Follow by Email

Friday, 13 May 2016

මනු සතා ලෝකේ ඉපදී.....








අපේ ගමේ සිටි හොඳම බජව් කාරයා වූ සෝමේ අය්යා  කොළඹ සිට අපේ ගමට සේන්දු වූ හැටි  ඔබට මතක ඇතැයි සිතමි .

එකල සෝමේ අය්යා ගමේ මගුල් ගෙවල් හා කොටහළු ගෙවල් වලට  නැතිවම බැරි චරිතයකි.

තරමක් තද කළු  කෙට්ටු ශරීරයකට හිමිකම් කී සෝමේ අය්යා තම තද කළු කොණ්ඩය  තරමක් දිගට වවා සිටියේය.

බොහෝ විට කළු පැහැති කමිසයක් සහ  කොටු සහිත හෝ ඉරි ඉරි සරමකින් සැරසී සිටින ඔහු බෙල්ල වටා ලේන්සුවකද බැඳ සිටියේය.

සිහින් දිගටි කකුල් දිගේම ගැට ගැහුණු ස්වභාවයක් ගත්  නහර ඉලිප්පී තිබෙන අයුරු දක්නට ලැබිණි.

"ඔය තියෙන්නේ ගංජා  ගැට " අපේ රාජු මාමා ඇතුළු ගමේ බොහෝ දෙනෙක්  එම නහර විස්තර කලේ  එලෙසය.

ගමේ  බොහෝ දෙනා විශ්වාස  කලේ ඒවා ගංජා බීමේ  ප්‍රතිඵල  විය හැකි බව ය.

සෝමේ අය්යා බොහෝ විට බිඩි  බිව් අතර විශේෂයෙන් ගංජා සුරුට්ටු බොන බවක් අප දැක තිබුනේ නැත.

එහෙත් ඔහු බජව් වලදී හැසිරෙන   විලාශය දුටු විට බොහෝ දෙනෙක් සෝමේ ගංජා ගසා පැමිණ ඇති බව විස්වාශ කරති.

"නන නාල් නනල් නාල් නනල් නන නන නල්නා  ...." කියමින් තමාගේම සංගීත කණ්ඩයක් ඔහු බොහෝ ගීතවලට  යොදා ගත්තේය.

අනතුරුව " ලොකු ලොකු හෝටල් ගානේ වැනි ගීතයකින්  සාජ්ජය ඇරඹෙයි.

සාජ්ජය නැගලා යන අතර හදිසියේම ගායනය නවත් වන සෝමේ  එක් වරම සීපදයක් කියයි.

" ආ .. ආ .. වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උණි.... ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනී..... ආ... වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී... දුප්පත් කමත්   වලිගය නැති ගොනා වැනී...."

මනු .. සතා ලෝකේ  ඉපදී...... මම  මුලා වුනා මගදී.... කියමින් කවිය අසා සිටින අප එකවරම  බෙග් මාස්ටර්ගේ ගීතයක් වෙත රැගෙන යයි.


ඩොලක්ක  හඬට  අනුගතවම  මේ  ගීතය  ගයනා  සෝමේ  අය්යා ගීතය  අවසන් කරන්නේ  ... ලල් ලල් ලල්  ලා ලා.. ලල ලල් ලල්  ලල් ලල්   ලා ල ලා..... යනුවෙන්  තාලය  අල්ලමිනි.  


එකල  සෝමේ රැකියාව ලෙස කලේ  ලි ඉරීමයි.  ගමේ තැන් තැන් වල පලංචි ගසා  ටුනා, ටර්පන්ටයින් හෝ  සපු  ගස් ඉරන  එක සොමේගේ  බඩ රස්සාවයි.

සෝමේ පලංචියේ උඩ හිඳ කියත ඉහලට අදිද්දී  පලංචියේ යට සිට එය පහලට ඇද්දේ සෝමේ ගේ  අතිජාත සගයා වූ  ගුණතිලක අය්යාය. 

දවල් කාලයේ ලී ඉරනා සෝමේ අය්යා හවස්  වෙද්දී  ලැයිමෙන් ගන්නා ගංජා සුරුට්ටුවක් දෙකක්  සහ යුරියා  චන්දරේ  ලා ගෙදරට  ගොස්  ලබා ගන්නා  රා කට්ටකින් ද  සප්පායම් වන බව  ගමේ  කවුරුත් දැන සිටියහ.

ඒ කාලේ  ගුණ තිලක  අය්යා  විවාහ වී නොසිටි අතර ඔහු අපේ  ගෙදරට එහා පැත්තේ තිබු එහා ගෙදර  සුගුනා අක්කා  සමග පයිරු පසානමක්  පැවැත් වුයේය.

 හැම රාත්‍රියකම පාහේ සෝමේ  හා සම්බන්ධ සිදුවීමක් අපට අසන්නට ලැබීම  ඒ කාලයේ  සාමාන්‍ය දෙයකි.

එසේ සිදු වූ එක් විශේෂ සිද්ධියක් මට  හදිසියේ මතක් වුයේ  එය සෝමේ ගේ හිතහොඳ කම ඉස්මතු වූ  එක් අවස්තාවක් ද වූ බැවිනි.

ඒ වනවිට වෙලාව රාත්‍රී නමය නමය හමාර පමණ වන්නට ඇත .

"මෙන්න හොරෙක්.... මෙන්න හොරෙක් .. අල්ලපියව්  ... මෙන්න හොරෙක් "

එහා ගෙදර පැත්තෙන් එකම කාල ගෝට්ටියක ශබ්දයක් ඇසේ.

අම්මා සහ තාත්තා ඒ  පැත්තට දුවයන විට සමන්ත අක්කා ඇතුළු ලමයින් ගොන්නට මමත්  එකතු වූයෙමි.

"බලන්න විමලා නංගි .. මුන්ගේ තියෙන භය නැතිකම වහලෙන් කඹයක් දාලා මේ  කෙල්ලගේ  කාමරේට බහින්න  හදලානේ  "

 කියමින් එහා ගෙදර නැන්දා අපේ අම්මා  ඔවුන්ගේ ගෙදර පිටි පස්ස   පැත්තේ තිබු කාමරයකට එක්කරගෙන ගියාය.

ඒ  සුගුණා  අක්කා නිදා ගන්නා කාමරයයි.

එහි උළු කැට  කිහිපයක් අයින් කල කිසිවෙක්  වහලේ පරාලයකට ගැට  ගැසූ කඹයක  අනෙක් කෙලවර සුගුණා ගේ  ඇඳේ  ගැටගසා  ඇත.

ඒ ආධාරයෙන්   ඇගේ කාමරයට බට  "හොරා " අසුවීමෙන්  පසු සිදු වූ කාල ගොට්ටියයි අපට ඇසී තිබුනේ.

දැන් දැන්  ඊට එහායින් තිබු ප්‍රේමරත්න ලා ගෙදර අයත්  තවත් එහායින් ජල රක්ෂිත වනාන්තරය අයිනට වන්නට තිබු සෝමෙලා  ගෙදර කට්ටියත් ශබ්දය ඇසී ඒ දෙසට ඇදෙන්නට වුහ.

මේ නිවසේ බයිලා සාජ්ජ වල  සාමාජිකයකු වූ සෝමේ අපේ  ගෙදර අයට වඩා උවමනාවෙන්  "හොරා " අල්ලා දෙන්නට  උත්සාහ කළේය.

මෙසේ සෝමේ ඇතුළු පිරිස  එහා ගෙදර මිදුලට වී ඉන්නා අතර අතටම අසුවී පැනගිය " හොරා "  උඩහ තේ වත්තේ සිට  එහා ගෙදර දෙසට ගල්  ගසන්නට පටන් ගත්තේය.

"සෝමේ අය්යා යමුද කවුද කියලා බලන්න  " අසල සිටි  වික්‍රම අය්යා  සෝමේ ගෙන් විමසා සිටියේය.

"යමු යමු මොකාද මේ  හොරා කියලා බලන්න "

එකල තරමක ගණන් කාරයෙක් ලෙසද නමක් දිනා සිටි සෝමේ කිසි බයක් සැකක් නැතිව ගල් පහරවල් එන දෙසට ගමන් කරන්නට විය .

  සෝමේ අය්යලා තේ වත්ත දෙසට යාමත් සමගම  හොරා ගෙන් එල්ලවූ ගල් ප්‍රහාර  නතර විය.

විනාඩි කිහිපයකින් අපේ මිදුල දෙසට පැමිණි සෝමේ අය්යා වට කරගත් පිරිස

"කවුද ?  කවුද  ? ඇවිත් තියෙන්නේ? "  යනුවෙන් "හොරා " ගැන විස්තර විමසා සිටියහ.

" නෑ .. මේ  අපේ  මිනිහෙක් "  සෝමේ ඇඟට පතට නොදැනී පවසා සිටියේය.

එදා තමා රැගෙන ආ  කඹය සුගුණා අක්කා ගේ  ඇඳේ විට්ටමේ ගැට ගසා දමා පැන ගොස් තිබුනේ සෝමේ සමග ඉරුම් පට්ටලයේ වැඩ කල ගුණ තිලක අය්යාය.

සෝමේ තම ඉරුම් සගයා හඳුනා ගත්තද  ඒ බවක් අපේ අසල්වාසීන් හට  පැවසුවේද නැත.

සෝමේ ගේ  අවසානය.


සෝමේ අය්යා ගමේ හැමදෙනාටම විනෝදය සැපයු පුද්ගලයෙක් වුවද ඔහුගේ ජීවිතය නම් එතරම් විනෝදමත් එකක් නොවීය. 

පියෙක් නොමැති දරුවෙක් ලෙස ලොව එලිය දුටු හෙතෙම වැඩි කලක් යන්නට මත්තෙන් තම ආදරණිය මෑණියන්ගෙන්ද වෙන් කොට තිබේ. 

තම පුංචි අම්මා වූ අපේ ජේන් අක්කාට  "අම්මා " යැයි අමතන්නට සෝමේ පෙලඹෙන්නේ එබැ විණි. 

සෝමේ අපේ ගමට පැමිණ ටික කලක් ගතවූ තැන ජේන් අක්කා අපෙන් ඈත් කරන්නට ඇගේ මුණුබුරන් වූ සොමේගේ ළමයින් හතරදෙනා සමත් වුහ.

ඒ කාලේ අපත් ( විශේෂයෙන් මම සහ අපේ නංගිලා දෙන්නා ) සහ සොමේගේ දුවක් වන කළු අතර ඇතිවන ගැටුම් නිසා  ජේන් අක්කා නිතර නිතර අපහා අමනාප වුවාය.

මේ සමහරක් ගැටුම් වලට සෝමේ අය්යාද සම්බන්ධ වූ අවස්ථා තිබු බව මට මතකය. 

කෙසේ වෙතත් අප පාසැල් අධ්‍යාපනය නිම කොට ගමෙන් පිටත් වූ පසු සොමේලා ගේ ජිවිත කෙසේ ගත  වුයේදැයි  යන්න එතරම් පැහැදිලි නැත.

අවුරුදු 48-50 ක් වැනි වයසකදී සොමේගේ බිරිඳ  ඩිංගිරි මැණිකේ මෙලොව හාර ගොස් ඇත්තේ  පිළිකාවක් නිසාය.

තම බිරිඳ මිය යෑමත් , තවත් ඔහු ප්‍රිය කල ගමේ කිහිප දෙනෙකුගේ අකල්  මරණත් සමුගැනීමේ ලිපියක  සඳහන් කර  සෝමේ මෙලොවින් සමුගෙන තිබිණි.

ඒ ඔහුගේ වයස අවුරුදු  55 ක් පමණ වනවිටයි .  

සිංහල අවුරුදු දිනයක  තම නිවසට තරමක් දුරින් වූ  ජල රක්ෂිත කැ ලෑ වේ කැන්ද  ගසක එල්ලී සෝමේ අය්යා  අපෙන් වෙන් වී ගොස් තිබිණි. 



මේ චායා රූපයෙන් පෙනෙන්නේ  සෝමේ ගේ  කටු  මැටි පැල්පත  තිබු ඉඩමේ  ( රජයේ ජල රක්ෂිත රිසිවේසමේ) තිබෙන  සොමේගේ මද්දුම දුව සහ ඇගේ දරු තිදෙනා ජිවත් වූ  කාමර එකක කටුමැටි නිවසයි.  මේ නිවස වෙනුවට  කාමර තුනක නිවසක් අපේ චමින්ද රාජපක්ෂ  නොමිලේ ලබා දුන් ඉඩමේ ගොඩනැගීම මේ මෑතකදී අවසන් වූ අපේ පළමුවෙනි ප්‍රජා සත්කාරයයි.

ප . ලි.  සෝමේ අය්යා  ගැන  ලියු මේ සටහන  මගේ  100 වෙනි  බ්ලොග් පොස්ට් එකයි...

29 comments:

  1. I remember in previous post you said this 'Some' has involved in your recent charity works in the village but here he is died already. Conflicting each other or I understood it wrong?

    ReplyDelete
    Replies
    1. No recent charity work started with providing a house to sones daughter Kalu and her family. Kalu priviously lived in the same little land block where some had his palpatha .my friend chaminda rajapaksha donated a land block in wchich built the 3 bed room house for Kalu family .

      Delete
    2. ස්තුතියි කල්‍යාන .. ඒ පැටලිලි සහගත වාක්‍ය හරි ගැස්සුවා...

      Delete
  2. පුංචි කාලේ ඉදලා සෝමෙට තමන් ආදරේ කරන හැමෝම කාලෙන් කාලෙට අහිමි වෙන එක දරා ගන්න අමාරු වෙන්න ඇති... හරි සංවේදි මනුස්සයෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති තමයි. ඔහුගේ ලිපියේ ලියලා තිබුණේ ඊට ටික කලකට පෙරදී හදිසි හර්දය අබාධයකින් මිය ගිය සමරේ අය්යා ( අපේ ගමේ හිටපු ලොකුම පෝසතාගේ වැඩිමහල් පුතා / තම පොහොසත් කම තඹයකට නොතකා ගමේ හැමෝම සමග හොඳින් සිටි බැංකු සමරේ අය්යා ) ගැනත්. සෝමේ ගේ පුංචි අම්මා කෙනෙක් සමග විවාහ වී සිටි අපේ ගමේ රංඟ දැක්වුණු සැඟවුණු ද්‍යිවය නාට්‍ය රචනා කල "ගුණදාස මාමා " ගේ සියදිවි නසා ගැනීමත් ගැනලු http://helmalu.blogspot.com.au/2015/04/blog-post_75.html

      Delete
  3. ලොකු දුකක් හිතේ හිර කරන හිටපු මනුස්සයෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීෂණ .. //ලොකු දුකක් හිතේ හිර කරන හිටපු මනුස්සයෙක් වගේ...// හරියට හරි. මට සෝමේ ගැන නිතර මතක් වෙන කාලයක් තිබ්බා මේ මෑතකදී ඒ මම මෙහෙ මානසික රෝග ඒකකයේ වැඩ කරන කාලේ. මෙහි අපට හමුවන මානසික ලෙඩුන්ගෙන් වැඩි හරියක් පුංචි කාලේ අම්මා තාත්තා වෙන්වූ හෝ තාත්තා නොදැක හැදුන අය. ඔවුන්ගේ ජීවිත වල කිසියම් අඩුවක් ඇතිබව ඔවුන්ට දිගටම දැනෙනවා... දික්කසාදය දරුවන්ට කාරනා බරපතළ අපරාදයක් බව මම තේරුම් ගත්තේ මේ රෝගීන් දැකලාමයි. අමාරුවෙන් හෝ තම අපහසු විවාහයේ එල්ලී සිටීම දරුවන්ගේ ජිවිත වෙනුවෙන් කාරනා ආයෝජනයක්...

      Delete
  4. //බොහෝ විට කළු පැහැති කමිසයක් සහ කොටු සහිත හෝ ඉරි ඉරි කමිසයකින් සැරසී සිටින ඔහු//

    මක්කිව්වා? මේ යකා කමිස දෙකක් අඳිනවද?

    නූගත්කම නිසා ජීවිතය අවුල් කරගත් පුද්ගලයෙක්.

    ReplyDelete
  5. කොටු සහිත හෝ ඉරි ඉරි "සරමකින්" විය යුතුයි . ඔන්න වෙනස් කළා ඒක. වැරැද්ද පෙන්වා දුන්නට ස්තුතියි. ඔවු ජීවිතය සම්පුර්ණයෙන් අවුල් වූ කෙනෙක්. මම මතකයි ඉස්සර සෝමේ ගේ හාමිනේ "දෙය්යා.. අපිව බේරගන්න දෙය්යා " කියමින් අපේ ගෙවල් පැත්තට දුවගෙන එනවා රෑ අට නමය වෙද්දී "බලනකොට සෝමේ තමන් සහ දරුවන් හතර දෙනා ජිවත් වූ මානං වැසූ කටුමැටි පැල්පත ගිණිතියන්න යනවා " රහමෙර / ගංජා වල බලපෑම නිසා..

    ReplyDelete
  6. මේ පොටෝ එකේ තියෙන්නේ මරේ ගඟද?

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමද අඳුර ගත්තේ?

      Delete
    2. ඔබ ඉන්න ප්‍රාන්තයේම තමයි මමත් ඉන්නේ.

      Delete
    3. කුමාර , දැනගන්න සතුටුයි. අපි මේ වෙනකොට එකිනෙකා ගැන දන්නේ නැතිනම් kawinduj70@gmail.com එකට ඔබේ මොබයිල් අංකය එවන්න . මම කතා කරන්නම්..

      Delete
  7. අතේ හෝ කකුලේ නහර ගැට ගැසීම් සහ ගංජා බීම අතර සම්බන්ධයක් තියේද?

    ReplyDelete
    Replies
    1. ගමේ අය ඒ කාලේ කිව්වේ එහෙමයි... ගංජා වල තියෙන THC වලින් සිනිදු පේශි ලිහිල් කිරීමක් ( ධමනි සහ ශිරා වල ) වෙනවා කියලා සොයාගෙන තියෙනවා .ඒ මගින් රුධිර පීඩනය අඩුවී ශිරා වල රුධිරය එකතු වී තිබීම වැඩි වෙනවා ඒ අනුව බැලුවහම ශිරා වල සිනිදු පේශි ලිහිල් වීමක් මගින් සහ ශිරා වලා ලේ එකතු වීම මගින් මෙවැනි දෙයක් වෙන්න බැරි කමකුත් නැහැ...

      Delete
    2. මීට වසරකට පෙර මා ලියූ කතාවකින් කොටසක්!

      ======================
      එක් දිනක් කම්හලේ සේවය කළ තවකෙකු සමග, ඔහු ගේ මේසය අසල දී, සංජය සහ මා සුහද කතා බහක නිරත වී සිටියේ තව මොහොතකින් වෑන් රථය පැමිණි විගස සේවය නිමවා යාමට නියමිත බැවිනි. සංජය සිටියේ මේසයට අත් දෙක තබා එයට බර දී ගෙනය. ඔහුගේ දෑතේ ම නහරයක් බැගින් ඉලිප්පී මතු වී තිබෙනු පෙනුණි.

      "මේ මොකද මේ?" අනෙකා සංජයගෙන් විමසීය.

      "අනේ මන්දා, මගේ කකුල්වලත් මේ වගේ නහර ඉලිප්පිලා තියෙනවා!" සංජය පැවසීය.

      "ගංජා ගැහැව්වාම ඔහොම තමයි මචං!" මම කීවෙමි. ඒ මගේ කටට මුලින්ම ආ වචන පෙළ මිස සිතා මතා කීවක් නොවේ. ගංජා බොන්නන් ගේ අත්වල පාදවල නහර එලෙස ඉලිප්පෙනවාදැයි මම අද වෙනතුරු නොදන්නෙමි.
      ========================
      http://rasikalogy.blogspot.com/2015/05/some-questions-make-you-speechless.html

      Delete
    3. ස්තුතියි රසික මේ පොස්ට් එක මම කියවලා තියෙනවා හැබැයි සෝමේ ගැන ලියද්දි මතක් වුණේ නෑ. නැතිනම් ලින්ක් එකක් දානවා. මට කතාව ලියනකොට මතක් වුණේ අපේ රාජු මාමා සෝමේ අය්යාගේ සහ පල්ලැහැ ගෙදර ජේන් අක්කගේ මහත්තයාගේ කකුල් වල නහර ගැට "ගංජා ගැට " කියලා කියපු කතාව තමයි

      Delete
  8. ගංජාවල අහිතකර බලපෑම් මොනවාද ? මමනං හිතන්නේ අරක්කු, සිගරැට් වලට වඩා ගංජා වලිං ශරීරයට අයහපත අඩුයි කියලා. ඕක බිව්වම කලබලකාරී ගතිය අඩුවෙනවා. එක දවසක් මං ඔයිං ටිකක් බීලා ගෙදර ආවේ තරු පිරුණු අහස මැදිං තියෙන පාරක. බයිසිකලේ වේගෙ 30යි.

    ReplyDelete
    Replies
    1. ස්රංග මේ මාතෘකාව ටිකක් විවාදාත්මකයි. ඔය මම උඩින් කියපු විස්තරේ අනුව රුධිර පීඩනය අඩු කරන බෙහෙතක් ලෙස ගංජා යොදා ගත හැකියිනේ . ඉතින් අපේ කට්ටිය කැස්සට දෙන සිරප් වලට ඇබ්බැහි වෙන හැටි හිතන්නකෝ... පමණට වඩා ගත්තම බෙහෙත පිස්සු හැදෙන තත්තවයකට මනස විකල් කරන දෙයක් වෙනවා..ගංජා වල තියෙනTHC එහෙම රසායනිකයක්
      ගංජා කොහොමටත් අයුර්වේදයේ බෙහෙතක් ලෙස යොදා ගන්නවා නේද ? ඒකත් මදන මෝදක කියලා විකුණලා අපේ අය පිස්සෝ බවට පත්වුණ කතා මම අහලා තියෙනවා . අපේ ගමේ "හෙලතැන්නේ නන්දෙ අය්යා " එහෙම ගුලි කාලා සම්පුර්නයෙන්ම මානසික රෝගියෙක් (Schizophrenia) වුන කෙනෙක්.

      Delete
    2. මේ පාර ලන්ඩන් මේයර් තෝරන ඡන්දෙට cannabis is safer than alcohol(CISTA සිස්ටා )කියන පාටියෙන් ඉල්ලපු ලී හැරිස් සීයට එකකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගත්තා. මම දන්න කීපදෙනෙකුත් 'මල්'පාටියට ඡන්දේ දුන්නා.

      Delete
    3. ඕස්ට්‍රේලියාවෙත් ඔය ගංජා නීතිගත කිරීම ලොකු මාතෘකාවක්.. මෙහෙ ගොඩක් දෙනා අපිට කියනවා මම ගංජා bong මේ තරම් ගන්නවා කියලා එහෙම...

      Delete
  9. ආතල් එකේ හිටියට පොඩි කාලෙ ඉඳලම ලොකු පීඩනයක් හිතේ දරාගෙන ඉන්න ඇති සෝමෙ අයිය.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව් . එහෙම වෙන්න ඕනා...

      Delete
  10. මේවාගේ චරිත හැම ගමකම ඉන්නවා නේද ...මොනවා උනත් ලොකු මානසික පීඩනයක් දරාගෙන හිතපු චරිතයක් ....

    සිදුවී නම් වරදක් කොතැනක
    කොයි කවර කලෙක හෝ
    එය නිවැරදි කර ගනිමු යාළුවේ

    පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින්
    අපි අපේ කමයි බිල්ලට දුන්නේ
    අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන්
    මඟුලට මරණෙට වත් නැහැ එන්නේ

    දෝලාව ගෙන කරෙන් අපි ගියෙමු දුර ගමන්
    රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ
    සතුරන්ට බැට දෙමින් යුද කලෙමු මියැදෙමින්
    කවුරුද සතුටට ජයපැන් බොන්නේ

    සිදුවී නම් වරදක්...

    ගායනය : සුනිල් එදිරිසිංහ
    පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංදු... අහලා තිබුණේ නෑ කලින් අහන්න ඕනෑ..//පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින්
      අපි අපේ කමයි බිල්ලට දුන්නේ
      අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන්
      මඟුලට මරණෙට වත් නැහැ එන්නේ// මේ වගේ සිද්ධි හරියට වුනා අපි සොමේගේ දුවට ගෙයක් හදලා දෙන්න යද්දී....

      Delete
  11. අවුරුද්ද දවසෙ සෝමෙ අයියට බොහොම තදට තනිකම දැනෙන්න ඇති..දවසම මහන්සි වෙලා හවසට කංස පොඩ්ඩක් බීල සිංදුවෙන් ඉන්න ඔහු නිහඬවම කොච්චර ආයාසයක් ගන්න ඇද්ද?
    මොනවා උනත් සියදිවි නසාගැනීම අනුමත කරන්නෙ නෑ.
    ජයවේව..!!

    ReplyDelete
    Replies
    1. සෝමේ ඔය වගේ දිගු කාලින හේතු නිසා සියදිවි නසා ගත්තා කියල තමයි මටත් හිතෙන්නේ .. ක්ෂණික කෝපය නිසා "borderline personality disorder" තියෙන අය කරනවා වගේ නෙවෙයි සෝමෙට ඇත්තටම " depression " තත්වයක් තියෙන්න ඇති

      Delete
  12. මට මේ වගේ චරිත බොහොමයක් හමුවෙලා තියෙනවා.ගමේදීත් නගරයේදීත්. ඒ බොහෝමයක් ඉතා සුන්දර මිනිසුන්. සෝමේ අයියලා වගේ මිනිස්සු ආශ්‍රය කිරීම ඉතා පහසුයි. නැවත යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් හරිම ලෙංගතුයි. ඔවුන් ජීවිතය වටහාගන්නේ මුදල් කියන කාසි, නෝට්ටු හරහා නෙමේ මනුස්සකම කියන සිනිඳු පෙරහන් කඩ හරහා. සෝමේ අයියලා වගේ මිනිසුන් ලෝකෙට අඩු නිසා තමයි මේ ලෝකය ගොඩාක් කපටින්, වංචනිකයින්, සහ බහුභූතයන්ගෙන් පිරිලා තියෙන්නේ.

    ReplyDelete
  13. //ඔවුන් ජීවිතය වටහාගන්නේ මුදල් කියන කාසි, නෝට්ටු හරහා නෙමේ මනුස්සකම කියන සිනිඳු පෙරහන් කඩ හරහා// මෙහෙම අයට තමයි මමත් ආසා ....මේ මගේ පරණ පොස්ට් එකේ ඉන්න පියතිලක වගේ..http://helmalu.blogspot.com.au/2015/09/blog-post_28.html

    ReplyDelete