Follow by Email

Friday, 22 April 2016

කොක්කන මල් එකට එකයි එකට කතත් බොක්ක වෙනයි



අපේ ගෙට පල්ලැහැ  ගෙදර සිටි පල්ලැහැ ගෙදර ජේන් අක්කා ඔබට මතක තිබේ යැයි සිතමි.

 රස්නායක මුදියන්සේලාගේ  ජේන් නෝනා යන නාමයෙන් හැඳින් වුන ඈ අපේ අම්මලා සහ රාජුමාමා ඇතුළු අපේ නෑදෑයින් විසින් ඇමතුවේ "ජේන් අක්කා" යන නමිනි.

ඊළඟ පරපුරේ වූ අපටද ඇය ජේන් අක්කාම විය.

එපමනක් නොව මේ මෑතකදී අපෙන් සදහටම සමුගත් ඇයට  අපේ චුටි නංගිගේ දරුවන් කීවේද ජේන් අක්කා කියාය.

ඒ කාලේ ජේන් අක්කලා අපේ අම්මලා තරම් පොහොසත් පවුලක් නොවිය.

ඔවුන්ට සිටියේ මැණිකේ නම් එකම දියණියකී. මැණිකේ අපේ සමන්තගේ වයසේ වූ දැරිවියකි.

 සාපේක්ෂව අදායම අඩු වුවද  පස් දෙනෙක් සිටි අපේ පවුලට තරම් දරුවන්ගේ ගැටළු ජේන් අක්කලාට  පැන නැගුනේ නැත.

අපේ පවුලේ සාමාජිකයින්  පස් දෙනා අතරින් සමන්ත සහ අක්කා ජේන් අක්කලාට  එතරම් ඇඟලුම් කමක් දැක්වුයේ නැත.

මම ජේන් අක්කලා සමග ගණුදෙනු වලදී  මැදුම් පිළිවෙතක සිටියෙමි.

පවුලේ අනිත් අය එසේ වුවත්  නිතර ජේන් අක්කලා ගෙදර යමින්  ( අපේ වචනයෙන් කිව්වොත් රිංගමින් )

සිටියේ  අපේ චුටි නංගිය. ඒ නිසාම ඇය ජේන් අක්කා ගේ සුරතලියද වුවාය.

අප ගෙදර දොර ඇතිවන සණ්ඩු සරුවල්  වලදී  සමන්තගේ නිරන්තර පහර දිම් වලට ලක්වුයේ මමත් චුටි නංගියාත්ය.

අක්කා සමන්තත් සමග එකට එක කරමින් සම තැන් ගන්නට හුරු වී සිටියාය.

අප හතරදෙනා සෙල්ලම් කරමින් සිටිනා අතර  බොහෝ දිනවලදී

"අනේ ජේන් අක්කේ මාව බේරගන්න.."

 කියමින් චුටි නංගි ජේන් අක්කා වෙත දිව යන්නේ පසු පසින් හඹා එන සමන්ත ඇතුළු අපගෙන් ගැලවෙන්නට මගක් සොයමිනි.

"එක්කෙනක් වත් මගේ  කෙල්ලට එහෙම අතක් තියනවා නෙවෙයි" කියමින් ජේන් අක්කා අපේ චුටි නංගි තම තුරුලට ගනියි.

පරාජිත වූ අප  චුටි නංගිටත් ජේන් අක්කාටත් දෙදෙනාටම බැන බැන ගෙදර එන්නෙමු.


මෙවන් අවස්ථාවක අපෙන් ගැලවෙන්නට ලොකු නංගි  යොදා නොගන්නා උපක්‍රමයක් නැත.

උදාහරණයක් ලෙස අප තිදෙනාම අන්ද මන්ද කල සිදුවීමක් මා මතකයට නැගෙන්නේ සිද්ධියට චුටි නංගි මෙන්ම ජේන් අක්කලා ගෙදරද සම්බන්ධ නිසාය.

එදා ජේන් අක්කා ගෙදර සිටියේ නැත.

 පුරුදු පරිදි වැඩිහිටි තිදෙනා එක පැත්තකට වී  ලොකු  නංගිට "නම්පනම්"  කියමින් සිටිති.

කිසියම් හේතුවක් නිසා සමන්තත් මමත් අක්කාත් ඇය පසු පස හඹා යන්නට  පටන් ගතිමු .

අපෙන් බේරීමට ජේන් අක්කලා ගෙදරට දිව ගිය ඈ අසරණ වුයේ ජේන් අක්කාගේ කටුමැටි කුස්සියේ වූ පිටපලු දොරට දමා තිබු ඉබ්බා දුටු විටයි.

"පාපු කීරි.. අද අහුවුනා.... කෝ උඹේ මහලොකු   ජේන් අක්කා නෑ නේද අද උඹ බේරගන්න ? "

කියමින් සමන්ත ඇතුළු අප තිදෙනා ගොදුර වෙත සෙමින් සෙමින් ලඟා වෙමින් සිටියෙමු.

හදිසියේම  ජේන් අක්කලා මිදුලේ හරහට දිව ගිය ලොකු නංගි ලොකට් ගහලඟ තිබු මානං  වැසූ කුටියකට රිංගුවාය.

එසේ ගිය ඈ එහි තිබු පිට පලු අතර හිඳ ගත්තේ  "වරෙල්ලා පුළුවන් නම් මන් අල්ලපල්ලා " කියමින් අපට අභියෝග කරන්නාක් මෙනි.

අදාල කුටියේ සැබෑ විස්තරය දන්නා අප කිසිවෙක් ඒ පැත්ත පළාතට වත් නොගියේ එයින් පිටවන අධික දුර්ගන්ධය  ඉවසීමට තරම් අපේ නාස් වලට ශක්තියක් නොතිබූ බැවිනි.

නංගි එදා අපෙන් බේරී සැඟවීමට  යොදා ගත්තේ ජේන් අක්කලාගේ  වල කකුස්සියයි.



ජේන් අක්කගේ ගුරුහරු කම්



චුටි දුව යන සුරතල් නාමයෙන් හැඳින් වුන අපේ නංගිට ජේන් අක්කා විසින් උගන්වා තිබු දේවල් රාශියකි.  ඉන් එකක් වුයේ  "එකට කෑම".


"චුටි මහත්තයයි  චුටි නෝනයි  අහලා තියෙනවද "එකට කෑම  " ගැන?  කියමින් දිනක් ජේන් අක්කා මැණිකේ මම සහ නංගි දහවල් ආහාර ගන්නා අවස්ථාවක  "එකට කෑම  " ගැන කියා දුන්නාය.


අප තිදෙනාට වෙන වෙනම පිගන් තුනකට  බත් බෙදා දුන් ඈ  මෙන්න මෙහෙමයි එකට කන්නේ කියා එක්කෙනෙක් ගේ  පිගානේ දෙපැත්තෙන් දෙන්නෙක් බත් කන ක්‍රමයක්  අපට  කියා දුන්නාය.

එකට කෑම


මේ ක්‍රමයට අනුව  දෙදෙනෙක්  එකට කෑම සඳහා  ගිවිස ගත්තේනම්  පළමුවෙන්  එක් අයෙකුගේ පිගාන දෙපැත්තෙන්  කමින් ඉවර කරනු ලැබේ .

අනතරුව  දෙවැන්නාගේ  කෑම පිඟානද  දෙදෙනාම විසින් දෙපැත්තෙන් කා අවසන් කරනු ලැබේ.

නංගියි  මමයි  මෙසේ එක  පිඟා නෙන්  බත් කන අතර ඒ දෙස බලා සිටින  ජේන් අක්කා අන්න  හරි  ඔන්න ඔහොම තමයි කන්න ඕනේ.

කියන්නට විය.  ඒ අතර  හැබැයි චුටි මහත්තයා මෙහෙම දේකුත් තියෙනවා . එක  පිඟානෙන්  කෑවට   කන්නේ දෙන්නෙක්  කියන එක අමතක  කරන්න  හොඳ නෑ.

"කොක්කන මල්  එකට එකයි - එකට කතත්  බොක්ක වෙනයි"

කියමින් අප කන හැටි බලමින් කවියක් කියන්නට විය.

එදා ජේන් අක්කාගෙන්  එකට කන හැටි ඉගෙනගත්  මම ගෙදර අනිත් අයට එකට කෑමේ යෝජනාව ඉදිරිපත් කළෙමි.
මම ආහාර ගන්නා වේගය ගැන හොඳ අවබෝධයක් ඇති අක්කත් සමන්තත්  එක වරකට වඩා මා සමග එකට කෑවේ නැත.

එහෙත් චුටි නංගි එසේ නොවේ  . ඇය ජේන් අක්කා කියූ පරිදිම

 "කොක්කන මල්  එකට එකයි - එකට කතත්  බොක්ක වෙනයි"

කියමින් ඉතා උනන්දුවෙන් එකට කෑමට  යොමුවන්නීය.

ඒ  කාලේ බොහෝ  විට අම්මා අපට බත් බෙදෙන අවස්ථාවේදී   මම චුටි  නංගි වෙත යොමුවන්නෙමි
.
"ඒයි චුටි දුව  අද  අපි දෙන්නා එකට කනවා නේද ?"

"හරි හරි චුටි අය්යා "  ඇය තම පිඟානත්  ගෙන මා දෙසට පැමිණේ.

මුලින්ම  ඇගේ පිඟාන ඉවර කරන අප දෙදෙනා දෙවනුව මගේ පිඟානට  යොමු වන්නෙමු.

"චුටි අය්යා ඔයා හය්යෙන් හය්යෙන් කනවනේ  ? "

නංගි නෝක්කාඩු කියයි.  ඇය  මා තරම් වේගයෙන් කෑම කන්නේ නැත.

ඇත්ත වශයෙන් කියනවා නම්  ඇයට වඩා අවුරුදු තුනකින් වැඩි මහළු කොල්ලෙකු වූ මම  පිඟන් දෙකෙන්ම තුන් කාලකට පමණ වග කියන්නේ අපේ ජේන් අක්කගේ  මේ අලුත්ම ක්‍රමයට පින්සිදු වන්නටයි.




අපේ චුටි නංගි   සහ සැම්සන් අය්යාගේ අක්කා


ජේන් අක්කලා ගෙටත් පහළින් පිහිටා තිබෙන්නේ  ජේන් අක්කගේත් අක්කා වූ  කුමා අක්කාගේ  ගෙදරයි.   

කුමා අක්කගේ  ලොකු  පුතා අපි හැඳින්වුයේ  සැම්සන් අය්යා නමිනි.   

 සැම්සන් අය්යාගේ බිරිඳ මද්දු අක්කා අම්මාගේ අසල්වැසි  සංගමේ ප්‍රධානම සාමාජිකාවකි.

දවල් ආහාරයෙන් පසු අපේ අම්මා ඒ පැත්තේ  නොගියහොත්  සැම්සන් අය්යාගේ අක්කා අපේ ගෙදරට ගොඩ වදියි.

එක් දිනක් සැම්සන් අය්යාගේ අක්කා මහා කළබලයකින්  අම්මා වෙත ආවේ  ..

"බලන්ඩ........  නැන්දා ... .....පුංචි ළමයි මේ වගේ කට කැඩිච්ච  කතා කියනවද ?"  

 " මගේ හිත හොඳටම පෑරුණා  නැන්දලගේ චුටි දුව කියපු දේ අහලා"   යි  කියමිනි.

"ඇයි මද්දු දුව?..... මොකක්ද අපේ එකී කිව්වේ?"

   "ඔය පොඩි එවුන් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා"

"ගණන් ගන්න එපා තමයි " 

"නැන්දට ළමයාගේ කට හදා ගන්න වෙයි "

මම ගෙට එනකොටම  චුටි දුව මගෙන් ඇහුවනේ ..........

"වට්ටක්කත්  මාළුවක් ද ?    තොපේ අම්මත් ගෑණියෙක්ද ? " කියලා.

"දෙය්යනේ  මේකි තියන්ඩ වටින්නේ නෑ නේ.."

"කවුද දන්නේ නෑ මුන්ට ඔය කට කැඩිච්ච කතා  කියලා දෙන්නේ  "

"ඒයි චුටි දුව මෙහෙ වරෙන් ... ඇත්තද උඹ මේ අක්කාට මොකක්ද කිව්වා කියන්නේ?"

"ඇවිත් මේ අක්කාගෙන් සමාව ගනින් "

"කවුද ඕක උඹට කියලා දුන්නේ ?"

"පල්ලැහැ ගෙදර ජේන් අක්කා තමයි මට කිව්වේ."

නංගි තම දෙවැනි අම්මා කියා දුන් වාක්‍ය ඛණ්ඩය  පාවිච්චි කරන්නට ගොස් අමාරුවේ වැටුනේ එළෙසිනි.


36 comments:

  1. ජේන් අක්කා ගැන කලින් ලියපු පොස්ට් එකේ ලින්ක් එකක් එතනට දැම්ම නම් අලුතින් කියවන අයට පහසු වෙයි.. ඔය කවිය අපේ ආච්චි කියුවේ වෙන විදියකට..
    "එක්ක කතත් බොක්ක වෙනයි..
    කොක්කන පයි වෙන වෙනමයි.." එකට කෑවත් බොක්ක වෙනස් නිසා 'කොක්කන පයිය' (හෙවත් බුලත් පුවක් දා ගන්නා කුඩා පහිය/උරය/ මල්ල) පවා වෙන් වෙන්ව භාවිතා කිරීම ගැටළු නැතුව ජිවත් වීමට වැදගත් බවයි..

    ReplyDelete
    Replies
    1. කොක්කන මල් කියන්නෙ මොනවද කියල මටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ. මටත් මතක් වුනේ කළ්‍යාණ කියාපු බුලත් කොක්කන කතාව.අපෙත් අත්තම්ම තමයි ඔය කොක්කන කතාව කියන්නෙ.

      කොක්කාවෙ ගෙනියනව කියල කළ්යාණ මල්ලි උඹ අහල තියනවද?..:)

      Delete
    2. ජේන් අක්ක ඉතින් කිව්වේ ඔහොම තමයි...ඔවු ඔවු පොඩි ළමයි කරේ එල්ලගෙන යන එකට කියන්නේ කොක්ක මලේ, හෝ කොක්කාවේ ගෙනියව කියල තමයි

      Delete
    3. කැමති නම් "කොක්කන පයි" කියලා වෙනස් කරමු.

      Delete
    4. කවිඳු,

      හෙහ්..හෙහ්..ජේන් අක්ක එහෙම තමයි කියන්ට ඇත්තෙ. ඒත් ඔය ගැමි භාෂාවෙ වචන ගැන මම ටිකක් විතර උනන්දුයි. ඒ හින්දයි මට ප්‍රශ්ණයක් ආවෙ කොක්කන මල් කියන්නෙ මොනවද කියල...:)

      Delete
    5. අවුලක් නෑ... එයා පුරුදු යෙදුම අපේ එකට කෑමට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඇති.

      Delete
    6. //කොක්කාවෙ ගෙනියනව// අපේ පැත්තේ කියන්නේ කොක්කනේ ගෙනියනවා කියල..

      Delete
  2. ස්තුතියි ක. මි. ජේන් අක්කා ගැන කලින් ලියවුන පොස්ට් එකක ලින්ක් එක දැම්මා..

    ReplyDelete
  3. අනේ පවු අර චූටි නංගි... කොහොමහරි එකට කන කතාවෙන් පිගන් දෙකකට වැඩේ දීලනේද??
    ඒ වැඩේ කොච්චර කාලයක් කරන්න පුලුවන් උනාද කවිදුට??

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ වැඩිකල් දුවන්නේ නෑ.. අක්කලා එහෙම කියලා දුන්නම වැඩේ නවතිනවා.. මාස කිහිපයක් ?? දැන් අපේ චුටි නංගි "එකට කන" පාලනයක් යටතේ ඇති ප්‍රාදේශීය සභාවක සභා ලේකම් වරියක් .. හි. හි..

      Delete
  4. අපූරු කතාවක් , වැඩිමහළු මේරු කතක් වන ඇය අදහස් කරන්නට ඇත්තේ මීට වඩා ගැඹුරු සමජ භාවිතයක් නොවෙයිද , මම හිතන්නේ අර කවිය ඒකට සම්බන්දයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි .. බෙදා හදා ගෙන පරිභෝජනය කරන සමාජයක් .... එකිනෙකා ගේ සිතිවිලි/මතිමතාන්තර වෙනස් වුනත් ....

      Delete
  5. සුන්දර මතකයන් ටිකක් වගෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම....ඔය ජේන් අක්කා අපිට අපේ නෑදැයෙකුට වඩා සමීපයි . අපි ගමේ ගියහම අනිවාර්ර්යයෙන් එයා බලන්න යනවා..

      Delete
  6. ඒ සිහින ලෝකය අද්මතකයක් පමණි. සෙල්ලම් ගෙයක් හදා එහි කණු හතරෙන් උස්සාගෙන වත්තේ තැනින් තබට ගෙනගොස් තියාගෙන අක්කලා තුදෙනා ඇත්තටම බත් උයා මටත් කන්ඩ දුන්න හැටි මතක්වුනා.

    බොහොම ස්තුතියි මේ අතීත කාමය අවිස්සුවාට.

    ReplyDelete
  7. ඔව්.. ඔව්.. මට ජේන් අක්කා මතක් කල ගමන් මේ කොක්කන මල් කේස් එකයි .. වට්ටක්කත් මාලුවක්ද කතාවයි ඔළුවට ආවා.. ඒ කාලේ හරි රසවත්...

    ReplyDelete
  8. රසවත් වියමනක්...හිත අතීතයට රැගෙන ගියා...එක පිගානෙන් නොකෑවත්, පැදුරක වාඩි කරලා, මටයි මල්ලිටයි, එහා ගෙදර අක්කල නංගිලටයි අම්මා බත් කන්න දුන්න කාලේ මතක් උනා...ඒ කාලේ ඒක හරිම අපූරු අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර නංගිලා මල්ලිලා එක පැදුරේ වාඩි කරලා කෑම දුන්න වගේ ජේන් අක්කල ගෙදර, අපේ ගෙදර ඉන්න පොඩි එවුන් ඔක්කොටොම කෑම හම්බ වෙනවා. ඒ වගේම ඉස්සර ජේන් අක්කලා ගෙදරයි අපේ ගෙදරයි අතර "මාලු පිනි හුවමරුවකුත් තිබුණා. අපි වැඩිපුර පොලේ එලවලු උයන කාලේ මම හරි ආසයි ජේන් අක්කලා ගෙදරින් මාලු ගෙනාවම . මොකද ඒකෙ තියෙනවා අලකොළ, රුබා කොළ වගේ අපේ අමමා එච්චර් උයන්න කැමති නැති කෑම. ජේන් අක්කා උයන කොස් එකත් නියමයි.

      Delete
  9. ඇටය වගේ ඉදගන පොඩි එකිගේ බත් එකටත් කෙලල නේද

    ReplyDelete
    Replies
    1. පරපෝෂිත ගතිය එදා ඉඳලම අපේ ලේ නහර වල දුවනවා බං......

      Delete
  10. කවිඳු මාවත් පුන්චි කාලෙට ඇදං ගියා. ඔය එකට කනවැයි කියල අපිනම් ඒ දවස්වල කරේ ඉක්මනට ම කන එක. ඒ නිසා සහ ඉස්කෝලේ යනකොට වේගෙන් කාල ඉවර කරපු නිසා සෑහෙන වේගෙන් කන්න පුලුවන්. අපි දෙන්න දවසක තරඟයක් තියමු. අර ටේබල් මැනස් ද මොනවද කියන ඒව එදාට ඔට්ටු නෑ.
    ඔය වට්ටක්ක කතාව අපේ තාත්ත කිව්ව මතකයි. ඔය බන්ඩක්ක, වම්බොටු වගේ කෑම තියෙන දවසට මෙහෙම එකකුත් කියනව. බන්ඩක්කං සෙවලංචං, වම්බොට්ටං අදික සීතලං. ඕව කියවෙන්න ඉතිං රෑ වෙල මොනවහරි කටේ හැලෙන්නත් ඕනෙ. දවල්ටනම් මොනව තිබුනත් වැඩක් නෑ. ඔය ජේං අක්කලැයි ගෙදර තිබුනු වල කක්කුස්සියක් තමා ඒ කාලෙ අපේ ගෙදරත් තිබුනෙ. ඕකක් තියෙයිනම් කටු මැටි ගහපු ගෙදරකුත් තියෙන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ජේන් අක්කා පස්සේ කාලෙක අපි චුටි නංගිට තිබ්බ තැන දුන්නා "සෝමේ අය්යලෑයි කළුට" , අර අපි ගිය අවුරුද්දේ ගෙයක් හදවල දුන්නේ අන්න එයාට ( මගේ අපේ දෙවන නිවාස ව්‍යාපෘතිය කියන පොස්ට් එක බලන්න ).

      කළු පොඩි කාලේ බණ්ඩක්කා ගැන කිව්වේ "බණ්ඩක්කා ලිස්සනවා.. මාළු මිරිස් පුක දනවා " කියලයි

      ජේන් අක්කලා ගෙදර ගොඩක් කල් යනකන් වල කක්කුස්සියක් තමයි තිබුණේ. එක සැරින් සැරේ වත්තේ එක එක තැන වලට මාරු වෙනවා. අලුත් තැනකට ගිය ගමන් සිරිසේන මාමා ( ජේන් අක්කගේ මහත්තයා ) හොඳ කෙසෙල් පැලයක් හදනවා පරණ වල වහලා.
      කසුන් කිව්වා හරි ජේන් අක්කලා කුස්සිය කැල්ල ඒ කාලේ කටුමැටි ගහලා මානං වහලා තමයි තිබුණේ. ඉස්සරහ කැල්ල ගඩොලින් බැඳපු ටකරන් වහපු කාමර එකයි සාලෙයි ,තව පොඩි කෑල්ලකුයි තිබුණ කොටසක්..
      මැණිකේ ඩුබායි ගිහින් ඇවිල්ලා ( මිට අවුරුදු 10-15 කට ඉස්සර ) ගෙදර ,ටොයිලට් ඔක්කොම දැන් වෙනස් කරලා. අවාසනාවකට දැන් ජේන් අක්කත් නෑ .. සිරිසේන මාමත් නෑ...

      Delete
    2. ඉතින් ඒ කෙහෙල් ගහ පීදිලා එන කෙතෙක් කැනෙන් හොඳ ඇවරියක් ඔගොල්ලන්ටත් හම්බ වෙනවා ඇති නේද

      Delete
    3. නෑ ජේන් අක්කගේ සිරිතක් තමයි ගෙදර ගස් වල් වල පලදාව ඔහේ තියෙද්දී ගමේ හැමතැනම ඇවිදලා දේවල් එකතු කරගෙන එන එක විශේෂයෙන් කොස් පොලොස් එහෙම වත්තේ ගස් වල කුණු වේවි වැටෙද්දී පල්ලැහැ ගමේ ඇවිදලා කොස් බෑයක් එහෙම අරන් එනවා එයා . එකෙන් භාගයක් අපිට දෙනවා නොවැරදීම.. කෙසෙල් නම් ඒ ගොල්ලෝ විකුණනවා...

      Delete
  11. අපුරු බ්ලොග් එකක් . (ටෝටලි මයි ටයිප් )
    ගෙදර හතර පස් දෙනෙක් හිටියම ඉතින් කොච්චරවත් රණ්ඩු. අපේ දිහාත් හතරක් හිටියානේ.ලොකුවට වැට මායිම් බැඳලා නොතිබ්බ ඒකාලේ ඉතින් එහෙ මෙහෙ දුවල බේරෙන්න අමාරුවකුත් නැහැ.අපේ අක්ක නුලට වැඩ. එයාගේ ආධිපත්‍ය බුවල්ලෙක් වගේ දසත පතුරලා තිබ්බේ.එයාට වඩා වැඩිමල් අය්යා වුනත් ඒ නීති වලින් මග ඇරලා යනවා මිසක් වැඩිය පටලවෙන්න ගියේ නැහැ.අක්කයි මායි රණ්ඩු වුනත් ඉතින් සෙල්ලමුත් කළා. අපිට තිබ්බ සෙල්ලම කියල එකක්. ඒක නිකන් නාට්‍ය රඟපානවා වගේ. ඒ ඒ කාලෙට කියෝන චිත්‍ර කතා වල හරි නවකතා වල හරි කොටස්.කොටින්ම දේදුනු කැළුම් පවා රඟපෑවා. ඔන්න ඉතින් මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න දේවල් මතක් වුනා.
    ජේන් අක්ක ඒ කාලෙට වඩා ටිඅක් අප්ඩේට් චරිතයක් වගේ. පැරණ ලිපි ටිකත් කියවන්න ඕන.තැන්කියු

    ReplyDelete
    Replies
    1. අපි අක්කලා එහෙම කරපු සෙල්ලම් වල චන්ද රැස්වීම් , බිත්ති අයිනේ හැංගිලා ඉන්දලා විරුද්ධ කණ්ඩායමට පහර දීම් එහෙම තිබුනා. මමත් තව පොස්ට් එකක් ලියන්න ඕනේ ඔය සෙල්ලම් චන්ද සටන ගැන ....ස්තුතියි මේ පැත්තේ ආවට ඔන්න තියෙනවා අනු හයක්ම කියවන්න...

      Delete
  12. හැක්.. මාත් එක්ක කවුරුහරි එකට කන්න ආවත් ඔය සෙතේම තමයි වෙන්නෙ. කවිඳු වගේම මාත් වේගෙන් කන එකෙක්.

    වල කක්කුස්සි ඉස්සර අපේ අම්මලගෙ මහ ගෙදරත් තිබුණ. මමනං ඔක්කොටම වැඩිය බය ඒ කාලෙ වල අස්සෙ ඉන්න කුරුමිණියන්ට.

    ReplyDelete
    Replies
    1. මට ඉස්සර අපේ මුත්තා කෑගහනවා හිමින් කාපන් , නැත්නම් ඇඟට අල්ලන්නේ නෑ .. කොච්චියට යන්න වගේ හදිස්සියෙන් කන්නේ නැතුව කියලා..

      Delete
  13. සාමාන්‍යයෙන් ගස්ලබ්බා ප්‍රසිද්ධ බොහොම හෙමින් ආහාර ගන්න කෙනෙක් හැටියට.ඒත් ඒලෙවල් කාලෙහත් අට දෙනා එකට කනකොට ගහපු සවල් පාරවල් එහෙම වැඩිය කවුරුත් දන්නෙ නෑ.. ඒ වගේම රැග් සීසන් එකේදි වෙජිටේරියන් කෙල්ලො දෙන්නෙක් මැද වාඩිවෙන්න 'බුද්ධි මෙහෙයුමක්' කරන්නත් ගස්ලබ්බා බොහොම සැලකිලිමත් උනා..විනාඩි දෙකෙන් කාපු කෑමක්..හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ඔව් ඔය හත් අට දෙනා කන එකට කෑම අපිත් කළා කැම්පස් ඉන්න කාලේ..

      Delete
  14. අපේ අම්මා එක්ක කතා කළා ස්කයිප් ඔස්සේ ඊයේ.. මේ වට්ටකත් මාලුවක්ද කතාව අපේ පොඩිම නංගි "නිම්මි" කිරඹ ඔයේ ටිකිරි මුත්තාගේ දුවගෙන් ඇහුවලු ඔය වගේම ඒ පුංචි ඒක තවමත් මතක් කරනවලු..

    ReplyDelete
  15. ඕකනෙ කියන්නෙ බෙදාගන්න දුන්නම බදාගන්නව කියල හිහි
    අයියලාගෙන් නංගිලාට සෑහෛන අකටයුතුකම් වෙනව නේහ්
    හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට... ඔව් ..ඔව්.. අකටයුතු වෙනවා තමයි.. ඒත් කියන්නේ සහෝදර කමට කියලා

      Delete
  16. මරු මතක ගොඩක් තමා.. නාගරික පරිසරයක හැදුණ නිසා ළමා වියේ අහිමි වෙච්ච දේවල් බෝමැයි කියලා හිතෙනවා මේවා දකිද්දී...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා රජයේ සේවකයෙක් වුනාට ගේ හදලා තිබ්බේ ගමේ කොනටම වෙන්න කන්දක් මුදුනේ. හරි ලස්සන පරිසරයක සහ ගමේ රස්තියාදු වෙන කොල්ලන්ගෙන් ඈත් වෙලා හැදුන නිසා අපට ඉගෙන ගන්න එහෙම ලේසි වුනා.. ඒ වගේම ඔය ජේන් අක්කලා වගේ අහිංසක /ගැමි කම ඉහවහා ගිය පිරිසක් වටේ තමයි අපි හැදුනේ..

      Delete
  17. කමක් නැහැ.. නාගරික පරිසරයේත් මෙයිට වෙනස් අත්දැකීම් තියෙනවනේ? මම කැමතිම මේ වට්ටක්කත් මාලුවක්ද කතාවට තමයි.. හි. හි.

    ReplyDelete