෙර කලාපයෙන්  


ඒ  දෙදාස් හත  වසරේ මුල් භාගයයි.  මේ වන විට  මගේ උසස් අධ්‍යාපන  කටුයුතු වලටත් වසරක් පමණ ගතවී තිබිණි.

අපේ නිවසේ  මේ වනවිට  මා  ,නිම්මි සහ සුපුන් හැරුණු විට සිටි අනෙක් සාමාජිකයා වුයේ  2006 වසරේ  අග භාගයේ අපට එකතු වූ අපේ තාත්තා ය.

තාත්තා අපේ උදව්වට පැමිණියේ වුවද  ඔහු පැමිණීමේ මුඛ්‍ය පරමාර්ථය වුයේ  අපේ ලොකු නංගි ගේ සැමියා විපුල්  අප සිටිනා රටට ගෙන්වා ගැනීමයි.

ඒ වනවිට  මම අළුත් රටේ දියුණු වීමට හැකි ක්‍රම ආදිය  ගැන නිතර නිතර ස්කයිප්  තාක්ෂණය ඔස්සේ විපුල් සහ අපේ ගෙදර සිටි අනෙක් මස්සිනාලා සහ අපේ අක්කලා නංගිලා දැනුවත් කරමින් පසුවුයෙමි.

මා සහ නිම්මි මුදල් සෙවීම වෙනුවෙන් කරනා සියලු කැපකිරීම් අකුරක් නෑර  ඔවුන් හා පැවසුවෙමි.

ඒ නුදුරේදී ඔවුන් වෙනුවෙන් යොදවන්නට සිතා සිටින්නේ මෙසේ මගේ දහඩිය, ලේ , කඳුළු මිශ්‍රකර  එක් රැස් කල  ධනය බව  ඔවුනට ව්‍යංගාර්ථයෙන් පවසන මුවාවෙනි.

දිනක්  සති අන්තයේ  මා නිවසින් එලියට ගොස් සිටි මොහොමතක මගේ ජංගම දුරකතනයෙන් ගත්  ඇමතුමකි.

" හලෝ ඔය කතා කරන්නේ විපුල්ද ? "

"ඔව්  . ඔව්  චූටි අය්යා කොහොමද  තාත්තා එහෙම  සනිපෙන්ද ?"

"ඔව්  තාත්තා  සුපුනුත් එක්ක ගෙදර ඉන්නවා . අපි දෙන්නා මේ පොඩි රස්සාවකට  එළියට  ඇවිල්ලා ඉන්නේ . මෙහෙ අද උස්ණත්වය  අංශක  හතළිහයි .

ඒත් අක්කයි මමයි හෝ  ගාලා වැඩ කරනවා මේ වෙලාවේ සන්ස්ක්රින් එහෙම ගාගෙන "

"මල්ලි මෙහෙ මහන්සි වුනොත් හොඳට සල්ලි හොයන්න පුළුවන් .

ලංකාවේ වගේ අව්ව වැස්ස ගැන හිත හිතා ඉන්නේ නැති කෙනාට.

ඔයාලා වුනත් මෙහාට ඇවිත් හරියට මහන්සි වුනොත්  අවුරුද්දක් දෙකක් ඇතුලත ඔයාලගේ ප්‍රශ්න ඔක්කොගෙන්ම  ගැලවුනා වගේ තමයි.  "

"හරි හරි අය්යා මට තේරෙනවා .. අපිට ඔහාට එන්න නේ  අමාරු  . එන්න ක්‍රමයක් හදලා දෙන්නකෝ . මටත්  පුළුවනි මහන්සිවෙලා වැඩ කරන්න "

විපුල්  ඔහුට සහ මට අවශ්‍ය තැනට සාකච්චාව  රැගෙන ගියේය.

යටි හිතින් මම සුපුල්ට උදව් කරන්නට කැමතිය. ඔහු තරමක් මොඩ් කිරීමට සහ විනෝදයට බර  බව මම දනිමි.  මට අවශ්‍ය වන්නේ විපුල් අප මෙන් උත්සාහ වන්ත වී අප පෙන්වන පාරේ ඉදිරියට ගෙනයන්නටය.

ඒ වෙනුවෙන් අවශ්‍ය  ප්‍රතිපාධන  මේ වනවිට  මට නැත. මේ අව්වේ කර වෙමින් අප මහන්සි වෙන්නේ  අපේ ගෙදර වියදම් හොයනා අතරේ හැකියාවක් තිබුනොත් විපුල්ලාට   අතක් දීම සඳහාය.

විපුල් ලා  මට අවශ්‍ය පාරට ගැනීම  වෙනුවෙන්   මා දොස්තර කෙනෙක් වුවත් මෙවැනි වෙහෙසකර රැකියා කරමින් සිටිනා  බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.

එවිට  මා ඔවුන් වෙනුවෙන් වියදම් කරන්නට හිතා සිටිනා "මගේ දහඩිය  සල්ලි  වලට " නියමිත අගයක් ලැබෙනු ඇත.

 ඒ සියළු උත්සාහයන් දරා ඉංග්‍රීසි සහ  මම ඔවුන්ට කියා තිබු පරිදි  ගඩොල් ඇතිරීමේ  සහතික පත්‍ර  අංක IV  පාඨමාලාව සාර්ථකව  අවසන් කිරීම මගිනි.


ගඩොල් ඇතිරීමේ  සහතික පත්‍ර  අංක IV  පාඨමාලාව 


විපුල්  මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලේ මුල් අධියර ලෙස  මෙහි සිටි පැරණි ශ්‍රී ලාංකිකයින් සමග  සාකච්චා කළෙමි .

ඒ විශ්ව විද්‍යාල උපාධි නොලැබූ කෙනෙකුට  මෙරටට පැමිණිය  හැකි පහසුම ක්‍රමය  සොයා ගැනීම සඳහාය.

 සෙනසුරාදා හෝ ඉරිදා දිනක සුමින්ද අය්යාගේ  නිවසට ගිය විට එහි පැමිණෙන ඔහු වැනි වෙනත් මිකැනික් වරුන්ගෙන්  මා හැමවිටම අසන්නේ එකම ප්‍රශ්නයකි.

අපේ මස්සිනාලා මෙහාට ගෙන්වා ගත හැකි පහසුම ක්‍රමය කුමක්ද යන්න ඒ ප්‍රශ්නයයි.

විටෙක අයෙක් මෙවැනි අදහසක් ද  පල කළා මතකය.

"කවිඳු මම ඔයාට කියන්න කියලමයි හිටියේ.. තවම ඔයාගේ උපාධිය ඉවර නෑ නේද ?

අනිත් අයට  උදව් කරන්න  ඉස්සෙල්ලා ඔයාගෙයි නිම්මිගෙයි  අනාගතේ   සාර්ථක  කර ගෙන හිටියොත් නරකද ? "

ඒ සුමින්දලා ගෙදරදී  නිතර හමුවන මගේ  මස්සිනා ලා මෙරටට  ගෙන්වීමේ වෑයම ගැන ඇසු ප්‍රදේශයේ කලක් වාසය කල කෙනෙක් කි දෙයකි.

කෙසේ හෝ දිනක  මේ රටට සංක්‍රමණය  වීමේ  " කුසලතා ලැයිස්තුවේ "  ඉහලින්ම අත්තේ  බ්රික් ලේයරින් හෙවත්  මේසන් බාස් වැඩේ බව  සුමින්දගේ හිතවතෙක්  මා හා පැවසුවේය.

ඒ අනුව මගේ හිසේ විපුල් ලා පිටරට පැටවීමේ  හොඳම ක්‍රමය ට අවශ්‍ය සැලසුම සකස් වන්නට විය .

විපුල් ගඩොල් ඇතිරීමේ පාඨමාලාවකට  ඇතුල් කිරීමත් ඒ අතරම  IELTS 6 ක් ගැනීමට තරම් තත්වයකට ඔහුගේ ඉංග්‍රීසි සකස් කිරීමත් ඒ සැලසුම විය.

මේ වනවිට  ගම නැගුම  හා මග නැගුම  නිසා මා සමග මාස හතරක පමණ ඉතා සමීප ඇසුරක් පවත්වා  තිබු ලෙනදොර  මා හට මතක් වුයේ මේ අතරය.

"විපුල්ට  විතරක් නෙවෙයි  ලෙනදොරටත්  මේ පාර පෙන්වනවා "  මම සිතන්නට වීමි.

මා හා ඉතා සමීපව වැඩ කර තිබීම නිසා මගේ නම විකුණා ලංකාවේ එක් එක් ආයතන වලින් පහසුවෙන් වැඩ කර ගැනීමේ ක්‍රමය විපුල්ට  වඩා හොඳින්   ප්‍රගුණ කර තිබුනේ ලෙනදොරයි.

ඔහු යුධ හමුදා විශේෂ  බලකායේ වැඩ කරද්දී කොළඹ හැම තැනම කරක් ගසා  තිබීමද  මගේ සිතිවිල්ලට බල පෑවේය.

මා එසැනින්  ලෙනදොරට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

මේ වනවිටත්   මගේ  දුරකථන මගින් "ලෙඩ රෝග විෂ බිජ පෙවීමේ"  ක්‍රමය යටතේ  ලෙන්දොරටද රට පැනීමේ  උණ  තදින්ම  හටගෙන තිබිණි.

" හලෝ මල්ලි කොහොමද?  කොහොමද  පොල් වගාව එහෙම ? "

"හොඳට තියෙනවා අය්යා  . ලඟදි  මිස්ට පෝල් ඇවිල්ලා බලලා ගියා.  ග්ලිරිසීඩියා  ගෙනත් හිටවන්න කිව්වා අතරින් පතර  . ඒක කරන්න තියෙනවා "

" ඒක  නෙවෙයි මල්ලි  , රට එන්න පොටක් පෑදිලා තියෙනවා .

ඔයාට  කොළඹ ගිහින් බලන්න බැරිද  Brick Layering Certificate IV  කියන කෝස් එක කරන්න පුළුවන් කොහෙද කියලා ?  ඒ ගමන්ම  IELTS පන්ති ගැනත් බලන්න.







එහෙම වුනොත් ඔයාටයි . විපුල්ටයි. වෙන එන්න කැමති කිහිප දෙනෙකුයි එකතු වෙලා ඒ කෝස් එකට යන්න පුළුවන් නේ මම  වියදම් ඔක්කොම මගේ ගානේ දෙන්නම් "

"නියමයි අය්යා. මම හෙටම ගිහින් බලන්නම් . ඔයා ඔය රට ගැන කියන විස්තර අහලා මටත් හරි ආශාවක් ඇතිවුණා  ඔහේ එන්න. මම විස්තර බලලා සුපුල් අය්යටත් කියන්නම් "

"හරි හරි මල්ලි බලලා කියන්නකෝ . අපේ තාත්තත් සතුටුවෙයි  ඒ ගැන ඇහුවම "

මම දුරකථනය විසන්ධි කලේ ලොකු බලාපොරොත්තුවක්  ඇතුවය. අද හෙටම ලෙනදොර මට අවශ්ය විස්තර ලබාදෙනු ඇත .

ඒ අනුව එදා ගුවන් තොටුපලේදී වීපුල් මගේ අතේ එල්ලී කල ඉල්ලීම ඉටු කරන්නට මට හැකිවනු  ඇත.







මගේ උපදෙස් මත පසුදා උදේ කොළඹ ගිය ලෙනදොර  සැහෙන විස්තර  තොගයක්  හොයාගෙන තිබිණි.  ශ්‍රී ලංකා කාර්මික  අධ්‍යාපන  ආයතනයට  ගිය ඔහුට  ඉතා වැදගත්  පුද්ගලයෙකු හමුවී තිබිණි.

ඒ එහි ප්‍රධානි ඉඹුලාන  සිල්වා  මහතාය.  සිරිත් පරිදි "අපේ දොස්තර අය්යා මෙන්න මෙහෙම් දෙයක් කිව්වා " කියමින් සාකච්ඡාව  අරඹා ඇති ලෙනදොර  එය අවසාන කලේ ඔහුගේ දුරකථනය  හරහා  ඉඹුලාන මහතාත්  මමත් සම්බන්ධ කරමිනි.

ඉන් පසු ගෙවී ගිය දින කිහිපයේදී ඉඹුලාන  මහතා  හා මා  තද බල මිතුරන් බවට පත් වුයේ ලෙනදොර නම් අතර මැදියා ඉඹුලාන සමග කල මගේ ගුණ වැයීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මගේ උත්සාහය ඉහලින් අගය කල ඉඹුලාන  අපට වැදගත් ආරංචි රැසක් ලබා දුන්නේය.

ඒ  ඒ වනවිට පවතී රජයේ විදේශ රැකියා අමාත්‍ය වරයා  මැදිහත් වී  අප සිටිනා රටේ බටහිර ප්‍රාන්තයේ ඇති  කාර්මික විද්‍යාලයක් සහ ප්‍රාන්ත රජය සහ ඔහුගේ අමාත්යංශය  අතර ගිවිසුමක් ගසා ඇති බවත්, ඒ යටතේ ගඩොල් ඇතිරීමේ කඩිනම් පාඨමාලා වක් ඔවුන්ගේ  කාර්මික විද්‍යාලයේ ආරම්භ කර ඇතිබවත්ය.

එය හැඳින්වුයේ   ගඩොල් ඇතිරීමේ පාඨමාලා සහතිකපත්‍ර අංක IV යන නමිනි.



එය අප ජිවත් වූ  රටේ ටෙක්නිකල්  කොලිජියකින් දෙන  BRICK LAYERING  CERTIFICATE III   පාඨමාලා වකට  හැම අතින්ම  සමාන විය.

මේ පාඨමාලාවට තෝරාගෙන තිබුනේ එවකට පැවති  රජයේ ප්‍රාදේශීය  දේසපාලන බලවතුන් ලබා දුන් ලිස්ට් වලින් පැමිණ  විදෙස්ගත වන්නට බලා සිටි පිරිසකි.

මේ අයට  ගොඩොල් ඇතිරීමේ පාඨමාලාව අවසානයේ  මාස  දෙකක  කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාවක් ද සුදානම් කර ඇති බව  ඉඹුලාන  මහතා ගෙන් දැනගත්තෙමු.

මන්තී‍්‍ර චිට් එකෙන් ආ  මේ පිරිස්  මේසන්  පාඨමාලාව කලබලයකින් තොරව කලද  IELTS වලින් 6ක්  ගැනීමට  ඉල්ලක්ක  කර කරනා ඉංග්‍රීසි පාඨමාලාව ගැන කුරු කුරු ගෑ බව ඉඹුලාන මහතා ලෙනදොර හා පවසා තිබිණි.

"මන්ත්‍රී තුමා අපි රට යන්න තෝරා ගනිද්දී  ඔය ඉංග්‍රීසි ඕනි කතාවක් කිව්වේ නෑ.. දැන් ඉංග්‍රීසි කරන්න කියනවා අපිටනම් බෑ  ඕවා කරන්න "

ආදී වශයෙන්  සාර්ථක ව්‍යාපෘතියක් වීමට තිබු එම වැඩ පිළිවෙල පිටුපසට යන ආකාරයේ  අදහස් සහභාගිකයින් ගෙන් පලවී තිබිණි.

මෙම  ඉංග්‍රීසි  වැඩසටහන  නේවාසික  වැඩ සටහනක්  ලෙස පවත් වන්නට  සුදානම් කර තිබුනේ   එවකට  NITA SL නමින් හැඳින්වූ අද වන විට කාර්මික විශ්ව විද්‍යාලයක්  බවට උසස් වී ඇති රත්මලාන  ප්‍රරදේශයේ තිබු  ආයතනයකයි.

ඉඹුලාන  හරහා  එහි ප්‍රධාන කථිකාචාර්ය වරයා මට සොයා දුන් ලෙනදොර  ඔහු හා මා අතරද  සබඳතාවක් ඇති කළේය.

උයනහේවා  කෙනෙකු වූ ඒ මහත්මා අදටත් මාගේ මුහුණු පොතේ මිතුරෙකි.


සහභාගි වන්නන් ටම හැදු  ගඩොල් ඇතිරීමේ පාඨමාලාව (custom made bricklayer course)



අපේ මස්සිනාලාට  උදව් කිරීමේ උනන්දුවත් ඉතා උනන්දුවෙන්  මා පෙන්වා දුන් පාරේ ගමන් කරන ලෙන්දොරත්  දුටු  ඉඹුලාන  මහත්මා අපේ  කට්ටිය වෙනුවෙන්  වෙනම custom made පාඨමාලවක්  සකස් කර දුන්නේය.


දහදෙනෙකුගේ උපරිමයකට  සහභාගී විය හැකි එය.  මාසයක කඩිනම්  පාඨමාලවක් වූ අතර  ගාස්තුව  රුපියල් ලක්ෂ එක හමාරකි.

මම කිසි හාවක් හුවක් නැතිව  ලක්ෂ එක හමාරේ ගාස්තුව ගෙවන්නට කැමැත්ත පලකලෙමි.  ලෙනදොර හා විපුල් ඊට සහභාගි වන්නට් කැමැත්ත පළකළහ  . 

මේ වන විට අපේ මස්සිනා ලා හතර දෙනාගෙන්  දෙදෙනෙක්  රජයේ රැකියාවල  නිරත වී සිටියහ  . 

ඒ  අපේ පොඩි නංගි විවාහ කරගත් සුදු  සහ  අක්කා විවාහ කරගෙන සිටි   රාමනායක අය්යා ය.

විපුල් සහ ලෙනදොර රට එන්නට සුදානම් වන බව සැලවූ ඒ දෙදෙනාද  මම ගෙවූ ලක්ෂ එක හමාරක ගාස්තුව යටතේ  ගඩොල් ඇතිරීම ඉගෙනගැනීමට එකතු වුහ ඒ  මාසයක  නිවාඩු තම තම ආයතන වලින් ලබා ගනිමිනි.

මේ අය  ගඩොල් ඇතිරීම ඉගෙනගත් වහාම  රජය මගින් ලබාදන  නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවට  නොමිලයේම ඇතුල් කර දෙන්නට  උයනහේවා මහතා  මට පොරොන්දු විය.

ඒ ලෙනදොර , විපුල් ඇතුළු  සියලුදෙනාගේම  පිටරට යාමේ ඇති සැබෑ උවමනාවත්  ඔවුන්ට  අත දීමට මට ඇති සැබෑ  උවමනාවටත් අනුග්‍රහයක්  වශයෙනි.