Follow by Email

Monday, 25 January 2016

අවසාන උත්සාහය (මග නැගුම හත්වන කොටස )

මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස



12. මග නැගුම -හයවන කොටස


අවසාන උත්සාහය


පසුදාට පහන් වුයේ පාරේ වැඩ කඩිනම් කිරීමේ අපේ වෑයම තවත් අඩියක් හෝ ඉදිරියට ගෙන යන අරමුණ පෙරදැරි කරගෙනය.

ලෙනදොරත් මමත් උදේ පාන්දරම පියතිලක මාමා සමග එක්වී ඔහු ලබා දුන් අඩි තුනේ පාර සලකුණු කළෙමු.

උදේ අහාරයටත් පෙරාතුව කල  පාර මැනීමෙන් පසු  අපේ අනෙක් සගයා පුවක් බාස්ද  අප වෙත පැමිණියේය.

"මම මේක කියන්නමයි හිටියේ....මේ දැන්ම වුනත් කමක් නෑ අත්තනායක හම්බවෙලා ඒ ඉඩමේ වැඩෙත් කතා කර ගත්තනම් හොඳා."

පුවකා අප දෙදෙනා එවෙලේම අත්තනායක වෙත යවන්නට  උත්සාහ කළේය.

"මොකද ඩිංගිරි බණ්ඩාට ආරංචි වුනොත් ඒකටත් අංචියක් අදියි වගේද ? "

මම ඇසුවේ  ගමේ පල්ලැහැ පැත්තේ කතාවෙන දේවල් සියල්ල පුවක් බාස් දන්නා බව  මට ඉවෙන් මෙන් දැනී තිබුණු නිසාය.

"ඔවු.. ඔවූ,.. ඕවා කියන්න බෑනේ .. දන්නේ නැද්ද ගමේ ගොඩේ කට්ටිය... හැමදේම වලක්වන්න නේ හදන්නේ ".

"ඒක නෙවෙයි.. අත්තනායකට  මේ දවස් වල මුදල් හදල් හිඟ වෙලා ඉන්නේ .. අනික මිනිහා හොඳට කන බොන මනුස්සයා "

පුවක් බාස්  අත්තේ සමග කලයුත්තේ කුමන වර්ගයේ සාකච්ඡාවක් ද යන්න අපට පැහැදිලි කළේය.

"ඒ කියන්නේ ගානක් දෙන්න වෙයි වගේද? " ලෙනදොරට පුවක් පැවසූ  දෙය වැටහී නැති  සෙයකි.

"ගානක් දෙන්න විතරක් නෙවෙයි බොන්නත් අරන් දෙන්න වෙයි කියලනේ ඔය කියන්නේ "

 මම පුවකා කියූ කාරණය ලෙනදොරට පැහැදිලි කලෙමි.

"රුපියල් පන්දාහක් විතර ඇතිවෙයිද? " මම පුවකා ගෙන් ඇසුවෙමි.

"ඔවු  ඔවූ...එහෙම හොඳා.."

"ආපහු ලැබුණේ  නැතත් කමක් නෑ කියලා හිතාගෙන දෙන්න වෙයි හැබැයි..."

ඔහු මගේ යෝජනාව අනුමත කළේය.

"එහෙනම් අනිත් වැඩේට මෙහෙම කරමු ".

"අපි මිනිහා හංදියේ  රේස්ටුරන්ට් එකට එක්ක ගිහිල්ලා බැරැන්ඩි භාගයකුත් අරන් දෙමු"

ලෙනදොර  ඉතිරි සංග්‍රහය සැලසුම් කළේය.

"මම මිනිහට සල්ලි දෙන වැඩේ කරන්නම් . මල්ලී ඔය බොන ගණුදෙනුව සම්පුර්නයෙන්ම භාර ගන්න "

මම බොන කන වැඩේ  ලෙනදොරට පන්ගනාත්තු කළෙමි..

අත්තනායක හමුවීම

"පුතේ..  බත් කණ්ඩ එන්ඩෝ...."

නිම්මිලා අම්මා ලෙන්දොරත් මමත් උදේ කෑමට කැඳ වුවාය. 

පාරේ ගනුදෙනුව මුළු හිසම වෙලාගෙන තිබු මේ මොහොතේ  නිවිහැනහිල්ලේ බත් ටිකක් කන්නවත් ඉඩක් නැත.

කටට දෙකට බත් ටික ගිල දැමුවෙමි.

උදේ ආහාරයෙන් පසු ලෙනදොරත් මමත් අත්තනායක මාමා මුණ ගැසීමට පල්ලම් බැස්සෙමු.

අප ඔහුගේ නිවසට ලඟා වන විට ඔහු සිටියේ සාලයේ ඇඳි පුටුවක හාන්සි වී වහලේ ඇති සිංහල උළු ගණන් කරමිනි. 

මුල්ම වටයේ සාකච්චාව ඉතා සාර්ථක ස්වභාවයක් ගත්තේය.

මම ඩිංගිරි බණ්ඩා මාමා පාරේ වැඩට විරුද්ධව ගම පුරා යන කතාවද අත්තනායක මාමා හමුවේ තැබුවෙමි.

" මම වචනයක් කිව්ව්වොත් ඒකෙ ආයේ දෙකක් නෑ.. කෙරෙනවාම තමයි. " අත්තනායක මාමා අපට අඩි තුනක් ලාබා දීමට කැමැත්ත පල කළේය.

ප්‍රීතියෙන් ඉපිල ගිය අප දෙදෙනා අත්තනායක මාමා ට නොසෑහෙන සේ ස්තුති කළෙමු.

ලෙනදොර  මා වෙත ඉඟියක් කලේ මේ අතරයි.

මම උඩ සාක්කුවට අත දමා අළුත්ම අළුත්   "මොණර කොළ " පහක් ගෙන අත්තනායක අත තැබුවෙමි.

"මෙන්න මේක වියදමට තියාගන්න මාමා.."

"නෑ.. නෑ.. මට සල්ලි එපා . තවම ඉඩම දුන්නෙත්  නෑ .. නේ..?"

"කමක් නෑ . හිතවත් කමට දෙන දේ නේ ඔන්න ඕක තියා ගන්න "

අත්තනායකගේ දෙනෙත්  කෑදරකමින් දිළිසෙන්නට විය.

ඒ  දවස් ගණනක් බඩ ගින්නේ සිටි කුඩා දරුවෙකු  රසවත් ආහාරයක් නෙත ගැටුණු විට ඔහුගේ දෙනෙත් දිලිසේන්නාක් මෙනි

"ඒක නෙවයි මාමා හවසට හවසට හන්දිය පැත්තෙත් යනවා නේද? " ලෙනදොර තමන්ගේ රාජකාරියට  සූදානම් වෙයි.

"ඔව් දන්නැද්ද .. තනියම ඉන්න එකේ ටිකක් හවසට සප්පායම් වෙනවා.  ඔය ළමයිනුත් ඒවගේ දේවල් වලට කැමතිද? "

"නෑ අපේ අය්යා නම් ඕවට නෑ .. මම ඉතින් ඉඳලා හිටලා ඔය බියර් එකක් එහෙම  ගන්නවා "

ලෙනදොර පිළිතුරු දුන්නේය.

අප අත්තනායක මාමාට සමු දුන්නේ ඔහු සමග සවස් කාලයේ ගමේ පහළ පැත්තේ තිබෙන රේස්ටුරන්ට් එකට යන්නට  පොරොන්දු කරගැනීමෙන්  පසුවයි.

නැවත ගෙදරට ලඟා වූ අප නිම්මිලා අම්මා සමග අත්තනායක ගැන කතා කළෙමු.

ඔහු ඩිංගිරි බණ්ඩා මෙන් නොව කෙලින් වැඩ කරන මිනිහෙක් බව ඇයගේද අදහස විය.

අත්තනායක හමුව පිළිබඳව දුල්මිණි ලා තාත්තාද දැනුවත් කරන්නට අමතක නොකළෙමු.

ඔහුද අප තිදෙනා මෙන්  අත්තනායක කෙරෙහි සෑහෙන  විශ්වාසයක්  ඇතුව  කතා කළේය.

නිම්මිලා අම්මා මෙන් සියයට සියයක්ම විශ්වාස නොවුනත්   අත්තනායක තවත් ඩිංගිරි බන්ඩා කෙනෙක් නොවනු ඇත යන විශ්වාශය ඔහු අප තුල ඇති කළේය.

එදා හවස් වෙද්දී කොළඹ නුවර පාරේ ඇති  "අරලිය රෙස්ට් " එකට අත්තනායක මාමා රැගෙන ගියෙමු.

ලස්සන තිරයක් ඇතිරූ රවුම් මේසයක වාඩිවූ අප  වේටර් මල්ලීට කතා කළෙමු.

" මල්ලී අපට ලයන් ලාගර් එකයි, බ්‍රැන්ඩි භාගයයි , ෆැන්ටා බඩියකුයි ගේන්න. "

ලෙනදොර බීම ඕඩර් කළේය .

"කාටද බ්‍රැන්ඩි ඕඩර් කරන්නේ  ?.. මටද?  ' පැනය අත්තනායක ගෙනි.

"ඔව්. ඔව් .. මාමට තමයි . ඇයි බ්‍රැන්ඩි හොඳ නැද්ද ? " ලෙනදොර පිළිතුරු දුන්නේය.

"නෑ. නෑ. මට බ්‍රැන්ඩි එපා.  ගල් කාලක් තිබ්බම හොඳටම ඇති "

"අපිට ඉතින් පුරුදු ගල් නේ ?"

" මේකේ  නම් ගල් නැතුව ඇති මාමා " මම පිළිතුරු දුන්නෙමි.

අර හංදියේ තියෙන බාර් එකට යමු. එතැනින් තමයි මම වෙනදට ගල් කාලක් ගහන්නේ.

අත්තනායක මාමා තම පුරුදු තැබෑරුම වෙත යන්නට දැඩි කැමැත්තක් පල කළේය.

"මොකද කරන්නේ අය්යා ?" ලෙනදොර මා වෙත හැරුනේය.

"මොනවා කරන්නද ? බාර් එකට ගිහිල්ලා එයාට ගල් කාලක් අරන් දෙමු "

එදා මම ජිවිතේ පළමු සහ අවසාන වතාවට  ලී පොළු ගසා බෝතල් රාක්ක කර තිබු බාර් එකකට හේත්තු වී සිටියේ  අත්තනායක ගල් කාල ඉවර කරන තෙක්ය.


ඉටු නොවන බලාපොරොත්තුව

එදා අත්තනායකට සංග්‍රහ කිරීමෙන් පසු ගෙදර පැමිණි මා  ඇත්තටම සිටියේ සෑහෙන  කලකිරීමකිනි. 

කලකිරීමට හේතුව අත්තනායක අප දෙදෙනා  චයිනිස් රේස්ටුරන්ට් එකෙන්  ඉවත් කර මහ පාර අයිනේ තිබු බාර් එකට රැගෙන යාමම නොවේ.

 එයට ප්‍රධානම හේතුව ඔහු ඩිංගිරි ටත් වඩා වෙනස් ආකාරයක කපටියෙකු යැයි මා සිත ඇති වූ සාධාරණ සැකයයි.

අප අත්තනායක හමුවී පැමිණි වහාම ඔහුගේ නිවසට ගිය අනෙක් අමුත්තා ගැන දැන ගන්නට ලැබීම තවත් හේතුවකි. 

පුවක් බාස් ගේ නෝනා දැක තිබු හැටියට එදා අපි අත්තනායක හමුවී නිවසට පැමිණි පසුත්  හවස ගල් කාලක් අරන් දෙන වෙලාවත් අතර කාලයකදී ඩිංගිරි බණ්ඩා අත්තනායක හමුවීමට ගොස් තිබේ.

හවස සය කන් මන්ත්‍රන  සභාව පුරුදු පරිදි රැස් වුයේ මේ අල්ල පනල්ලේය.

වෙනදා මෙන් නොව එදා මම ලෙනදොරටත් පුවක් බාස් ටත් දැඩිව කතා කරන්නට තීරණය කලෙමි.

"ඇත්තම කියනවා නම මට අත්තේයා ව ෂුවර් නෑ.. ඔය මනුස්සයත්  අන්තිමට අපිට බෑ කියන්න බැරි නෑ.. ආරංචියේ හැටියට ඩිංගිරි බණ්ඩා මිනිහගේ ඔළුවටත් විෂ කවලා තියෙනවා අද හවස් වරුවේ "

මම කතාවට මුල පිරුවෙමි.

"මම කිව්වනේ සල්ලි ටිකක් විසි කරන්න වෙයි. හැබැයි මිනිහා ඉඩම දෙයි කියලා තමයි මගේ නම් විශ්වාසේ "  
පුවක් බාස් තවමත්  අත්තනායක ගැන බලාපොරොත්තු වෙන් පසුවෙයි.

" මට නම් මේ බලන් හිටිය කාලේ හොඳටම ඇති කියලයි හිතෙන්නේ "

"අද කවදද කියලා දන්නවද දෙසැම්බර් විසි පහ..මට ඉඩම දෙන්නේ කවුද පාර එන්නේ කොහෙන්ද කියලා වැඩක් නෑ ජනවාරි පලවෙනිදා වෙන කොට පාර කැපිලා තියෙන්න ඕනෑ.."

මම මගේ ස්ථිර සාර අධිෂ්ඨානය  මගේ මග නැගුමේ සගයින් දෙදෙනා හමුවේ තැබුවෙමි.

ලෙනදොර මෙන්ම පුවකාද තරමක් සසල වූ බව මම හොඳින් නිරීක්ෂණය කලෙමි.

"මේ ගමේ ඉන්න ඩිංගිරි බණ්ඩලා වගේ කොන්ද පණ නැති උන්ට බයේ මම  පටන් ගත්ත වැඩක් නවත්තන මිනිහෙක් නෙවෙයි මම"
"මේ වෙලාවේ තමයි අපි තුන්දෙනා එකටම ඉන්න ඕනේ.  ප්‍රේමරත්න මොකද කියන්නේ ? "

"ඕන දෙකට ඔට්ටුද? අපි පාර කැපුවොත් ඔයාටත් පාරක් එනවා.  හැබැයි ඩිංගිරි බණ්ඩා මේ වෙනකොට මුළු ගමක් ම අවුස්සලා ඉවරයි "

"මට ඔය හාදයයි එයාගේ අය්යලා දෙන්නයි තුන්දෙනාම කියලා තියෙනවා අපේ මානෙන් ප්‍රේමරත්නටත් පාරක් එන එකට එයාලා කැමති නෑ කියලා. "

මම ප්‍රේමරත්නට ඉතා ඉක්මණින් පාර කැපීමේ උවමනාව පැහැදිළි කළෙමි . 

"ප්‍රේමරත්න මට අදහසක් ආවා. මම දන්නවා ඔයාට ලොකු ඉඩමක් නෑ කියලා .. හැබැයි අත්තෙයා දුන්නේ නැත්නම් අපිට තියෙන එකම විකල්පය ඔයා තමයි. "

"ඔයාගේ ඇලදිගේ  වගුර පුරවාගෙන පාර හැදුවොත් අපට අහුවෙන්නේ ඔයාගේ ඉඩමයි , අපේ ඉඩමයි , අපේ කුඹුරයි   කියන තුනනේ එතකොට ඔය කාටවත් අපිට ලෙඩ දාන්න බෑ."

"ඒ වුනාට කුඹුරෙන් තුනෙන් එකක් ඩිංගිරි  බැන්ඩය්යට අයිතියි නේ ? මිනිහා ඒකටත් ලෙඩේ අදියි "

පුවක් බාස් මට අමතක වන්නට ඇති යැයි සිතු යමක් මතක් කර දුන්නේය .

මේ අතර ලෙනදොර  කිසි හාවක් හුවක් නැතිව බලා සිටියි.

මම ඔහු දෙසට හැරුණෙමි.

"මල්ලී ඔයා හමුදාවේ හිටිය කෙනෙක් නේ..  ඔයාට  මීට වඩා මේ වැඩේට යමක් කරන්න  පුළුවන් වෙන්න ඕනේ "

"නැද්ද පි. බී..?... හමුදාවේ හිටියා කිව්වම ගම හොල්ලන් ඉන්න එපැයි.. බොරුවට හරි " .

මම ලෙනදොර මට අවශ්‍ය පැත්තට හරවා ගන්නට උත්සාහ කලෙමි.

ඒ ඔහුගේ හමුදා සම්බන්ධය පාවිච්චි කර ඩිංගිරි බණ්ඩා නිස්ශබ්ධ  කිරීමයි.

"නෑ .. නෑ. ගමේ අය ඇත්තටම ලෙනදොර මහත්තයට හරි බයයි" . පුවක්ද මගේ කතාවට උඩ ගෙඩි දෙන්නට විය.

"ඔව්. ඔව්.. ඒ අය දන්නේ නෑනේ  මෙයා  විශ්‍රාම අරන් ඉන්නේ කියලා..  හුගක් වෙලාවට හිතනවා අත්තේ මොකක් හරි ගේමක් දීලා වැඩ නැති වෙලා ඇවිල්ලා කියලා...මල්ලී අපි ඕකෙන් වැඩක් ගමු"

" හෙට ඩිංගිරියාව  භය කරමුද? . එතකොට මිනිහා කුඹුරේ තුනෙන් එකේ කතාවට එන්නේ නෑ. "

"හැබැයි අපි ඒක කරන්න නම් පුවක් ගේ වචනේ ස්ථිර වෙන්න ඕනෙ.. '

"හැබැයි තමුසේ කිසි කෙනෙකුට කියනවා නෙවෙයි අපේ ප්ලෑන් එක".

අඩුම ගානේ දුල්මිණි ලා අම්මාට වත් කියන්න  එපා අපි බැකෝ එක ගෙනෙන කන් "

"හරි .. හරි ... මම කැමතියි වැඩේට, අපේ ගෙදර උන්දැට වත් නොකියා ඉන්නම් කෝ දොස්තර මහත්තයා කියනවනම්." .

ප්‍රේමරත්න මට එතෙක් ඇසුණු මිහිරිම වචන ටික එළියට දැම්මේය.

"ඔව්. ඔව්.. එහෙම හොඳයි.  ප්‍රේමරත්න අපි එක්ක හිටියොත් අපි ඔයා ගැන බලා ගන්නවා.  ඔයාල හැමදාම ඔහොම ඉන්නේ නෑ නේ.. "

"පස්සේ කාලෙක දුල්මිණි කැම්පස් එහෙම යයි . අපි ඒවාට උදව්  කරනවා . "

"ඇත්තම කියන්න මේ වැඩේ කෙරුනොත් මම ප්‍රේමරත්නට සලකන්නේ අපේ නෑ කෙනෙකුට වගේ තමයි ".

"හරි . හරි .... ආයේ ඉතින් කළබල වෙන්න දෙයක් නෑ.  වැඩේ පටන ගන්න කෝ . මම අපේ වත්ත අයිනෙන් පාර යන්න හදලා දෙන්නම් "

"හරි  පි. බි... එහෙමනම් අපි හෙට ඩිංගිරි නවත්වනවා ආයේ දෙකක් නෑ.. අපිට ඔයා ඉන්නවා නේ . අත්තෙයා අඩි තුනක් දුන්නත් එකයි නැතත් එකයි. "

ප්‍රේමරත්නගෙන් සමුගත් මා ලෙනදොර රැගෙන ගෙදර ආවේ ඉතා බරපතළ සාකච්චාවක් සඳහාය.

ඒ ඩිංගිරි සාධකය පාරේ සමීකරණයෙන් ඉවත් කරන ආකාරය ගැන කතා කිරීමටය.

"මෙහෙමයි මල්ලී වැඩේ .. පල්ලැහැ පාරේ මිනිහා තනියෙන් එන වෙලාවක් බලලා අල්ල ගමු. "

"අපේ වැඩේට ආයිත් අත දැම්මොත් හොඳ වැඩක් කරනවා කියලා කියමු"

"ඔය තෝ  මකනවා .. තොගේ කෙල්ල උස්සනවා " වගේ මොකක් හරි කියමු.

"අමු  කුනුහරුපයක්   කන අ.. අ. ට කරලා කියලා පටන් ගන්න ඕන .."

 "මම දොස්තර කෙනෙක් නේ මම  කුණුහරුප කියන එක හරි නෑ ..මුලින්ම අඩෝ .... තෝ කියලා  ඔයා පටන් ගන්න  . ඉතිරි ටික මම කියන්නම්. "

" හරිනේ  එහෙනම් හෙට උදේ වැඩේට බහිමු. "

ලෙන්දොරත් මමත් පුස් පැටවුන් දෙදෙනෙක් මෙන් නිවසට ගොඩ වුයේ රාත්‍රී ආහාරය සඳහාය .


මග තොටදී..... හමු වෙද්දී....


පසුදා උදෑසන ලෙනදොරත් මමත් පුවක් ලා ගෙවල් පැත්තට ගියේ ඩිංගිරි පාන් ගේන්න යන වෙලාව අල්ලා ගන්නටය. 

අප හිතුවා හරිය.  කළු පැහැති මල්ලක් වනමින් ඩිංගිරි බැන්ඩේ මාමා වෙල මැදින් පල්ලම් බහී.

කඩේ ට ගොස් ආපසු හැරෙන්නට තරම් කාලයක් ඔහුට දුන් අප දෙදෙනා ඔහු නැවත එන මාවත් වෙත පිය මැන්නමු.

ගමේ පන්සල පෙනෙන නොපෙනන මානයේදී ඩිංගිරි බණ්ඩා අප දෙසට එන අයුරු දර්ශනය විය.

මම නැවතත් ලෙනදොර  සුදානම් කලෙමි . "මල්ලී මතකයිනේ දත්මිටි කාලා අඩෝ ව්... කියලා පටන් ගන්න ඕනෑ."

දැන් ඩිංගිරි අප අසළටම ලඟා වෙයි.   අප දෙදෙනාම සිටියේ කොට කලිසම් සහ ටි ෂර්ට් හැඳ කැප් තොප්පි අනික් පැත්තට හරවා දමාගෙනයි. 

නාදුනන කෙනෙකුට ඇත්තටම පෙනෙන්නේ ගමේ ගණන් කාරයෝ දෙන්නෙක් කඩේ පැත්තට යන ස්වරූපයකි. 

" හා කොහොමද පුතාලා කඩේ පැත්තේ යනවා වගේ ?".

මුහුණේ හිනා කලඳක් වත් නැති කළුම කළු මුහුණක් පෙන්වමින් ඩිංගිරි බණ්ඩා ලෙනදොර දෙසට හැරුනේය.

"හ්ම් පුතා..? ??? ... ඈ..."

කියමින් ලෙනදොර දත්මිටි කයි එහෙත්  ජාතිය ඇමතීමේ වචනය ඔහුගෙන් පිටවුයේ නැත. 

"කියන්න.. කියන්න .."
මම සැලසුම වතුරේ යයි දෝ සිතමින් ලෙනදොරට වැ ලිමිටෙන් ඇන්නෙමි .  ලෙනදොර ගල් ගැසී සිටියි. 

"අනේ මුගේ  විශේෂ බළකාය .." මම මටම මුමුණා ගත්තෙමි.

එසේ සිතමින් ඩින්ගිරි බණ්ඩා ගේ මුහුණ අසළටම එබුනෙමි .

" අඩෝ  ඩිංගිරි .... ගේ පුතෝ.. තෝ මෙච්චර දවස් කරපුවා අපි දන්නේ නෑ කියලා හිතන්න එපා.  අපිට මෙහෙන් පුතේ .පුතේ කියා කියා  උඹ ගම පුරා ගිනි  ගෙඩි ගෙනිච්චා නේද ?

 "මට ආරංචියි  උඹ ඊයේ  අත්තනායකට ත්  ගිනි ගෙඩියක් දුන්නා කියලා"

උඹ අද ඉඳලා අපේ වැඩ ගැන ගමේ උන්ට  මොනවා හරි කියලා තිබුනොත් බලාගෙනයි. "

" තෝ මකවනවා එහෙම වුනොත් ..."

"හොඳට මතක තියා ගැනින්  පරයා.  මීට පස්සේ අපේ වැඩ වලට  අත දානවා එහෙම නෙවයි."

"අපි හොඳට හොඳයි  නරකට නරකයි".

මම එක හුස්මට කියාගෙන ගියේ ඩින්ගිරි බණ්ඩා  හොඳටම සලිත කරමිනි.

ලෙනදොර තුෂ්නිම්භූත වී ඇති ආකාරයකි.

"මගේ වාග් ප්‍රහාරය දෙස එසේ බලා සිටි  ලෙනදොර  එක් වරම ඩිංගිරි ගේ  ෂර්ට් කොලරය වෙත තම අත යොමු කරන්නට සුදානම් විය.

ඩිංගිරි බන්ඩේ  මාමා බියෙන් වෙව්ලනු මට පෙනේ.

"නෑ... නෑ.. මල්ලි මූට දැන්ම අත තියන්න එපා. "

"අපිට ගැරඬි මරලා පව් කර ගන්න ඕනි නෑ."

"මේකා අයිත් වතාවක් අපිට අංචි අදින්න අවොත්  ඒ ගැන බලමු. "

"නෑ පුතේ .. මම කිව්වේ.. " කියමින් ඩිංගිරි යමක් පැහැදිලි කරන්නට සැරසෙයි. එයට කිසිසේත් ඉඩ නොදුන් මා. මට අවශ්‍යම ටික මෙසේ පැවසුවෙමි.

"අඩෝ ඩින්ගිරියා .. අපි අද හෙටම කුඹුර උඩින්  පාර ගහනවා .. ඒකේ තුනෙන් එකක අයිතිය කරුණා අක්කට තියෙනවනේ"
"හැබයි ...පාරේ වැඩ ඉවර වෙනකන් තෝ ගේන් එළියට බැස්සොත් බලාගෙනයි. "

"අපි නරක මිනිස්සු කියන්න එපා ඊට පස්සේ.. තොට තියෙන්නේ අපේ වැඩේ ඉවර වෙනකන් ගොනා වගේ ගෙට වෙලා ඉන්න එක විතරයි."

කඳුළු පනින්ට සැරසුණු දෑසින් යුතු ඩිංගිරි බන්ඩේ මාමා " හරි හරි පුතාලා ඕන එකක් කර ගන්න .. හැබැයි මගේ ගොයම් ටික තැලෙයිද දන්නේ නෑ? "

යැයි පාරේ වැඩේ  පරක්කු කරන්නට හැකි අවසන් තුරුම්පුවද ගැසුවේය.

"මොනවා හු...  පුතා  තෝ කිව්වේ.. ?  ගොයම්..? .." ලෙනදොර නැවතත් යකෙක් මෙන් ඔහු වෙතට කඩා පනින්නට සුදානම් විය.

හමුදාවේ විශේෂ  බලකායේ සෙබළෙක් ලෙස ත්‍රස්තයන් බර ගාණකට  වග කියා ඇති ආරෝහ පරිණාහ දේහයකින් යුත් ලෙනදොර වැන්නෙක්   එවැනි ඉඟියක් කිරීමම ප්‍රමාණවත්ය.

ඩිංගිරියා දැන් නම් අම්ම මුත්තා කිව්වත් අපේ පාරට නම් ලෙඩක් දමන එකක්  නැත.

"හොඳට මතක තියා ගනින්  පාරේ වැඩ ඉවර වෙනකන් තොට අපිට පේන්න එලියට වත් එන්න බෑ.."

මම වැදගත්ම පණිවිඩය ඩින්ගිරි බණ්ඩාට නැවතත් මතක් කළෙමි.

"තව එකක්....තෝ මේ ගැන ගමේ කාටවත් කියනවා එහෙම නෙවෙයි.. " අද ඉඳලා මොකුත් දන්නේ නැති ගොනා වගේ හිටපිය. අපි වැඩේ ඉවර කරනකම්.."

"අපි යමු මල්ලී යන්න"

.කියමින් මම ලෙනදොරත් රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් එතැනින් ඉවත් වුයෙමි. 








Saturday, 23 January 2016

විකල්ප යෝජනා 3 - (මග නැගුම හය වන කොටස)



මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස




11. මග නැගුම පස්වන කොටස - තවත් විකල්ප යෝජනා


විකල්ප යෝජනා 3  - (මග නැගුම හය වන කොටස)


සමථ මණ්ඩල සාකච්චාවෙන්  අනතුරුව පියතිලක මාමා තම වත්තේ පුවක් බාස්ලා ගෙවල් පැත්තේ අයිනෙන්  නිම්මිලාට පාරක් දෙන්නට පොරුන්දු විය.

එය අප ඉල්ලා සිටි පරිදි අඩි හයක පාරක්  නොව අඩි තුනක පාරකි.  මෙය නිම්මිලා අම්මාටනම් ලොකු ජයග්‍රහණයක් සේ පෙනුණි. 

එහෙත් ලෙනදොර  මල්ලී මෙන්ම ගෙදර අනිත් අයත්  අළුතින් පාරේ ගණුදෙනු වලට සම්බන්ධ වූ  මමත්  අඩි තුනේ පාර දුටුවේ  වැඩකට නැති දෙයක් ලෙසයි.

හේතුව එය ගෙදරට  වෑන් එකක් නොව ත්‍රී විලරයක් වත් ගේන්නට තරම් ප්‍රමාණවත් නොවීමයි.

මෙසේ හිතේ අමාරුවෙන් දිනය ගත කල ලෙන්දොරත් මමත් කල කී දේවල් අසා සිටියේ  පුවක් බාස් , ගනේවත්ත ඇතුළු අපේ පොල් වගා කල්ලියයි.

සුපුරුදු ලෙස දවස අවසානයේ රැස්වීම සඳහා පුවක් , ලෙනදොර සහ මා රැස් වුයේ නිම්මිලා වත්තේ උඩහ කොටසේය.

මේ වන විට පුවක් අපේ පාර ගැන අපටත් වඩා උනන්දුවකින් පසු වුවා කීවොත්  නිවැරදිය.  

"අද උදේ මොකද වුණේ?  පියතිලක අය්යා ඉඩමෙන් පාරක් දෙන්නම් කිව්වද ?"  පුවක් අපෙන් විමසා සිටියේය.

"මොන පිස්සුද ? මිනිහා අඩි තුනකට වඩා අඟලක් වත් වැඩියෙන් දෙන්න කැමති වුණේ නෑ.. " ලෙනදොර කීවේ  බලවත් කණසල්ලකිනි.

"ඉතින් ඒ පාර ලකුණු කර ගන්නනේ තියෙන්න ?"  

"වැඩක් නෑ.. අඩි තුනක් ලකුණු කරගෙන මොනවා කරන්නද ? " මම පිළිතුරු දුන්නෙමි.

"දැන් කොයි පැත්තෙන්ද  පාර දෙන්නේ ?  ඩිංගිරි බන්ඩේ  අය්යලා පැත්තෙන්ද  නැත්නම්  අත්තනායක ගේ ඉඩම පැත්තෙන්ද ? " 

පි. බී . ඉතා උනන්දුවෙන් විමසා සිටියේය. 

"ඩිංගිරි බන්ඩේ ලා පැත්තෙන් නෙවෙයි අනික් පැත්තෙන් .. අර පුංචි ත්‍රිකෝනේ වගේ ඉඩම් කෑල්ල කාගේද අත්තනායක ගේද ?".. 

මා විමසා සිටියේ නිම්මිලා ඉඩමත් , පුවක් බාස් ගේ ඉඩමත් සහ කක්කුට්ටා ( පියතිලක මාමා ) ගේ ඉඩමත් අතර තිබු කුඩා ඉඩම් කෑල්ල ගැනයි.


"ඔව් .. ඔව් .. ඒක අයිති අත්තනායක ට තමයි .."

"අය්යා ඔය අත්තනායක නේ අර වෙලට උඩ  පැත්තේ ගෙදර ඉන්නේ.. මිනිහා පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් නේ "

ලෙනදොර ගම රට ගැන තමා දන්නා තොරතුරු මට ඉදිරි පත් කළේය.

"මේකයි වැඩේ ඔය අඩි තුන පියතිලකගෙන් අරගෙන ඉතිරි අඩි තුන අත්තනායක ගේ පැත්තෙන් ඉල්ලන්න බලමු.. පොඩි ගානක් වියදම් වුනත් කමක් නෑ නේ.. "

පුවකා  මේ  ත්‍රිකෝණාකාර ඉඩමෙන් අපට ඇති වැදගත් කම පැහැදිලි කර දුන්නේය.

ඒ අනුව සාකච්චාවේ අවසාන ප්‍රතිඵලය වුයේ පසුදා උදැසනම කක්කුට්ටාගේ අඩි තුනේ කොටස  නූල්  ගසා වෙන් කර ගැනීමට අප දෙදෙනා එකඟ වීමයි.

එමෙන්ම ඉන් අනතුරුව අත්තනායක හමුවී සුළු ගණනක් ගෙවන පොරොන්දුව පිට  ඉතිරි අඩි තුන ඔහුගේ පැත්තෙන් ඉල්ලන්නටත් අප තීරණය කළෙමු.

අදහස පුවක් බාස් ගේය . ක්‍රියාවට නගන්නනේ ලෙනදොර , මා සහ නිම්මිලා අම්මාය.

විය හියදම් සියල්ල  මගේ පොකැට්ටුවෙන්නය.

දිය යටින් ගින්දර 


මේ වන විට ඩිංගිරි බන්ඩේ මාමා ගමේ හැම තැනම යමින්  නිම්මිලා ගෙදරට පාරක් නොලැබෙන තැනට කටයුතු කරන බව අප දැන සිටියෙමු. 

ඒ පුවකාගේ නොමඳ  සහය ඇතිව අපට ලැබෙන බුද්ධි අංශ වාර්තා නිසාමය.

පුවකා කියන පරිදි ඩිංගිරි බණ්ඩා අපට ඔහුගේ ඉඩමෙන් පාර නොදුන්නට අමතරව පාරක් ගත් හැකි අනික් ක්‍රම වලටද  අකුල් හෙලන තත්වයකට පත් වී සිටියේය. 

ඒ මෙවැනි ගම් වල සිටින බොහෝ දෙනා කරන පරිදි උඩින් අපට පුතේ කියා කතා කරන අතර  යටින් ගින්දර අවුළුවමිනි. 

මේ වන විට අපි පාරේ පහළ කොටස  හදන හැටි සාකච්චා කරමින් සිටියෙමු.

එය නිම්මිලා කුඹුර මැදින් ඇති ඇල දිගේ පුවක් ලා ගෙවල් දෙසට ගෙන එන්නට අදහස්  කරගෙන සිටියෙමු.

එහෙත් ඒ අදහසද ඩිංගිරි ගේ අනුමැතියට යොමුකළ යුතු වුයේ ඔහුද නිම්මිලා අම්මාගේ කුඹුරු කෑල්ලේ  හවුල් කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වූ බැවිනි.

ඩිංගිරි දිය යටින් ගින්දර ගෙන යන්නෙකු බව වටහා ගත් මා ඔහුගේ අය්යා  හමුවී කුඹුරේ කතාව කියන්නට තීරණය කලෙමි.

නිම්මිලා "සුදු මාමා " ලෙස හැඳින්වූ ඔහු එකල අරණායක ප්‍රාදේශීය සභාවේ ලේකම්  ලෙස සේවය කල අයෙකි. 

සුදු මාමා සහ මා අතර ඇති වුයේ මෙවනි කතා බහකි.

" මාමා අපි ගෙදරට පාරක් ගන්නයි යන්නේ .. මාමලා මල්ලිගෙන් ඉල්ලුවා දෙන්න බැහැ කිව්වනේ "

"ඔව් ආරංචියි .. ආරංචියි .. ඔය මනුස්සයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ අපේ උඩහ තියෙන රබර් ඉඩමටත් ඔය වැඩෙන් වාසියි කියලා."

" ඒක තමයි සුදු මාමා මමත් කියන්නේ"

"කොහොම හරි අපි දැන්  ඒ පැත්තෙන් පාර නොගෙන කුඹුර ගොඩ කරලා ගන්නයි හිතාගෙන ඉන්නේ මාමාලා ටත් කොටසක් තියෙන නිසයි කියන්න ආවේ. " 

"හරි ඒ පැත්තෙන් පාර ගත්තා කියමුකෝ .. එතකොට අර පුවක් බාස්ටත් නිකන්ම පාරක් එනවනේ ?"

සුදු මාමා ගත් කටටම කිවේ මාව විමතියට පත් කරමිණි.

ඔහුගේ තර්කයද  ඩිංගිරි බණ්ඩාට දෙවැනි නැත.   මේ අදහසම ඩිංගිරි බණ්ඩාද අප කුඹුර පිරවීම ගැන කියද්දී පළ කළා මට මතකය. 

මට මේ මිනිසුන් තේරුම් ගත නොහැක.  පුවක් යනු ඩිංගිරි බණ්ඩාගේ  හොඳම මිතුරාය. එහෙත් අප පාරක් කැපීමේදී පුවක්ට වාසි වෙන එකට ඩිංගිරි බණ්ඩා අකමැතිය. 

ඔහු පමණක් නොව රජයේ ඉඩම් කඩම් පිලිබඳ ඉහළ නිලයක් ( ප්‍රාදේශීය ලේකම් ) දරන ඔහුගේ වැඩිමහල් සොහොයුරාද අකමැතිය.

මේ දෙසොහොයුරන්ට  අනුව පුවකාට නොමිලේම පාරක් ලැබෙන නිසා අප කුඹුර පැත්තෙන් පාර හැදීමෙන් වැලකී සිටිය යුතුය. 

"හරි  හරි ඒකට කමක් නෑ කියමුකෝ.. මාමගේ අකමැත්තක් නෑ නේද අර ඇල අයිනෙන් උඩහට කුඹුර ගොඩ කරලා පාර හදනවට ?"

මම මගේ අදහස ඔහුගේ අනුමැතිය සඳහා ඉදිරි පත් කලෙමි.

" ඔය කුඹුර අපි හැමෝටම අයිති වුනාට ඩිංගිරි මල්ලී තමයි  ඒක වැඩ කරන්නේ .. මේ පාරත් ගොයම් හදලා තියෙන්නේ එයානේ.. එයාගෙන් ම අහලා බලන්න පුතේ.."

සුදු මාමා නැවතත් අප ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලන තත්ත්වයට පත්  කළේය.

Monday, 18 January 2016

මග නැගුම -පස්වන කොටස (තවත් විකල්ප යෝජනා )

මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස


9. මග නැගුම තුන්වන කොටස


10. මග නැගුම - හතරවන කොටස (විකල්ප යෝජනා)


තවත් විකල්ප යෝජනා  (මග නැගුම පස්වන කොටස )


එදා සෙනසුරාදා දිනයකි . මේ වනවිට  ලෙනදොර  , පුවක් බාස් සහ මම එකාවන්ව වැඩ කරමින් සිටියේ පොල් වගාවට බිම් සැකසීම කරමිනි.  

මේ සඳහා පුවකාට  අමතරව ගනේවත්ත සහ  නිම්මිලා ගමේ ඉහළ කොටසේ විසු  සුසන්ත  යන අය  පොල් වලවල් කැපීම , කාණු කැපීම , ගල්වැටි බැඳීම වැනි වැඩ වලදී  අපට සහය වුහ.

පොල්වගාවේ වැඩ කටයුතු මෙසේ ඉදිරියට යද්දී  නිම්මිලා ගෙදරට පාරක් සකස් කිරීමේ ගනු දෙණු  ද හෙමින් හෙමින් ඉදිරියට යමින් පැවතිණි. 

මේ වන විට පාරේ යෝජනාව පියතිලක මාමා ( නිම්මිලා අම්මාගේ අවෑස්ස මස්සිනා ) වෙත යොමු කරන අදහස අප අතර මතුවෙමින් තිබිණි.

එදා උදේම  ලෙනදොර සහ මම නිම්මිලා ගෙට පහළ කොටසේ පොල් වලවල් කපමින් සිටියෙමු . 

මේ වන විට වෙලාව උදේ  හයයි විස්ස පමණ වන්නට ඇත. 

පුවක් , ගණේ සහ සුසන්ත අපේ වැඩට එකතු වන්නට තව හෝරාවක් හමාරක් ගත විය යුතුය.

නිම්මිගේ නංගි අමරා හනිහණිකට ගෙදරින් පහළට බහිනවා දුටුවෙමි.

ඒ උදේ හතේ සේවා මුරය ( ඇය මේ වන විට  නගරයේ තිබු රෝහලේ හෙදියක් ලෙස සේවය කලාය ) ඉලක්ක කර ගෙන විය යුතුය.

ඇය අප වැඩ කරමින් සිටි කොටස පසු කර ගෙට පහළ තිබු පොල් අඹ ගස  ( මේ වන විට එහි තිබුණේ  ගස කපා දැමීමෙන් පසු ඉතිරි වූ අඹ කොටය සහ ඉන් පැන නැගුණු විශාල මුල් කන්දරාවයි)  පසු කළා පමණි.

" දඩාස්  " යන හඬක් නැගිණි.   " බුදු අම්මේ .. මම ඉවරයි !! " කියමින්  අමරා බෙරිහන් දෙන්නට වුවාය.
මම පොල් වලෙන් ගොඩට විත් ඒ පැත්ත බලන්න හැරුණා පමණි. 

" අනේ ඔයාට මොකද වුනේ ? " කියමින් අමරාගේ සායේ සහ හැට්ටයේ තැවරුණු  මඩ සහ දුවිලි පිස දමන ලෙනදොර මල්ලී මා නෙත ගැටිණි.

"කොච්චර නම් කියලා තියෙනවද පරිස්සමින් අඩිය තියලා යන්න කියලා " ... ලෙනදොර ගේ කටහඬ අතිශයින් හැඟුම් බරය.  ඔහු හඬන්නට ඔන්න මෙන්න වූ කට හඬකින්  අමරාට මෙසේ පැවසීය.

"ඕක තමයි මම කියන්නේ මේ පාර ඉක්මණට  හදලා දාමු කියලා... ඔයින් ගියා ඇති .. ඔයාට තුවාලද සූදු ?".

කලබලය නෙත ගැටුණු මා ලෙනදොරලා සිටි පැත්තට  යන්නට පටන් ගත්තා පමණි. 

ලෙනදොර තවමත් අමරා ගේ ඇඟ පිස දමමින් සිටී. ඒ දුටු මා ඒ අසළටම නොයා මදක් පසු බැස්සෙමි.

ටික වෙලාවක් එතන සිටි  අමරා හඬ හඬා නිවස දෙසට ගමන් කලාය.   

තවත් සුළු මොහොතකින් ඇය වෙනත් සායක් සහ බ්ලවුස් එකකින් සැරසී  නැවතත් සේවය  සඳහා පිටත් වුවාය.

හඬන්නට ඔන්න මෙන්න මෙන් සිටි ලෙනදොර  මා වෙත පිය මැන්නේය. 

"අය්යා අපි මේ පාර කොහොම හරි හදන්න ඕනෑ.. දැක්කනේ තව ඩින්ගෙන්  අමරාගේ  කකුල කැඩෙනවා .. 

"මට එයා මේ ගල් මුල් ගොඩේ වැටී වැටී වැඩට යනවා තවත් බලා ඉන්න බෑ.."
a
"අපි මේකට මොනවා හරි කරන්න ඕනෑ.."

"හෙට නේද අර සමථ  මණ්ඩලේ රැස්වීම තියෙන්නේ ?  අයියත් එන්න අපිත් එක්ක .. කොහොම හරි මේ පාරේ වැඩේ එකලාසායක් කරලා දාමු අය්යා "

ලෙනදොර අමරා කකුල නොකැඩි  බේරුණු එක නිමිත්ත ලෙස ගෙන මග නැගුමේ දෙවැනි යෝජනාව වෙත මා යොමු කළේ එසේය.

සමථ කිරීම

පසුදා උදැසන නමයට  සමථ මණ්ඩලය රැස්වන බව අම්මා අප සමග කීවාය. 

ලෙනදොරත් මමත් සමථ මණ්ඩල රැස්වීමට අම්මා සමග  යන්නට කතා කර ගත්තෙමු.

උදේ පාන්දරින්ම ත්‍රී වීලරයක්  ගෙන්වා ගත් අප තිදෙනා  මාවනැල්ලේ මුස්ලිම් පාසැල වෙත පිටත් වීමු.

අප එහි යන විටත් පියතිලක මාමා පාසැලට පැමිණ සිටියේය.

"අර ඉන්නේ සමථ මණ්ඩලේ සභාපති තුමා " අම්මා අප දෙදෙනාට ජාතික ඇඳුමින් සැරසුණු  අවුරුදු හැටක් පමණ වූ මහත්මයෙක් පෙන්වූවාය.

"එයා ළඟ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්  ලු " අම්මා ඔහුගේ තනතුරු තරාතිරම් ද අපට මතක් කර දුන්නාය.

"යමු අය්යා අපි ගිහින් කතා කරමු .. " ලෙනදොර මාව ඉස්සර කර ගත්තේ සමථ මණ්ඩල සභාපති තුමාට මාව හඳුන්වා දෙන්නටය.

"කවුද මේ මහත්තුරු ??  සමථ සභාපති තුමා අප දෙස  විමසුම් සහගත  බැල්මක් හෙළුවේය.

"මගේ නම ලෙනදොර.. මේ ඉන්නේ අපේ අය්යා .. එයා අලදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක්. .. අපි තමයි අර ගෙදරට යන අඩි පාර ලොකු කරලා දෙන්න කියලා ඉල්ලුවේ "

ලෙනදොර  සභාපති තුමාට අප හඳුන්වා දුන්නේ  පාරේ කතාවටද ප්‍රවිශ්ටයක් ලබා ගනිමිනි.

"ගෙදරට යන්න හරි හමන් පාරක් නැතිව හරි කරදරයි . ඊයෙත් අපේ නෝනා  වැටිලා තුවාල වුණා" ඔහු අමරා අඹ ගහේ  මුල්වල පැටලී වැටුණු කතාවද සමථ සභාපතිට ඉදිරි පත් කළේය.
ඔහු සිතු පරිදිම සභාපති තුමා මා සමග කතා කරන්නට වැඩි උනන්දුවක් දැක්වුවේය. 

මගේ ආගිය තොරතුරු ඇසු  ඔහු අප කරමින් සිටිනා වැඩ ගැන කිසියම් පැහැදීමකට ලක්වූ බවක් පෙන්වුවේය.

කතාව අවසානයේ සමථ සභාපතිතුමා  අප හා බෙහෙවින් කුළුපග විය.  මේ දුටු ලෙනදොර මල්ලි සතුටින් ඉපිළ ගිය බවක්  පෙන්නුම් කළේය. 

මම  අපට කෙසේ හෝ අඩි හයක පාරක්  පියතිලක මාමාගේ ඉඩමෙන්  වෙන් කරවා දෙන ලෙස සමථ සභා පති තුමාගෙන් ඉල්ලා සිටියෙමි.

" මහත්තයෝ මට එහෙම කියන්න නම් බෑ .. හැබැයි මම සාකච්චාව එතැනට ගෙනෙල්ලා දෙන්නම් මහත්තයාලම  වැඩේ කතා කර ගන්න."



Monday, 11 January 2016

විකල්ප යෝජනා (මග නැගුම - හතරවන කොටස )




මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


පුවක් බාස් දෙවන කොටස


මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


ගම නැගුම - පළමු කොටස


ගම නැගුම දෙවන කොටස


ගම නැගුමෙන් මග නැගුමට


මග නැගුම - දෙවන කොටස




දැන් දැන් ඩිංගිරි බන්ඩේ මාමාගේ උදව්වෙන් ( ඔහුගේ ගෙදරට එන පාර හරහා ) අපේ පාර සකස් කර ගැනීමේ අදහස  අපෙන් ඈත් වෙමින් පවතී.

දැන් නිම්මිලා ගමේ හැමෝගේම කතාබහ කරන්නේ ලෙනදොරලා සහ අප  ගැනය. 

කැලෑ වැදී තිබුණු ඉඩම් එළි පෙහෙළි කිරීමත්  වෙල්යායක් පසු කර යායුතු ගෙදරකට පාරක් තැනීමට පිට පොට ගැසීමත් ඔවුන්ට  අප ගැන තැන තැන සාකච්චා කරන්නට ඇති තරම් මාතෘකා සපයයි.

මේ දේවල් අකුරක් නෑර දැන ගැනීමට මට ඉඩ ලැබෙන්නේ අපේ අළුත් සගයා පුවක් බාස් හරහාය.

දැන් දැන් හැමදාම හවසට නිම්මිලා ඉඩමේ උඩහ කොටසේ රැස්වන අප තිදෙනා  පුවක් හරහා ගමේ අය අප ගැන කියන කතා පිලිබඳ  නැවතත් සාකච්චා කරන්නෙමු.

"ප්‍රේමරත්න  ගමේ අය අපේ වැඩ ගැන කතා වෙනවා ඇති නේද මේ දවස් වල ?" 

මා අසන්නේ මල්දෙණිය වැනි ගමක ජිවත් වී  ගැමි ජිවිත  ගැන මා ලැබූ අත්දැකීම් සිහියට ගනිමිනි.

"ඔවු .. ඔවූ .. කට්ටිය එක එක කතා කියනවා .."

"කට්ටිය අපි ගැන හොඳ  කියනවා ඇති නේද? ගමට රටට වැඩක් වෙන දෙයක් කරන වා කියලා ? " 

මම නැවතත් අසන්නේ  ඇත්තටම ඔවුන් අප දකින්නේ මොන විදිහකටද යන්න  පුවකා ගෙන් දැන ගැනීමටයි.

පුවකා නැවතත් බර කල්පනාවකය.  

ගම්මුන් අප දෙස බලන අයුරු  ගැන  ඇත්තම කියන්නට ඔහුට අවශ්‍ය බව මට ඔහුගේ කුඩා දෙනෙතින් පෙනේ.

" හොඳ නරක මම දන්නේ නෑ .. හැබැයි ඉතින් හැමෝම කතා වෙන්නේ කරුණා අක්කලා ගෙදර ගැන තමයි. "
"ඒක තමයි ...  එයාලා මොනවා හරි කියනවා ඇතිනේ  කරුණා අක්කගේ බෑනලා දෙන්නා ගැන "

මම කල්පනා කලේ අපේ ගමක වුවද මෙවැනි  කඩිනම් සංවර්ධන වැඩ පිළිවෙලක්  සිදුවන්නේ නම්  එය ගම්මුන්ගේ බලවත් අවධානයට යොමු වන බව හොඳින්ම දන්නා නිසාය.

" ඉඩම් කඩම් හදන්නේ දෙන්නම එකතු වෙලාලු නේද ?  "

"දෙන්නගෙන් කොයි එක්කෙනා ඔය ඉඩම් වලට අයිති වාසිකම් කියයිද දන්නෑ.."

" බලමුකෝ කට්ටිය ඉඩම් බෙදා ගන්න  වලිකන හැටි .. "  වගේ කතා  නම් කියනවා ගොඩක් දෙනෙක්.. 

"අපි කරන වැඩේ ගැන හොඳක් කියන්නෙම නැද්ද අප්පා  ? "

මට දැන ගන්නට අවශ්‍ය වුයේ මේවා ආදර්ශයට ගන්න/අගය  කරන එක් අයෙක් හෝ 
 ගමේ සිටීදැයි දැන ගැනීමටයි.

" මෙහෙමයි ඉතින්  ලෙනදොර මහත්තයා හරි ඔයා හරි ගිහිල්ලා කෙලින්ම ඇහුවොත් නම් ඉතින් කියයි හොඳ වැඩ කියලා .

 හැබැයි ඇත්තම කියන්න  මගේ කනට ඇහුනේ නම්  ඔය වගේ කතා තමයි"

"හරි හරි එකෙන් කමක් නෑ.. මිනිස්සු කියන කරන දේවල් වෙනස් කරන්න ලේසි නෑ.. අපිට තියෙනවා වැදගත් දේවල්  කතා කරන්න"

"ඒක නෙවෙයි ... දැන්  ඩිංගිරි බන් ඩේ මාමා මොකද කියන්නේ "

"එයා නිතරම ගමේ හැම තැනම ඇවිදිනවා වගේ පෙනෙනවා අපිට ?"

මා ඇසුවේ ඇත්තටම ඩිංගිරි බන් ඩේ මාමා  පස්ස කැඩුණු කඩියෙක් මෙන් ක්‍රියාශීලි වූ ගතියක් පසුගිය දිනවල මා නිරීක්ෂණය කල බැවිනි.

"ඇත්තම කියන්න එයා තමයි ගොඩක් ඔය දේවල් කතා වන තැන් වල ගැවසෙන්නේ "

"ඒ කියන්නේ මනුස්සයා අපිට විරුද්ධව වැඩ කරනවා ???"

"තරහා ගන්න එපා ටිකක් ඒ වගේ තමයි.. දන්නේ නැද්ද ගම් වල කට්ටිය ඉතින් ? "




ඩිංගිරි බන්ඩේ මාමාගෙන් පසු පියතිලක මාමා වෙත.



මේ අතර ලෙනදොර මල්ලී  එහෙන් මෙහෙන් හූමිටි තබමින් අපේ කතාවට සවන් දෙමින් සිටියි.

මම  ඔහු දෙසට හැරුණෙමි. 
" මල්ලී දැන් මේ ප්‍රේමරත්න කියන්නා වගේ පාර ගන්න වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙයි වගේ "

මම අසල ඇති අනෙක් ඉඩම් වල පිහිටීම  නිම්මිලා නිවසට පාරක් කැපීමේදී  කතා කල යුතු මිනිසුන් ගැන සිතන්නට පටන් ගත්තෙමි.

නිම්මිලා ඉඩමට හරියටම පහළින් තිබෙන්නේ පියතිලක මාමා (කක්කුට්ටා)  ගේ  ඉඩමයි .

 එය එක පැත්තකින් ඩිංගිරි බණ්ඩාගේ ඉඩමටත් අනෙක් පැත්තෙන්  නිම්මිලා ගේ ඉඩමත් පියතිලක මාමාගේ ඉඩමටත් මැදිවූ පර්චස් 10 ක පමණ ඉඩම් කෑල්ල කටත් පහළින් නිම්මිලාගේ කුඹුරටත් මායිම් වී පවතී.

දැනට නිම්මිලා ගමේ ගුරු පාරට ගොඩ වන්නේ පියතිලක මාමලා වත්තේ හරි මැදින් පහළට ගමන් ගන්නා අඩි පාරක් හරහාය. 

මෙසේ සිතමින් ඉන්නා අතර පැවති දැඩි නිහැඩියාව බින්දේ  පුවක් බාස් විසිනි.

"ඒක නෙවෙයි අර පියතිලක අය්යාගේ ඉඩමෙන් යන්න තියෙන පාරටත් මොකක් හරි ආරවුලක් තියෙනවා නේද ? "

ප්‍රශ්නය එල්ල කෙරුනේ මෙතෙක් කල් ගමේ වාසය කල ලෙනදොර මල්ලී වෙතයි. 

"ඔවු .. ඔවු එයා එයාගේ වත්ත මැදින් අපි යන එකට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා නේ .. අම්මා ගෙන් ගෙදරට යන පාර ලොකු කර ගන්න ඉල්ලුවට පස්සේ "

ලෙනදොර පැවසුවේ මා මෙතෙක් දැන නොසිටි කාරණයක් ගැනයි.

"දැන් ඒකට මොකද වෙන්නේ ... කවුද ඒ ගැන කතා කරන්නේ ?"

මට දැන ගන්නට අවශ්‍ය වුයේ .. පියතිලක මාමගේ ඉඩම හරහා අපේ වැඩේට  ප්‍රවිස්ටයක් ලබා ගත හැකිද යන්නයි.

" ඒක දැන් සමත මණ්ඩලේට දාලා තියෙන්නේ.. එයා කියන්නේ වත්තේ අයිනෙන්  අඩිපාරකට සැහෙන්න කොටසක් අපිට දෙනවා කියලා ලු"

ලෙනදොර මා සහ පුවකා දැනුවත් කලේ  කක්කුට්ටාගේ ඉඩම පැත්තෙන් පාරක් ගැනීමේ උත්සාහයක් ඒ වන විටත් ආරම්භ කර තිබු  බවයි. 

" ඒක නෙවෙයි පියතිලක මාමාගෙන් උදව්වක් ගන්න බැරිවෙයිද මේ වැඩේට .. ?

 මිනිහා දේශපාලනය පැත්තෙනුත් අපි වගේ හිතන කෙනෙක් කියලා ආරංචියි ?" 

මම නැවතත්  පුවක් බාස් දෙසට හැරුණෙමි . 

"ඔවු.. ඔවු .. එයත් සීනුවට තමයි කතිරේ ගහනවා කියන්නේ " පුවකා මගේ උපකල්පනය තහවුරු කළේය.

" හැබැයි එයත් ඩිංගිරි බන්ඩා අය්යට එහා .. ඔය ඉඩම් කඩම් ගණුදෙනු වලදී "

"එත් අහලා බලන්න තියෙන්නේ සමහර විට බෑ කියන එකක් නෑ .. මොකද එයාගේ ඉඩමටත් කෙලින්ම පාර එනවනේ  එහෙම දුන්නොත් ?"

පුවකා මා උනන්දු කලේ පියතිලක සමග මේ පිළිබඳව සාකච්චා කිරීම අප හැමෝටම ප්‍රයෝජනවත් විය හැකි බව පෙන්වා දෙමිනි. 

"ඉතින් පියතිලක මාමට විතරක් යැ  ඒ පැත්තෙන් පාර ගත්තොත් ඩිංගිරි බන්ඩේ මාමලාටත් හොඳයිනේ "

ලෙනදොර කතාව  මැදට පැන්නේය .

"ඇයි අර   පී. බී.. ලගේ ඉඩමට අල්ලපු අනිත් ඉඩම එයාලගේ නේ.. "

ලෙනදොර කියන්නේ නිම්මිලා ඉඩමේ අනෙක් පසින් දොළ පහරට යාබදව තිබෙනා ලොකු ඉඩම ගැනයි.

එය පුවක් බාස්  (පී. බී.) ලාගේ කුඩා ඉඩමටද එක පැත්තකින් මායිම් වෙයි.


මම ප්‍රදේශයේ භු විෂමතාවය ගැන තව තවත් සිතන්නට පටන් ගත්තෙමි. 

ඒ නිම්මිලා නිවසට පාරක් තැනීමට ඇති සියළුම මාර්ග අධයනයය කල යුතු බව මට සිතිනු නිසාවෙනි.  




සය කන් මන්ත්‍රණය එදින  අවසානයේ තීරණය වුයේ  පාර හැදීමේ කටයුතු පියතිලක මාමා ගේ වත්ත පැත්තෙන් වත් කලහැකි වේ දැයි සොයා බැලීමටයි.

රාත්‍රී අට හමාර පමණ වන විට පුවක් ගෙන් සමුගත් ලෙනදොරත් මමත් නිවසට ලඟා වීමු.

"අම්මා අර පියතිලක මාමලා ඉඩමෙන් එන පාරේ ප්‍රශ්නේ කවද්ද "සමථ මණ්ඩලයට" ගන්නේ ?"

ලෙනදොර අම්මා ගෙන් ඇසුවේ  පාර ගැන ඇති  අතිශය උනන්දුව හා උද්‍යෝගය පෙන්වමිනි.

"එන ඉරිදා මටයි පියතිලක අය්යාටයි එන්න කියලා තියෙනවා ඒක සමථ කරන්න"

අම්මා පිළිතුරු දුන්නාය.

මගේ සිතට එක් වරම තවත් අදහසක් පහළ විය.

ඒ අම්මා සමග සමථ මණ්ඩල රැස්වීමට ගොස් අපේ පාරේ අදහස එතැනදීම පියතිලක මාමා සමග කතා කිරීමේ අදහසයි.

මම ලෙනදොරට සහ අම්මාට ඒ අදහස ඉදිරිපත් කලෙමි.

" අම්මා අපිටත් බැරිද ඔය සමථ මණ්ඩල රැස්වීමට එන්න.. ? එතකොට අපිට පුළුවන් නේ  පියතිලක මාමා කියන අඩි තුන වෙනුවට අඩි හයක්  පාරට වෙන් කරලා දෙන්න කියන්න "

"ඒක නම් නියම අදහස අය්යා.. අය්යත් අවොත් සමථ මණ්ඩල සභාපති අපේ පැත්තට වාසි වෙන විදිහට කතා කරයි  "

ලෙනදොර මගේ තනතුරු තරාතිරම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට කෙදිනකවත් පසුබට වූයේ නැත.





Sunday, 10 January 2016

සය කන් මන්ත්‍රණය ( මග නැගුම- තුන්වන කොටස )






මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


පුවක් බාස් දෙවන කොටස


මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


ගම නැගුම - පළමු කොටස


ගම නැගුම දෙවන කොටස


ගම නැගුමෙන් මග නැගුමට


මග නැගුම - දෙවන කොටස


මග නැගුම තුන්වැන කොටස 




මග නැගුමේ පළමු යෝජනාව ඩිංගිරි බැන්ඩේ මාමාට ලබාදී දින ගණනක් ගෙවී ගියේය .

ඔහුගෙන් අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ඒ වෙනුවට හැකි සෑම විටම ඩිංගිරි බන්ඩේ මාමා  අපව ( ලෙනදොර සහ මාව ) මග හරින්නට උත්සාහ ගනු පෙනිණි.

.
ඩිංගිරි බන්ඩේ මාමා ගේ නිහැඬියාව මට බලවත් ප්‍රශ්නයකි. මතු පිටින් ඉතා හොඳ සහ කඩිසර ගැමියෙකු වූ ඔහු අප මගහරින්නේ ඇයි දැයි දැන ගැනීමට මට බලවත් උවමනාවක් ඇති විය.

මේ වන විට අපේ පොල් වගා ව්‍යාපාරය හරහා පුවක් බාස් තව තවත් අපට ලංවී තිබිණි.

කොතරම් ලංවී තිබුනේද කිවහොත් මට අවශ්‍ය ගමේ  විස්තර සියල්ලම පාහේ  පුවක් බාස් ගෙන්  ගත හැකි මට්ටමක සම්බන්ධයක් අප අතර වර්ධනය වී තිබුණි.

හොඳම ක්‍රමේ නම් පුවක් බාස් හරහා ඩිංගිරි බැන්ඩේ මාමාගේ අදහස දැන ගැනීමයි .

මා කලින් ඔබට කී පරිදි ඒ කාලේ පුවක් සහ ඩිංගිරි බන්ඩේ මාමා ඒ ගමේ සිටි ගජ මිතුරන් දෙදෙනෙකි.

එක දවසක් හවස් යාමයේ මම ලෙන්දොරත් සමග අළුත බිම් සකසමින් තිබු පොල්වත්තේ  උඩහට ගියෙමි.

වෙලාව හවස හය -හය හමාර පමණ වන්නට ඇත.

මේ වෙලාවට පුවකා අප ඉඩමට එක එල්ලේ පෙනෙන මානයේ ඇති ඔහුගේ නිවසේ සාලයේ හෝ මිදුලේ ගැවසෙමින් සිටි.

නැවුම් වගා බිමේ අප ඇවිළු  ගිණිමැලයක් ළඟ ඇණ තියා ගත්තෙමි.

අතට ගත් ග්ලිරිසිඩියාකෝටුව  වේගයෙන්  ගිණි මැලයේ  අඟුරු සහ අළු අවුස්සයි.

මගේ මනසද මේ අයුරින්ම  ඔබ මොබ දුවන්නේ ඩිංගිරි බන්ඩේ මාමගේ නිහැඬියාව ප්‍රශ්න කරමිනි.

" මල්ලී.. පුවක්ට මේ පැත්තට එන්න ඉඟියක් දෙන්න.. "  ඉල්ලීම ලෙනදොර වෙතයි.

එසනින් දිව යටට ඇඟිලි දෙකක් තබා එල්ල කල විසිල් පහර එක එල්ලේම දුල්මිණි ලා ගෙවල් පැත්තට ලඟා විය.

තත්පර දහයක් පහළොවක් ඇතුලත මිදුලේ සක්මන් කරන පුවකා අප දෙස බලනු දක්නට ලැබුණි.

මේ වෙලාව වන විට පුවකා හන්දියේ බාර් එකෙන් ගමේ කවුරුන් හෝ අරන් දුන් අරක්කු ස්වල්පයකින්ද සන්නද්ධ වී සිටියි.

එබැවින් සාමාන්‍ය වෙලාවකට වඩා වැඩියෙන් ඔහු මා හා ලෙනදොර සමග දොඩමලු වෙයි.

 දෙවන විසිල්  පහරත් සමග ලෙනදොර තමා දෙස බලන පුවකාට අතින්ද  සන්  කළේය.

සුළු මොහොතකින්  පුවකා අප අසලය.

"මේ .. මේ.. මෙහෙන් වාඩි වෙන්න කෝ  ".

ලෙනදොර  පුවක් බාස්ට අප හා සමගම ගිණි මැලය අසල හිඳ ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

" ප්‍රේමරත්න කොහොමද?"  මම කතාව පටන් ගත්තෙමි.

"යාළුවා  එහෙම ලඟදි හම්බ වුනේ නැද්ද ? "

"දොස්තර මහත්තයා අහන්නේ අපේ සුසන්ත ගැනද ? ගනේවත්ත ගැනද ?

 ඒ දෙන්නා නම් හවස හන්දියේදී හම්බ වුනා "

පුවකා කිසි ලැජ්ජාවක් බයක් නැතිව මා හා හරි හරියට කතාවය.

 " අද පොඩ්ඩක්  කාලක්‍රියා  කරලා වගේ නේද ?"

 මම මගේ හිතේ සැකය දුරු කර ගන්නට මෙන් ප්‍රශ්න කලෙමි.

"දන්නැද්ද ඉතින් පල්ලැහැ හන්දියට ගියාම එක එක යාළුවො හම්බ වෙනවා නේ .?"

ඇත්තටම පුවකා ඒ ගමේ කොයි කාගේත් හිතවතෙකි.  

ඔහුට නිම්මිලා ගමේ හැම දෙනාම  දැඩි ආදරයක්  දැක්වුහ.

එකම ප්‍රශ්නය පැන නගින්නේ  හන්දියේ දී සිදුවෙන "කාලක්‍රියාව " එතැනින් නොනැවතී භාග හෝ තුන්කාල දක්වා වැඩි වූ විටයි.

එදාට පුවකා ගේ ඉදිරිපිට ඇති ගලක් උඩට වී මුළු ගමටම ඇසෙන්නට ජාතිය ඇමතීම සිදුකරයි .

ඒ බොහෝවිට ලුණු ඇඹුල් සහිත ශුද්ධ සිංහලද ප්‍රයෝජනයට ගනිමිනි.

ඒවායේ එතරම්ම තේරුමක් නැති යැයි යමෙක් සිතුවද ඇත්තටම ඔහු ජාතිය අමතන්නේ  මත්පැන් නොමැතිව ඔහුට කිව නොහැකි දේවල් ගමට හඬ ගා කියන්නටයි.

කෙසේ වෙතත් එදා ඔහු ඇත්තටම ක්‍රියා කර තිබුනේ කාලක් විය යුතුය.

 වැඩි පුර දොඩමලු වීම හැරෙන්නට වෙන කළබලයක් එදා ඔහුගෙන් දිස්වූයේ නැත.

ඔහු කලාතුරකින් ජාතිය ඇමතුවද ඒ වනවිට එය ලෙනදොරලා ඇතුළු නිම්මිලා පවුලට එතරම් බලපෑමක් ඇති කලේ නැත.

"නෑ. නෑ.. මම ඇහුවේ ඔයාගේ අසල් වැසි යාළුවා.. ඩිංගිරි බන්ඩේ අය්යා .. එයා ගැන.."

"ආ .. එයා නම් අද දවාලෙත් හම්බ වුනා.. මොකෝ දොස්තර මහත්තයට ඩිංගිරි බන්ඩේ අය්යා ගෙන් ඇති වැඩේ ?"

"ඇයි  මෑන් කිව්වේ නැද්ද විස්තරේ ඔයාට..?"

"අපි ගෙදරට පාරක් කපන්න හදන එක ගැන ?"

පුවකා  වේගයෙන් තම  කම්මුල් පුම්බමින් කටේ ඇති බුලත් විට හපයි .

තොල් දෙක මත  ඇඟිලි දෙකක් තබා  "චිරිස්.." යන හඬින් කෙළ පාරක් ගිණි මැලය වෙත යොමු කරයි .

ඔහුගේ සිතද මගේ සිත තරමටම  හෝ ඊටත් වැඩියෙන්  කලබලයකට  පත් වී ඇති සෙයකි.

මම නැවතත් කතා කලෙමි.  " ඩිංගිරි බන්ඩේ මාමා හරි හොඳ මනුස්සයෙක් පාටයි නේද?  මිනිහා අපිට බෑ කියන එකක් නෑ.."..


"..අපි එයාට කිව්වේ  අපිට එයාගේ ගෙදරින් උඩහට පාර දෙන්න  අපි එයා හදපු තැනින් පහලට පාර හදලා දෙන්නම් කියලා .."

"ඒක එයාටයි අපිටයි විතරක් නෙවෙයි කවදා හරි දුල්මිණි ලොකුවුනාම එහෙම ප්‍රේමරත්නලාටත් හොඳයි නේ ? ..

මම කිව්වේ කවදා හරි වාහනයක් එහෙම ගන්න දවසකට? "

මම එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම දැමීමට උත්සාහ කලෙමි.

පුවකාට තව දුරටත් කට වහගෙන සිටිය නොහැක.

 ඔහු නැවතත් බුලත් විට  වේගයෙන් හපමින් කල්පනාවට වැටුනේය.

"චිරිස්... " නැවතත්  බුලත් කෙළ පහරක් ගිණි මැලය සිසාරා වේගයෙන් ඇදේ..

" ම්හු.."  ඒ වැඩේ හරියන්නේ නෑ ... වෙන අතක් බලා ගන්න වෙයි ."

පුවකා අප තිදෙනා අතර පැවති දැඩි නිහඬ තාවය බිඳ දැම්මේය.

"ඇයි මිනිහා මොකද කිව්වේ.?.

"කිව්ව දේන්  වැඩක් නෑ.. දොස්තර මහත්තයාට පාරක් ඕනෑ නම් වෙන අතක් බලා ගන්න වෙයි .. එච්චරයි.. "

පුවකා ස්ථිර සාරවම ප්‍රකාශ කලේ  තව දුරටත් අපේ මග නැගුමේ පළමු යෝජනාව පස්සේ පැන්නීමෙන් වැඩක් නැති බවයි

අද  ඔහුගේ කතා ශයිලිය වෙනදාටත් වඩා මිත්‍ර ශිලිය. අප නොදන්නවා යැයි සිතුවද පුවකා  අපේ මග නැගුමේ වෑයම ගැනද හොඳින් දැනුවත් ව සිටි.

 මා මෙන්ම පුවකාද ඩිංගිරි බන්ඩේ මාමගේ  යෝජනා ප්‍රතික්ෂේප කිරීම ගැන  කණස්සල්ලට පත් වී ඇත්තේ එබැවිණි.

මේ කණස්සලෙන් සහ ඔහුට අප කෙරෙහි ඇති අතිශය හිතවත් කමින් ප්‍රයෝජනයක් ගත යුතුය.

" ප්‍රේමමරත්න මෙහෙමයි වැඩේ.. අපි හිතුවොත් හිතුවා අපි කොහොම හරි මේ වැඩේ කරනවා ... "

"හරි අපි වෙන අතක් බලන්නම් හැබැයි අපිට  ඔයාගේ උදව් ඕනේ දිගටම "

"හරි හරි .. ඒ ගැන සැකයක් තියා ගන්න එපා.. "

"කරුණක්කත් එක්ක කතා කරලා අපි වෙන ප්ලෑනක් ගහනවා ..

 ඔයා ඔය ඩිංගිරි බන්ඩේ කිව්වා වගේ අනෙක් අය කියන දේවල් අපට කියන්න.."

එදා සාකච්චාව හමාර වුයේ ඩිංගිරි බණ්ඩා ළඟ සිටි පුවක් අප දෙසට තරමක් නැඹුරු කර ගෙනයි.

එමෙන්ම එදා සිට හැමදාම  හවසට නිම්මිලා උඩහ වත්තේ  මේ සය කන් මන්ත්‍රණය පැවැත්වුනේ අපේ ගම නැගුම මෙන්ම මග නැගුමද සාර්ථක ලෙස අවසන් කර ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිවය.

දැන් මේ වැඩ පිළිවෙලට ලෙනදොර හා මා මෙන්ම පුවක් බාස්ද  දැඩි උවමනාවක් දක්වන ලකුණු පෙනේ.




ඊළඟ කොටසට මෙතැනින් පිවිසෙන්න 

Friday, 8 January 2016

පාරක් කැපීමට ඉඩමක් සොයා ( මග නැගුම- දෙවන කොටස )



පසුදා උදෑසනම ලෙනදොර  සහ අම්මා සමග අපේ පාරේ ගණුදෙනුව ගැන වැඩි දුරටත් කතා කළෙමු.  

ඩිංගිරි බන්ඩේ මාමා මොන වගේ කෙනෙක්ද යන්න මට දැන ගැනීමට අවශ්‍ය විය. ඔහු  අසල ගමක ඇති පාසැලක වඩු වැඩ ගුරුවරයෙක් ලෙස සේවය කරන බවත් ඔහුගේ බිරිඳද ගුරුවරියක් බවත් මා දැන ගත්තේ එදාය. 

පුවක් බාස් සහ ඩිංගිරි බන්ඩේ මාමා දිනපතා හවස් වරුවේ රබර් වතු වල හෝ අසල ඇති කුඹුරේ වැඩ කරන හැටි දැක තිබුණෙමි.  

එමෙන්ම නිම්මිලා ගෙට පහළ තිබු වෙල් යායේ ඔහු සහ ඔහුගේ පවුලේ අය එකාවන්ව වැඩ කරන අයුරු මගේ නෙතට රසඳුනක් මෙන් විය. 

ඔහු ඉතා කඩිසරය. කළුම කළු ශරීරය  ඉහළ කෙළවරේ තිබුනේ කෙස්ගස් එකක් වත් නැති තට්ට හිසකි.

එතරම් උස මහත මිනිසෙකු නොවූ ඔහු රජයේ පාසැල් ගුරුවරයෙකුට වඩා අපේ ගමේ උක්කු බණ්ඩා මාමා වැනි  නියම  ගැමියෙකුගේ ලක්ෂණ විදහා පෑවේය.  

ඩිංගිරි බන්ඩේ මාමාට තව සහෝදරයින් දෙදෙනෙකි . ඔවුන් දෙදෙනාම රජයේ කාර්යාල වල ඉහල නිලතල දැරූ අය වුහ. 

ඔහු මෙන්ම රජයේ සේවකයන් වූ ඔහුගේ සහෝදරයන් දෙදෙනාද හොඳ ගොවි මහතුන් වුහ. 

සොහොයුරන් තිදෙනා සහ ඔවුන්ගේ බිරින්දෑ වරු එකතු වී නිම්මිලගේ ගෙට පහල තිබු වෙලේ ගොයම් කපන හැටි දකින මට මේ මාමලා තිදෙනා  ගැන බලවත් ආදරයක් ඇති වූ බව නොකියාම බැරිය. 

මම නිම්මි සමග මේ පාරේ පයින් යද්දී මේ තිදෙනා ම වතු කුඹුරු වල වැඩ කරන අයුරු දැක ඔවුන් ප්‍රශංසාවට ලක් කල වාර ගණන අප්‍රමාණය.

ඇත්ත වශයෙන්ම ඩිංගිරි බණ්ඩේ මාමා ගැන  මගේ හිතේ ඇඳි තිබුනේ ඉතා පැහැපත් චිත්‍රයකි.


මග නැගුම යෝජනාව ඩිංගිරි බංඩේ  මාමා වෙත 




එදා උදේ පාන්දර අපට කිරි තේ කෝප්පය බැගින් සදා දුන්නේ නිම්මි විසිනි.  

අනතුරුව නිම්මිලා අම්මා ඉස්සර කර ගත් ලෙනදොරත් මමත් ඩිංගිරි බණ්ඩේ මාමලා ගෙවල් පැත්තට පල්ලම් බැස්සෙමු.

නිම්මිලා නිවසත් ඔහුගේ නිවසත් අතර දුර මීටර් දෙසීයක් දෙසිය පනහක් පමණ විය. 

මාමා පාර දෙන්න කැමති වුව හොත් නිම්මිලා ගෙදරට වාහනයක් ගේන එක  දින දෙක තුනකින් කල හැකි තරම් පහසු වැඩක් විය.

කක්කුට්ටා ගේ වත්ත මැදින් වැටි තිබු අඩි පාරෙන් ගිය අපි විනාඩියක් දෙකක් යන්නට පෙර ඔහුගේ දොරකඩට ලඟා වීමු.

ඒ යන අතර තුර ලෙනදොරත් මමත්  කතා කල යුතු දේවල් සාකච්චා කළෙමු.  

ඒ අතර සාකච්චා වූ තවත් වැදගත් කරුණක් වුයේ මාමා කැමති වුව හොත් අපේ වැඩේ කෙතරම් පහසුවෙන් නිම කල හැකිද යන්නයි.

මේ අතර මා තනිවම කල්පනා කල දෙයක් විය. 

"නිම්මි නෙදර්ලන්තයේ මා සමග විඳි දුක් ගැහැට වලට හරියන්නට   ඇගේ නිවසට යන පාර වෙනුවෙන් ලක්ෂ පහක් වුවත්  වියදම්  වුනාට කමක් නැහැ.."  

ඒ මගේ පාර වෙනුවෙන් පැන නැගුණු අදහසයි. 

"මල්ලී .. මල්ලී .. ගෙදර කවුද? ගෙදර කවුද ? "  ඒ නිම්මිලා අම්මාගේ  කට හඬයි.

" ආ .. මම මේ කවුද බැලුවා උදේ පාන්දරම.. මේ  අපේ කරුණක්කයි  පුතාලා දෙන්නයි නේ .."

"මොකෝ මේ පැත්තේ ? "

ඔහු අප තිදෙනාට ගෙට එන්න යැයි ආරාධනා කළා දැයි මට මතක නැත.  

ගෙදර දොරකඩ සන්ෂෙඩ් එකේ කුලුණකට හේත්තු වී ඔහු  අප හා කතා කල බව මාගේ මතකයයි.


"නෑ .. මල්ලී මේ පුතාලා අපේ ගෙදරට යන පාර හදා ගනිමු කියනවා "  නිම්මිලා අම්මා ලෙනදොරටත් මටත් කතාවට ප්‍රවිෂ්ටයක් ලබා දුන්නාය.

මාත් ලෙනදොරත් සන්ෂෙඩ් එකේ සිට පහලට දිවෙන තාර දමා සකස් කල  පාර දෙස බැලුවෙමු.

" ෂා .. මාමා ගෙදරටම පාර ෂෝක් එකට හදා ගෙන නේ .." 

"කියක් ගියාද මේ  ටික හදන්න ?"

මම කතාව පටන් ගත්තෙමි.

මෙයින් මා අදහස් කලේ ඩිංගිරි බන්ඩේ මාමා ලස්සනට තාර දමා සකස් කර තිබු  අඩි  එකසිය පණහක් පමණ  පාර කොටසයි.

එය වැටි තිබුනේ ඔහුගේ  ඉඩමේ අයිනෙන් නිම්මිලා අම්මාට අයිති කුඹුරු කෑල්ලට ඉහලින් තිබු පස් කණ්ඩිය  දිගේය. 

ඔහුත් බොහෝ ගම් වැසියන් මෙන් තම ඉඩම ඇතුලත වූ පාර කොටස බත් දාගෙන කන්න පුළුවන් තරමට පිරිසිදුව සකස් කර ගෙන තිබේ.

එහෙත් ඉඩම අවසානයේ ඇති නිම්මිලා ගේ අම්මා සහ ඔහුටත් පොදුවේ අයිති කුඹුරු කෑල්ලේ  අයිනේ ඇති පාර කොටස  මඩ වලවල් වලිනි පිරුණු එකකි.

මල්දෙණියේ  අපේ ගෙදරට යන පාර වාගේම මේ ගමෙත් පොදු පාර කොටස ගන්නට දෙයක් නැත.

 එහෙත් පොදු පාරෙන් පැන නැගී තම තම නිවාස වලට යන කොටස් ඉතා පිළිවෙලට සකස් කර ගෙන තිබෙණු පෙනේ. 

" ඕකට  මට ලක්ෂ එක හමාරක් විතර ගියා පුතා "  ඔහු ආඩම්බරයෙන් උත්තර දුන්නේය.

"එකනේ .. මාමා ත්‍රි වීල් එක ගනිද්දීද මේක හැදුවේ " ඒ පැනය ලෙනදොර ගෙනි.

"නෑ.. නෑ .. මම ත්‍රී වීල් එක ගන්න ඉස්ස්ලෙල්ලා පාර හදා ගත්තා"

මට පෙනෙන හැටියට  ඩිංගිරි බන්ඩේ මාමා වැඩ කරන්නේද මම ලෙනදොරලාට කියා දෙන්නට හැදු ක්‍රමයටමය. 

 මුලික සුදුසුකම් සපුරාගෙන ගෙදරට රෝද තුනක් හෝ හතරක් ගැනීම ඒ ක්‍රමයයි. 

නිම්මිලා අම්මලාට මෙන් නොව ඔහුට ඔහුගේ ඉඩම් කඩම් වලින්ද හොඳ අදායමක් ලැබේ.

මගේ ගම සහ මග නැගුමේ ව්‍යායාමය සාර්ථක වුවහොත් ලෙනදොරලාටද මෙවැනිම දියුණුවක් ලබා ගත හැකිය.

"ඒක නෙවෙයි  අය්යා.. අපි ආපු කාරණේ කියමු නේද ? " ලෙනදොරගේ හඬින් මම සිහින ලොවින් මිදී පියවී ලොවට පැමිණියෙමි.

" මේකයි මාමා අපි අපේ ගෙදරටත් පාර හදන්න යන්නේ .. පහළ පොදු පාරේ ඉඳලා පුවක් බාස් ලා ගෙවල් පැත්තෙන් උඩට පාර හදන්න ගියොත් අපිට ලක්ෂ තුන හතරක් යනවා."

"ඊට වඩා අපට ලේසියි මාමලා ඉඩමෙන් පාර ගන්න එක. "

"අපි කැමතියි මාමට යෝජනාවක් කරන්න" . 

"මාමා අපිට මෙතැනින් එහාට පාර දික්කර ගන්න ඉඩ දෙන්න  එහෙම දුන්නොත් අපි තනියෙන් පාර ගන්න යන සල්ලි වියදම් කරලා මාමාගේ ඉඩම ලඟට එනකන් පොදු පාර කොන්ක්‍රිට් කරලා දෙන්නම් " 

"එතකොට අපි දෙගොල්ලන්ටත්  ගමේ අනිත් අයටත් හැමෝටම වාසියක් නේ වෙන්නේ "

මම මට සධාරණ යැයි සිතුණු ආකාරයේ යෝජනාවක්  ඔහු හමුවේ තැබුවෙමි.

"එහෙම නැත්නම් අපි මාමාට ගිය සම්පුර්ණ වියදම ලක්ෂ එක හමාරම මාමාට දීලා ඉතිරි ටිකෙන් පොදු පාර හදන්නත් කැමතියි. "

ලෙනදොර , අම්මා  මෙන්ම ඩිංගිරි බන්ඩේ මාමා ද කිසි හා හුවක් නැත. 

මම කතා කරන්නේ ලක්ෂ 4 ක් හෝ පහක් ගැනය. ඒ මම අනුමාණ කල හැටියට පාරට යන වියදමයි.

ඩිංගිරි බන්ඩේ  මාමා යහපත් පිළිතුරක් දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වූයෙමි.

"අය්යා මෙච්චර ගාණක්  මේකට යට කරයිද ?" ලෙනදොර විපිළිසර වනවා ඇත.  එහෙත් මම කතා කලේ ඇත්ත ගණන් ය.

ඩිංගිරි බන්ඩේ මාමා හා.. කිව්වොත් හෙටම වැඩේට බහින්න මම සුදානම්ය.

කරන්නට ඇත්තේ Sparebanken Vest  එකේ තියෙන නිම්මිගේත් මගෙත් නෙදර්ලන්ත  සල්ලි  ( ක්‍රෝනර් ටිකක් ) ලංකාවට අදින එක පමණි.

මාමාගෙන් එක එල්ලේ පිළිතුරක් ලැබුනේ නැත.

"හරි මාමා මේ ගැන හිතලා බලන්නකෝ එහෙනම් .. අපි ගිහිල්ලා එන්නම් මාමා "

ඩිංගිරි බන්ඩේ මාමා ට හිතන්නට ඉඩ දී අපි එතැනින් පිටත් වීමු.



මෙතැනින් පිවිසෙන්න පුළුවන් ඊළඟ කොටසට 

Wednesday, 6 January 2016

ගම නැගුමෙන් මග නැගුමට




පසුගිය කලාපයෙන්.


මිස්ට පෝල්  ගේ හමුවෙන් පසු නිම්මිලා ගෙදරවත්ත  වගාවට සූදානම් කරමින් සිටි ලෙනදොරටත් මටත් තවත් වත්තකට ඔට්ටු වෙන්නට සිදුවිය.

ඒ "අඹ ගහමුල හේන " නම් අක්කර හතර -පහක්  පමණ විශාල ඉඩමයි.

පොල් මහත්තයා ඒ ඉඩ මටත් පැල ලබා දෙන්න එකඟ වුයේ ලෙනදොර සහ මම ගෙදර ඉඩම සකස් කර තිබු සිරියාව දැකීමෙන් පසුවයි.

අපි අඹ ගහ මුල හේනටත් අත තියන්න යන බව නිම්මිලා අම්මා සහ නංගි සමග සාකච්චා කලේ  රාත්‍රී ආහාරයෙන් පසු කෙරෙනඅල්ලාප සල්ලපයේදීය.

"පොල් මහත්තයා අඹ ගහමුල හේනටත් පොල් පැල දෙනවා කිව්වා . අපි එකත් එළි කරමුද ?"  මම කතාව ආරම්භ කලෙමි.

" පුතේ ඔය ඉඩම විකුණලා වාහනයක් වත් ගමු කියලයි මම නම් කියන්නේ " නිම්මිලා අම්මා  මගේ යෝජනාවට වැඩි කැමැත්තක් නොදක්වමින් පැවසුවාය.


"ඔවු අය්යේ අපිට වෑන් එකක් වත් ගන්න තිබුණා ඔය ඉඩම විකුණුවා නම් " අමරා නංගිත් අම්මාගේ යෝජනාවට එකතු වුවාය.

"වෑන් ගන්න ඉස්සෙල්ලා පාර හදා ගන්න එපැයි . ඉස්සෙල්ලා පාර හදාගන්න තියෙන්නේ.."

ලෙනදොර තරමක් මගේ පැත්තට සමීප අදහසක් ඉදිරිපත් කළේය.

මේ සාකච්චාවේ අවසාන නිගමනයට එළැඹෙන්නේ මගේ අදහස කුමක්ද යන්න මතයි.

ඒ අන්කිසිවක් නිසා නොව වැඩේට යන මුළු වියදමම පියවෙන්නේ මගේ අතින් වීමයි.

"එහෙම නෙවෙයි .. අපි මේක ටිකක් කල්පනා කරලා බලමුකෝ.. "

"වාහනයක් ගත්තොත් ඒක පවත්වා ගෙන යන්න මුදල් ඕන වෙනවා. වාහන කියන්නේ සල්ලි එන ඒවා නෙවෙයි වියදම් වෙන ඒවානේ. "

"අපි පොල් හදලා ඒවගෙන් අදායමක් එන කොට වාහනයක් ගන්න එක තමයි හොඳම වැඩේ."

"හොඳට පොල් හරි ගියොත් අපි ගානෙම  ඔයාලට වහනයක් අරන් දුන්නහැකි."

මම පොල් හදලා ඉවර වෙලා වාහනයක් ගැනීමේ ආදීනව පැහැදිලි කලෙමි.

මග නැගුම යෝජනාව 


















මේ අතර ලෙනදොරගේ අදහස ගැනත් යමක් පැවසිය යුතුයයි සිතුවෙමි.

ඔහු ගම නැගුමේ වැඩ සටහනේ මගේ පැත්තේ ඉන්න එකම සහකරුවාය.

ඔහුගේ හිත සතුටින් තැබීම මේ වැඩසටහනේ සාර්ථකත්වයට ඉතාමත්  අත්‍යවශ්‍ය  කාරණයකි.

"ඒක නෙවෙයි මල්ලී කියපු කතාව  වැදගත් එකක් .

පොල් හදන අතරේම ගෙදරට එන පාරත් හැදුවා නම් හොඳයි "

"එත් කොහොමද පාර හදන්නේ .. පුවක් ලා ගේ ලඟට එනකන්ම වෙල නේ තියෙන්නේ ".

මම පිටගම්කාරයෙක් හැටියට මට පෙනුන දේ පැහැදිලි කලෙමි.

"වෙල පුරවන්න පුළුවන් ඒකෙන් තුනෙන් එකක් අපේ අම්මාට අයිතියි නේ.. නේද අම්මා ? "

අමරා සාකච්චාවට එකතු වුවාය.

" ඔව් .. ඔව් .. ඕක අයිති මටයි, ඩිංගිරි බන්ඩේ මල්ලිටයි  අර පල්ලැහැ ඉන්න සුගතේ මල්ලිටයි නේ "

අම්මා අමරා ගේ  යෝජනාවට වැඩි අකමැත්තක් නැති පාටය.

" අර ඩිංගිරි බන්ඩේ මාමලා ගෙදරටම පාර තියෙනව නේද ? එයාල ගෙදරින් මෙහාට පාරක් ඉල්ලා ගත්තා නම් වෙල අහු වෙන්නේ නෑ "

ලෙනදොර ගමේ වාසය කිරීමෙන් ලද පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන තිබේ.

"හැබැයි වෙල පැත්තෙන් ආවත්  . ඩිංගිරි බන්ඩේ  මාමලා දිහායින් ආවත් කක්කුට්ටා ගේ වත්තෙන් එන්න වෙනවා අන්තිමේට "

නිම්මි පැවසුවේ මේ වැඩේට කක්කුට්ටා ගෙන් නම් ඉඩක් නොලැබෙනු ඇති බවයි .

මේ අතර මම ඉතා සාවධානයෙන් කරුණු කාරනා පැහැදිලි කර ගත්තෙමි.

මේ කාර්යයට ඩිංගිරි බන්ඩේ  මාමා නැතුවම බැරි බවත් සමහර විට ජයතිලක මාමා මෙයට විරුද්ධ විය හැකි බවත් මට වැදගත් වූ කාරණා දෙකකි.


මේ සාකච්චාව අතර තුර මගේ කපටි සිතට තවත්වැදගත්  යමක් පැහැදිලි විය.

ඒ පොල් වගාවට මෙන් නොව පාර හදන වැඩේට නම්  නිම්මිලා ගේ අම්මාගේ සිට බන්ටියා දක්වා වූ සියළුම සාමාජිකයෝ එක පයින්ම  කැමති බවයි.

 . දැනටමත් අම්මා සහ අමරා තමන්ට වැඩ කරන අයට කෑම හැදීම වැනි දේවල් කර ගන්න අමාරු බව හඟවා තිබේ.

මාලක බලා ගැනීමට තිබීම ඔවුන්ට තිබු ලොකුම  රාජකාරියයි .

අමරා සහ අම්මා විරසක කර නොගෙන මේ වැඩේ කල යුතුය.

ඒ  නිසා ඔවුන් දෙදෙනාම කැමති දේ වූ පාර හැදීම ඉක්මනින්ම ආරම්භ කල යුතුය.

හොඳම ක්‍රමේ නම් පොල් වගාව යන අතරේ පාරේ වැඩෙත් ආරම්භ කිරීමයි

ගෙදරට පාර හැදෙන අතරේ කට්ටියගෙන් ලොකු විරෝධයක් නොමැතිව  අපේ පොල් වගාවත් කර ගැනීමට එයින් ඉඩ කඩ සැලසෙනු ඇත.

"හරි හරි අපි මෙහෙම කරමු .  ඉස්සෙල්ලාම ඩිංගිරි බන්ඩේ  මාමා ගෙන් අහලා බලමු ඒ පැත්තෙන් පාර දෙන්න පුලුවන්ද කියලා.  "

"ඊට පස්සේ කක්කුට්ටට කතා කරමු".

"අම්මාට පුළුවන් නේ ඩිංගිරි බන්ඩේ  මාමාට කතා කරන්න. අපිදෙන්නත් අම්මා එක්ක යමු මල්ලී ".

යෝජනාව සම්මත විය . පසුදා පාන්දරම ඩිංගිරි බන්ඩේ  මාමා හමුවී කතා කිරීමෙන් පාරේ වැඩට අත ගසන්නට තීරණය කළෙමු.

ඊලග කොටසට ...


Friday, 1 January 2016

සුභ නව වසරක් වේවා !!!



අපේ බ්ලොගයේ  සැරි සරණ හැමෝටම සුභ නව වසරක් වේවා කිව්වා ඔන්න ...

අද දැන ගන්න ලැබුනා මගේ පරණ බ්ලොග් එක ( මා බාල කාලේ ) බ්ලොග් රෝල්ට දාගෙන හිටිය අයට අලුත් බ්ලොග් පොස්ට් අප්ඩේට් වෙන්නේ නෑ කියල.

මගේ අලුත් බ්ලොග් ලිපිනය

http://helmalu.blogspot.com.au


මා බාල කාලේ  එකතු කරගෙන හිටිය අය මේ  ලිපිනය බ්ලොග් රෝලට දාගන්නවද  කරුණා කරලා   ???