Follow by Email

Monday, 9 May 2016

ජිවත් වීමට කොහොමත් බැරි මම කිරඹ ඔයට ආවා.....





ඒ එක්දහස්  නවසිය  හැත්තෑ නවය , අසුව වැනි කාල පරිච්චේදයකි.

අපේ ගෙදරට අල්ලපු ගෙදර ( පොඩි රාජලා ගෙදර)  හවසට  පැවැත් වෙන  සංගීත බජව් වලට  සමන්තත් මමත් යන්නට  පුරුදු  වී  සිටි කාලයකි ඒ.

ඩොලක්කය , බොන්ගෝ පෙයාර්  එක  සහ  මවුත් ඔර්ගන්  එකක්  තම සංගීත සාජ්ජ වලට යොදාගැනීමට   කොල්ලොම හතරක් සිටි එහා ගෙදර අය  පුරුදු වී සිටියහ.

ඊට  අමතරව  සිලි සිලි ගාන පොල්ගෙඩි  දෙකක් සහ  පෙනේරයක්  වැනි තවත් සංගීත  භාණ්ඩයක්  ( තාලම් පට ) ද  එහි තිබු සංගීත භාණ්ඩ අතර විය.

ඒ අය වයසේ පිලිවෙලට නන්දිපාල , විජේපාල  නොහොත්  ජානක , මිථුන පාල නොහොත් පොඩි රාජා සහ වංශ පාල නොහොත්  බාලා යන හතර දෙනාය.

මේ අයගේ ලොකුම අය්යා වූ නන්දිපාල  හොඳ ඩොල්කි සහ  බොන්ගෝ වාදකයෙකි.

ඊට අමතරව ලතා අක්කා ,  සුගුණා අක්කා සහ  චන්ද්‍රා අක්කා නමින් අක්කලා තිදෙනෙක් ද එහා ගෙදර විය.

එහා ගෙදර  ජානක ලා බජව්ව පටන් ගන්නේ  " රේල් පාරේ  මම යනකොට  කඩල බදිනවා... කඩල ටිකක් ඉල්ලනකොට  දෙමළි බනිනවා.. "  වැනි සිංදු වලිනි.

අපේ සමන්තත් ඒ කාලේ හොඳ බයිලා කාරයෙකි.  එකල  එහා ගෙදර තියෙන සාජ්ජ වල  බයිලා සැපයුනේ  සමන්ත ගෙන් සහ මගෙන්ය.

අප ගැයූ  ප්‍රසිද්ධ බයිලාවක්  වුයේ මරියසෙල් ගුණතිලක  ගැයූ  රණ මොනරයි  රණ මොණරියි   ගීතයයි.



මේ ගීතයේ වචන ටික මාගෙන්  සොරා ගැනීමට  පොඩි රජාගේ අය්යා  ජානක උත්සාහ කල හැටි මට හොඳට මතකය.

ඒ "චූටි  මල්ලි ඊයේ අය්යා කියපු සින්දුවේ  වචන ටික කියන්න පුලුවන්ද මට ලියා ගන්න"   යැයි කියමිනි.


මම  එය හිමින්ම අතපසු කලේ " මම අපේ අය්යගෙන්  අහලා ගෙනත් දෙන්නම් කෝ  ජානක අය්යා "  කියාය.

එහෙත් පසුදින හවස සිද්ධිය සමන්තට මතක් කල විට ඔහු මට පැවසුවේ

 " මෝඩයා වගේ සින්දුව ලියලා දෙනවා එහෙම නෙවෙයි . එහෙම වුනොත් බජව් වලට අපට තියෙන ඉල්ලුම නැති වෙනවා"  කියමින් අපේ වටිනාකම  රැකගන්නා ලෙසයි.

මේ සමන්තලා  අපි  කියූ තවත් සිංදුවක්



මිල්ටන් ගේ  රන් මුදු රන්මුදු  සහ  පැරදීලා  පලා ගියේ  නෑ කියන සින්දු දෙකත්  ඒ කාලේ  සමන්ත  නිතරම කියනවා..



කෙසේ වුනත් අල්ලපු ගෙදර සාජ්ජ වල අපට තිබු තැන වැඩි කලක්  රැඳී පැවතුනේ නැත.

අපට තිබු ඉල්ලුම නැති වන්නට හේතු වුයේ  කොළඹ වනාතමුල්ල පැත්තේ සිට හදිසියේ අපේ ගමට සේන්දු වූ අයෙක් නිසාය.



කිරඹ ඔය  මල්දෙණිය ගමට පැමිණි නව ගායකයා.




ඔහු නමින්  ආර් . ඇම් . සෝමපාල  නම් වූ අතර ගමේ බොහෝ දෙනා ඔහු හැඳින් වුයේ සෝමේ අය්යා නමිනි. 

මා සෝමේ අය්යා මුලින්ම දුටුවේ අපේ අල්ලපු ගෙදර සාලයේ තිබු බයිලා සාජ්ජයකදිය.

සාමාන්‍යයෙන් ඔහු සංගීත සැන් දැව පටන් ගන්නේ ඔහුගේම  ස්වතන්ත්‍ර නිර්මාණයක් උපයෝගී  කරගෙනයි.






" ජිවත් වීමට කොහොමත් බැරි මම  කිරඹ  ඔයට ආවා...

මට මොන මාරුද  මට මොන ගැනුද  - මම බඹසර රකිනා 

අනේ සුදු ... මම බඹසර  රකිනා..... "  




යන වචන  වලින්  ඇරඹුණු ගීතයකි ඒ.


මේ ගීතයෙන් සෝමේ කියන්නට උත්සහා කලේ තමා කොළඹ අතහැර  මල්දෙනියට  ආවේ කෙසේද යන්නයි..

සෝමේ අය්යා අපේ ගමට එන්නේ ඔහුගේ පුංච් අම්මා ( ඇත්ත වශයෙන් ඔහු ඇයට කිවේ අම්මා කියාය )  වූ අපේ ජේන් අක්කගේ  උදව්ව ඇතිවයි.

සෝමේ යනු කොළඹ පදිංචි වී සිටි ජේන් අක්කාගේ  එකම අක්කාට  පියෙක් නොමැතිව උපන් දරුවෙකි.

එහෙත් ජේන් අක්කගේ අක්කා පසුව හොඳ පෙලවහක් කර ගෙන වනාතමුල්ලේ ස්ථිර පදිංචිය වී තිබේ . ඒ තම  පියා නැති වැඩි මහල් දරුවා  අමතක කරන ගමන්ය.

කලක් කොළඹ පැත්තේ සිටි සෝමේ  පසුව මිරහවත්ත පැත්තට පැමිණ තිබුණේ ඒ පැත්තෙන් කසාදයක් කර ගැනීමත් සමගයි.

මට මතක හැටියට සෝමේ ඒ සිද්ධි වලට අදාල යම් යම් අදහස් ඉහත ගීතයට ඇතුලත් කර තිබුණේය.

කෙසේ වෙතත් සොමේගේ පැමිනිමත්  සමග අපට එහා ගෙදර පැත්තේ තිබු බයිලා චක්‍රවර්ති පට්ටම් ඉවත් වී ගියේය.

එපමණක් නොව සෝමේ ගේ දුවලා දෙන්නා ( ලොකු දුව සහ  කළු ) සහ  පුතා ( පුතා ) නිසා අපට ඒ වන තෙක් පල්ලැහැ ගෙදර ජේන්  අක්කාගේ සුරතලුන් ලෙස තිබු තැනද අහිමි වන ලකුණු පහල විය.

සෝමේ ගේ  සංගීතය  නැගලා යැමට  නම් ඔහුට අරක්කු වීදුරුවක්  සහ ගංජා සුරුට්ටුවක්ද  ලබා දිය යුතුය.

එහා ගෙදර රන් බන්ඩේ මාමා  හොඳ රහ මෙර  පානය කරන්නෙක් නිසා මෙය එතරම්  ගැටළුවක් නොවිය.

එසේ සප්පායම් වූ සෝමේ බොහෝ විට ඔහුගේ ගීත පටන් ගන්නේ  කටින් පොඩි වාදනයක් ද දමමිනි.



" නන නාල්  නනල්  නාල්  නනල්  නන  නන  නල් නා .....

ලොකු ලොකු හෝටල්  ගානේ  ....."  සෝමේ කියූ තවත් ගීතයකි.







මා සිතනා  හැටියට  මේ ගීතය  එහි  ආරම්භක  ගීතයයි..





ටිකක් රෑ  බෝ  වන විට  සෝමේ  හොඳටම පදම් වෙයි  . සමන්ත , මම  සහ එහා ගෙදර  සියලු දෙනා  පැට්‍රොල් මැක්ස් එකක් එල්ලූ සාලයේ  වටේට වාඩි  වී  සිටින්නෙමු.

පුටු දෙකක් එකට  තබා සදා ගත් තැනක සිට නන්දි අය්යා  ඩොල්කිය  ගසයි . වටේ  සිටිනා අපේ අත්පුඩි  තාලයට පාද තබමින් සෝමේ  රැඟුමක්  ඉදිරිපත් කරයි .

ඒ අත් දෙක දෙපැත්තට  වනමින්  පැට්‍රොල් මැක්ස් එක  ලඟම කැරකෙන ගමන්ය.

ඔහුගේ අනෙක්  ප්‍රියතම  බයිලාව  මෙහිදී ගැයූ හැටි මට තාම  මතකය.




" නන නාල්  නනල්  නාල්  නනල්  නන  නන  නල් නා .....  මම  ගියා අපායේ...."

සෝමේ තම ගායනය  ආරම්භ  කළේය.  

දඩාන්,,  යන හඩක්  සෝමේ සිටි දෙසින් අපට ඇසුනි.  


නරඹන අපේ ඇස්  සොමේගේ  හිසට ඉහලින් වූ පැට්‍රොල් මැක්ස් එක වෙත යොමු වුයේ ඉබේටමය.


  පැට්‍රොල් මැක්ස් එක  වේගයෙන්  එහාට මෙහාට  පැද්දෙනවා පෙනේ..

  සෝමේ  අත් වනමින්  නටන අතර  ඔහුගේ  හිස පැට්‍රොල් මැක්ස් එකේ  වැදීම ඊට  හේතුවයි.









මෙහි එන සෝමේගේ  කතාව   අප  ලඟදි අපේ ගමේ ආරම්භ කල  ප්‍රජා සත්කාර  වැඩ වලටද  සම්බන්ධ  එකකි.

මා බ්ලොග් ලිවිම  ඇරඹුවේ  සොමේලාගේ  දුවට ගෙයක්  හදා දෙන්න  අප තීරණය කල කාලයේ   මගේ  හිතවතුන්  දැනුවත් කීරීමට  මුහුණු පොතේ දැමු ලියවිල්ලක් සමගයි.

එය තිලක සිතට  පෙන්වා මගේ බ්ලොග් ලිවීමේ  ආශාව  ඔහු හා සාකච්චා කිරීමෙන් අනතුරුව  මගේ  ප්‍රථම  බ්ලොග් පොස්ට් එක  කළුලට ඉඩම ලබා දුන් චමින්ද  රාජපක්ෂ ගැන ලියමින් ඇරඹුවෙමි. 


ඔබට මතක  තිබේ නම්  අප  අපේ ගමේ මුලින්ම  කල නිවාසය ලැබුණේ  සොමේගේ  මද්දුම   දුව වූ  "කළු" ටයි.


ප. ලි.  මෙය මාගේ සාර්ථක  අනුනවවෙනි  පොස්ට් එකයි .. අදින් මාස 13 කට  පෙර ආරම්භ කල බ්ලොග් ලිවිම  පොස්ට් 99 ක්  දක්වා රැගෙන  යාමට  මා උනන්දු කල සැමට  ස්තුතියි....

34 comments:

  1. Happy century. . :) kudos to the untiring effort.

    ReplyDelete
    Replies
    1. මට නම් පෙනෙන විදියට මේ 97වෙනි ලිපියයි. සියවෙනි ලිපිය ලඟදීම ලියන්නට ලැබේවා!

      Delete
  2. කවිඳු, ඒ දවස්වල අපේ ගෙදරත් රෑට පොඩි සාජ්ජයක් යනවා. අපේ තාත්තයි, අයියයි, මායි පටන්ගන්නා බජව්ව ඉවර වෙන්නේ අම්මා, අක්කලා සහ නංගී ද ගී ගැයීමෙන් පසුවයි. ඒ කාලේ අපේ තාත්තාගේ ජනප්‍රිය ම ගීත දෙකක් මට මතකයි. පොඩිකාලේ ඉඳ දුටු සිහිනේ, බෝල බෝල මැටි එක එක ගේනව කියන ගීත දෙකයි ඒ.

    මාස 13ඒ සියයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්... අපේ ගෙදර අනිත් අය බජව්වට එකතුවෙනාවා අඩුයි. හැමදාම හවසට බොන්ගෝ සද්දේ ඇහෙනකොට සමන්තත් මමත් වැට පැනලා එහා ගෙදරට දුවනවා සංගීතෙට එකතු වෙන්න.. අපේ සාජ්ජේ බෝල බෝල මැටි කියන සින්දුවත් තිබුනා..

      Delete
  3. අපේ අම්මයි මායි සමහර හවස්වරුවලට ද්විපුද්ගල සංගීත ප්‍රසංග පවත්වනවා.. හඳඑළියෙ වාඩි වෙලා සින්දු කියන කොට දැනෙන්නේ පුදුම මිහිරක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපේ ගෙදර සාජ්ජ පැවැත්වෙන්නේ අපේ ගෙවත්තේ තිබුණ පේර ගහේ හෝ තව තුන් ඈඳුතු අලිපේර ගහක් තිබුනා ඒ දෙකෙන් එකක ඒ අපි දෙන්නයි අක්කයි තුන්දෙනා එකතුවෙලා දාන සංගීත සංදර්ශනේ .. ඉස්සර සමන්ත සින්දු පොත් ගෙනෙනවා නගරයේ තිබු "සිරි මංගල " එකෙන්

      Delete
  4. සියවැනි පොස්ටුවද රසවත් . මගේ සතුට හා සුබ පැතුම්!!.
    අයියාගේ හා මල්ලීගේ බයිලාවලට කැන්ගරු රටේ මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා. අපේ දැන් "එකට බයිලා ගහනවා" අඩුයි . වෙන වෙනම ඔය කැරියෝකි වලට සෙට් වෙනවා .

      Delete
  5. සිංදු කියන්න බැරිනිසාම සිංදු අහන්න විතරක් පුරුදුවුන එකෙක් මං....
    100ට උණුසුම් සුභපැතුම් කවිඳු....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුස්සා..

      Delete
  6. දැනුත් සමන්තලා, කවිඳුලා හොඳ හොඳ බයිලා ගහනවා ඇති යැයි සිතමි.

    අනුන් ගේ පදමාලාවලට කරන්න ගියා වගේ දැනුත් ගුරු මුෂ්ඨි තියා ගන්නවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික... තවම පොඩි පොඩි බයිලා ගහනවා. දැන් කිසි ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැහැ කිසිම දෙයක. මෙය රැකියා සොයා දීම ( අපේ ක්ෂේත්‍රයේ) කියන එකේදී අපි හොඳින් පෙන්නුම් කරලා තියෙනවා..

      Delete
  7. මට නම් පෙනෙන විදියට මේ 97වෙනි ලිපියයි. සියවෙනි ලිපිය ලඟදීම ලියන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. තුනක් පලවෙලා නැද්ද ..? මම සඟවපු පොස්ට් තුනක් ඇති..

      Delete
    2. ඇත්තටම 99 යි පලවෙලා තියෙන්නේ .... තව එකක් තියෙනවා කලින් ලියපු.. ඒක පොඩ්ඩක් එඩිට් කරලා දාන්නම් කෝ අද හෙටම එතකොට 100 තමයි....

      Delete
  8. මගේ සංගීත සාජ්ජ දැමිල්ල ඉස්කෝලෙට සීමා උනා. ඒ දවස්වල නටරාජ් කවකටු පෙට්ටියයි පෑන් දෙකයි අරන් ඒකෙං සංගීත කණ්ඩායම් මවනවා. අපිට සිංදු සම්පූර්ණයෙන් මතක නෑ. ඒනිසා ගහන්නෙ නන්ස්ටොප්.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්සර නටරාජ් සහ ශාප් කවකටු පෙට්ටි ඩ්‍රම් සෙට් එක්ක ඉස්කෝලේ සින්දු කිව්වා.. අපි කිව්වේ ඩෙස්මන් , නිහාල් නෙල්සන් , ජිප්සීස් ලගේ බයිලා.. මම පරණ පොස්ට් එකක් දැම්මා ඒ ගැන..

      Delete
  9. හහ් හා.. ජොලි බර මතක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජොලිම තමයි.. සෝමේ අය්යාගේ ඩාන්ස් එක මට මැවිලා පෙනෙනවා..

      Delete
  10. රසබර මතක සටහනක්.
    දැන් ගම්වල මිනිස්සුන්ගෙ ඔහොම එකමුතුවක් තියෙන්නෙ බොහොම කලාතුරකින්.

    වෙන්න 100 ට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඔය සාජ්ජ දාපු පාලලා සෙට් එක දැන් කුරුණෑගල පැත්ත හොල්ලන් ඉන්න බිස්නස් කාරයෝ..ලොකුම අය්යා පටන් ගත්තු බිස්නස් වලට මල්ලිලා තුන්දෙනාම එකතු කරලා ඩ=ගත්තා දැන් ඒ අය වෙන වෙන බිස්නස් සාර්ථකව කරන කට්ටිය..

      Delete
  11. රසවත් අතීතයක්. ඔබ බොහොම අපූරුවට ලියල තියනවා. 100 වෙනි සටහනටත් සුබ පැතුම් මේ එක්කම..:)

    ReplyDelete
  12. ස්තුතියි රවී.... ඒ කාලේ සෝමේ අය්යා මගුල් ගෙවල් , කොටහළු ගෙවල් වල එහෙම සංගීත සාජ්ජ වලට නැතිවම බැරි කෙනෙක්.. හැබැයි අපේ ගෙවල් වලට එයා ගෙන්වුවේ නෑ මට මතක හැටියට අපිට කොහොම හරි පුළුවන් වුනා අපේ බජව් ආවරණය කරගන්න..

    ReplyDelete
  13. සිංදු කියන්න පටන් ගත්තම බයිලා එකකින් නැවතුන අතීතයක් ඉස්කෝලේ යන කාලේ නම් තිබුනා.

    රසවත් අතීතයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්.. මේ දවස් වල මගේ මෝටර් රථයේ යන්නෙත් ජිප්සීස් බයිලා සි ඩි එකක්... අපේ පුතා අහන්න කැමති..

      Delete
  14. බයිලා කියන්නේ අපේ සංස්කෘතියට ඉතා ආදරනීය ලෙස බද්ධවූ අංගයක්. කවිඳු වාද බයිලා ගැන අහලා ඇතිනේ. මම කලකට පෙර වාද බයිලා කියලා පෝස්ට් එකකුත් ලිව්වා. එක සැරයක් අපි බ්ලොග් වාද බයිලා තරඟයකුත් තිබ්බා. සෝමේ දැන් වයසයිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ට් එකට. වාද බයිලා අහලා තියෙනවා .. පාරුවේ පුවක් මල්ලියේ පාරුවේ පුවක්.. යනාදී වශයෙන් .. මම බලන්නම් අරු.. ගේ පොස්ට් එක. සෝමේ ගේ ඉතිරි විස්සතරේ වෙන පොස්ට් එකකින්ම දෙන්නද? සෝමේ ගේ ප්‍රියතම සිංදුවක් මේකට ඇතුල් වුණේ නෑ ඒකත් දාලම..?

      Delete
    2. සෝමේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න.

      මේ තියෙන්නේ වාද බයිලා

      Delete
    3. වාද බයිලා කියෙව්වා . නියම පොස්ට් එකක්.. මගේ මුහුණු පොතෙත් ෂෙයාර් කළා. කමෙන්ට් කරන්නේ කොහොමද? මම ඔය ව්ල්ඩ් ප්‍රෙස් සීන් එක එච්චර දන්නේ නෑ..

      Delete
    4. කවිඳු....තෑන්ක්ස්....මම ඔය බ්ලොග් එක දැන් ලියන්නේ නැහැ. මට ඒ නිසා ඔය ටෙක්නිකල් සයිඩ් එක මතක නැහැ.

      Delete
    5. මම පස්සේ හොයා ගත්තා ඔන්න මම කමෙන්ටුවකුත් දැම්මා..

      Delete
  15. සුබ පැතුම් 100ට!

    බයිලා ගැනත් රසවත් අත්දැකීම් පෙළක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු.. සෝමේ ගැන ඊළඟ පොස්ට් එක ළඟදීම ලියන්නම් . එතකොට හරියටම 100 යි..

      Delete