Follow by Email

Saturday, 31 October 2015

මා ලියු ප්‍රථම නිසදැස

අපි එතකොට සිටියේ අරලගංවිල මහා විද්‍යාලයේ 13  සී  පංතියේය.  උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියා තිබු කාලයකි.
පාසලේදි මෙන්ම  සමන් අය්යාගේ පංතියේදී නිතර හමුවන හිතවතෙකි  නාරද අමරසිංහ. නාරද ඒ කාලේ  79 වැලිකන්ද බසයේ ගමන් කල ප්‍රමුඛ සාමාජිකයෙකි.

දිනක් සමන් අය්යාගේ පංතියේ දී මාවෙත  පැමිණි නාරද.  " මචං කිටී.. මම උඹ හම්බවෙනකන් හිටියේ"

"ඇයි මචං මොකුත් ප්‍රශ්නයක් ද ?" මම ඇසුවේ නාරදයා ඒ  කාලේ මට එතරම් අවවාද දුන් කෙනක් නොවූ බැවිනි.

"මචං .. උඹ ඔයිට වඩා හොඳට ලියන්න පුළුවන් එකෙක්..  හොඳට හිතලා බලලා සමාජයට යමක් දෙන්න පුළුවන් දෙයක් ලියපන් බං" යැයි නාරද මට එක්වරම පැවසීය.

ටිකක් කල්පනා කර බැලුවෙමි. මොකක්ද  මම ලියපු හරි නැති දේ... මා කල වැරදි යැයි කිවහැකි  කිසිවක් මතකයට නොනැගේ.

"මොකක්ද මචං මම ලියපු හරි නැති එක ? "  බැරිම තැන නාරද ගෙන් ආපසු ඇසුවේ ඔහු අකමැති ලියවිල්ල ඔහුට අමතක නොවන නිසයි.

" මොනාද බන් උඹ ලියන බොලඳ කවි..? " ඔයිට වඩා හොඳ දෙයක් ලියපන්කෝ.."

නාරදයා කියාගෙන ගියේය.

ඒ වන විට ජයංගනී නංගි  සහ මගේ හාද කම් ගැන නාරද හාන්කවිසියක්  වත් දැනගැන හිටියේ නැත.

ඔහු මේ කියන්නේ මම " අපේ නංගි " වෙනුවෙන් ලියු පළමු නිසදැස් කාව්‍යය  " රැජින " පත්තරේ පලවී තිබු බව දැකීමෙන් පසුවයි.

මට මතක හැටියට එය ලියවී තිබුනේ මේ අයුරිණි.

" සඳේ  තනියට පුංචි තරුවක්
 ඈත  අහසේ පායලා...

හදේ  අඳුරට  සහන් එළියක්
 පහන් වැට සේ දැල්විලා...

 මා  පුබුදු කල පුංචි තරුවේ
 හද අහස් තල හිනැහිලා...

ඉතින් ඉන්නම් සදා මේ ලෙස

ඔබේ වත දැක සැනසිලා..."

නාරදට කේන්ති ගොස් තිබුනේ  1989-90 වකවානුවේ  උසස් පෙළ සිසුන්  වූ අපට මෙවැනි නිර්මාණ  කරනවාට වඩා කල හැකිව තිබු නිර්මාණ ගැන සිහි වීමෙන් විය යුතුය.

" හරි මචං .. මේක පලවෙනි එකනේ.. " මම ඇඟ බේරාගත්තේ  කවියේ නිමිත්ත කුමක්දැයි  නාරදයට  පැවසිමකින් තොරවයි.

කෙසේ වෙතත් මා එතෙක් මෙතෙක් ලියු එකම නිසදැස එයයි.

එයින් පසු කවි. නිසදැස්  හෝ එවැනි කිසිවක් නොලියන්නට මා සිතුවේ ඇයිදැයි  අදටත් හිතා ගත නොහැකිය.








Friday, 30 October 2015

බෙස්ට් සිලෙක්ෂන් ( හොඳම තෝරාගැනීම) - දෙවන කොටස


මේ වනවිට  අසුනමය අවුරුද්දේ අග භාගය  ආරම්භ වී තිබිණි. රටේ කලබල ස්වභාවය  එන්න එන්නම වැඩි වෙමින් තිබූ කාලයකි ඒ.

මේ අතර අපි තුන්දෙනා ( චමින්ද , සුරාජ් සහ මම ) අපේ දින චර්යාව  පුරුදු පරිදි පවත්වා ගත්තෙමු.

ඉන් ප්‍රධාන තැනක් ගත්තේ   උදේ පාන්දර පාසැල් බසයෙන් ( 314, බෙලගන්වැව)   අරලගන්විල දක්වා ගිය ගමනයි .

මෙහිදී අපේ ප්‍රධානම අරමුණ වුයේ සුජාතා එකේ සහ අනෙක් බාලිකාවට ගිය  අපේ හිතවතියන්  දැකගනිමයි.

ඒ කාලේ යලට මහට ඉස්කෝලේ ගිය අපි සමහරක් දිනවල පාසැලට ගොස්  අධ්‍යාපන කටයුතු වල යෙදුනෙමු.

තවත් දිනෙක සුගත්ලා ගේ කට්ටියත්  සමග රජයේ මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණ කළෙමු.

ඒ මොනවා කලත් මේ කාලයේ වැඩි පුර තිබුනේ අරලගන්විලට  ගොස් හැරෙන තැපෑලෙන්  ගෙද ර ආ දවස්ය.

එසේ ආපසු එන අප හවස පංති යනතෙක් හෝ දවස ඉවර වන තෙක් හෝ   කලේ චමින්දලා ගෙදරට වී පාඩම් කිරීමයි.

චමින්දලා ගෙදර උසස් පෙළ සාකච්චා

ඒ දවස්වල මම මගේ කාමරේ පාඩම් කරන්නට ඇඳ ඉස්සරහින් කළු ලැල්ලක් ගසා තිබුණා මතකය. 

ඒ කළු ලෑල්ලත් ඉස්කෝලේ ඒවා වාගේම බැටරි කූඩු, කෙසෙල් මුවකින් ගත් කහට ආදිය යොදා කළු කරගත් එකකි. 

මේ කළු ලෑල්ලේ  දින පතා එකිනෙකට වෙනස රසායන හා භවුතික විද්‍යා සමීකරණ ලියා තැබුවේ ඉබේම කට පාඩම් වන්නටය..

එපමනක් නොව සිවිලිමේ  හරියටම මගේ ඇඳ උඩින් වූ කොටසේද සමීකරණ ලියා තැබුවා මතකය.

මේ වා දැක තිබු  චමින්ද ඔවුන්ගේ ගෙදරද කළු ලැල්ලක් සකස් කළේ ඔහුට පාඩම් කරන්නටය.

එම කළු ලෑල්ල සවි කර තිබුනේ ඔවුන්ගේ ගෙදර ඉස්සරහ බිත්තියේ කොනකයි.

සමහර දිනවල යහළුවන් තිදෙනා පාඩම් කරන්නට සුදානම් වූ විට චමින්දගේ මේ කළු ලෑල්ල  යොදා ගන්නා අවස්ථාද තිබේ.

එවිට එක් අයෙක් උගන්වන අතර අනෙක් දෙදෙනා ඔහු කියා දෙන දෙය අවධානයෙන් අසා සිටිය යුතුය.

එහෙත් විශේෂයෙන් බණ්ඩාත්, සමහර විට චමින්දත් මමත් උගන්වන කෙනාට විහිළු කරමින් බාධා  කරන්නට පුරුදු වී සිටියේය.

" අද පාඩම  මඩු ශාකය ගැන" චමින්ද කළු ලෑල්ල අසල සිට කියයි.  ඉදිරියේ සිටින බණ්ඩා 

" මඩු  ද .. එහෙනම් බඩු තමයි  " කියමින් චමින්ද විහිළුවකට ගන්නට සැර සෙයි.

"හිටපන් මුගේ කට වහන්න.." කියමින් චමින්ද  " ගල් බනිස්" කියා කළු ලෑල්ලේ  කොනක ලියයි.

"ඔන්න උඹේ නංගිගේ නම කළු ලෑල්ලේ ලිව්වා... දැන් වත් කට වහගෙන කියන දේ අහගෙන හිටපන්."

ඇයි උගේ නංගිගේ නම විතරක්  කියා චෝක් කෑල්ල  ගන්නා මා ලෑල්ලේ අනෙක් කොනේ " පුස් බනිස්" කියා ලියන්නෙමි.

ටික වෙලාවක් මඩු ශාකයේ විද්‍යාත්මක පැත්ත කථා කරන අපි නැවතත් නංගිලා ගැන සාකච්ඡාවට යන්නෙමු.

"මචං කිටී.  උඹට මොකද බන් ඔච්චරම අර නංගිලාගේ පවුල ගැන තියෙන කැක්කුම.."
චමින්ද අසයි.

"මේකාට ඒ නංගි නෙවෙයි ගෙදර වෙන කවුරු හරි කොහේදී හරි දැක්කත් මාර සතුටක් නේ එන්නේ"

සුරාජ් හු මිටි තබයි.

මගේ සගයින් දෙදෙනා මේ කියන්නේ  " අපේ නංගි" හෙවත් ජයංගනී සහ ඇයගේ පවුලේ අයට මගේ තිබු ලැදියාව ගැනයි.

මේ වන විට බනිස් , පුස් බනිස් යන අය අතරට "අපේ නංගි" පැමිණ ගත වී තිබුනේ කෙටි කාලයකි.

මේ අතර සුරාජ් "ඇයි අපි දෙන්නගේ  අය විතරක්... කිටියගේ කෑල්ලත් මෙතැන ඉන්න එපැයි බං "

කියමින්  " අපේ නංගි "  කියා කළු ලෑල්ලේ පහලින් ලියයි.

මට ගුරුවරයා චරිතය ලැබුණු පසු කරන්නේද  තව තවත් මගේ සගයින් ඇවිස්සිමයි.

විෂය කරුණු ලෑල්ලේ ලියන අතර  අත පසුවීමකින් මෙන් " ගල් බනිස් "  ගල් බවට පත් කෙරුවෙමි.

මෙයින් ඇවිස්සෙන සුරාජ් ඇවිත්  " අපේ නංගි " මකා දමයි.  නැවතත් සාකච්චාව ඉදිරියට ඇදෙයි.

මම ආයිත්  චමින්ද අවුස්සනෙමි . ඒ  ඔහුගේ නංගී  "පුස් බනිස්" ගැන ලියු දෙයක් මකා දැමීමෙනි.

බෙස්ට් සිලෙක්ෂන් එක සහ පොඩි බණ්ඩාර  මාමලා නැන්දා

ඒ වන විට වයස අවුරුදු 19 ක් වුවද  කෙල්ලෙක් හා හාද වූ පසු එය පවත්වාගෙන  යාම  කරන්නේ කෙසේදැයි මට හරි වැටහීමක් තිබුනේ නැත.

නිතර හමුවීම  හමුවී  ඔහේ කතා කර කර සිටිම  වැනි කවුරුත් කල දේවල් කරමින් පසුවුයෙමි..

මේ වන විට "අපේ නංගි ට " යන්තම් අවුරුදු පහළොවක් වුවා පමණි.    එසේ වුවද අළුත් පෙම්වතා වූ මට ඇය වෙත ඇති මගේ  පැවති   ආදරය හා සෙනෙහස පවසන්නට අවශ්‍ය විය.

ලියුම් ලිවීම, පාසැල් බසයේ පිටුපසම ආසනයට ඉදිරි අසුනේ වාඩිවී කතා කර කර යෑම. සති අන්ත වල  පංති යෑමට පෙර රේල් පාර දිගේ  ගමන් කිරීම ආදිය මා ඒ වෙනුවෙන් තෝරා ගත් ක්‍රියා මාර්ග වලින්  සමහරකි.

එහෙත් පෙම් හසුනකින් හැරෙන්නට අනෙක් ක්‍රම දෙකෙන්ම කෙරුනේ මගේ ඇත්ත නංගිලා , යාළුවෝ ආදීන් ගැන වල් පල්  කථා කරමින් එකිනෙකා  ලඟට වී සිටීම පමණි.

 හිතේ තිබෙන දේ බොහෝය.   ඒවා  ඇය වෙත කියන්නට සුදුසු ක්‍රමයක්  සිතමින් ලත වු අවස්ථාද  බොහෝය..

අරලගංවිල නගරයේ තිබු "ගිහාන්ස් රෙකෝඩ් බාර්" එක සිහියට නැගුනේ ඔය අතරයි.




ඒ කාලේ ගිහාන්ස් එකේ හෙවත් අරලගංවිල " සිංදු කඩේ "  සේවය කලේ අපේ ගමේම යුවතියකි.

ඒ මල්දෙණියේ ඩිංගිරි බණ්ඩා මාමගේ දුවක්  වූ ප්‍රේමා අක්කාය.

ප්‍රේමා අක්කාට සිංදු ලිස්ට් එකක් ලියා දී TDK 60 කැසට් පටයක ඒවා පටිගත කර ගත්තෙමි.

කැසට් එක ආරම්භ වන්නේ  නන්දා මාලනීගේ " ඔබයි රම්‍ය  සඳ කිරණ " ගීතයෙනි.


ප්‍රේමා අක්කාට " මිදී යුෂ යැයි  රැවටී හලා හල විෂ .." කොටස ඉවත් කරන්නට අමතක වී තිබිණි. ඒක යම් තරමකට  මගේ අදහස අවුල් කරන්නක්    වුවත්  සිංදුව එසේම තිබෙන්නට හැරියෙමි.

ඊළඟට එන්නේ.. සෝමතිලක ජයමහගේ  " නුගසේවනක් සේ ඔබට.." ගීතයයි.



මේ ගීත එකතුවට බොහෝ ගායකයින්ගේ ගීත දෙක බැගින් තෝරා ගත්බව මතකය. එසේ තේරු සෝමතිලක ජයමහගේ අනෙක් ගීය  වුයේ ඔබ මලක් වෙලා... ගීතයයි


 

අපේ ප්‍රියතම ගායකයා මිල්ටන් ගේ ගීත දෙකක් සහ  ෂර්ලි ව්‍යිජයන්ත ගේ ගීත දෙකක්ද 
කැසට් එකට ඇතුල් කලෙමි. 
කැසට් පටයේ "බී"   හෙවත් අනෙක් පැත්තේ මුලටම තිබුනේ මිල්ටන් ගේ සුන්දරත්වයෙන් පිරී... ගීතයයි.





මිල්ටන්ගේ  චමින්දත් මමත් දෙදෙනාම ප්‍රිය කල "සිහිනෙන් ඔබ මට"  ගීතය මගේ  මේ කැසට් පටයට  නොගෙන ඉන්නේ කෙසේද?  එයත් මෙම  ගීත එකතුවට  ඇතුලත් කලෙමි.



අබේ වර්ධන බාලසුරියගේ  "රැලකින් තනිවී වනමැද  සරනා ... " මෙහි තිබු තවත් අරුත්බර  ගීතයකි.

මට මතක හැටියට මේ ගීතය සමන්තත් ඔහුගේ "බෙස්ට් සිලෙක්ෂන්" එකකට එකතු කර ගෙන තිබු එකකි.





මෙහි ගීත 12 ක්  තිබුණ අතර වික්ටර් රත්නායකගේ  ගීත දෙකක්ද  එයට  ඇතුලත් විය.

ඉන් පලමු ගීතය  " සීතල පිණි බිංදු බිංදු.." නම් වූ අතර අනෙක් ගීතය  බණ්ඩාර කේ . විජේතුංග ලියු   " සඟවා ගනු මැන ඔබේ රුව.. "  ගීතයයි.

මේ ගීත අඩංගු TDK කැසට් පටය  මම මුලින්ම " අපේ නංගිට"  දුන්නේ  " මේක අහලා මට පස්සේ ගෙනත් දෙන්නකෝ " කියමිනි.

ඇය සතියක් දෙකක් ගතවූ පසු  කැසට් එක මට නැවත ලබා දුන්නේ ය. එතැන් පටන් දිනපතා අපේ ගෙදර කැසට් යන්ත්‍රයේ  උපරිම ශබ්දයෙන් මේ ගීත වාදනය විය.
එමෙන්ම තුන්දෙනාගේ  කල්ලිය ගැවසෙන තැන් වලටද මෙය රැගෙන ගියෙමු.

ඉන් ප්‍රධානම තැනක් වුයේ මැදපුරණේ මහගෙදර  හෙවත් කුඩා බණ්ඩාර මාමලා ගෙදරයි.

ඒ  චමින්දලා පොඩි බාප්පා  විවාහ වූ අළුත බව මගේ හැඟීමයි.   මාමා ඒ දිනවල කුඩා තේ වතු එකේ වැඩට ගිය අතර දවල් කාලයේ ගෙදර හිටියේ  ඒ නැන්දා  සහ අනෙක් අයයි.

"මචන්ලා දැන් පාඩම් කරා ඇති වරෙල්ලා  බාප්පලා ගෙදර ගිහින් එන්න.."

යැයි චමින්ද කියාත්ම  චමින්දලා ගෙදර පාඩම් කරමින් සිටි අප තිදෙනා  හිටි හැටියේ  කුඩා බණ්ඩාර මාමලා ගෙදර යන්නෙමු.

ඒ  යන ගමනේදී  අප බොහෝවිට ගෙනයන දෙයක් තිබේ. ඒ මගේ " බෙස්ට් සිලෙක්ෂන් " TDK 60  කැසට් පටයයි..

කුඩා බණ්ඩාර  මාමගේ නැන්දා  ද අප සමග එකතු වී මේ ගීත වලට සවන්  දෙන්නීය.
ඒ වනවිට ඉතා තරුණ වියේ සිටි ඈ  කොල්ලෝ තුන්දෙනාගේ  නංගිලා  ගැන කතා ද දැන සිටියාය.


අවසානයේ  ඇය මෙහි අයිතිකාරයා  වූ කවිඳුට මෙසේ පැවසුවාය.. " පුතා සිංදු ටික නම් ශෝක් හැබැයි සමහර සිංදු ටිකක් අමුතුයි නේද? අහන් ඉන්න ටිකක් ...මොකක්ද වගේ  නේද?
"
ඇය එසේ කිව්වේ  මේ " සඟවා ගනු මැන  ඔබේ රුව.." ගීතය සම්බන්ධයෙනි.






















කෙසේ වුවත්  එම ගීතය හැරෙන්නට අනෙක් ගීත බොහොමයකම  මට අවශ්‍ය පණිවිඩය  ගැබ්වී තිබුනා යැයි කිවොත් නිවැරදිය.






ජයංගනී නංගි සතියක් හෝ දෙකක්  මගේ  ගීත එකතුවට  සවන් දෙන්නට ඇත.

සති කිහිපයකට පසු  උදා වූ දිනක .. " මේක  අහලා ගෙනත් දෙන්න "  කියමින් ඇය ඇයගේ  බෙස්ට් කලෙක්ෂන්  එක  මා අත තැබුවාය.

එහි තිබු පලමුවෙනි  ගීතය මගේ සිතට තදින්ම  කා වැදුනේ ඇයි දැයි පැහැදිලි නැත. එය තවමත් මගේ හිසේ කියැවෙනවා මෙන් දැනෙන ගීතයකි.

සුනිල් එදිරිසිංහ ගයන " ශීතල දිය පිරී..සුනිලවිලයි.. " ජයා නංගිගේ කැසට් පටයේ තිබු පළමුවෙනි ගීතයයි.


ඇයගේ කැසට් පටයේ තිබු හැම ගිතයකින්ම මට විශේෂ පණිවිඩයක් දුන් බව නම් හොඳින් මතකේ තිබේ.
ඒ කාලේ මම අකමැතිම ගායකයා  ( එහෙත් දැන්නම් මම ඔහුගේ සමහරක් ගීතවලට බොහෝ ප්‍රියකරමි ) ගේ ගීතයක්ද ඇය තෝරාගෙන තිබිණි.

 හේතුව කුමක්දැයි නොදනිමි, එහෙත්  ජෝතිගේ  සුදේහිනියේ...... නම්  ඒ ගීතයත් තවමත් මා සිත  පතුලේ රැව්  පිළිරැව් දෙන්නකි.



Wednesday, 28 October 2015

බෙස්ට් සිලෙක්ෂන් ( හොඳම තෝරාගැනීම) - පළමු කොටස





පසුගිය  කළාපයෙන්  

මේ කියන්නේ 1989 වසරේ මැද භාගය ගැනයි.   මේ වන විට මම අපොස  උ.පෙ  පන්තියේ ඉන්න කාලයයි.  එළවලු වගාවට අමතරව දෙමල ඉස්කෝලේ විද්‍යා පංතියත් , ජිනදාස මාමලා ගෙදර පංතිත්  කලේ මේ දිනවලයි.

දෙමළ ඉස්කෝලේ පංතිය සහ ජයංගනී නංගි.


දෙමල ඉස්කෝලේ පංතියට අපේ ගෙවල් තිබු මල්දෙණිය පැත්තෙනුත්, චමින්දලා ගෙවල් තිබු කිරඹ ඔය පැත්තෙනුත් සිසු සිසුවියන් 10-15 ක් පමණ පැමිණියහ.

මේ අය අතර චමින්දගේ මල්ලි කුමාර සහ අපේ ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නාද වුහ. මම බාප්පලා නංගිලාගෙන්   මුදල් අය නොකලෙමි.

අනෙක් අයගෙන් අය කල පංති ගාස්තුව වුයේ මසකට  රුපියල් 25 කි.

මේ සිසු සිසුවියන් අතරට මල්දෙණිය පැත්තෙන් පැමිණි සුවිශේෂී අක්කා නගෝ දෙදෙනෙකි.  ඒ අයත්  ඇතිමලේ නංගිලා දෙදෙනා සමගම අරලගංවිල සුජාතාවට ගිය අය අයයි.

වැඩිමහල් නංගි ඉන්ද්‍රා ලාලනී හිටියේ ඇතිමලේ ලොකු නංගිගේ පන්තියේමය. ඒ අතර පොඩි නංගි  ජයංගනී   සිටියේ ඇතිමලේ පොඩි නංගි රන්දුගේ පන්තියෙයි.

මේ දෙදෙනා බෝනික්කියන් දෙදෙනෙක් වැනි යැයි  අපේ ගමේ කොල්ලෝ කොච්චර වත් කියනු මට ඇසී තිබේ.

එමෙන්ම කොල්ලෝ  මේ දෙදෙනාගේ තාත්තා  වූ ජයරත්න අය්යාටද   නමක් පට බැඳ තිබුනා මතකය.

ජයරත්න  අය්යාට වැඩිවිය පැමිණි  දුවලා දෙදෙනෙක් සිටියද ඔහු ගමේ කොල්ලෝ හැම එකෙකුටම මල්ලී කියා අමතන්නට පුරුදු වී සිටියේය.

වෙනෙකක් තබා ඔහුත් ඔහුගේ බිරිඳත් අපේ අම්මාට හා තාත්තාට  ආමන්ත්‍රණය කලේ ද   මාමා  හා නැන්දා යනුවෙනි,

ගුරුවරියක වූ ඔහුගේ බිරිඳට අපි කිව්වේ විමලා අක්කා  ( ඇයගේ නමත් අපේ අම්මාගේ නමමය  ) කියලයි.

මේ ආමන්ත්‍රණ එසේ තිබුනද ජයරත්න අය්යාට ගමේ කොල්ලෝ " අය්යා මාමා " කියා කිව්වේ ඇයි දැයි කෙනෙකුට ප්‍රශ්නයක්  ඇතිවිය හැක.

හේතුව  ඔහුගේ  දියණියන් දෙනෙනායි.

මගේ පන්තියට ආ ඔහුගේ දුවලා ඇමතීමට " අය්යා මාමගේ ලොකු දුව  සහ පොඩි දුව "යන යෙදුම ගමේ ගැටවරයින්  අතර නිතර භාවිතා වුයේ එබැවිනි..

ගමේ කොල්ලෝ බොහෝ දෙනෙක් මේ දෙදෙනා ගැන උනන්දුවෙන් පසු වුවද ඒ වනතෙක් කිසිවෙකුටත් ඔවුන්ට ලං වන්නට හැකි වී තිබුනේ නැත.

එහෙත් කවිඳු ජයසිංහ ට නම් දෙන දෙය්යෝ ගෙදර ළඟටම කට්ටිය ගෙනත් දී තිබුණි .

හැබැයි ඒ ගුරු ගෝල  සම්බන්ධයක්  සඳහා පමණි.

සති කිහිපයක් පංතිය කරගෙන ගියෙමි.

කිසියම්  හේතුවක් නිසා විමලා අක්කා තම ලොකු දුව ගණිතය විෂයට පමණක් එවන්නට තීරණය කලාය.

එහෙත් ඇය පොඩි දුව ජයංගනී  පංති දෙකටම සහභාගී කලාය. ඒ අනුව  විද්‍යාව ඉගැන්වූ මට මුණ ගැසුනේ  ජයා  නංගි පමණි.

සුරේඛා  අදහසද පහව ගොස් තිබුණි. මල්දෙණියේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් නොව කිහිප දෙනෙක්ම අය්යා මාමාගේ දුවලා  මගේ පංති පැමිණීම ගැන මට මතක් කර දුන්හ.

ඒයි කවිඳු  " අර බෝනික්කි  ඔයාගේ පංති එනවා නේද ?" දවසක් අපේ ලොකු තාත්තගේ පුතා  ශ්‍රියන්ත මගෙන් ඇසුවේය.

" බෝනික්කි..? ඒ කවුද? ඇයි අය්යා මාමාගේ  පොඩි දුව? " ශ්‍රියන්ත කියන්නේ ජයංගනී ගැනයි.

ඔයින්  මෙයින්  මගේ ඇස පංතියට  එන ජයංගනී දෙස වැඩි පුර  යොමුවෙන්නට පටන් ගත්තේය..

මේ අතර ඒ පන්තියටම කිරවනබිස්සේ සිට පැමිණි ලක්ශේ මල්ලී සහ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි ස්වර්ණපාල මල්ලිගේ ඇසුත් ඈ  දෙසටම යොමුවනු දුටුවෙමි.

දිනක් චමින්ද සහ සුරාජ්  හමු වූ මා සිද්ධිය ඔවුන්ට පැහැදිලි කලෙමි.

ඔවුන් දෙදෙනාගේම අදහස වුයේ තවත් ප්‍රමාද  කල හොත් පසුතැවෙන්නට සිදු වනු ඇති බවයි.

මම ගුරුවරයෙක්  ලෙස මගේ සිසුවියට  ආදරවන්තියක් වෙන්නැයි  ඉල්ලන් නේ කෙසේදැයි  දහ අතේ කල්පනා  කලෙමි.

අපහසුව චමින්දටත් දැනුම් දුන්නෙමි.

ත්‍රි පුද්ගල කමිටුව ඉතා වැදගත් සාකච්චා වට කිහිපයක්ම  මේ වෙනුවෙන්ම වැය  කලා මතකය.

චමින්දගේ කපුකම


කමිටුවේ අවසන් තීරණය ඉදිරිපත් කලේ චමින්ද විසිනි. 

" කවිඳු ඔහොම බය වෙලා කොහොමද බන් "  " උඹට ඇත්තටම  එයා යාළු කර ගන්න ඕනෙද.. ? "

"හරි මම කරන්නම් වැඩේ මේ සෙනසුරාදා කෙල්ල පංති එයි නේද?"

"නැති වෙන්න හේතුවක්  නෑ. "

යටි හිතේ සතුට , බිය සහ කුකුස මිශ්‍ර වූ  තත්වය  පිටට නොපෙන්වමින්  මා පැවසුයෙමි.

සෙනසුරාදාට උදා විය.  මම සුපුරුදු ලෙස පන්තියට ගියෙමි.  ජයංගනී පමණක් නොව ස්වර්ණපාල, ලක්ශේ  , රන්දු ඇතුළු  බොහෝ දෙනෙක් පංතියට  පැමිණ සිටියහ.

කොල්ලෝ කෙල්ලෝ දෙමල ඉස්කෝලේ මිදුලේ කතා කර කර සිටිති.  චමින්දයා එනවා නම්  හොඳ වෙලාව දැන් ය.

චමින්දයෙක් පෙනෙන තෙක් මානයක නැත.  මම ආයුබෝවන් කියා පාඩමට  බැස්සෙමි.

ප්‍රභා සංස්ලේෂණය  එදා  මාතෘකාව යි.   හිරු එලිය,  කාබන්ඩයොක්සයිඩ් වායුව ආදී සංඝටක  ගැන කියමින් පසු වූයෙමි.

මේ වනවිට චමින්ද එනවා ඇත්තේ පංතිය අවසාන වෙන වෙලාවට  විය යුතුයි  කියා සිතාගෙන සිටියෙමි.

" මචං  කිටී.. කියාගෙන චමින්දයා පංතිය මැදට කඩා පැන්නේ මේ අතරයි"

කොල්ලෝ කෙල්ලෝ යමක් ඉව වැටුන ගතියක් පෙන්වුයේ එකිනෙකා සමග කුටු කුටු
 ගෑම ආරම්භ කරමිනි.

" මට  මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ.." චමින්ද පැවසුයේ ජයංගනී දෙසට අත දිගු කරමිනි.

"නංගි පොඩ්ඩක් එලියට එන්න."  චමින්ද කියයි.  කියනකම් සිටියා වාගේ  සිටි ජයන්ගනී  ද සැනෙන් එලියට ගියාය.

සසල වූ සිතින් වුවත් කිසිත් නොවූ පරිදි පංතිය කරගෙන ගියෙමි. විනාඩි කිහිපයක් චමින්දගේ බණ අසමින් සිටි ජයා නංගි බීම බලාගෙන විත් පංතියේ වාඩි වුවාය.

කිසිත් නොවූ පරිද්දෙන් දිනයේ පාඩම අවසන් කලෙමි.

"කවිඳු අය්යා එන්නැද්ද අපිත් එක්ක යන්න "  ස්වර්ණපාල මල්ලි අසයි.

සාමාන්‍යයෙන් මා ආපසු ගෙදර යන්නේ එහා ගෙදර ස්වර්ණපාල මල්ලිත් සමගය.

"නෑ මල්ලිලා යන්න මම අද සිරිමල්වත්තට  ගිහිල්ලා එන්නේ"

මම කිවේ චමින්දලා ගෙදරටත් ගොඩවී  යන්නට ඇති නොනිත් ආශාව සඟවා ගෙනයි.

ළමයින්ට ආපහු ගෙවල් බලා යන්න හැරි මා ඩන්ලොප් වත්තෙන් පැන පිම්මේ දුව ගියේ මගේ සගයින් දෙදෙනා වෙතයි.

" ඔය එන්නේ මනමාල සර්"  "දීපන් අපිට මොනවා හරි"

චමින්දයා කල වැඩේට  තෑගි ඉල්ලන්නේ  වෙන කවුරුත් නොව අපේ බණ්ඩාය.

ඉතින් කියපන් මොකද වුනේ?  මම චමින්ද දෙසට හැරුනෙමි.

"වැඩේ හරි යයි වගේ "  "ටිකක් ඉවසපන්කෝ "

."..කියපන් කියපන් උඹ මොනාද එයාට ඔච්චර වෙලා කිව්වේ ? "

 නොඉවසිල්ලෙන් සිටි මා ඇසුවේ චමින්ද ගේ හැටි දන්නා නිසාය.

" අපේ කිටී ගැන මම වග කියනවා.. මිනිහ ඔයා අමතක කරොත් මම බලාගන්නම් ...

ඔන්න නංගි  ඔයාගේ වචනේ අකුරටම රකින්න බලා ගන්න ඕනේ.. "

චමින්ද මහදෑනමුත්තෙකු  වගේ කියා තිබුනේ  එදා ගැන නොව අපේ ඉදිරි අනාගතය ගැනය..


Best selection

Best selection  කියා කීවේ  මේ  යුවතියට වත්  දෝයි ඔබ සිතන බව මම දනිමි.  එය ඊළඟ පොස්ටුවෙන් හෙළි කරන්නෙමි.

එතෙක් මේ ගීතය ඔබට බෙස්ට් සිලෙක්ෂන් එක ගැන යම් අදහසක් ලබා දෙනු ඇත.

1. මගේ සිත පිරී තිබෙන්නේ.









ඊළඟ  කොටස--  මෙන්න  මගේ  පළමු බෙස්ට් සිලෙක්ෂන්  එක  



Tuesday, 27 October 2015

කුඩා බණ්ඩාර මාමා සහ බෙස්ට් සිලෙක්ෂන්

මේ බ්ලොග් පොස්ට් එක ලියන්න නිමිත්ත වුනේ ඊයේ අසන්නට ලැබුණු අවාසනා වන්ත සිද්ධියක්.
වාට්ටුවේ වැඩ කර කර ඉද්දි දහවල් දොළහට පමණ මගේ දුරකථනය  ආ කෙටි පණිවිඩයකි.
" මාමා  ගමේ  මළගෙයක්  වෙලා නේද? " . පණිවිඩයේ ඊට වඩා දෙයක් තිබුනේ නැත.

උදේ වැඩට යන අතරේ  මේ දුරකතනයෙන්ම  කියවමින් ගියේ  ලඟදි බ්ලොග් ලියන්නට ගත් යාපනයේ සිටින සිසුවෙක් ලියු.......

 " සරත්  අය්යා " http://magebloga.blogspot.com.au/2015/10/02_11.html
 කථාවයි.

එය කියවද්දී  හවස් වන විට මටත් එවැනිම කතාවක් ලියන්නට වේවි යැයි සිහිනෙකින් වත් සිතුනේ නැත.

මම ගමේ නහින දෙහින වයසේ ඉන්න අපේ නෑදෑයන්  එකෙනෙකා ගැන සිතුවේ  ඔවුන් ගෙන් අයෙක් මිය යන්නට ඇතැයි යන විශ්වාසයෙනි.

නොඑසේනම්  ජයංගනී  නංගිලා  තාත්තා වත්ද, කවුරු හරි අපිට හිතවත් කෙනෙක් විය යුතුයි.. මම විවිධ අනුමානයන් කලෙමි.

මගේ අනුමානයන් සියල්ල වැරදි බව වැටහුනේ   සේවය අවසන් කර ගෙදරට පැමිණි පසුවයි.

මල්දෙණියේ  අපේ ගෙදරට දුරකතන  ඇමතුමක් ගත්තෙමි.

"මොනවද අලුත් ආරංචි..?" මම  ගෙදර අයගෙන් අසන සාමාන්‍ය ප්‍රශ්නය ඇසුවෙමි.

"හරි වැඩේ නේ චුටි අය්යා.."   " චමින්ද අය්යලා  බාප්පා නැතිවෙලා.."


අපේ නංගි විසින් ය  මැද පුරණේ  කුඩා බණ්ඩාර මාමා හදිසියේ අප අතහැර ගොස් ඇති බව පැවසුවේ  එලෙසයි.

කුඩා බණ්ඩාර  මාමා

රාජපක්ෂ මුදියන්සේලාගේ  කුඩා බණ්ඩාර  යනු මගේ  කුඩා කාලයේ හිතවතා  චමින්ද රාජපක්ෂගේ පොඩිම බාප්පාය.

චමින්දලා  තාත්තලා පවුලේ හොඳම  මනුස්සයා යැයි කට පුරා කිව හැකි ඔහුගෙන් වරදක් වූ කිසිවෙක් ගැන මා අසා නැත.

ගමේ තිබෙන ඕනෑම පොදු වැඩකදී  බෑ නොකියා උදව් කල කුඩා බණ්ඩාර මාමා
ඒ පවුලේ අනෙක් අය මෙන් කැපී පෙනෙන දේශපාලන චරිතයක්ද නොවීය.

රා , අරක්කු , සිගරට් තියා බුලත් විටක් වත් නොකෑ ඔහු  කාටත් ආදර්ශවත් ලෙස ජිවත් වූ රාජපක්‍ෂ  කෙනෙකි.

නහින දෙහින වයසක නොව යන්තම් වයස හැටක් පමණ වූ  හදිසි අනතුරකින් මෙලොව හැර  ගොස් ඇත. ඒ අපේ ජිවිත කෙතරම් අස්ථිර දැයි අප හැමෝටම මතක් කර දෙමිනි.

සිද්ධිය අසා ශෝක වන අතරේ චමින්දටත්  , චමින්දගේ අනෙක් බාප්පාගේ පුත් චමල් මල්ලීටත්  කථා  කලෙමි.

ජිවිතයේ ඇති අනියත බවත් ,චමින්දලා අපි එකතු වී මෑතකදී කල පින්කම් ගැනත් කතා කලෙමි.  (මල්දෙණියේ  සෝමේ ගේ දුව කළු සහ ඇයගේ පවුලට නිවසක් තනා දීම වැනි)

 සියලු රාජපක්ෂ වරුන්ගේ නාමයෙන්  චමින්දලා විසින් අපේ ප්‍රථම නිවාස ව්‍යාපෘතියට ( කළුලා ගෙදරට )  ඉඩම් කැබැල්ලක් තෑගි දුන්නේ මීට මාස ගණනකට උඩදියි.

එය කාලෙකින් කර ගත නොහැකි තරමේ පින් කමකි.  චමින්දගේත් , චමල් රාජපක්‍ෂ  මල්ලිගේත් පොඩි බාප්පාට  මේ තරම් ඉක්මනින් ඒ පින් අනුමෝදන් කරන්නට වේවි යැයි

අප කවුරුවත් සිතු වේ නැත.  එහෙත් අවාසනාවකට එය එසේ සිදු වී ඇත.

අප එසේ රැස් කර ගත් පින්   අපෙන් අකාලයේ වෙන් වී ගිය  මැදපුරණේ  මහ ගෙදර විසූ  කුඩා බණ්ඩාර මාමා ටත් ලැබේවා.

දැනට ජිවතුන් අතර නැති "කළුගේ තාත්තා සෝමේ අය්යා  ඉස්සර කියපු සින්දු දෙකක්  මගේ මතකයට එයි.

ජිවිතයේ ඇති අනියත බව  සහ පිංකම් වල වැදගත් කම කියවෙන ඒ සිංදු  මෙහි ඇතුලත් කරන්නෙමි.

1. සංසාරේ භවේ දුකා..



2. කවාලා විළඳ ජාති..



බෙස්ට් සිලෙක්ෂන් එකට කුඩා බණ්ඩාර මාමලා ගෙදර ( මැද පුරණේ මහා ගෙදර) සහ  ඔහුගේ  බිරිඳගේ  ( මැදපුරණේ පොඩි නැන්දාගේ )සම්බන්ධයක් තිබේ..

බෙස්ට් සිලෙක්ෂන්  ඊළඟට ....

Sunday, 25 October 2015

සීට්ටුව.



"මිනිසෙක් තවත් මිනිසෙකුට  දක් වන ආදරය විවිධාකාරයෙන් අර්ථ ගැන්විය  හැකිය.

වරෙක ඒ  ආදරය දේශපාන  භාවිතයෙන් තමන්ට විරුද්ධ පවුලක උපන්  එහෙත් ඇත්තටම අහිංසක එමෙන්ම හුරුබුහුටි ගැහැණු ළමයෙක් කෙරෙහි ඇති වුවක් විය හැකිය. 

තවත් වරෙක එය තම දෙමාපියන් , සහෝදර සහෝදරියන්  තම පරම සතුරන්  ලෙස සලකන පවුලක   ඉපදුන, එහෙත් මේ සතුරු කම් ගැන කිසිත් නොදන්නා කුඩා දරු දැරියන්  පිරිසක් කෙරෙහි  ඇති වුවක් විය හැකිය.

ඒ ආදරය මේ කවර ආකාරයක එකක්  වුවත් කිසියම් අවධානයකට  ලක්විය යුතු එකක් යැයි  මා විශ්වාස කරමි.


ඒ  එක් දහස් නමසිය අනු දෙක  වසරයි.  මටත්  13 බී පන්තියේ  මගේ අසලම  ඩෙස්ක් එකේ සිටි තාරකටත්   ඉංග්‍රීසි ගුරු පත්වීම් ලැබුනේ  මේ කාලයේදීයි. අපි දෙදෙනාගේම  පත් වීම් දී තිබුනේ වැල්ලවායේ වෙහෙරයාය ප්‍රදේශයටයි.  

මා වෙහෙරයාය  කනිෂ්ටයේ  ඉංග්‍රීසි ගුරුවරයා ලෙසත් තාරක  වෙහෙරයාය  මහා විද්‍යාලයේ  ඉංග්‍රීසි ගුරු  තනතුරටත් පත්  කර තිබුණි.මේ අතර අපි දෙදෙනාම  රාගම වෙද විදුහලටද  තේරී පත් වී  සිටියෙමු.

මේ වන විට තාරක අකාලයේ පියා නැති වූ තම පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් ඉතා වගකීමෙන් කටයුතු කළේය. 

එහෙත් චමින්ද , සුරාජ්  ආදීන් සමග නංගිලා පිළිබඳව උනන්දුවෙන් සිටි මා එවැනි වගකීම් දැරූ අයෙක් නොවීමි.   

1992 වන විට මගේ සුරේඛා නංගි   ගැන තැබූ බලාපොරොත්තු සුන් වී ගොස් තිබිණි. එහෙත් චමින්දගේ සහ සුරාජ් ගේ උදව් පදව් ඇතිව වෙනත් නංගි කෙනෙක් හා හාද වන්නට ඒ වන විට  මට හැකි වී තිබුණි..

මට ගුරු[පත් වීමක් ලැබෙන විට   සුජාතා එකට ගිය අපේ ගමේ  කෙනෙක්  වූ ජයංගනී  නංගි මගේ පළමු පෙම්වතිය වී සිටියාය. 


සුජාතා නංගි  මට හමුවුයේ  කෙසේදැයි කියැවෙන කථාවද    බනිස් කථා වගේම රසවත් කථාවක්  වේ

ආරම්භය   එසේ වුවද   පසුකාලීනව අපේ ඇසුර  වටා සිදු වූ  දේවල්  හැලහැප්පීම්  වලින් ගහන ස්වරූපයක්  ගත්තේය.  

අපේ තාත්තා සහ අම්මා පමණක් නොව සමන්ත , අපේ අක්කා නංගිලා ඇතුළු සියළු දෙනා නොසිතූ විරූ ලෙස අපේ ආදරයට   විරුද්ධ වීම  එයට ප්‍රධාන හේතුවකි..

අපේ ගෙදර අය මේ පෙම් පළහිලව්වට  විරුද්ධ බව දැන ගත්  තාරක 

 "ඔන්න ඕක අතහැරලා දාපන්  මචං.."  

" අම්මලා තාත්තලා අකමැති දෙයක් කරලා ඇති වැඩේ මොකක්ද? " කියා මට අවවාද දුන්නේ වගකීමෙන් යුත් යාලුවෙක් හැටියටයි. 

අනුදෙකේ මම වැල්ලවායේ ගුරුවරයෙක් වන විට  අපේ ප්‍රේම කථාවේ  මේ හැලහැප්පීම් සහිත  කාල පරිච්චේදය  ආරම්භ වුවා පමණි. 

මේ වන විට ජයංගනී නංගි මගේ උපන්දින දෙකකට රෝස පාට කොටු කොටු ලේන්සු දෙකක් සහ  කුඩා එඩ්නා චොක්ලට් පෙති දෙකක් මට තෑගි දී තිබුණි. 

එසේම මා විසින්ද ඇගේ උපන් දින තුනකට  එවැනිම ත්‍යාග ලබා දී තිබුනෙමි. ඒ කාලයේ අතේ මිල මුදල් යහමින් ගැවසුනද  ඒ වන තෙක් චොකලට්ටුවකට වඩා වැඩි  යමක් ඈ වෙත තෑගි කරන්නට මා පෙළඹී තිබුනේ නැත.

මේ කාලයේ එළවලු වගාවට අමතරව මගේ ප්‍රධාන අදායම් මාර්ග වුයේ ටියුෂන් පංති  පැවැත්වීමයි.   

සුරේඛා ඉලක්ක කර දෙමළ ඉස්කෝලේ පටන් ගත් විද්‍යා හා ගණිත පංතිය  ( මේ වන විට ගණිතය ඉගැන්වූ සුගත් හමුදා අත්අඩංගුවේ  නිසා ගණිතය කොටසත් මා පිටම පැට වී තිබුණි.) මේ අතර ප්‍රධාන විය. 

 එමෙන් ම  චමින්දලා බාප්පලා ගෙදරටම ගොස්  ඉගැන්වීමෙන් මට මසකට රුපියල් සියයක අදායමක් ලැබිණ.  
මේ කණ්ඩායම් පංතිය මා පැවත් වුයේ ජිනදාස මාමගේ දරුවන් තිදෙනාට ගණිතය සහ විද්‍යාව ඉගැන්වීමටයි.

ජිනදාස මාමා ට වඩා  මේ කණ්ඩායම් පංතිය  ගැන උනන්දු  වුයේ ජිනදාස මාමගේ නැන්දාය. 

ඇය  මා ලවා සිය දරුවන් තිදෙනාට ගණිතය  සහ විද්‍යාව විෂයයන් උගන්වා ගත්තේය. 

වෙනත් අයුරකින් කිවහොත් සිය කුඩා දරු තිදෙනාගේ අමතර අධ්‍යාපන වගකීමෙන් වැඩි කොටසක්  මා වෙත භාර කලාය.   

ඒ අපේ තාත්තා  දේශපාලන වශයෙන්  ඔවුන්ට ( UNP එකට )  ප්‍රතිවිරුද්ධ  පැත්තේ ඉන්නා බව හොඳින් දැන සිටියදීය.  

කරුණු එසේ වුවද ඒ දින වලත් මම මේ දෙපක්‍ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කල අයෙක්මි.

එයට හේතුව ජයංගනී නංගිගේ  තාත්තාද උග්‍ර UNP කාරයෙක් වීම වත්  මම උපන්ගෙයි UNP කාරයෙකුගේ ( ජිනදාස මාමගේ ) දරුවන්ට උගන්වන්නෙක්  වීම වත් නොවේ.

අපේ ගම් දෙකේ සිටි දෙපක්‍ෂයේම  බලවතුන්   (අපේ තාත්තලා , ජිනදාස මාමලා  ඇතුළුව ) කටයුතු කලේ  ඉතා නොමනා ආකාරයකටය.

මේ බව  හොඳින් දැනගෙන  සිටි මා යු. ඇන්. පී. , ශ්‍රී  ලංකා  භේදය ගැන න  බලවත් ලෙස කල කිරී සිටියෙමි.

ඒ වන විට මම පාසැල් දැරිවියක් සමග ප්‍රේම සම්බන්දයක්ද  පවත් වන ඉලන්දාරියෙක් බව මැද පුරණේ පොඩි නැන්දා දැන සිටියාය. 

එහෙත් ඈ එය තම දරුවන් ගෙන්  මා ඉවත් කිරීමට හේතුවක් කර ගත්තේ නැත.




ජිනදාස මාමලා නැන්දා ගේ යෝජනාව.


අපේ අම්මා වාගේම ජිනදාස මාමලා නැන්දාද තම දරු තිදෙනාට ඉගැන්වීමට සෑහෙන වෙහෙසක් ගත්තාය. 

මේ කාලය වන විට ජිනදාස මාමගේ කඩේ UNP කාරයන්ට පච හලමින් ඉන්නට තිබු තැනක් මිස වැඩි අදායමක් ලැබුණු එකක්  නොවීය. 

අසල තිබු චමින්දලා කඩේට නොයන දෙතුන් දෙනෙක් පමණක් මෙහි තේ බොන්නට, බඩු ගන්නට ආ ගැනුම්කරුවෝ වුහ.

මේ නිසා නැන්දා දරු තිදෙනාගේ වියදම් ආවරණය කිරීමට විවිධ උපක්‍රම පාවිච්චි කලාය. සීට්ටු දැමීම ඉන් ප්‍රධාන තැනක් ගත් උපක්‍රමයකි.

අවුරුද්දකට වතාවක් රුපියල් දාහේ සීට්ටුවක් දමන ඈ මුල් සිට්ටුවට ඇයට ගත්තේ තව මාස 12 ක් යන තෙක් ඒ නය සීට්ටු වාරික ලෙස ගෙවිය හැකි බැවිණි.

දිනක් සෙනසුරාදා හවස පහට මා චමල් මල්ලිලාගේ  පංතියට ගියා පමණි.

පුතා මන් කාරණාවක් අහන්න හිටියේ ...

 " දැන් ඔයාට වැල්ලවායේ ඉස්කෝලෙනුත් පඩි හම්බවෙනවනේ "  

"කැමතිද අපේ දාහේ සිට්ටුවට එන්න..? "  " අපිට තව එක්කෙනෙක් අඩුයි " 

ජිනදාස මාමලා නැන්දා මගෙන් විමසා සිටියාය. 

"බෑ.. නැන්දා  සීට්ටුවට  දාහක්  දුන්නම මගේ අතේ කියක් වත් ඉතිරි වෙන්නේ නෑනේ "

මම පැවසු වේ බොරුවකට  නොවේ. 

මේ වන විට මගේ ගුරු පඩිය හරියටම  රුපියල් 2500කි.  සුද්දී අක්කගේ  බෝඩිමට ගාස්තුව ලෙස රුපියල් 800ක් ගෙව්වෙමි. 

මාස් පතා ගෙදරට කිලෝ පනහේ හාල් මිටියක්  ගෙනත් දුන් නිසා ඒ වෙනුවෙන්  රුපියල් 700- 800 අතර මුදලක් වැය වුයේය. 

සීට්ටුවට දාහක් දුන් විට ඉතිරි වන්නේ  සතිපතා වැල්ලවායේ යන්න වැය වන බස් ගාස්තුව පමණි.
"ඒ වුනාට පුතා... අන්තිමේට ඔයාට රුපියල් 12000 ක් ලැබෙනවානේ.."
නැන්දා අදහස අත් හරින්නට ලැහැස්ති නැත..

" ඔන්න ඔහේ  පටන් ගමු "

මම කැමැත්ත දුන්නෙමි.  එහෙත් අම්මාට හෝ තාත්තට සීට්ටුව ගැන නොකීවෙමි. ඒ කාලේ මගේ දුක සැප බෙදාගත් ජයා නංගිට පමණක් සීට්ටුව ගැන කියා තැබුවෙමි.


අම්මාගේ කන් කරච්චලය.

සීට්ටුව ගැන අම්මාට නොකියා සිටීමේ ඵල විපාක තේරුම් යන්නට වුයේ තවත් මාසයක් දෙකක් ගතවූ පසුවයි.. 

ජයංගනී ගේ ලියුම් සොයමින් මගේ පොත් මේසය අදින අම්මා සාමාන්‍යයෙන් එයින් සැහීමකට පත් වන්නේ නැත. 

මගේ බැංකු පොත , පර්ස් එක ආදී සියල්ලම ඇගේ උකුසු ඇසට හසුවේ. 

අපේ හිතවත් කමට වැඩි කැමැත්තක් නොදැක්  වූ ඇයට තවත් සැකයට තුඩුදෙන කාරණයක් අසු වී ඇත. 

රුපියල් දෙදහස් පන්සියක් ගෙඩි පිටින් ගන්න චුටි පුතාගේ අතේ සතේ නැති වීම  ඈ සිතට ඇති කලේ බලවත් සැකයකි.. 

ගුරුවරයෙක් ලෙස සේවය කර ලබන වැටුපෙන් කිසියම් මුදලක් මා ජයංගනී නංගිට වියදම්  කරන බව ඈ සිතන්නට ඇත. 

ඒ නිසා නිරපරාදේ ඇය මගේ හිතවතියට බැන වදින්නට පුරුදු වුවාය.

අම්මා වැඩි පුරම කලබල වුයේ  මාස් පතා රුපියල් දහසක මුදලක්  මගේ අය වැයෙන් මග හැරෙන බව තේරුම් ගිය පසුවයි.

ඇත්තටම මොකුත් නොදන්නා අහිංසක කෙල්ලෙක් අම්මාගේ උදහසට ලක්වුයේ  සීට්ටුව ගැන අම්මාට නොකියා මා කල මෝඩ කම නිසාය. .  



අපේ ගෙදරටත් විදුලිය 

මා මුලින්ම ලිවූ බ්ලොග් පොස්ටුවක සඳහන් කල පරිදි   අපේ ගමට විදුලිය දෙන කාලයේ අපේ ගෙවල් අහලකටවත් ලයිට් කණුවක් වැටුනේ නැත.  

යු .ඇන්. පි.  ශ්‍රී ලංකා භේදයේ ප්‍රතිඵලයක් ලෙස  ප්‍රභල ශ්‍රී ලංකා කාරයෙකු වූ  අපේ තාත්තා සිටින අහලකින් වත් කණු නොවැටෙන  ලෙස  කම්බි ඇදීම සිදු කර තිබිණි.

ඒ කාලේ  යු .ඇන්. පි රජයෙන් කල බොහෝ වැඩ කටයුතු අපේ  ගමේ සිදු වුයේ ජිනදාස මාමා ප්‍රමුඛ  කිරඹ ඔයේ යු .ඇන්. පි කාරයින්ට අවශ්‍ය ආකාරයටයි.

මේ වන විට මමත් සමන්තත්  චිමිනි ලාම්පු එළියෙන් පාඩම් කර වෙද විදුහල්  වලට තේරී පත් වී සිටියෙමු.

කෙසේ වෙතත් 1992 -1993 කාලයේ  මා විශ්ව විද්‍යාලයට යන්න මාස කිහිපයක් තිබියදී  අපේ නිවසට ත්  විදුලිය ලබා ගැනීමට අවස්ථාවක් උදා විය.

එවකට අරලගංවිල සිටි ශ්‍රී ලංකා . පළාත් සභා මන්ත්‍රී කෙනෙක්  ( ගැටමාන්නේ  රත්නායක  මහත්තයා ) රුපියල් 35000 ක මුදලක් යොදවා ලයිට් කණු තුනක් ලබා දී තිබුණි.

"රත්නායක මහත්තයට පින් සිද්ධ වෙන්න ලයිට් කණු  නම් එනවා .. වයරින් කරන එක තමයි වැඩේ .. "
අම්මා නිතර දෙවේලේ කීවේ  ඉතිරි වැඩ කරගන්න  තරම් මුදලක්  ඈ අත නොමැති බවයි.

"අම්මා කලබල වෙන්න එපා .. මං ඉතිරි වැඩ ටික කරලා දෙන්නම්.."

මම වීරයා සේ පැවසුවෙමි.  

"උඹට කොහෙන්ද එච්චර සල්ලියක් චුටි පුතා.? .. "  අම්මාට ඇත්ත කියන්න වෙලාව පැමිණ තිබේ. 

"අම්මා මට සීට්ටුවක් හම්බ වෙන්න තියෙනවා  ජිනදාස මාමලා  නැන්දගෙන්. "   " මම එයා ළඟ රුපියල් දාහේ සීට්ටුවක් දැම්මනේ" 

"මගේ දාහ නැතිව එතන එකොළොස්  දාහක් තියෙනවා " මම  අම්මාට මෙතෙක් නොකියූ සීට්ටු කතාව  පැවසුයෙමි. 

අම්මාගේ දෑස් සංතෝෂයෙන් දිලිසෙයි.  තම පොඩි පුතා ගැන අවංකවම සතුටු වන මවකගේ මුහුණ ඇයගෙන් දිස්වෙයි.

මගේ හිතටත් බලවත් සන්තෝෂයක් දැනුනේ අම්මා  ගේ සතුට දැකීම නිසා මෙන්ම මගේ හිතවතිය ගැන ඈ තුල තිබු වැරදි වැටහීමද  දුරු වූ බව තේරුම් යාමෙනි..

පොරුන්දු වූ පරිදි සීට්ටුවෙන්  එකොළොස් දාස්  ගණනක වයරින් බඩු ගෙනාවෙමි.  බාස් කුලී ගෙවන්නට අවශ්‍ය වුයේ නැත 

 තාරකලා අපිත් එක්ක එකට උසස් පෙළ පංති ගිය වෙහෙරයායේ සුගත් ප්‍රියන්ත විසින්  වයරින් එක නොමිලයේම කර දුන්නේය.





  

Friday, 16 October 2015

දුෂ්කර ක්‍රියා 2 - අරපරිස්සම



"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.


එමෙන්ම එවන් මිනිසෙකුගේ ආදරය තම පවුලට , නෑදෑයින්ට සහ හිතවතුන්ට පමණක්ම සිමා වන්නේ නැත.... 


මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  සියල්ල ඒ ලෙස හරිහැටි තේරුම් ගනීවිද ?.."



නෙදර්ලන්තයේ මුල් මාස හය ගත කල අයුරු

මා සමග NORAD ශිෂ්‍යත්ව ලබා පැමිණි පිරිස් අතර ආසියානු රටවලින් පැමිණි අයත් කිහිප දෙනෙක්ම වුහ.  Fantoft studenby නම් සිසු ගම්මානයක්  අප සැමගේ වාසස්ථානය ලෙස ලබාදී තිබුණි.  A, B , C, G  සහ  H නැමැති  ගොඩනැගිලි පහකින් යුක්ත වූ මේ සිසු  ගම්මානයේ  ක්‍රීඩාගාරයක් ,  Fantoft club නම් අවන්හලක් සහ Safari නම්  සුපර් මාර්කට්  එකක්ද විය.

සිසුන්  බොහෝ දෙනෙක් සෆාරි  එකෙන් තම කෑම බීම මිලදී ගත්තද එහි බඩු REMA 1000, RIMI  වැනි කඩවලට වඩා මිලෙන් වැඩි බව කවුරුත් දැන සිටියහ. 
බොහෝ ආසියාතික මුදල් වර්ග වලට වඩා නෙදර්ලන්ත ක්‍රෝනර් වල අගය වැඩි විය.

මා පමණක් නොව අපේ ආසියාතික මිතුරන් බොහෝ දෙනෙක් වියදම් කරන හැම මොහොතකම මේ ගැන සිහිපත් කෙළේ වියදම අපේ රටේ මුදල් වලට පරිවර්තනය කරමිනි.
එහෙත් අනෙක් සිසුන්ට නැති තත්වයේ මුල්‍ය ගැටළුවක් මට තිබුණි. ඒ ක්‍රෝනර් අසු දහසක් මගේ බැංකු ගිණුමේ තිබෙන බව පෙන්වීමේ අභියෝගයයි.  

මාස හයක් - අවුරුද්දක් ඇතුළත නිම්මි සහ අපේ එකම පුත් සුපුන් නෙදර්ලන්තයට ගෙන්වීමට නම් බැංකු ගිණුම ඉතා වේගයෙන් තර කල යුතු විය.

මාසික බස් කාඩ් එක ක්‍රෝනර් අසුවකි. මුල්ම මාසේ කාර්ඩ් එකක් ගත්තා නොව  ඔවුන් අපට බලෙන් අරන් දුන්හ. දෙවැනි මාසයේ සිට Fantoft  සිට විශ්ව විද්‍යාලයට තිබු කිලෝමීටර් තුනක පමණ දුර පයින් යන්නට තීරණය කලෙමි. 
එසේම කිසියම් වැඩකට  ප්‍රධාන විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලට යන්නට සිදුවුවහොත්  නගර මධ්‍යයට හෙවත් Centrum එකට ඇති කිලෝමීටර් පහක දුර ගියේද පයින්මය.  



අතිරේක රැකියා 

මේ අතර අප්‍රිකානු සහ නේපාල ජාතික හිතවතුන් කිහිප පොළකටම  පත්තර බෙදීමේ රස්සා ලැබුනේ ඔවුන්ගේ ජේස්ට හිතවතුන් හරහාය.  BT, BA සහ තවත් පත්තරයක් දිනපතා   පත්තර මිලදී ගන්නා ගෙවල් වලට දැමීම ඔවුන්ගේ රාජකාරිය විය.
ඒ රටේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නොවූ නිසා මෙවැනි ජාත්‍යන්තර සිසුන් පත්තර දැමීම හැර වෙනත් රැකියා කලේ ඉතාම අඩුවෙනි.   
ලංකාවෙන් පැමිණ සිටි ද්‍රවිඩ ජාතිකයින් කිහිප දෙනෙක් අප පර්යේෂණ කල රසායනාගාරය තිබු රෝහල් නිල ඇඳුම් සෝදන ඒකකයේ වැඩ කළහ.  Vaskeri නම් වූ එහි සමහරක් අප්‍රිකානු සිසුන්  අවේලාවේ සේවය කළහ. එමෙන්ම මගේ  පර්යේෂණ ඒකකයේ සිටි ආචාර්ය උපාධි අපේක්ෂිකා "ඩානියා"  ද  Vaskeri හි වැඩ කල බව මා දැන සිටියෙමි.

ලංකාවේ ඊට පෙර වසරේ එහි පැමිණි සිසුන් දෙදෙනෙක් සිටියද ඔවුන් එවැනි රැකියා කල අය නොවුහ.  
එක් අයෙක් මාතර විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අයෙක් වූ අතර අනෙක් සිසුවා නගුලන් පෙරියතම්බි  නම් අයෙකි.  

මා මෙන්ම වෙද්‍ය උපධිදාරියෙක් වූ නගුලන් සිටියේ මා සිටි  CIH එකේම ආචාර්ය උපාධියකට  ඉගෙන ගනිමිනි.  මේ දෙදෙනාම ලැබෙන සිශ්‍යත්වයෙන් එදිනෙදා  වියදම් කරමින් සෑහෙන සුව පහසු ජිවිත ගත කළහ.

අතුල සුමංගල නම් වූ  මාතර මල්ලී අමුතු චරිතයක් වූ අතර   ඔහු රැකියා කරන සිසුන් දෙස බැලුවේ ඉතා පහත් ආකාරයකටය.  සුමංගල සමග කල සාකච්චා වලදී මටද යම් රැකියාවක් කරන්නට සිදු වන බව කිවේ ඔහුගේ මේ ආකල්පය ගැන දැන ගෙන සිටිද්දීමය. එය පත්තර දැමීම විය හැකි බවද ඉඟි පලකලෙමී.  ඔහුගේ මිත්‍ර ඉන්දුනීසියානු සිසුවෙක් මොපෙඩ් එකක් තබා ගෙන පත්තර දැම්මේ මේ කාලයේදීය. 

ඕලන්ද භාෂාව සහ  ලංකාවේ අපි

 සුමංගල නිතර කාලය ගෙව්වේ රුපවාහිනිය හෝ yahoo messenger එක සමගයි.  කතාකරන හැම  වෙලාවේම  "ඕ... සිත්"  "ඕ .. සිත් " යැයි නිතර පවසමින් ඕලන්ද ජාතිකයන් අනුකරණය කරන්නටද ඔහු බලවත්    කැමැත්තක් දැක්විය. 

එමෙන්ම ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෑමක් වූ  Peppes pizza කෑමට ආශා කල අතර එ ගැන වර්ණනා කරන්නටද රුසියෙක් විය. 

එක දවසක් මම සෆාරියට යන්න ලැහැස්ති වී සුමංගල හමුවුයේ ඔහුටත්  යමක් අවශ්‍ය දැයි අසන්නටය.

කවිඳු.. උඹ සෆාරියෙන් බඩු ගත්තම අන්තිමට එතැන  ඉන්න කෙල්ලෝ " පුසා" කියලා කිව්වොත් මතක ඇතුව "නයි" කියලා කියපන්.
සුමංගල  මට ප්‍රයෝජනවත් දෙයක්  කියා දුන්නා මතකය.  ඕලන්ද භාෂාව යම් තරමක්  දැනසිටි ඔහු මේ කියන්නේ කුමක්දැයි මා දැන සිටියේ නැත.
" මොකද සුමංගල ඒ..?"
මම ප්‍රශ්න කලෙමි . "ගිහින්ම බලපන්කෝ "  සුමංගල පිළිතුරු දුන්නේය..

සෆාරියෙන් අලගෙඩි කිහිපයක්, ඌරුමස් සහ කිරි ආදී බඩු කිහිපයක් රැගෙන කවුන්ටරය ලඟට ආවෙමි..
"පුසා..? "
කවුන්ටරයේ කෙල්ලෝ  ඕලන්දක්කාරයන්ගෙන් අසුනු දුටුවෙමි..

" යා..දා.."

කියා කියන ඔවුන් කවුන්ටරයේ කෙල්ලන් දෙන සෆාරි පොලිතීන් මළු වල බඩු අසුරාගෙන ගමන් කරති.

මගේ වෙලාව පැමිණෙයි  .. පුසා..?  " නයි... " මම කිවේ සුමංගල කිවූ දෙය සිහියට ගනිමිනි.

මට මල්ලක් නොදුන්  ඕලන්ද කෙල්ල මගේ බඩු ටික අතට දුන්නාය. අනතුරුව ඈ  කිසිවක් නොවූ පරිදි අනික් අයට බිල් කඩන්නට පටන් ගත්තාය.


    

Thursday, 8 October 2015

මට පටබැඳි නම් ගම්..


මගේ ඇත්ත නම ජයසිංහ  මුදියන්සේලාගේ  කවිඳු කුමාර ජයසිංහ  බව බොහෝ දෙනෙක් දනිති.

එහෙත් උපන්දා සිට මේ දක්වා මට හැදුනු නම් කන්දරාව ගැන නම් දන්නේ ඉතා අතළොස්සකි.

අද ඒ ගැන කතා කරන්න කියලා හිතුනා.  මේ නම් හැදුනේ අපේ ගෙදරදී, ගමේ පාසලේදී, මුල්ම රස්සාවට ගිය පසු ( හඳපානාගල ඉස්කෝලේ)  විශ්ව විද්‍යාලයේ නවක වද සමයේ ආදී තැන් හා කාල වලදීය.

එපමණක් නොව නෙදර්ලන්තයට සහ ඔස්ට්‍රේලියාව යන රට වලදී එහි විශ්ව විද්‍යාල සිසුවියන්ද මට නම් තැබුහ.

වැඩි පුරම මේ නම් පට බැඳුනේ නම් තබන්නාගේ මා කෙරෙහි තිබු ආදරය හා ලෙන්ගතු කම නිසා බව මාගේ පිලිගැනීමයි.

තරහට නම් තැබුණු අවස්ථා තිබුනේම නැති ගානය.


ගෙදරදී  ලැබුණු නම්බු නාම


මට වැඩි පුරම නම් පට බැඳුනේ අපේ ගෙදරදී කිව්වොත් එය නිවැරදිය. 

මට මතක හැටියට මුලින්ම ලැබුණු නාමය "චුටි පුතා" යන්නයි.
එය අම්මා සහ තාත්තා මට ආදරයට කියූ නමයි. මෙයට සමගාමිව අපේ අක්කා චුටි ලෙසත් ලොකු නංගි චුටි දුව ලෙසත් හැඳින් විණි.

අපේ අය්යා සමන්තට අම්මලා තැබූවේ ශාන්ත  යන නාමයයි. 

මගේ චුටි පුතා යන නාමය අම්මලා පමණක් නොව ගමේ හැමෝම මට පාවිච්චි කල නාමය විය.

මට වඩා බාල අය මෙන්ම අපේ අය්යලා අක්කලාද මට කිව්වේ චුටි පුතා කියලයි.  

අපේ ගෙවල් අසල සෙල්ලම් කල්ලියේ සිටි සෝමේ ගේ දුවලා පුතාලා මෙය "චුටියා" ලෙස වෙනස් කළේ සෙල්ලම් ගෙදරදී තරහ වූ විටයි. 

උදාහරනයක් ලෙස සෝමෙලාගේ  කළු

 " ආච්චි..චුටියා මට ගැහුවා "

කියමින් ජේන් අක්කා ලඟට දුවයන වාර අනන්ත  අප්‍රමාණ විය. 

තරහ ගිය විට අපේ අය්යලා අක්කලා මට දී තිබු නම වෙනස් එකකි.  

ඒ  " තැප්පා" යන නාමයයි. 

නම් තැබීමේ වග කීම හිමි වන්නේ අපේ ගෙදර ලොක්කා සමන්තටයි. 

මම තැප්පා වෙද්දී. අපේ අක්කා "ලොකු තැප්පි" විය. ලොකු නංගි හැඳින් වුයේ "පොඩි තැප්පි" යන නමිනි.

පහල ගෙදර සිටි ජේන් අක්කගේ දුව මැණිකේට ද "තැප්පි" ලෙස ආමන්ත්‍රණය කරන්නට අප පසුබට නොවුයෙමු.

මොන හේතුවක් මත ඒ නම තැබුණා දැයි අදටත් මට හිතා ගත නොහැකිය.

නම් තබන්නා වූ සමන්තගෙන් වත් එයට හරි පිළිතුරක් ලබා ගත නොහැකි විය.

ඒ කාලයේ ගෙදර සෙල්ලම් කල්ලිය  සමන්ත එක පැත්තකත් අපි හැමෝම අනෙක් පැත්තෙත් ලෙස විය.

ඒ නිසා අක්කලා, මැණිකේ සහ අපි හැමෝම එකතු වී සමන්තට නමක් තැබුවෙමු. 

ඒ කාලේ අපි සමන්තව හැඳින්වුයේ  "ලෙබ්බේ " යන නමිනි. මේ නම් සමහරක් අපේ ලොකු මාමා , පොඩ්ඩේ මාමා සහ රාජු මාමා විසින්ද පාවිච්චි කළහ.

මම මුලින්ම ගියේ කිරඹඔය විදයලයටයි. 1976 ජනවාරි මාසේ දිනක  හෝඩියේ පන්තියට ගිය හැටි මට තවමත් මතකය.

 (මමත් සමන්ත මෙන්ම හෝඩියට ගියේ අඩු වයසිනි. එහෙත් ගමෙන් නගරයට යාමේදී හතරේ පන්තියේ දෙවරක් ඉන්නට මට සිදුවිය)

පනති බාර කළුතර ටීචර්ට බුලත් හුරුල්ලක් දී වැඳ දවස අරම්භ කලෙමි.

එදා හවස ගෙදර ආ ගමන්ම මගේ කෙල්ලක් සම්බන්ධ කර ලැබුණු පළමුවෙනි නාමය රේජිස්ටර් විය.

ගෙදර එන විට අපේ ලොකු මාමා , අම්මා ,අය්යා අක්කා ඇතුළු සැවොම අලුත් පංතිය ගැන දැන ගන්නට ආශාවෙන් සිටියහ.

"චුටි පුතා .. කොහොමද අලුත් පංතිය? අළුත් යාළුවෝ එහෙම හම්බවෙන්න ඇතිනේ? "

"කවුද උඹේ හොඳම යාළුවා.. ?" පැනය ලොකු මාමා ගෙනි.

ම්.. ම්ම්... ම්ම්ම්..   ටික වෙලාවක් කල්පනා කලෙමි ... "ටිකිරි ලතා "  පිළිතුර කටට ආවේ ඉබේමය.

ගෙදර හැමෝම කොක් හඬලා සිනා සුනා මතකය.

එදා සිට මම ටිකිරි ලතා වීමි.  අපේ ලොකු මාමා මෙය " ලකිරි ටිතා " ලෙස වෙනස් කළේය. සමහර විට ඔහු මට "ලකිරි" ලෙසද ඇමතුවේ  මේ නිසාය.  

අපේ අක්කා , නංගි , සමන්ත ඇතුළු හැමෝම තැප්පා යන නාමය වෙනුවට ටිකිරි ලතා යන්නද මා ඇමතීමට ( සුළු තරහකදී) පාවිච්චි කළහ.

ටිකිරි ලතා ඒ කාලේ සඳතැන්නේ සිට කිරඹ ඔය විද්‍යාලයට පැමිණි කුඩා සිසුවියකි. ඒ කාලේ සඳතැන්නට ඉස්කෝලයක් තිබුනේ නැත.

පසුකලෙක මම  සඳතැන්න විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කරද්දී ටිකිරි ලතා දුටුවෙමි. ඇය ඒ වන විට අසල තිබු තේ වත්තේ තේ දළු නෙලන්නියක ලෙස සේවය කලාය.

සමන්තට වඩා මම ටිකක් කළු පැහැයෙන් වැඩි බව හැමෝම දනිති. ඒ බව සැලකිල්ලට ගෙනදෝ අපේ අම්මා මට තවත් නමක් පාවිච්චි කලාය. 

මේ නමටත් අපේ ලොකු මාමගේ ලොකු සම්බන්ධයක් තිබිය යුතු යැයි මට සිතේ.  ඒ ඔහුත් මේ නම මා ඇමතීමට නිතරම වාගේ යොදා ගත් බැවිනි. 

මේ දෙදෙනාම තම ආදරය පෙන්වීම සඳහා යොදා ගත්  ඒ නාමය නම් " කළු බන්ඩේ" යන්නයි.  මෙය "කළුවේ" ලෙස කෙටි කර පාවිච්චි කරන්නට ද අක්කා මලෝ පසු බට නොවුහ. 

නැවතත් අපේ සෙල්ලම් කල්ලියට ලැබුණු මේ අලුත් නම ඔවුන් විසින්ද මා හැඳින්වීමට යොදා ගන්නා ලදී. 

කළු බන්ඩේ, කළුවේ, කළුවා.... යන  වියුත්පන්න  නාමයන් පාවිච්චි කිරීම අපේ අය්යලා අක්කලාගේ  ඒ කාලේ පැවති විනෝදාංශයක් විය. 

 මට නම් තැබීමේ ශුරයෙකු වූ අපේ ලොකු මාමා තැබූ තවත් නමක් මගේ සිහියට නැගේ .

 ඒ "ටකරි සීයා" හෝ "ටකරි මුත්තා" යන නාමයයි. 

මෙය වැඩි පුරම පාවිචිචි කළේ ඔහු සහ ඔහුගේ මලනුවන් දෙදෙනා ( පොඩ්ඩේ මාමා සහ රාජු මාමා) විසින්  වීම  විශේෂත්වයකි. 

මෙය ටිකිරි ලතා යන්නෙන් බිඳී ආ නාමයක් දැයි මට හරියටම මතක නැත.

එහෙත් අපේ මාමලා තිදෙනා විසින් මේ නම මා ඇමතීමට නිතරම යොදා ගත් බව නම් හොඳින් මතකයේ රැඳී තිබේ. 

කිසියම් හේතුවක් නිසා අපේ අය්යා සමන්ත හෝ අපේ අක්කලා හෝ ටකරි යන නාමය මා ඇමතීමට යොදා ගත්තේ නැත.

පාපු කිරී හෙවත් අපේ ලොකු නංගි

ඒ කාලේ අපේ සමන්ත සින්දුවක් කියමින් ලොකු නංගිට විහිළු කරනු  මා මතකයේ තිබේ.  ඔහු ගැයූ ගීතය ..
පාපු කිරී ආවේ .. රාමා සොයා... මහද ලැගුම් ගන්නේ පෙම් ගී ගයා .... යන පද වලින් යුක්තය.

මෙය ලක්‍ෂමන්  රොද්‍රිගු නමැති ගායකයා ගැයූ "චාරුලතා ආවේ.. යන ගීතයේ තාලයට ගැයු ගීතයකි.


පාපු කිරී...ගීතයේ නිධාන කථාව හරි රසවත් එකකි.

පාපු යනු ඒ කාලේ අපේ අම්මාගේ අත් උදව්වට පැමිණි ද්‍රවිඩ වතු කම්කරු කාන්තාවකි.  ඇය ජිවත් වුයේ අසල ඇති තේ වත්තේ තිබු ලැයිම් කාමරයකය.

අම්මාට අපේ ලොකු නංගි ලැබුණු කාලයේම ඇයට ඇයගේ පුත් රාමා  ලැබී ඇත. ඒ නිසා අපේ ගෙදර වැඩට එද්දී ඇය කිරී දෙන මවකි.

දිනක්  අපේ ලොකු නංගි රාමාට කිරී දෙමින් සිටි පාපුගෙන් මව් කිරී බී ඇත්තේ ඇයගෙන් කිරී ඉල්ලා හඬා වැටීමෙන් පසුවයි.

පාපු ඒ කාලේ අපේ නංගිට බෙහෙවින් ආදරය කලාය.

සමන්ත හා අක්කා පසු කලෙකදී මේ සිද්ධිය මතක් කරමින් අපේ නංගිට "පාපු කිරී "  "රාමා"
යන නම් දෙක පටබැඳි ආකාරය මේ ගීතයෙන් කියැවේ.

කුඩා කල සිටම  බලවත් පැලැන්තියට  ( කිරඹ ඔයේ අපේ නෑදෑයින් වැනි) වඩා  සාමාන්‍ය ජනතාවට ප්‍රිය කිරීම අපේ නංගි පෙන්නුම් කල ලක්ෂණයකි.

ඇය දැන් යෝධ ඇල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක පරිපාලන නිලධාරිනියක් ලෙස සේවය කරයි.

පොදු ජනතාවට ඇයගේ තිබු ඇල්ම අදටත් පවතී නම්  යෝධ ඇල ප්‍රදේශයේ මිනිසුන්ගේ  අනාගතයට  හොඳ කලක් යනු ඇත.


Monday, 5 October 2015

ත්‍රි පුද්ගල කමිටුවට මුණගැසුණු අමුත්තා..


ඒ අසු නවය වසරේ මැද භාගයේ දිනයකි.  මේ දිනවල දිවයිනේ බොහෝ පාසැල් වල  වැඩ කෙරුනේ පළමු හා දෙවන කාල පරිච්චේද වල පමණි.

අනතුරුව එළඹෙන විවේක කාලයත් සමග විරෝධතා ව්‍යාපාර  ඇරඹීම එකල බහුලව සිදු වූ දෙයකි.

මේ කාලයේ කණ් ඩුල , ගාට්ටා, තිලාන් හේවගේ, හරීන් වැනි ඉගෙනිමටම කැපවූ අය පා සැල් ආවේ ඉතාම අඩුවෙනි.

ඒ දවසේ වැඩි කාලයක්ම සටන් පාඨ කියමින් ඉන්නට ඔවුන් කිසි කැමැත්තක් නොදැක්වූ බැවිනි.

නො එසේනම් ඔවුන්ගේ දෙමව්පියන්  රටේ සිදුවෙන දේවල් ගැනත් ළමයින් මේ අස්සේ පාසැල් යැවීමෙන් සිදුවිය හැකි අනතුරු ගැනත් විමසිල්ලෙන් සිටියා විය යුතුය.

ඒ කෙසේ වෙතත් චමින්ද, සුරාජ් සහ කවිඳු ත්‍රිත්වය මේ දිනවල නොවරදවාම පාසැල් ගිය පිරිසකි.

පාසැල් ගොස් අපි කරන්නේ පාරට බැස කෑ ගැසීම වුවත්,  එය නතර කරන්නට අපේ දෙමව්පියන් කිසිම උත්සහයක් ගත්තේ  නැති ගානය.

කොල්ලන් වූ අප පමණක් නම් කම් නැත.

සුජාතාවේ, කොන්වන්ට් එකේ මෙන්ම බිම්බිසාර විද්‍යාලයේ සහ අප විද්‍යාලයේ කෙල්ලන්ද වැඩි පිරිසක් නොවරදවා පාසැල් පැමිණි කාලයකි මේ.

 ඒ අනුඅව සීනි බනිස් , පුස් බනිස් සහ සුරේඛා යන නංගිලාද ඒ කාලේ අප මෙන්ම උනන්දුවෙන්  පාසැල් ගියහ.


දික්වැල්ලේ විජිත සිසු ඝාතනය සහ අරලගංවිල විරෝධය



මේ කියන දවසේද චමින්දත් , සුරාජ් සහ මමත් උදැසනින් පාසැල් ගියෙමු. ඒ වෙනදා මෙන්ම  බනිස් වර්ග දෙකත් සමග කෙරෙන උදාසන සාකච්චා සම්මන්ත්‍රණද  ආවරණ වන පරිද්දෙනි.

මේ දෙදෙනා පැමිණෙන්නේ බෙලගන්වැව බසයේ වුවද සුරේඛා අපට මුණ ගැසෙන්නේ හවස් වරුවේදිය.

ඒ  320  අම්පිටිය හෙවත්  30 ශ්‍රී 3869 බසයේදී පමණි. 

එම නිසා උදැසන කවිඳු කලබල අඩු  සිසුවෙකුගේ චරිතයට පණ පොවයි.

එහෙත් චමින්ද සහ සුරාජ් තොර තෝංචියක් නැතිව බනිස් නංගිලාට බන දෙසති.

එදා සුරාජ් සහ මම පාසලට පැමිණ ටික වෙලාවකින් ලැබුණු ආරංචියකි . 

" ඊයේ දික්වැල්ලේ විජිත මහා විද්‍යාලයේ විරෝධයට පොලීසියෙන් වෙඩි තියලා.. එක කොල්ලෙක් මැරිලා...අද ඉන්ටර්වල් එකට මේන් හෝල් එක ලඟට වරෙල්ලා." 

මේ ආරංචිය පැතිර වුයේ වැලි කන්දේ 79 කල්ලියේ සිටි තවත් සටන් කාමී සිසුවෙකු වූ කමල් විසිනි. 

උදේ පන්තියේ උගන්වන දේට සවන් දෙනවාට වඩා අප සාකච්චා කලේ විජිතයේ සිදුවුයේ කුමක්ද යන්නයි.

පාසැල පටන් ගෙන පැය එක හමාරක් ගතවී ඇත.

"ටිලින්.. ටිලින්.. ටිලින්.." ජේමිස් අය්යා බෙල් එක ගහන ශබ්දය ඇසීමත් සමගම අපි එලියට බැස්සෙමු.

13 සිටි ලොකු අය්යලා වූ අප මෙහි පෙරමුණ ගත යුතුය.  ක්‍රියාකාරී සිසුන්ගෙන් එදා ඉස්කෝලේ සිටියේ කමල් හා සුගත් පමණි. 

මෙයින් කමල් දිනයේ නායකයා ලෙස හැසිරුණ හැටි මට තාමත් මතකය. මුලින්ම 13 පන්තිවල අපි ප්‍රධාන ශාලාව අසලට ගියෙමු. 
එතන ටික වෙලාවක් ගත කිරීමෙන් පසු විදුහලේ අනෙක් සිසුන්ට මෙය දැන්වීම සිදු විය. 

ජේමිස් අය්යාගේ තඩි බෙල් එක  පඩිපෙළ මුදුනේ වූ පඩි ගැට්ටේ තිබේ.. 

අප අතර සිටි එක් අයෙක් සියලු වෙර යොදා බෙල් එකට පා පහරක් ගැසිය... 

දැන් බෙල් එක පඩි පෙළ පහලට පෙරලි පෙරලි යයි.   ටිලින්.. ටිලින් .. හඬ තුන්වරක් නොව පනස් වරක් පමණ ඇසෙද්දී ලොකු කුඩා සියලු සිසුන්  ප්‍රධාන ශාලාව ළඟ මිදුලට රොක් වුහ.

දැන් කමල් ඇතුළු නායකයින් සහ එයට සම්බන්ධ නැති උණ කාරයින්ගේ මග පෙන්වීම මත සිසු සිසුවියන් කොස්ගම- කණවැරැල්ල පාර දෙසට ඇදෙති.

අප දැන් සිටින්නේ කොස්ගම සමුපකාරයට මුහුණලා  විද්‍යාල භුමියේ තිබු ට්‍රාන්ස්පෝමරය ආසන්න උස්බිමෙහිය. 

සටන ආරම්භ විය. අපි අතට ලැබුණු සටන් පාඨ කියවන්නට පටන් ගතිමු. 

" අපිට  ඕනේ ආණ්ඩුවක්... දේශප්‍රේමී ආණ්ඩුවක්...

උතුර රකින ආණ්ඩුවක්... දකුණ රකින ආණ්ඩුවක්...

රට සුරකින ආණ්ඩුවක්..."

"අපිට එපා පාන්ඩුවක්...."

මේ අතර අරලගංවිල නගර සභාවෙහි පිහිටවා තිබු  හමුදා අනුඛණ්ඩයට  පණිවිඩය ලැබේ.

අප කෑ ගසනා අතර කොළ පාට තොප්පි පළඳින හමුදා සෙබළුන් රැගත් ටාටා වර්ගයේ ට්‍රක් රථයක් සමුපය අසලට ලඟා වෙයි.

කමල් ඇතුළු පිරිස විසින් අපට ලබා දුන් සටන් පාඨ හිටි හැටියේ වෙනස් වෙයි. 


"යුද සෙබළුනි මේ අහන්න... ඔබේ ආයුධ අපට දෙන්න ... අපි යන්නෙමු රට රකින්න..."


විරෝධය මෙසේ ගත වෙද්දී අප අතර සිටි තවත් උණ කාරයෙක් මෙවැනි යෝජනාවක් ගෙනාවේය.

"අපි  විජිතයේ සහෝදරයාට මෙහෙම විතරක්  ගරු කරලා මදි.. එයාගේ නමින් අපේ  ප්‍රධාන ශාලාව නම් කරමු "නිශාන්ත ජයවර්ධන  අනුස්මරණ ශාලාව කියලා.."

එය ඉදිරිපත් වුයේ සටනේ නියමුවෙකු වූ වැලිකන්දේ කමල් වෙතය..

"බෑ... බෑ... එහෙම කරන්න බෑ.. අපේ ඉස්කෝලේ සහෝදරයෙක් නැති වුනාම එයාගේ නම තියන්න එපැයි  මේන්හෝල් එකට "

කමල් ගත් කටටම කිවේය. 

එහෙනම් මේකයි මෙයාලගේ බලාපොරොත්තුව? 

කමල්ගේ පිළිතුරෙන් මගේ සටන් කාමී සිසුන් ගැන තිබු පිළිගැනීම සියට බර ගණනකින් පහල බැස්සා මතකය.

කණවැරැල්ල  බසයට ගල් ප්‍රහාර

මෙතෙක් පැවති විරෝධයන්ට වඩා අද තත්වය තරමක් දරුණු බවක් පෙනෙයි . ඒ පෙරමුණ ගත් කමල් නිසාදෝයි යම් සැකයක් මසිතට නැගුනා මතකය. 

විජිතයේ බිල්ලෙන් පසු දෙවැනි බිල්ල මෙහෙන් දෙන්න උවමනා ගතියක් ද තරමකට වගේ පෙන්නුම් කෙරිණි. 
සිංහ රෙජිමේන්තු නිල ඇඳුමට විරුද්ධ සටන් පාඨ ඇරඹින..

 " කොළ කොටියන් අපට එපා .. මිනී මරුවෝ අපට එපා.."  හඬ ඇසෙන්න්නේ කාන්තා පර්ශ්වයෙනි.

තරුණ වියේ මෙන් පසු වූ සමහර සෙබළුන්.. නංගි..... අපි කොළ කොටි නෙවෙයි ...මේක අපේ යුනිෆෝර්ම් එක..කියමින් කියනු අපට ඇසේ .

මේ අතර අරලගංවිල සිට කනවරැල්ල දක්වා යන 325 බසයක් කන්ද නගිනු ඇසේ.. අපේ ශබ්දය තවත් වැඩි වෙයි. බසයේ රියදුරා තට්ට ප්‍රේමේය..

දඩාන්.. කවුදෝ කොල්ලෙක්  විසි කල ගලක් ප්‍රේමේ ගේ බසයේ වැදිණි. කඩි ගුලක් මෙන් ඇවිස්සුනු  අනෙක් සිසුන් ගල් වරුසාවක් බසය දෙසට එල්ල කළහ...

ප්‍රේමේ ගල් පහර කාගෙන බසය ඉදිරියට ධාවනය කරන්නට ඇත.

විරෝධය නිසා පාසැල වෙලසනින්  හමාර විය. කොලපාට හමුදාව තවමත් සමුපකාරය අසල රැකවල් ලා සිටිති.

අපි කිසි වැරද්දක් නොකළ උපාසකයින් ලෙස නිවෙස් බලා පිටත් වූයෙමු.  එදින හවස කවුරුන් අතුරුදහන් වේදෝයි යන බිය හැමෝගෙම සිත් තුල පවතින්නට ඇත. 

ඇත්තටම කිව්වොත් මේ අපේ විදුහලේ සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබු කාලයකි.

බස් වර්ජන සහ රෝහල් වර්ජන.



පසුදාට පහන් විය. ගුවන් විදුලියෙන් හෝ අපේ අය්යා අහන  පිලිපීනයේ මැනිලා ගුවන් විදුලි සේවයෙන් හෝ අරලගංවිල සිදු වූ කිසිවක් ගැන වාර්තා වුයේ නැත.

සුරාජ්, චමින්ද හා මා සුදෝ සුදු ඇඳුමින් සැරසී පාසැල් යන්නට පැමිණියෙමු. මල් ගහ ලඟට වී සෑහෙන වෙලාවක් සිටියද බසයක් එන ලකුණක්  නැත.

"මචන්ලා.. මොකද කරන්නේ ? ගෙදර යමුද?  පයින් යනවද? මම ඇසුවෙමි... 

ගෙදර යන්න? පිස්සුද උඹට?... "බනිස්ලා එහෙම කපාගෙන" ටවුමට යන්න ඕනා මටනම් " ගෝරනාඩුව  බණ්ඩා ගෙනි.

"ඔන්න ඔහේ පයින් යමු මචෝ...චමින්දටත් ලෙස්ලන්ඩ් හන්දිය සිහි වී තිබේ.බනිස්ලානම් පයින් යයි. ඒත් හැතැක්ම හත අටක දුරක් පයින් එන්න සුරේඛා එයිද? 

අවසානයේ ත්‍රි පුද්ගල කමිටුව තීරණය කලේ සැතපුම් පහක් වූ දුර ගෙවා පාසැල වෙත පයින් යන්නටයි.

සුජාතාවට යන රන්දිලා, බනිස්ලා මෙන්ම තවත් බොහෝ සිසුවියන් අප හා සමගාමිව අරලගංවිල දෙසට පයින්ම ගමන් කළහ.

බණ්ඩාගේ භාෂාවෙන් කිව්වොත් අපි "කට්ටිය කපාගෙන" ඉස්කෝලේ ගියෙමු. බස් නැති වුවද සෑහෙන පිරිසක් පාසලට පැමිණ සිටියහ. 

එදා චමින්දත්  යෝධ ඇලට නොයා අපිත් සමගම අපේ ඉස්කෝලේ පැත්තට ආවේය.  විරෝධතා නිසා ඉස්කෝලේ එන්නේ කවුද නැත්තේ කවුද කියා සොයන්නට කෙනෙක් නැ ත.

පුරුදු පරිදි දවසේ පැය කිහිපයක් ශබ්ධ පුජා පවත්වනු ලැබිය. 

අවසානයේ වෙහෙසට පත්ව නැවතත් අරලගංවිල සිට සිරිමල්වත්ත දෙසට පයින්ම ගමන් කළෙමු.

අනෙක් සිසුන් ගැන මට මතකයක් නැත . අප තිදෙනා  නැවතත්  ගමන් කලේ  බනිස් , පුස් බනිස්, සුරේඛා ආදී සිසුවියන්ට අතේ දුරිනි  

" අපි කපාගෙන යන ගමන්" නිවෙස්  බලා යමින් සිටියෙමු.  

කෙල්ලෝ ටික අපට ඉදිරියෙන් ගමන් කරති. 

පාරේ එතරම් වාහන දක්නට නොමැති බැවින් අප ගමන් කලේ පාර පුරාමය. 

අප හෙලමුදුනේ මහා වංගුව පසු කළා පමණි.  සුදු පැහැති මෝටර් රථයක් ( ලාන්සර් වැගන් වර්ගයේ) අප පසු කර ගොස් නතර කළේය.

කෙළිදෙලෙන් පාරේ ගියද ඒ කාලේ සිදුවූ අමිහිරි සිදුවීම්  අප හොඳින් දැන සිටියෙමු.  " 

කොළ කොටි .. කළු බළල්ලු.. කහ බළල්ලු... ප්‍රා... ආදී මෙකි නොකී සංවිධාන සියල්ල මගේ සිහියට නැගේ..
බනිස්ලා.. සුරාජ්ලා ඇතුළු අපි හැමෝගෙම අවසානය අද වීමටද බැරි නැත.

අපි බිය සැක හා සන්ත්‍රාශයෙන් යුතුව  මෝටර් රථය දෙස බලා සිටියෙමු.

කාරයේ දකුණු පස දොර ඇරිණි. 

ක්‍රීම් පැහැති යුරෝපිය ඇඳුමින් සැරසුන  හොඳින් රැවුල කපා සිටි මහත්මයෙක් කාරයෙන් බැස්සේය.

අනතුරුව ඔහු චමින්ද , සුරාජ් සහ මා වෙත කෙලින්ම පැමිණියේය.

ඒ කාරයේ පැමිණ සිටියේ  ඔහු පමණි.  

මල්ලිලා කොහොමද?  කොහාටද යන්නේ..?

"සිරිමල්වත්තට" චමින්දයා පැනලා දුන්නේය..

  පයින් යන්න අමාරුයි නේද  ? එන්න යමු මාත් එක්ක . මම සිරිමල්වත්ත පහු කරලා යනවා.

" මේ යකාට පිස්සුද මචං... අන් සැපතට ඉර්ෂ්‍යා කරන්නේ..? "  බණ්ඩා කුටු කුටු ගා මගේ කනට කර මුමුනයි.

මේ අතර චමින්දයා   අමුත්තා සමග හරි හරියට කතාවකය.  

මේ වෙලාවේ සක්‍රයා මාතලී සමග ආවත් අපි වාහනයට නග්ගනවා බොරු.

" කමක් නෑ  අංකල් යන්න... අපි හෙමිහිට පයින් එන්නං...."

අපි තුන්දෙනා  ඉතා නිහතමානිව ඒ මහත්මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමු. 

කොල්ලෝ ගමනට එකතු නොවන බව දැනගත් කාර් මහත්තයා අප ගෙන් සමුගෙන යන්න ගියේය..

" කවුද බන් ඒ..? උඹට නම් මිනිහා ටිකක් හුරු පාටයි..?" 

මම චමින්දගෙන් ඇසුවෙමි..

ආ.. ඔය දොළුවේ පැත්තේ තේ වත්තක ඉන්න මහත්තයෙක් නේ බන්.. පොර අපේ කඩෙන් බඩු අරන් යනවා වෙලාවකට..

අත්තනායකද කොහෙද මෑන්ගේ නම.. චමින්දයා මට කරුණු පැහැදිලි කළේය.

මම සිද්ධිය සැනෙකින් අමතක  කලෙමි.

එහෙත්  ඒ 1989 නොවැම්බර් දහතුන්වෙනිදා වෙන තෙක් පමණි.

නොවැම්බර් 12 රාත්‍රී  රජයේ රූපවාහිනියෙන්  ඒ මහත්මාගේ මුහුණ නැවතත් දැක්කෙමි.

එදා අපට ලිෆ්ට් එකක් දෙන්න හැදුවේ  දොළුවේ තේ වත්තක සිටි "අත්තනායක මහත්තයා" විසිනි  . 

ඔහු අන් කිසිවෙක් නොව   කමල්ලගේ බොස් නොහොත් රෝහණ විජේවීර සහෝදරයාය.