Follow by Email

Sunday, 27 March 2016

නපුරු සතා සහ පුළුන් බබා





මේ තියෙන්නේ මගේ පළමු බ්ලොග් පොස්ට් එක.... ලිව්වේ 2015 මාර්තු 20 




මේ අප පොඩි කාලේ පාසලේදී නිතර කන වැකුණු  වචන කීපයකි. එකල තිබු පාසැල් ලියන පොතේ පිට කවරය සරසා තිබුනේ කැලේ සතුන් කීප දෙනෙකුගෙනි. අලියා, ජිරාෆයා,නරියා සහ හාවා පොතේ මුල්කවරයේ පහිලින් සිටි සතුන් කණ්ඩායමයි. 

අපේ නංගිලා සහ ඔවුන්ගේ වයසේ ළමයින් "ඇත් දළදා, බෙල්ල දිගා, නපුරු සතා , පුළුන් බබා" යැයි කියමින් මේ රූප වලට ඇගිලි දික් කරමින් කරන සෙල්ලමක් මම දැක තිබේ. 

මට හදිසියේ නපුරු සතා මතක් විය.... එකල ගමේ පාසලේ ළමයින් නපුරු සතා යැයි කිවූ කොල්ලෙක් බ/ කිරිඔරුව විද්‍යාලයේ විය. නපුරු සතා "මට ඔහුගේ හරි නම මතක නැත" යම්කිසි ප්‍රමාණයකට මන්ද බුද්ධික භාවයෙන් පෙළුණු අයෙක්  යැයි මම සිතමි.
නපුරුසතා ගේ අක්කා ට අපේ නංගිලා සහ එම පන්තිවල ළමයින් කීවේ "දත් උල් දිසානායක" කියාය.  ඇගේ රදනක  දත් දෙකින් එකක් අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා තිබීම එයට හේතුවයි.

 නපුරු සතා මෙන්ම ඔවුගේ අක්කාද දැන් ඉහ මොළ වැඩුණු ශ්‍රී ලංකා පුරවැසියන්වේ. ඔවුන් කුඩා කල දුටුවාට පසු ඔවුන්ගේ කල් ක්‍රියාව කෙසේදැයි කියන්න මා දන්නේ නැත. 

ඔවුන්ගේ තාත්තට අප කීවේ උඩුවර මාමා කියලයි. උඩුවර මාමා උදේ පාන්දර වේවැල් කූඩයකුත් අතින් ගෙන උදැසන අපේ පාසල් බසයෙන්ම බණ්ඩාරවෙල ඩිපෝවට යන හැටි මට තාමත් මතකය. උඩුවර මාමා අරක්කු, සිගරට් තියා බුලත් විටක් වත් පාවිච්චි නොකළ අයෙක් බව මට මතක් කර දුන්නේ දැනට අප නිවසේ සිටින අපේ තාත්තා විසිනි.

හදිසියේ මට නපුරුසතා සහ ඔහුගේ පවුලේ අය මතක් වුයේ මෙරට සිටින අපේ ශ්‍රී ලාන්කික හිතවතෙක්  ගේ ඉල්ලීම නිසාවෙනි. අපේ හිතවතාට නැති බැරි පවුලක ළමයින්ට මාස් පතා උදවූ කරන්න අවශ්‍ය විය. 

ඔහු මගෙන් ඉල්ලා සිටියේ එයට සුදුසු පවුලක් තෝරා දෙන ලෙසයි. "මෙය එතරම්  ලේසි පහසු කටයුත්තක් නොවේ " ඇත්තම කිව්වොත් මට අපේ ගම ගැන හරියට මතක නැත. 

මුළු රටම දියුණු වී ඇති මේ මොහොතේ...නපුරුසතාලා වැනි අය දැන් ගජ පෝසතුන් විය යුතුය. නපුරු සතාගේ අක්කා වුවද යමක කමක් ඇති කෙනෙක් හා විවාහ වී ළමයි ළපටින් හදා ගෙන සතුටින් සිටිනවා විය යුතුය.

උපන් ගෙයි සමාජ සේවකයෙක් සහ කවදත් ප්‍රගතිශිලියෙක් වූ මගේ තාත්තා දැන් අපේ නිවසේ සිටීම මෙවනි දේවල් සඳහා ඉතාමත් පහසු කටයුත්තකි.. මම තාත්තාගෙන් ඇසුවෙමි.. 

තාත්තා මට සුදුසුම පවුල අපේ ගමේ ඉස්කෝලෙට ඉතා කිට්ටුවෙන් සොයා දුන්නේය.

ඒ නපුරුසතාගේ අක්කා  සහ ඇගේ පියා නොමැති දරුවන් දෙදෙනායි. මට මතක බ/ කිරිඔරුව  විද්‍යාලයේ අතීතයයි . ගම රට දැන් වෙනස් වී ඇත. මන් මාවත් හැදී අපි එදා පයින් පාසැල් ගිය ප්‍රදේශ දියුණු වී තිබේ. 

උඩුවර මාමා ජීවත් වූ ආකාරයට ළමයින් යහපත් අදයපනයකට යොමු කෙරුණා නම් අද ඔවුන්ද සමාජයේ සැලකිය යුතු තාරාතිරමක අය විය යුතුය. එහෙත් අවාසනාවකට දත් උල් දිසානායක වැනි අය දැන් කබලෙන් ලිපට වැටි තිබේ. 

යට හේතුව උඩුවර මාමා ගේ වැරද්දක් හෝ රට පාලනය කල අයගේ වැරද්දක් හෝ යැයි මම නොසිතමි. අපේ හිතවතාට ලබා දීමට නපුරුසතාගේ සොහොයුරිගේ විස්තර  මට අවශ්‍ය විය. මම තාත්තාගෙන් අපේ අතීත මතකයනුත් වත්මන් ගමත්  යා කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. 

නපුරුසතාගේ අක්කා   අ. පො. සා. ( සා. පෙ.) මෙන්ම  අ. පො. සා. ( උ. පෙ.) කලා අංශයෙන් ඉගෙනීම ලැබූ අයෙකි.  ඇය විවාහ වී තිබුනේ වැල්ලවාය ප්‍රදේශයේ අයෙක් සමගයි. 

එයින් ඇයට අවුරුදු 14ක දියණියක් හා වයස  6ක් හෝ 7ක් වන පිරිමි ළමයෙක් සිටී. මගේ අනුමානයේ හැටියට ඔවුන් ගොවිතැනින් ජීවත් වූ පවුලකි. 

අපි ඇයට කුමාරි යැයි කියමු. කුමාරිගේ ස්වාමියා ගොවිතැනින් යමක් උපයන නිසා හෝ  ඇයට රැකියාවක අවස්යතාවය තදින්ම නොදැනීම නිසා හෝ වෙනයම් කාරණාවක් මත හෝ ඇය ඒ දිනවල රැකියාවක් කලේ නැත.

එහෙත් අද ඇය අපේ ගම අසල ඇති තේ වත්තේ තේ දළු නෙලන්නියකි. මෙය එසේ වුයේ මන්දැයි මම මාගෙන්ම ප්‍රශ්න කලේ හේතුවක් නැතිවම නොවේ. 

උඩුවර  මාමා  බුලත් විටක් වත් කෑවේ නැතිනම්.. කුමාරි අ. පො. සා. ( උ. පෙ.) සමත්නම්  ඇයට තේ දළු නෙලන්න සිදුවුයේ ඇයි.....කුමාරිගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස ගසකින් වැටී මිය ගියේ මීට වසර තුන හතරකට පෙර බව  තාත්තා කියයි. තම  දයාබර ස්වාමියාගේ වියෝවෙන් පසු වැල්ලවාය හැරදා  නැවතත් ගමට පැමිණි කුමාරි දේශපාලකයින් පසු පස ගෑටුවේ හරි හමන් රස්සාවක් හොයා ගන්නටය.

උඩුවර මාමාද දැන් බැරි බැරි ගානේ පසුවෙයි. උඩුවර නැන්දගේ තිබු සිරියාවන්ත මුහුනද දැන් වැහැරී යමින් පවතී.

නපුරුසතා තවමත් ගෙදරට බරක් වී ඔහේ කාලය ගෙවයි. 

කුමාරිට එසේ ඉන්නට නොහැකිය.. තීරණයක් හත යුතුය. තමන්ගේ මාමා ( අම්මගේ අය්ය) ගමේම ලොකුම පෝසතා වුවාට කමක් නැත.. 

කුමාරි හිත හදා ගත්තේ වත්තේ දළු කඩා හෝ තම තාත්තා නැති දරුවන් දෙදෙනාත්.. මන්ද මානසික මල්ලිත්.. අබල දුබල වූ මවත්, පියාත් රැක ගෙන ජීවිතයට මුහුණ දීමටයි....

Thursday, 24 March 2016

අප්පච්චි නෑති උන නිසා මට ආයෙත් ඉස්කොලේ යන්න බෑරි වෙයිද අම්මේ





මේ  පින්තූරේ  තියෙන්නේ  එකල  ගුරුවරයෙක්  වූ  අපේ තාත්තා  මා අවුරුදු පහක හයක  කුඩා ළමයෙක් කාලයේ  පාවිච්චි කල  වාහනයට සමාන එකක් .



ඒ කාලේ  අපට තිබුණේ  EN  -8958  අංක දරණ මෙවැනිම  A-30  වර්ගයේ  කාර් එකක් .  මේ වන විට අපේ අප්පච්චි පාසැල් ගුරුවරයෙක් වගේම ඉඩම් හිමි වැවිලි කරුවෙක්.

අපේ අම්මා ඒ කාලේ  තරුණ ගුරුවරියක්.

තාත්තා මෙන් නොව ඇය ඒ වන විට ගුරු වුර්තියට අළුතින් එකතු වූ කෙනෙක්

මාව  මිට අවුරුදු තිස් පහක් -හතලිහක් වැනි අතීතයකට ගෙන යන්නට සමත්වූයේ  මෑතකදී සිදු වූ අවාසනාවන්ත මරණයක්.

ඒ අපේ හිතවත් විශ්ව විද්‍යාල මිතුරෙකු වූ රුවන් ආටිගලගේ හදිසි අභාවයයි.

ආටිගේ  හදිසි අභාවයෙන් පසු  මාත් කොළඹ සිටි අපේ අනෙක් මිතුරනුත්  දින කිහිපයක්ම ඔහුගේ ගොඩගම පිහිටි නිවසට ගොඩවුනා.

එහිදී ආටිගේ  එකොළොස් වියැති පුතාත්  නව හැවිරිදි දියණියත් දකින වාරයක් පාසා මගේ හිත අතීතයට ඇදී ගියා.

එසේ එහි ගොස් සිටි එක් දිනක මගේ කණ වැකුණු සාකච්චාවක්  මගේ සිත පසාරු කරමින් එහි පතුලටම කිඳා බැස්සා.

ආටිගේ  එකොළොස් හැවිරිදි පුතා  ( පවුලේ වැඩිමලා) ඔහුගේ අම්මා සමග කල කතාබහකුයි ඒ .

"අම්මේ .. ඇයි අම්මා අඬන්නේ ?  "

"අප්පච්චි  නැති වුන එක හරි පාඩුවක් නේද  ? "

"අපි හැමදාම උදේට ඉස්කෝලේ අරන් යන්නේ අප්පච්චි නේ... දැන්  කැබ් එක එලවන්න කෙනෙක් නැතිවෙයි නේද..?"

" ඒ කියන්නේ  අප්පච්චි  නැති වුන නිසා මට ඉස්කෝලේ  යන්නත් බැරිවෙයිද දන්නේ නෑ...?"

මේ වෙලාවේ මගේ සිත වේගයෙන් අවුරුදු හතළිහක් පිටුපසට ගමන් කලා.



අපේ අම්මාගේ   හදිසි අභාවය



රුවන් ආටිගල ගොදුරු වූ රෝගයටම  (ලියුකීමියාව) ගොදුරු වූ අපේ අදාරණිය අම්මා අප හැර යනවිට මගේ වයස යන්තම් අවුරුදු හයක් වුනා විතරයි.

ඒ වෙනකොට මට  රුවන්ගේ පුතාට තරම් තේරුමක්  තිබුණේ නෑ.  අපේ අක්කලා පුංචි අම්මලා හඬන විටත් මම මිදුලේ සෙල්ලම් කරමින් සිටියා මතකයි.

හරියට ආටිගලගේ පුංචි දුව වගේ.

මිදුල පුරා කල ගොක්කොළ සැරසිළි, සුදු කොඩි , "අනිච්චාවත සංඛාරා " කියලා පොල්ගෙඩි අකුරින් ලියපු බැනර්   ..

මේ හැම දෙයක්ම මට හොඳින් මතක තියෙනවා.

අම්මාගේ මිනිය සොහොනට ගෙනියන්න ඔසවද්දී  අපේ පුංචි  අම්මලා ඉකි ගහ ගහ හඬපු හැටිත් මගේ හිතේ තවමත් රැඳිලා තියෙනවා.

ඒ  වන විට කුඩා දරුවෙකු වූ මට අම්මාගේ මරණයේ ඇති බරපතලකම  හරිහැටි වැටහුණේ නැත.

මා සිතුවේ අම්මා කිසියම් දිනෙක නැවත ගෙදර පැමිණෙනු ඇති බවයි.

ඒ යලි කිසිදිනෙක නොඑනා ගමනක් ගිය බව මගේ පුංචි සිතට වැටහුනේම නැති ගානය.

මගේ අක්කලා දෙන්නත් මට බාල නංගිත් තනිකර අපේ අම්මා ගිය මේ ගමනේ බරක් පතලක් මට තෙරුනේම  නැහැ.

ඒ කාලේ අපටත් ආටිගේ දරුවන්ට මෙන් හොඳ නිවසක්,  පාසැල් යන්න වාහනයක්  ආදිය තිබුනා.  

එපමණක් නොව වතුපිටිවලින් හොඳ අදායමකුත් අපේ තාත්තට තිබුණ කාලයක් ඒ .  

අද ආටිගේ ළමයින් ගැන අප සමහරක් සිතනවා මෙන් ගමේ අනෙක් අය අප ගැන සිතන්නට ඇති.

"ළමයින්ගේ තාත්තා හොඳ රස්සාවක් කරන  කෙනෙක් .. සැහෙන්න ඉතුරු කරලා ඇති.. ගේ දොර යාන වාහනත් තියෙනවනේ ?"

"අම්මා නැති වුනාට පොඩි උන්ට හොඳ කලක් යයි.  ඉස්කෝලේ මහත්තයා ළමයි හතරදෙනා හොඳට හදා ගනියි ."


සියල්ල වෙනස් වන සුළුයි 



අම්මා ජීවත්ව සිටියදී උපරිම සැප සම්පත් විඳි අපේ නරක කාලය උදා වෙන්න පටන් ගත්තේ ඇගේ අකල් මරණයෙන් අවුරුදු දෙකක් යන්නත් පෙරාතුවයි.

තාත්තගේ වතු පිටි වලින් ලැබුණු ආදායම එන්න එන්නම අඩු වුණා.

මට දැන් හිතෙනවා  ගේ දොර වතුපිටි පාලනය සකසුරුවමින් කල අපේ අම්මා නැතිවිමම  මෙයට හේතු වන්නට ඇති කියලා.

අම්මාගේ සහයෝගය නැතිව අපේ තාත්තට එවා තනියම කර ගන්න බැරිවෙන්න ඇති. 

ඉස්කෝලේ ගුරු කමෙන් ලැබුණු ආදායම වාහන නඩත්තු කරන්න තරම් ප්‍රමාණවත් නැති නිසාදෝ අපේ කාර් එකත් විකුණා දමන්න  තාත්තා තීරණය කළා.

අවුරුදු හතක-අටක ළමයෙකු වූ මට මතක තිබුණේ මේ කරුණු දෙක පමණක් වුවත් මීට වඩා  ගොඩක් දේවල් ඒ  කාලේ සිදුවෙන්න ඇති.

කුඩා ළමයකු වූ මා හට ඉකමණින්  බඩගිනි වනබව ආච්චිට සහ නැන්දලාට  නොදැනුන නිසා  හෝ  එම නිවසේ සේවය කල සේවකයින් රාශියකට ත් සමග කරනා ආහාර පිළියෙළ කිරීම ටිකක් කල් ගතවන වැඩක් නිසා හෝ  මට කෑම ලැබීම පරක්කු වුනා.

මේ දවල් ආහාරය ලැබෙන්නට පරක්කු වීම මට ටිකක් ඉවසන්නට අපහසු දෙයක් වුනා.

ඒ කාලේ අපි හිටියේ තාත්තලා මහගෙදර.  

ආච්චි  හෝ නැන්දලා කෑම  හදා දෙන තෙක් දැනුණු තද කුසගින්න මට නිතර නිතර මගේ ආදරණිය අම්මා සිහිකර දෙන හේතුවක් වුනා.

ආච්චිලා ගෙදර කෑම ලැබෙන්න පරක්කු වෙන බව දැනුන විගස මම අසළ ඇති නෑදෑ  ගෙදරකට දිව යනවා.

ඒ  අම්මාගේ පැත්තෙන්  නැද කමට අම්මාගේ බාප්පා වන මුත්තා කෙනෙකුගේ ගෙදර.  එයා ඒ දවස් වල නිතර නිතර ගමන් බිමන් යන්නට අපේ කාර් එක අරගෙන යනවා.

ඔහු ඒ වෙනුවෙන් කවදාවත් තාත්තට හයර් එකකට කියා මුදල් ගෙවන්නේ නැහැ.

ඒ මුත්තා ටිකක් සැරපරුෂ  කෙනෙක් වුනාට මට කොහොමත් කාරුණිකයි.

අපේ අම්මා ආටිගල වගේම  ලියුකිමියාව හැදී අසාධ්‍යව රෝහල් ගතවී සිටි කාලයේ මම ඒ මුත්තලා ගෙදර නතර වී සිටියා මතකයි.

වෙලාවකට  ඒ මුත්තා " අර පොඩි එකා කාලා නෑ නේද ? බත් ටිකක් දීපන් ඒ ළමයට " යැයි පුංචි අම්මාට  කියනු ඇසුනු අවස්ථා තිබුනා.
මම ඒ විදිහට  කී වතාවක්  කෑම  කා තිබේදැයි  හරියටම නිච්චියක්  නැහැ.  එත් එක දවසක් ඒ පුංචි අම්මා

"මෙයා හැමදාම  මෙහෙ එනවනේ  කෑම හොයාගෙන "  කියලා කියනවා ඇහුණා.

ඒ වෙනකොට මම ඉස්කෝලේ යන ළමයෙක් නෙවෙයි.

ඒත්  මම පුංචි කමට එදා ඉගෙන ගත්තු දෙයක් තමයි මගේ  පුද්ගලික ප්‍රශ්න වලට අනෙක් අයට කරදර කරන්න හොඳ නැහැ කියන එක.

එදායින් පසු කිසිම දවසක මම  කොච්චර බඩගිනි වුනත් කිසි කෙනෙකුට ඒ  ගැන  කරදර කලේ නැහැ.

ඒත් ඉතින් බඩගිනි හැදුනු අවස්ථා  නම් එමටයි.

//ඉර  පායා  ඉර මුදුනට  එන්ට එපා

සඳ පායා  සඳ මුදුනට  එන්ට එපා

පෑදී දියට බොර දිය එක් වන්ට එපා

අම්මා නැති අපට බඩගිනි වන්ට එපා //



අපේ අක්කලා  නංගිලා  ඒ කාලේ  දවස ගත කලේ කොහොමදැයි  මට මතක  නැහැ.


දෙමව්පියන්ගේ  නෑ හිත මිතුරන් කොපමණ කාරුණික වුණත්,  තවත් කෙනෙකුට සැලකීමේ හැකියාව ඒ උදවියට තිබුනත් නැතත්   තවත් දුකට පත් කෙනෙකුට  අත්වැලක් වන සමාජ පසුබිමක්  අද වගේම එදා තිබුනෙත්  නෑ...


මෙසේ කාලය ගත වෙද්දී පුංචි අපේ වගකීම ගන්න ඉතිරි වුණේ තාත්තත්  ඔහුගේ  පියා ( අපේ මුත්තා ) ත් පමණයි.


මට ආටිගේ  දරුවන් ගැන සියුම් බියක් දෑනෙන්නේ  මේ කාරණාව නිසයි.




ඒ කාලේ අම්මා නැති අපේ රෙදි සෝදන්න කරදර බව බාප්පලා  සහ නැන්දලා තාත්තට නිතර කියනවා.

අපේ රෙදි සියල්ල එකතු කරගෙන "ඩෝබිට" ගෙනිච්ච හැටිත් තාත්තා සමග  ඩෝබි මාමලා ගෙදරට ගොස් සේදු රෙදි රැගෙන එන හැටිත් මට අද වගේ මතකයි.

තවත් අවුරුදු දෙකක් ගෙවී යද්දී  (මට යන්තම් අවුරුදු අටක් වෙද්දී ) තාත්තා අපිට දෙවැනි  අම්මා කෙනෙක් රැගෙන ආවා.

අසරණ අපට මවක් වන්නෙමියි සිතා පැමිණි මේ දෙවැනි අම්මාට පෘතග්ජන , කුහක ලෝකයේ එසේ විම ලෙහෙසි පහසු දෙයක්  නොවන බව අප කාටත් කෙටි කලකින්ම තේරම් ගියා.

මේ බව අපි කාට කාටත් කෙටි කලකින්ම වැටහුනත්  නැවත හැරෙන්න හෝ ගොඩ යන්න බැරි සංකීර්ණ  තැනක අපි කවුරුත් හිරවෙලා ඉන්න බව  පමණක් අපි හොමෝම තේරුම් ගත්තා.


කෙටි කලකින් අපේ පවුලට ආදරණිය පොඩි මල්ලී පැමිණීම   හැරෙන්නට  සහ අපි තවත් අසරණ වීම හැරෙන්නට විශේයයෙන් කිවයුතු වෙන යමක් ඒ කාලේ සිදුවුයේ නැහැ.
.
මේ සිදුවීම්  සමග තාත්තගේ ජීවිතය තව තවත් සකිර්ණ වුවා මිසක ඔහුට කිසි පහසුවක් වුණේ  නෑ.

අපේ පවට තවත් කොටස් කාරයින් දෙදෙනෙක් එකතු වීම හැර මේ  කාල වකවානුවේදී  කියන්න තරම් වැදගත් යමක් සිදුවුනේ නැහැ.

ඒත් මම අදටත් ඒ අම්මාට සලකන්නේ මගේ අම්මා හැටියට .

මල්ලී මගේම මල්ලී කෙනෙක් ලෙස අදටත් මගෙන් උදව් උපකාර ලබනවා.

ළඟ එන සිංහල අවුරුද්දේදී  මම අම්මා කියලා තෑගි බෝග අරන් යන්නේ මේ දෙවැනි අම්මාටයි.

අම්මේ  කියා කකුල් දෙක අල්ලා දණගසා වඳින්නේ මේ අම්මාටමයි.


දෙවැනි අම්මා එයාගේ අලුත් ලෝකයේ අප මෙන්ම අසරණ වීමත්  මුත්තලා ට  අපට සරණ වීමට ශක්තියක් නැති වීමත්  සමගම   මම ගෙදරට නොවැදඅපේ ගත් කෙනෙක් බවට පත්වුණා.

ගෙදර ඉඳලා පාසැලට තිබුණ කිලෝමීටර් හතරක දුර  බෝඩිමක ඉඳන් යන්නට සිදුවන්නේ ඒ අනුවයි.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම  තාත්තා එනතෙක් බෝඩිමට වී පාර බලන් සිටිය හැටි...

අනෙක් යාලුවන්ගේ ගෙවල් වලින් ගෙනෙන කෑම වලින් මට ලැබෙන කොටස රස බලන නමුත්  රහසින් අම්මා සිහි කල හැටි...


මගේ හිතේ මැවෙන්නේ බොඳවුණු සිහිනයක් වගේ.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම මග බලාගෙන  සිටියත්  යහළුවන් බලන්නට  එන අනික් අය අපේ තාත්තා යැයි මුලින් සිතා පසුව අපේක්ෂා බංගත්වයට පත්වී ඇඬුවත්

අපේ තාත්තා මා බලන්නට ආවේ සති දෙකකට හෝ තුනකට වතාවක් පමණයි.

එත් හැම සති අන්තයේම එන අනෙක් යහළුවන්ගේ දෙමව්පියන් දුටු විට මට එය දරා ගන්නට අපහසු වුණා.

මගේ දුක නිතර ම කඳුළු බවට හැරුනේ  ඒ නිසා වෙන්න ඇති. 


අග හිඟකම් තවත් වැඩිවෙයි 


මෙසේ නිවස අසලම බෝඩිමකට වී පාසැල් ගිය අපට තවත් කරදර ඇති වන්නට ගත වුයේ ඉතා සුළු කාලයකි.

අප සිටි බෝඩිමෙන් මෙන්ම එතෙක් ඉතා සතුටින් ගිය පාසැලෙන් ද අපව අස්කර ගන්නට තාත්තා තීරණය කරලා.

හේතුව  ඒ වනවිට ඇතිවී තිබු මුල්‍යමය අපහසුතාවයයි. 

මුදල් අගහිඟකම් තම දරුවන් පිටින් යවනවා හැරෙන්නට වෙන විකල්පයක් ඔහුට තිබෙන්නෙට නැතුව ඇති.

අප නැවතත් තාත්තලා මහගෙදරට ගෙන එන්නේ ඒ නිසා විය යුතුය.

අනතුරුව එළඹී දුෂ්කර සමය  ......

අප සියළු දෙනාට නිතර නිතර පාසැල් මාරු කරන්නත්  නවාතැන් මාරු කරන්නත් හේතු වූ කාලයක්  විය.

එමෙන්ම බෝඩිමක මෙන් නොව මුදල් නොගෙවා නතර වී සිටි  නිවෙස් වල නොයෙක් බැල මෙහෙවරකම් කරන්නටද අපට සිදුවිය.

මිදුල අතුගෑම, වතුර ඇදීම, වලං සේදීම වැනි ගේ දොර වැඩ කර දීමෙන් නොනැවතී නිවැසියන් කිසියම් කරුණකට කෝප වූ විට ඔවුන්ගේ බැනුම් දෝෂාරෝපණ  වලට භාජනය වන්නටද අපට සිදු විය.

ඒ සියල්ල විඳ දරා ගනිමින් පාසැල් යන්නට මට බල කරන්නට ඇත්තේ අකාලයේ අපෙන් වෙන්වූ ආදරණිය අම්මාගේ නොනිමි සෙනෙහස වෙන්නට ඇති.

අප සිටි සමහර නිවෙස් වල අය මට සැලකුවේ ළමා සේවකයෙක් ගානට .  

කුසපිරවෙන්න කෑම ලැබුණත් හිත හැම වෙලේම තිබුණේ "අපේ අම්මා නැති වූ නිසා නේද මේ " කියනා දුක්බර සිතිවිල්ලෙන් පිරිලා.

 මේ වනවිට  ප්‍රාථමික පංති නිමකර සිටි මා පංතියේ හිටපු දක්ෂම ළමයින් දෙදෙනාගෙන් එක්කෙනක් .

මේ කාලයේ  අනෙක් ළමයින් කික්ස්, අඩිඩාස්  ආදී සපත්තු පැළඳ පාසැල් එද්දී මම ගියේ ඉලාස්ටෝ  සෙරෙප්පු දෙකක් දාගෙන.

අග හිඟ කම් අධිකම  කාල වලදී මම ඇඳගෙන ගියේ අණ්ඩ දැමු ඉස්ත්රික් නොකළ කමිස  , ඉරුණු ඇඳුම් ආදිය.

ඒ කාලේ මගේ අක්කලා සහ නංගිලා  කොහොම ඉස්කෝලේ ගියාද කියලා ඇත්තටම මට මතක නැහැ.

වෙලාවට අසලම තිබු අනෙක් පාසලේ විදුහල්පතිවරයා මෙන්  ඇඳුම් පැළඳුම් ගැන හොයන්න අපේ විදුහල්පතිතුමා පෙළඹුනේ නැහැ.

මෙලෙස දුෂ්කර ලෙස පාසැල් යන්නත්   හවස අමතර පංතිවලට යද්දී දවාලට වතුර  පමණක්  ආහාරය ලෙස ගන්නත් මට සිදුවුණා. 

මිය යන විට අපේ අම්මා ගුරුවරියක් වුවත් ඇයගේ සේවා කාලය කෙටි නිසා ඇයට විශ්‍රාම වැටුපක් හිමි වුයේ නැහැ.

ඒ නිසා කුඩා අපට ඇයගේ මරණින් පසු කිසිවක් හිමිවුයේ නැහැ.

අපේ දෙමව්පියන්ගේ නෑදෑයින් එතරම් පොහොසත් අය නෙවෙයි. ඔවුන් අපේ තාත්තටත් වඩා අසරණ නිසා ඒ කිසිවෙකුට අපි හතර දෙනාට උදව් කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.

 අග හිඟකම් මැද පාසැල් ගිය අප අතරින් වඩාත්ම අපහසුවට පත්වුණේ අපේ නංගි.

අපට වඩා ඉහළ පාසලකට ගිය ඇය අනෙක් ළමයින්ගේ සරදමට ලක්වූ වාර අනන්තයි.



ආටිගේ දරුවන් සහ අපි

පුතේ.. මේ අංකල් ගේ කතාව ඉතාම කෙටියෙන්.. 

අද මම ඔබේ පියා වැනිම ඉහළ තලයේ රැකියාවක් ලබන්නටත් , ඔහු මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නටත්  හේතුව වුයේ සියළු භාදක මැද මා ලබා ගත් අධ්‍යාපනයයි.

මගේ සොහොයුරියන්  මා මෙන් විශ්ව විද්‍යාලයට යන්නට වාසනාවන්ත වුයේ නැහැ.  

මගේ සොහොයුරියන් ලැබූ දුක් වේදනා ඔබ හෝ ඔබේ නැගණිය ලබනවාට මම කැමති නැහැ.

ඔවුන්ට එසේ දුක් වේදනා ලැබීමට සිදුවුයේ අපේ තාත්තා කරගත් දෙවැනි විවාහය නිසයි.

ඒ නිසාමයි   ඔබේ මව දෙවැනි විවාහයක් කර නොගනියි කියා අස්වැසිල්ලක් ලබන්නට මා  සිත පෙළැම්බෙන්නේ.

  

පුතේ .... ඔබ සහ ඔබේ නැගණිය වෙනුවෙන් ලංකා බැංකුවේ ටිකිරි ගිණුම් දෙකක් ආරම්භ කරන්නට  අප්පච්චිගේ යාළුවන් පෙරමුණ ගත් බව ආරංචි වුණා.

ඔබේ අප්පච්චිට ආදරේ කරන ඔහුගේ අසීමිත මනුස්සකමට ගරු කරන මිනිසුන් ඔබ දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කල මේ ගිණුමට දායක වෙයි කියල මං හිතනවා. 

ඒ මුදල් ඔබේ අධ්‍යාපනයට සහ  ස්වස්ථතතාව වෙනුවෙන් පමණක්ම යොදා ගැනීමට තීරණය කල නිසා එය ඔබේ අනාගතයට පිටිවහලක් වේවි.

ආටිගල අපට කියා දුන් නිහතමානීකම, පරිත්‍යාගශීලීත්වය , මානව දයාව  වැනි උතුම් මානුෂිය ගුණාංග ඔහුගේ අකල් මරණයත් සමග අවසන් වන එකක් නැහැ..


මම ඔබේ පියාට ආදරය කරන මිතුරෙක්.....




(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් වන කමල් නාමරත්න විසින් ... ඔහුත් අපි වගේම  ආටිගේ ගුණවත් කමට ගරුකරන ආටිගේ සහෝදර ඉංජිනේරුවෙක් !!!)




ඔබ දෙදෙනාගේ  ගිණුම් අංකත්   මෙහි සඳහන් කරන්න තීරණය කළා.


1. පුතා ගේ ගිණුම් විස්තර ..


Account name: V. S. Atigala
Account number: 78944864
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 

2. දුවගේ ගිණුම් විස්තර ..


Account name: T. T. Atigala
Account number: 78944837
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 


3. ඔබ දෙදෙනාගේ සහයට ඕස්ට්‍රේලියාවේ  ඉන්නා අයට  මුදල් තැන්පත් කිරීම සඳහාම විවුර්ත කල  ගිණුම  ( මෙය ඔබේ ලොකු නැන්දා වන චමින්ද්‍රා ආටිගල/කොඩිතුවක්කු නමින් මේ කාරණය වෙනුවෙන්ම පටන් ගත් ගිණුමක්)


Account name: Chamindra Kodithuwakku 
BSB: 083168
Account number: 139865877
Bank: National Australia Bank (NAB)  Broad Meadows Branch 






Saturday, 19 March 2016

සොඳුරු මිනිසෙකුගේ නික්ම යාම සහ අපේ කාර්ය භාරය







(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් ... ආටිට පස්සේ අවුරුද්දේ පේරාදෙණියට ගිය ඉංජිනේරුවෙක් !!!)





අද මුළු දවසම මහ පාළු මූසල මුස්පේන්තු දවසක් වගේ . අප මිත්‍ර රුවන් ආටිගල අකාලයේ අප අතරින් වෙන්වූ අමිහිරි පුවත මා කණ වැකුණේ මිට පැය කිහිපයකට පෙරයි. ආටි සමග අප කෙළිදෙලෙන් ගත කල කාලය සිහිවී මා සිත තවමත් චංචලය .  

දවසේ වැඩ වරුවෙන් නිමකළ මම නුවර සිට කොළඹට වාහනය ධාවනය කරමින් සිටියෙමි.  

"ගෙදර ගිය ගමන් ගොඩගම ආටිගේ ගෙදරට යන්න ඕනා"  මගේ සිත ආටිත් මමත් මුලින්ම මුණගැසුණ ඒ මිහිරි අතීතයට දිව යයි.

එතෙක් ගමේ පාසැලට ගිය මම බණ්ඩාරවෙල නගරයේ තිබු කනිෂ්ට ද්වියිතියික විද්‍යාලයට එන්නේ 1979 වසරේදීය.  

ඒ ඒ වනවිටත් ආටිගල සිටි 3 නෙළුම් පන්තියටයි.






















තූන නෙළුම් පන්තියේ සිටි උසම ළමයා වූ ආටිගලගේ හොඳම යාළුවා වුයේ වරකාදන්ඩේ පත්මශිල නවරත්නයි.  

කනිෂ්ට ද්වියිතියික විද්‍යාලය ධර්මාශෝක මහා විද්‍යාලය වූ පසුවත් පත්මශිල එම විද්‍යාලයේ නැවතුන අතර එතෙක් එහි සිටි ආටිගල හයේ පංතියෙන් පසුව ගියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයටයි.  

පත්මශිල අප මෙන්ම කුඩා අයෙකු වු අතර ඔහු ආටිට මෙන් නොව ටිකක් කළබල චරිතයක්. ඒ අනුව සිතා බැලුවොත් පන්තියේ සිටි උසම ළමයා වූ ආටි ඊට වඩා කලබල කාරයෙකු විය යුතුය.

ඒ කාලයේ කණිස්ටයේ සිටි ලොකු ළමයි අප වැනි ඇඟ පතින් කුඩා අයට හිරිහැර කලද පංතියේ සිටි උසම ළමයා වූ ආටි අප කිසිවෙකුටත් හිංසා කලේ නැත.

ඒ දිනවල මම ආටිගලත් සමග මිත්‍ර වන්නට ප්‍රධානම හේතුව ඔහු අපට හිංසා නොකිරීම නම් නොවේ.

බණ්ඩාරවෙල මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ආටිගේ තාත්තා සමග ඔහු කොළඹ ගොස් කල කී දේවල් ඇසීම ට ප්‍රිය කිරීම එක් හේතුවකි.

විශේෂයෙන් ආටි ඒ කාලේ කොළඹදී නැරඹු "ඇපලෝ සර්කස්" ගැන කියු කතා ඇසීමට මම පුරුදු වී සිටියෙමි. ඇපලෝ සර්කස් ගැන මගේ ලොකු ආශාවක් තිබුණේ නැති වුනත් අටියා කට උල් කරමින් එවා විස්තර කල ආකාරය මට ප්‍රිය ජනක අත් දැකීමක් වුණා.

ආටි ගැන මට මතක තිබුණේ පිළිවෙලට ඇඳුම් අඳින හොඳට කළු වෙන්න පොලිෂ් කරලා සපත්තු දාන ප්‍රියමනාප ළමයෙක් හැටියටයි.

ඔහුගේ ගෙදර තන්තිරියේ බවත් ඔහු කෙල්ලන් තුන් දෙනෙක් සිටි පවුලක එකම කොල්ලා බවත් මම දැන ගෙන හිටියා.

පන්තියේ එහාම කොනේ හිටී ආටිගල ගැන පන්තියේ මෙහාම කොනේ හිටපු මට හොන්දට මතකයි . සමරහ විට ආටි ලඟම හිටී යාළුවන්ටත් වඩා වැඩියෙන්.
එහෙත් තුනේ අවසාන වාරය වෙද්දී මට නැවතත් වෙනත් පාසැලකට යන්න සිදුවුණා.  

ඒ නිසා නැවත සැහෙන කාලයකට ආටිගල ඇසුරු කරන්නට මට අවස්ථාවක් ලැබුනේ නැහැ. පසුකාලයක මම නැවත ධර්මාශෝකයට පැමිණියත් ඒ වන විට ආටි මහා විද්‍යාලයට ගොස් තිබුණා.



උසස්පෙළ අභියෝගය



අපි ධර්මාශෝකයට ගිය කාලයේ එහි උසස් පෙළ පංති තිබුණේ නෑ . ඒ නිසා සාමාන්‍ය පෙළ සමත් වූ පසු එහි ගිය බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල මහා විද්‍යාලයට යනවා උසස් පෙළට.

අපි උසස් පෙළ කරන්න මහා විද්‍යාලයට යන විට එහි සිටි බොහෝ දෙනෙක් අපිත් එක්ක පොඩි පංති වලදි ධර්මාශෝකයේ එකට සිටි පරණ යාලුවෝ බව අප දැන සිටියා.

එහෙත් ඉන් සමහරෙක් අපට නවකසංග්‍රහ දෙන්නට සුදානම් වුවද ආටි කිසි දිනෙක එවැනි දෙයකට පෙළඹුනේ නැහැ.

ඉන් පසුව එළඹී උසස්පෙළ බලු පොරයේදී සාමාන්ය් පෙළ දී මෙන් වැඩ පෙන්වීමට හැමෝටම බැරි බව අප තේරුම් ගත්තා . ඒ ස්වයං අධ්‍යනයත් සමගම අප වටහා ගත් තවත් දෙයක් තිබුණා. ඒ තමයි උසස්පෙළ පංතිය තුල විශේෂ හැකියාවන් ඇති අය අතර ආටිගල ද පෙරමුණේ සිටි බව .
ඒ කාලේ හරින් සෝමරත්න ( දැන් ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් ) සැබෑ දක්ෂයෙක් බව කවුරුත් වටහා ගෙන සිටි දෙයක්. එලෙසින්ම හරින්ට නොදෙවෙනි ලෙස සුවිශේෂ දක්ෂතා තිබු අයෙක් ලෙස ආටිගල ප්‍රසිද්ධ වී සිටියා.

උදේට හාෆ් ෂීට් කිහිපයක් අතේ ගුලිකරන් පාසැලට එන්නට ආටි පුරුදු වී සිටියා. පාසලේ සියලුම වැඩ කටයුතු ඒ හාෆ් ෂීට් වල සිදු කරන ඔහු හවස ගෙදර යත්දී ඒ ටික ගුලි කරලා විසි කරලා දානවා.

ඒ ඔහුට ඒ සටහන් වලින් වැඩක් නැති නිසා.

ඒ දවස් වල අපේ අමරසිංහ සර්ටත් පියෝ මැත්ස් කරන හැටි උගන්වන්නේ ආටියා. ඒ නිසා ඔහු ආයාසයකින් තොරවම විභාගය පාස්වන බව අප වටහා ගත්තා.

ඒ කාලේ මගෙයි ආටිගෙයි අතර විශේෂ ඇසුරක් තිබුණේ නැහැ.

ඒත් අපිත් සමග ලඟින් ඇසුරු කල අය පවා පොතක් පතක් හුවමාරු කර ගන්නේ නැති කාලේ ආටිගල ඔහු ළඟ තිබු අච්චු පොත් මට පරිශිලණය කරන්නට දුන්නා.

අපේ බොහෝ උසස්පෙළ හිතවතුන් කලේ මේකේ අනික් පැත්ත. ඔවුන් තමන් ළඟ ඒ පොත් තියෙන බව වත් අපට හැඟවූයේ නැහැ.

ඒ කාලේ මම හවසට තන්තිරියේ පිහිටි ආටිගේ නිවසට ගොස් ඒ පොත් අරන් එනවා.

මේ වගේ උදව් ඒ කාලේ ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. අපේ උසස්පෙළ සගයින් බොහෝ දෙනෙක් තමන්ගේ ළඟ ඇති පොත් කිසිවිටෙකත් තවත් කෙනෙකුට දෙන අය නෙවෙයි.


ආටි පේරාදෙණි ගිහින්


ඉන්දුලංකා ගිවිසුම සහ රාජ්‍ය / දේශප්‍රේමී ගැටුම් අතර අපේ ජිවිත දෝලනය වූ 1989 වසරේ අප විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට තේරුණේ අතලොස්සක් පමණයි.  

එවර උසස් පෙළ සමත් වී ඉංජිනේරු පීටයට තේරුන කිහිප දෙනා අතරට අපේ ආටිගල ඇතුල් වුයේ ඉතාම පහසුවෙන්.

1989 දෙසැම්බර් මාසයේ විශේෂ උසස් පෙළ විභාගය නිවේදණය කරන විට අපේ පංති සගයින් බොහෝ දෙනෙක් මිය ගොස් හෝ වද කඳවුරු වල සිර වී සිටි බව මතකයි.

එළියේ සිටි අය බොහෝ දෙනෙක් ඒ වන තෙක්ම සිතුවේ උසස්පෙළ විභාගයක් ගැන නොව රජය දැන් දැන් සටන්කාමීන්ට දනනමයි කියාය.

කෙසේ හෝ 1990 දෙවන වර විභාගයට පෙනී සිටි අප විශ්ව විද්‍යාලයට පිවිසුණා.  

අපේ පාසලෙන් වෙද විදුහලට පහළොස් දෙනෙකුත් ඉංජිනේරු පීටයට දොළොස් දෙනෙකුත් තේරුනා 1990දි.

අප 1992-93 පේරාදෙණියට යනවිට ආටි දෙවන වසරේ සිටි ජේස්ට උත්තමයෙක්.

දෙවන වසරේ සිට නවක වධ වලට භාජනය වන අප දෙස අනුකම්පාවෙන් බලා සිටි ආටි.. අපට මෙසේ උපදෙස් දුන්නා.

"මචං මම තමයි ගිය අවුරුද්දේ වැඩි පුරම රැග් වුණේ "

"ඔන්න ඕවා ඕනෑවට වඩා ඔළුවට ගන්නේ නැතුව ඉඳපන් බං "

"වැඩිම වුනොත් ටිකක් ව්‍යායාම කරන්න කියයි "

"උඹට පුළුවන් නම් කරපන් . බැරිනම් නොකර ඉඳපන් "

"ඕනිනම් ටිකක් බනිවි. ඕවා ඇඟේ වදින්නේ නෑනේ බං "

"අනික ඔය යක්කු අපිට ගහන්නේ නෑනේ බන් "

කොහොම වුනත් ආටිගල ජෙෂ්ට උත්තමයා කිසි කෙනෙකුට නවක වධය දුන්නේ නැහැ.

ඒ ආටිගේ හැටි.

තව කෙනෙකුගේ සිත රිදවීමක් , හිංසාවක් , පිඩාවක් කිරීම ආටිගේ ගතියක් නොවේ.

1989 පේරාදෙණි ගිය අපේ අනෙක් සගයන් කිවූ පරිදි ඒ වසරේ රැග් එකේදී ජේස්ට සිසුන් කියූ සියළු ව්‍යයාම සම්පුර්ණ කල හැකිවූ එකම පුද්ගලයා ආටි පමණයි.

ජේස්ටයින් " අඩෝ ඩිප්ස් පනහක් ගහපිය " යැයි අණකල විට පනස් එක පසු කරන ආටි " දැන් ඇතිද? ජෙය්ස්ට උත්තමයා " යැයි අසන්නේලු.

අප දන්නා පරිදි ඩිප්ස් දහයක් ගහ ගන්න තරම් වත් ඇඟේ ජින්තු තියෙන්නේ ඉතාම සුළු පිරිසකටය.

ඒ වැනි උන් අතර ආටියා දැඩි හික්මීමක් සහ හැකියාවක් තිබු අයෙක් ලෙස කැපී පෙනුණේය.

කරුණු මෙසේ වුවත් ජිවිතයේ කිසිම දිනක කිසිවෙකුටවත් ශාරීරික හෝ මානසික හිංසාවක් නොකළ ආටි නොකළ වරදකට දඬුවම් ලැබූ කෙනෙක්.

ඒ ඔහු අපේ බැච් එකට රැග් කළා යැයි අභූත චෝදනැවක් නගා පංති තහනමකට ලක් කිරීම මගින්.

ආටිට අනිවාරතේ දඬුවම් දුන් අය අද කම්පා වනවාට නොඅනුමානයි නොකළ වරදකට ඔහුට දඬුවම් කිරීම ගැන.

ආටි මේ බොහෝ දේවල් දෙස ඉතාම උපේක්ෂා සහගතව බැලු කෙනෙක්.

කිසි දිනක කිසිවෙකුට ඒ ගැන දොස් නොකී කෙනෙක්.

ආටි හරියට නොසැලෙන පර්වතයක් වගේ.

ඒ වගේ නිවිච්ච ගති ඇති මහත්මා ගුණයෙන් යුතු කෙනෙක් අපට අහිමි වුයේ අපේ අවසනව්ටම තමයි.

දයාබර ආටි නුඹ ගැන සිහිවෙන මොහොතක් පාසා මා නෙතට කඳුලක් උනන්නේ ඒ නිසාමය.

ආටි උඹට නිවන් සුව!!!










Sunday, 13 March 2016

අප්පච්චි මුත්තාගේ කිතුල් මල් කැපීම


අප්පච්චි මුත්තා හෙවත් වනසා අප නිවසට එන්නේ එහි අළුතින් පීදුණු කිතුල් මලට බෙහෙත් තියන්නටයි.  ඒ පිලිබඳ විස්තරය පසුගිය බ්ලොග් පොස්ට් එකේ සඳහන් කළා. 


 එය කියවන්න  මෙතනින්




"කොහොමද විමලා දුවේ? "  කියාගෙන  අප නිවසට  පැමිණි අමුත්තාට තේ පැන් සංග්‍රහයක් දීමට අම්මා අමතක කලේ නැත.

දවසේ මැද හරියේ වෙලාවක් නිසා අප්පච්චි මුත්තා රා  කට්ටක්  ගසා තිබුණු බවක් පෙනෙන්නට තිබුනේද නැත.

"කහට ටිකක් වැඩියෙන් දාලා තේ එක පෙරාපන් "කියමින්  ඔහු අපේ කුස්සියේ මිරිස්ගල ළඟ බන්කුවේ ඈඳී ගත්තේ එබැවිනි.

කිතුල් මල පරික්ෂා කර බැලු වනසා එදා හවස් වෙද්දී  අපේ මුත්තා හදා තිබු කහ උණ  පඳුරෙන්ම උණ ලී කපාගෙන විත් "හැර "  බැන්දේය.

හැර බඳින්නට උපයෝගී කර ගත්තේ හණ වේලා  සකස් කර තිබු රැහැන්ය. ඒ සඳහා හරි නම් ඔහු කිරඹ ඔය පැත්තට  ගෑටිය යුතු වුවද  ඒ පැත්තේ නිතර යන එන අපේ අම්මා ඇති පදං වියළුණු හණ  කොළ අපේ ගෙදර ගෙනැත් ගොඩගසා තිබුණි.

මල් බෙහෙත් තැබීමට ඔහු ගෙනා අඩුම කුඩුම සියල්ල මට නිච්චියක්  නැතත් ගැට අන්නාසි ගෙඩියක් සහ ගම්මිරිස්  සහ කොච්චි ඒ අතර තිබුනා මතකය.

අළුතින් පිදුණු  මලේ  මුලට වන්නට කිතුල් ගහේ  කඳ  හෑරූ   අප්පච්චි මුත්තා ඒ තුලට බෙහෙත් කොටා රෙදි කඩමාල්ලකින් වසා දැම්මේය.

දින කිහිපයක්  ගතවූ පසු නැවත කිතුලට නැගි ඔහු මේ වන විට  දුන්නක් මෙන් නැමී තිබු කිතුල් මලේ අග භාගය කපා දැම්මේය.

"අප්පච්චි බාප්පා,  කිතුල් මල   මට දෙන්න මම මැල්ලුමක් හදන්නම් ඒකෙන් " කියමින් අපේ අම්මා  මල් භාගය ඉල්ලා ගත්තාය.

"ඔව් .. ඔව් මේ හිච්චි එවුන්ට මැල්ලුමක් හදලා දීපන් ඕකෙන්  .. ඕවා හරි ගුණයි හැදෙන එවුන්ට "

අප්පච්චි මුත්තා මගේ ඔළුව අතගාමින් පැවසුවා මට මතකය.

අම්මා කිතුල් මල් රැහැන් කපා උණුවතුරේ තම්බා  අනතරුව   ඒ තැම්බූ මල් රැහැන්  මිරිස් ගලේ අඹරා  රසවත් මැල්ලුමක්  හැදුවාය.

එදා රෑ කිතුල් මලෙන් හැදු මැල්ලුමක්   අපේ ආහාරයට එක් වුණේ එලෙසිනි.

වසර තිස් ගණනක් ගතවී ඇති අද දිනයේ එහි රස මට හරියට මතක නැතත් මා එතෙක් මෙතෙක් රස විඳි මැල්ලුම් වලින් රසම එකක් ලෙස ඒ කිතුල් මල් මැල්ලුම සඳහන් කල හැකිය.

මල කැපු හැටි 



එදා  සිට දින පතා උදේ හවස අපේ කිතුල  බඩගාන වනසා මුත්තා  වරකට මලෙන් හීනි පෙත්තක් කපා ඉවත් කරමින් මල් කැපීම කරගෙන  ගියේය.

මල  පදම් වෙන තුරු රා හැදීම කල යුතු යැයි  තාත්තා සමග පැවසුයේ අපට ඈල් තෙලිජ්ජ ලබා දෙන්නට පරක්කු වේවි යැයි කියමිනි.

මෙසේ දින ගණනාවක්ම  මල් කපමින් සිටි වනසා මුත්තා උදේ හවස කිතුලේ බඩගා හොර පාරෙන්ම යන්නට පුරුදු විය.

මෙය නොරිස්සු අපේ තාත්තා  දිනක් ..

"අප්පච්චි මාමා  තවම මලේ තෙලිජ්ජ වැටෙනවා මදිද ?"  " තවම  අපේ තෙලිජ්ජ කොටස ගන්න බැරිද ? "

කියමින්  වනසා මුත්තා හොරෙන් හොරෙන් මල් කපා යන පාර ඇහිරුවේය.

"තවම මදිනේ දොරේ පුතා..."

කියමින් වනසා මුත්තා  තව ටික දවසක් රා මැදිය යුතුයැයි තාත්තාට පැවසීය.

අපේ ගම්වල කිතුල් මල් කැපීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ උදේ තෙල්ලිජ්ජ ටික කිතුල් ගස් හිමියාටත් හවස තෙලිජ්ජ මුට්ටිය  මල කපන්නාටත් ලබා ගැනීමයි.

එහෙත් මේ වන විට තවමත් තෙලිජ්ජ  වැටෙනවා හොරයි කියමින් වනසා මුත්තා දෙවේලේම  වැටෙනා තෙලිජ්ජ රා බවට හරවමින් සිටියේය.

මෙලස තවත් දින කිහිපයක් ගත විය.  තාත්තා ගේ ඉවසීමේ සීමාවද ඉක්ම ගොස් තිබිණි.

දිනක් අපේ ගෙදර ගස් වල අතු පාහින්නට  ආ  පල්ලැහැ  ගාමිණි අය්යා අල්ලා ගත්  තාත්තා

"පුතා  කිතුලට නැගලා අර මුට්ටිය අරණ එන්න කෝ  කොච්චර රා  තියෙනවද  බලන්න "

යැයි පැවසීය.

ගාමිණී අය්යා ගෙනා රා  මුට්ටිය  ( හවස තුන පමණ වනවිට ) බෝතල් තුන හමාරක්  දක්වා පිරී තිබිණි.

රා  එකට වැටී සිටි මී මැස්සන් අයින් කරමින්  මුට්ටිය දෙස  බැලු අම්මා

"පේනවා නේද මේ මිනිහා අපිට බොරු කියා කියා දිගටම  රා බීලා තියෙන හැටි "

කියමින්  වනසා මුත්තා ට බනින්නට පටන් ගත්තාය .

අසල නිවසක අය්යා කෙනෙකු වූ වික්‍රමේ ද ඒ වෙලාවේ අප  නිවසේ සිටියේය.

තාත්තා , ගාමිණී අය්යා හා   වික්‍රමේ අය්යා සමග එක්වී  රා  මුට්ටිය ඉවර කළහ .

මේ වන විටත්  නමුණුකුල රංජි අය්යා  ගේ අනුග්‍රහයෙන් කිතුල් රා රස බලා සිටි මට රා ගැන හොඳ අවබෝධයක් තිබුණ බව තාත්තලා දැන සිටියේ නැත.

අනතුරුව මුට්ටිය නවතා ගහේ එල්ලූ ඔවුන් කිසිත් නොවූ අයුරින් අප්පච්චි මුත්තා මල් කපන්න එන තෙක්  බලා සිටියහ.

වෙනදා මෙන් මල් කපන්නට ආ  අප්පච්චියා  කිසි කතාවක් බහක් නැතිව ආපසු යන අයුරු අප බලා සිටියෙමු.

එසේ පිටත් වූ අප්පච්චි මුත්තා  නැවත මල් කැපීම සඳහා  අපේ ගෙවල් පැත්තේ ආවේ නැත.

තමා තෙලිජ්ජ වැටෙන්නේ නැතියි කියා කියූ බොරුව අතටම අහුවීමේ ලැජ්ජාව එයට හේතු වන්නට ඇත.

පසුදා උදෑසන අප්පච්චි මුත්තා මල් කපන්නට නොපැමිණි නිසා තාත්තා ඔහු වෙනුවට අපේ කිතුලේ මල් කපන්නට භාර දුන්නේ තවත් නැගී එන මල් කපන්නේකුටයි.

ඒ අන්නාසි වත්තේ ජයරත්න මාමාටය. ජයරත්න මාමා අපේ අංජු  මාමගේ වයෙසේම පසු වූවෙකි.

එනම් ඒ වන විට අවුරුදු විසි දෙකක පමණ වයසේ පසු වූ වෙකි.

එදා උදේ අපේ ගෙදර පළමු වතාවට ඇල් තෙලිජ්ජ තාච්චියක් උණු කෙරුනේය.

අම්මා උණු කරමින් තිබු තාච්චියට බෙලෙක් ජෝග්ගුවක් ඔබා පළමු ඇල් තෙලිජ්ජ කෝප්පය රස බැලු හැටි මට තාමත් මතකය.

එදා සිට දිනපතා අපට අපේ තෙලිජ්ජ කොටස ලැබුණු අතර පිරිසිදු කිතුල් හකුරු හැදීම  ජයටම කෙරුනේ අපේ අම්මා අතිනි.

එය  අපේ ගෙදරට වටිනා අමතර අදායමක්  ද එක්කළේය.


පිහි ඇනුම  සහ ගුටි කෙලි


මේ කාලේ අපේ තාත්තා උඩහ කඩේ පුංචිරාළ  මාමලාගේ  නිල්පාට ඩෙලිකා  එකේ  රියදුරා ලෙස වැඩ කළේය.

ගම මැදින් දවසට දෙතුන් වතාවක් එහා මෙහා යන "අපේ තාත්තගේ වෑ න්  එක "  සුලබ දසුනක් වුයේ වත්තේ දෙමළ මිනිසුන් ඒ වාහනය නිතර හයර් වලට ගන්න බැවිනි.

විශේෂයෙන් අරලගංවිල එත්විල් , සීගිරි  හෝ මොඩර්න්  සිනමා ශාලා වලිනි එකකට ප්‍රසිද්ධ  දෙමළ චිත්‍ර පටයක්  පැමිණි දිනවල තාත්තා ට හයර් දෙක තුනක් වදින්නේ ඒවා බැලීමට යන වතු කම්කරුවන් නිසාය.


වනසා අපේ මල් කැපීම නවතා  ගතවුයේ  දින කිහිපයක් පමණි.  

දිනක් තාත්තා වෑ න් එකත් රැගෙන කිරඹ ඔය පාරෙන්  එද්දී  වනසා වාහනය නවත්වා  තාත්තා සමග බහින් බස් වීමක් සිදුකර ඇත.

"අඩෝ දොරෙයා .. උඹ මන් ලව්වා මල් බෙහෙත් තියාගෙන දැන් වෙන එවුන් ලව්වා මල් කපාගන්නවා නේද යකෝ ?"

කියමින් වනසා පියුම් මාමලා කඩේ ලඟදි රියදුරු අසුනේ සිටි තාත්තාට  කෑ ගැසුවේය.

"අඩෝ අප්පච්චියා  උඹ අපි රවට්ට රවට්ට රා  බිව්වා කියලා අපි දැන ගත්තා ඩො " 

කියමින් වෑන් එකේ ජනේලයෙන් තම අත "වනසා"  ගේ බොටුව දෙසට දික්කල තාත්තා ඔහුගේ කමිස කොලරයෙන් අදින වාත් සමගම ...

"චිරිස්... "හඩින් යමක්  එහි වැදී  තාත්තගේ දකුණු බාහුවෙන් ලේ ගලන්න ට පටන් ගත්තේලු .

වනසා තම මල් පිහිය තාත්තගේ දකුණු අත කපමින් ඇද්ද බව කඩ පිලේ සිටි අනික් මිනිසුන් දැක තිබේ.

අසල සිටි මිනිසුන් වනසා එතැනින් ඉවත් කර තාත්තගේ අතට බෑන්ඩ් ඒජ්  එකක්  දමා වාහනයට නග්ගා ඇත.

වැඩ ඇරී නිවසට එන තාත්තා අම්මා සමග විස්තරය කියමින් සිටින අතර  අපේ ගෙදරට දුවගෙන  අපේ පුංචි අම්මා "වනස්" නස්පැත්තියේ ඉතිරි හරිය විස්තර කළාය.

තාත්තා ගේ අත කපා පැයක් යන්නට මත්තෙන්  පියුම් මාමගේ කඩේ ළඟ පුරසාරම් දොඩමින් සිටි වනසා ලඟට පැමිණි තරුණයින් දෙදෙනෙකි.

එක් අයෙක් ඒ වන විට කරෙයිනගර්  නාවික කඳවුරේ සෙබළෙක් වූ අතර ඔහු කරාටේ කළුපටි ධාරියෙක් ද විය. 

ඔහුගේ බාල සොහොයුරා වූ  අනෙකා  මට වඩා අවුරුදු අටක් දහයකින් වැඩි මහළු   ගමේ එලවලු හදමින් සිටි තරුණයෙකි.

"අඩෝ අප්පච්චි ... ත්තා .. තෝ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතා ගනින්.. "

අප්ච්චියා මේ දෙදෙනාට තරමක් දුර නෑදෑ කමකින් "බාප්පා "කෙනෙකි. 

"ඇයි ...ඇයි...  අංජු  පුතා මොකද මේ කලබලේ ?"

"අඩෝ තෝ අපේ අක්කලාගේ කිතුලේ තෙලිජ්ජ හොරකම් කරා කියලා කිව්වා කියලා අපේ එගොඩ අය්යට අංචි අද්දා කියලා ආරංචියි...."

"උඹේ ඔය මල් පිහි කෙරුවාවල් අපිට ලොකු නෑ ඩො"

ලොකුමාමා අප්ප්ච්චියට දුන් පා පහිරින්  අතේ තිබු මල් පිහිය විසිවී ගියේය...

කොටියෙක් මෙන් අප්පච්චියා වෙත කඩා පිනු "අංජු  මාමා "  වනසා වැනසෙන්නට ගුටි බැට දුන්නේලු.

කඩේ ළඟ සිටි කිසිවෙක් අප්ප්ච්චියා බේරන්නට පැමිණ නැත්තේ අදනම් මිනිහා හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියමිනි. 

කොටි දත් පෙන්නා ගම හොල්ලන් සිටි අප්පච්චි මුත්තා ගේ චන්ඩි කම් බිංදුවට  බැස්සේ එදාය. 





Friday, 11 March 2016

කිතුල් මල සහ වනසා මුත්තා



ඒ  1982 වසරයි . එවකට මගේ වයස අවුරුදු  12කි . ඒ වන විට අප ජිවත් වුයේ  අපේ ගෙදර නොව තාත්තගේ මල්ලීට  අයත්ව තිබු  පල්ලැහැ  මුත්තලා ගෙදරයි ( තාත්තලා මහා ගෙදරයි.).


මා කලින් සඳහන් කල පරිදි ඒ වනවිට  අපේ ගෙදර වත්තේ ඒ තරම් පලතුරු සහ  අතුරු අදායම් භෝග තිබුනේ නැත.

එහෙත් පල්ලැහැ  මුත්තා හදා තිබු ගස් කොළන් වලින්  පොඩි බාප්පලා ගෙදර වත්ත  පිරී ඉතිරි  ගොස් තිබුනා කීවොත් නිවැරදිය.

එකම අඩුව වුයේ  ගුරුවරයෙකු වූ පොඩි බාප්පා හෝ ගෘහණියක  වූ ඔහුගේ බිරිඳ ඒ ගස් කොළන් වලට හොඳින් සාත්තු කර නොතිබීමයි.

බාප්පලා ගේ දොර අතහැර හොරණ ප්‍රදේශයට  මාරුවීමත් සමග මේ වත්තේ ගස් වැල් වලට හොඳ කාලයක් උදාවිය.

ඒ බින් ඌරෙක් මෙන් පොලවේ හැපෙන්නට  ආශා කල මා ඇතුළු අපේ පවුල එහි පදිංචියට පැමිණීමයි.

පසුගිය පොස්ටුවක මෙහි තිබු ගස් වැල් හැම එකකින්ම අප ආදායම් ඉපයූ හැටි සඳහන් කලෙමි.

අද එහි තිබු කිතුල සහ ඒ වටා  සිදුවූ  රසවත් සිදුවීම්  සමුදාය  ඔබ හමුවේ තබන්නෙමි.

ඉතින්...  කිතුල් .....



පොඩි බාප්පලා කුස්සිය පැත්තට වන්නට  තේ වත්තේ මැද හරියේ  තිබුණු කිතුල  අප එහි යන විට පීදී තිබුණේ නැත.

ගහ දෙස නිතර බලා හිඳින අම්මා  "මේක නම් ගෑණු කිතුලක්  කුලවතී අක්කා " යැයි අල්ලපු ගෙදර සිටි ලොකු අම්මා සමග කියනු මට ඇසී තිබේ.

ඒ කිතුල් හැගේ ලක්ෂණ සලකා බැලීමෙන් පසු ගැහැණු සහ පිරිමි කිතුල් වල වෙනස හඳුනා ගන්නට උත්සාහ කලෙමි.
ඒ අනුව මා තේරුම් ගත් කිතුලේ ගැහැණු පිරිමි වෙනස් කම් මෙසේය.

ගැහුණු කිතුලක ඇති විශේෂ ලක්ෂණය වන්නේ එහි කඳ පිරිමි කිතුලක මෙන් පහළ සිට ඉහලට එකම මහතකින් යුක්ත නොවීමයි.

ගෑණු කිතුල් ගස් වල මුල හරියේදී කඳ තරමක් හිනි වන අතර මැද හරියේදී කඳ විශාල වීමක් පෙන්නුම් කරයි.



"මේකේ මලක් පීදුණු දවසට හොඳට තෙලිජ්ජ තියෙයි විමලා නංගි "

කුලවතී ලොකු අම්මා පවසන්නේ ස්ත්‍රී ලිංගික කිතුල් වල ඵලදාව හොඳ බවයි.

මේ කාලයේ කිරඹ ඔය ගම පුරාම වගේ කිතුල් ගස් තිබුණද  මුළු මල්දෙණිය ගමටම තිබුණේ කිතුල් ගස් දෙකක් පමණි.

ඉන් එකක් තිබුණේ  බාප්පලා නිවසට නිවෙස් දෙකක් එහායින් තිබුණු ඩිංගිරි බන් ඩේ මාමලා ගෙදරය .

අනෙක්  ගහ මා මේ විස්තර කාරනා කිතුල්  ගහයි.

අපේ  බාප්පලා ගෙට ඉහළින් තිබු ගෙදර , ඒ කාලේ මට එතරම් වැදගත් කමක් නොදැනුන ගෙදරක් විය.

හරියටම නිච්චියක් නැතත් ඒ කාලේ  ඒ ගෙදරද පොඩි කිතුල් පැලයක් තිබුණ බවක්  මා මතකය පවසයි.

එහෙත් පසුකාලීනව මගේ ජිවිතයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඒ නිවසේ සිටි  අය සම්බන්ධ අත්දැකීම් විය.

අපේ පොඩි බාප්පලා ගෙදරට ඉහළින් තිබු මේ නිවසේ ජිවත් වුයේ විමලා ටීචර් ඇයගේ ස්වාමියා සහ ඇයගේ දරු තිදෙනාය.

මල් කැපීමට පැමිණි  "වනසා" මුත්තා



අප පල්ලැහැ  බාප්පලා ගෙදර පදිංචියට විත් ගත වුයේ මාස කිහිපයක් පමණි. 

දිනක් උදැසන  මම දුටු දෙයින්  ප්‍රීති ප්රෝමෝදයට පාත් වූ මා කෑ ගසමින් අම්මා වෙත දිව ගියෙමි .

"අම්මා .... අම්මා  .. මේන්  අපේ කිතුලේ මලක්  පීදිලා.."

අපේ කිතුලේ මුදුණින්  පැනනැගී තිබුණු මල් ගොබය  යන්තමින්  දුටු මා අම්මා  සමග ඒ බව පැවසුයෙමි.

ඒ වෙත පැමිණි තාත්තා , අක්කා ඇතුළු අපි හැමෝම කිතුල් මල දෙස බලා සතුටු වූයෙමු.

"දැන් කාටද මේක බෙහෙත් තියන්න  කියන්නේ. ? "  පැනය තාත්තගෙනි.  

"සුට්ටන් අය්යට හරි  අප්පච්චි මුත්තට හරි කියමු "

අම්මා යෝජනා කළාය.  

සුට්ටන් මාමා කිරඹඔයේ  අපේ අත්තම්මාලාගේ  මිදුලේ තිබු කිතුල මදින්නට ආ  බව මා ඒ වනවිටත් දැන සිටියෙමි.

අපේ පංතියේ සිටි සුට්ටන් මාමගේ ලොකුපුතා අනුර බණ්ඩාර ට  "රා මුට්ටියා " යැයි නමක් පට බදින්නට මා පෙළඹවුයේ  උදේ හවස තෙලිජ්ජ මුට්ටියත් අතේ එල්ලන් බිමට බසිනා සුට්ටන් මාමා ගේ  දර්ශනයයි.

එහෙත් සුට්ටන් මාමාට  කිරඹ ඔයේ මල් කැපීම් ගණනාවක් ම තිබු නිසා අපේ මලට බෙහෙත් තියන්නට  ඔහු කැමති වී නැත.


ඒ නිසා තාත්තා අම්මාගේ අනිත් යෝජිත මල් කප්පන්නා වූ  අප්පච්චි මුත්තා  (වනසා ) වෙත  කිතුල් මලට බෙහෙත් තියා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.


එදා හවස් වෙද්දී අප නිවස දෙසට ආ අමුත්තෙකි.  ඔහු කළුපාට  කමිසයක් සහ කැහැපට ගසා ගත් දුඹුරු පාට ඉරි ඉරි සරමකින් සැරසී සිටියේය.

උඩ බොත්තම් දෙකම ඇර තිබු අතර නිරාවරිත පපුවේ සුදු කොටි දතක් එල්ලෙමින්  තිබිණි.

එකල  කිරඹ ඔයේ හිටී ගණන් කාරයෙකු වූ ඔහු අප්පච්චි මුත්තා හෙවත් "වනසා" මුත්තාය. 

කැහැපට ගසා තිබු සරමත් ඉනේ තිබු බඳ පටියත් අතර රඳවා  තිබුණේ දිලිසෙන්නට  මැද තිබු මල්  පිහියයි. 

එකල වනසා ජිවත් වුයේ කිරඹ ඔය පංසලට පහළින් තිබු  කුඩා පැල්පතකයි.  

හවස් වෙද්දී කිතුල් රා  කට්ටක්  තොලගා ගන්නා ඔහු ගම දෙවනත් කරමින් කෑ ගැසීම පුරුද්දක් කර ගෙන තිබුණේය.

අපේ අම්මලා මෙන් රාජපක්ෂ කෙනෙකු වූ  වනසා මුත්තා එක් වරක් හිරේ විලංගුවේ වැටී සිටි අයෙක් බවද මා අසා ඇත්තෙමි.

ඒ තමා අත් අඩංගුවට ගැනිමට ආ  පොලිස්  රාළහාමි කෙනෙකුගේ ලිඟුව  මිරිකා ඔහු ගෙන් ගැලවී ගිය වරදටයි. 

Thursday, 10 March 2016

සොඳුරු මිනිසාණෙනි... ඔබට සුභ ගමන්...





ඒ එකදහස්  නමසිය අසුව වසරයි.  බණ්ඩාරවෙල කිරිඔරුව විද්‍යාලයේ සිට නගරයේ පිහිටි කනිෂ්ට දිවිතියික විද්‍යාලයට අප පැමිණෙන්නේ   නමසිය අසුවේදීය.



හතරේ පන්තියට පැමිණි අපට හමුවූ කුඩා හිතවතුන් රාශියකි . ඉන් වැඩි දෙනෙක් මා මෙන් දඟලන නලියන කුලකයට අයත් අය වුහ.



හතරේ මානෙල් පංතියට ඇතුළු වූ මා සමග හිතවත් වුයේ  දඟයින් පමනක්ම නොවේ.



වැඩි කලබලයක් නැති නිහඬ චරිත කිහිපයක්ම  අපේ හිතවතුන් අතර සිටි බව මතකය.



එවන් එක් චරිතයක් වුයේ  රුවන් ලකේෂ් ආටිගල හෙවත් අපේ ආටියායි .



ආටිගල  මා මුලින්ම දුටු දිනය මට තවමත් මතකය.



අප මෙන්ම කාල වර්ණ දේහයකට හිමිකම් කී ආටි  මුනින්ම  දුටු දිනයේ මා සිත ඇඳුනේ  අඹ යහළුවෝ ටෙලි නාට්‍ය යේ සුනිල්  අප්පෝ ගේ වැනි පෙනුමකි.

මනාව මැද තිබු සුදු කමිසයත් , නිල් කලිසමත් දණහිස ලඟට වනතෙක් දැමු කළු මේස් දෙකත්  කළු සපත්තු දෙකකුත් පැළඳ  රවුම් තොප්පියක් පැළඳ ආටි පාසලට පැමිණ සිටියේය.

අතේ තිබුණේ නිල් පැහැති කොටු කොටු සුට් කේස් එකකි.



"හලෝ මචං කොහොමද ? ... හලෝ කිටී  කොහොමද? "



වැනි යෙදුමකට වඩා ලොකු දෙයක් ආටි අතින් කියවුනේ කලාතුරකිනි.



හතරේ පන්තියේදී මෙසේ අපට හමු වූ ආටි 1986 දී අපත් සමගම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියේය.



අනතුරුව  අවස්ථා කිහිපයකදීම ආටි අපත් සමග එකම අනු කොටසක " ඒ , බී , සි  ආදී "  සිටියා මතකය.

ඒ හැම පන්තියකම ඔහු අප හා එකටම සිටියේ වුවද  ආටි ගේ නම  මේ වන තෙක් මගේ එකම බ්ලොග් පොස්ට් එකකට වත් පැමිණියේ  නැත .

එයට ප්‍රධානම හේතුව ආටි ගේ තිබු අසාමාන්‍ය නිශ්ශබ්ද්ධ  ජීවන රටාවයි.



ඔහු අපේ කතාවල එන අනෙක් චරිත මෙන්  ( ජාලිය වැනි ) අණ්ඩපාල  වැඩ කල අයෙකු නොවීය.

ආටි අපේ ගැට්ටා , වන්නි වැනි  ගැහැණු ළමයින්ටත් වඩා   තැන්පත් මුළු ගැන්වුණු චරිතයක්ද නොවිය.

ආටි කිසිම දඟ වැඩක නොයෙදුණු නිස්ෂබ්ධ චරිතයක් වීම ඔහු මගේ අණ්ඩපාල වැඩ වල කොටසක්  නොවීමට එකම හේතුවයි.

රුවන් ලකේෂ් ආටිගල හෙවත් අපේ ආටියා



රුවන් ආටිගල එකල බණ්ඩාරවෙල මහා මාර්ගයේ වැඩ කල ප්‍රධාන ඉංජිනේරුවරයාගේ එකම පුත්‍රයා විය.

හතර දෙනෙකුගෙන් යුත් එම පවුලේ  ඔහුට වැඩිමල් සොයුරියන් දෙදෙනෙක් සහ බාල සොයුරියක් වුවාය.

පවුලේ එකම පිරිමි  දරුවා වූ ආටි ඒ සියළු ගැහැණු දරුවන්ටත් වඩා නිශ් ශබ්ධ චරිතයක් විය.



අප කවුරුත් දන්නා පරිදි ආටිගේ වැඩිමහල් සොයුරිය    ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයකි.



එහෙත් ආටි පාසලේදී හෝ විශ්ව විද්‍යාලයේදී හෝ කිසිම දේශපාලන ක්‍රියාවකට සම්බන්ධ වූ බවක් මා අසා නැත.



ආටිගේ වැඩිමහල් සොයුරිය    තම ජිවිතයම අනුන්ගේ යහපත උදෙසා කැප කළ කාන්තාවකි .



ඒ පිඩිත ජනතාව වෙනුවෙන් කැපවෙමින්  ඇය විශ්වාස කාරනා හැටියට ඒ සඳහා ඇති හොඳම මාර්ගය තෝරා ගනිමිනි.



1989 -1990 ගණන් වල ඇය  දේශපාලන යේ යෙදුනේදැයි මා දැන සිටියේ නැත.



එහෙත් ඒ කාලයේ අපත් සමග එකටම සිටි සගයෙකු වූ ආටි තම "නිශ්ශබ්ද  මානව හිතවාදය " දිගටම පවත්වා ගත්තා මිස   කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත් වුයේ නැත.



ආටිගේ උසස්පෙළ පන්තිසගයින් වූ  හඳපානාගල ජයරත්න   , සුගත් වැන්න වුන්   එකල පාසැල්  දේශපාලන ගමන් මගේ ප්‍රධාන කොටස් කාරයෝ වුවද  ආටි ඒ කිසිවකට සම්බන්ධ වුයේ නැත.



පසු කාලිනව අපත් සමගම එකටම විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වූ ආටි අපේ ඉංග්‍රීසි අද්යාපනයේ පොරෝගමියා වූ "ආබ්‍රෙව්  සර්ගේ "  සුවච කීකරු ගෝලයෙක්ද  විය.



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වූ ආටි සිවිල් ඉංජිනේරුවෙක් ලෙස එයින් නික්ම ගොස්   බස්නාහිර පළාතේ සේවය කළේය.



අවාසනාවකට 1992  GELT එකෙන් පසු මට ආටි මුහුණට මුහුණ හමුවන්නට අවස්ථාවක් උදාවුයේ නැත.

අපේ නිවාස ව්‍යපෘතිය සහ රුවන් ආටිගල යලි හමුවීම.



පසුගිය වසරේ මැද භාගයේදී  අපේ තාත්තගේ මැදිහත් වීමෙන් කළු සහ ප්‍රියන්ත යුවලට නිවසක් තැනීමේ වැඩ ආරම්භ කළෙමු. 



ඒ සඳහා ආධාර කරුවන් සොයා යද්දී  ආටිගේ ලොකු අක්කා අහම්බෙන් මෙන් මට හමු වුවාය. 

මගේ හිතවතෙකුගේ බිරිඳගේ මිතුරියක් ලෙස මට ඈ හඳුනා ගන්න ලැබිණි. 

"ඩොක්ටර් ....මගේ යාළුවෙක් ඉන්නවා මෙල්බන් .....එයා ඔයාගේ නිවාස වැඩේට උදව් කරන්න කැමතියි කිව්වා "



"එයත් බණ්ඩාරවෙල එක්කෙනෙක්  දැන් පාවිච්චි කරන්නේ වෙන වාසගමක් හැබැයි ඉස්සර එයා ආටිගල කෙනෙක්ලු "
අපේ හිතවතිය මා සමග පැවසුවාය. 

"හා ඇත්තද ? හරි හොඳයිනේ  .. එයාට මගේ බැංකු අකවුන්ට් එක දෙන්න .. මට එයාගේ මොබයිල් නම්බර් එක අරන් දෙන්න ස්තුති කරන්නත් එක්ක "



මා  නව දානපතිනියගේ දුරකථන අංකය ඉල්ලා ගත්තෙමි.



ලැබුණු වහාම ඇය හා කතා කල පසු ඇය රුවන් ආටිගලගේ ලොකු අක්කා බවත්.  ඇය හරහා රුවන් ආටිගල වත් මට සම්බන්ධ විය. 



ඉන් අනතරුව ආටිත් මමත් නිතරම මුහුණු පොතේ හමුවුයෙමු. ඒ හරහා ආටි තුලවූ සොඳුරුතම මිනිසා මා හා බෙහෙවින්ම සමීප විය.



" මචං .. අර ගෙදරට  ජනෙල් ග්‍රිල් නැතුව කරදරයක් වෙලා .. හැකි ඉක්මනින් ග්‍රිල් ගහන්න ඕනා "

මුහුණු පොත් මිතුරන් සිය ගණනකට ඇවිටිලි කාරනා අතර දිනක් ආටි සමග මගේ අපහසුව පැවසුයෙමි.



" උඹට කීයක්ද ඕනා ? මට අකවුන්ට් එක දියන් "  අනෙක් පසින් පණිවිඩයක් ලැබිණි.



" උදව් කරන උඹලාගෙන්ම හැමදාම ඉල්ලන්න මොකක්ද වගේ බං.. ඒ අයට තව විසි දාහක් වත් ඕනේ.. "

ගත වුයේ පැය කිහිපයකි.   



ආටියා අපේ නිවාස ලාභියාගේ ගේ  ගිණුමට මුදල් බැර කල බවට මුහුණු පොතෙන් පණිවිඩයක්  එවා තිබේ.

මා ඉහතින් කීවා මෙන් ආටිගල හරි නිහඬ චරිතයකි.  





එහෙත්  දුප්පතෙකුගේ දුක කියූ කිසිදු අවස්ථාවක ඔහු නිහඬ වුයේ නැත. 



ජීවිතේට අසා නැති , දැකනැති නන්නාඳුනනා මිනිසුන් වෙනුවෙන් උණුවන හදවතක් ලැබීමට තරම් අපේ ආටියා වාසනාවන්ත විය.



එහෙත් අවුරුදු හතලිස් පහක් වැනි කෙටිකාලයකින්   ආටිගල නම් මේ සොඳුරු මිනිසා අපගෙන්  වෙන් කීරීමට තරම් දයිවය අපට අකාරුණික විය.



අනුන් වෙනුවෙන් කැපවුණු සොඳුරු සිතක්  ඇත්තෙකු අකාලයේ අපට අහිමි වීමට තරම් අප අවාසනා වන්ත වීමු.




දයාබර  ආටි ... උඹට නිවන් සුව.... සසර මග කෙදිනක දී හෝ අපි නැවත හමුවේවි !!!!

ප. ලි. :
අද උදේ වැඩට යන ගමන් වාහනයේ ගිය ජෝතිපාලගේ  සිංදුවක්  මගේ හිතේ තිබුණු දුකම කිව්වා වගේ හිතුනා .

මෙන්න ඒ සිංදුව.