Follow by Email

Friday, 26 February 2016

ටෙලි නාට්‍ය රැල්ල



මම අප කුඩා කල අපේ නිවස සිහි කරන්නෙමි.

කන්තෝරුවේ කුරුටු ගා ගෙදර එන තාත්තා එන තෙක් උණු උණු තේ එකක් හදා ගෙන සිටින්නි අපේ අම්මාය.

"අද හරි මහන්සියි විමලෝ.. " කියමින් තම කන්තෝරු මල්ල මේසය උඩට විසි කරන ඔහු ඇඳේ හෝ හාන්සි පුටුවේ වැඩිවෙයි.

ඒ   මල්දෙණියේ කන්ද නැගීමෙන් ඇතිවූ විඩාව නිවා ගන්නට අම්ම හැදු  තේ කෝප්පයත් තොල ගාමිනි.

 ඒ  අතර අම්මා ඔහුගේ සපත්තු සහ මේස් ගලවා දමයි.

ඒ එක්දාස් නමසිය බර ගණන් වල ශ්‍රී ලාංකික ගෘහනියයි.

අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.  අද රැකියාවක් නොකරන ගෘහනියන් විරල වීම එක හේතුවකි.

එමෙන්ම මේ වෙනසට බලපාන තවත් හේතු වකි.  අද අපි ඒ ගැන සොයා බලමු.

ඉස්සර මෙන් වැඩ ඇරී නිවසට එන සැමියා සහ  හවස පාසැල් පංති අවසන් කර නිවසට එන දුවා දරුවන් පිළිගන්නේ ආදරණිය මව විසින් නොවේ.

ඒ වෙනුවට විඩාබර ඔවුන්ගේ නෙත ගැටෙන්නේ ඇය හරහා ඔවුන් වෙත  බලා  සිටින රුපවාහිනී තිරය විසිනි.

ආදරණිය මව ඔවුනට පිටුපා සමහරවිට හඬමින් එසේත් නැතිනම් තිරයේ දිස්වන ඕලාකර විගඩම් වලට සිනහ වෙමින් ඉන්නා ගමන්ය.

ඇයගේ  අවධානය  වෙනතකට ගැනීමට නම් සෑහෙන වෙහෙසක් දැරිය යුතුය .

 හේතුව මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඇති පැතිරෙමින් පවතින වසංගතයකි.

එහි ආදීනව කෙසේද යත් හවස හය හතේ සිට රෑ නමය දහය වනතෙක් ගේ දොර හොරු ගෙන ගියත් නොදන්නා තරමට නිවැසියන්  රූපවාහිනියට ඇලි ගැලී සිටිති.

අද ශ්‍රී ලංකා සමාජයට පිළිලයක් වී ඇති නොනවතින රැල්ල "රුපවාහිනී  නාට්‍ය  හෙවත් ටෙලි නාට්‍ය " අද දවසේ මාතෘකාවයි.


මා දුටු ශ්‍රී ලංකික ටෙලි නාට්‍ය



මම නැවතත් 1989-90 කාලයට පියමන් කරන්නෙමි . ඒ දිනවල අපේ ගෙවල් වල තිබුණේ කළු සුදු  රුපවාහිනියකි. 

නිවසට විදුලිය නොතිබුන නිසා එය ක්‍රියාත්මක කෙරුනේ කාර් බැටරියක  ආධාරයෙනි.   

සමන්ත තමාගේ පළමු තක්කාලි කොටුවෙන් ලැබුණු ආදායම යොදවා ගෙනා  ටීවී  එක  සහ සුදු පාට කාර් බැටරියක්  අපේ ටෙලි නාට්‍ය බැලීමට උපකාරී විය.

එමෙන්ම කාගෙන් හෝ ලැබුණු තඩි කළු කාර් බැටරියක්ද අපේ ගෙදර තිබුනා මතකය.

මේ බැටරි දෙක මාරුවෙන් මාරුවට  චාජ්  කිරීමෙන්  රුපවාහිනිය පැන් ගැන්වූයෙමු. 

අපි බැටරි චාජ්  කිරීමට රැගෙන යන්නේ උඩහ තේ වත්තේ ලැයිමකටයි.  

අනිවාර්යෙන් සිකුරාදා හවස් වන විට එක බැටරියක් හොඳ තත්වයේ තබා ගැනීමට අම්මා වග බලා ගත්තාය. 

"ඒයි චුටි පුතා ලයිමට ගිහිල්ලා මේ බැටරිය චාජ් කරන වරෙන් "  අම්මා මට පවසයි . 

මා නොමැති වෙලාවක මේ රාජකාරිය පැවරෙන්නේ අපේ අක්කාටය. 

හතරට නැමූ තුවායක් කරේ දමා ඒ මත බැටරිය තබා ගන්නා මම ලැයිමට ගාටන්නේ  මා නොබලන එහෙත් ගෙදර අනෙක් හැමෝම තලු මර මරා බලන ටෙලි නාට්‍යක් වෙනුවෙනි.

ඒ සෝමවීර සේනානායකගේ තිර රචනයෙන් සහ නාලන් මෙන්ඩිස් ගේ නිෂ්පාදන දායකත්වයෙන් අප නිවසට වැඩි "දු දරුවෝ " ටෙලි නාට්‍යයි.





දුදරුවෝ 

(ලියන්නේ : සෝමවීර  සේනානායක  , නිෂ්පාදනය : නාලන් මෙන්ඩිස් )





අද මෙන් දිනපතා නොව එකල ටෙලි නාට්‍ය තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා පමණි.   

සෙනසුරාදා රාත්‍රී ආහාරයෙන් පසු අම්මා , තාත්තා , අක්කා, නංගිලා ඇතුළු සැවොම  දුදරුවෝ බලන්නට සාලයට එති.
උසස් පෙළ විභාගයට පාඩම් කරමින් සිටි මම  "ඔය ටීවී එකේ සද්දේ අඩු කරපල්ලා " කියමින් කෑ ගසන්නෙමි.

ඒ ඉස්සරහ කාමරයේ ඇති මගේ ඇඳට වී පොතක්  බලනා අතරයි. සම්පත්, සුදු මාමා මෙන්ම දීප්ති වැනි චරිත  සංවාදයේ යෙදෙනු මට ඇසේ.



මම නැවතත් අම්මලාට බණිමින් කොට්ටයකින් ඔළුව වහ ගන්නෙමි.  

එහෙත්  දුදරුවන්ගේ හැල හැප්පීම් වල විස්තර මගේ  කණටත් වැටෙන්නේ  මගේ කාමරයත් සාලයේ ඇති ටීවී එකත් අතර මහා දුරක් නැති හෙයිනි.

කල්ගත වත්ම  අපේ කට්ටියට විරෝධයක් වශයෙන් සාලයට නොගියද දු දරුවෝ කථාවට සවන් යොමන්නට පුරුදු වුයෙමි.

එහි මගේ සිත් ගත්  චරිතය වුයේ  සුදු සීයා ගේ  චරිතයයි. හෙන්රි  ජයසේනයන් විසින් පනපෙවු එහි මගේ අනාගතයටත්   කිසියම් සබඳතාවයක් ඇතැයි එදා මට සිතුනේ නැත.




ඒ දිනවල දුදරුවෝ බැලුවේ අපේ ගෙදර පමණක් නොවේ. 

සඳතැන්න පාසැල ඇරී නිවසට එන ගමනේදී පසුගිය  සතියේ කොටස විශ්ලේෂණය කිරීම  අපේ විමලා අක්කා නොවැරදීම කල දෙයකි.

තාත්තා  සහ මා අතර ඇතිවූ සමහ මත ගැටුම් ගැන ඇසු ඈ . "ඔයත් හරියට සම්පත් වගේ "  යැයි දුදරුවෝ ආශ්‍රයෙන් අපේ ගැටුම පැහැදිලි කළාය.

දඬුබස්නාමානය

මගේ මතකයේ රැඳුනු දෙවැනි ටෙලි නාට්‍ය එන්නේ 1990 ගණන් වල මැද හරියේ දිය. එවකට මම වෙද සිසුවෙක්  ලෙස තුම්මෝදර  නේවාසිකාගාරයේ  වාසය කලෙමි.

ජයන්ත චන්ද්‍රසිරි  ගේ නිර්මයක් වූ එයද ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ විකාශය වුවකි.

එකල බදදා හවස හත හමාර වන විට  හොස්ටල් එකේ එහා පැත්තේ බුලතා ගේ  කාමරයෙන් ඇසෙන ගී හඬකි.

"රකිනා දෙවි සිත වග වැලහින්නේ .. " යනුවෙන් ඇරඹෙන එයාට  දෙවැනි පදය එකතු වන්නේ යට තට්ටුවේ සිටි අජිත්  අය්යලාගෙනි

"අඩෝ  බොග දම දමාම ඉන්නේ නැතිව වරෙව්...  ඒයි මුණා, ලලිතා , සංජේ වරෙල්ලා  දඬුබස්නාමානය   බලන්න "

බුලත් තෙමේ නැවතත්  හඬ අවදි කරයි.    අපි හැමෝම  ටීවී කාමරයට දිව එන්නේ  ඉස්සරහම  පුටුවක් අල්ලා ගන්නටය.

බුලත් ,අජිත් අය්යා වැනි අය  රුපවාහිනිය අසලම  බිම වාඩිවෙති . ප්‍රමාද වී පැමිණෙන සේමා වැනි අය දොරෙන් එළියේ සිට  දඬුබස්නාමානය බැලුහ.





ශ්‍රී ලංකාවට අවේනික සටන් කලාවක් වූ අංගම් පොර  සහ සටන් කලාව  එකම නෑදෑ පරපුරක් තුල තබා ගැනීමට දැරූ අසාර්ථක උත්සහයක් පිලිබඳ ඒ කතාවේ තිබු බව මට මතකය. 

Saturday, 20 February 2016

බණ්ඩාරවෙල මහා විදුහලේ ගිනි සිළුව - හඳපානාගල ජයරත්න



මා පසුගිය ලිපියකින් අප උසස් පෙළ කරන කාලයේ පාසලේ අධ්‍යාපනයට අමතරව දේශපාලන කටයුතු වල යෙදුනු සිසුන් ගැන සාකච්චා කලෙමි (මගේ ආදරණිය සුරංජි. කියවන්න )

එහිදී බණ්ඩාරවෙල නගරයේ විසු $%#@ , සුරංජිත් රත්නායක , චමල් බණ්ඩාර, කත්‍රිආරච්චි සහ ජයරත්න බණ්ඩාර  ගැන සඳහන් කලෙමි.

ඒ අය අතරින් අප කිසිකෙනෙකුට බලපෑම් නොකර  තම කටයුතු කරගෙන ගිය අයෙක් මගේ මතකයට නැඟේ.

ඔහු  හඳපානාගල කණිස්ටයෙන් අපේ පාසැලට ආ  ජයරත්න බණ්ඩාරයි.

ජයරත්න හඳපානාගල වැව පෙනෙන මානයේ දුප්පත් ගොවි ගම්මානයක උපන් දරුවෙකි.

ඔහු පවුලේ වැඩිමලා වුවා මෙන්ම එකම පිරිමි දරුවාද විය.  වැල්ලවායේ හඳපානාගල ගොවි ගම්මානය ඔහුගේ උපන් ගමයි.

මා අසා ඇති පරිදි ඒ වසරේ  හඳපානාගල කනිෂ්ට විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල හිමිවී තිබුනේ ජයරත්නටයි.

දුප්පත් ගොවි දරුවෙක් වූ ඔහු බණ්ඩාරවෙල මහා විද්‍යාලයට එන්නේ සමන්ත සහ මා මෙන් පිවිතුරු අරමුණකිනි.

ඒ තම අද්‍යාපනය තුලින් හොඳ රැකියාවක් ලබාගෙන තම පවුල ගොඩ දැමීමේ පරම චේතනාව පෙර දැරි කර ගෙනයි.

අපට සමගාමී ගණිත පංතියේ  දීප්තිමත් එහෙත් තරමක් නිහඬ සිසුවෙක් ලෙස 1987 වසරේදී  අප ජයරත්න හඳුනාගත්තෙමු.

වැඩි කතා බහක් නොතිබුණා වුවද ඔහු කෙරෙන් දිස්වූ තැන්පත් බව සහ   වැඩිමහල් සොහොයුරෙකු මෙන් වූ ආකල්ප ඔහු කෙරෙහි අපේ සිත් ඇදී යන්නට හේතුවක් විය.

අපේ විද්‍යා පංති තුනේ සිටි පහළොස් දෙනෙක් වයිදය් වරුන් වෙද්දී  ඔහු ගේ පන්තියේ සිටි සිසුන් ගෙන් 13 දෙනෙක්  ඉංජිනේරුවරු බවට පත් වූහ.

ජයේ සමග එක පන්තියේ සිටි  සිසුන්  අතර දැනට ඔස්ට්‍රේලියාවේ  මහාචාර්යවරයෙකු වන හරීන් සොමරත්නද  විය.

හරීන් තරම් අති දක්ෂයෙකු නොවුවද ඉංජිනේරුවෙකු වන්නට තරම්   ඉගෙනීමේ හැකියාවක් ජයරතන්ගෙන්  දක්නට ලැබිණි.


ඉන්ඳු- ලංකා ගිවිසුම  සහ සිසූ  දේශපාලනය 



අ. පො. ස.  ( උ. පෙ.)  පංතියේ  බොහෝ දෙනෙක් සමන්  අය්යා , ගුණරත්න සර් වැනි අයගේ උපකාරක  පංති ගියද ජයේ ඒ කිසි පංතියකට ආවේ නැත.

ඒ හරීන් මෙන් උපන්ගෙයි දක්ෂයෙක් වීම නිසා නොව ඔහුගේ දෙමාපියන්ට පංති ගාස්තු ගෙවන්නට තරම් ආරථික හැකියාවක් නොතිබූ නිසාය.

කෙසේ වෙතත් උසස් පෙළ පටන්ගෙන  ටික කලකින්  ජයරත්න  වැලිකන්දේ චමල් ඇතුළු පිරිස අනුගමනය කල  දේශපාලනයට අවතීර්ණ වන්නට තීරණය කළේය.

එය කෙසේ සිදුවුවාදැයි කියන්නට තරම් විස්තර මා දන්නේ නැති වුවද ටික කලක් ගතවෙද්දී  ජයරත්න  අප විදුහලේ සිසු දේශ පාලකයින්ගේ  ප්‍රධානියා බවට පත්වූ හැටි මා නිරීක්ෂණය කලෙමි.


ඒ  1988 ජුනි මාසයේ පැවති  බණ්ඩාරවෙල මහා විදුහලේ  ( අපේ උසස් පෙළ කාලයේ) ප්‍රථම  විරෝධතාවයට නායකත්වය දීම මගිනි.

ඒ වනතෙක් අළුයට ගිනි පුපුරක් සේ සැඟ වී සිටි ජයරත්න කරලියට පැමිණෙන්නේ මේ විරෝධයත් සමගයි.

මා ජයරත්න සමග එකම පංතියේ ඔහුට එහා ඩෙස්ක් එකේ සිටි දැනට ලංකාවේ සාර්ථක ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන  කමල් සසරසිංහ  ගෙන් දැනගත් පරිදි  ජයේ දේශපාලනයට ගෙන ආවේ චමල් ලා නොවේ.

ඔහු අපේ පාසැලට එන්නට පෙර සිටම  සමාජවාදී දේශපාලන  අදහස් දැරුවෙකි. 

කෙසේ වෙතත් කල් ගත වෙත්ම  ජයරත්න සහ අනෙකුත් දේශපාලනයේ යෙදුන සිසුන්  පාසැල් පැමිණීම එන්න එන්නම අඩුකළේය.

 ඒ වන විට රට පුරා  ගිනිදැල් ඇවිලෙමින්  තිබුනේ ජ. වී. පෙ. මර්ධනය කරමින්  UNP ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙල  නිසයි.

එමෙන්ම  මා කලින් ලිපියක සඳහන් කල පරිදිම  ජ.වී. පෙ . අනුගාමිකයින් අතින්ද බොහෝ අකටයුතු කම් සිදු විය.

මේ අතර 1988 සැප්තැම්බර් මස  වෙද්දී  ජයේ සහ කිහිපදෙනෙක්  පුර්ණ කාලීන  දේශපාලනයට  පිවිසුන බව අපට ආරංචි විය.

ඒ බව අප දැන ගත්තේ  ජයේ යලට මහට ඉස්කෝලේ එන්න පටන් ගැනීමත් සමගය.

බණ්ඩාරවෙල  $%#@ වැනි පුර්ණ කාලීනයන් දිගටම පාසැල් ගිය අතර ජයරත්න , කත්‍රිආරච්චි වැනි අය පාසැල් ගමන බෙහෙවින් අඩුකළ සිසුන් වූහ.

දිනක් උදෑසන චමින්ද, සුරාජ් සහ මම බෙලගන්වැව බසයෙන් බැස  බණ්ඩාරවෙල නගරය  මැදින් ගමන් කරමින් සිටියෙමු.

දැක පුරුදු මුහුණක් ඇති උස, කළු කෙට්ටු අයෙක් සහ මිටි රතු මහත  අයෙක්  අප හමුවේ පෙනී සිටියහ.

"හලෝ මචංලා  ඉස්කෝලේ යන ගමන් වගේ ?"

ඒ දෙදෙනාගෙන් කෙට්ටු උස තරුණයා අප හා කතාවට වැටුණේය.

"ඔවු ජයේ ..  අපි ඉස්කෝලේ යන ගමන් "

ඒ දෙදෙනා සිටියේ  දිග ගමන් මලු දෙකක් තමන් ළඟ තබාගෙන  ඈත යන බසයකට ගොඩ වන්නටය.

මලු දෙක පිරෙන්නට කිසියම් දෙයක් පුරවා ඒවා වැහෙන ලෙස මල් පොකුරු කිහිපයක් දමා තිබු අයුරු අප නෙත ගැටිණ.

මේ කාලය වන විට ජයරත්න සහ ඔහුගේ ලඟම හිතවතා හුංගම ඉන්දික යන දෙදෙනා බණ්ඩාරවෙල සිටි ප්‍රධාන සිසු ක්‍රියාකාරිකයින් දෙදෙනෙක් විය.

ඒ හේතුව නිසාම ඔයාලා කොහෙද යන්නේ ? මේ බෑග් වල තියෙන්නේ මොනවාද ?

වැනි  නිරර්ථක ප්‍රශ්න අපගෙන් පැන නැගුනේ නැත.

ජයරත්නගේ අගය කලයුතුම ලක්ෂණයක් වුයේ  කවිඳු චමින්ද වැනි අයට කැමති දෙයක් කර ගන්නට ඉඩ හරිමින් ඔහු ඒ කිසිවෙකුට අනිසි බලපෑම් කරන්නට  ඉදිරි පත් නොවීමයි.

එමෙන්ම සැබෑ විරෝධතාවයකදී එලියට පැමිණ එයට නායකත්වය දීම මිස  අපේ සමහරක් හිතවතුන් මෙන් "උණට " එලියට බැසීමක් ඔහුගෙන් දිස්වූයේ නැත.



රජයේ හමුදා වලින් කල  සිසු දඩයමේ නොඇසූ කතා



වසර 1988 අග භාගයේ දිනක ජයරත්න ප්‍රථම වතාවට රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගැනිණි.

ඒ කහගොල්ලේ පන්සලක තවත් එවැනිම සිසුවෙකු ( අපට වසර දෙකක් ඉහළ පන්තියක සිටි)  වූ හේරත් රාජමන්ත්‍රී සමග සිටියදීය.

එදා ජයේ හමුදා අත්අඩංගුවට පත්වෙද්දී  රාජමන්ත්‍රී කහගොල්ල පංසලේ සිවිලිමේ සැඟවී තම දිවි ගලවාගෙන තිබේ.

පසුකාලීනව රාජමන්ත්‍රී නැවතත් අත්අඩංගුවට පත් වුවද ඔහු හමුදා භාරයට ගනිද්දී රටේ ගිනිදැල් නිවී යමින් තිබිණි.

ඒ  නිසා රජමන්ත්රිට තමා ඇලුම් කල දේශපාලනය අද දක්වාම කරගෙන යන්නට තරම් වාසනාව උදාවී තිබේ.


ඒ වනවිට බණ්ඩාරවෙල පමණක් නොව මුළුරටම  ජ.වී. පෙ. සහ රජයේ එකට එක කිරීම් වලින් ගිනිගෙන දැවෙමින් තිබුණි.

ජයරත්න අත්අඩංගුවට ගත් දිනට පසුදා අප විද්‍යාලයේ සිසුන් මෙන්ම බණ්ඩාරවෙල සියළුම පාසල් වල උද්ගෝෂණ කරන ලදී.

මට මතක හැටියට එතෙක් මෙතෙක්  බණ්ඩාරවෙල  ප්‍රදේශයේ පැවති විශාලතම සිසු විරෝධතාව පැවැත්වුනේ ඔහු නිදහස් කර ගැනීම වෙනුවෙනි.

පාසලේ උද්ඝෝෂණය යන අතර තුරම ජයරත්න නිදහස් වී  පාසල ඉදිරිපිට ඇති අඹ ගහ ළඟ ට පැමිණි සිටියේය.

එහෙත් ඒ නිදහස් කිරීම තාවකාලික එකකි. එකල විදුහලේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරී  සිසුන් රාශියක් අත්අඩංගුවට පත් වූ දෙවැනි වටයේදී ජයරත්නද නැවතත් හමුදා භාරයට ගැනිණි.

ඉන් අනතුරුව ඔවුන් රඳවා තැබුණේ අප ප්‍රදේශයේ බොහෝ පාසැල් සිසුන් තම අවසන් කාලය ගත කල  බෙරගල  තේ කර්මාන්ත ශාලා   කඳවුරේය.

පුනරුත්ථාපන  කඳවුරක් ලෙස හැඳින්වූ එහි පුනරුත්ථාපනය වී නැවත අප අතරට පැමිණි එකම සිසුවා $%#@ පමණි.

$%#@ ගෙන්  මා අසා දැන ගත් පරිදි   එහි රඳවා සිටි කත්‍රිආරච්චි, වැලිමඩ උදේනි  ඇතුළු බොහෝ පිරිස් වරින් වර කඳවුරෙන් එලියට රැගෙන විත් මරාදමා තිබිණි.

දවුලගල කඳවුරේ යාව ජීව සාමාජිකයකු වූ $%#@,  ජයරත්න දෙවැනි වතාවට කඳවුරට ගෙන ආ දිනයේ ඔහු නෙත ගැටුණු අයගෙන් එක් අයෙකි.

$%#@ පසුගිය වසරේ දිනක සිද්ධිය මා සමග ස්කිය්ප් ඔස්සේ පැවසුවේ මෙසේය.

" එයා අරන් එනකොට අපි කැම්ප් එකේ හිටියා.. මම කකුලට දම්වැල් දාලා ගැට ගහලා හිටියේ. එයා අපේ ලඟට අරන් එද්දී එයා හැසිරුනේ අපි කවුරුත් ගැන නොදන්නා ආකාරයට."

"මචං උඹ මේවා ලියන්නම ඕනේ දේවල් ...

ජයේ අපි කිසිම කෙනෙක් පාවලා දුන්නේ නෑ.

එයාට වෙලාවක් ලැබුන ගමන් අපිට ඉඟි කරා අපි එයා ගැන දන්නා  බවක් හමුදාවට කියන්න එපා කියලා. "

"එදා රෑ ජයේත් තව කිහිප දෙනෙකුත් කඳවුරෙන් එළියට ගෙනිහින් තිබුනා"

"ඒ තමයි  අපි ජයේ අවසාන වතාවට දැක්ක මොහොත "

ජයරත්න අත්අඩංගුවට පත් වූ දින උදැසන  ඔහු මුණගැසුණ තවත් කෙනෙක් කී කතාවක් ඔහුගේ වචන වලින්ම මෙහි සඳහන් කරමි.

එකල ප්‍රසිද්ධ සිසු ක්‍රියාකාරිකයකු නොවූ මේ හිතවතා දැන් සිටින්නේ යුරෝපිය රටකයි.

එකල 79 වැලිමඩ  බසයේ යාව ජීව සාමාජිකයකු වූ මේ හිතවතා ජයරත්න ගේ අවසාන දිනය සියසින් දුටු අයෙකි.

"මචං .. මචං  මට උඹේ සපත්තු දෙක දීපන්.. මට හදිස්සි ගමනක් යන්න තියෙනවා "

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දී හමුවූ ජයරත්න අප මිතුරා වූ නාරද ගෙන්  ඉල්ලා තිබේ.

ඒ වන විට ජයරත්න සිට ඇත්තේ ඔහුට හුරු පුරුදු  බාටා සෙරෙප්පු දෙක පැළඳ පිටේ එල්ලා ගත් කළු බෑග් එක සහිතවයි.

නාරදගේ  සපත්තු කුට්ටම රැගෙන   නගරයේ වැසිකිලියක් තුලට රිංගු ජයරත්න ආපහු පැමිණ ඇත්තේ ඔහුගේ සපත්තු දෙක  පැළඳ ගෙනයි.

"ඒක නෙවෙයි උඹට සපත්තු දෙක දීලා මම දැන් ගෙදර යන්නේ කොහොමද ? "

නාරද මැසිවිලි නැගුවේය.

"මොනවා කරන්නද මචං මට ලොකු හදිස්සියක් වෙලා .. උඹ මගේ සෙරෙප්පු දෙක දාගෙන ගෙදර පලයන් "

යැයි කියූ ජයරත්න සැණෙකින් එතැනින් අතුරු දහන් විය.

සිද්ධිය අමතක කල නාරද 310 බසයක නැගී වැලිකන්ද බලා ගමන් ගත්තේය.

එදා රාත්‍රියේ සිදු වූ දේවල් දන්නේ දෙවියන්ම පමණි.

එහෙත්  පසුදා උදැසන වැලිකන්දේ සිට බණ්ඩාරවෙල එන්නට පිටත් වූ  නාරදට දකින්නට ලැබී ඇත්තේ ඔබ අප කවුරුත්   සිහිනෙකින් වත් දකින්නට අකමැති දසුනකි.

එහෙත් එය එකලනම් සුලභ දසුනකි.

වැලිමඩ - බණ්ඩාරවෙල පාරේ  අතර මග එක පිට එක  ගොඩ ගසා  ඒ මතට ටයර් දමා  පිලිස්සු තරුණ මල සිරුරු සමුහයක දසුනයි ඒ.

එකල බොහෝ අය කළාසේ නාරද ද  බසයෙන් බැස ගොස් භාගයට පිළිස්සුනු යොවුන් මල සිරුරු දෙස විපරම් බැල්මක් හෙලා ඇත.

ඔහු දුටු දෙයින් ඇතිවූ කම්පනය තවමත් ඔහු සිත හොල්මන් කරන බව දැනට යුරෝපා රටක සිටින ඔහු මා සමග පැවසිය.

තමගේ ඊට පෙර දෙන ජයරත්නට  දුන් සපත්තු කුට්ටම සහිත කළු කෙට්ටු කකුල් දෙකක් සහිත භාගයට පිළිස්සුනු සිරුරක දසුනයි ඒ.

ඒ වෙන කිසිවකුනොව  බණ්ඩාරවෙල මහා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ හඳපානාගල  ජයරත්න බංඩාරයි.




ජයේ නුඹ පැතූ දේශය තවම ගොඩ නැගී නැත.

එහෙත් නුඹත් සමග කහගොල්ල පංසලේ එදා එකට සිටි  රාජමන්ත්‍රී එක කණ්ඩායමක දෙවැනි නායකයා ලෙසත්  බණ්ඩාරවෙල ප්‍රදේශයේ 89-90 සිදුවීම් වලට කෙලින්ම වගකිව යුතු  (එවකට පාසැල් සිසුවෙක් නොව රජයේ ඉහළ නිලයක සිටි ) නායකයා  අනෙක් කණඩායමේ ( රජමන්ත්රිලට කෙලින්ම විරුද්ධ පිලේ )  ඉහළම මොළ කාරයා ලෙසත් අද කටයුතු කරති.

අද $%#@  සිටින්නේ මේ දෙකටම විරුද්ධ තුන්වැනි කණ්ඩායමත් සමගයි.

උඹත් සමග එක පංතියේ සිටි අපි හැමෝම ළමා ළපටින් ඇති පියවරු / මව් වරු වී  ජිවිත සටනට බැස සිටින්නෙමු .

බොහෝ දෙනෙකු ඒ අවිචාර සමය ගැන   කතා කිරීමෙන් වැලකි සිටිති.

ඒ වෙනුවට  බණ්ඩාරවෙල මහා විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සව, වාර්ෂික ක්‍රිකට් ගැටුම්,  ආදිය ගැන මුහුණු පොතේ  කතා කරති.

අපි නුඹව  මුණ ගැසුණු අඹ ගහ යට වත්මන් බණ්ඩාරවෙල සිසුන්ට රංචු ගැසීමටද නොහැකිය.

රාජමන්ත්‍රී  නුඹේ අදහසට පිටු පෑ බවක් පෙනෙන්නට නැත. ඒ ගැන නුඹටත්  මේ සියල්ල දෙස සානුකම්පිතව බලා සිටින අපටත් මේ දක්වා සතුටු විය හැකිය.

තවමත්   සියළු වර්ග වල "පවුකාරයින් " එක එක පැති වලට ඇඟිලි දික්කරමින් " අනෙක් පවුකාරයින් " සොයමින් පසුවෙති .

නුඹලා වැනි පවුලකට, ගමකට පමණක් නොව රටකට ජාතියකට යමක් කල හැකි පිරිසක් අප හැමට අහිමි විය.

නුඹ මෙවන් දේශයක නොඉපදී  නිවහල් අදහස් ගරු කරන  එහෙත්  විරුද්ධ මත දරන්නන් අමු අමුවේ මරා නොදමන දේශයක ඉපදේවා.. !!!

නුඹටත්   සුරංජි ,  කත්‍රි  උදේනි ඇතුළු සැමටත් නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමි.

නුඹලා මේ පාරේ ගෙනගොස්  අතරමන් කොට වර්තමානයේ බෙදී වෙන් වී ගිය අයගෙත්  ඇස් ඇරේවා!!

Thursday, 18 February 2016

අලදෙණිය රෝහලේ නේවාසික වී




පෙර කළාපයෙන්.
මගේ අ. පො. ස. ( සා/පෙ) අවසාන වී ගතකල සංක්‍රාන්ති සමයේ  මා මරණය අභිමුවට ගිය හැටි ඔබට කිව්වා මතකය. එහෙත් ඉන් අනතුරුව අප කතා බස් කලේ තරමක් වෙනස්   සිදුවීම් බව ඔබ කවුරුත් දනී.


කරුණාකර මගේ   ගැලවුම්කාරයා  නැවත කියවන්න.  මේ එන්නේ එහි ඉතිරි  කොටසයි..

අමතක වී තිබුණ මේ කොටස ගැන මතක් කර දුන්  අටම්පහුර ට මගේ ස්තුතිය.


අලදෙණිය  රෝහලේ නේවාසික වී



දිගින් දිගටම වමනය දමමින් පැමිණි මා රැගත් නිල්පාට ඩෙලිකා වෑන් එක අලදෙනියට සේන්දු විය.

අපව පිළිගන්නට පැමිණ සිටියේ අලදෙණිය වෙද විදුහලේ පළමු වසරේ සිසු  සමන්ත නාමරත්න සහ ඔහුගේ හිතවතුන් කිහිප පොළකි.

එතන සිටි බොහෝ දෙනෙක් ගේ නම් මට අමතක වුවද බොකුටු කොන්ඩේ සහිත කුඩා කොල්ලෙකු වූ දඹුල්ලේ පොඩි බණ්ඩා  මා මතකයේ තදින් රැඳී පැවති නමකි.

පොඩි බණ්ඩා නමේ අර්ථය මෙන්ම පෙනුමෙන් පොඩි අයෙකි.

"මචං පොඩි.. මෙයා තමයි  මගේ මල්ලී කවිඳු . අද එයා ප්රෝෆෙස  සුමල්  කරුණානායක ගේ වෝර්ඩ් එකට ඇඩ්මිට් කරන්න යන්නේ ".

තම සුපුරුදු දඟකාර සිනාවෙන් මා දෙස බැලු පොඩිබණ්ඩා

"හා මේ මලයා නේද අර උඩු රැවුලක් එහෙම වවලා ෆොටෝ අරන් තිබුණේ. ? මම ඇත්තටම හිතුවේ ඔයා "සමා" ගේ අය්යා කියලා "

සමන්ත මට පොඩි බණ්ඩා අය්යා ගැන සෑහෙන විස්තර පවසා තිබුණි.

ඒ අතර මගේ මතකයේ රැඳී තිබුණු කරුණු අතර ඔහු දඹුලු මහා විද්‍යාලයෙන් මෙඩිසින් ආ පළමු ශිශ්‍යා බවත්

 ඒ වෙනුවෙන් ඔහු නොවිඳිනා දුක් වින්ද කෙනෙක් බවත්ය.

පොඩි බණ්ඩා පසු කාලීනව  (1989/90)  භීෂණ  සමයේ අවසාන භාගයේදී   අවාසනාවන්ත ලෙස අපගෙන් සමුගත් බව  අය්යාගෙන්  දැන ගත්තෙමි.

අය්යාගේ මිතුරන් මුණ ගැසී ටික වෙලාවක්  ගිය පසු   හිල්ඩා ඔබේසේකර ශාලාවෙන් පිටත් වූයෙමු.

තාත්තා විසින් පැදවූ  වාහනය ඉතා ප්‍රියමනාප පෙනුමැති නවීන රෝහලක පෝටිකෝවේ නතර කෙරිණි.

"අලදෙණිය ශික්ෂණ රෝහල - ජපන් ශ්‍රී ලංකා මිත්ත්‍රත්ව පදනමේ පරිත්‍යාගයකි"

යැයි ලියු පුවරුවක් මා නෙත ගැටුනා මතකය.

ව්‍යිදය ෂන්මුගනාදන් හෙවත් "ෂන්"  හමුවූ හැටි



ඉතා දුර්වල තත්වයක සිටි රෝගියා වත්තන් කර ගත් සමන්ත සහ පිරිස මුලින්ම පිවිසියේ  බාහිර රෝගී අංශයටයි.  

තමා වෙද සිසුවෙක් බව සහ තම මල්ලී රැගෙන පැමිණි බව කියූ ඔහුට හෙදියන් සහ බාහිර අංශයේ වෙදැදුරන් කඩිනම් සේවයක් සැපයුහ.

අනතරුව මා රැගෙන ගියේ හතේ වාට්ටුවටයි.  හවස පහ හමාර හය පමණ වූ ඒ වෙලාවේ සුමල් කරුණානායක මහතා එහි සිටියේ නැත.

ඒ වෙනුවට අප පිළිගත්තේ ෂන්මුගනාදන්  නමැති ඔහුගේ  හිතවත්ම "රෙජිස්ට්‍රාර්වරයා" විසිනි.   

මේ රෙජිස්ට්‍රාර් යනු  ලියන කියන කෙනෙක් පමණක්ම නොව කායික රෝග විශේෂ උපාධිය හදාරන කණිටු වෙදැදුරෙකි.

සමන්තටත් මටත් මල්ලී යන ආමන්ත්‍රණය පාවිච්චි කල  ඔහු එසේ කීමට හේතු දෙකක් තිබිණි.

එක අපේ සමන්තත් වෙද සිසුවෙකු වීම. දෙක  ෂන් ගේ මල්ලී  උදය කුමාර් අපේ අය්යාගේ බැචෙක් වීම ඒ හේතු දෙකයි.

"කොහොමද මල්ලී ? .. ඔයා කීයේ පංතියේද ඉන්නේ?"

"මෙයා ඕ  ලෙවල් පාස්වෙලා ගෙදරට වෙලා ඉන්නේ මේ දවස් වල"  මගේ පිළිතුර ලැබුණේ සමන්තගෙනි.

"ආ .. ඇත්තද ?   කොහොමද ඔයාගේ රිසල්ට්ස් ? "

" ඩි  පහයි  .. සි  තුනයි "  

දුර්වල මනසකින්  පසුවුවද  ආඩම්බර හඬකින්  ඒ උත්තරය ලබා දුන්නේ මා විසින්මය.

"එහෙනම් ඔයාටත් අය්යට වගේම මෙඩිසින්  කරත හැකියි .. දැන්ම ඉඳලම  උසස් පෙළට වැඩ කරන්න"

යාපනයෙන් බිහි වූ ෂන්  සහ උදයකුමාර් වැනි දෙදෙනෙක්   අරලන්ගන්විල  පරදෙශ්යෙනුත් බිහිවනු ඇති බවට පළමු අනාවැකිය පලකල  ෂන්  මට යෝජනා කළේය. 

රෝගීන් බලනා විශේෂ කාමරයේ පැයක් පමණ මා පරික්ෂා කල ෂන්

"සමන්ත.... මල්ලියාට තියෙන්නේ  මිග්රේන් ( ඉරුවාරදය) ... එයා හොඳටම dehydrate වෙලා අපි සේලයින් දාලා බෙහෙත් පටන් ගමු  .

මම තව ටිකකින්   prof එක්ක කතා කරන්නම් "  යැයි ඔහුගේ  රෝග විනිශ්චය ලබා දුන්නේය.

මම හතේ වාට්ටුවේ  පළමු ඇඳට   යවන්නයි  හෙද සොයුරියට උපදෙස් දුන් ෂන්  සමන්තද  කැටුව වාට්ටුවෙන් පිටත් විය.

ඒ වනවිට  පුංචි රාල මාමලා වැන් එකද රැගෙන අම්මා සහ තාත්තා නැවතත් අරලගන්විල දක්වා යමින් සිටියහ.

තම ස්වාමියාගේ හයර් අඩුවීමෙන්  තමාගේද ආදායම අඩුවන බව තාත්තා හොඳින් දැන සිටියේය.

ඒ නිසාම ඔහු  වාහනයත් තබාගෙන අලදෙනියට වී ඉඳීම තේරුමක් නැති බව කියනු මට මතකය.


රෝගියාගේ  ආහාර සැපයුම



මාසයක් එක හමාරක් උගුරෙන් පහලට යන කිසිවක් රඳවා ගත නොහැකිව සිටි මා මේ වන විට  ආහාර "අරහං " තත්වයක පසු වූයෙමි.

වාට්ටුවේ ඇඳට වී  ඔහේ කල්පනා කරමින්  සිටි මට නින්ද ගොස් තිබිණි.

"ඒයි  චුටි පුතා  මෙන්න උඹට කෑම ගෙනාවා...නැගිටපන්  .. නැගිටපන්"

  රාත්‍රී හත පමණ වන විට සමන්ත නැවතත්   මා ඇඳ අසලට පැමිණියේ  ප්ලාස්ටික්  පෙට්ටියක මනාව අසුරා සකස් කල රාත්‍රී ආහාරයක්  ද සමගිනි.

පෙට්ටිය විවුර්ත කල ඔහු ලොකු චීස් පෙති මැදට දමා සකස් කල පාන් සහ පලතුරැ  ගොඩක්  මා වෙත දිගු කළේය.

" එපා .. මට කන්න බැහැ .. මට කන්න කිසි පිරියක් නෑ "  මම කෑම ප්‍රතික්ෂේප කලෙමි.

" මෝඩ වෙන්න එපා බන්.. මේ වගේ කෑමක් කැම්පස් එකේ ඉන්න අපිට ජීවිතේට කන්න ලැබෙන්නේ නෑ "
කතාව ඇත්තය.  

මෙවැනි විශාල චීස් කුට්ටි, තක්කාලි පෙති ආදිය තබා ලස්සනට හැදු  සැන් විච් එකක් මම මින් පෙර දැක තිබුනේ නැත.

එහෙත්  අමෘතය ගෙනාවත් කන්න බොන්න බැරි තරම් අපුලක් මට දැනේ..

සමන්ත මට බැන බැන කෑම එක නැවතත්  මල්ලට දැම්මේය.

"මේක මේ  උදය කුමාර්ලා අම්මා මූ වෙනුවෙන්  ම  හදපු  කෑම එක .. 

කොහෙද මේ  ගොනා කන්න බෑ කියනවනේ ?"

මහාචාර්ය  සුමල්  ගේ වාට්ටු සංචාරය 



පසුදා උදෑසන සියලු හෙද හෙදියන්  උනන්දුවෙන් එහෙ මෙහෙ  දුවනු දක්නට ලැබිණි.  

ඉතා වැදගත් යමක්  වාට්ටුවේ සිදුවන්නට නියමිත බව පළමු ඇඳේ සිටි මටද වැටහෙන්නට  විය.
ටික වෙලාවකින් පරිවාර සෙනග පිරිවරාගත්    සුදු දිග කබායකින් සැරසුණු මිනිසෙක් මා ඇඳ  අසල නතර විය.

ඔහුගේ හැඩරුව  ඇත්ත වශයෙන්ම  සමන්තටත්  මටත් බෙහෙවින් සමාන බවක්  ගත්තේය.
සුමලුත් මා මෙන්ම කළු පැහැ අයෙකි.

  සියළු  අංගෝපාන්ග ගැන සලකා බැලු විට සුමල් සමන්තට වඩා සමීපත්වයක් දැක්වුයේ මාගේ පෙනුමටයි.

ඒ  බව  පසු කලෙක අලදෙණියේ කථිකාචාර්ය වරයෙක්  වූ පසු මාගේ  දෙපාර්තමේන්තු මහාචාර්ය වරිය  මට නිතර නිතර මතක් කර දුන්නාය.

සුමල්  වාට්ටුවට ඇවිදන් එද්දී කිසිම ලෙඩෙක් දෙස කෙලින් බැලුවේ නැත .  

මා ලඟට එන තෙක්ම පහත් කරගෙන පැමිණි හිස එසවුනේ  ෂන්  විසින් මගේ රෝග විස්තරය ඔහු හට ඉදිරිපත් කරන විටයි.

බොහෝ ලාන්කික   කායික රෝග විශේෂ  වෙදදුරන් මෙන්  වචනයක් දෙකක්  කතා කල ඔහු මා සිටි තැනින් ඉවත් විය.

ඒ එසේ වුවද ඔහු සහ ඔහුගේ ගෝලයා වූ "ෂන්"  විසින් මරණ මංචකය දෙසට යමින් සිටි මා  ගොඩ දැමු බව මෙහි සඳහන්  කරන්නේ හද පිරී ස්තුතිය සමගයි.

අවසාන  ඇගයීමේදී    ඒ දෙදෙනා වෙත මා යොමුකරන්නට  තරම්  හිතක් පහලවූ  මගේ අය්යා  සමන්ත  මාගේ ප්‍රධාන ගැලවුම් කාරයා  ලෙස  සඳහන් කරන්නට කැමැත්තෙමි.   

Sunday, 14 February 2016

සිහිනයකි ඔබ ...



මගේ පපුව  ඩිග් .. ඩිග් ..  ගා ගැහෙයි.. මුළු ඇඟම  දහදියෙන් පෙඟී ගොසිණි. කොඳු ඇට පෙළ දිගේ පහළට ඇදුනු තද හිරි වැටීමක් දෙකකුල් අතර හිරවුණා  සේ  දැනෙයි.

මම මා අසල සිටි ජයංගනී දෙස බැලීමි ඇය ගේ කම්මුල් ජම්බු ගෙඩියක් මෙන් රතු පාටය . තරමක් විශාල නිල්වන් ඇස්  සැකමුසු බියකින් ඇසිපිය නොසෙල්වා ඉදිරියෙන් පෙනෙන  බියකරු  දර්ශනය  දෙස බලා හිඳියි.

මම සෙමින් හිස ඔසවා ඉදිරිය බලමි.  නිල් පාට ඩෙලිකා වෑ න් එකක්  ඩන් ලොප් වත්තට හැරෙන තැන පාරේ නවත්වා තිබේ.  හරියටම කිව්වොත්  එය තිබෙන්නේ සිරිමල්වත්තේ සිට අපේ ගමට එන පාරේ හමුවන අම්බලම ළඟය,

අසලින් තම ඉනට දෙඅත් තබා පාරේ අපේ ගම දෙසට ඇවිදන් එන අප දෙදෙනා දෙස බලා සිටින කෙනෙකි.

ඒ කවරෙකුවත්  නොව   අපේ තාත්තා ය.

" චුටි පුතා උඹ පංති යනවා කියලා කරන්නේ මේකයි  එහෙනම්.. ?" තාත්තා දත් මිටි කමින්  මා හට කෑ ගසනු ඇත් දෝයි  සිත බියෙන් වෙලෙයි.

මගේ ඇඟ  කිලිපොලා  යයි.. හුස්ම ගන්නටත්  අපහසු ගතියක් දැනෙයි.. මම මුළු වැර යොදා මගේ සිත දැඩි  කර ගන්නට උත්සාහ කරමි.

බියෙන් ගැහෙන  මා  සැඟවෙන්නට ගන්නා උත්සාහය නිෂ්ඵලය.  ඒ බව පසක්  වීමෙන් දෝ  තව තවත් බය බිරාන්ත වීමි.

හදිස්සියේම තිගැස්සුණු මා වට පිට බැලුවේ සිද්ධිය ඇත්තක්ද..... සිහිනයක් දැයි සිතා ගන්නට නොහැකිවයි.

මගේ වෙලාව හොඳය.  මා බයෙන් ගැහි ගැහි සිටියත්   වසර දෙදාස් දහය -දොළහ වැනි කාලයක  මෙවැන්නක්  සිදුවිය නොහැකිය.

එදා  සහ අද 


මා දැන් සිටින්නේ ලංකාවෙන්  සැතපුම් දහස් ගණනක්  දුරිණි. අපේ තාත්තා දැන් ඩෙලිකා  එලවන්නේ නැත,

මා සිටින අහලක අම්බලමක් , තේ වත්තක්   , ගුරුපාරක්  මේ කිසිවක් දක්නට නැත.

අපේ තාත්තා අම්මාත්  සමග පෝය දවසට සිල් සමාදන් වෙන්න යන්නේ මේ අම්බලම පසුකරමිනි.

ඔහු දැන් එලවන්නේ  "පෙරඩුවා විවා " එකකි. අතහිත පනහට පනහ  සමන්තගෙන්  සහ මගෙන්ය.

එය අරන්දුන්නේ  ඒ දෙන්නාට  පන්සල තෙක් ඇති  කිලෝමීටර්  දෙකක පමණ දුර   පහසුවෙන් ගමන් කරන්නටයි.



ඔවුහු   "විවා"  එක ගැන  අපට පින්දෙමින්  ඔවුන්ගේ ලබන ආත්මයට සහ අපේ වර්තමානයට  පින් රැස් කරති.

 මේ දක්වා අපි ඔසවා තැබීම ගැන අපද ඔවුන්ට යටි සිතින් පින් දෙන්නෙමු.

"කොයිදේ වෙන්නෙත් හොඳටයි  චුටි පුතා " යැයි අම්මා නිතර පවසන අදහස මට සිහිවේ.

එහෙත් නමසිය අණු  ගණන් වල සිදු වූ  සමහර  අවාසනා වන්ත සිදුවීම්  තවමත්  මගේ යටි  සිතේ හොල්මන් කරයි.
නැතිනම්  අවුරුදු විසි ගණනකට පසුවත් මම සිහීනෙන්  බය වෙන්නට  හේතුවක් නැත.

ඔව්   ඇත්ත මයි.  මා දැක තිබෙන්නේ බියකරු  සිහිනයකි.

මගේ අසල දැන් සිටින්නේ  නිම්මි සහ සුපුන්ය.

මේ වෙලාවේ  මා බය කරන්නට   කෙනෙක්  පෙනෙන තෙක්  මානයක වත්  නැත.

මම සැනසුම් සුසුමක් හෙලුවෙමි.



Wednesday, 10 February 2016

අපේ වර්ගයේ සෙම දානයක්



 මේ 2006 ජනවාරි  පස් වෙනිදා-  පාරේ වැඩ අවසන් කර යන ට්‍රැක්ටරය  පොදු පාරේ ඇති වලවල්  පිරවීමට පස් රැගෙන් යන ගමන් 


පසු ගිය දිනක  කලාහිත,  කටුසු හදවත  , කොළඹ ගමයා ඇතුළු තවත් පිරිසක් මුලික වී මොණරාගල  මියාගල විද්‍යාලයට පානිය ජලය සැපයීමේ ව්‍යාපෘතියක්   ආරම්භ කර තිබුණා.

එහි දෙවැනි දින වැඩ සටහනේ සිදුවූ  සෙම දානයක් ගැන කලාහිත ලියා තිබුනා මතකයි.  ඒ සෙම දානයට අපේ බ්ලොග් හිතවතුන් කිහිප පොළක්ම සෙමෙන් දායක  වී තිබු ආකාරය  චායාරුප මගින් දැක ගන්නට ලැබුණා.

මේ කියන්න හදන්නේ  අපි සහභාගී  වූ  එවැනිම සෙම දානයක් ගැනයි.

මෙය සිදු වුයේ අප අවසාන වරට  ලංකාවට පැමිණි වෙලාවේ ඒ කියන්නේ 2014 පෙබරවාරි මාසේ.

මෙවර අප ලංකාවට පැමිණියේ  වසර දෙක තුනක විරාමයකින් පසුවයි.

ගුවන් තොටුපළේ සිට අපව රැගෙන යාමට පැමිණ සිටියේ  අමරා නංගි ගේ සැමියා ලෙනදොරත්  ඔහුගේ හිතවතෙක් වූ වෑන් හිමියාත් ය.

වාහනය  කොළඹ නුවර පාරෙන් හැරී  මාවනැල්ලේ කොන්ඩ දෙනිය පාරට දැමීමත් සමගම කුමක් දෝ අමුතු ප්‍රබෝධයකින්  මා සිත පෙළෙන්නට විය.

බස් පාරෙන් හැරුණු තැන සිටම පාර කොන්ක්‍රීට්  කර තිබෙණු දක්නට ලැබිණි.

මේ එවකට පැවති මහින්ද රාජපක්‍ෂ  රජයේ මග නැගුම යටතේ කල  පාරකි.


වංගු කිහිපයක් පසු කල පසු ලෙනදොර, පුවක් සහ මා එකතු වූ ගොඩ නැගු අපේ පාර කොටස හමුවේ.

එහි ඉහල කොටස ( අඩි දෙසීයක් පමණ මා විසින්ම  කොන්කිර්ට් කර දුන් ) හැරුණු කොට ඉතිරි හරිය සකස් කර තිබුනේ ගල්කුඩු ඇතිරිමෙනි.

කෙසේ සකස් කර තිබුනද  පාරේ වාහන යන කොටස් හොඳටම සකස් වී තිබිණි.

එහෙත් රෑ දොළහත් පසු වී තිබුනා වුවද මගේ විමසිලිමත් දෑසට හසු වුයේ පාරේ වාහන යන කොටස් හැරෙන්නට අයින දෙපැත්තේම උසට උසේ වැවී තිබු ඉලුක් ගොල්ලයි.

අප නිම්මිලා නිවසට ලඟා වූ වහාම මා වට පිට බැලුවේ අපි 2005 දී වගා කල පොල් සහ කෙසෙල් ගස්  වල තත්වයයි.

වත්තේ පෙනෙන තෙක් මානයේ තිබුනේද උසට වැවුණු වල් පඳුරු ගොන්නකි.

පසුදා උදැසන නිම්මි මා සමග කතාවට වැටුනාය.

"ඒයි  කෝ ඔයාලගේ පොල් පැල ?  වැඩිය පේන්න නෑ  නේ ?"

"පොල් විතරක්යැ .. කෙසෙල් ගම්මිරිස් , එනසාල්  ඒ හැමජාතියම  අපි හැදුවනේ ?"

"අමරලා ලෙනදොරලා  ඒවා  බලාගෙන තියෙන හැටි තමයි. "

"ලෙනදොරලා විතරක් යැ..  ගමේ හැමෝම ඒ වගේ තමයි. දැක්කද  ගමට එන පාරේ හැටි? " මනුස්සයෙකුටත් වඩා උස ඉලුක් ගාලකින් පාර දෙපැත්තම වැහිලා ගිහිල්ලා.


මේ චායා රුපය  ගත්තේ  කලාහිත ගේ බ්ලොග් පොස්ට් එකෙන්   ( අවසර ඇතිව ) මම මේ විස්තර කරන පාරත් මේ වගේම ඉලුක් වලින් වැහිලා තිබුණා.  කලාහිත



"ඔන්න ඔයා එහෙම  ඕවා කතා කරන්න යන්නේ නෑ.."

 අවුරුදු  ගණනක්  ඔය පාරේ මේ මිනිස්සු ගියානේ..නොදැක්කා වගේ නිවාඩුව ගත කරලා යන එකයි තියෙන්නේ .. අපි නෙවෙයි නේ මේ වගේ කාර් වලින් උදේ හවා යන්නේ?"

නිම්මි කල්  තියාම මට අනතුරු හැඟවූවාය.

මමත් වත්තේ හෝ පාර වල් වල අඩු පාඩු  ලෙනදොර මල්ලි සමග සාකච්චා නොකර සිටින්නට හිත හදා ගත්තෙමි.

"අය්යා කොහොමද එහේ  මෙහෙ යන්නේ ?  අපේ කාර්  එක ගන්න "  ලෙනදොර මල්ලි තම මෝටර් රථය අපේ ගමන් බිමන් වලට දෙන්නට සුදානම් විය.

"නෑ  .. මල්ලි මම හිතුවේ  ඔටෝ ගියර් තියෙන  ෆොර් වීල්  වාහනයක්  කුලියට ගන්න."

"එහෙනම් මම දන්නා තැනක් තියෙනවා නුවර අපි එතැනින් වාහනයක්  ගමු අය්යා .."

ලෙනදොර මගේ නිහතමානී ප්‍රතික්ෂේප කිරීම ගැන එතරම් කනගාටුවක් පෙන්වුයේ නැත.

ඒ අනුව එදා දහවල් වෙද්දී ලෙනදොරත් මමත් නුවර ගොස්  ඩයිහට්සු ටෙරියස්  වර්ගයේ වාහනයක් රැගෙන ආවේ අපේ පාවිච්චියටයි.


ටෙරියස්  එක.. අපි කතරගම  මැණික් ගඟ  අසල නවාතැන් ගත් පරිසර හිතකාමී  රෙස්ට් හවුසිය ඉදිරිපිට  


අපේ නව කුලී රථය රැගෙන නිවසට ආ සැනින්  නිම්මිට මාවනැල්ල  නගරයට යාමට අවශ්‍ය විය.

ඒ සුපුන්ට අවශ්ය අඩුම කුඩුම සහ නිවසට අවශ්‍ය දේවල් කිහිපයක් රැගෙන ඒ මටයි.

අපේ බලාපොරුත්තුව වුයේ මාවනැල්ලේ දින කිහිපයක් ගතකර ඉන් අනතුරුව මගේ දෙමව්පියන් සහ නංගිලා බැලීමට අරලගංවිල යෑමටයි.

මාවනැල්ලේ  අතුකෝරල  සහ  කාගිල්ස් වලට යන්නැයි  අමරා නිම්මිට උපදෙස් දුන්නාය.

පාරේ අකරතැබ්බය


සාප්පු  සවාරියෙන්  අනතුරුව  අප නිවස  බලා එමින් සිටියෙමු.

අපේ වාහනය තාර පාරෙන්  නිම්මිලා ගමේ පාරට හැරවූ මා ඉලුක් ගාල මැදින් වූ ඒ කොන්ක්‍රීට් පාරේ වාහනය  ධාවනය කරමින් සිටියෙමි.

හදිසියේ වත් තවත් වාහනයක් අවොත් ඉඩ දෙන්නට විදිහක් නැත.  හේතුව පාර දෙපැත්තේ ඉඩ නොතිබීම නොව දෙපැත්තේ ඇති ඉඩ වසාගෙන වැවී ඇති ඉලුක් ගොල්ලයි.

තරමක් දුරට ගිය පසු ඉලුක් ගොල්ල අවසන් වී කොන්කිර්ට් පාර අයිනටම  නියරවල්  රැහා තිබු වෙල් යාය  කොටස අසුවේ.

හදිසියේම මා ඉදිරියට එන බයිසිකලයකි.

මගේ වාහනය දුටු බයිසිකල් කරු ( අවුරුදු 14-15 ක්  වූ කොලු ගැටයෙක් ) බයිසිකලයෙන් නොබැසම එය කොන්ක්‍රීට් එකේ අයිනට කර නවතා ගෙන සිටියි.

දෙපස ඇති වල් ගොල්ලට බයිසිකලය ගන්නට ඔහු අකමැතිවා සේය.

එමෙන්ම ඔහු ලොකු වාහන කරුවෙකු සේ මට සයිඩ් දී ගෙන සිටි.

මම පුළුවන් තරම් මගේ වාහනය අනික් පැත්තට ගත්තෙමි.  පසුපස ටයරය කොන්ක්‍රීට් එක අයිනේ වූ වල් ගොල්ලට ගියේය.

පාර අයිනේ වල් වලින් වැසි ඇති කොටස කුඹුරු කරුවන් විසින් මට්ටයට කපා ඇතැයි මට සිතුනේ නැත.

එහෙත් මා සිතුවා වැරදිය . මගේ පස්සා රෝදය දැන් කොන්ක්‍රීට් එක අයිනෙන් පහලට එල්ලේ.

බයිසිකල් කරු තවමත් මිමින්නෙක් සේ මගේ මුහුණ දිහා බලා සිටියි.

මට සැර දමා වාහනය අනික් පැත්තට කපන්නට විදිහක් නැත.

"මල්ලි  මොකද තවත් බලන් ඉන්නේ .. මම දැන් ඔයාට යන්න වාහනේ අයින් කරානේ.. ඔයා යන්න " මම හිතේ නැගුන කලකිරිමෙන්ම පැවසුයෙමි.

වෙලාවට මගේ වාහනය ෆොර්විල් ය. සැර දමා පාගත්ම  වාහනය නැවතත් හරි පාරට වැටිණි.

මම නැවතත් පාරේ අඩු පාඩු කතා කරන්නට පටන්ගත්තෙමි.

 " මේ මිනිස්සු පාර දෙපැත්ත  සුද්ධ කරලා තිබ්බනම් මට අයින පෙනෙනවානේ "

"අනික අර කොල්ලා හරියට ලොකු වාහනයක් වගේ එයාගේ බයිසිකලේ කොන්ක්‍රීට් එකේම තියාගෙන හිටියනේ "

නිම්මිත් කලතුරකින්  හෝ මගේ පැත්තට කතා කරන්නට  පටන් ගැනීම මට සතුටකි.

පාරේ වල් බිහිවී  තිබීමත්  ඇහැට පෙනී පෙනී මොකුත් නොකියා සිටිය යුතුවූ  වතු පිටිවල දක්නට ලැබුණු  දේවලුත්  නිසා මට දවස් දෙකකට වඩා මාවනැල්ලේ හිඳිම එපා විය.

"අපි හෙට උදේම  අරලගංවිල යන්න ඕනා.. එහෙ ගිහිල්ලා කතරගම ගාල්ල  , මාතර පැත්තේ එහෙම ඇවිදලා එමු"

මම නිම්මිට  යෝජනා කලේ එබැවිනි.

පසුදාට පහන් විය නිම්මි අපේ නෑදෑයින්ට බෙදන්නට කැඩ්බරි  චොක්ලට් , ටෝබ්ලරෝන්  ආදිය සකස් කළාය.

මම පුවක්  බාස් මුනගැසී දුල්මිණිට ගෙනා තෑගි බෝග , පුවක් ට ගෙනා ටී ෂර්ට් එක, ඔවුන්ගේ  කැඩ්බරි පංගුව   ආදිය ලබා දුන්නෙමි.

ඒ  උදේ පාන්දරම සුපුන් සමග ඔවුන් ගේ නිවසට ගොඩ වැදුනු පසුවයි.

පාරේ  වතුපිටිවල අඩු පාඩු ඔහු සමග කතා කල යුතු යැයි සිතුනද   එම අදහස යටපත් කර ගත්තෙමි.

"ආපු ගමන් ම ගමේ යන්නේ?  අම්මා තාත්තලා බලන්ට වෙන්ටැති?"

"ඔවු .. ඔවු.. මම අරලගංවිල ඉදන්  කෝල් එකක් දෙන්නම්කෝ "

මම සුපුන්  සමග නැවත නිම්මිලා ගෙදරට පිටත් වුයේ. තව ටිකකින් අරලගංවිල  බලා යාමට ඇති බැවිනි.

කැනඩාවේ  සිට එන විට රැගෙන  ආ  විශාල බෑග් ටිකද  අපේ වාහනයට පටවා ගත් අපි තිදෙනා  එදා උදේන්ම අරලගංවිල  බලා පිටත් වූයෙමු.

 දුරකථන ඇමතුම්

අරලගංවිල  ටික දවසක්  ගත කළෙමි. ඒ අතර අම්මා සහ තාත්තාද එකතු කර ගෙන දකුණු පළාතේ කල සංචාරය  වන්දනාවක් මෙන් විය.

විහාර පිට විහාර වන්දනා කරනු දුටු සුපුන් තිස්සමහාරාමයේදී  මෙසේ පැවසුවේ එබැවිනි.

"දැන්  ඔය වගේ චයිත්ති කියක් බැලුවද  ?.. ඔක්කොම එක වගේනේ .. මට නම් දැන් ඇති වගේ".




අරලගන්විල ගත් කල දවස් දහයක පමණ කාලය නිමවී නැවත මාවනැල්ලට යන දිනයත් ලඟා වෙමින් පවතී.

පාර තොට මතක් වන විට මගේ සිත කේන්තියකට වඩා මා ගැනම ඇතිවූ අනුකම්පාවකින් පිරී යන්නට විය.

මම අපේ දුරකතනය අතට ගත්තෙමි.

"ට්‍රින්.. ට්‍රින්... කවුද කතා කරන්නේ  ?"

" මම කරුණා අක්කලා ලොකු පුතා.. කෝ  ප්‍රේමරත්න ඉන්නවද?"

"ආ.. ඉන්නවා... පොඩ්ඩක් ඉන්න දෙන්නම් .."

"ඒයි.... මේන්  ඔයාට කෝල් එකක්..."

දුල්මිනිලා අම්මා මගේ ඇමතුම පුවක් බාස්ට සම්බන්ධ කළාය.

"කවද්ද ආපහු මේ පැත්තේ එන්නේ .. අපිට හරියට කතා කරන්න වත් බැරි වුනා.."

අනික් පැත්තෙන් කියවිණි.

"මට ඔහේ එන්න හිතෙන්නේ නෑ අයිසේ .."

"ඔයාලගේ පාර මතක් වුනාම ඔක්කොම එපා වෙනවා.."

මම පුවකාට ආර බයිසිකල්කාරයාගේ කතාව කිව්වෙමි.

"පාර දෙපැත්තේ කැලේ නම් තමයි ඉතින් ඒකට මොකද  කරන්නේ ?"

"අපි ශ්‍රමධානයක් දාමු.." මම යෝජනා කලෙමි.

"හැබැයි මම ආපහු එන්න ඉස්සෙල්ලා පාර සුද්ධ කරන්න ඕනේ.."

"අර ඕගොල්ලෝ  ( පුවකා කියන්නේ මා සහ ලෙනදොර ඇතුළු පිරිසක් අඹගහවත්ත පැත්තේ  කල සේම දානය  ගැනයි  ) 2005 කළා වගේ නොමිලේ  වැඩ මෙහෙ කෙරෙන්නේ නෑ."

"සල්ලි දෙන්න වෙයි ".

"කිදෙනෙක් විතර ඕනද  එක දවසෙන් ඕක ගහලා දාන්න ?"

"නමයක්  දහයක් ".

"හරි එහෙනම්  අපි මේ සෙනසුරාදා ආපහු එනවා . මම එන්න ඉස්සෙල්ල වැඩේ කරන්න. මම  ආපු ගමන් කට්ටියට ගෙවන්න සල්ලි දෙන්නම්. "

"හරි හරි තේ ටික එහෙම අපේ ගෙදර හදලා දෙන්නම්කො " පුවකා මගේ යෝජනා ව පිළිගත්තේය.

සෙනසුරාදා උදැසන නැවතත් අපේ අඩුම කුඩුම වාහනයට දමා ගත්තේ මාවනැල්ල බලා පිටත් වීමටයි.

අපි අරලගංවිල පසු කර ගත් වුයේ සුළු මොහොතකි.

"ට්‍රින් .. ට්‍රින්.. ට්‍රින්.. "  නිම්මිගේ දුරකථනය නාද වෙන්නට විය.

"නෑ .. මොනවා ?  හොඳයිනේ  නේ ඉතින්  "

ඈ අනෙක් පසින් කතා කල අමරාට පිළිතුරු දෙන්නීය.

"ආන් පුවකා මිනිස්සු ගොඩකුත් අල්ලාගෙන  පාර කපනවලු.. "

"එයාලා ගෙදර ම  තේත් ලෑස්ති කරනවලු  "

නිම්මි පුදුමයෙන් මෙන්  මා සමග පැවසුවාය.

"අමරලා හොඳටම කලබලවෙලා .. එයාලට එන්න කිව්වෙත් නැහැල්ලු."

මම කිසිත් නොදන්නාක් මෙන් වාහනය ධාවනය කලෙමි.

"මෙයා මොනවා හරි දන්නවා ..හොරා වගේ හිනා වෙන්නේ ?"

ඇය ශ්‍රමදානයට මගේ කිසියම් සම්භන්දයක්  ඇති බව සැක කළාය.

මම විස්තරය ඇය සමග පැවසුවෙමි.

 "නවයක් දහයක් ගන්නවා කිව්වා.. පාර දෙපැත්තේ ඉලුක් ටික ඔක්කොම ගලවයි."

"ඔයා සල්ලිත් දෙනවා කිව්වද ?"

"නැතුව .. නැතුව ,, මම රුපියල් 10000ක්  දෙනවා පුවකටත් එක්ක.."

අප නිවසට ලඟා වනවිට නිම්මිලා ගෙදරට යනපාර බත් දාන් කන්නට තරම් පිරිසුදුව සකස් කර තිබිණි.

හවස් යාමයේ පුවක් මුණ ගැසුණු මා ගණන් හිලවු පියවුයෙමි..

"මාත් එක්ක දහ දෙනෙක් හිටියා .. නම දාහක් දෙන්න මට සල්ලි එපා "

පුවකා පැවසිය.

"කමක් නෑ .. පාන් . පරිප්පු වලටත් වියදම් වුනානේ  ඉතිරි සල්ලි ඒකට තියා ගන්න එහෙනම්.  "

මම රුපියල්  10000 ක් පුවකා අත තැබුවෙමි.

"ඒක  නෙවෙයි ගමේ මිනිස්සු මොකද කියන්නේ ශ්‍රම දානේ ගැන ?"

"මෙන්න මේවා තමයි නියම වැඩ කියලා තමයි ඉතින් කියන්නේ  " පුවකා පිළිතුරු දුන්නේය.


Saturday, 6 February 2016

පාර කැපුනේ මෙහෙමයි..



මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස



12. මග නැගුම -හයවන කොටස


13. මග නැගුම තවන් කොටස - අවසාන උත්සාහය










පොල් වගා වැඩත්  පාර සැලසුම් කිරීමේ වැඩත් අතර මාසයක් එක හමාරක් ගතවී ගොස් තිබිණි.  මේ කියන දිනය 2005  දෙසැම්බර් 28-29  වැනි දිනයකි.

මේ වන විට මා සිටියේ ජනවාරි  පළමු වෙනිදාට  පෙර කෙසේ හෝ පාර හදා නිම කල් යුතුය කියන අධිස්ඨානයෙන්  යුක්තවයි.

එදා උදෙන්ම පුවක්, සුසන්ත  සහ ගනේවත්ත  පොල් වත්තේ වැඩට යෙදවූ ලෙනදොරත් මමත්  අත්තනායක මාමා හමුවීමට පිටත්වීමු.

ඒ  ජයතිලක මාමගේ වත්තට යාබද ඔහුගේ ඉඩමෙන් අඩි තුනක කොටස ලබා ගැනීමේ අවසන් සාකච්චාව වෙනුවනි.

"කොහොමද මාමා අපේ වැඩේ ? අපි අද ආවේ මාමගේ ඉඩම් කොටසේ ගණුදෙනුව  ගැන කතා කර ගන්න "

ලෙනදොර  මාතෘකාවට  අවතීර්ණ  වුයේ  වැඩේ කෙලින්ම කතා කීරීමට අප දෙදෙනා ගත් තීරණයට අනුවයි.

"ආ  කොහොමද පුතාලා ?  "  " මම මේ ඕ ගොල්ලොන්ගේ  වැඩේ ගැන කතා කර කර හිටියේ "

"ඩිංගිරි බණ්ඩා ඒකට  කැමති නෑ වගේලු නේද ?.. ඊයේ පෙරේදා මොනවා හරි කතාවක් උනා කියලත් ආරංචියි ? "

" ඔව් .. ඔව් .. එයා අපි හිතන හිතන පැත්තට  බාධා වෙන විදිහට වැඩ කරනවා .. පුදුමයි මාමට අපිට ඉඩම දෙන්න එපා කිව්වේ නැති එක..? "

"නෑ.. නෑ.. මට නම් එහෙම මොකුත් කිව්වේ නෑ.. හැබැයි ඔයාලා එයාට කතා කරලා තියෙන විදිහනම් ටිකක්  සැර වැඩියි මන් හිතන්නේ ".

" වයසක මනුස්සයා නේ .. මිනිහා හොඳටම බයවෙලා  මගේ ගෙදරට දුව ගෙන ආවා  ඔයගොල්ලෝ බැන්නා කියාගෙන "

"හරි මාමා ..  මේ වෙනකොට  එයා කරපු වැඩ ගැන අහලා අපිට එපා වෙලා තිබුණේ .. කොහොමහරි කමක් නෑ ඒක ඉවරයිනේ .. මාමගේ අකමැත්තක් නෑනේ  අපිට ඉඩ ටිකක් දෙන්න..?"

අත්තනායක  මාමාත්  අපේ  පාරට අකුල් හෙලයිදෝ  යන සැකයෙන් යුතු ඒ ප්‍රශ්නය  නැගුනේ මා අතිනි.

"නෑ. නෑ.  මම කිව්වොත් කිව්වා.. මම ඉඩම දෙන්න කැමතියි . ඔයාලා කීයක්  ගෙවනවද ඒකට ? "

"මාමා කැමති ගානක් කියන්න .. මාමා අසාධාරණ ගණන්  කියන්නේ නෑ කියලා අපි දන්නවනේ "

ලෙනදොර පන්දුව නැවතත්  අත්තානයක  මාමා වෙත යොමු කළේය.

හරි එහෙනම් මට රුපියල් අසුදාහක් දෙන්න කෝ  . ඊට පස්සේ ඔයාලා බැකෝ එකක් ගෙනැත් පාර කපා ගන්න.

මමත් ලෙන්දොරත් මුහුණින් මුහුණ බැලුවෙමු.

අත්තනායක මාමත්  ඩිංගිරිට ම  අවශ්‍ය වර්ගයේ ගණනක් අපට කියන්නට ඇති බව අපේ මුහුණු වල සටහන් වී තිබු බව නොරහසකි.

"මාමා ගාන පොඩ්ඩක් සැර වැඩියි නේ බැරිද පොඩ්ඩක් එහා මෙහා කරන්න "  ලෙනදොර  ඇසුවේය.

තරමක් කල්පනා  කල අත්තනායක  මහතා  නැවතත් තම කටහඬ අවදි කළේය.

" නෑ ඉතින් ඔයාලමනේ කිව්වේ ඔතනින්  ඉඩම් කැල්ලක් ගන්න හරි අමාරුයි කියලා ?  ..

"එහෙව් එකේ මට හිතෙන්නේ  මේ ඉඩම් පටිය  එච්චර විතර වටිනවා කියලා තමයි . "

අප කලින් සිතුවා මෙන්ම අත්තනායක  මාමාද  ඩිංගිරි බණ්ඩා මාමාටම හරියන කෙනෙකි.

"හරි මාමා අපි කල්පනා කරලා බලාලා කියන්නම්කෝ .. තව කල් තියෙනවා නේ?" ..

"එහෙනම් අපි ගිහින් එන්නම් මාමා "   මම කිසිත් වෙනසක් නොපෙන්වමින් පැවසුයෙමි.

තීරණාත්මක සංවාදය


අත්තනායක මාමාගෙන් සමුගත් අප දෙදෙනා නැවතත් ගමන් කලේ අපේ ගෝලයන් තිදෙනා සිටි  දෙසටයි.

ඒ එන ගමනේදී හෙට උදේ හොඳින් හෝ නරකින් හෝ කපමියි සිතු  පාර   ගම මැදින් වැටෙනා හැටි සිතමින් ගමන් කලෙමි.

මෙතෙක් වාහන යා හැකි ලෙස සැකසුනු ගුරු පාර නිම්මිලා වෙල පටන් ගන්නා තැනදී අවසන් වෙයි .

එය වැටි ඇත්තේ වසර පුරා කොළ පාටින් බැබලෙන සරු සාර  කෙත් යායක් මැදිනි.

අප  එම පාර පුවක් බාස්ගේ ඉඩම දක්වා දික්කල යුත්තේද නිම්මිලා අම්මාට සහ ඩිංගිරි  බණ්ඩා මාමාට  සම සමව හිමිකම් ඇති වෙල් යායේ ඉහලම කොටස මැදින්ය.

පාර පුවක් ලා ඉඩම ලඟට සම්බන්ධ වෙද්දී  නිම්මිලා වත්තත්  පුවක්ලා වත්තත් මායිම් කරමින් ගලායන මනරම් දොළ පාර අයිනෙන් ගමන් කල යුතුවේ.

ඉන් අනතුරුව  පුවක් ලා වත්තේ ඉහල කෙලවරින් අංශක අසුවක පමණ කෝණයකින් හැරෙන පාර තරමක් බෑවුම් සහිත වූ නිම්මිලා වත්තේ ඉහලට ගමන් කල යුතුය.

ඒ  අංශක තිහක තිස්පහක පමණ ආනතියකින්  යුතු කන්දක් නැගීමෙනි.

මේ සැලසුම හරියන්නට නම් පුවක් බාස් තම ඉඩම අයිනෙන්  අපට පාර ගෙන යන්නට ඉඩ දිය යුතුය.

මගේ සිතේ රැඳී පාර ගැන සිතමින්  පුවක් , සුසන්ත සහ ගනේවත්ත  වැඩ කරමින්  සිටි තැනට ලඟා වූයෙමි.

අත්තනායක හා පැවති සංවාදයේ  විස්තර එහිදී ප්‍රසිද්ධියේ සාකච්චාවට බදුන් වුයේ  අපේ සිත් වල තිබු කල කිරීම නිසාමය. 

ඒ තිදෙනාගේ අදහස වුයේ ඩිංගිරි විසින් උසි ගන්වා තිබු අත්තනායක මාමා බුදු ගණනක් කියා වැඩේ නොකෙරෙන තැනට අපව යොමු කරන්නට ඇති බවයි.

පුවක් ගේ අදහස මෙතැනදී වඩාත් කැපී පෙනුණි.  

කිසි වැදගැම්මකට නැති කුඩා ඉඩම් පටියක් සඳහා එවැනි ගණනක් ඉල්ලීම  තුලින් අපව පාර නොකපන තැනට යොමු කීරීමට  අත්තනායක සහ ඩිංගිරි බන්ඩා  යන දෙදෙනා සාකච්ඡා  කරන්නට ඇති බව ඔහුගේ අදහස විය.

කෙසේ හෝ මේ ගැන කතා කරමින්ම දවස ගත කල අප බලා සිටියේ රාත්‍රිය උදාවන තෙක්ය.

හවස අට අට හමාර වන විට  ලෙනදොර පුරුදු විසිල් පහරින් පුවක් බාස්  අප වෙත කැඳවුයේ ඒ තීරණාත්මක සාකච්චාව සඳහාය.

"ප්‍රේමරත්න  දන්නවනේ විස්තරේ " මම කතාව පටන් ගත්තෙමි.

"අපි හිතුවා වගේම අත්තනායක මාමත් අපිට කොකා පෙන්නුවා.. "

මම එදා කිව්වා වගේ දැන් ඉතින් අපි දෙගොල්ල එකතු වෙලා පාර කපන එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. "

"ඔයා දුල්මිණිලා අම්මා එක්ක කිව්වද අපි ඔයාගේ වත්තෙන් පාර ගන්න ඉල්ලුවා කියලා ?"

"නෑ .. නෑ .. මම කටක් හෙල්ලුවේ නෑ  .. ඒ ගැන.. "

"එහෙනම් මෙහෙමයි වැඩේ .

අපි හෙට උදේ මිල්ලන්ගොඩ මහත්තයා  ගෙන් JCB එකක් ගෙනෙනවා උදේ පාන්දරම වැඩේ පටන් ගමු. "

"ට්‍රැක්‍ටර්  එකකටත්  කියලා තියෙනවා  කරුණක්කාලා  ගෙදර ඉදන් පල්ලහැට පාර කපාගෙන ඇවිත් ඇලෙන්  එගොඩ වෙච්ච ගමන් ඔයාගේ වත්ත දිගේ තමයි පාර යන්නේ ".

"මතකනේ මම කලින් කිව්වා . අපි ඔයා ගැනයි ඔයාගේ පවුලේ අය ගැනයි ඉදිරියට බලා ගන්නවා.

ඔයාට ඕන උදව්වක් කරනවා ඉදිරියට. ආයේ දෙකක් නෑ මම ඉදිරියට ඔයාලට සලකන්නේ අපේ නෑදෑයෝ කට්ටියකට වගේ තමයි"

"හරි හරි ඒ වා පස්සේ බලමුකෝ ". පුවකාද තදින්ම අපේ අදහස සමග සිටි. එය මටත් ලෙනදොරටත් ලොකු හය්යකි.

"මතකයිනේ  අපි තුන් දෙනාම මෙතන පිටගම් කාරයෝ "  .

"හැබැයි අපි එකතු වෙලා මේ වැඩේ කරොත් මුළු ගමම හෙල්ලිලා හිටිනවා.".

මොකද කියන්නේ?  වැඩේ හරි නේ එහෙනම් උදේ හය හමාර වෙනකොට  JCB එක මෙතන.

"හරි හරි .. වැඩේ කම්මුතුයි  . මම ඕක ගෙදර උන්දැට වත් කියන්නේ නෑ".

එහෙනම් හෙට උදේ හම්බ වෙමු. " කියමින් මා සංවාදය හමාර කලේ උදැසනින්ම  පාරේ වැඩ පටන් ගන්නා අදහසිනි.

මට ඇත්තටම අවශ්‍ය වුයේ ජනවාරි පළවෙනිදා වෙන්නට පෙර නිම්මිලා මිදුලත් ඔවුන්ගේ වෙල අවසානයේ ඇති ගුරු පාරත් යන දෙක යා කිරීමටයි


කොන්ඩදෙනිය හෙල්ලූ  පාර කැපීම.

මේ වන විටත් අප JCB එක ගැන සාකච්චා  කර තිබුනද අනෙක් කිසිවක් සැලසුම්  කර තිබුණේ නැත.  

අපේ අරමුණ වුයේ  මුලින්ම පුවක් ලා  වත්ත අසලට යනතෙක්   JCB එකෙන් පාර කපා එතැනින් පසු කොටස  පස් වලින් පිරවිමටයි.

ඒ නිම්මිලා ගෙපැල  කපමින්  ගන්නා පස් ට්‍රැක්ටර් වලින් ගෙන ගොස්  ඇල කණ්ඩිය  පුරවමින් ඉදිරියට යාම මගිනි.

පසුදා උදෙන්ම  කුකුළා අතින් ගත් ලෙන්දොරත් මමත් මිල්ලන්ගොඩ වලව්වට ගියෙමු.

ඒ  මිල්ලන්ගොඩ වලව්වේ කුලියට දීමට ඇති JCB එක රැගෙන ඒම සඳහාය.

නිම්මිලා උඩහ වත්ත පැත්තෙන්  JCB එක රැගෙන  ආවේ  මා විසිනි.
ඒ  JCB එකේ රියදුරා අසල වූ ටකරන් තහඩුවේ  හිඳ ගෙනයි.

ලෙනදොර  මෝටර් සයිකලයේ නැගී පල්ලැහැ පාරෙන් නිවස බලා පිටත් විය.

මම JCB එකේ  නැග නිවසට ලඟා වනවිට  සුපුන් වඩා ගත් නිම්මි, අමරා සහ ඔවුන්ගේ අම්මා සතුටින්  ඒ වෙත දිව ආහ.

මෙතෙක් කලක්  ඔවුන්ගේ සිතේ තිබු ඉටු නොවූ සිහිනයක්  සැබෑ වෙන්නට  ඉතා ආසන්න  බව  දැනී ඒ මුහුණු සතුටින් පිරී ඉතිරි ගොසිනි.

"හරි .. හරි එහෙනම්  වැඩට බහිමු.  මෙතැනින්  පල්ලහැට කපාගෙන යන්න.  "   වත්තේ තියෙන ඕනෑම ගහක්  ගලවුනාට  කමක් නෑ.  "

කියමින් මා රියදුරා උනන්දු කලේ  ගමේ අය මේ වැඩේට  දැක්වූ අකමැත්ත නිසා තව මොහොතක්  වත් වැඩේ පටන් ගැනීම ප්‍රමාද කිරීම නුවණට හුරු නැතැයි මට හැඟී ගිය හෙයිනි..



" බ්රූම්... බ්රුම්...   දඩාස් ....."

JCB එකේ  විශාල  කුල්ලෙන් පස් ගල් ඉවත් වෙමින්   නිම්මිලා වත්තේ තිබු ඇට්ටෝනියා  ගස් මුලින්ම ගලවා දැමෙයි.

සුදු කොට කලිසමක්  සහ එයටම ගැලපෙන ක්‍රීම් පාට  ටි සර්ට් එකක්  දමා සිටි මම කඩියෙකු මෙන් එහෙ මෙහෙ දිව යමින් සිටියෙමි.

විනාඩියක්  දෙකක් ඇතුලත  ජයතිලකලා වත්ත දෙසින් මහා සෙනගක්  අළුතින් පාර කැපෙන ස්ථානය වෙත ලඟා වූහ.

ගැහැනු ,පිරිමි ළමා ළපටින්  ගණනාවකින් යුත් ඒ පිරිසට  ජයතිලකගේ නෝනා, එයාගේ මල්ලී පියතිලක , පියතිලක ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු  වූ බව මට මතකය.

තම තමන්ගේ වතු පිටි හරහා පාර කපන්නේ දැයි බලන්නට පැමිණි සිටි ඔවුන් අලියෙක් මෙන් ගස් ගල් පෙරලමින් ඉදිරියට යන JCB එක දෙස බලා සිටිති.

මේ වන විට පුවක් බාස් අප සමග සිටියද  දුල්මිණිලා අම්මා අපේ නිවසට පැමිණ සිටියේ නැත.

එහෙත් ඇය තම මිදුලේ සිට මේ සිදුවීම  බලා සිටින්නට ඇත.

පුවක් බාස් මේ වන විට අපේ පාරේ සැලසුම ගැන සියල්ල දැන සිටියේය.

එහෙත්  ඒ ගැන ඔහු තම බිරිඳ සමගත්  සාකච්චා කර තිබුණාද නැද්ද යන්න අදටත් අභිරහසකි.

කෙසේ වෙතත්  පැය  භාගයක් වැනි සුළු කාලයක් ඇතුළත  ඔවුන්ගේ වත්තේ  මායිම තෙක් ලකුණු කල පාරෙන්  ඉහලට එන පුවක්ගේ නෝනා සහ දුල්මිණි ගේ දසුන මගේ මතකයේ සාදා රැඳී තිබෙන්නකි.

එය මම මාගේ ඩිජිටල්  කැමරාවටද හසු කර ගත්තෙමි.


                                 දුල්මිණි සහ  දුල්මිනිලා අම්මා  , පිටුපසින් ගනේවත්ත සිටියි



කඩිමුඩියේ  නිවසට දිව ආ දුල්මිනිලා අම්මා නිම්මිලා කුස්සියට ලඟා වුවාය.

තමන්ගේ වත්ත මැදින් පාර යන්නට යන බව දැන් හොඳටම පැහැදිළිය.

ඇය කුමකින් කුමක් කරනු  ඇතැයිද යන්න ගැන මමද ඉතා උවමනා වෙන්  පසු වුනේ  ගම්තුලානේ  ගැහැණුන් වැඩ කරන හැටි හොඳින් දැන සිටි හෙයිනි.

පාර කැපෙන එක ගැන ඉතා සතුටින් කතා කල ඈ කිසි හා හුවක් නැතිව නිම්මිලා අම්මා  සමග පාරේ වැඩ කල අපට තේ  පිළියෙළ කරන්නට  පටන් ගත්තාය.

මම සැනසුම් සුසුමක් හෙලුවෙමි.  පුවකා ද තවත් සැනසුම් සුසුමක් හෙලන්නට ඇත.

පාර කපන තැන එසේම රැඳී සිටි මා  ට්‍රැක්ටරයක් රැගෙන එන්නට  ලෙනදොර පිටත් කර යැව්වෙමි.

ටික වෙලාවක් යන විට JCB එකෙන් ලකුණු කල පාර දිගේ රතු පාට ට්‍රැක්ටරයක් රැගෙන එන ලෙනදොර  අපට දර්ශනය විය.




වත්ත පහළ ඇති ඇල පසු කල තැන සිට ට්‍රැක්ටරය අපට අවශ්‍ය වේ . ඒ  දුල්මිණි ලා වත්ත අයිනේ ඇත ඇල  බැම්ම දිගේ පුරවන්නට පස් ගෙනයාමටයි.

දැන් පාර අසල තිබු ඇල ලඟට ලඟා වෙමින්  තිබේ . වාහන දෙකට අමතරව  අපේ ගෝලයන් තිදෙනාද  පාර කැපීමේ වැඩට සම්බන්ධ වී සිටියහ .


                                                               සුසන්ත  සහ පුවක්...




                                         පුවක්  තම ඉඩමෙන්  ලබා දුන්  පාර කොටසේ



                                                                              ගනේවත්ත

ඇල  උඩින්  පාර ගෙනයාමට  නම් සිලින්ඩර කිහිපයක් අවශ්‍ය  බව රියදුරා පැවසීය.. පාරේ වැඩ කඩිනමින් කිරීමේ  දැඩි  උවමනාවකින් සිටි ලෙනදොරත් මමත්  බෝක්කු සොයා  පිටත් වූයෙමු.

බෝක්කු හදන තැන්  දෙක තුනකට ගිය අප නැවත පැමිණියේ  තරමක් විශාල සිලින්ඩර දෙකක් ද  සහිත තවත් ට්‍රැක්ටරයක් සමගයි.



මෙසේ  කඩිමුඩියේ  පාර කපා ගෙන ඉදිරියට යද්දී  ගමේ තරුණන් පිරිසක්ද සමග පැමිණි නිම්මිලා මාමගේ පුතාද පාර  කැපීමේ වැඩට එකතු විය.

තුන් දෙනෙක් මුලිකවී  ආරම්භ වූ පාර දැන් ගමේ සෑහෙන පිරිසක් සහය  දක්වන වැඩක් බවට පත්ව තිබේ.



එහෙත් අප කිසි කෙනෙකුට නෙත නොගැටුණු අයෙක් විය.

ඒ ඩිංගිරි බන්ඩා  මහත්මයා ය. ඔහු හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් පාර කපන පැත්ත අහලකටවත්  ආවේ නැත.

ඔහු මම එදා උපදෙස් දුන් පරිදිම පාරේ වැඩ අවසාන වන තෙක් එළියට බැස්සේ  නැත.