Follow by Email

Tuesday, 29 September 2015

මුදු තුනක් සහ මාලයක් හතරවන කොටස- දුෂ්කර ක්‍රියා

"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.

එමෙන්ම එවන් මිනිසෙකුගේ ආදරය තම පවුලට , නෑදෑයින්ට සහ හිතවතුන්ට පමණක්ම සිමා වන්නේ නැත.... 

මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  සියල්ල ඒ ලෙස තේරුම් ගනීවිද ?.."


ඒ කාලේ නිම්මි වැඩ කලේ දෙනුවර මහා රෝහලේ  කායික රෝග වාට්ටුවකයි. අප නිවසේ සිට රෝහලට තිබුනේ කිලෝ මීටර් පහක පමණ දුරකි.

නිම්මිලාගේ මහා ගෙදර සිට රෝහලට පැමිණීමට පැය එක හමාරක් වත් අවශ්‍යය.

 ඒ නිසා මා රටින් පිට වුවද අලදෙනියේ පිහිටි අපේ කුලී නිවසේම නැවතී වැඩට යන්නට ඇය තීරණය කලාය.

එම රෝහලේම වෙනත් වාට්ටුවක වැඩ කල  ඇගේ එකම සොහොයුරිය හෝ ඇයගේ මව තනියට ගෙන්වා  ගන්නා ලෙස ඇයට යෝජනා කලෙමි.

එහෙත් ඇගේ සොහොයුරිය පුරුදු පරිදි මාවනැල්ලේ සිය නිවසේ සිටම වැඩට එන්නට තීරණය කලාය.

ඒ නිසාම නිම්මිගේ මවද තම පොඩි දුව බලාගෙන මාවනැල්ලට වී සිටියාය.

පියතිලකට සහ ඉරුගල්, සුරේඛා ඇතුළු පිරිසට  මගේ නෙදර්ලන්ත ගමන ගැන තිබුණ සතුට මට නැත.

 සියල්ල අතහැර පිටත් විය යුතුය. මම කරන්නේ කුමක්දැයි දහ අතේ කල්පනා කරමින් සිටියෙමි.

මේ අතර මගේ දෙපාර්තමේන්තුවේ එකම එක සගයෙක් කීවේ

 " මම එහෙම නම් උපාධි නෙවෙයි රජකම ලැබුනත් නිම්මි ඔය තත්වයෙන් ඉද්දි තනියෙන් දාලා යන්නේ  නෑ.. " යනුවෙනි.

වාසනාවකට හෝ අවාසනාවකට ඔහු  ඉරා මෙන් හිතේ ඇති දේ කෙලින් කියන අයෙක් නොවීය.

එය මගේ හිතට ඒ තරම් තදින් කා වැදෙන තත්වයේ අවවාදයක් නොවුනේ එහෙයිනි.

අලදෙනියේ දෙපාර්තමේන්තු කෙණෙහිලි, ගැටුම් , බෙලි කැපිලි ආදිය සිහියට නගා ගත්තෙමි.

අපි හැමෝගෙම අනාගතය ගැන සිතා මම අභිනිෂ්ක්‍රමණයට  හිත හදා ගත්තෙමි.

ජුලි මාසේ අග හරියේ දිනක නෙදර්ලන්තය බලා පිටත් වීමි.

සිශ්‍යත්වයට අනුව තම පවුල එරටට ගෙන්වා ගත හැකි වන්නේ වසරකට පසුවයි.

ඒකත්  අපේ පළමු වාරයේ  විෂයන් වල පැවරුම් වලට හොඳ ලකුණු තිබුනොත් පමණි.

මට උසස් පෙළට පාඩම් කල හැටි සිහිවෙයි.

ඒ කාලේ ..."විභාගේ ගොඩ ගියොත්  ....මගේ බලා පොරොත්තු ව ඉටු කර ගත හැකිය"

මෙවරත් එසේමය. හොඳ ලකුණු ගත්තොත් නිම්මිලාට මා සමග එන්නට හැකිවේ.

ඒ නිසා මේ අභියෝගයත් උසස් පෙළ  සේම  බාර ගන්නට තීරණය කලෙමි. මුළු වැර යොදා A සාමාර්ථයක් වෙනුවෙන් වැඩ කලෙමි.

මේ අතර  අලදෙනියේ...සුපුන් කුසේ දරා ගත් නිම්මි තනියෙන් පාරේ බස් එකේ නැග වැඩට ගියාය.

 ඒ පමණක් නොව ඒ වනවිට අපේ හිතවතෙකුට බලා ගන්නට දී තිබු බෙහෙත් කඩේ කුලී ගෙවීම් ඇතුළු වැඩද ඈ පිට පැවරුණේය.

බොහෝ දිනවල කොළඹ- දෙනුවර පාරේ බස් වල හිටගෙන ගමන් කරන්නට ඇයට සිදු විය.


නෙදර්ලන්තයේ මුල් මාස හය

මම "ජාත්‍යන්තර සොඛ්‍ය " පිලිබඳ මාස්ටර්  උපාධිය පටන් ගත්තෙමි.  මුල් මාස හයේ තිබුනේ පර්යේෂණ කිරීම නොව ඊට අදාල විෂයයන්ය. හිසේ වැඩ කලේ එකම එක දෙයකි. 

"නිම්මි සහ සුපුන් මා ලඟට ගෙන්වා ගන්නේ කෙසේද.." යන්න පමණි.  එය ඉටු කර ගත හැකි වන්නේ හොඳම ලකුණු ලබා ගැනීමෙන් හා හැකි තරම් මුදල් රැස් කිරීමෙන් පමණි.

රැස්කර ගත යුතු මුදල ලේසි පහසු ගනනක් නොවේ . ක්‍රෝනර් අසූ දහසකි ( රුපියල් ලක්ෂ දොළහකි). මට මාසයකට ලැබුනේ ක්‍රෝනර් අට  දහසකි. 

පොතේ හැටියට ඔක්කොම ඉතුරු කලත් නිම්මිලට  මාස දහයක් යනතුරු මෙහි පැමිණිය නොහැක.

දිවා රෑ නොතකා පාඩම් කලෙමි.  ලැබුණු ශිස්‍යත්වයෙන්  නිවාස කුලිය ( ක්‍රෝනර් දෙදහසක්) හැරුණු කොට වියදම් කලේ ඉතාම සුළු ප්‍රමාණයකි.

ඒ අත්‍යවශ්‍යම කාරණය වූ ආහාර වෙනුවෙන් පමණි. මගේ අහාර මමම පිළියෙළ කරගත්තෙමි. 

නවාතැනේ සිට CIH හෝ නගරයට ගියේ පයින් හෝ බයිසිකලයකිනි.

මේ කාලේ මගේ හොඳම මිතුරන් වුයේ දකුණු අප්‍රිකා, බංගල්දේශ් , ඉන්දියානු, පකිස්ථාන්  සහ නේපාල ජාතිකයන්ය.

ඔවුන් මා මෙන්ම  තම උපාධිය වෙනුවෙන් මෙරටට පැමිණි අයවලුන්ය.  ඒ අතර සිටි පකිස්ථාන් කාන්තාවක් පැමිණි සිටියේ තම කිරිබොන දරුවා සමග ස්වාමියා තනිකරමිනි.

හිත හදා ගන්නට තරම් ඒ ආරංචිය වුවද ප්‍රමානවත්ය.

CIH ( Center for International Health) එකේ සේවිකාවන්ද බොහෝ සෙයින් ශෝක වුහ. ඒ ගැබිණි බිරිඳක් තනිකර මට එන්නට වූ ගමන ගැන දැන ගත් පසුවයි.

මුල් මාසය ඉතා අපහසුවෙන් ගෙවා ගත්තෙමි.  ලැබුණු පැවරුම් හැම එකටම වැඩිම ලකුණු ගත්තේ මා විසිනි.

හොඳම හොඳ ගණන් කාරයෙක් වූ වියට්නාම් ජාතික මිතුරෙක්  medical statastics වලින් පළමු වැනියා විය.

අරමුණ මා ඉතා හොඳින් වැඩ කරන බව NORAD නියෝජිතයින්ට පෙන්වීමයි.

එවිට ඔවුන්ට කියන දිනයට කලින් නිම්මිලා මෙහාට ගෙන්වා ගත හැකිය. දිගින් දිගටම ඉහලම ලකුණු වෙනුවෙන් පාඩම් කලෙමි.

CIH සේවිකාවක් හරහා NORAD නියෝජිතවරියද හඳුනා ගත්තෙමි.

සියල්ල අවශ්‍ය පරිදි කෙරීගෙන යයි.  මුදල් ඉතිරි කිරීමද එලෙසම වුවත් මාස හයකින් ( සුපුන්ගේ උපතින් පසුව)  නිම්මිලා ගෙන්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවේ.



මේ අතර නිම්මි තනිවම අලදෙනියේ ගෙවන ජීවිතය එන්න එන්නම අපහසුවිය. 

මම අරලගංවිල සිටි අපේ අම්මා නිම්මිගේ තනියට නවත් වන්නට තීරණය කලෙමි.  ඒ ඇයට නොකිව්වත් මාස හය අවසානයේ සැලකිය යුතු මුදලක් ඇගේ ගිණුමට බැර කරන බලාපොරුත්තුවත් ඇතුවයි.


මම අරලගන්විලට කතා කර අම්මා අලදෙනියට ගෙන්වීමේ සැලසුම සාකච්චා කලෙමි.

අවසානයේ අපේ අම්මා අලදෙනියට පැමිණියාය.  


සුපුන්ගේ උපතට නැවතත් ශ්‍රී ලංකාවට



NORAD නියෝජිත වරිය සමග පැවති සාකච්චා අති සාර්ථක විය. මාස දොළහ වෙනුවට මාස හයකින් නිම්මිලා ගෙන්වා ගැනීමට අවසර ලැබිණි.  

එපමනක් නොව මානුෂීය පදනම මත සුපුන්ගේ උපත සිදුවන සතියට නිවාඩුත් නොමිලේ ගුවන් ටිකට් පතකුත්  සංවිධානය කෙරිණි.

දෙසැම්බර් මාසයේ අග දිනක කටුනායකට ලඟා වීමේ බලාපොරොත්තුවෙන්  තාබ්රු සර් වැඩ කල SAS සමාගමට අයත්  ගුවන් යානයකට  ගොඩ වූයෙමි.

දුෂ්කර ක්‍රියාවේ මහිමයෙන් කිලෝ හත අටක් කෙසේ වෙතත් කිලෝ  දහයක් දොලහක් පමණ මගේ  බරද අඩුවී ගොසිනි.

එය  පෙන්නුම් කෙරුනේ SAS ගුවන් යානය තුල  ජර්මනියේ  Frankfort ගුවන් තොටුපලේදී සිදුවූ සිද්ධියකිනි.

ගුවන් යානයෙන් බසින්නට ඔන්න මෙන්න තිබියදී මම මාගේ ශීතල කබාය ගලවන්නට තීරණය කලෙමි.

දකුණු අතේ සුලෑඟිල්ලේ තිබු යමක් ගුවන් යානයේ ආසන අතර සැඟවී ගත්තේය. 

ඒ මාගේ අතේ තිබු පවුම් එක හමාරක් පමණ වූ මංගල මුද්දයි.

මගේ  දුෂ්කර ක්‍රියාවේ ප්‍රතිඵලය සුළු පටු දෙයක් නොවන්නේ එබිවිණි.

ගුවන් සේවිකාවන් ආසන කිහිපයක් යට බැලුවත් මුද්ද ලැබුනේ නැත. 


කාගේ හෝ ඔඩොක්කුවකට වැටුනා නම්  එය නැවත ලැබෙන්නේද නැත. 

"Sorry.. we have to get ready for the next flight".  ඇය මාගේ අවසාන බලාපොරොත්තුවද සිඳ දැම්මාය.

කෙසේ හෝ සිද්ධිය අමතක කර ඊළඟ ගුවන් යානයට ගොඩ වූයෙමි.

රෑ පාන්දර වෙද්දී  කටුනායකට ලඟා වුනෙමි.  නිම්මි සමග අපේ පොඩි නංගි ඇතුළු පිරිසක් මා පිළිගන්නට පැමිණ සිටියහ.

"ඔයා කෙට්ටු වෙලා..." නිම්මි කිවූ මුල්ම වචනයයි.

"චුටි අය්යා මොකද ඔච්චර කෙට්ටු .. ? ඇයි එහේ කන්න නැද්ද.. ?

නියම ජයසේකර කෙනෙක් අසනා පරිදි ප්‍රශ්නය යොමු කලේ අපේ පොඩි නංගි විසිනි.

එදා සිට පහුගිය වාරයේ (2014) ලංකාවට යන තෙක් මගේ අතේ මුද්දක් තිබුනේ නැත.

2014 ලංකාවට යන්නට පෙර නිම්මි විසින් මගේ මුල්ම රන් මාලය පෙට්ටියක තිබී සොයා ගත්තාය. ඉතා සිහින් බව නිසා එය කිහිප පොලකින්ම කැඩී තිබුණි.

එවර අරලගංවිල ගිය අවස්ථාවේ "ගාන්ධිමතියෙන්"  මාලය උණු කර මුද්දක් හදන්නට ඇය තීරණය කලාය.

ප්‍රමාණය පවුම් එක හමාරක් දක්වා වැඩි කිරීමට තව රුපියල් තිස්දහසක් ඉල්ලන ලදී.

 නිම්මි  එය කිසි කතාවක්  නැතිව ගෙවා දැම්මාය.

අදටත් මා අතේ තිබෙන්නේ වයස 23 කදී  මා මුලින්ම උපයාගත් රත්රන් වලින් කොටසකි...





රත්රන් කථා වස්තුව මෙතෙකින් සමාප්තයි..

Monday, 28 September 2015

මුදු තුනක් සහ මාලයක් තුන්වන කොටස - මගේ ශිෂ්‍යත්වය සහ නෙදර්ලන්ත ගමන




"මිනිසුන්ට අසීමිතව ආදරය කරන මිනිසෙක් පහළ වන්නේ කලාතුරකිනි.

ඒ  ආදරය මුදල්, බලය, තනතුරු තරාතිරම් නොබලා කෙරෙන්නක් නම් එහි අගය තවත් වැඩි විය යුතුය.

මේ පාරිභෝගික සමාජයේ සියල්ල අප සිතන පරිදි  සිදුවේවිද?...  "

පසුගිය  කලාප වලින්.

1.  මුදු තුනක් සහ  මාලයක්  

2. රජුමාමාගේ විවාහය 


තුන්වන මුද්දේ කථාව සඳහා ඔබ සැම දශකයකට මදක් වැඩි පුර අනාගතයට රැගෙන යන්නෙමි.



මම ඒ කාලයේ අලදෙණිය වෙද විදුහලේ (පරිවාස) කථිකාචාර්යවරයෙකි.

විවාහ වී වසර තුනක් ගත වී ඇත. මගේ එකම පුත් සුපුන් මව් කුස පිළිසිඳගෙන මාස කිහිපයක් ගත වුවා පමණි.

මේ වන විට අලදෙණිය වෙද විදුහලේ  කාර්යමණ්ඩලයේ  බොහෝ දෙනෙක් ගැන බෙහෙවින් කල කිරී සිටියෙමි.

හේතුව  දෙනුවර එකෙක් නොවූ මා වෙත අනෙක් කථිකාචාර්ය වරුන්ගෙන් එල්ල වූ සුළු සුළු කෙනෙහිලිකම් නම් නොවේ.

දෙපාර්තමේන්තු ප්‍රධානත්වය අරභයා එහි ඇති වූ ගැටුම් ප්‍රධාන හේතුවකි.

තම රාජකාරිය බෙහෙවින්ම පැහැර හැරි ලොකු කුඩා සේවකයින් පිරිසක් සමග දිනපතා සේවය කිරීමට සිදුවීම අනෙකයි.

එකෙකුට එකෙක් නැති ලොකු පොඩි සේවකයින් රැසක් අතර මගේ හොඳම මිතුරන් වුයේ සුළු සේවකයින් තිදෙනෙකි.

ඒ ප්‍රේමදාස , පියතිලක සහ  ජයරත්න නම්  කම්කරුවන් තිදෙනාය.




රටින් ලියුමක් ඇවිත්




විශේෂිත දිනයක් නොවූ එදාද මම දෙපාර්තමේන්තු කොරිඩෝවේ ඇවිදිමින් සිටියෙමි.

 " සර් .. සර්.. අදනම් වැඩේ හරි වගේ "   අනියම් කම්කරුවෙකු වූ පියතිලක මා වෙත දිව එයි.

ඔහුගේ මුහුණ පුරා රැඳී තිබුනේ අනෙක් මිනිසාගේ සුබ සිද්ධිය ගැන අවංකවම  ඇතිවූ සතුටක සේයාවයකි.

"ලොකු ලියුමක් තියෙනවා සර්ගේ නමට පිට රටින්"

"රට යන්න චාන්ස් එකක් වගේ... මේකෙන් ගැලවෙලා යන්න ඇත්තන් ලොකු දෙයක් සර්" පියතිලක කියාගෙන යයි.

මා එක් වරම ගල් ගැසී ගියෙමි. " ගර්භනී බිරිඳ... කුළුඳුල් දරුවා " ආදී නොයෙක් අදහස්  මා සිත තුල  තෙරපේ.

"ඇයි  සර් බලා ඉන්නේ.. කඩමු කඩමු .." පියතිලකට ලියුමේ අන්තර්ගතය දැන ගන්නා තෙක් ඉවසිල්ලක් නැත.



" Dear Dr. Jayasinghe,

 we are pleased to inform you that you have been selected  for a 2 year Master's degree at  Center for International Health at Aarhus University.

This includes 2 year NORAD fellowship with all your expenses and airfare"





"වැඩේ හරි තමයි පියතිලක.  මට ශිෂ්‍යත්වයක් ලැබිලා."


මගේ හිතට ලොකු සහනයක් දැනේ.


පරිවාස කාලය ඉවර වෙන්න ඇත්තේ තව වසරක් පමණි. එයට පෙර පශ්චාත් උපාධියක් නැති වුවහොත් එලියට විසි වීමේ අවධානමක් තිබේ.

හවස හතරේ ඉඳන් අලදෙණිය- වල්පොල පාරේ බෙහෙත් කඩේ ඉඳන් හොයන සොච්චම පෙට්‍රල් වලටත් ප්‍රමාණවත් නැත.

පොඩිකාලේ අක්කා සහ නංගි සමග කිවූ මිල්ටන් පෙරේරාගේ ගීතයක් මට සිහිවේ.

" අද දෙවියන් අපගේ මුහුණ බැලුවා ..කාලෙකට පස්සේ..." 


අක්කලා අපි මෙය ගයමින් නැටුවේ වියලි ගිය තක්කාලි කොටුව තෙමමින් කඩා හැලෙන වැස්ස දැකීමෙනි.


අද තක්කාලි කොටු නැත. මම රටේ ඉහලම රැකියාවක් කරන්නෙකි.. අලදෙනියේ කථිකාචාර්ය යනු සුළු පටු දෙයක් නොවේ..

එහෙත් මගේ සිත කුඩා කල දුටු ඒ වෙනසම දකිමින් සිටියි.. " වියලුණු කතරට මහා වරුසාවක්" . සිද්ධි දෙකෙහි වෙනසක් මට නොහැඟෙයි.




http://sarigama.lk/profile/song_profile/4221/ada-deviyan-apage-priyankara-perera-mp3-song-download-online-listen




"නියමයි සර් ... මාර සන්තෝෂයක්  මටත්  දැනෙන්නේ " පියතිලක තවමත් කියවයි.

   "මටත් මාර සන්තෝෂයි පියතිලක. කියලා වැඩක් නෑ.."

මම පියතිලකගේ අත් දෙක තදින් අල්ලා  ගත්තෙමි.

මේ මොහොතේ සුර දුතයා වෙන කවුරුත් නොව අපේ දෙපාර්තමේන්තුවේ  මිනී එම්බාම් කරන ඔහුය.

"සර් ඔන්න වරද්දන බෑ පාටි එකක් ඕනෑ..මැඩම්ට කියන්න එයාගේ අතින්ම උයලා ඕනෙ"

"හරි හරි  පොඩ්ඩක් ඉන්නවකෝ... අපේ නෝනට රසට උයන්න පුළුවන් ..  අපේ ගෙදර කෑම වේලකට එනවා.

මගේ සතුටේ හැබෑ කොටස් කාරයෝ තමුසෙලා තුන් දෙනා තමයි." . මොනවා උනත් අනිත් හාදයත් එක්කන් එනවා.  "

මා එසේ කිවේ මිනී කාක්කෙකු වූ  ජයසේන නම් ප්‍රධාන එම්බාම් කරුවා ගැනය.

"හැබැයි සර් වන්නමකුත් නටන්න ඕනේ එදාට.." පියතිලක කියන්නේ වෙරි වූ පසු ඔහු කරනා අහිංසක රැඟුම ගැනයි.



 


ශිෂ්‍යත්ව පුවත සහ සගයින්ගේ ප්‍රතිචාර





ඇත්තටම කියනවානම් මට හිතවත් දොස්තර වරයෙක් ලෙස දෙපාර්තමේන්තුවේ එකල සිටියේ එකම එක අයෙක් පමණි.   ඒ ඉරුගල් බණ්ඩාර නම් නියම උඩරට නමක් ඇති   කථිකාචාර්ය වරයාය.

මගේ සම වයසේ සිටි අනෙක් දෙදෙනා දෙනුවර උන්මාදය නිසා  හෝ මම කරගම්පිටියේ එකෙක් නිසා හෝ මට එතරම් හිතවත් වුයේ නැත.

ඔවුන්ද මා වැනිම අය වුවත්  ඉපදී තිබුනේ  දෙනුවර  මහා රෝහලේදීය.

මා ඉපදී තිබුනේ උඩරට වුවත් අරලගංවිල නම් තරමක් පිටිසර ප්‍රදේශයේය.

එබැවින් මට නැති කිසියම් ඉහල තත්ත්වයක් මවා ගන්නට මේ දෙදෙනා උත්සහා කළා යැයි කිවොත් නිවැරදිය.

මම ඉරුගල්ට විස්තරය මුලින්ම පැවසුවෙමි. අනතුරුව තේ මේසයේදී අනෙක් සගයන්ට සහ මැඩම්ලාට විස්තරය කීවෙමි. 

පියතිලකට ආසන්න ප්‍රතිචාරයක් කිසිවකුගෙන් නොලැබුන බව පවසන්නේ මගේ මිතුරන් ගැන ඇති මහත් ආඩම්බරයෙනි.  

ඉරුගල් බණ්ඩාර නම් ඉත සිතින්ම සතුටු වූ බව පෙනෙනෙන්නට තිබුණි.

එලෙසම සතුටු වූ අනෙක් දෙදෙනා වූ යේ අපේ දෙපාර්මේන්තුවේ සිටි පරිවාස කථිකාචාර්යවරියන් දෙදෙනාය.

අපට වඩා වයසින් සහ ආයතනයේ සේවා පළපුරුද්දෙන් වැඩි ඒ දෙදෙනා කිසිවිටක "දෙනුවර උන්මාදයකින්" පෙලෙන බවක් පෙනුනේ නැත.

ඉන් ආයතනයේ වඩාත් පළපුරුදු කථිකාචාර්ය වරිය වූ  සුරේඛා හා මා අතර ඇතිවුයේ මෙවැනි කතා බහකි.

"මට නෙදර්ලන්තෙට යන්න ඇවිල්ලා"

"හරි ශෝක් නේ කවිඳු..  මොකද ළමයෝ ඔයා බය වෙලා වගේ?    මේ වගේ ආරංචියක් ආවහම සන්තෝෂෙන් ඉන්න එපැයි"

"හොඳයි තමයි එත් වැරදි වෙලාවට.. නිමල්කා ඉන්න තත්වේ ගැන හිතුවම  යන්න හිතෙන්නේ නෑ."

" පිස්සුද ළමයෝ .. ලැබුණු චාන්ස් එක අතාරින්න එපා.."

"කොහොම හරි ගිහිල්ලා මාස්ටර් එක කර ගන්න.. අපි ඉන්නවානේ .. අපි නිම්මි ගැන බලන්නම්කෝ.."

සුරේඛා එලෙස පැවසුවේ මගේ උරහිසට තට්ටුවක්ද දමමිනි.



සමුගැනීමේ සාදය



මම හවස ගෙදර ගිය ගමන් ආරංචිය බිරිඳට පැවසුවෙමි.

ඇය පියතිලකට නොදෙවෙනි ලෙස සතුටු වුවාය.

අපේ අනාගත ඉරණම තීරණය කල ලිපිය කිහිප වාරයක් කියවුයෙමු. 

"බඩේ ඉන්න කොල්ලගේ වාසනාව" . ඇය කියන විට මාද ඒ කියමනට එක හෙලා එකඟ වීමි.

"ඔයා නෙදර්ලන්තේ යන්න මම මෙහේ වැඩ කොහොම හරි කර ගන්නම්" .  

ඇය මා අස්වැසුවේ ලැබෙන්න ඉන්න දරුවා ශිස්‍යත්වයට බාධාවක් කර නොගන්නා ලෙසයි.

මම පියතිලකගේ පාටි යෝජනාවද ඇයට ඉදිරිපත් කලෙමි. 

ඇය තම අතින්ම සැකසු රාත්‍රී ආහාරයක් මගේ වැඩ පොලේ ඉන්න සුළු සේවකයින්ට  පිළිගන්වන්නට එකග වුවාය

දෙපාර්තමේන්තු පරිසරය ගැන හොඳින් කල්පනා කල මා ඉරුගල්ට මගේ අදහස පැවසුවෙමි. 

"මගේ සතුට බෙදා ගන්නේ උඹයි, අපේ ලේබර්සලා හතරදෙනා එක්කයි විතරයි." 

" පියතිලකලට බොන්නත් ඕනේ කිව්වා..උඹට පුලුවන්ද ඒ වැඩේ සංවිධානය කරන්න..? " 

ඉරා මගේ  අදහසට උඩින්ම කැමති විය.

 " මගේ කාර් එකේ කට්ටිය දාගෙන එන්නම් . බීලා වාත වෙන්න ගත්තොත් අරන් යන්නම්" . ඔහු මගේ හිතේ යන්තමට තිබු සැකයද තේරුම් ගත් සෙයකි.

දවස උදා විය . අපේ මැඩම් රසම රස රාත්‍රී භෝජනයක් පිළියෙළ කලාය. 

ඉරා පියතිලක ඇතුළු පිරිසත් ඔවුන්ට අවශ්‍ය බිමත් අපේ කුලී නිවසට රැගෙන ආවේය.  

මා මෙතක් දුටු සංතෝෂයෙන් පිරුණුම රාත්‍රී භෝජනය පැවැත් වුනි. 

ප්‍රේමදාස  බිව්වේ නැත. අනෙක් තිදෙනා  යහමින් සප්පායම් වුහ .  සතුට දෝරේ ගලා යයි. 

සාදය අවසන් වන්නට ඔන්න මෙන්න වී ඇත.

පියතිලක එක් වරම ඇඹරෙන්නට විය.

"පියතිලකට වන්නම මතක් වෙලාද කොහෙද " කම්කරුවන්ගෙන් තැන්න්පත්ම ගති ඇත්තා , ප්‍රේමදාස කියයි. 

"මැඩම්ට  පේන්නත් එක්ක වන්නමක් නටන්න ඕනෑ සර්..." පියතිලක තම අවශ්‍යතාවය මට ප්‍රකාශ කළේය .

මම ඉරා දෙස බැලුවෙමි.  ඔහු මට හිසින් සන් කළේය.. අහිංසකයින්ගේ සංතෝෂයට අකුල් හෙලන්නේ කුමටද.? 

අපේ කුඩා සාලයේ පියතිලකගේ වන්නම රඟ දැක්විණි. 










Sunday, 20 September 2015

මුදු තුනක් සහ මාලයක් දෙවන කොටස - අංජු මාමගේ විවාහය



අපේ අංජු මාමා   මට වඩා  වැඩි මහලු  වුයේ අවුරුදු අටකින් පමණි.

ඒ නිසා අපි දෙදෙනා එකට අලකොටු තක්කාලි කොටු කළා සේම  තරුණයින් කරන බොහෝ දේවල් වලට එකටම සහභාගී වූයෙමු.

අංජු අත මට වඩා මුදල් යහමින් ගැවසුන  කාලයකි ඒ.   ඔහු විවිධ මෝස්තරයේ ඇදුම් පැළදුම් මිලදී ගත්තේ  මුදල් ඔහුට ලොකු ප්‍රශ්නයක් නොවූ බැවිනි.

පොඩි එළවලු ගොවියෙකු වූ මට එතරම් පොහොසත් කමක් තිබුනේ නැත. මම බොහෝ විට ඔහුගේ අලුත්ම කමීස , කලිසම්  මගේ වගේ ඇන්දේ මේ වකවානුවේදීය.


ඔහුද අළුතින් මිලදී ගත් කමීස කලිසම් මට අදින්නට දුන්නේ  කිසිම ලෝභ කමක් නැතිවයි.

ඒ කාලයේ   උදේ කුඹුරේ වැඩ කරන අප දෙදෙනා සමහරක්දාට හවස 2.30 ට හපුගසත්ලාවට යන්නෙමු.

 එහි යන අපේ ප්‍රධාන අරමුණ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ චිත්‍රපටයක් නැරඹීමයි.

ඒ කාලේ හපුගස්තලාවේ රීගල් සිනමා හලේ බොහෝ විට පෙන්වුයේ ඒ  වර්ගයේ ඉංග්‍රීසි චිත්‍රපටයි.

මෙයට ආසන්නම  හේතුවක් වුයේ හපුගස්තලාවේ තිබුණ යුද, ගුවන් , නාවික යන බල ඇණි සියල්ලෙන් සමන්විත වූ හමුදා පුහුණු පාසැලයි.

මට මතක හැටියට රීගල් එකේ අපි දෙදෙනා මුලින්ම බැලුවේ "The Ten" නමැති ඉංග්‍රීසි සිනමා පටයයි.

ඒ කාලේ අංජු මාමා අරලගංවිල තිබු රජයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවේද අර්ධ කාලින සේවකයෙක් ලෙස වැඩ කළේය.

එහි ඔහුට හිතවත් මිතුරියක්ද සිටි බව මාගේ මතකය කියයි. ඒ ගනු දෙනු පිළිබද බොහෝ රහස් ඔහු මා හට පැවසීය.
එමෙන්ම මේ වන විට මගේ තිබු හිතවත් කම් ගැනද අප දෙදෙනා නිදහසේ අදහස් හුවමාරු කර ගත්තෙමු.


අංජු මාමාට ගේ විවාහ යෝජනාවක් 



මේ කරුණු වලින් සමහරක් පමණක් දැන සිටි අපේ අම්මා ඇතුළු කිරඹඔයේ කට්ටිය අංජුට මංගල යෝජනාවක් ගෙනාවේ මේ අතරයි.

අර්තාපල් අස්වැන්න ලැබීමෙන් පසු ඔහුගේ විවාහ මංගල්‍යය ගැනීමට තීන්දු විය.  මේ වන විට අපේ තුන් හවුල් තක්කාලි කොටුවද මගේ සහ රාජුගේ වැයමෙන් හොඳ අස්වැන්නක් ලබා දෙමින් තිබුණි.

අංජු විවාහ වුයේ පරණගම ප්‍රදේශයේ හොඳ අර්තාපල් ගොවි පවුලක දියණියක් සමගයි.

අවශ්‍ය ආභරණ ආදිය මිලදී ගත්තේ  එකල ඔහු අත යහමින් ගැවසුන අල විකුණා ගත් මුදල් වලිනි.

අපේ අම්මා මේ විවාහයට අතම්මාට වඩා උනන්දු වුවා යැයි කිවොත් නිවැරදිය. ඇය ආභරණ තේරීමේ සිට මගුල් ගෙදර ආරාධනා කටයුතු ආදී සෑම දෙයකටම සහභාගී වුවාය.

පරණගම කට්ටිය අපේ පොඩි මාමාට පවුම් එක හමාරක පමණ මුද්දක් දී ඇති බව මට කිව්වේද අම්මා විසින්මය.


අවුලක් වූ තුන් හවුලේ හවුල් බෙදීම


අළුත ගෙනා මනමාලී මේ වන විට සිටියේ කිරඹ ඔයේ මහා ගෙදරයි.  නව යුවල විවාහයෙන් පසු මුල් දින කීපය ගත කල මේ සමයේ මගේත් රජුමාමා ගේත් ගනු දෙනු බොහෝ ලෙස අඩු වී ගියේය. 

මේ අතර උදාවුයේ තක්කාලි අස්වැන්නේ අදායම් බෙදීමේ දිනයයි.  ඒ කාලයේ අපි තක්කාලියැව්වේ කොළඹ මැනින් මාර්කට් එකටයි.   

අම්මා ගනන් හදා ගෙන තිබු පරිදි කොටුවේ සම්පුර්ණ අදායම රුපියල් විසි දහසක් පමණ විය.  

තුන් හවුලේ පොරොන්දු ප්‍රකාරව නම් අම්මාට දහදාකට ආසන්න මුදලකුත් රාජුටත් මටත් පන්දහස බැගිනුත් ලැබිය යුතු විය.

කිසියම් හේතුවක් නිසා අදායමෙන් භාගයක් තමන්ට හිමි විය යුතු බව රාජු මාමා කියා සිටියේය.ඒ අනුව අම්මා ට ලැබිය යුතු දහදාහක මුදලද අයින් කල පසු මට කිසිවක් නොලැබෙන ලකුණු පහල විය.

ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ කොටුවේ වැඩිම ශ්‍රම දායකත්වය ලබා දුන්නේ මා විසිනි.

"මට මගේ හතරෙන් එක ඕනෑ"  " මම මේ කොටුවට සැහෙන්න මහන්සි වුනා "....මම අම්මාට ගෝරනාඩු කලෙමි.
 දැන් හවුල අවුලක් වෙමින් පවතී.  වගා වැඩට කෙලින්ම සම්බන්ධ නොවූ අපේ තාත්තාද මේ අවුල දෙස උනන්දුවෙන් බලා සිටියි.

මේ අතර විසඳුමක සේයාවක් මතුවිය..




තමාට සියයට පනහක් අවශ්‍ය බව රාජු මාමා තරයේ කියා සිටියේය.

මම අම්මාගේ පුතා නිසා අම්මාටත් මටත් ඉතිරි භාගය බෙදා ගන්නා ලෙස නව යෝජනාවක්ද ගෙනාවේ ඔහු  විසිනි.
මෙම යෝජනාව  අපේ අම්මා  අවසානයේ පිළිගත් බව මාගේ හැඟීමයි. 

එහෙත් තාත්තා ගේ අදහස වුයේ වෙනකකි. 

" චුටි පුතා අපේ ගෙදර එක්කෙනා .. එයාට හවුලක් අවශ්‍ය නැහැ."  තාත්තා තම මතය ඉදිරිපත් කලේ එලෙසයි.
මේ අතර කිසිම රන් ආභරණයක්  පළඳින්නට අවසථාවක් නොලද මා සිහිනයක් දකිමින් සිටියි.

ඒ කිරඹ ඔයේ අමල් රාජපක්ෂ හෙවත්  තවලම්පොළ වත්තේ " දොකන්ගේ  " මෙන් මගේ ගෙල වටත් රන් මාලයක්  වැටෙන සිහිනයයි.  

අමල් හෙවත් දොකන් ඒ කාලේ අපේ අල කොටුවට අල්ලපු කොටුවේ අල වගා කල තරමක් ලාමක  ගොවි තරුණයෙකි.
උදාහරණයක් ලෙස අපි ගුණදාස කපුගේ ඇතුළු සම්භාව්‍ය ගායකයන්ගේ ගීත ඇසු ගැයූ ඒ කාලයේ දොකන් ඇසුවේ " බඹර පහස " වැනි ගීතයි.
ඒ කිරඹ ඔය දෙවනත් කරමින් සිය කැසට් යන්ත්‍රයේ ශබ්දයද වැඩි කරමිනි.





මගේ බලවත් ඉල්ලීම නිසා අම්මා අවසානයේ තුන් හවුල අංජුටත් මටත් දෙදෙනාටම සතුටු විය හැකි ලෙස බෙදුවාය.
සති අන්තයේ අරලගංවිල ඝාන්ධිමති ජුවෙලර්ස්  එකට ගිය අම්මා රුපියල් පන්දාහක් ( මගේ තුන් හවුල් කොටස) ඔවුන්ට දුන්නාය. 

ඒ හරියටම පවුම් එකකින් යුත් මගේ පළමු සහ අවසාන රන් මාලය සාදා දීමටයි. 

පවුම් එක්ක මාලයක් යනු එහි තිබෙන ගාන්චුවක්  මගින් බෙල්ල මුලටම වැටෙන ලෙස සවි කල යුතු දිගින් ඉතා  අඩු මාලයකි.


මාලය රැගෙන ගෙදර  ආ දවසේ මගේ ඉහේ මලක් පිපුනා වැනි විය.  


කන්නාඩිය ලඟට ගිය වාර ගණන අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ  භාෂාවෙන් කිවොත් 
 " අන්නන්තයි .. අප්‍රමාණයි පිංවතුනි" මෙන් විය.

මේ අහු අස්සේ අපේ තාත්තා කිසියම් තීරණයක් ගෙන තිබුනේය.


ඒ  මාලය ගෙනා දින සිට දින හතක් යන තෙක් මට කථා නොකර සිටීමේ තීරණයයි.

ඒ තාත්තා තම හිතේ අමාරුව පිට කල ආකාරයයි.

ඔයින් මෙයින් මගේ හිතෙත් අංජුමාමා මගේ හවුලට අයිති වාසි කම් කීම ගැන පොඩි හිතේ අමාරුවක් හට ගත්තේය.

කොතරම් හිතේ අමාරු ඇති වුවත් කෙනෙකුට වැරද්දක් ප්‍රාර්ථනා කිරීම කවිඳු ගේ සිරිත නොවේ.

එය එදත් පැවති, අදටත් , හෙටටත්  වලංගු ධර්මතාවයකි.

ඒ කෙසේ වුවත් ස්වභාවධර්මයා  යමක් කළහොත් අනේ අපොයි කියනවා හැරන්නෙට මට කල හැකි වෙන යමක් නැත.

මා අදටත් විශ්වාස කරන පරිදි  ස්වභාවධර්මයා විසින් අංජුමාමාට එරෙහිව ඒ තීරණය ගත්තේ ඔහුගේ විවාහයෙන් පසු ගතවූ මුල් සතියේදිමය.

හරියටම කිව්වොත් අපේ හවුල් අවුල සිදුවී දින දෙකක් ගතවූ තැන්හිදීය.

" අංජුගේ මගුල් මුද්ද නැති වෙලා... " ආරංචිය ගම පුරා වේගයෙන් පැතිර ගියේ  ඒ අයුරිනි.

එය අද වන තෙක් හමු වුනේ නැත.

හොරකම් කලාද, කොහේ හරි තිබ්බද කියා දන්නේද දෙවියන්ම පමණි.

Friday, 18 September 2015

මුදු තුනක් සහ මාලයක්






මේ මගේ අතේ තියෙන මුද්දේ චායා රුපයක්. කන්තෝරු කාමරේ බිත්තිය පසුබිම් කරගෙන ගත්තේ.  මෙහි අඩංගු රත්ත්‍රන් වලටත් කථාවක් තියෙනවා . ඒක කියන්නයි මේ ලෑස්තිය.

අල වවමු රට නගමු

මම ඒ කාලේ උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාලයට ඇතුල් වීම බලාපොරොත්තුවෙන්  සිටියෙමි.

මේ වන විට අම්මා , අක්කා සහ මා එකතුවෙන් කල ලොකු අල කොටුවක් මාර ගස්වැල්ල කුඹුරේ  තිබුණි.   අපේ අල කොටුවට යාබදව අම්මාගේ පොඩි මල්ලී අංජු  ද අල කොටුවක් කලේය.

ඒ කාලේ අල තක්කාලි මොනවා හැදුවත් ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් දැරීමට ගොවියන් වූ අපට සිදුවිය.

දැන් කාලේ ගොවීන්ට එය එසේ නොවේ යයි නොකියමි.

එහෙත් දැන් කාලේ අප එදා සිටියා මෙන් නාඹර වයසේ සිටින  ගොවිතැන් කරුවන් දුලබය.

හේතුව වත්මන් තරුණයා මහන්සි වීමට ඇති අකමැත්තද  රටේ  වර්තමාන දියුනවද යන්න විදේශයක සිටින මට එතරම් පැහැදිලි නැත.

ඒ  1993 ව වසරේ මුල්  භාගයයි.

මට අවුරුදු  22ක්- 23ක්  වන මේ යුගයේ අංජු මාමා මට ගමේ සිටි හොඳම මිතුරා විය.

අපි දෙදෙනා දවල් කාලයේ කොටුවල වැඩ කල අතර  රාත්‍රියට අපේ අල කොටු මුර කරන්නටද ගියෙමු.

එකල අංජු මාමා හැදු පැලේ සිට අප දෙගොල්ලන්ගේම  අල වගාවල්  ඌරන්ගෙන් ගෙන් සහ හොරුන්ගෙන් බේරා ගත්තේ අප දෙදෙනා විසිනි.

ඔය ගාව වත්ත  සහ තුන් හවුල

ඒ දිනවල මල්දෙනියේ වත්තේ සහ  මාරගස් වැල්ල කුඹුරේ  වගාවන් වල යෙදුනේ අම්මා , අක්කා සහ මා ඇතුලත් කණ්ඩායමයි.

ඒ අතර  අපේ අම්මා  අංජු මාමාටත් හවුලට හදන්නට දුන්නාය . අපේ ආතම්මට අයිති ඔය ගාව වත්තේ තක්කාලි කොටුවක්  කෙරෙන්නේ ඒ අනුවයි.

ඇය එසේ කළේ  අක්කා මම ඇතුළු අපි තුන් දෙනාට වැඩ කර ගන්න බැරි කමකට නොවේ.  මහගෙදර සිටි නිසා අංජු මාමාට අයිතිව තිබු   ඉඩම්  ( ඔය ගාව වත්ත වැනි )  අපේ වගාවන්ට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි.

" ලොකු අක්කා.. මට වැඩ ටිකක් වැඩියි .. බැරිද චුටි පුතාටත් එන්න කියන්න උදව්වට.?"  යැයි අංජු මාමා ඇසුවේ  මාවත් වගාවට  එකතු කර ගැනීමේ අටියෙනි.

"අදහස නම් හොඳයි හැබැයි මටත් අදායමෙන් කොටසක් ඕනෑ"  මම කීවෙමි.

ඒ අක්කත් මල්ලිත් අතර හවුල් වගාවකට නිකන් ඇතුල් වන්නට මට හේතුවක් නැති නිසාය.

වෙනත් වචනයකින් කියතොත්  මා ඉල්ලා සිටියේ මටත් හවුලෙන් කොටසක් ලැබෙන ක්‍රමයකි.

 අදායමෙන් භාගයක් අම්මා ගනිත්දී ඉතිරි භාගය  අංජු මාමා සහ මා අතර බෙදෙන ක්‍රමයක් අම්මා යෝජනා කළේ ඒ අනුවයි

 එබැවින්  තුන් හවුල් කරුවෙකු ලෙස මටද ඔය ගාව වත්තේ තක්කාලි කොටුවට එක් වන්නට සිදු විය.

බිම් සැකසීමේ සිට පැල සිටුවීම දක්වා වැඩ වලදී මාත් අංජු මාමත් හරි හරියට වැඩ කළෙමු.

තුන් හවුලක් කීවාට අපේ අම්මාද පැල සිටුවීම වැනි වැඩ  වලට සහභාගී වුයේ කිසිදු වාරවකින් තොරවයි.

තක්කාලි කොටුව ඉදිරියට පවත්වාගෙන යාමේ  මුලික වග කීම පැවරුනේ මා වෙතයි.  තක්කාලි පස් දැමීම, කෝටු සිටවීම මෙන්ම ජල සම්පාදනය මින් ප්‍රධාන තැනක් ගත්තේය.

අල කොටු මුර කරන අතර   මහා රෑ හඳ එළියෙන් තක්කාලි කොටුවට වතුර දැමු හැටි අද වාගේ මතකය.

ඉන්පසු උදෑසනම අවදි වී වත්ත ලඟම ඇති ඔයෙන් ( ඔය ගාව වත්ත ළඟ තිබෙන ඔය)  නා ගන්නෙමි.

ඒ උදේ හත හමාර වන විට සඳ තැන්නේ ඉස්කෝලෙට ලඟා විය යුතු නිසාය

 ( මේ කාලයේ මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සඳතැන්න විද්‍යාලයේ සේවය කලෙමි).


ඊළඟ  කොටස.... අංජු මාමාගේ විවාහය  

Tuesday, 8 September 2015

උසස් පෙළ තුන- වට්ටක්කා දළු මැල්ලුම සහ ගොඩ හොද්ද




උසස් පෙළ පංති පටන් ගෙන මාස කීපයක් ගත වී ගොසිනි. දැන් බණ්ඩා , චමින්ද , කවින්දු ත්‍රිත්වය එකිනෙකාට නැතිවම බැරි ගානට සමගි වී සිටියි.

මෙය තවත් තීව්ර කරන යෝජනාවක් ගෙනාවේ චමින්ද විසිනි.

තදබලම බ්‍රයිට් කේස් එකක් නොවූ ඔහු පාඩම් කිරීම සාකච්චාවෙන් සහ සම්ම්න්ත්‍රණයෙන් කිරීමේ ආදීනව හොඳින් දැන සිටි අයෙකි.

ඒ අනුව දිනක් " මචං කිටී .. බන්ඩත් ඉන්න එකේ උඹ අපේ ගෙදර වරෙන්කො බන් පාඩම් කරන්න " යැයි මට යෝජනා කළේය.

මම අදහස අම්මාට කීවෙමි. "ඔය ගෙදර ලමිස්සියෙකුත් ඉන්නවා නේද ?" " උඹ මොකටද එහේ රිංගන්න යන්නේ ?" අම්මා  චමින්දගේ අදහසට වැඩි කැමැත්තක් නැති සෙයකි

අම්මා  ඒ කිව්වේ චමින්දගේ අක්කා නිම්නා ගැනයි.

."නිම්නා අක්කා හිටියට අපි  එයාගෙත් එක්ක ගනු දෙනුවකට යන්නේ නෑනේ අම්මා.. තව එකක් සුරාජ් අපේ ඉස්කෝලේ එකා.."

මම අම්මා මගේ අදහසට නම්මා ගත්තෙමි.

ත්‍රි පුද්ගල කමිටුවේ  අධ්‍යාපන කටුයුතු සහ සුජාතාවේ  විස්තර


අපි පාසැල් බසයේ දඟයින් වුවා සේම එකට එකතු වී පොත් පාඩම් කරන්නටද තීරණය කළෙමු. ඒ වැඩ වැඩි හරියක් කෙරුනේ  චමින්දලා ගෙදර වූ කිරඹ ඔයේ පිහිටි මැද පුරණ නිවසේදීය.

පාසැල් ඇරී නිවසට එන මම දවල් කෑම ආදියෙන් අනතුරුව  චමින්දලා ගෙදර පැත්තට යන්නෙමි.

බොහෝ විට මේ ගමන් මග වැටි ඇත්තේ කිරඹ ඔයේ පිහිටි අපේ මුත්තලා ගෙදර හරහායි.

මුත්තලා ගෙදර සිටි ඇතිමලේ බාප්පාගේ දූවරුන් දෙදෙනාද ( රන්දු සහ චන්දි)  මුණ ගැසී යන මේ ගමනෙන් වැඩ දෙකක් සිදුවේ.

සුජාතාවේ  අපේ යෙහෙලියන් පිලිබඳ තොරතුරු හුවමාරුවත්  චන්දිලාට පාඩම් වැඩ පිලිබඳ උපදෙස් දීමත්  යන වැදගත් කරුණු දෙක මා අතින් සම්පුර්ණ වන්නේ මෙහිදීය.

යෙහෙලියන් ගැන විස්තර ගැනීමේදී මා ඔවුන්ට ඉතා හිතවත් බවක් පෙන්නුවද පාඩම් වැඩ නොකරන්නේ නම් ඒ යහළුකම් අඩුවන බව ඇතිමලේ නංගිලා හොඳින් දැන සිටියහ.

ඒ නිසාම මා ඔවුන්ගේ කාමරයට එබෙන ඕනෑම මොහොතක  රන්දුත් , චන්දිත් පොතක් අතේ ඇතිව සිටිනු දැකිය හැක.

මෙසේ මා චමින්දලාගේ ගෙදරට ලඟා වීමෙන් අනතුරුව  අපි පොත පතේ වැඩට යොමු වන්නෙමු. ඒ සීනි බනිස්ලා ආදිය ගැන මා විසින්  සොයාගත් විස්තර ඇතුලත් කෙටි පිලිසඳරකින් පසුවයි.

අපි මැද පුරණේ පාඩම් කරනා බොහෝ දිනවල  දිවා , රාත්‍රී ආහාර යද තේ පැන් සංග්‍රහද නොඅඩුව ලැබේ.

 කිසි ලෝභ කමක් නැතිව ඒවා සපයන්නේ මැදපුරණේ නැන්දා විසිනි.

ඇය බොහෝවිට කෑම හෝ තේ රැගෙන චමින්දලා කඩේට යයි.

එවැනි අවස්ථාවක බණ්ඩා , මම සහ චමින්දගේ ආහාර පිළියෙළ කර දෙන්නේ නිම්නා අක්කා විසිනි.


වට්ටක්කා දළු මැල්ලුම


මැද පුරණේ නැන්දා උයන කෑම හරි රස බව නොකියාම බැරිය.

අපේ අම්මා සහ කිරඹ ඔයේ අතම්මාද එවැනිම  දක්ෂ සූපවේදිනියන් දෙදෙනෙකි.

එහෙත් චමින්දලා අම්මා උයන වට්ටක්කා දළු මැල්ලුම ගසන්නට මැල්ලුමක් හදන්නට මේ බවලතුන් දෙදෙනාටම බැරි බව කිව යුතුය.

ඇය එය ඒ තරම් රසට එය පිළියෙළ කල බව මගේ හැඟීමයි..

වට්ටක්කා දළු අප ප්‍රදේශයේ  යහමින් සොයා ගත හැකි  එළවළුවකි.

අපේ දළු කෑදරකම දන්නා මැදපුරණේ නැන්දා  ඒවා බොහෝ දිනවල අප ආහාරයට එකතු කලාය.

අදටත් මා අරලගංවිල එන බව කිව් සැනින් අපේ අක්කා  මහ ගෙදරට වට්ටක්කා දළු මිටියක්  එවන්නිය.

ඒ මම වට්ටක්කා දළු මැල්ලුමට ඉතාම කෑදර බව ඇයද හොඳින් දන්නා බැවිනි.


මගේ මේ  සදාකාලික වට්ටක්කා දළු දොළ දුකට හේතුව චමින්දලා අම්මා කිව්වොත් නිවැරදිය.



චමින්දගේ මව  මැල්ලුම් වලට පමණක්ම  ප්‍රසිද්ධ ගෘහනියක් නොවේ.

තවත්  රස කෑමක් වන්නේ ඇය විසින් පිළියෙළ කරනා තක්කාලි බැදුමයි.

යහමින් කරපිංචා , අමු මිරිස් ආදිය දමා සකස් කරන මෙය තවත් රසවත් කරන්නේ තෙලෙන් බැදීමේදී ඈ යොදා ගන්නා අබ අහුරයි.

මෑතකදී පළමු ලෝකයේ රටක වෙසෙන චමින්දත් මමත් මුණ ගැහුනේ මැද පුරණේ නැන්දාද එහි සිටි දිනයකයි.

එදා අපගේ දිවා ආහාරය සැපයුනේ චමින්දලා ගෙදරිනි.

පරණ පුරුදු වර්ගයේ තක්කාලි ඇඹුලක් එහි තිබුන බව කාට නැතත් මට හොඳින් මතක තිබේ.

"ඒයි.. අර තක්කාලි ඇඹුල නම් නියමයි නේද?"

ආපසු නිවස බලා වාහනය පදවද්දී  එහි රස තමාටද දැනුනු බව අපේ මාය්යා මට මතක් කර දුන්නාය.

මම  මැදපුරණේ නැන්දගේ ඉවුම් පිහුම් කෙරුවාවල් ගැන ටීකා ටිප්පනි සහිතව මාය්යටද කියා දුන්නෙමි.

දැන් දැන් ඇයගේ ඉවුම් පිහුම් ලිස්ට් එකට (මට උයා දෙන කෑම එකට)  අබ යහමින් දැමු තක්කාලි බැදුමක් ද එකතු වී ඇති බව කියන්නේ හද පිරි සතුටකිනි.

චමින්දගේ ක්‍ෂණික ආහාරය හෙවත් "ගොඩ හොද්ද"

සතියේ දිනවල මෙන් නොව සෙනසුරාදා ඉරිදා අපේ පාඩම් වැඩ වැඩි වෙලාවක් සිදුවෙයි . 

උදේ ඉඳන්ම  චමින්දලා ගෙදර රැස්වෙන අප තිදෙනා ඔවුන්ගේ මිදුලට වී රසායන විද්‍යාව සහ ජීව විද්‍යා විෂයන් සාකච්චා කළෙමු. 

දහවල් එකට තිබෙන සමන් අය්යාගේ පන්තියට පිටත් වන්නේ චමින්දලා ගෙදර සිටි ගමන් මය.

වෙනත් අයුරකින් කියනවා නම් .. මේ වන විට   සුරාජ් මෙන්ම මාද ඒ නිවසේ නිතර ගැවසෙන චරිතයක් බවට පත්වී හමාරය.



ත්‍රී පුද්ගල උසස් පෙළ අධ්‍යාපන කමිටුව සැපයුම් මාර්ග වල ඌන තාවයකට මුහුණ දුන්නේ මේ අතර වාරයේදීය.

චමින්දලා අම්මා, අක්කා ඇතුළු පවුලේ සැම දින කිහිපයකට බෝගහ මඩිත්තේ නෑයින් බලන්නට යෑම  එයට හේතුවයි.

ඒ දින කිහිපයේ අප තිදෙනා හැර කිසිවෙක් මැද පුරණ නිවසේ සිටියේ නැත.

උදේ , දවල් මෙන්ම රෑ කෑම පිළියෙළ කර ගැනීමද අපටම පැවරිණි.

දිනක් උදේම අවදිවූ චමින්ද  බණ්ඩාටත් මටත් පහලට කථා කළේය. " මචංලා වරෙල්ලා තේ බොන්න"

සොල්දරයේ පාඩම් කාමරයෙන් පහලට බැස ගිය අප දෙදෙනා උගුරට දෙකට තේ බිව්වෙමු.

" ඒක නෙවෙයි.. උදේටත් දවල්ටත් කන්න එළවළුවක් හදා ගන්න ඕනෑ" චමින්ද ඔහුගේ ඊළඟ අවස්‍යතාවය අප හමුවේ තැබුවේය.

මා මෙන්ම බණ්ඩා ද මේ ඉවුම් පිහුම් වැඩේට එච්චර උනන්දුවක් දැක්වුයේ නැත.

ඒ බව චමින්දටද වැටහී ඇත.

" තොපිට බැරිනම් හිටපියවූ ...මම මොකක් හරි හදනවා" චමින්ද වැඩේට සුදානම්ය.

කුස්සියේ ලිප ලඟට වූ තුන්දෙනා පරිප්පුවක් හදන්නට තීරණය කළහ..

ඇත්ත වශයෙන් කියනවානම චමින්ද පරිප්පුවක් හදන්නට පටන් ගත්තේය.   අපි අඩුම කුඩුම ලං කර දුන්නෙමු.

යහමින් තුන පහ, කුරුදු පොතු ගොඩක් සහ සුදුළුනු මහා තොගයක් හෙම දමා විශාල පරිප්පු හොද්දක් නිර්මාණය කිරීමට චමින්ද සමත් විය.

දැන් උදා වන්නේ පරිප්පු සමග පාන් කන වෙලාවයි.

"කිටියෝ කොහොමද මගේ හොද්ද? හොඳද ? " චමින්ද මගෙන් ඇසුවේ පරිප්පු හැලිය පෙන්වමිනි.

" මේ මොකක්ද බන්..? ගොඩ හොද්දක් වගේ නේද? " යැයි මම පෙරලා ප්‍රශ්න කළේ බණ්ඩා ගෙනි.

"හ්ම් .. හ්ම්.. ගොඩ හොද්දක සුවඳත් එන්නේ ඔය " බණ්ඩා හුමිටි තිබ්බේය.

පතල් ජිවිතේ දුකයි රංජනී කියන්නේ ඔන්න ඕක තමයි.

දැන් ඉතින් පාන් කාපන්කෝ මුගේ ගොඩ හොද්දත් එක්ක.

බන්ඩා කියාගෙන යයි.   ...

බණ්ඩා අඳුරන අපේ සගයෝ මෙහිදී  බණ්ඩාගේ හැසිරීම  මනසේ හැඳ ගනු නොඅනුමානය.

"...මිටි ජිවිතයක්... අත් දෙක පිටි පසට බැඳගෙන.. පුසෙක් මෙන් ඉව කරමින්.."

 ඒ ඔවුන්ගේ මනසේ ඇඳෙන චිත්‍රයයි.


"තොපි දෙන්න පස්සට අව්ව වැටෙනකම් බුදියනවා මදිවට මගේ හොද්දට ඇද කරන්නත් එනවාද බොලව්?"

හොද්ද හැඳි ගාමින් සිටි හැන්ද ලෙලවමින් චමින්දයා අප පස්සේ පැන්නුවේ  හොඳකට නම් නොවේ..

පසු කලෙක ගොඩ හොද්ද අපගේ ජනප්‍රිය  මාතෘකාවක් බවට පත්වුයේ නිරායාශයෙනි.

අපේ සමරු පොත් තුන හොයා ගත හොත් ඒ හැම එකකම.

 " ගොඩ හොද්ද" " පුස් පාර්ට්" "සීනි බනිස්" " යන්න එපා අය්යේ" වැනි යෙදුම් පිරි තිබෙනු දැකිය හැකි වනු ඇත.



Monday, 7 September 2015

උසස් පෙළ දෙක - සීනි බනිස් සහ පුස් බනිස්

314 බෙලගන්වැව හෙවත් උදෑසන පාසැල් බස්රථය



අපේ හවස පාසැල් බස් විනෝදය ඔහුට මග හැරුණද උදේ පාන්දර බසයේ විනෝද සමයට හවුල් කාරයෙක් වන්නට චමින්ද පසුබට වුයේ නැත.

සිරිමල්වත්තේ ඉස්ටෝරුව ලගින් හරවන එකම බසය වූ බෙලගන්වැව බසය ඉන් පිටත්වන්නේ  උදේ හයයි විස්සත් තිහත් අතර වෙලාවකයි.
උදේ හයයි කාල පමණ වනවිට තුන් යහළුවෝ සිරිමල්වත්තේ මල් ගහ යටට ලඟා වෙති. මැද පුරණේ සිට සිරිමල්වත්තට ඇතිදුර අපේ ගෙදර සිට ඇති දුරින් භාගයක් පමණ වේ.

එබැවින් ඒ බස් එක අල්ලන්නට නම් මා  හට  උදෑසනම හති දමමින් දුවගෙන එන්නට සිදුවේ.  අවුල් වූ හිසින් මා එහි ලඟා වන විට බණ්ඩා සහ චමින්ද හිසේ කෙස් රැල්ලක් නොසෙල්වෙන පරිදි මොඩ් වී එහි රැඳී සිටිති.

බසයේ ඕනෑ තරම් සිට් තිබුනද කිසි දිනක අප එහි වාඩි වුයේ නැත. ලෙස්ලන්ඩ් එක පහුකරනවාත් සමගම ත්‍රි පුද්ගල කමිටුව ආසන අමතක කර බසයේ ඉදිරියට ඇදේ.

ඒ බස් එකේ යන නංගිලා කිහිප දෙනෙක් අසල අල්ලාප සල්ලාපයේ යෙදෙනු පිණිසයි.

බෙලගන්වැව බසයේ කවිඳුට හිතවත් නංගි කෙනෙක් මේ කාලයේ සිටියේ නැත.  මේ බසයට අරක්ගෙන තිබුනේ බණ්ඩා - සීනි බනිස් ආදර අන්දරයත් චමින්ද- පුස් බනිස් කතාවත්ය.

ලෙස්ලන්ඩ් එක ලගින් එන පුස් බනිස්


සිරිමල්වත්තට පසුව බසය නතර කරන්නේ "ලෙස්ලන්ඩ් සුපර් සවුන්ඩ්ස් " එක ලඟයි. එතතින් බසයට ගොඩවන පැහැපත් එහෙත් හිසකේ ගසක් දෙකක් සුදුවී ඇති සිසුවියකි. ඇය යන්නේ අරලගංවිල බාලිකා දෙකෙන් එකක් වන පුදමු කුසුම් විද්‍යාලයටයි.

කිසියම් හේතුවක් නිසා චමින්ද විසින් ඇය ඔහුගේ නංගි ලෙස තෝරා ගෙන තිබුණි.  "පුදමු කුසුම් නංගි" ලෙස අප විසින් මුලින් හැඳින්වූ ඇය කිසි දිනෙක අප තිදෙනාට සිනා සුනේ නැත.

ඔරවා ගෙන හෙවත් අපේ භාෂාවෙන් කිවොත් පුස් මුණ දාගෙන සිටීම ඇයගේ ගතියයි. අපේ විහිළු වලට ඔරවන ඇයගේ පුස් මුණ මට  තවමත් මතකයට නගා ගත හැකිය.  චමින්දටද එසේම විය යුතුය.  ඇය ඔහු දෙස හෙලන්නේ දවා හළු කල හැකි වර්ගයේ බැල්මකි.

අපට  මෙන් විහිළුවක් නොව බණ්ඩාටනම්  ඇයව දිරවුයේම  නැත.

එයට හේතුව ඒ වන විටත් බණ්ඩාගේ නංගි, දෝවේ සමන්ති හෙවත්  "බනිස් " ඔහුට ලැදියාවක් පෙන්වා තිබිමයි.

බණ්ඩාට අනුව ලෙස්ලන්ඩ් නංගි ඕනෑවට වඩා වැඩිය  ඉදිමි සිටියි.

 "නංගි මොකද පුස් පාර්ට් "  "ඇයි අපි කළුද?" යැයි  දිනක් බණ්ඩා විසින් ඇයගෙන් අසනු ලැබුවේ මේ බෙලගන්වැව බසයේදිමය.

ඒ චමින්දට තිබු මිත්‍ර ප්‍රේමය නිසාම  මිස බණ්ඩා වෙනුවෙන් හෝ මාවෙනුවෙන් හෝ   නොවේ.

මේ කියමන " නංගි මොකද පුස් පාර්ට් " කියමින් අපේ සමරු පොත් වල පසු කාලයේදී ලියවිණි. ඒ චමින්දගේ අත් අකුරෙනි.
හිත හොඳකම නිසා බණ්ඩාගේ නංගි " සීනි බනිස්"  ලෙසත්  පුදමුකුසුම් නංගි පුස් පා ර්ට් දමන නිසා " පුස් බනිස් " ලෙසත්  අභිෂේක ලබන්නේ මේ අනුවයි.

දෝවෙන් ගොඩවෙන  සීනි බනිස්



මා පෙර කීවාක් මෙන් මට හිතවත්  පාසැල් සොහොයුරියන් බෙලගන්වැව බසයේ සිටියේ නැත.

එහෙත්  ලෙස්ලන්ඩ් පසු කොට බස් හෝල්ට් තුනක් ගිය තැන බණ්ඩාගේ හිතවතිය බසයට ගොඩවීම සිදුවේ.  ඒ දෝවේ සමන්ති නංගිගේ සම්ප්‍රාප්තියයි. ඇය ඉතා ලගන්නා සුළු සිනහවකින් යුත් අහිංසක යුවතියකි.

ඇය පුස් බනිස් මෙන්  අරලගන්විල කොන්වන්ට් එකට ගිය කෙනෙක් නොවේ. ඇය ගියේ අරලගංවිල තිබු අනික් බාලිකාව වූ සුජාතා විද්‍යාලයටයි.

සමන්ති නංගිට සුජතාවේ කෙල්ලෝ කියන නම මුලින්ම දැන ගත්තේ මා විසිනි .

අපේ ඇතිමලේ බාප්පාගේ ලොකු දුව වූ චන්දි සිටියේ සමන්තිගේ පන්තියේමය.  චන්දි ඒ කාලේ අපේ නංගිලා දෙන්නට  වඩා මට හිතවත් වුවාය.

" චුටි අය්යා.. සුරාජ් අය්යා සමන්තිට ට්‍රයි නේද.." "ඔයා දන්නවද අපි එයාට කියන නම? "

චන්දි හිනහ වෙමින් මගෙන් ඇසුවේ හවස් වෙලා කිරඹඔය ගිය වෙලාවකදීය.

"නෑනේ චන්දි .....කියන්නකෝ...... අපි එයාට කියන්නෑ කවුද කිව්වේ කියලා" මම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතුවෙමි.

හෙට මට මගේ සගයින් ඉදිරියේ වීරයෙක් වෙන්නට හොඳ අවස්ථාවකි.  " එයාට කෙල්ලෝ කියන්නේ "බනිස් " කියලා. චන්දි පිළිතුරු දුන්නාය.

පසුදා උදේ බෙල්ගන්වැව බසය දෙකක් කරමින් අපි බනිස් වර්ග ගැන කතා කළෙමු. "ක්‍රීම් බනිස්, ගල් බනිස්, පුස් බනිස් " ආදී නොයෙක් බනිස් වර්ග  ගැන සාකච්චා විය.

අවසානයේ බණ්ඩාගේ සිත සතුටු කරනු වස් සමන්ති  සීනි බනිස්" ලෙස අභිෂේක  කළෙමු. ඒ බෙලගන්වැව බසයට  පමණි.
පාසලේදි ඇය නිකම් බනිස් හෝ සමහර විට ගල් බනිස් ලෙසද හඳුන්වන බව චන්දි  මට කියා තිබුණි.

සුරාජ් බණ්ඩා  බනිස් දැලේ දාගත් හැටි.

සීනි බනිස් අහිංසක බව මා කියන්නේ කිසියම් හේතුවක් ඇතිවයි.  ඇය මුලින් මුලින් පුස් බනිස් මෙන් එරවුයේ නැතිවුවත්   බණ්ඩා වෙත තම කැමැත්ත එක එල්ලේම ප්‍රකාශ කලේද නැත.
ඒ කාලේ " මම ඔයාට ආදරෙයි අය්යේ" කියා කෙල්ලෙකු ගේ කටින් මුණටම අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
එම වාක්‍ය " බන් ඩය" එලෙසින්ම අසන්නට අපේ බණ්ඩා හෙවත් "සුරාජ් බොන්ඩ්"  වාසනා වන්ත විය.

මුලින් මුලින් බනිස් ගෙන් පිළිතුරක් නොලැබෙන බව අප තිදෙනා තේරුම් ගතිමු.

ඒ අනුව බණ්ඩා සහ චමින්ද සහ මම ත්‍රි පුද්ගල කමිටුව මෙයට කල හැකි විකල්පයක් සාකච්චා කළෙමු.

 මේ වන විටත් අපේ චන්දි ලවා සෑහෙන විස්තරයක් බනිස් වෙත ලබා දෙන්නට අප සමත් වී සිටියෙමු.

පුරුදු පරිදි මැද පුරණේ ගෙදර සොල්දරයේ තිබු අපේ වට මේස සාකච්චාවට එදා මාතෘකාව වුයේ මෙම විකල්ප ක්‍රියා මාර්ගයයි.

එම සාකච්චාව  අවාසනා වුයේ පසුදා උදයේ බෙලගන් වැව බසයේ සිදුවීම් සියල්ල සැලසුම් කිරීමෙන්  අනතුරුවයි.

පසුදාට පහන් විය. පුරුදු පරිදි මමත් චමින්දත් සුදෝ සුදු කිරි කොකුන් මෙන් ඇඳගෙන මල්ගහ යටට පැමිණියේ  අපේ පොත් ටිකද කිහිලි ගන්වාගෙනය.

එහෙත් බණ්ඩා පමණක් පාට ඇඳුමකින් සැරසී සිටි. ඒ මදිවාට ලොකු මල්ලකුත් කරේ එල්ලාගෙනය.

කොළ පාට ගෑ බස් හොල්ටීමේ අපේ නංගිලා, චන්දිලා ඇතුළු විශාල පිරිසක් බසය එනතුරු රැඳී සිටිති.
අපි තුන්දෙනා  බර කතාවකය.

බණ්ඩා හඩන්නට ඔන්න මෙන්න වැනි මුහුණක් බස් හෝල්ට් එක දෙසට පෙනෙන පරිදි  සිටිමින් අප දෙදෙනාට කථා කරයි.

"අන්න චන්දි මේ පැත්ත බලනවා " කියමින් චමින්ද " අපි කියන දේ අහපන් මචං" කියමින් බණ්ඩා අස්වසන්නට තතනයි.

කිසියම් බර පතල සිද්ධියක සේයාව දැන් බස් හෝල්ට් එකේ අයට තේරුම් ගිය අයුරකි.

"පලමු පියවර සාර්ථකයි" චමින්ද හෙමින්ම මිමිණුවා මට තාමත් මතකය.

දැන් බසය අරලගන්විල දෙසට පල්ලම් බසී.

දෝවේ පාලම පහු වෙනවාත් සමගම බණ්ඩා හැඬුම් බර මුහුණ තවත් වැඩි කර ගත්තේය.

"මට ඉගෙන ගෙන වැඩක් නෑ මචං "

 "මම ආපහු ගමට යනවා" වැනි "වාක්‍ය බන්ඩ" ඔහු අතින් කියවේ.

"අපි කියන දේ අහපන් බන්ඩෝ"

"මුදේ එක මාළුවාද ඉන්නේ ..?"

චමින්ද කියයි. මමත් මේවාට හූමිටි තබමින්  සිටියෙමි.

බසය අරලගන්විලට සේන්දු විය.

චන්දි  බනිස් වෙත මොන මොනවාද  කියමින් සුජාතාව දෙසට ගමන් කරන්න පටන් ගත්තා පමණි.

"යකෝ වැඩේ දෙල් වගේ නේද?"

චමින්ද මා වෙත පැවසුවා පමණි.

හඬා වැටෙමින් අප තිදෙනා වෙතට දුව එන බාලිකාවකි. ඒ කවුරුවත් නොව සමන්ති හෙවත් සීනි බනිස්ය..

"අනේ යන්න එපා අය්යේ.. මම ඔයාට ආදරෙයි.."

අපි තුන් දෙනාට අපේ ඇස්, කන් , නාසා කිසිවක් අදහා ගත නොහැකි විය.

ත්‍රි පුද්ගල කමිටුවේ පළමු සැලැස්ම අකුරටම හරි ගිහිල්ලාය.

අපි තුන්දෙනා අරලගන්විලින්ම ආපසු හැරී සිරිමල්වත්ත බලා යන බසයකට නැග්ගෙමු.  කොන්දා අපි හොඳින් හඳුනන කෙනෙකි.

"හවස පංති එන්න තියෙනවා බෙනඩික් අය්යා" කියමින් චමින්ද සීසන් එක පෙන්නයි.

කොන්දා එය ලකුණු නොකර අපට ආපසු ලබා දෙයි.

" මට සලකපන්" මේක මගේ ප්ලෑන් එක"

කියමින් චමින්දත් මමත් මාරුවෙන් මාරුවට බණ්ඩාට කරදර කළෙමු.






Saturday, 5 September 2015

අපේ දෙවැනි නිවාස ව්‍යාපෘතිය.. (පිය වරුන්ගේ දිනය සහ තවත් පියවරු දෙදෙනෙක්)- ව්‍යාපෘතියේ අලුතම තත්වය...


මේ තියෙන්නේ  චමින්දලා  දැනට  ජිවත් වන  නිවසේ  චයාරුපයකි.


මේ  කියන පුදගලයන් දෙන්නම ජිවත් වෙන්නේ අපේ ගමේ .. බණ්ඩාරවෙල ප්‍රදේශයේ.. දෙන්නටම දරුවෝ තුන්දෙනා ගානේ ඉන්නවා ( පිරිමි ළමුන් දෙදෙනා බැගින් සහ ගැහැණු ළමුන් එක්කෙනෙක් බැගින්)

එක්කෙනෙක්ගේ නම ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර්... එයා ඔබ අපසැමගේ උදව්වෙන් කාමර තුනක නිවසක් හදා ගත්තා තමන් හිටපු කටු-මැටි පැල වෙනුවට.( මේකට  අපි රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය කරා).  

අනෙකා එච්. එම් . චමින්ද.. එයා දැනට අසල තිබෙන ඉස්සර රජයේ තේ වත්තේ කම්කරුවෙක්. චමින්ද විවාහ වෙලා ඉන්නේ  ඒ වත්තේම  වැඩ  කරන  ද්‍රවිඩ  කාන්තාවක් සමග.

මේ තියෙන්නේ ප්‍රියන්තලගේ  පරණ ගෙදර..



                                                    ප්‍රියන්තලා අලුත් ගෙදර.. වැඩ නිමවෙමින්..



මට මේ දවස් වල නිතරම මේ දෙන්නා ගැන සිහිවෙනවා.. ඒ දෙන්නත් එක්ක මම නිතර කතාත්  කරනවා.


හැමදාම මම ව්‍යායාම කරද්දී මගේ හිතට එන්නේ මෙන්න මේ වගේ අදහසක්.



"අපි බඩ අඩු කර ගන්න ට්‍රේඩ් මීල් එකේ දුවන අතරේ මේ දෙන්නාම තමන්ගේ දරුවන්ගේ බඩවල් පුරවන්න තේ වතු.. කුඹුරු වල කුලී වැඩ කරනවා..  ඇයි ලෝකේ මෙහෙම වුනේ...?"


ඉස්සර කාලේ නම්  මමත් ඒ අය වාගේ අපේම කුඹුරු වතු වල වැඩ කළා. ඒ හින්දදෝ මන්දා විවාහ වෙලා අවුරුද්දක් පමණ යනකම්ම වගේ මම හිටියේ හාල් මැස්සෙක් වගේ.

මම මුලින්ම වැඩ කලේ කොළඹ තිබෙන ප්‍රධාන කාන්තා රෝහලක  සීමාවාසික වෙදැදුරෙක් හැටියට.

මුල්ම සතියේ දිනක උදේ වාට්ටු වේ ලෙඩුන් බලමින් සිටින අතර..

" අපෝ... මෙයාද මේ අලුත් ඩොක්ටර්. ?  .. හරිම කෙට්ටුයිනේ.. ? හරියට හාල් මැස්සෙක් වගේ.."

යැයි මැදි වයසේ කාන්තාවක් ගැහැණු වාට්ටුවේ මැද සිටම කියවාගෙන එනු ඇසිනි.

ඒ දෙස හැරී බැලු විට පෙනුනේ කුල්ලක් වැනි තොප්පියක් සහ තද නිල් පැහැ නිල ඇඳුමකින් සැරසුන ප්‍රධාන හෙද පාලිකාවයි.

එදා මට සියුම් ලැජ්ජාවක් ඇති වුයේ මා ඒ තරම් කෙට්ටු නිසාය.

දැන් එහි විරුද්ධ පැත්තට මගේ ශරීරය ගමන් කරමින් සිටි.. මම දිනපතා බලෙන් ව්‍යායාම කරන්නෙමි.

ඒ ප්‍රියන්තලා චමින්දලා වැනි පෙනුමක් ආරුඪ කර ගැනිමටයි.



 " සල්ලි තියෙන මිනිහට ව්‍යායාම ලැබෙන්නේ නෑ...  ව්‍යායාම  තියෙන මිනිහට සල්ලි නෑ.." ... 

කියන්න ආපු කථාවත් අමතක වෙන්න ගියා ඕන්...

අපි හැමෝම හැකි පමණින් උදවු කරලා ප්‍රියන්තලට හිසටසෙවනක් හදා දුන්නා ඔබට මතක ඇති ( මගේ මුහුණු පොතේ මිතුරන්ට)


දැන් චමින්දට උදවු කරන්න වෙලාවයි... මේදක්වා අපිහතර දෙනෙක් එකතු වී.. ඔහුගේ නිවාස අරමුදල රුපියල් 49000 දක්වා ගෙනවිත් තිබෙනවා..

මගේ මිතුරු ලිස්ට් එකේඉන්න එක්කෙනෙක් රුපියල් 1000 ගනනේ ප්‍රධානය කලත්.. චමින්දගේ අවශ්‍ය තාවයට සරිලන මුදලක් එකතුවේවි... 

චමින්දගේ නමින් බණ්ඩාරවෙල ලංකා බැංකුවේ තිබෙන ගිණුමට ඔබේ මුදල් බැර කරන්න පුළුවන්...
විස්තර
Account Name: H. M. Chaminada
Bank: Bank of Ceylon
Branch: Bandarawela
Account Number : 0077368233


ප . ලි. : චමින්දගේ  ගෙදර වැඩ ගැන සහ ඔහුගේ ගිණුමේ මුදල්  ගනු දෙනු ගැන අකුරටම හොයා බලන්නේ ස්වෙච්චාවෙන්ම.  ඉදිරිපත් වූ ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර් විසිනි..

චමින්දලා ගෙදර චායා රුපයක් ලැබුණා ඊයේ.. මේ තියෙන්නේ චමින්දත් , බිරිදත්, චමින්දගේ මවත් හා දරුවන් තිදෙනෙක් ජිවත් වන නිවසයි.






චමින්දගේ ගෙදර වැඩ පටන් ගත්තා ලඟදි.. මේ තියෙන්නේ  කොන්ක්‍රීට් එක දමද්දී ගත්තු චායාරුප... ඔහුගේ නිවසේ ඉදිරි වැඩ වලට මුදල් අවශ්‍ය වෙනවා දැන්.. ඔබ සැමට සහභාගී වෙන්න පුළුවන්..





12/11/2015
චමින්දගේ ගෙදර වැඩ දැන් ටිකෙන් ටික.. ගඩොලින් ගඩොල .. ඉදිරියට යනවා..
අපිත් සතෙන් සතේ.. රුපියලෙන් රුපියල එකතු කරලා එයාට උදව් කරනවා..
මේ තියෙන්නේ පසුගිය සතියේ තත්වය...
16/12/2015
චමින්දලා ගේ ගෙදර උළුවහු තැබීම  සිදු කළා පසුගිය ඉරිදා උදේ.. (13/12/2015) .. මේ තියෙන්නේ උළුවහු තැබීමට මොහොතකට පෙර ගත් චායා රූපයක්.
දැන් අපේ එකතුව රුපියල් 153 500 ක් වෙනවා..


24/12/2015

දැන් චමින්දගේ  ගෙදර කාමර දෙකක  වැඩ  වහලය ගහන්න ලං වෙන තෙක්  ඉවර වෙලා. ඒ අප සැමගේ උදව්වෙන්.. චමින්ද  සහ පවුල  ජනවාරි පළවෙනිදට ඉස්සෙල්ලා  භාගෙට වැඩ නිමවූ අලුත් ගෙදරට යන්න සුදානම් වෙනවා.. ඔවුන්ට  වහලේ සෙවිලි ගැනීමට උදව්  ලැබුනා නම්  මේ සිහිනය  සැබෑවක්  වේවි..
පහතින් තිබෙන්නේ  ඊයේ මට ලැබුණු චායා රූප.





Friday, 4 September 2015

උසස් පෙළදී චමින්ද නැවත හමුවෙයි.

උසස් පෙළ විද්‍යා පන්තිය.

අපි අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ විද්‍යා පංතියට එන්නේ 1987 වසරේ මැද භාගයේදීය. මමත් , කදුරුගමුවේ තාරකත් ඇතුළු මගේ සා. පෙළ සගයින් කිහිප දෙනෙක්ම මා සිටි 12 වසර සී  පංතියට තේරී සිටියහ.

මේ අතර බොට්ටා , වන්නි , ගැට්ටා ඇතුළු පිරිසක්  12 ඊ  කොටසේ පංති සගයින් බවට පත් වුහ. 12 ඊ කොටසට පැමිණි තවත් නවක සිසුවෙක් ගැන මෙහි සඳහන් කල යුතුමය.

 ඒ අවුරුදු දෙකක උසස් පෙළ කාලයේ මාත් කිරඹ ඔයේ චමින්දත් සමග නිතරම ගැවසුන අනිත් පුද්ගලයා ඔහු වන බැවිනි. නමින් සුරාජ් බණ්ඩා නම් වූ ඔහු පැමිණියේ වැලිකන්දට  මදක් ඔබ්බෙන් තිබු බෝගහ මඩිත්ත ප්‍රදේශයෙනි.

චමින්ද නැවතත් හමුවීම

මා අරලගංවිල මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියට යත්දී ඊට සමගාමිව  චමින්ද යෝධ ඇල මහා විද්‍යාල තෝරා ගෙන තිබුණි.  එකල අප ප්‍රදේශයේ උසස් පෙළ සඳහා කෘෂිකර්ම විෂය ඉගැන්වූයේ යෝධ ඇල මහා විද්‍යාලයේ පමණි.  චමින්ද උසස්පෙළට තෝරා ගෙන තිබුනේ කෘෂිකර්ම ධාරාවයි.

සෙනසුරාදා ඉරිදා උසස් පෙළ අමතර පංති වලට යන මට චමින්ද නැවතත් මුණ ගැහෙන්නේ සමන් අය්යාගේ රසායන විද්‍යා පන්තියේදිය.  සුරාජ් බන්ඩා චමින්දත් සමගම ගැවසෙන අයුරුක්ද දක්නට ලැබිණ.

"හලෝ කිටී.. කොහොමද මචං .. ගොඩ කාලෙකින් අපි හම්බ වුනේ නේද..?"  චමින්ද අසයි..

"හොඳින් ඉන්නවා මචං ... උඹ කොහොමද බන්ඩාව අඳුරන්නේ .. ? මම අසන්නෙමි.  "

"මුද...? මේකා මග අරින්නේ කොහොමද?  මු ඉන්නේ අපේ ගෙදරනේ...?  චමින්ද කියයි.


"බන්ඩෝ.. මේ මගේ පොඩි කාලේ ඉස්කෝලේ යාලුවෙක්.. කවිඳු... අපි ඒ කාලේ ඉඳන් මූට කියන්නේ කිටී කියලා..  අපේ නෑදෑයොත් වෙනවා..මුන්ගේ අම්මාත් කිරඹ ඔයේ රාජපක්ෂ කෙනෙක් තමයි"

චමින්ද තම පරම්පරා සම්බන්දයත් සමගම මාව තම සගයාට හඳුන්වා දුන්නේය.

"අපෝ මම කිටියව  දන්නවා ... මේ අපේ 12  සී එකේ හොඳ නොම්බරයක් තමයි.. "

සුරාජ් බණ්ඩා මගේ අරලගංවිල ඉස්කෝලේ ඇඳුනුම් කම චමින්දට හෙළි කලේ එලෙසයි.

පසුව මා ඔවුන්ගෙන් අසා දැන ගත් පරිදි බණ්ඩා යනු චමින්දලා අම්මලා පැත්තේ නෑදෑයෙකි.  බණ්ඩා චමින්දගේ  මාමගේ පොඩි පුතා බව මම දැන ගත්තේ එදිනයි.

එතැන් සිට ගතවෙන වසර දෙකක කාලය චමින්දත් , මමත් ,සුරාජ් බණ්ඩාගෙනුත් යුත් තුන්  දෙනාගේ කල්ලියක  වැඩ වලින් පිරී පවතී.

පාසැලේදී  බොට්ටා ඇතුළු කල්ලිය සමග ගැවසෙන මා පාසැල් බසයේදීත් උපකාරක පංති යන අතරත් ගැවසුනේ චමින්දත්  සුරාජ් බණ්ඩාත් සමගයි.

අප උසස් පෙළ කල 1989- 90 කාල වකවානුව අරලගන්විලට මෙන්ම මුළු ලංකාවම  භීතියෙන් ඇලලී ගිය කාලයක් විය

එහෙත් ඒ කාලයේ හිරිමල් යොවුන් වියේ පසු වූ අප කල නොයෙකුත් කෙලි කවට කම්  රාශියකි.

අප වයසේ සිටි සගයින් අතර සිදුවූ මතක හිටින වර්ගයේ කෙළිලොල් වැඩ  වැඩි හරියකම  ප්‍රධාන චරිත බවට පත්වුයේ   අප තිදෙනාය.

සමන් අය්යාගේ රසායන විද්‍යා පංතිය

එදා සෙනසුරාදා උදේ  උතුරු කිරිල්ලවල පන්සලේ චමින්දත් , බණ්ඩාත් සමග සාකච්චාවෙන් පසු මම ධර්ම ශාලාවේ පැවති පන්තියේ වාඩිවී සිටියෙමි.

සිගරට්ටුවක් හෙම පානය කිරීමෙන් පසු පන්තියට පැමිණි සමන් අය්යා ඉගැන් වීම ආරම්භ කලේ  පරමාණු සහ අණු යන මාතෘකාව යටතේය.

චමින්දත්, මමත් , බණ්ඩාත් එකම බන්කුවක වාඩිවී සිටියෙමු.  යමක් පැහැදිලි කල සමන් අය්යා "නාමරත්න ... කියන්න බලන්න. උත්තරේ .." යැයි මා දෙසට ඇඟිල්ල දිගු කරයි..

මම උඩ ගොස් බීම වැටුනේ.. අපේ පේලියට ඉස්සරහින් සිටි චන්දිම නාමරත්න (හතරේ පන්තියේදී මගේ තරඟකාරයා) සමන් අය්යාගේ පැනයට උත්තර දීම නිසාම නොවේ.

සමන් අය්යා කවිඳු යනු " සමන්ත නාමරත්නගේ  මල්ලී" බව දැන ගෙන සිට තිබේ. ජීවිතේට නාමරත්න යන නාමය පාවිච්චි නොකළ මා අන්දුන් කුන්දුන් වූ බව  තේරුම් ගත් ඔහු...

"මොකද ගැස්සුනේ මේකේ දඟලන්න බෑ හරිද.. ? මට සමන්ත කිව්වා ඔයා පන්තියට එන බව.." යැයි පවසමින් මගේ සැකය දුරු කළේය.

එදා සිට හැම දවසකම සමන් අය්යා මගෙන් පන්තියේදී ප්‍රශ්න අසන්නට අමතක කලේ නැත..

ඒ පන්තියට ගිය කවුරුත් දන්නා පරිදි මුල් සති කීපයේදී අප සැවොම භීතියට පත් කරමින් ඔහුගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ  චන්දිම නාමරත්න  විසිනි.

ටික කලක් ගත වෙද්දී මාත් , කණ්ඩුල ඇතුළු අනික් බොහෝ දෙනෙකුත් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයු අය අතර වුහ.
එහෙත් කල් ගත වෙත්ම මුල් කාලයේ අප මවිත කල අපේ පංතියේ නාමරත්න වැඩි පුර ශබ්ද කලේ නැත

30 ශ්‍රී 3869 සහ  314 ,බෙලගන්වැව පාසැල් බස් රථ

උසස් පෙලදී පාසල නිමවූ පසු නිවසට එන්නට 318 ගල් ඒදණ්ඩ බසය යට වඩා අප යොදා ගත්තේ 320 අම්පිටිය බසයයි.

එහි ලියාපදිංචි කල අංක වුයේ 30 ශ්‍රී 3869 යි.  පොඩි පංතිවල ඉන්නා කාලයේදී මෙය සින්නකර ලියාගෙන තිබුනේ ජලියලා සහ ගැට්ටලා ඇතුළු පාරේ අම්පිටිය පැත්තට කිට්ටුවෙන් ජිවත් වූ අය විසිනි.

සිරිමල්වත්තෙන්  බසයෙන් බැසයන  අපට උරුමවී තිබුනේ තරමක් අබල දුබලවූ වූ සහ හෙමින් ගමන් ගිය 318 බසයයි.

කුඩා කාලයේ සිල්වා අංකල් ධාවනය කල 320 න් සිරිමල්වත්තෙන් එහා අය විතරක් නගින්න කියමින් අප ප්‍රතික්ෂේප කෙරිණි.

එවිට බෙලිගහ දක්වා යන ගැට්ටා , ජාලිය වැනි අය අපිට ඔලොක්කුවට මෙන් හිනහ වුහ.

 ඒ  ඔවුන්ගේ පාසැල් බසයෙන් පන්තියේ අන්ඩපාලලා  වූ අප එලවා දැමු බැවිනි.

දැන් අපිත් උසස් පෙළ කරන අය්යලා වන්නෙමු.

ඒ බව හොඳින් දත්  320 රියදුරුවත් , කොන්දොස්තරවත් කර දඬු උස්වූ කොල්ලන් සමග ගැටුම් ඇති කර ගන්නට තරම් මෝඩ නොවුහ.

එබැවින් 12 පංතියට පැමිණි පසු අපට රිසිසේ 30 ශ්‍රී 3869 /320 අම්පිටිය බසයේ ගමන් කිරීමට ඉඩ ලැබුණි.

බසයේ පසු පසම අසුනට යන සුරාජ් සහ මම ගැට්ටලා, ජලියලා ඇතුළු බොහෝ අය අතර විහිළුතහළු කරමින් ගමන් කළෙමු. මේ සමාගමේ චමින්ද නොසිටියේය . හේතුව යෝධ ඇල මහා විද්‍යාලයට  අපේ ඉස්කොලේ සිට  සැහෙන දුරක් තිබීමයි.