Follow by Email

Friday, 3 July 2015

සංක්‍රාන්ති සමය පළමු කොටස...


සාමාන්‍ය පෙළ අවසන් කොට නිවසට    වී සිටි කාලය අපි  එළවලු වගාවෙන් සෑහෙන්න ඉදිරියට ගිය සමයකි.


මේ වන විට ගජ ඉලන්දාරියෙකු  වූ මම අම්මා සමග මෙන්ම  තනියමත්  එළවලු හදන්නට පුරුදු වී සිටියෙමි.

සමහර අවස්ථාවල මෙය හවුලට හෙවත් අඳේට  හැදීම දක්වාද ව්‍යාප්ත වූවේය.

හවුලට හැදීමේදී වියදම් කරන්නාට අදායමෙන් භාගයකුත් ගොවියාට භාගයකුත් ලෙස ආදායම බෙදී යයි.

ශ්‍රමය තනිකරම ගොවියාගෙනි.

කුලියට යමෙක් වැඩට ගන්නේ නම් ඔහුගේ වැටුප ගෙවිය යුත්තේද ගොවියා විසිනි.

පසුකාලීනව අප අක්කර පනහේ පුෂ්ප රාජා වැනි අය කුලියට ගත්තද මේ දිනවල අප  කවුරුත් කුලී කරුවන් යොදා ගත්තේ නැත.

වයසින් අඩු වුවද ඒ කාලේ ඉතා කඩිසර වගා කරුවෙක් ලෙස ගමේ යම් ප්‍රසිද්ධියක් ලබන්නට තරම් මම වාසනා වන්ත වීමි.

ඒ නිසාම ගමේ මිනිසුන් මා සැලකුවේ අනෙකුත් වැඩි මහලු එළවලු ගොවීන් සේම යමක් කල හැකි අයෙක් වශයෙනි.

දිනක් මට මගදී හමු වූ සීට්ටු ගෙදර ඩිංගිරි බන්ඩේ මාමා කල යෝජනාවකි.

"චුටි පුතා කොහොමද? "  "ඔහේ ඉන්නවා  මාමා" " මම පොඩි කාරණාවක් අහන්න කියලා හිටියේ.."

"අපේ ගෙට පහල කෑල්ලේ තක්කාලි ටිකක් හදමුද? "  "මම බෙහෙත් පොහොර අරන් දෙන්නම්. "

ඩිංගිරි බන් ඩේ මාමා  ඒ වන විටත් වැඩේ මට බාර දෙන්න තීරණය කර ගෙන ඇති සෙයකි.

"අම්මාගෙන් අහලා හවසට කියන්නම් කෝ මාමා "

මම උත්තර දුන්නෙමි.

තමාගේම පුත් ගුණතිලක සිටියදී  ඩිංගිරි බන්ඩේ මාමා මට තක්කාලි හදන්න බාර දුන්නේ එලෙසිනි.

ගුණතිලක අය්යාද සොහොන් කන්ද පැත්තේ තමාගේම තක්කාලි කොටුවක් කළා මට මතකය.

අම්මා සහ මම අපේ කොටුවේ වැඩ කල අතර ගුණේ ගේ  කොටුවේ වැඩ කලේ ගුණතිලක අය්යා සහ ඔහුගේ බිරිඳ සුමනා අක්කාය.

ඩිංගිරි බන්ඩේ මාමා මෙන් අහිංසකයෙකු නොවූ ගුණතිලක අය්යා කරන තරමක් කලේ කපටි කයිරාටික වැඩමය.
ඔහුගේ ප්‍රධාන රැකියාව වුයේ අපේ අසල් වැසි කළුලා තාත්තා සෝමේ සමග ලී ඉරීමයි.

සෝමේ ඉරුම් පලංචියේ උඩත් ගුණතිලක පලංචියේ යටත් ඉඳ කියතක් ඉහල පහල අදිමින් ලී ඉරන දර්ශනය එකල ගමේ සුලභ දසුනකි.

හවස් වරුවේදී ගුණේ  එලවලු කොටුවල වැඩ කල අතර සෝමේ ගංජා සුරුට්ටුවක් හෝ අඩියක් ගසා හන්දිය පැත්තේ කැර කෙනු දක්නට ලැබුණි.

එදා හවස ගෙදර ගිය ගමන් මම අම්මාට වචනය දැම්මෙමි.

 " ඩිංගිරි බන්ඩේ මාමලා වත්තේ මට තක්කාලි හදන්න කිව්වා අම්මා..."

මදක් කල්පනා කල ඈ ඩිංගිරි බන්ඩේ මාමාගේ හොඳ ගතිගුණ සලකා දෝ මගේ අදහසට සිය කැමැත්ත පල කලාය.

අපි ඔවුනේගේ වත්තේ පල්ලැහැ කෑල්ලට ගියෙමු.

ලස්සනට පාත්ති දමා තිබුණ ඒ කොටස මදක් කහ පැහැ පසින් යුක්ත විය. පොලව බිඳ බිම් සකස් කිරීමෙන් පසු අම්මගේ අවසරය මෙන්ම උදවු උපකාරද ලබමින් හවුලේ තක්කාලි වගාව ජයටම කලෙමි.

ඇයගේ උදවු වැඩිපුරම ලැබුනේ උදේ හවස වතුර දැමීමටත්  තක්කාලි බැඳීම වැනි කටයුතු වලටත් ය.

මා එහි වගා කලේ  කලේ අම්මාගේ ප්‍රධාන වගා ප්‍රදේශය වූ මාර ගස් වැල්ලේ කුඹුරේ තක්කාලි හැදීමට අමතරවයි.

කුඹුරේදී වූ ඇබැද්දිය


තක්කාලි බැඳීම කිවූ සැනින් මා මතකයට නැගෙන්නේ නොකියාම බැරි කතාවකි.

එදා සෙනසුරාදා දිනයකි,  අම්මා  සහ මම මෙන්ම චුටි නංගි සහ අක්කාද එදා කුඹුරේ සිටියහ.

 කාන්තාවන් තිදෙනෙක් සමග කුඹුරේ ඒ කොටසේ සිටි එකම පිරිමියා මමය.

එදා අපි කරමින් සිටියේ තක්කාලි බැඳීමයි. අම්මා සහ අක්කා කුඹුරේ උඩ ලියද්දකය. පහල තිබු මහා ලියද්දේ සිටියේ මාත් චුටි නංගිත් ය.

කුඩා හතරැස් පාත්ති ලෙස මනාව සකස් කර තිබු ඒ කොටසේ එක පැත්තක මම තක්කාලි  බඳින අතර චුටි නංගි සිටියේ එහිම අනික් පැත්තට වන්නටයි.

උදේ සිට ගිනි මද්දහන තෙක් වැඩ කලද අපට කිසි මහන්සියක් දැනුනේ නැති ගානය.

හේතුව තක්කාලි ගස කෝටුවකට තබා ගැට ගැසීම එතරම් වෙහෙසක් ගෙන දෙන වැඩක් නොවන්නාසේම  දෙදෙනා බැගින් එක පාත්තියක සිටි නිසා කුමක් හෝ කතා කරමින් එය සිදු කිරීමයි.



මාරගස්වැල්ල කුඹුරු යායේ අනෙක් වගා කරුවන් අතර  අම්මා ප්‍රමුඛ අප  ප්‍රසිද්ධව සිටියේ දවසට හතර පස් වතාවක් තේ බොන කණ්ඩායමක් හැටියටයි.

පාන් පොල් සම්බල් ආදිය මෙන්ම නොයෙකුත් පලතුරු හෝ තවත් කෑම වර්ග  මේ තේ වෙලාවල් වලට එක් වූ හැටි මට තාමත් මතකය.

කෙසේ වෙතත් මේ හැම වතාවකම සිරුරට ඇතුල්වන දියර ප්‍රමාණය ගැන සිතුවොත් එය ලීටර් බර ගණනකි.

කවදාවත් නොවූ පරිදි එදා  මගේ ශරීරයට  අපේ තේ බිමේ ආදීනව දැනෙන්නට පටන් ගෙන තිබිණි.  මට එක පාරම තද මුත්‍රා බරක් හට ගත්තේ මහා දවල් නංගි සමග තක්කාලි බඳිමින් සිටිද්දීය.

ඒ වයසේ බොහෝ දෙනෙක් කරන්නාසේ කෙසේ හෝ මෙය මැඩ පවත්වාගෙන වැඩ කරමින් සිටියෙමි.

කුමුරු යායේ පිහිටීම හරියටම දන්නා අය මගේ ඒ අසාර්ථක වැයමට හේතු  වටහා ගනු ඇත. තුන් පැත්තකින්ම තේ වත්තයි.

ඉහලින් විශාල ගෙයක් සහිත වත්තකි. කිසිම ගස් හෙවනක් පලාතක වත් නැත. අසල ඇති පැලකට මුවා වුවත් පිටි පස්ස තේ දළු නෙලනා ද්‍රවිඩ යුවතියන්ට පෙනේ.

කර කියා ගත හැකි දෙයක් නොමැති මා හිතේ දහිරිය ගෙන මගේ  ශරීරයේ ස්වභාවික පාලනයට එරෙහිව අරගලයක නිරත වූයෙමි.

චිරි.. චිරි .. ගාමින් මා සිටි තක්කාලි පාත්තිය පැත්තෙන් හඬක් නැගේ.

මා අසලම සිටි චුටි නංගි.. " ආ... මම මේ කව්ද බැලුවා මෙයානේ මේ.. " කියමින් කිසිවක් නොවූ ගානට සිනා සුනාය.

මගේ ඇඟට හීන් දාඩිය දමා ගෙන එයි.  මම මිනිස් සිරුරේ ස්වභාවික පාලනයට එරෙහිව සටනින් පැරදී ගොසිනි.

එහෙත් වාසනාවට ළඟ සිටියේ චුටි නංගියි. ඇය කිසිවක් සිදු නොවූ ලෙස දිගටම වැඩ කරගෙන ගියාය.

සිරුරේ තිබු අධික තෙහෙට්ටුව නිමවූ බව දැනුනු මා සැනසුම් සුසුමක් හෙලුවෙමි. හේතු දෙකකි,  එක.... බර සැහැල්ලු වීමයි.

දෙක.... චුටි නංගි  සමන්ත හෝ සමහර වෙලාවට අපේ මාමලා මෙන් මගේ දුර්වලතා වලට සිනා සෙන්නියක් නොවීමයි.

අස්වැන්න නෙලන්න ලංවී...


දැන් අම්මාගේ ලොකු තක්කාලි කොටුව වාගේම මගේ ඩිංගිරි බන්ඩේ මාමට හවුලට හැදු කොරටුවත් හොඳ ගානට ඵල දරා ඇත.

කොටු දෙකම හොරුන් ගෙන් රැක ගත යුතු වුවා මෙන්ම වැඩි පුර ඉදුනොත් කුරුල්ලන්ගෙන්ද හානි විය හැකිය.

ඩිංගිරි බන්ඩේ මාමා එයාගේ වත්තේ ආරක්ෂාව සහතික කලේ අම්මා අස්වසාලමිනි.

කුඹුරේ තක්කාලි කෑල්ල මුර කරන්නට අප එහි යා යුතු යැයි අම්මා තීරණය කලාය.

පොඩි පැලකට අවශ්‍ය අඩුම කුඩුම රැස් කෙරිණි.

අම්මාගේ පොඩිම මල්ලි අංජු මාමා ද පැල හැදීමට උදව් කළේය.  මම ඒ දිනවල රාජු මාමාට එච්චර කැමැත්තක් නොදෑක්වුයෙමි.

"ඔය යකා එන්නේ අපේ තේ ටිකට විදින්න.."

මම අක්කලාට කියන්නේ අපේ හතර පස් වතාවක් ලැබෙනා තේ පැන් සංග්‍රහයට  රාජුද බොහෝවිට ආරාධිතයෙක් වෙන බැවිනි.

අංජු මාමා මුත්තාගේ කුඹුරේ වගා කල අතර අපි වගා කලේ අසලම තිබු එහෙත් වෙන අයෙකුගෙන් කුලියට ගත කුඹුරකයි.

මගේ විරෝධයට දෙවැනි හේතුව වුයේ එයයි.

"අපට කුඹුරු කෑල්ලක් නොදුන්නා මදිවට තේ එකටත් වග කියන්න එනවා..."

තවත් කාරණයක් වුයේ අපේ තක්කාලි ටික රැක දීමට ඔහු ඉදිරිපත් නොවීමයි.

අංජුමාමා වවා තිබුනේ අර්තාපල්  නිසා ඔහුට පැල් රකින්නට වන්නේ කන්නයේ අවසාන දින ටිකේදි පමණි.

පසු කලෙක ඔහු මගේ සමීපම මිතුරෙක් වූ බව පමණක් මෙහි ලියා තබමි.

වැඩි විස්තර පසුවට.

අවසානයේ පැල් රැකීම වැටුනේ අම්මාගේ සහ මගේ කර පිටටයි. දවස් කීපයක් මගේ තනියට පැලේ ගිය අම්මා.

 "චුටි පුතා දැන් ඔයාට මේ ගමන හුරුයිනේ "  "හෙට ඉඳලා තනියෙන් පැලේ යන්න  පුළුවන් නේද? " කියා මගෙන් ඇසුවාය.

හිතට බියක් දැනුන මුත් ඒ බවක් නොපෙන්වූ මම ඇගේ අදහසට එකඟ වූයෙමි.

පලවෙනියට තනියෙන් පැලේ ගිය හැටි ගැන පොඩි විස්තරයක් ඔබ හමුවේ තබමි.

සොළොස් වියේදී.. මාරගස්වැල්ල කුඹුරු යායේ තනියම රාත්‍රියක්.




වීරයා මෙන් තනියම පැලේ යන්නට භාර ගත්තත්  හවස් වෙද්දී මා සිත සලිත වෙන්නට ගත්තේය.  

උඩකිවුල චන්දරේ ලා ගේ ළඟ කැලේ මට්ට කොල්ලෝ ගැන කථා මට සිහි  වෙයි.  

මල්දෙනියේ සිට කිරඹ ඔය හරහා කුඹුර දක්වා යන ගමනේ පසු කරන පලවෙනි හොල්මන් ස්ථානය මෙයයි.  

දිනක් අපේ ලොකු මාමා දවල් කාලේ. එතැනින් යනවිට මට මට්ට කොල්ලන් ගැන කියා දුන්නේය.  

රෑ දෙගොඩ හරියේ චන්දරෙලා ගේ ළඟ උස දඹ ගහෙන් පෝලිමට මට්ට කොල්ලෝ රංචුවක් බැහැගෙන එනවා ඔහු දැක තිබු බව ඒ කතාවයි.

මම දැන් අම්මා පැලේ යන්න හදා දුන් අඩුම කුඩුම මල්ලත් රැගෙන චමින්දලා බාප්පාගේ තේ වත්ත පසුකරමින් සිටිමි.

ඊළඟට එන්නේ උඩ කිවුල ගෙදර ළඟ කැලෙයයි. පසු පසටත් ටෝච් එක ගහමින් කැලය පසු කලෙමි.ඒ  යන අතරේ දඹ ගහ දෙස නොබලා සිටින්නටට වග බලා ගත්තෙමි.

වෙලාවට මට්ට කොල්ලෝ ආවේ නැත. මම තව කිලෝ මිටර් එක හමාරක් පමණ යායුතුය.  

පියුම් මාමගේ ජේ. ආර්. ටත් නොදැනෙන ලෙස බෝගොන් මුත්තාගේ ගේ ලඟින් කුඹුර දෙසට පල්ලම් බැස්සෙමි. 

දෙවැනි හොල්මන් ස්ථානය .. වතුර පීල්ලට ලඟා වූයෙමි. 

රෑ අට නමය විතර වූ මේ වෙලාවේ කවුරුත් පිල්ලේ නාන්නේ නැත.  එහෙත් වතුර ශබ්දය හිතේ සියුම් භීතියක් ඇති කරයි.

නැවතත් පිටු පසට ටෝච් ගැසුවෙමි. කවුරුත් නැත. 

දැන් නැවතත් කුඹුර දෙසට ගමන් කලෙමි. තවමත් පපුව ඩිග්..  ඩිග්... ගා ගැහෙයි.

අවසානයේ ආණ්ඩුවේ තේ වත්ත අයිනෙන්  ඇති ඇල  දිගේ  ගොස් පැල වෙත ලඟා වූයෙමි. 


ඊළඟ  කොටස මෙතනින්  

6 comments:

  1. මට්ට කොල්ලෝ කියන හොල්මන කවුද මම ඇහුවේ අදමයි

    ReplyDelete
  2. මට්ට කොල්ලෝ කියන්නේ ( මම දැකලා නම් නැහැ .. අහලා තියෙනවා අපේ අම්මල, මාමලා කියනව ) පොඩි බටු ගෙඩි වාගේ මිටි කොල්ලෝ සෙට් එකක් ලු .. එකා පස්සේ එකා ගානේ ඉවරක් නැතිව ගස් බඩගාන වා පෙනෙනවලු..

    ReplyDelete
  3. සුන්දර සහ ධෛර්යවන්ත අතීතයක් කවිඳු...හැමදාම වගේ බොහොම ආසාවෙන් කියවනවා...හෙමින් සැරේ වෙලාවක් හොයාගෙන ඔබේ පරණ පෝස්ට් කියවන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ මුල් කාලේ ලියපුවා. දිනපතාම වගේ ලියු නිසා ටික දෙනයි බලලා තියෙන්නේ...

      Delete
  4. හරි හරි පස්සෙ හරි අපි නොබල ඉන්නවැයි. මේ බලාගෙන යන ගමං තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අන්න එහෙම එන්න..

      Delete