Follow by Email

Friday, 29 April 2016

කටු ගැසීම



මම  දැනට ශ්‍රී ලංකාවෙන් එපිට රටක  පිහිටි  මූලික රෝහලක සේවය කරන්නෙමි .

ඒ   රෝහල් වයිදය නිලධාරි  (Hospital Medical Officer ) නැමැති තනතුරක් හොබවන්නෙකු ලෙසයි.

එම රෝහලේ විවිධ අංශ වල සේවය කර ඇති මා පසුගිය  සති කිහිපය සේවය කලේ  කායික රෝග වාට්ටුවේ රාත්‍රී ව්‍යිදය වරයා ලෙසයි .

මගේ සේවා මුරය වැටී තිබෙන්නේ  රාත්‍රී නවයේ සිට උදේ නවය දක්වා  වූ පැය දොළහක සේවා මුරයක් වශයෙනි.

මේ පැය දොළහ ඇතුළත වාට්ටුවේ රෝගීන් ට පැන නගින සියළු ගැටළු ගැන මුලින්ම සොයා බලන්නේ මා විසිනි .

අවශ්ය වුවහොත් වාට්ටුවේ රෙජිස්ට්‍රාර් වරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

බොහෝ විට එවැන්නක් අවශ්ය නොවුවද ශ්‍රී ලංකා වේ දී මෙන් නොව ඕනෑම  සංකුලතා අවස්ථාවකදී   රෙජිස්ට්‍රාර් වරයා ඉතා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය.

පුරුදු පරිදි ඊයේ රාත්‍රියේ සේවය ආරම්භ කලෙමි.

"ක්‍රින් .. ක්‍රින් ... " මගේ රෝහල් දුරකථනය  නාද වෙයි .

"හලෝ  ....ඔය  කවිඳු ද ? මම  එමලි  මෙඩිකල්  වන්  වලින් "

"ඔව් .. ඔව් .. මොකෝ එමලි   ......මම මේ  ආවා විතරයි "

"කරුණා කරල  ඇඳ 25 ඒ  හි සිටින  රෝගියාගේ  බෙහෙත් විදින කටුව පරික්ෂා කරන්න  . එයාට  පොටෑ සියම් බෑග් දෙකක් දෙන්න තියෙනවා "

එහා පැත්තෙන්  එන හෙද සොහොයුරියගේ කටහඩ මගෙන්  ඉල්ලා සිටි.

මම විවේක කාමරයෙන් ඉවත්වී  හෙද හෙදියන්ගේ ඒකකය වෙත පියමැන්නෙමි

"හායි  ..කවිඳු..  කොහොමද  අද  උදේ හොඳට නින්ද ගියාද?"

"මොන?  යන්තම් පැය හතරක්  ඇද ගත්තා .  දවල් දෙක තුනෙන් පස්සේ මට මලාට නින්ද යන්නේ නෑ..

අද ඔයාලගේ කරදර අඩු වුනොත් පොඩි ඇලට් එකක් දා ගත හැකියි . ඒක නෙවෙයි  25 ඒ  නේද  ඇඳ කිව්වේ ?"

"ඔවු ඔවු ...හැබැයි  එයා නම් එච්චර කැමති නෑ ප්‍රතිකාර  ගන්න "

හෙද සොයුරිය තවත් අතිරේක විස්තරයක්  මා   හට පැවසුවාය.

"හරි හරි මම ගිහින් බලන්නම් . මොකක්ද  නම් කිව්වේ ? "

"මිසිස්  ඕ කොනර් .. අවරුදු අසු දෙකක් වෙන නෝනා කෙනෙක්  එයාගේ පොටෑසියම් හොඳටම අඩුයි.

අපි ඉස්සෙල්ලා දුන්න  බෑග්  එක බාගෙට නැවැත්තුවා එයා අත රිදෙනවා කියලා කියපු නිසා කැනියුලා එක
අවුට් වගේ.. කවිඳු  ඒක චෙක්  කරලා දෙන්න ප්ලීස්.."


සුහද හමුවීම 




"මිසිස්  ඕ කොනර්.. කොහොමද ?  මම කවිඳු ඔයාගේ රාත්‍රී ව්‍යිදය වරයා.  සිස්ටර්ලා කිව්වා  ඔයාගේ  කැනියුලා එක අවුට් වගේ කියලා ? කලින් බෙහෙත දෙද්දී අත රිදුනා කිව්වා නේද ?"

"නෑ.. නෑ.. දැන් මගේ අත රිදෙන්නේ නෑ.. "

'ඒක හරි මිසිස්  ඕ කොනර් . දැන් අපි බෙහෙත් දෙන්නේ නැහැනේ.. පොටෑසියම් එක යනකොට තමයි අත රිදෙන්නේ "

මම කැනියුලා එක අවුට් ගොස් ඇති බව ඇයට පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි.


" මම දැන්  හිටියා ඇති කියලා හිතෙනවා කටු ගහලා ගහලා  මගේ අත් දෙක ගන්න දෙයක් නැහැ.  දැන් මගේ අත රිදෙන්නේ නැහැනේ  .. ඕක මාරු කරන්නම ඕනිද?"

ඇය මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට ඔන්න මෙන්න වැනි හඬකින් පැවසුවාය.



"මේකයි මිසිස්  ඕ කොනර්. ඔයාගේ පොටෑසියම් හොඳටම අඩුයි . 

ඒවා පිටින් නොදුන්නොත්  හර්දය වස්තුවේ ක්‍රියාකාරිත්වයට බල පාන්න පුළුවන් "

"හොඳයි කටුව මාරු නොකලොත් මොකද වෙන්නේ ?  ඔන්න ඔහේ මම මැරිලා ගිය දෙන් "



"එහෙම නෙවෙයි  මිසිස්  ඕ කොනර් .අපි ඇත්තම කතා කරමුකෝ "

මම තමයි අද රාත්‍රියේ ඔයාගේ  රෝගී තත්වයට වග කියන්නේ .

අපි දෙන්නා එකතු වෙලා අද රාත්‍රියේ කිසි ගැටළුවක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න ඕනා .

ඔයා අකැමති නැත් නම් මම මේ කටුව අයින් කරලා වෙන කටුවක් දාන්නම් "



"ඒක නෙවෙයි  ....මිසිස්  ඕ කොනර් කොයි නර්සින් හෝම් එකේද හිටියේ ?  මගේ නෝනත් නර්සින් හෝම් එහෙක නර්ස් කෙනෙක් .

"අය්යෝ මම ඉන්න තැන සැලකිලි නම් ගන්න දෙයක් නැහැ "


"අපේ නෝනා නම් හරි අසාවෙන් රස්සාව කරනවා " එතැන ඉන්න කට්ටිය එයාට හරි කැමතියි. එයත් වැඩට යන්න හරි ආසයි "

"එහෙනම් මට ඔයාගේ නොනගෙන් තමයි උදව් ගන්න වෙන්නේ "



"මට දැන්මම ඔයාට කටුවක් ගහලා බෙහෙත් නොදුන්නොත් අපි දෙන්නට රෑ තිස්සේ දඟලන්න වෙනවා .

මොකද කියන්නේ අපි මේක මාරු කරමුද "



" ඩොක්ටර් මම හරි කැමතියි ඔයාගේ අවංක කමට . ඔයා ඇත්තම තත්ත්වය මට පැහැදිලි කරා .

එහෙනම්  මේ කටුව මාරු කරන්න "

කටු ගැසීම 


දැන් මා ඉදිරියේ ඇති අභියෝග කිහිපයකි.  

මෙම රෝගියා කටු ගැසීමේදී ඇතිවන වේදනාව නිසා  එයට එතරම්ම කැමැත්තක් නැත.  

ඒ නිසා එක වරකින්ම මෙය සිදු කල යුතුය . 

එමෙන්ම අඩුම වේදනාවක් ඇතිවන පරිදි එය සිදු කල යුතුය. අභියෝගය භාර ගන්නට තීරණය කලෙමි .

ශ්‍රී ලංකාවේදී  කැනියුලා දැමීම ප්‍රගුණ කල හැටි මා සිහියට නැගේ. 

මගේ  සිත නිම්මිත් මමත් එකම වාට්ටුවක සේවය කල  කාලය වෙත දිව යයි.

"කොහොමද නිම්මි මිස් ? අද  අම්මලා කියක් ඉන්නවද සින්ටෝ දාන්න ?"

"12 ක් විතර ඉන්නවා ඩොක්ටර් "

"ඔයා මේ හැමෝටම කැනියුලා දාන්න ඕනේ නේද ?"

"ඔවු ඩොක්ටර් ස්ටේජ් රූම් එකේ ඩියුටි කරන හැමදාම එහෙම කරන්න වෙනවා "

"ඒක නෙවෙයි  මේ වෙලාවේ මමත් නිකන් වගේ නේ ඉන්නේ.... අපි දෙන්නා ම එකතු වෙලා  කැනියුලා දාමු.



මම හයක් දාන්නම්  ඔයා ඉතිරි හය දාන්න."


මා එසේ පැවැසුවේ කැනියුලා දැමීමට අත හුරු කර ගැනීම  සඳහාය .

 එමෙන්ම නිම්මිට හැකි අයුරකින් උදව්වක් කරන  ආශාවද මා තුල නොතිබුණා නොවේ. 

අපි දෙදෙනාම එකතු වී  ඉතා කෙටි කලක් තුල සින්ටෝ දමන්නට සිටි සියළුම අම්මලාට  කැනියුලා

දමා ඉවර කළෙමු.

"තැන්ක්යූ ඩොක්ටර්"

"තැන්ක්යූ කියලා විතරක් හරි යන්නේ නෑ"

"එහෙනම් ...  වෙන මොකක්ද කරන්නේ "

"අඩුම ගානේ හවසට තේ  එකක් වත් හදලා දෙන්න වෙනවා "

"හරි හරි හවස තේ බොන වෙලාවට මගේ ගානේ තේ එකක් හදලා දෙන්නම් කෝ "............



"ඩොක්ටර් ... මොකද කල්පනාව ?"

"නෑ මිසිස්  ඕ කොනර් මම මේ  බඩු ටික ලෑස්ති කරන් එන්න හැදුවේ."

"හරි හරි හැබැයි එක පාරයි  . අර නර්ස් ලා නම් හරියට රිදවනවා "

මම ට්‍රොලියත් රැගෙන රෝගියා වෙත පැමිණියෙමි.

ඇගේ අත ඉහලින් තිරිංගයක් දමා පිටි අත්ල පිරී මදින්නට පටන් ගත්තෙමි .

දැන් මගේ අතේ උණුසුමත් තිරිංගයේ  පීඩනයත් හේතුවෙන්   මට අවශ්‍ය ශිරාව ගානට ඉල්පී තිබේ.

මම කැනියුලාව දකුණතට  ගත්තෙමි .

"පොඩි වේදනාවක් .... "

මම කැනියුලාව  තල්ලු කලෙමි.  කිසි අපහසුවකින් තොරව  කටුව ස්ථාන ගත විය. 

"බොහොම ස්තුතියි  මිසිස්  ඕ කොනර්.  

මම සිස්ටර් ලාට කියන්නම් දැන් ඔයාගේ බෙහෙත් එක දෙන්න කියලා "

"පොඩ්ඩක් ඉන්න .. මට කාරණයක් කියන්න තියෙනවා"

"ඇයි මිසිස්  ඕ කොනර් ගොඩක් රිදුනද ? සමාවෙන්න ඕනේ එහෙමනම් "


"මට රිදෙනාවා තියා කටුවක් ගෑවෙනවා වත් දැනුනේ නෑ.. බොහොම ස්තුතියි ඔබට  "

"එහෙනං ?..."

"ඔබට තියෙන්නේ රත්තරන් අත් දෙකක් .. ඒක පරිස්සම් කර ගන්න ".

මේ අතර එමලිද  25 ඒ  ඇඳ වෙත ලඟා වුවාය .

"කොහොමද මිසිස් ඕ කොනර් ඩොක්ටර් හොඳද ? ඔයාට රිදෙව්වේ නෑ නේ මෙයා ?

නියමෙටම තියෙනවා කැනියුලා එක නම්  .

තෑග්ගක් දෙන්න වටිනවා "

"හරිනම්  එමලි තේ එකක්  හදලා දෙන්න ඕනේ අපේ ඩොක්ටර්ට"

"හොඳයි මම එහෙනම් කවිඳුට තේ එකක්  හදලා දෙන්නම්කෝ  ඔයා කියනවනම් "

එමලි  පැවසුවේ  ඕ කොනර් මැතිණිය ගේ අත පිරිමදිමිනි.

Sunday, 24 April 2016

නරක් වෙලා තියෙයි







පසුගිය  කලාප  වලින්  ...

මහා වැස්සක පෙර නිමිති ..


මේ ගුරු පාරේ





එදා ඒ  නා කපන වැස්ස  වැඩි වෙලාවක්  අල්ලා හිටිවී යැයි සිතුවද  විනාඩි කිහිපයකින්ම  එය තුරල් වී ගියේය.

අපි   දෙන්නා  නැවතත්  මල්දෙණිය දෙසට කන්ද නගින්නට පටන් ගත්තෙමු.

 ගමේ නැන්දලා  මාමලා කිහිප දෙනෙක් ම  අප ඉදිරියට හමු වුවද  ඔවුන් ගෙන් අපේ ගමනට  බාධාවක් සිදුවුයේ නැත.



කිරඹ ඔය ඉස්කෝලේ ලඟට එනවිටම  වාගේ   අප ඉදිරියට පැමිණියේ අපේ ලොකු තාත්තා කෙනෙකි.

ඔහු නමින් ජේ .එම්. ධනපාලයි.

නම ධනපාල   වුවද මේ ලොකු තාත්තා ඒ කාලේ  එතරම්  ධනවතෙක් නොවිය.

අපේ තාත්තලා  පමණක් නොව  ගමේ හැමෝම වාගේ ඔහු හැඳින්වුයේ  "පාලේ  අය්යා "  යන නමිනි.

පාලේ ලොකු තාත්තා  මේසන් බාස් කෙනෙක් ලෙස වැඩ කල අතර ඔහුගේ බිරිඳ හින්නි ලොකු අම්මා තේ වත්තේ දළු කඩන්නියක් ලෙස සේවය කළාය.

තාත්තලා පවුලේ සාමාජිකයින් අතරින් වත්තේ දළු කඩන්නට ගිය ලොකු අම්මලා දෙදෙනෙකි .

එක්කෙනෙක් හින්නි ලොකු අම්මාය.

අනිත් එක්කෙනා  විමලේ ලොකු තාත්තාගේ බිරිඳ ජයවතී ලොකු අම්මාය.

අපේ සමන්ත විභාගේ පාස්වූනොත් අල්ලේ කොන්ඩේ බඳිනවා යැයි  කිව්වේ මේ  ලොකු තාත්තා ය.


විමලේ ලොකු තාත්තා මෙන් කට සැර කෙනෙක් නොවූ පාලේ ලොකු තාත්තා අපේ තාත්තලා පවුලේ සිටි අහිංසකම  සාමාජිකයා විය.

අනුන්ගේ දේවල් කිසිවක්  ( තම නෑදෑයින්ගේ වුවද)  ප්‍රශ්න කිරීම ඔහුගේ සිරිත නොවේ.

තමා ඉදිරියට එන තම පොඩි මල්ලිගේ පොඩි පුතා සහ තවත් ගැහැණු ළමයෙක් දෙස අහිංසක සිනාවකින් සංග්‍රහ කර ඔහු තමාගේ ගමන යන්නේ එබැවිනි.

ලොකු තාත්තා අප පසු කර ටික දුරක් ගිය තැන හමු වන්නේ තුන්මං හංදියකි. එයින් වමට හැරෙන පාර  අපේ ගෙවල් පැත්තට යන පාරයි.

ජයා නංගි කෙලින් පාරේ මීටර් සීයක්  හමාරක් ගිය පසු දකුණු පසට හමුවන කඩුල්ලෙන්  ඇතුල් වන්නේ ඔවුන්ගේ  නිවසටයි.

තුන්මං හංදියට පැමිණි අප එකෙනෙකා ගෙන් සමුගන්නට  සැරසෙන මොහොතයි .

" මේ ඔයාගේ ඉතිරි සල්ලි "

ඇය රුපියල් පහේ ඉතිරිය මට දෙන්නට සැරසෙයි .

"මට එපා පිස්සුද.. ඔන්න ඕක තියා ගන්නවා පණ්ඩිතයා නොවී "

"නෑ.. නෑ.. ගන්න ගන්න "

ඇය නැවතත්  මා වෙත මුදල් සහිත දෑත දිගු කරයි

"එපා එපා.. ඔයා ඕක තියා ගන්න "

අප දෙදෙනාගේ ඉතිරි සල්ලි හබය ලෙහෙසියෙන් ඉවර වන පාටක් නැත.

හදිසියේම මගේ ළඟටම පැමිණි  ඈ  තම අතේ ගුලිකර ගත් යමක් මගේ දකුණු කලිසම් සාක්කුවට ඔබන්නට විය.

"ඒයි .. ඒයි මොකද කරන්නේ ?  තමුසෙට පිස්සුද ? "

මෙවර ප්‍රශ්නය නැගුනේ  ඇයගෙන් නොව මගෙන්ය.

"ගමේ ඈයෝ දැක්කොත් ඉඳලා හමාරයි"

එසේ කියමින් මම මුළු වැර යොදා ඇයගේ අත මගේ කලිසම් සාක්කුවෙන් ඉවතට අදින්නට දැඟලුවෙමි.

ගම මැදම වූ තුන්මං හංදියේ  අපේ කලබලය දෙස විමසිල්ලෙන් බලමින් කන්ද නගිනා බවලතෙකි.

ඒ අපේ විමලේ ලොකු තාත්තා ගේ බිරිඳ  ජයවතී ලොකු අම්මාය.

ජයංගනී වහ වහා තම නිවස දෙසට පිය මැන්නාය.  මමද  සාක්කුවට වැටුණු  ඉතිරි සල්ලිත්  රැගෙන ගෙදර ගියෙමි.

ලොකු අම්මා  ඒ වෙලාවේ අපට කිසිවක් කිවේ නැත.

එහෙත් දින කිහිපයකට පසු

"ජයන්ගනිට නරක් වෙලා තියෙයි  දොස්තර කෙනෙක් අල්ලාගෙන "

කියා ගමේ අනික් ගැහැණුන් සමග පැවසූ බව අපට ආරංචි විය.

ඒ වන විට මා උසස් පෙළ සමත්ව සිටියේ නැත.

එහෙත් ලොකු අම්මා මම දොස්තර කෙනෙකු වනු ඇතැයි අනුමාන කරන්නට ඇත්තේ ඒ වන විටත් සමන්ත වෙද විදුහලට ගොස් සිටි නිසා වන්නට ඇත.







Friday, 22 April 2016

කොක්කන මල් එකට එකයි එකට කතත් බොක්ක වෙනයි



අපේ ගෙට පල්ලැහැ  ගෙදර සිටි පල්ලැහැ ගෙදර ජේන් අක්කා ඔබට මතක තිබේ යැයි සිතමි.

 රස්නායක මුදියන්සේලාගේ  ජේන් නෝනා යන නාමයෙන් හැඳින් වුන ඈ අපේ අම්මලා සහ රාජුමාමා ඇතුළු අපේ නෑදෑයින් විසින් ඇමතුවේ "ජේන් අක්කා" යන නමිනි.

ඊළඟ පරපුරේ වූ අපටද ඇය ජේන් අක්කාම විය.

එපමනක් නොව මේ මෑතකදී අපෙන් සදහටම සමුගත් ඇයට  අපේ චුටි නංගිගේ දරුවන් කීවේද ජේන් අක්කා කියාය.

ඒ කාලේ ජේන් අක්කලා අපේ අම්මලා තරම් පොහොසත් පවුලක් නොවිය.

ඔවුන්ට සිටියේ මැණිකේ නම් එකම දියණියකී. මැණිකේ අපේ සමන්තගේ වයසේ වූ දැරිවියකි.

 සාපේක්ෂව අදායම අඩු වුවද  පස් දෙනෙක් සිටි අපේ පවුලට තරම් දරුවන්ගේ ගැටළු ජේන් අක්කලාට  පැන නැගුනේ නැත.

අපේ පවුලේ සාමාජිකයින්  පස් දෙනා අතරින් සමන්ත සහ අක්කා ජේන් අක්කලාට  එතරම් ඇඟලුම් කමක් දැක්වුයේ නැත.

මම ජේන් අක්කලා සමග ගණුදෙනු වලදී  මැදුම් පිළිවෙතක සිටියෙමි.

පවුලේ අනිත් අය එසේ වුවත්  නිතර ජේන් අක්කලා ගෙදර යමින්  ( අපේ වචනයෙන් කිව්වොත් රිංගමින් )

සිටියේ  අපේ චුටි නංගිය. ඒ නිසාම ඇය ජේන් අක්කා ගේ සුරතලියද වුවාය.

අප ගෙදර දොර ඇතිවන සණ්ඩු සරුවල්  වලදී  සමන්තගේ නිරන්තර පහර දිම් වලට ලක්වුයේ මමත් චුටි නංගියාත්ය.

අක්කා සමන්තත් සමග එකට එක කරමින් සම තැන් ගන්නට හුරු වී සිටියාය.

අප හතරදෙනා සෙල්ලම් කරමින් සිටිනා අතර  බොහෝ දිනවලදී

"අනේ ජේන් අක්කේ මාව බේරගන්න.."

 කියමින් චුටි නංගි ජේන් අක්කා වෙත දිව යන්නේ පසු පසින් හඹා එන සමන්ත ඇතුළු අපගෙන් ගැලවෙන්නට මගක් සොයමිනි.

"එක්කෙනක් වත් මගේ  කෙල්ලට එහෙම අතක් තියනවා නෙවෙයි" කියමින් ජේන් අක්කා අපේ චුටි නංගි තම තුරුලට ගනියි.

පරාජිත වූ අප  චුටි නංගිටත් ජේන් අක්කාටත් දෙදෙනාටම බැන බැන ගෙදර එන්නෙමු.


මෙවන් අවස්ථාවක අපෙන් ගැලවෙන්නට ලොකු නංගි  යොදා නොගන්නා උපක්‍රමයක් නැත.

උදාහරණයක් ලෙස අප තිදෙනාම අන්ද මන්ද කල සිදුවීමක් මා මතකයට නැගෙන්නේ සිද්ධියට චුටි නංගි මෙන්ම ජේන් අක්කලා ගෙදරද සම්බන්ධ නිසාය.

එදා ජේන් අක්කා ගෙදර සිටියේ නැත.

 පුරුදු පරිදි වැඩිහිටි තිදෙනා එක පැත්තකට වී  ලොකු  නංගිට "නම්පනම්"  කියමින් සිටිති.

කිසියම් හේතුවක් නිසා සමන්තත් මමත් අක්කාත් ඇය පසු පස හඹා යන්නට  පටන් ගතිමු .

අපෙන් බේරීමට ජේන් අක්කලා ගෙදරට දිව ගිය ඈ අසරණ වුයේ ජේන් අක්කාගේ කටුමැටි කුස්සියේ වූ පිටපලු දොරට දමා තිබු ඉබ්බා දුටු විටයි.

"පාපු කීරි.. අද අහුවුනා.... කෝ උඹේ මහලොකු   ජේන් අක්කා නෑ නේද අද උඹ බේරගන්න ? "

කියමින් සමන්ත ඇතුළු අප තිදෙනා ගොදුර වෙත සෙමින් සෙමින් ලඟා වෙමින් සිටියෙමු.

හදිසියේම  ජේන් අක්කලා මිදුලේ හරහට දිව ගිය ලොකු නංගි ලොකට් ගහලඟ තිබු මානං  වැසූ කුටියකට රිංගුවාය.

එසේ ගිය ඈ එහි තිබු පිට පලු අතර හිඳ ගත්තේ  "වරෙල්ලා පුළුවන් නම් මන් අල්ලපල්ලා " කියමින් අපට අභියෝග කරන්නාක් මෙනි.

අදාල කුටියේ සැබෑ විස්තරය දන්නා අප කිසිවෙක් ඒ පැත්ත පළාතට වත් නොගියේ එයින් පිටවන අධික දුර්ගන්ධය  ඉවසීමට තරම් අපේ නාස් වලට ශක්තියක් නොතිබූ බැවිනි.

නංගි එදා අපෙන් බේරී සැඟවීමට  යොදා ගත්තේ ජේන් අක්කලාගේ  වල කකුස්සියයි.



ජේන් අක්කගේ ගුරුහරු කම්



චුටි දුව යන සුරතල් නාමයෙන් හැඳින් වුන අපේ නංගිට ජේන් අක්කා විසින් උගන්වා තිබු දේවල් රාශියකි.  ඉන් එකක් වුයේ  "එකට කෑම".


"චුටි මහත්තයයි  චුටි නෝනයි  අහලා තියෙනවද "එකට කෑම  " ගැන?  කියමින් දිනක් ජේන් අක්කා මැණිකේ මම සහ නංගි දහවල් ආහාර ගන්නා අවස්ථාවක  "එකට කෑම  " ගැන කියා දුන්නාය.


අප තිදෙනාට වෙන වෙනම පිගන් තුනකට  බත් බෙදා දුන් ඈ  මෙන්න මෙහෙමයි එකට කන්නේ කියා එක්කෙනෙක් ගේ  පිගානේ දෙපැත්තෙන් දෙන්නෙක් බත් කන ක්‍රමයක්  අපට  කියා දුන්නාය.

එකට කෑම


මේ ක්‍රමයට අනුව  දෙදෙනෙක්  එකට කෑම සඳහා  ගිවිස ගත්තේනම්  පළමුවෙන්  එක් අයෙකුගේ පිගාන දෙපැත්තෙන්  කමින් ඉවර කරනු ලැබේ .

අනතරුව  දෙවැන්නාගේ  කෑම පිඟානද  දෙදෙනාම විසින් දෙපැත්තෙන් කා අවසන් කරනු ලැබේ.

නංගියි  මමයි  මෙසේ එක  පිඟා නෙන්  බත් කන අතර ඒ දෙස බලා සිටින  ජේන් අක්කා අන්න  හරි  ඔන්න ඔහොම තමයි කන්න ඕනේ.

කියන්නට විය.  ඒ අතර  හැබැයි චුටි මහත්තයා මෙහෙම දේකුත් තියෙනවා . එක  පිඟානෙන්  කෑවට   කන්නේ දෙන්නෙක්  කියන එක අමතක  කරන්න  හොඳ නෑ.

"කොක්කන මල්  එකට එකයි - එකට කතත්  බොක්ක වෙනයි"

කියමින් අප කන හැටි බලමින් කවියක් කියන්නට විය.

එදා ජේන් අක්කාගෙන්  එකට කන හැටි ඉගෙනගත්  මම ගෙදර අනිත් අයට එකට කෑමේ යෝජනාව ඉදිරිපත් කළෙමි.
මම ආහාර ගන්නා වේගය ගැන හොඳ අවබෝධයක් ඇති අක්කත් සමන්තත්  එක වරකට වඩා මා සමග එකට කෑවේ නැත.

එහෙත් චුටි නංගි එසේ නොවේ  . ඇය ජේන් අක්කා කියූ පරිදිම

 "කොක්කන මල්  එකට එකයි - එකට කතත්  බොක්ක වෙනයි"

කියමින් ඉතා උනන්දුවෙන් එකට කෑමට  යොමුවන්නීය.

ඒ  කාලේ බොහෝ  විට අම්මා අපට බත් බෙදෙන අවස්ථාවේදී   මම චුටි  නංගි වෙත යොමුවන්නෙමි
.
"ඒයි චුටි දුව  අද  අපි දෙන්නා එකට කනවා නේද ?"

"හරි හරි චුටි අය්යා "  ඇය තම පිඟානත්  ගෙන මා දෙසට පැමිණේ.

මුලින්ම  ඇගේ පිඟාන ඉවර කරන අප දෙදෙනා දෙවනුව මගේ පිඟානට  යොමු වන්නෙමු.

"චුටි අය්යා ඔයා හය්යෙන් හය්යෙන් කනවනේ  ? "

නංගි නෝක්කාඩු කියයි.  ඇය  මා තරම් වේගයෙන් කෑම කන්නේ නැත.

ඇත්ත වශයෙන් කියනවා නම්  ඇයට වඩා අවුරුදු තුනකින් වැඩි මහළු කොල්ලෙකු වූ මම  පිඟන් දෙකෙන්ම තුන් කාලකට පමණ වග කියන්නේ අපේ ජේන් අක්කගේ  මේ අලුත්ම ක්‍රමයට පින්සිදු වන්නටයි.




අපේ චුටි නංගි   සහ සැම්සන් අය්යාගේ අක්කා


ජේන් අක්කලා ගෙටත් පහළින් පිහිටා තිබෙන්නේ  ජේන් අක්කගේත් අක්කා වූ  කුමා අක්කාගේ  ගෙදරයි.   

කුමා අක්කගේ  ලොකු  පුතා අපි හැඳින්වුයේ  සැම්සන් අය්යා නමිනි.   

 සැම්සන් අය්යාගේ බිරිඳ මද්දු අක්කා අම්මාගේ අසල්වැසි  සංගමේ ප්‍රධානම සාමාජිකාවකි.

දවල් ආහාරයෙන් පසු අපේ අම්මා ඒ පැත්තේ  නොගියහොත්  සැම්සන් අය්යාගේ අක්කා අපේ ගෙදරට ගොඩ වදියි.

එක් දිනක් සැම්සන් අය්යාගේ අක්කා මහා කළබලයකින්  අම්මා වෙත ආවේ  ..

"බලන්ඩ........  නැන්දා ... .....පුංචි ළමයි මේ වගේ කට කැඩිච්ච  කතා කියනවද ?"  

 " මගේ හිත හොඳටම පෑරුණා  නැන්දලගේ චුටි දුව කියපු දේ අහලා"   යි  කියමිනි.

"ඇයි මද්දු දුව?..... මොකක්ද අපේ එකී කිව්වේ?"

   "ඔය පොඩි එවුන් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා"

"ගණන් ගන්න එපා තමයි " 

"නැන්දට ළමයාගේ කට හදා ගන්න වෙයි "

මම ගෙට එනකොටම  චුටි දුව මගෙන් ඇහුවනේ ..........

"වට්ටක්කත්  මාළුවක් ද ?    තොපේ අම්මත් ගෑණියෙක්ද ? " කියලා.

"දෙය්යනේ  මේකි තියන්ඩ වටින්නේ නෑ නේ.."

"කවුද දන්නේ නෑ මුන්ට ඔය කට කැඩිච්ච කතා  කියලා දෙන්නේ  "

"ඒයි චුටි දුව මෙහෙ වරෙන් ... ඇත්තද උඹ මේ අක්කාට මොකක්ද කිව්වා කියන්නේ?"

"ඇවිත් මේ අක්කාගෙන් සමාව ගනින් "

"කවුද ඕක උඹට කියලා දුන්නේ ?"

"පල්ලැහැ ගෙදර ජේන් අක්කා තමයි මට කිව්වේ."

නංගි තම දෙවැනි අම්මා කියා දුන් වාක්‍ය ඛණ්ඩය  පාවිච්චි කරන්නට ගොස් අමාරුවේ වැටුනේ එළෙසිනි.


Thursday, 21 April 2016

ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා



මට  1983-1984  කාලයේදී සිදු වූ සිදුවීම් මාලාවක් මතක් වුනා  . එවකට මම  අරලගංවිල මහා විද්‍යාලයේ අට -නවය වසර වල ශිෂ්‍යයෙක්.

ඒ කතාව මතක් වීමට මූලික හේතුව අපේ තාත්තා  මෑතකදී මට එවන ලද චායාරූප කිහිපයක් .



ඒවායින් පෙන්නුම් කරන්නේ මන්ද මානසික අක්ක නගෝ දෙදෙනෙක් අබලන් වූ නිවසක් ඉදිරිපස සිටිනා දර්ශනයක්



මේ චායාරුප වල ඉන්නේ අපේ අම්මාගේ ගම වූ කිරඹ ඔය  ප්‍රදේශයේ  දැනට වාසය කරන වැඩිහිටි කාන්තාවක්  දෙදෙනේක් .

ඔවුන්ගේ  අම්මා , තාත්තා සහ  අය්යා  යන තිදෙනාම දැන් ජිවතුන් අතර නැහැ.

එම නිසා අවිවාහක කාන්තාවන් වූ මේ දෙන්නා දැන් මේ ගෙදර ජිවත් වන්නේ තනියමයි.



මේ දෙදෙනාගේ  මව අප කුඩා කල හැඳින් වුයේ "ඤන්   ඤඋන්"  ආතා  යන නමින්.

ඤන්   ඤඋන්   හඬින්  ( නහයෙන් කතා කරමින්) මිනිසුන් අමතන නිසා කිරඹ ඔයේ අය ඇයට මේ නම පටබැඳ තිබුණා.

එතරම් උස නැති  එමෙන්ම කෙට්ටු ශරීරයකට හිමිකම් කී ඇය  අපේ ගෙවල් වල එන්නේ  කුඩා පන් මල්ලක්

කිහිල්ලේ රුවාගෙනයි.

චිත්තයද  තරමක් කොටට හැඳ සිටින ඤන්   ඤඋන්   ආතා වැනි චරිත බොහෝ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබෙනවා.

ඔවුන් ගේ  පියා "හුලං " මුත්තා . එයා  කෙට්ටුම කෙට්ටු මනුස්සයෙක්.

හුලඟකට වුනත් ගහගෙන යන්න තරම්  සැහැල්ලු මිනිහෙක් නිසා එයාට ගම්මු හුලං  කියලා කිව්වා.

හුලං මුත්තා මිය ඇදිලා ගොඩක් කල්. හැබැයි ඤන්   ඤඋන් නැතිවුනේ මේ ළඟදී කියලයි ආරංචි.

එයාගේ තුන්මාසේ දානේ දෙන්න යද්දී වැස්ස එනකොට වහලෙට උඩින් ඉටිරෙදි දාලා තමයි දානේ දීලා තියෙන්නේ.

"බිඩි විමලේ" නමින් හැඳින් වුන විමලරත්න මාමා තමයි ඔවුන්ගේ අය්යා.

ඔහු බිඩි  බිම නිසා ඇතිවූ හදවත් රෝගයට  බියවී සියදිවි නසාගත්තා.

චමින්දලා අප්පච්චිගේ  කඩේ  ලෑලි බන්කුවට වී   ගංගා බිඩි කිහිපයක් සාක්කුවේ රුවාගෙන  බිඩි බොන විමලේ මාමා එකල  සුලභ දර්ශනයක්.



කිරඹඔය ගමේ බොහෝ දෙනෙක් ගේ වගේම  මේ දෙදෙනගේද නම් අවසන් වන්නේ "රාජපක්ෂ" යන පෙළපත් නාමයෙන් .

අපේ අම්මා මෙන්ම   කුඩා කල සිට මේ දක්වාම  පැවතෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට  උරුම කම් කියන
චමින්ද   ගේත් නම් අවසන් කෙරෙන්නේ  "රාජපක්ෂ" කෑල්ලකින්.

පසුගිය දිනක අපේ ප්‍රජා සත්කාර වැඩ ගැන කතා කල චමින්ද   ඤන්   ඤඋන්  ආතා ගේ  දියණියන් දෙදෙනා ජිවත් වන  මේ නිවසේ වහලය අබලන් වී ඇති බවත් ඒ නිසා  ඒ වෙනුවෙන් අප දෙදෙනා මැදිහත් විය යුතු බවත් සඳහන් කළා.

"ඒක නෙවෙයි මචං... අපේ අර ගෙවල් දෙකේ කපරාරු වට යි  ජනෙල් වලටයි කියලා ඩොලර් 1100 ක්  දුන්නා අපේ ඉස්කෝලේ යාළුවෙක්"

"මිනිහා මෙහෙ ඉන්න  GP කෙනෙක් "

මම චමින්ද එක්ක කිව්වේ අපේ  අපේ ප්‍රජා සත්කාර වැඩ වලට මෑතකදී  ලැබුණු ලොකු ආධාරයක් ගැනයි.

"මචං කිටී.. ඕකෙන් ටිකක් දාපන්කෝ බං අර  විමලේ මාමලා ගෙදර වහලේ හරි ගස්සලා දෙන්න.."

"එහෙම බැහැනේ බං, .......  කාලිංගයා යි  සෙව්වන්දියි  මේ සල්ලි දුන්නේ අර ගෙවල් දෙකට  ..අපි  මේකට වෙනම සල්ලි හොයමු "

"උඹලා අක්කටත් කියපන් ගානක් දෙන්න කියලා "

මම නැවතත්  වහලේ ගණුදෙනුව චමින්දගේ ඇඟේ ගසමින් පැවසුවෙමි.

"උඹලා චාමර මල්ලිගේ  අකවුන්ට් එකට සල්ලි දාමු . අපි ඉස්සෙල්ලාම  අර කලුලා ගෙදර වැඩේ පටන් ගත්තෙත් එහෙමම මනේ "

"මම අපේ තාත්තා සෙට් කරලා දෙන්නම්  මල්දෙණිය පැත්තෙන් වැඩේට බහින්න . කිරඹ ඔයෙන් උඹලා මල්ලියි  හෙළ ගෙදර අමරේ මාමයි ගමු."

මම වැඩේ කෙරෙනා හැටි  චමින්දට පැහැදිලි කළෙමි.

සාකච්චාව අවසන් කල මා අප සිටිනා රටේම පදිංචි චමින්දගේ අක්කා  නිම්නා අක්කාට  දුරකථන ඇමතුමක් ගත්තෙමි.

"හරි මල්ලී මම ඩොලර් 150 ක්  දාන්නම්" .

 පළමු ලන්සුව නිම්නා අක්කාගෙනි.

අනතුරුව  ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් 2000ක් සහ  චමින්ද ගේ සහභාගිත්වයත් ඇතුව  අර මුදල  දැන් රුපියල් 27000ක්  වී තිබේ.

තාත්තා සහ අමරේ මාමා එකතුවී   වහළයට සෙවිලි ගැනීමට සහ අනෙකුත් දේවල් වලට යන වියදම් සලකා බලා ඇස්තමේන්තුවක්  සකස් කර ඇත.

ඒ අනුව මේ සඳහා වැය වන්නේ  රුපියල් 80000- 90000 ක් අතර ප්‍රමාණයකි.


ලැබෙන ආධාර රැස් කෙරෙන්නේ චාමර මල්ලිගේ  BOC අකවුන්ට් එකේය.

චාමර මල්ලිගේ ගිණුමේ විස්තර පහළින් :

ගිණුමේ නම :   RMK Rajapaksha 

ගිණුම් අංකය:  0002123472

බැංකුව සහ ශාඛාව:  ලංකා බැංකුව  , බණ්ඩාරවෙල 


කරුණා කර ඔබට දිය හැකි ආධාරයක් මේ ගිණුමට යොමු කරන්න. ඒ  අතර ඒ බව මට මුහුණු පොතෙන් හෝ මෙම බ්ලොගය තුලින් දැනුම් දෙන්න.

කිරඹ ඔය- මල්දෙණිය දෙගම් වාසින් ශ්‍රමධානයක් මගින් මේ වැඩේ කරන්නට සුදානම් . අපි හැකි ඉකමනින් මුදල් එකතු කර දෙමු.

ඤන්   ඤඋන්  ආතා අපේ කුඩා කාලයට සම්බන්ධ වූ හැටි ඊළඟ පොස්ට් එකෙන්..


ඔබ සැමට  ජය!!!

මේ  ගෙදර  කල මුල්ම ශ්‍රමදානය ගැන ලිව්වා.. මෙන්න මේක කියවන්න

23/07/2016

මේ ගෙදර වහලයෙන් පස්සේ බිත්ති  සුදු කීරීමට සහ  වයරින් එක අලුත් වැඩියා කිරීමට උවමනා බව තාත්තා කිව්වා..
එයාලා කපරාරුව දැන් කරගෙන යනවා . බාසුන්නැහෙලා  හොයාගන්න බැරිව ටිකක් ප්‍රමාද වුණා.



Sunday, 17 April 2016

මහා වැස්සක පෙර නිමිති



පසුගිය කොටසෙන් .......

මේ ගුරු පාරේ


කඩේ ලොකු අය්යා අපට වාහනය නැවැත්වීමෙන් පසු නැවතත් ගමන් ඇරඹු අප දැන් ඩන් ලොප් වත්ත පසුකරමින් සිටින්නෙමු.

මේ තේ  වත්තේ  පිහිටීම විස්තර කළහොත්  අම්බලම ළඟ කන්ද පසු කිරීමෙන් එන තැනිතලාවේ මැද හරියේදී  "බෝටි " මහත්තයට අයත් මේ වත්ත හමුවෙයි.

වත්ත මැදින් යන ගුරු පාර දිවෙන්නේ ජයන්ගනිත් මමත් දෙදනාම ජිවත් වූ මල් දෙණිය ගමටයි.

පාර දෙපස කොළ පාටින් පිරිණු තේ ගස් හැරෙන්නට ඇත්තේ වත්තේ මැදට වන්නට වූ මාර ගස් දෙක තුනක් පමණි.

ජයංගනී පොත් මිටියත් ළයට තුරුළු කරගෙන ගමනේ යෙදෙයි . ඇතින් පෙනෙන කඳු මුදුන දෙස බැලුවිට දිස්වන්නේ අපේ නිවස පිහිටි ප්‍රදේශයයි.

ඩන් ලොප් වත්තට කෙලින්ම අපේ ගෙදර නොපෙනුනත් ඊට ගෙවල් දෙකකට පහළින් ඇති සැම්සන් අය්යලා ගෙදර එක එල්ලේම දිස්වේ.

අපේ අම්මා සැම්සන් අක්කා සමග කදයක් දාගන්න ඇවිත් සිටියහොත් කළු සුදු කුඩා තිත් දෙකක් මෙන් අප දෙදෙනා දිස්වනු ඇත.

මේ නිවසේ දසුනට වඩා ඒ කන්ද දෙස බලන මා හට එදා දිස්වූයේ වෙනත් දසුනකි.  ඒ  කළු කළුම වලා කුළු  පොදී පිටින් ඒ පැත්තට එකතු වන දසුනයි.

"ඒයි  අන්න  අර පැත්තෙන් කළු කරගෙන එනවා  .. මහා වැස්සක් එන්න වගේ ලෑස්තිය"

"ඔයා ගාව කුඩයක් තියෙනවද ? මා ගාව නම් මොකවත් නෑ.."

මම හොරැහින් ජයන්ගනිගේ  පොත් මිටිය දෙස බැලුවෙමි.

"තියෙනවා .. ඇයි මොකෝ...? එකේ  දෙන්නෙකුට ඉඩ නෑ .."

සාමාන්‍යයෙන් ජයංගනී පංති ගොස් එනවිට අව්වට කුඩයක් ඔසවා ගනී.

එහෙත්  හිසට ආවරණයක් නැති මාත් සමග යනවිට ඇය කොතරම් අව්ව තිබුනත් ඒ කුඩය ඔසවන්නේ නැත.

ඒ මම වේලි වේලි යද්දී ඇය කුඩේ යටින් යන එක හරි නැති නිසා යැයි මට සිතේ.

මහා වැස්සක් කඩා හැලෙයි


ඩන් ලොප් වත්තේ මැද හරියට එද්දී  ගුරුපාර  පල්ලමකට  ගමන් කරයි  .

වත්ත අවසානයේ හමුවන්නේ චමින්දලා කුඹුරපිහිටි  බැවුමත්, මල්දෙණියේ නාන පීල්ලත් ඇති ප්‍රදේශයයි.

අපි ඒ දෙසට ඇති බෑවුම බහින්න පටන් ගැනීමත් සමගම ...

  අපේ ගෙවල් පැත්තෙන් "ස්රාස් .."  ගාමින් මහා හඬක් සහිතව පැමිණි වැස්ස ජයන්ගනිත් මමත් තෙත බරිත කරන්නට පටන් ගත්තේය.

මෙතෙක් තම ළය තුරුලේ තිබු නිල් පාට මල් මල් කුඩය එළියට ගත් ජයා නංගි එය දිග හැරියාය.

මම තවමත් තෙමෙමින් ඉදිරියට ඇදුනෙමි. මගේ ඉත්තෑ කූරු වැනි කොන්ඩේ තෙමි මුහුණට වතුර බේරේ....

"මේ  සෙල්ලම් නැතුව එනවා මේ කුඩේ යටට " ජයංගනී මට පැවසුවේ ඔලොක්කුවට මෙනි.

ඉබ්බා දියට දාන්න හදද්දී  ඇන්නෑවයි බොලේ  කීවේලු....

මම හෙමින්ම ඇගේ කුඩේ යටට ඇදුනෙමි .



නාකපන වැස්ස  මගේ ශරීරයේ පහළ භාගය සම්පුර්නයෙන්ම තෙමා හමාරය.

අහල පහළ මිනිස් පුළුටක් දක්නට නැත..

මෙතෙක්  සබකෝලයෙන් පසුවූ මගේ සිත දැන් වෙනත් හැඟීම් වලින් පිරීයයි.  මේ අපි ඉන්නේ අපේ  ගමට යන ප්‍රධාන පාරේ බවද මට අමතක වූ සෙයකි.

වමතේ ඇති පොත එසේ තිබෙද්දී මගේ දකුණත ජයන්ගනිගේ  කරවට වැටෙන්නට වැඩි වෙලාවක් ගත වුයේ නැත.

" මේ තමුසෙට පිස්සුද?  කවුරු හරි දැක්කොත් එහෙම විසුමක් වෙන්න නෑ.. "

ඇය වහාම මගේ අත ගසා දැම්මාය.






Friday, 15 April 2016

මේ ගුරු පාරේ














(ටික කලක් ලියන්න අතපසු වුණු කතාවක්)

එදා සුදර්ශියේ  විද්‍යා පංති ගිහින් එන ජයංගනී සහ ඇය කැඳවා ගෙන ගම දෙසට එන මම එක බස් එකේ ආ තවත් දවසක්.

ෆැක්ටරිය ළගින් බස් එකෙන් බැස්ස අපි මල්දෙණිය දෙසට එන ගුරු පාරේ ගමන් ගන්න පටන් ගත්තා විතරයි.

"ඒයි කවුද අද ටොෆි ගන්නේ ? " මම ජයංගනී ගෙන් ඇසුවේ අපි දෙන්නාගේ ඒ කාලේ සිරිතක් ගැනයි.

ඒ අප යන ගුරු පාර ආරම්භ  වෙන තැනම ඇති චමින්දලා කඩෙන්  (මැදපුරණේ කඩෙන් ) යමක් රැගෙන බෙදා හදා ගෙන කෑම අපේ පුරුද්දක්ව තිබුණ නිසයි.

"මගේ ළඟ නම් සල්ලි නෑ.. "

අදත් "ඩොට් ටොෆිද"  ගන්නේ ? ඔයා ඉතින් ආසම ඩොට් වලටනේ?"

ජයංගනී මට පැවසුවාය.

ඇය තම අතේ ඇති පොත් මිටිය ලයට තුරුළු කරගෙන රෝස පාට ලේන්සුවක් අනෙක් අතින් කරකවමින් සිටියි.

ඇය හැඳ සිටි ලා කහපාට  ගවුමේ පොත් මිටියට හිරවෙන හරියේ ලියා ඇති "ROCK"  නම් අකුරු ටික පොත් මිටිය අතරින් මා දෙනෙතට හසුවේ.

"මෙන්න මගේ ගානේ රුපියල් පහක් ... පියදාස මාම නේද කඩේ ඉන්නේ . ඕකෙන් ඩොට් දහයක්  අරන් එනවා කෝලම් නොකර"

මම රුපියල් පහේ කොලයක් ජයංගනී අත තැබුවෙමි.



ඒ කාලේ ඩොට් එකක් ශත විසිපහක් පමණි.  ටොෆි රැගෙන මා වෙත එකතු වූ ජයංගනී මට ටොෆි කිහිපයක් දුන්නාය .

මම එකක් කටේ දමාගෙන ඉතිරිය සාක්කුවේ දමා ගත්තෙමි.

"ඉතිරි සල්ලි..?

" ඔයා ඕක තියා ගන්න ළමයෝ ඊළඟ දවසකට මොනා හරි ගන්න "

මා අතට ඉතිරි සල්ලි දෙන්න  පොරකන ජයන්ගනිට කීවෙමි.

නැවතත් ගමන ඇරඹු අප දැන් ඉන්ජින් ඩ්‍රයිවර් ගේ  කඩේ පසු කරමින් සිටින්නෙමු.

අම්බලම දෙසට කන්ද  නගිමින් යන ජයංගනී මා හා බට්ටිච්චියක් මෙන් වල් පල් දොඩවමින් ගමන් කරයි.

" බ්‍රාස්..."

අප පසු කර මද දුරක් ගොස් නතර වුයේ නිල් පාට ඩෙලිකා එකකි.

ජයංගනී භය බිරාන්තවී මා දෙස බලනු පෙනේ.

රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ඇති අදින දොර විවුර්ත විය .

රියදුරු අසුනෙන් අපේ තාත්තාගේ  ගොරහැඩි , සැරපරුෂ හඬ දැන් දැන් ඇසෙනු ඇතැයි......

 ඈ සිතනා බව ජයන්ගනිගේ මුවත්තියක් වැනි  අහිංසක බැල්ම මට කියයි.

"මල්ලී නගින්න .. නගින්න .. දෙන්නම එන්න මම ගිහින් බස්සවන්නම් "

ඇසුණේ ළාමක තරුණ කටහඬකි.

ඒ පුංචිරාළ මාමගේ ලොකු පුතා කේෂන් කඩේ ලොකු අය්යාය.

"අය්යලා යන්න අපි හෙමිහිට එන්නම්"  මම ඩෙලිකා එක පිටත් කර හැරියෙමි.

"හම්මෝ මම බයවෙච්ච  තරමක්  .. දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ "  ජයංගනී සැනසුම් සුසුමක් හෙළුවාය.

"බය වුනා නේද .. හොඳ වැඩේ "  මම බඩ අල්ලා ගෙන සිනා සෙමින් පැවසුවෙමි.

ඒ වනවිට අපේ තාත්තගේ ගුරු හරුකම් ලබා ගත් කඩේ ලොකු අය්යත් , චුටි අය්යත් දෙදෙනාම රියදුරන් වී සිටියහ.

ඒ සෙනසුරාදා තාත්තා ඇතිමලේ බාප්පාගේ දානෙට ගොස් සිටි බව මා දැන සිටියද ජයංගනී ඒ බව දන්නේ නැත.

ජයංගනී නැවතත්  ඩොට් එකක් හපමින් කතාව පටන් ගත්තාය.




ඊළඟ කොටස මෙතනින් කියවන්න 

Tuesday, 12 April 2016

බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ



කොහෝ කොහෝ  කොහේ ඉඳන්  කොහෝ කියනවදෝ  .......

අවුරුද්දට අපේ දිහා නෑ ගම්  එනවදෝ   .....

රේඩියෝවෙන්   ඇසෙන්නේ  සනත් නන්දසිරි ඇතුළු පිරිස ගයන මේ  ගීතයයි.




කොළතැන්නේ  ලැයිමේ  ගෙදර පැත්තෙන් ......


"උඩින් උඩින් වර  පෙත්තප්පු- බිමින් බිමින් වර පෙත්තපු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර  පෙත්තපු "



යන හඬින්  රබන් වාදනයක්  ගම පුරා පැතිර යයි.

අක්කත් මමත්  කුඩු දවුල කොළ,  සමර  බෑග්  , හුණු  බෑග්  සහ ඩිස්ටැම්පර්  ටින් එහෙම අරගෙන   අපේ  ගේ කල එලි කරන්නට  ලක ලැහැස්ති වන්නෙමු.

අම්මා  පල්ලැහැ ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස සමුපකාරයට  යන්නේ  මල් මල් චීත්ත රෙදි සහ  ඉරි ඉරි පිජාමා සරම් රෙදි රැගෙන එන්නටය. මේවායින් සමහරක තිබුණ නැවුම් සුවඳ  "ලාම්පුතෙල් "  සුවඳක්  මෙන් දැනුණා මතකය.

ජේන් අක්කා ගේ  අක්කා වූ කුමා අක්කාට  මේ  කාලේ  මාර  ඉල්ලුමක් තිබේ.. ඇය කුඩු දවුල කොළ  වල  නානු දමමින්  "ආස්මි " හදන්න හැකි ගම්  ගොඩේ සිටි එකම කාන්තාව වීම  මේ  ඉල්ලුමට හේතුවයි.

මේ අතර පල්ලැහැ කුමාර අය්යලා  ,සිරිල් අය්යලා ඇතුළු "ශ්‍රී සිද්දාර්ථ  එකමුතු යව්වන සමාජය "  ගමපුරා ඇවිදිමින් ආධාර  පත්‍රයකට  මුදල්  එකතු කරති.

අපේ ගමට   සිංහල  හා හින්දු අළුත් අවුරුද්ද එළැඹෙන්නේ  මේ ආකාරයටයි.



අපේ සමන්ත එකමුතු යව්වන  සමාජයේ   යාව ජීව  සාමාජිකයෙකු වුවද  මම  එහි රැස්වීමකට  ගියේ  එක වරක්  පමණි .

ඒ  පල්ලැහැ  කුමාර අය්යා සහ කොළතැන්නේ  චුට්ටි අය්යා ගේ  පෙරැත්ත වල්ටට්යි. එහෙත් ඔවුන් කල ශ්‍රමධාන  , අවුරුදු උත්සව, නාට්‍ය , සංගීත  සංදර්ශන හැම එකකටම  මමද සහභාගි  වුනෙමි.

මහා බක් මහා උළෙල 


ඒ  1989  බක්  හෙවත් අප්‍රේල්  මාසයයි.

මේ වනවිට   චමින්ද  , සුරාජ්  සහ  මා එකම කල්ලියක් ලෙස උසස් පෙළ විද්‍යා  විෂයන්ට  පාඩම්  කරමින් සිටියෙමු.

ජයංගනී නංගි , සීනි බනිස් , පුස් බනිස් ඇතුළු  තිදෙනෙක්ද  අපේ  කතාවල  චරිත වී  සිටියේ  මේ  කාල වකවානුවේමය.

දිනක්  සමන් අය්යාගේ  පංති ඇරී එන ගමන් චමින්දයා  අපේ  අවුරුදු උත්සව සැලසුම සාකච්චා කලේ මෙසේය.

"මචං  කවිඳු ... මේ පාර අවුරුදු උත්සවේට දාමුකෝ බං  කඩයක් "

"මම  අප්පච්චිගේ  කඩෙන් බඩු ටිකකුයි  මගේ ගානේ තව බඩු ටික කුයි අරන් දෙන්නම්"

" මචං එහෙම වුනාම අපි කඩේට හිරවෙනවනේ ?"

"ජයන්ගනිලා  ගල් බනිස්ලා  එහෙම ආවත් බලන්න වත් වෙන්නේ නැහැනේ "  මමත් සුරාජයත් මැසිවිලි නැගුවෙමු.

"ඉතින් මචං  අපි තුන්දෙනෙක් ඉන්නවනේ  මාරුවෙන් මාරුවට කඩේ ඉමු "

" මම කුමාර අය්යා ගෙන්  අහන්නම් කෝ  කඩේයක්  දාන්න අවසර දෙනවද කියලා "

චමින්දයා ඒ කාලෙත් හොඳ සටකපට බිස්නස් කාරයෙකි.

මගෙත් සුරාජ්ගේත් වැඩි කැමැත්තක් නොතිබුණද   මල්දෙණිය - කිරඹ ඔය  බක්මහ  උළෙලේ  වෙළදාමක් කිරීමේ අදහස ඔහු ස්ථිර කර ගත්තේ එලෙසිනි.

"උඹ ඉතින් ඔය ඉස්කෝලේ බිස්නස් කරලා තියෙනවනේ ?"

චමින්දයා මට මතක් කර දුන්නේ මම හතේ  පන්තියේ ඉන්දැද්දී "සැඟවුණු දයිවය "  නාට්‍ය දවසේ කල    ටොෆි සිගරට් බිස්නස් එක  ගැනයි.

ඒ වන විට  මම එළවළු වගා කප්පිත්තෙක් වුවද  ඊට  චමින්දයා එළවලු වැවීමට අමතරව උගේ අප්පච්චිගේ කඩේ ඇතුලේ බැටරි චාජරයක් හෙම තාබාගෙන  සියිඩ් බිස්නස් එකක්ද කළේය.

මම  හතේ- අටේ පංති  වලදී  සාර්ථක බිස්නස් කරුවෙක් වුවද මේ  කාලයේ මම සිදුකලේ එළවලු වගාවත්  ජයංගනී ලා ඇතුළු ළමයින් රැලකට  ටියුෂන් පංති කිරීමත් පමණි.

අපේ ගමේ බක් මහා උළෙලේ ප්‍රධානම අංගයක් වුයේ  "ගම හරහා දිවීමේ" තරඟ යයි. ඊට අමතරව අසු ගණන්වල  අග භාගයේ ප්‍රසිද්ධ වෙමින් ගිය අනිත් අංගය  "මහා වොලිබෝල්" තරඟාවලියයි.

සිධාර්ථ එකමුතු කණ්ඩායම, අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ  කේෂන් වත්තේ  දෙමළ ක්‍රීඩකයින් සහ දම්බගොල්ලේ සිංහල ක්‍රීඩකයින් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තුන මෙයට සහභාගී වූ ප්‍රබලම කණ්ඩායම් විය.

විශ්ව විද්‍යාලයට යන්නට පෙර මේ තරඟ සියල්ලේ නිවේදන කටයුතු කලේ එකල පළාතේ ප්‍රසිද්ධ නිවේදකයෙකයකු වූ අපේ අය්යා සමන්ත   විසිනි.

එහෙත්  මේ වනවිට සමන්ත ගමේ නොසිටි නිසා  අවස්ථාවක්  ලැබුනොත් ඔහුගේ  තැන ගැනීමට සුදානමක් සහිතව සිටියෙමි.

පළාතේ ප්‍රසිද්ධ    දේශපාලන කථිකයෙකු වූ  "නාමරත්න මහත්තයාගේ " පොඩි පුතා ලෙස මටද  යමක් කල හැකි වේයැයි තද බල විශ්වාශයක් මා තුල තිබුණි.


මට මතක හැටියට කුමාර අය්යාද  මේ ගැන මා සමග කතා කර තිබුණේය .

"චුටි මල්ලී ... සමන්ත ගමේ නැති නිසා ඔයාට පුළුවන් නේද  අපේ අනවුන්සින් කරන්න"

"බලන්ඩ කෝ  කුමාර අය්යා මේ චමින්දයා කඩයක්  දාන්න හදනවනේ  මගෙනුත් සපෝර්ට් එකක් ඉල්ලුවා "

"මටත් ටික වෙලාවක්  කඩේ ඉන්න වෙනවා  ....එහෙම වුනොත් වොලිබෝල් මැච් එක විතරක් වත් කරලා දෙන්නම් "

චමින්දයා කඩ කෙරුවාව පටන් ගන්නට පෙර නම් මම සිතා සිටියේ ජයන්ගනිලා ඇතුළු ගමටම පෙනෙන්නට  නිවේදකයෙක් ලෙස කල එලි බසින්නටයි.

එහෙත් දැන් සිදුවන්නේ  කඩේ බිස්නස් කරන අතර අවස්ථාවක් ලදහොත් වොලිබෝල් මැච් එක ආවරණය කරන්නටයි.


බිම කඩේ සහ වොලිබෝල් මැච් එක



අවුරුදු උත්සවය පැවැත්වෙන දවස උදාවිය.  

"ප්‍රදේශවාසී මව් වරුනි , පියවරුනි , සහෝදර සහෝදරයනි ... මේ ඔබ අමතන්නේ  කිරඹ ඔය- මල්දෙණිය ශ්‍රී සිදුහත් එකමුතු යව්වන සමිතියයි "

යන හඬත් සමග උළෙලේ මුල්ම අංගය "ගම හරහා දිවීමේ තරගය " ආරම්භයට  සුදානම් වන බව සඳහන් කල හඬ  පල්ලැහැ සිරිල් අය්යගේය .

අපේ සමන්තගේ මෙන්  තීව්‍ර නොවුනත් වෙලාවේ හැටියට නරකම නැති හඬක් සිරිල්ට තිබිණි.  

මම තරඟ අරඹන තැනට (ඉස්කෝලේ ගේට්ටුව ලඟට )  යන්නට  නොනිත් අසාවෙන් සිටියෙමි.

එහෙත්  ඉස්කෝලේ වත්තේ තිබු  ලොකට්  ගස යට  ( හෝඩියේ පංතිය  පැත්තට වන්නට )  චමින්දයා  අටවා තිබු ටකරන් මඩුවේ  බිම බෝතල් ආදිය  අස්පස් කරමින් සිටි මට ඒ සඳහා  ඉඩක් ලැබුනේ නැත. 


චමින්ද සුරාජ්  සහ මම ඇතුළු තුන් කට්ටුව මේ වන විට කඩියන් මෙන්  අපේ අවුරුදු වෙළඳ සැල පිළිවෙලක් කරමින් සිටියෙමු. 


කයිවාරු  මාමලා ශාන්ත , එහගෙදර පොඩි රාජා  සහ  කන්දෙගෙදර  පොඩි ඇතුළු මැරතන් සුරයන්  එක පෙළකට සිටිනු කඩේ අස් පස් කරන මට පෙනේ.

තවමත් උදේ හත පසුවුණා පමණි . එහෙත් සිරිල් අය්යා ඉල්ලා සිටි පරිදිම දැන් එකා දෙන්නා  කිරඹ  ඔය පාසැල් ක්‍රීඩාංගනය වෙත ඇදී එමින් පවතී.

ඒ අතර සිටි මට වඩා අවුරුදු හතක් අටක් බාල කොලු ගැටයෙකි. ඒ ජයන්ගනිගේ මල්ලී ( මගේ පාසැල් ගමන් සගයා ) ජානක මල්ලියාය.

ඔහු චමින්දලගේ බලවත් හිතවතෙක් නොවුනද මගේ හිතවත් කම නිසාම කඩේ වැඩ වලට උදව් වෙන්නට ආවේය.

උදේ අට නමය වන විට  කොට්ට පොර ගැසීම, කනා මුට්ටිය බිඳීම , රබන් ගැසීම  වැනි තරඟද ආරම්භ විය.

video


අපේ කඩේ අලියා බිම, වෙෆස්  , smak ආදී වෙළඳ භාණ්ඩද සීග්‍රයෙන් අලෙවී වෙමින් පවතී.

මේ අතර චමින්දයත් සුරාජයත් වරින් වර ජානක මල්ලී සහ  මා පමණක්  බීම කඩේට හිරකර තබා  බනිස්ලා  හෝ  ගල් බනිස්ලා  ඇවිත් ඇද්දැයි බලන්නට යති. ඒ අතරම  අවුරුදු උත්සවයේ විවිධ අංග නරඹති.

තවමත්  අවුරුදු උත්සවයේ  ජනප්‍රියම අංගය  "මහා වොලිබෝල් තරඟා වලිය " ආරම්භ වී නැත. 

එහෙත්   ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයින් වූ කේෂන් වත්තේ  "එගම්බරම්"  කේෂන් කඩේ පුන්චිරාල  මාමලා උපාලි ආදීන්අපේ කඩේට ඇවිත්  නෙක්ටෝ  එහෙම   රැගෙන යමින් සිටියහ.

වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.  විද්‍යාල ක්‍රීඩා පිටිය එකම හිස් ගොඩකි . ජයංගනී අපේ නිම්මි නංගි ඇතුළු කෙල්ලෝ කට්ටියද එහෙ මෙහෙ යනු පෙනේ.

සුරාජ් හෝ චමින්දයා  පෙනෙන තෙක් මානයක වත් නැත.  මගේ තනියට සිටියේ අපේ ජානක මල්ලියා පමණි.  
මම smak දෙකක් කඩා ජානක මල්ලිට එකකුත් මට එකකුත් ගත්තෙමි.

"මෙන්න ඔබ සැම පුල පුලා බලා සිටි අවස්තාව දැන් උදාවෙනවා.. මේ සටහන් වන්නේ මහා වොලිබෝල් තරඟාවලියයයි."

නිවේදකයා බෙරිහන් දෙයි.

දැන් තරඟයේ නිවේදන කටයුතු සඳහා මිය්ක්රෆොනය භාර දෙනවා  අපේ චමින්ද රාජපක්ෂ මල්ලීට..

"ආයුබෝවන් මේ ඇරයුම ප්‍රථම කණ්ඩායම් දෙකටයි . කරුණා කර  අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ කේෂන් රන්තරු කණ්ඩායම  පිටියට වාර්තා කරන්න.."

චමින්දගේ  හඬ ලවුඩස්පිකරයෙන්  ඇසෙන්නට විය.

අවුරුදු නිවේදනය


"අපිට තව අලියා බීම දෙකකුයි  වේෆස් පැකට් එකකුයි දෙන්න " අපේ ගැනුම් කරුවෝ  වෙළඳ සැලට පැමිණ සිටිති .

ජානක මල්ලියා  අලියා බිම කඩනා අතර මම වේෆස් පැකට් දෙක පරිභෝගිකාවන්ට දුන්නෙමි.

ඔවුන් එතැනින් ඉවත් වීමත් සමග තවත් දිවුල් රස smak බෝතල් දෙකක්  කැඩුවේ ජානකටත් මටත් සප්පායම් වන්නටයි.


"වක්කරපාන් ... වක්කරපන්"

  කියමින්  සමහර  නරඹන්නෝ  කේෂන් පිලේ දැල අසලම සිට බෝලය පහලට දමන එගම්බරම් සහ දඹගොල්ලේ පියතිලක ව උනන්දු කරනු ඇසේ .

"ඔන්න දැන් පන්දුව පිරිනැමුවා . පන්දුව පිරිනැමුවේ  රන්තරු පිලේ උපාලි වීරසිංහ විසින් ..  විජය පිලේ පිළිගැනීම සාර්ථකයි...

පන්දුව නැවතත් රන්තරු පිලට... එම පිලේ "එගම්බරම්" විසින් පන්දුව ඔසවා දෙනවා.. අංක 7 පියතිලක dash පහරක් එල්ල කරනවා.. "

"අතිසාර්ථක   dash පහරක්!!!  ඒ  ලකුණත්  ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමට "



චමින්දයා දිගටම කියවා ගෙන යයි .  සුරාජ් ආගිය අතක් නැත.. මම කඩයට වී ක්‍රීඩා විස්තර විචාරයට සවන් දුන්නෙමි.

මගේ තනියට සිටියේ ජයන්ගනිගේ මල්ලී , ජානක මල්ලියා පමණි 

පසු සටහන:  බලාපොරොත්තු  බිඳ වැටුනද  මිතුරාගේ විශ්වාසය  කඩ නොකරන්න.   ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්  වේවා !!! 


Wednesday, 6 April 2016

ද්වියිතික පංතියේ කුල භේදය



ප්‍රාථමික  පන්තියේ කුල  භේදය  ගැන  පසුගිය  පොස්ට් එකකින්  කතා කළා ඔබට මතක් ඇති.....

එය මෙතනින් කියවන්න

අද අප හතේ -අටේ   පංති වල ඉන්නා කාලයේ සිදු වූ තවත් කුල මල සිද්ධියක් ඔබ හමුවේ තබන්නෙමි.

ද්වියිතික  පංතියේ කුල භේදය  



ඒ වන විට අපේ  ඇතිමලේ බාප්පා  නැති වී ගතවී තිබුණේ අවුරුද්දක් හෝ දෙකක් පමණි.

දිනක් අපේ තාත්තාට  ඇතිමලෙන් ලැබුණු ලිපියකින්  බාප්පාගේ  හොඳම හිතවතා වූ  ඇතිමලේ  ඩි. බී.  මාමා  ( ඉස්කෝලේ මහත්තයා )  අපේ ගෙදර එන බව සඳහන් කර තිබුණි.

ඒ  ඇතිමලේ  .... වැල් ගොල්ල  ප්‍රාථමික පාසලෙන් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් ඔහුගේ හිතවත් පවුලක ළමයෙක් අප නිවසේ නැවත් වීමටයි.

අපේ සමන්ත, අක්කා සහ මා වැනි ඉගෙනීමට දක්ෂ ළමයින් සිටිනා නිවසක නවත්වා ඔහු අපේ පාසලේ උසස් පෙළ කීරීමට අවශ්‍ය බව ඩි. බී.  ඉස්කෝලේ මහත්තයා  තාත්තාට පවසා තිබුණි.

මේ බව දැනගත් අපේ අම්මා මුලින් මුලින් මෙයට අකමැත්තක් දැක්වුවද  අලුත් ළමයා ගේ පියා බෝඩින් ගාස්තුවක් ද ගෙවනු ඇති බව පැවසු පසු සිය අකමැත්ත ඉල්ලා ඇස කර ගත්තාය.



කේ. පී . අය්යා අපේ නිවසට එයි



එක් සෙනසුරාදා දවසක  හවස දෙක පමණ වන විට අපේ නිවසට එන කන්ද නගිමින් එන අමුත්තන් තිදෙනෙකි .

ඉහින් කනින් දහඩිය බේරෙමින්  හාල්, පොල් , කෙසෙල් ඇතුළු අඩුම කුඩුම සහිත මල්ලක් හිස දරා එන්නේ  අලුත් සිසුවාගේ පියාණන්ය . 

ඩි. බී.  මාමද ඇතිමලේ බාප්පා මෙන් කළු ලෝන්ග්ස් එකට උඩින් දැමු සුදු කමිසයක් හැඳ  ඔෆිස් බෑග් එකක් ගෙන ලේන්සුවකින් බෙල්ල පිහිමින් එනු පෙනේ.

පසු පසින්ම එන්නේ කළු උස   හීන්දෑරි කොල්ලෙකි.  තඩි රෙදි මල්ලක් ඔහුගේ කරේ එල්ලෙමින් තිබේ.

ඒ අපේ නිවසේ නව බෝඩිම් කරු  කමලනාත් ප්‍රසාද්  මන්තිලක  හෙවත් කේ. පී. මන්තිලක අය්යාය.

අමුත්තන් නිවසට කැඳවූ අම්මා 

"චුටි මේ කට්ටියට තේ ටිකක් හදා ගෙන වරෙන් " අපේ අක්කාට උපදෙස් දුන්නාය.

"කන්ද නැග්ගහම හරි දාඩියයි නේද ?"

"එහෙමයි.. අපේ පැතිවල මෙච්චර සැර කඳු නැහැ නොවැ "

අමුත්තා  පිළිතුරු දුන්නේ තම වම්කර  දකුණතින් පිරිමදිමිනි.

අම්මා ඇසුවේ කේ. පී.  ගේ තාත්තා ගෙනි.

මේ අතර ඩි. බී.  අංකල් කතාව පටන් ගත්තේය. 

"මම හිතන්නේ  අපේ නාමේ සහෝදරයා  හොඳට හිතලා බලලා මයි මෙච්චර ඇතින්  ගෙදර හදා ගෙන තියෙන්නේ "

"දැන් බලන්න ලොකු පුතා උසස් පෙළ විද්‍යා කරන්නේ .. මේ පොඩි පුතත් සිස්‍යත්වේ ඉහලින්ම පාස් "

" මේ කොල්ලෝ හදා ගන්න ලේසි වෙන්නේ නෑ නේ  ගම මැද්දේ ගේ හදා ගත්තනම් ".

"බය වෙන්න එපා  මේ ළමයින්ගේ ආශ්‍රයට වැටුනහම ලොකු උන්නැහැගේ ලොකු පුතත් ඉංජිනේරුවෙක් වෙලාම තායි නවතින්නේ "

එහෙමයි  ඩිංගිරි බන්ඩා මහත්තයා ඔබ තුමාගේ කිමටමයි  මම දරුවා අරලගංවිල සෙන්ට්‍රල් එකට දැම්මෙත්  මේ නෝනලා ගෙදර නවත්තන්න තීරණය කලෙත් .

කේ. පි . අය්යාගේ පියා බලා පොරොත්තු සහගතව පැවසීය.

එදා රාත්‍රිය අප නිවසේ ගත කල අමුත්තෝ  කේ.පි අය්යා අප නිවසේ නවතා  පසුදා පාන්දර යන්නට ගියහ.

එදා සිට උදේ පාසැල් බසයට යන පිරිස අතරට මේ අලුත් අය්යද එකතු වූ හැටි මට මතකය. 



මුත්තා ගෙන් ලැබුණු විෂබීජ




අපේ නිවසේ පදිංචියට  ඇතිමලේ  .... වැල් ගොල්ල  ගමේ කොල්ලෙක් පැමිණ ඇතිබව ඇසු අපේ මුත්තා බොහෝසෙයින් කළබලයට පත් වූ බවක් පෙන්නුම් කළේය. 

හේතුව ඒ ගම  බෙර වාදනයට  ප්‍රසිද්ධ මිනිසුන් සිටි ගමක් වීමයි.

දිනක් මා සහ සමන්ත අය්යා කිරඹ ඔයේ  ගිය වෙලාවක මුත්තා අප සමග කතාවට වැටුණේය.

"චුටි පුතා උඹල දන්නවද ඔය උඹල අම්මා කෑම මේසෙට කෑම එහෙම ඇරලා කන්න බොන්න දෙන කොල්ලා මොන ජාතියේ එකෙක්ද කියලා ?"

"ඔය මිනිස්සු බෙරවා .. අපේ ගෙවල් වලට එන්නේ කරේ තියෙන ලේන්සුව අතට අරන්.. බිම තියෙන බැංකුවක් තමයි දෙන්නේ වාඩි වෙන්ට "

"ඒ වුනාට බලපන්කො මගේ ලොකුදුව වෙච්ච උඹල අම්මා එහෙව් බෙරව කොල්ලෙක්  ලොකු කරගෙන සලකන හැටි "

"ඉතින් මුත්තා ඇතිමලේ  ඩි. බී.  මාමනේ එක්කන් ආවේ ?"

"ඩි. බී.  මාමා ? නල්ලමලේ මාමා .... "

"ඔය  මිනිස්සු උඹල ඇතිමලේ බාප්පා ඉන්නකම්  සහෝදරයා, සහෝදරයා කියා කියා ඒ මනුස්සයගේ සේසතම  උදුරාගෙන කෑවා "

"මහලොකු සහෝදර වරු?  දැන් ඔය බෙරකාරයින්ටත් කියන්නේ සහෝදරයා  කියලා වෙන්ටෑ.."

මුත්තා ඩි. බී.  මාමා ට  දොස් තබන්නේ එවැනි ළමයෙකු අපේ ගෙදරට ගෙන එන්නට මූලික වීම නිසාය.

"උඹලා දෙන්නනේ ඔය ගෙදර ඉන්න කොල්ලෝ දෙන්නා.. ඔන්න ඔය කොල්ලව එලවලා දාන්න  බලපල්ලා "
මුත්තා තම සිතැගි  රැඳී සැලැස්ම අප හා හෙළි කලේ එලෙසිනි.

හවස නිවසට පැමිණි අය්යත් මමත් මුත්තා කියූ විස්තරය අම්මා සමග පැවසුවද  අම්මාගේ  අලුත් පුතාට ඇති සැලකිලි වල වෙනසක් නොවිය.

එහෙත් අය්යත් මමත් එදා සිට කේ.පි. ගේ සියළු ඉරියව් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමු.

අපේ රෙදි හෝදන  අපේ අක්කා ඒ රෙදි ගොඩට කේ.පි අය්යාගේ රෙදිද දමා සේදීම මට රිස්සුවේ නැත.

" එයාගේ රෙදි එයාට හෝද ගන්න අරිනවා " මම අක්කාට ගෝරනාඩු කලෙමි.

කේ. පි අය්යත් මමත් නිදා ගත්තේ එක ඇඳකයි. ඒ ඔහු අයිනේ සිටිද්දී ඇඳේ මුල්ලට වන්නටය.

හරියට මමත් අපේ අය්යා සමන්තත් නිදා ගත් ආකාරය ඇඳේ ඉහළ පැත්තේය.

එහෙත් මුත්තා ගේ සකච්ච්වෙන් පසු  මම  නිදා ගත්තේ වෙනදා මෙන් ඉහළ පැත්තේ නොව ඇඳේ පහළ පැත්තෙනි.



brave සහ රේව්



දිනක් මම මලලසේකරය පෙරළමින් සිටියදී අළුත් වචනයක් හමුවිය . brave= නිර්භීත  යනුවෙන් තිබු මෙය දුටු මට එක්වරම මතක් වුයේ අපේ කේ. පි අය්යයි.

මුත්තා කියා දුන් කතාව අනුව ඔහුට බෙරවා සම්බන්ධයක් ඇති නිසා "බ්රේව්" යන නාමය ඔහුට තබන්නට මම තීරණය කලෙමි.

මේ අලුත් නම මුත්තා  අතට පත්වන්නට වැඩි කලක් ගියේ නැත . මුත්තා අලුත් ළමයා ගැන අප සමග කියන්නේ අර "රේව් " කොල්ලා  යන නාමය යොදා ගනිමිනි.

මම දිගින් දිගටම බ්ර්වේ ගේ දින චර්යාව නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමි.

අපිත් සමග එකට කෑම මේසයේ කෑම ගන්නා ඔහු අප මෙන් පිගාන නොසෝදා  පිගානටම අත සෝදා මේසය මත තබා යන බව මගේ උකුසු ඇසට අසු විය.

එසේ තබා යන පිගාන මාළු කටු ආදිය ඉවත් කර සොදන්නේ අපේ අක්කා හෝ අම්මා විසිනි.

මෙය මගේ කෝපය තවත් වැඩි කරන්නට හේතුවක් විය. මුත්තා කියන්නා වගේ හැසිරිය යුතු කෙනෙක් අපේ අක්කා ලවා තම පිගාන හෝදා ගැනීම ඉවසන්නේ කෙලෙසද?

දින කිහිපයක්ම රාත්‍රී ආහාරයෙන් පසු රේව් ගේ පිඟානේ තිබු ඉඳුල් වතුර මේස රෙද්ද පුරාත් සමහර විට කෑම කාමරේ සිමෙන්තියටත් ඉහිරෙන්නේ ඒ අනුවයි.

මෙතෙක් පාසැල් බසයට රේව් සමගම ගිය මම ටිකෙන් ටික එය මග හරින්නටද පටන් ගත්තෙමි.

පාසැල් ඇරී ගෙදර එන ඔහු මොකසිනෝ දෙක ගලවා එහි තුල බහා තබන මේස් අසළින්

" අප්පා,.... මාර ගඳයි නේ  මේවා"  කියමින්  එහා මෙහා යන්නට පුරුදු වීමි.

මෙසේ ටික කලක් පල නොකියා පලා බෙදෙන විට අලුත් බෝඩිමක් සොයා යායුතු යැයි  මන්තිලක අය්යා තීරණය කළේය.

ඒ ඔහුත් සමග අපොස උ.පෙ ගණිත විෂයන් හැදෑරු  තවත් යාළුවකුගේ නිවසටයි. මෙසේ පාසැල් යමින් සිටි ඔහු උසස් පෙළට කුමන සමර්ථ ලබා ගත්තා දැයි මට නිච්චියක් නැත.

 එහෙත්  පසු කලෙක අපට ආරංචි වුයේ 1989-90 කාලයේ නැවත ඇතිමලේ පැත්තට ගිය ඔහු භීෂණ සමයේ දේශපාලන කටුයුතු වල නියැලුණු බවයි

එපමණක් නොව   ඒ සමයේ ජිවිත අහිමි වූ  තරුණ තරුණයින් 60000ක් පමණ වූ පිරිස අතර  කමලනාත් ප්‍රසාද්  මන්තිලක  හෙවත් අපේ brave අය්යාද සිටි බවයි.






Monday, 4 April 2016

සමාන වී ඉපදී..



මේ  බ්ලොග් පොස්ට් එක ලියන්න නිමිත්ත වුණේ  පසුගිය දා  හිරු නාලිකාවේ ගිය රුපවාහිනී සංවාදයක්.

සංවාදය පැවැත්  වුණේ ඌව පළාත් සභාවේ මහා ඇමති  තුමා සහ  එම පළාත් සභාවේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  අතරයි.

මේ දෙදෙනාම අප පුද්ගලිකව දන්නා අය වන අතර  දෙදෙනාම කුඩා තැනකින් පටන් ගෙන  දේශපාලන ගමන් මගේ ඉදිරියට පැමිණි අය වෙති.

මෙම සංවාදය ආරම්භයේදී  මහා ඇමති තුමා සමන්ත විදයරත්නයන්ට  සිය කුලය පිළිබඳව මතක් කර දීමක් කරනු ලබයි. 

එමෙන්ම සමන්ත විසින් දෙදෙනාම  කුඩා තැනින් පටන් ගෙන ඉහළට පැමිණි දේශපාලකයින් බව මහා ඇමති තුමාට මතක් කර දෙයි.


 2014 වසරේ ඌව  පළාතේ ප්‍රසිද්ධම චරිතය වුයේ  සමන්ත විද්යරත්නයි.

බොහෝ දෙනෙක් ඔහු එවර පළාත් සභා චන්දයේදී විශාල වෙනසක් කරනු ඇතැයි බලාපොරුත්තු තබා සිටියහ.

එහෙත් බොහෝ දෙනෙක් නොදැන සිටි කාරණයක් වුයේ  සමන්තගේ පරම්පරා නාමය ඔහුට  අවාසි සහගත ලෙස බල පෑ බවයි.

ඒ වන විට ඔහුට චන්දය නොදී සිටීමට හේතු සොයමින්  සිටි   පළාතේ චන්ද දායකයින් සමහරක්  සමන්තට තම චන්දය නොදී සිටීමට තීරණය කළහ.

ඒ ඔහුගේ පෙළපත් නාමය සැලකිල්ලට ගෙන බව මගේ විශ්වාශයයි.

මේ බව මතක් වීමෙන් දෝ මැතකදී පැවති හිරු රුපවාහිනී සංවාදයේදී  "කුලය" ගැන කතා කරමින් මහා ඇමති තුමා සංවාදය ඇරඹුවේය.

"සමන්ත මන්ත්‍රීතුමා  අපි දෙන්නා එක කුලේ.... එක පැදුරේ " යැයි සඳහන් කරමින් ඔහු ඒ බව මතක් කලේ  මෙසේය.



"කවිඳු කවදාවත් නැතුව  දේශපාලන  කතාවක් ලියන්න අරං "

මගේ පසුගිය බ්ලොග් පොස්ට් රසවිඳි හිතවතුන් කල්පනා කරනු ඇත. නැත මේ  මගේ කුල-මල සම්බන්ධ අතීත  මතකයට නිමිත්තක් පමණි.

එහෙමනම් අපි  1980 වසරට යමු.

ඒ වන විට   මා "අරලගංවිල කනිෂ්ටයේ"  හතර මානෙල් පංතියට ඇතුල් වී සිටියෙමි.

මා අලුත් පාසැලට පැමිණ ගත වී තිබුණේ  සති කිහිපයක් පමණි.

දිනක් පාසැල අවසන් වූ වහාම මා වෙත පැමිණි හිතවතෙකි.

"මචං  කිටී  අද උඹ අපේ ගෙදර යන්න වරෙන් "  . එසේ කියමින් මාවෙත  ආවේ  අපේ පන්තියේ සිටි සුජිත්ය.

ඔහු ගේ මුළු නම  W. D. සුජිත් තිලකසිරි  නම් විය.

හතරේ කොල්ලෝ  හැමෝම මෙන් මාද ඔහු ඇමතුවේ සුජිත් නමින් පමණි.

W. D.  යනුවෙන් කෙටි කෙරුනේ "......මුණි .....ගේ" යන ඔහුගේ පෙළපත් නාමය වුවද එය කුඩා අපට එතරම් වැදගත් වුයේ නැත.

"බෑ මචං රෑ වෙන්න ඉස්සෙල්ලා ගෙදර යන්න ඕනෑ . උඹලා ගෙදර ගියොත් මට පරක්කු වෙයි බං "

යැයි මා පැවසුවේ  ඊට දින කිහිපයකට පෙර චමින්දයා ලා ගෙදර ගොස් මට සිදු වූ අකරතැබ්බයද  හොඳින් මතකයේ තිබුණු නිසාය.

"බය වෙන්න එපා බන් අපේ ගෙදරට යන්න වැඩිම උනොත් පැය භාගයක් යයි."

"යනකොට අපි ඉස්කෝලේ ඉඳලා පයින් යන් .. එනකොට මම උඹව බස් එකකට දාන්නම් "

කියමින් සුජිත් පැවසුවේ  ඒ අසල ඇති කන්ද උඩ තිබෙනා  පන්සල අසලින් ඇති කෙටි  පාරකින්  තම නිවසට යා හැකි බවයි.




ප්‍රාථමික  පංතියේ කුල භේදය



එදා  දවල් එක පමණ වෙද්දී අප  සුජිත්ලා ගේ නිවසට ලඟා වූයෙමු.  එය පන්සල පසු වී ටික දුරක් ගිය පසු හමුවන නිවසකි. 

අප පයින් ගියේ වුවද අරලගංවිල දක්වා යන බසය ධාවනය  වන පාරද ඒ අසලින්ම විය.

මා සිත් ගත්තේ මේ කිසිවක් නොව  ගෝවා , තක්කාලි, බටු  ,වට්ටක්කා  ආදිය පිරී පැවති සුජිත්ලා  නිවස අසලම වූ ඔවුන්ගේ කුඹුරයි.

නිලට නිලේ බැබලෙමින් තිබු වගාව දැක මා ලැබූ සතුට සවස ගෙදර ගිය සැණින්  අම්මා සමග පවසන්නට  අමතක නොකළේ එබැවිණි.

"එන්න පුතා .. තේ එකක් එහෙම බීලා කෑම ටිකක් කමු " කියමින් සුජිත්ගේ  අම්මා මා සාදරයෙන් පිළිගත්තාය. 

කෑමෙන් පසු මා සමග ඈ කතාවට වැටුනේ 

"පුතාලා ගම කොහෙද?" කියා අසමිනි.

"අපි කිරඹඔයේ  කට්ටිය ඇන්ටි.."

මම පිළිතුරු දුන්නෙමි.

"හා .. ඇත්තද .. මම අහලා තියෙනවා ඒ පැත්තේ අය ගැන ... රාජපක්ෂලා ගොඩාක් එහෙම ඉන්නේ එහේ නේද?"

ඒ වන විට තරුණ ගොවි මවක් වූ  ඇයද චමින්දලා  සහ අපේ මුත්තලා කබල් ගානා වංශය ගැනද දැන සිටියාය.

මට කෑමෙන් බිමෙන් සංග්‍රහ කිරීමෙන් නොනැවතුණ ඇය  වට්ටක්කා ගෙඩියක්  , ලොකු ගෝවා ගෙඩියක් , ඉදුණු තක්කාලි මල්ලක් සහිත විශාල එළවලු මල්ලක් මා අත තැබුවාය.

ඒ "මේක අම්මාට ගිහින් දෙන්න පුතා මම දුන්නා කියලා " යැයි මට පවසමිණි.


"සුජි... මේ  පුතා බස් එකට ඇරලවලා වරෙන් "  යැයි තම පුතාට පැවසූ ඇය  

"කවිඳු පුතා ආයිත් දවසක මෙහෙ එන්න එහෙනම් .. ඔය අපේ සුජිත් යාළුවෙක් ගෙදරට ගෙනාවමයි "

කියමින් මට සමු දුන්නාය.

අපේ අම්මා කියා දී තිබු පරිදි

"බිම දන ගසා"

සුජිත් ගේ මවට ආචාර කල මා   එළවලු කදත් රැගෙන නිවෙස බලා පිටත් වුයේ මහා මෙරක් ලැබුවෙකු පරිද්දෙනි.

"අද අම්මා හරි සතුටුවෙයි   මගේ යාළුවා ගෙදරින් සලකපු හැටි අහලා "  මගේ යටි සිත සතුටින් ඉපිල ගොසිණි.

4.10 නෙළුව බසය "අරලගන්විලින්"  අල්ලා ගත් මා නිවසට ලඟා වන විට හවස පහ පමණ වන්නට ඇත.



"අම්මා මම අද යාළුවෙක් ගේ  ගෙදර ගියානේ .. එයාලා මුත්තලා ගැන එහෙම දන්නා කට්ටිය"

"මෙන්න  ඒ ඇන්ටි අම්මාට දෙන්න කියලා එළවලු මල්ලකුත් දුන්නා "

මම සුජිත්ගේ අම්මා අපේ  අම්මාට දුන් තෑග්ග ඈ අත  තැබුවෙමි.

එළවලු මල්ල අතට ගනිමින්


"කොයි හරියේද චුටි පුතා යාළුවගේ ගෙවල් ?"  අම්මා මගෙන්  ඇසුවාය.

"...... ගොල්ලේ  .. අපේ ඉස්කෝලේ  ළඟ   ...... උල්පත  පන්සල  පහුකරපු ගමන්ම  දකුණු පැත්තේ තමයි සුජිත් ලා ගෙදර තියෙන්නේ.."

"මොනවා ? තෝ  කොහේද ගියේ යකෝ...?" 

අම්මා මම චමින්දලා ගෙදර ගිය දා මෙන් පරළ  වුවාය. 

"මේකා අපිට නොගැළපෙන තැන් වලට ගියා මදිවට ඒ ගෙවල් වලින් කාලා බීලත් ඇවිල්ලා  ".

"දාපිය මේ එළවලු බල්ලට ... උඹ ඔය "වහම්පුර" ගෙවල් වලින් කෑවා බීවට  අපි ඔවුන්ගේ දේවල් කන එවුන් නෙවෙයි බොල"

කියමින් එතකින් නොනැවතුණු  අපේ අම්මා  සුජිත් ලා  අම්මා  මට දුන් එළවලු මල්ලද  කුණු වලට   වීසි කළාය.

නොසිතු නොපැතූ ලෙස මගේ සතුට බිඳ වැටෙනු දුටු මා නැවත කිසි දිනෙක සුජිත්ලා නිවසට පා නැගුවේ නැත.

එපමණක් නොව සෙනසුරාදා ඉරිදා අපේ කිරඹ ඔයේ මුත්තා සමග යෙදෙන අල්ලාප සල්ලාපයේදී ... ගොල්ල ගම ගැනත් ... "වහම්පුර " කතාව ගැනත් සහ සුද්දෙන්  දැන ගත්තෙමි.

"චුටි පුතා  උඹ අළුත් යාලුවෙක් හොයාගෙන කියලා ආරංචියි ... මොකක්ද එයාගේ වාසගම ? "

"එයා ....මුණි .....ගේ ... කියලා නම පටන් ගන්න කෙනෙක් "

"ඔය මිනිස්සු  අපිට නොගැළපෙන කට්ටිය... අම්මා මාත් එක්ක කිව්වා විස්තරේ .. නොදන්නා  කමට ගියාට කමක් නෑ.. ආයේ එහෙම ඔය ගෙවල් වල යනවා නෙවෙයි "

මුත්තා මගේ ...... ගොල්ල පැත්තේ ගමන් බිමන් සම්පුර්නයෙන්ම  නවතා දමන තැනට මා පත් කලේ එසේය.








එපමණක් නොව එතෙක්  කුල, මල  වාසගම්  ගැන කිසිවක් දැන නොසිටි මා  වහම්පුර , බෙරවා  ආදී  වංශ කිහිපයක්  ගැන  දැනුමැත්තෙකු බවට පත් කරන්නටද අපේ මුත්තා සමත් විය.

සඳුදා පාසැල් ගිය මා හමුවට පැමිණි සුජිත් " කොහොමද මචං .. උඹලා  අම්මා මොකද කිව්වේ අපේ ගෙදර  ගමන ගැන..?"

යැයි මගෙන් විමසා සිටියේය.   

"මොකුත් නෑ අළුත්  යාලුවෝ අඳුර ගන්න එක හොඳයි කිව්වා "

මම ගානක් නැතිව කියාගෙන ගියෙමි. 

මගේ පිළිතුරෙන් සුජිතා සෑහිමකට පත් වුන බවක් පෙනෙන්නට තිබිණි .

එහෙත්   මා සිත ඇදී  ගියේ  අපේ සමන්තත් මමත් පසුකාලීනව නිතර  ගායනා කල ගීත දෙකකටයි. 






ඒවායින් කියැවෙන පරිදිම "කුලයක්" ඇදගෙන අපේ අම්මලා සහ මුත්තලා කරනා විකාරය මට නම් මහා විහිළුවක් විය.

එහෙත්  නැවත  කිසි දවසක සුජිත් ලා ගෙවල් පැත්තේ නොයන්නට වග බලා ගත් මා

"මචං කිටී අදත් යමන් අපේ ගෙදර"  යැයි සුජිත් කිවූ දින කිහිපයකම  කුමක් කෝ බොරුවක් කියා ඇඟ බේරා  ගත්තෙමි.

ප. ලි.   හිටපු ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රියතම ගීතයක් මෙහි ඇතුලත් කරන්නට සිතුවේ  එතුමාද   කුල ගෝත්‍ර වාදයෙන් බැට කෑ ප්‍රසිද්ධ දේශපාලකයින් ගෙන්  කෙනෙක් බැවිනි.






"දිවියිතික   පංතියේ කුල භේදය." .... ඉදිරියේදී  බලාපොරොත්තු වන්න .....