Follow by Email

Monday, 20 July 2015

මැදුම් පිළිවෙත දෙවන කොටස.. තුම්මෝදර තුන්කට්ටුව

තුම්මෝදර තුන්කට්ටුව

මා තුම්මෝදරට ගොස් සති කිහිපයක් ගතවූ තැන තවත් හතරේ කණ්ඩායමේ සගයෙක්  එහි එන්නට කැමැත්ත පල කළේය.  එතෙක් පාසැල්ගුරුවරියක වූ තම අක්කාගේ නිවසේ සිට  කරගම්පිටියට පැමිණි ඔහු අම්පාර ඩි එස් එකේ සිසුවෙකි.

 ඔහු දන්නා හඳුනන ජේෂ්ට ඩි එස් සිසුවෝ තිදෙනෙක් නේවාසිකාගාරයේ උඩු මහලේ තිබු මගේ කාමරයට අල්ලපු කාමරයේ වාසය කළහ.

ඔවුන් කදෝපැනියලට පෙර වසරේ ( කරා දෙකේ) තිදෙනෙකි. නිලන්ත හෙවත් රිලවා , මංචනායක හෙවත් මංචියා සහ සුගත් රණවක තුම්මෝදර අම්පාර ගැන්සියේ අය වුහ.

කදෝලට හාත්පසින්ම විරුද්ධ අදහස් දැරූ මොවුන් තුම්මෝදර ප්‍රසිද්ධ වී තිබුණු අනිත් කාරණය ( වල බැසීමේ  කටයුතු ) ඉහලින්ම පෙන්නුම් කල අය වුහ.

මන්චියාලා මගේ අල්ලපු  කාමරයට වී  රෑ බෝ වෙන තෙක් ශබ්ද කරන්නට පුරුදු වී සිටියහ.
ඒ බොහෝවිට පාරේදී හමුවූ කෙල්ලන් ගැන හෝ   අපේ  වෙද විදුහලේ කෙල්ලන් ගැනය.

කරුණු එසේ වුවත් මේ තිදෙනා අතර හුන් සුගත් රණවක  තමා ඉගෙනිමටද දක්ෂයෙක් බව ඒ දිනවලද පෙන්නුම කළේය.

දෙවන වසර අවසාන විභාගයෙන් දෙවන පෙළ ( පහළ) සාමාර්ථයක් ලැබීමෙන් ඔහු ඒ බව පෙන්නුම් කළේය.

තුම්මෝදර වල ගැන්සියේ යාව ජීව සාමාජිකයෙකු වූ සුගත් අද පශ්චාත් උපාධිය හමාර කල දක්ෂ  වෙදැදුරන් අතර ප්‍රමුඛයෙකි.

නිලන්ත තරමකට ඉංග්‍රීසියට සහ බටහිර පන්නයට ආවැඩු  සිසුවෙකි. ඉතා විනෝදයෙන් සහ සැහැල්ලුවෙන්  තම කාලය ගෙවූ නිලන්ත  ඉංග්‍රීසි පිලිබඳ හසල දැනුමක් ඇතියෙක් ලෙස හැසිරුණේය.

මෙම හැසිරීම  බොහෝවිට කදෝපැනියලාගේ උපහාසයටද හේතුවක් විය.

"What is love.... baby don't hurt me... no more..."

කියමින් කෑ ගසනා නිලන්තගේ දසුන එකල  නේවාසිකාගාරයේ අපේ කොටසේ නිතරම දක්නට ලැබුණු දසුනකි.




නිලන්තලා මෙන්  නොව මේ හතරේ අපි තවමත් ඉංග්‍රීසි  භාෂාව ප්‍රගුණ කරමින් සිටින කාලයයි මේ .  ඒ වන විට හතරේ දෙවැනි සාමාජිකයාද දැන් තුම්මොදරට සැපත්  වී සිටියි.

සතිස්චන්ද්‍ර නම් ඔහු කදෝ පැනියලගේ කාමරේ ඉදිරි පස වූ මගේ කාමරයටම ඇතුල් කිරීමට  මිස්ට ගිනිගේ වග බලාගත්තේය.  ගිනිගේ යනු තුම්මෝදර නේවාසිකා ගාරයේ අනධ්‍යන පාලක වරයායි.

එකල අපේ අධ්‍යන පාලක වරයා වුයේ  ජිව රසායන අංශයේ කථිකාචාර්ය වරයෙකු වූ නෙළුම් කුමාර මහත්මායි. නෙළුම් කුමාර මගේ මතකයේ රැඳුනේ ඔහු  ඕනෑම දේශනයක් පටන්ගන්නා විලාශය එකම ආකාරයක් ගත් බැවිනි.

නෙළුම් කුමාරට තුම්මෝදර කොල්ලෝ ගබඩා යැයි නමක්ද  පට බැඳ තිබුණි. එහෙත් එහි අර්ථය කුමක් විය හැකිදැයි ඔබ ඇසුවොත් "අදටත් මා ඒ ගැන සොයමින් පසුවෙමි යැයි මට කියන්නටසිදුවේ.
ගබඩා මුලින්ම අපට දේශනයක් කල දින මා මතකයට නැගේ.. අපි දේශන ශාලාවේ අසුන් ගෙන සිටියෙමු. තුම්මෝදරදී දැක තිබු හුරු පුරුදු මුහුණක් ප්‍රොජෙක්ටරයඅසලට පැමිණෙයි.

දැන් හා හා පුරා කියා දේශනය ආරම්භ කරන්නට සුදානම් වන මොහොතයි.. "As I told you earlier..." කියමින් ඔහු දෙසුම ආරම්භ කළේය.

හතරේ අපි බොහෝ දෙනෙක් අන්දුන් කුන්දුන් වූ බවක් පෙනෙන්නට තිබුණි. " මේ යකා මේ කියන්නේ තුනේ එවුන්ට කියලා දුන්න දෙයක් ගැන වත්ද" ඉන් සමහරක් සිතන්නට ඇත.  එහෙත් ඉන් පසු සෑම දිනකම ගබඩා සිය දෙසුම ආරම්භ කලේ "As I told you earlier..." කියමිනි. අපේ අදහස වැරදි බවත්  ඒ ගබඩාට ආවේණික යෙදුම බවත් අපි වටහා ගතිමු.

තුම්මෝදර සාජ්ජ සහ බුලතා

අම්පාරේ ජේස්ට සිසුන් සිටි කාමරයට ඉදිරියෙන් ඇති කාමරය තනි සිසුවෙක් විසින් පරිහරණය කරන ලද්දකි. එහි රාත්‍රී දෙගොඩ හරි ජාමයේ මියුරු තබ්ලා වාදනයක් හෝ බටනලා වාදනයක් නොඇසුනේනම් පුදුමයකි. එහි සිටියේ කරා දෙකේ කරා පොරක් වූ බුලත්  අය්යයි.

ඔහු  නේවාසිකාගාරයේදී කිසිම දිනක උඩු කය වැසෙන්නට යමක් ඇඳ සිටිනවා මා දැක නැත. කොලපාට ඉරී ඉරී සරම ඔහුගේ ජාතික ඇඳුමයි. ආර්ය සිංහල ලීලාවෙන් බුලත් විට කෑ ඔහුගේ කාමරය වටා රතු පැහැ පැල්ලම් වැටි තිබුනේ බුලතා යනු කවරෙක්දැයි ලොවටම කියා පාමිනි.

මා තුම්මෝදරට ගිය පළමු දිනයේ වෙස් මුණු නාඩගම ඇතුළු අනෙකුත් සිදුවීම් සංවිධානය කිරීමේදී
බුලතාගෙන් සැහෙන සහයක් ලබා ගැනීමට කදෝ ඇතුළු පිරිස සමත් වුහ.  ඔහුගේ කණ්ඩායම් සගයින් වූ මන්චියාලා මෙන් කරා තුනේ කට්ටියට හැම විටම විරුද්ධ නොවූ බුලතා මා ගොඩක් ප්‍රිය කල චරිතයකි.

බුලතාගේ කාමරයට පහලින්  ඔහුගේ කාමරයේ සිට මිටර් අටක් දහයක් දුරින් තිබුනේ තුම්මෝදර රෝහලේ සේවය කල හෙදියන්ගේ නේවාසිකාගාරයයි.
මේ අතර අප කණ්ඩායමේ තුම්මෝදරට පැමිණි තුන්වන සහ අවසාන සගයාද මගේ කාමරයට පැමිණියේය.

මට පාසැලෙන් පිට වීමේ සිට මේ දක්වා ජීවිතයේදී හමුවූ හොඳම මිනිසා තුම්මෝදරට පැමිණියේමොණරාගල ප්‍රදේශයෙනි.  ඔහු නමින් යසරත්න බණ්ඩාර නම් විය.

 ඉතාමත් අහිංසක කොල්ලෙකු වූ ඔහුට "ලලිතා" යැයි කාන්තා නමක් පට බැන්දේ කරා තුනේ කල්ලිය විසිනි.

ඒ නම ලබා දීමට ප්‍රධාන හේතුවක් වුයේ ඉහල කණඩායම් වල සිසුන් නවක වධ කාලයේ කොමපන සැර වැර කලත්  ඔහු ඔවුන්ට ඉතා අහිංසක ලෙස සිනාසුන නිසාය.

කාන්තාවක් මෙන්  කුලෑටි බවක් පෙන්වූ නිසා ඔහු "ලලිතා " ලෙස නම් කරන්නට තුනේ කණ්ඩායම  තීරණය කළේය.

මිට අමතරව තුම්මෝදර විසු බොහෝ දෙනෙක් ඔහුට බණ්ඩා කියා කියන්නටද  පුරුදු වුහ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිතවතෙක්   යැයි කිව හැකි වූ බණ්ඩාර  මා වෙනුවෙන් බොහෝ කරදර වින්ද අයෙකි.

ඔහු ළඟ පාතක  පවුලේ කිසිවෙක් නැති මා හට තවත් සහෝදරයෙකු මෙන් විය.

ඒ නිසාම බණ්ඩාර  ගැන   අදටත් මට ඇතිවන්නේ මගේම සොහොයුරෙකු  කෙරෙහි ඇතිවන ගනයේ ලෙන්ගතු කමකි.

Tuesday, 7 July 2015

ගැලවුම් කාරයා



මගේ අසනීප තත්වය එන්න එන්නම උත්සන්න වෙද්දී  අපේ නිවසට කන්ද නගින නෑදෑ නොනෑදෑ පිරිසද ඉහල යන්නට විය.

එහෙත් අම්මා හා තාත්තා විකල්පයක් නොමැතිව එන පිරිස් සමග ශෝක වෙමින්ම පසුවෙති.

ඒ කාලේ අපේ සමන්ත විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකි. ඔහුගේ හිතවතුන් අතර එම වසේරේම සිසුන් මෙන්ම ඔවුන්ගේ අය්යලා අක්කලාද වුහ.

 ඔහු අද මෙන්ම එදාත් තම මිතුරු මිතුරියන් අතර ප්‍රසිද්ධ චරිතයකි.

මා දකිනා හැටියට මිනිසුන් ආකර්ෂණය කිරීමේ සුවිශේෂ හැකියාවක් ඔහුට හැමදාමත් තිබුනේය.

අවුරුද්දට වත් ගමේ නොපැමිණි සමන්ත මුලදී මගේ රෝග තත්ත්වය හරියටම දැනගෙන සිටියේ නැත.

නැතහොත් අම්මලා තාත්තලා මේ පලුමු වසරේ පොඩි දොස්තර ඒ තරම් දෙයක් දනිතියි සිතුවේ නැත.

කෙසේ හෝ  මට තව දුරටත් ජිවත් වීමේ අයිතියක් ඇතයි සිතුනේ සමන්තට පමණි.

විශ්ව විද්‍යාලයේ ඔහු දැන සිටි මහාචාර්යවරයකුට මා ගැන කතා කලේ එබැවිනි.

මා ඉහතින් සඳහන් කළා වාගේම සමන්ත පලුමු වසරේ සිටියද බොහෝ ඇය ගැන දැන සිටියේය. ඔවුන් ඔහුට ඇලුම් කළේය.

මහාචාර්ය මාළියද්ද එවැනි හිතවතෙකි.

මහාචාර්ය  මාළියද්ද එකල  Pharmacology  අංශයේ සේවය කල අයෙකි.

පසු කලෙක එංගලන්තයට සංක්‍රමණය වූ ඔහු  වස විෂ ගැන පර්යේෂණ රාශියක් සිදු කල අයෙකි.

ඔහුත් සමග පර්යේෂණ කරමින් ලොව නමක් දිනු තවත් මහාචාර්යවරයෙකි.  ඔහු සුමල් කරුණානායක නම් විය.
ඒ  දෙදෙනා අතර පලමු වසරේ සිසු සමන්ත ගැනත් රෝගාතුරවූ ඔහුගේ සොයුරා ගැනත් සාකච්චාවක් ඇති වුයේය.

සුමල් කරුණානායක මහාචාර්ය තුමාගේ වාට්ටුවට  ( හතේ වාට්ටුවට)   මා රැගෙන එන්නැයි සමන්ත තාත්තාට කිවේ එහි ප්‍රතිඵලයක්  ලෙසිනි..

කරුණානායක මහත්මා ස්නායු රෝග සම්බන්ධයෙන්ද  උනන්දුවක් දැක්වූ අයෙකි.

ඔහුත් මාත් එමෙන්ම සමන්තත් හැඩ හුරු කමෙන් බොහෝ සමාන කම් ඇති  තිදෙනෙක්  බව අපි දැන සිටි බොහෝ දෙනා පැවසුහ.

එපමනක් නොව සමන්තගේ අත් අකුරුත්  සුමල්ගේ අකුරු වලට ඉතාමත් සමීප විය.

" බොස් ගේ අකුරු මොනාද ... ගෝලයාගේ අකුරු මොනාද අපිට තේරෙන්නේ නෑ.."

පසු කලෙක සමන්ත  මහාචාර්ය ඒකකයේ (සුමල් යටතේ) පුහුණු වෙද්දී වාට්ටුවේ සිටි නර්ස් නෝනලා මේ ගැන මැසිවිලි නගන්නට වුහ.

අරලගංවිල සිට  ශික්ෂණ රෝහල බලා ගිය ගමන.

අම්මාත් තාත්තත් සමන්තගේ බසට අවනත වුහ. පුංචි රාල මාමාත් දොළුවේ නැන්දත් මා බලන්නට අපේ ගෙදර ආහ.

ඔවුන් ගමන ගැන   අපේ තාත්තාට කතා කළේය. 

"දොරේ මල්ලී...පොඩි පුතා අලදෙනියේ ගෙනියන්න අපේ වැන් එක දෙන්නම්... හයර් එකක්  එපා..". 

පුංචි රාල මාමා කිවා මට අද වාගේ මතකය.

තාත්තා නිල් ඩෙලිකා එකේ ඉදිරිපස රියදුරු අසුනේ සිට රිය පදවයි. මැද අසුනේ මා හිස තම ඔඩොක්කුවේ තබා ගත් අම්මාය.

පුංචිරාළ මාමාගේ පුතෙකුත් ගමනට එක් වුවේය. ඔහු ඒ දිනවල තාත්තා අතින් රියදුරු පුහුණුව ලැබූ අයෙකි.  

වෑන් එක වංගු ගනිමින් පල්ලම් බසියි.  පාරේ වැඩි සෙනගක් හිටියේ නැත. කලාතුරකින් වාහනයක් හමු වුවත් පාර මහා මුසල පාළු ගතියක් පෙන්විය. 

දොළුවේ නැන්දලා චුටි අය්යා හෙවත් කඩේ චූටි  ඉදිරි පස අසුනේ සිට මේ ගැන මැසිවිලි නැගුවේය.

"ඇයි දන්නේ නෑ මාම අද පාරේ වාහන හරි අඩුයි නේ "

ඇඟ නමා තාත්තා වංගු ගනියි.  මේ දිනවල මම අපේ සුපුන්ට වංගු සහිත පාරවල් වල යද්දී  තාත්තාගේ ඇඟ නැමීම ගැන විහිළු කරන්නේ  ව්‍යංගයෙන් එය පෙන්වමිනි.

වංගුවක්  වංගුවක් පාසා  පිටුපස අසුනෙනේ ශබ්දයක් එයි .. ඕක්... ඕක් .. මැද අසුන තනිකර හෝටලයකි.. අම්මා එහි වේටර් වැඩේ කරන්නීය.

"තේ එකක් බොමු නේද මාමා. "

වල්හපු තැන්නේදී කඩේ චුටි යෝජනා කළේය.  හෝටලයක් පවත්වාගෙන පැමිණි මා තේ බිමක් ගැන සිතුවේ නැත.

අම්මා මගේ තනියට වෑන් එකේ රැඳී සිටියාය. චුටි හා තාත්තා කොළඹටත්  අලදෙණිය හරහා නුවරටත් යන බස් නතරකරන ප්‍රසිද්ධ හෝටලයට ගියහ.

" නැන්දා මෙන්න නැන්දට කෑම එකක්." චුටි අය්යා අම්මාට කෑම පාර්සලයක් ගෙනැත් දුන්නේය.

" මාරයි නේද මාමා.. "  "

" මම ඒත් බැලුවා ඇයි අපි ඉඳි ආප්පයි මසුයි ඕඩර් කරද්දී අනිත් ජාතිත් ගේන්නේ ඇයි කියලා ".

කඩේ චුටි  තාත්තා සමග බර කථාවකි.

"නැන්දා දන්නවද වැඩක්? " පිටුපසට හිස හරවා ඔහු අම්මාත් කතාවට ඇඳ ගනියි.

අපිට තේ බොන්න සල්ලි ගත්තේ නෑ.  අපි කනකන් ඉඳලා වේටර් කිව්වා  අද එයලා දන්සලක් දෙනවා කියලා.

"ඇයි ඇද වෙසක් පෝයලුනේ " තාත්තාද තම හඬ අවදි කළේය.

වෙසක් පෝයට වල්හපු තැන්නේ හෝටලයෙන් කිසි ප්‍රසිද්ධියක් නොකර දන්සලක් දුන්නේ එලෙසටයි.



Sunday, 5 July 2015

සංක්‍රාන්ති සමය හතරවෙනි කොටස - සිංහල අවුරුද්ද ඇවිත්

ඒ වනවිට අප්‍රේල් දහවෙනිදා පහුවුනා පමණි. කළුලා ගේ ළඟ අපේ පල්ලැහැ වත්තේ අම්මා , අක්කා සහ මම කඩිනමින් වැඩ කටයුතු කලේ ළඟ එන අවුරුද්ද වෙනුවෙනි.

දින කිහිපයක් නිවාඩු ගැනීමට සිදුවන නිසා. තක්කාලි පස් දැමීම, කොටු සිටුවීම, ගස් බැඳීම වැනි වැඩ රාජකාරි රාශියකි. අවුරුදු දින කීපයේ අම්මලාගේ නෑදෑ ගෙවල් තුනේම (මාමලා සහ පොඩි පුංචි ලගේ  ගෙවල් වල) සාද වලටද ආරාධනා ලැබී තිබුණි.

අපේ වෑයම අවුරුද්දට පෙර කොටුවේ වැඩ රාජකාරි සියල්ල අහවර කීරීමටයි.

දොළොස්  වෙනිදා වගාවේ අවසන් දවසයි. අම්මා උදේම මට භාර දුන්නේ තක්කාලි කොටුවට බෙහෙත් ගහන රාජකාරියයි.
මම උදෙන්ම බෙහෙත් ටැංකියත්, වොන්ඩසෙබ් හා ඇන්ටක්‍රෝල් පැකට්ටුත් , පනුවන්ට එරෙහිව ටැමරෝන් බෝතලයකුත් රැගෙන පල්ලම් බැස්සෙමි.

ඒ කාලේ අපිට හේස්ප්‍රෙ යන්ත්‍රයක් තිබුනේ නැත. මම පාවිචිචි කලේ උරහිසේ පැත්තකින් එල්ලා ගන්නා රතුපාට කෑන් එකක් වැනි බෙහෙත් ටැංකියයි. එහි මුඩිය ටැංකිය හා සම්බන්ධ කර තිබුනේ මුඩිය මැදින් හිල් කර සකස් කල තංගුස් නුලක් මගිනි.

ටැංකිය පිරී තිබෙන වෙලාවට මෙම සිදුරෙන් එලියට එන කෘමි සහ දිලිර නාශක මගේ වම් කකුල දිගේ බේරීම සාමාන්‍ය සිද්ධියකි.

දැන් මම වත්තේ බැවුමට වන්නට තිබෙන ලිඳ ළඟ බෙහෙත් දියකර බෙහෙත් ඉසීම පටන් ගත්තෙමි.

අම්මා මට නොකීවද මගේ අරමුණ වුයේ දවස ඇතුලත මුළු කොටුවටමට තෙල් ඉස අවසන් කිරීමයි.

මම වරින් වැර ටැංකිය පුරවා ගනිමින් තක්කාලි ගස් හොඳින් ආවරණය වනලෙස බෙහෙත් ඉස්සෙමි.

 එක ටැංකියකට දිලිර නාශක වර්ග දෙකෙන් ගිනිපෙට්ටි මුඩි දෙක බැගිනුත් ටැමරෝන් මුඩිය  බැගිනුත් මිශ්‍ර කලෙමි.

 ඒ ඒ කාලයේ බෙහෙත් ඉහින පදමලෙස ගමේ බොහෝ අය යොදාගත් අනුපාතයයි.

එරබදු මල් මොට්ටු මොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු 


 ලිඳ ළඟ තිබු එරබදු ගහ රතු පාට මල් වලින් පිරී ගොස් ඇත.

රේඩියෝවේ යන ගීතවලින් රතු එරබදු වලින්  අවුරුද්ද සංකේතවත් කරන බව නිතරම අස්සනට ලැබුණි.

එපමණක්ම නොව රතු පාට අප්‍රේල් මාසයේ පාට බව අප ඒ දිනවලත් දැන සිටියෙමු.

එකොළහට පමණ එරබදු ගහ යටට වී අම්මා හදා දුන් පාන් සහ පොල් සම්බල් කැවෙමි. උණුවතුර බෝතලයේ තිබු කිරි  කෝප්පයක්ද වත්කරගෙන බිවෙමි. ඒ සබන් දා හොඳින් අත් දෙක සෝදා ගැනීමෙන් පසුවයි.

දැන් දැන් මද්‍යාහනයද පසුවී ගොසිනි. තවත් කොටුවේ භාගයකට වඩා ඉතිරුව තිබේ. දිගටම බෙහෙත් ඉස්සෙමි.

කැසපට ගසා ගත් අළුපාට ඉරි ඉරි සරමේත් වම් අර්ධයම බෙහෙත් වතුරෙන් පෙඟී ගොසිණි.

දැන් වෙලාව දහවල් දෙක හමාරට විතර යැයි මට සිතේ..

උඩහ අඩිපාර පැත්තෙන් එන කට හඬකි...

 " චුටි පුතා.. චුටි පුතා "  "ඕක ටිකකට නවත්තලා මේ බත් ටික කාලා හිටපන් කෝ.."

අම්මා මට බත් ගෙනැවිත් තිබේ.

කෑම  අවසන් කර ඉතිරි හරියත් ඉවර කලෙමි. මගේ වැඩ ඉවර වන විට හවස හය හමාර විතර වුනා මතකය.

ටිකක් වෙහෙසකර වුනත් හිතට මහා සැනසීමක් දැනුනේ අවුරුද්දට කලින් සියලුම වැඩ ඉවර කර ගත් නිසාය.

පොඩි පුංචිලාගේ අවුරුදු සාදය


මා නිවසට පැමිණෙන විටත් අක්කලා  නංගිලා අවුරුදු සාදයට කිරඹඔය පුංචිලා ගෙදර යන්නට සුදානම් වෙමින් සිටියහ. ඒ කාලයේ අම්මලා පවුලේ ගෙවල් තුනේම මෙවැනි සාදයන් පැවැත්වුයේ ය.

ජයසිංහ බාප්පා ත් ලොකු මාමත්ඇතුළු පිරිමි කට්ටිය කෑමට පෙර බිමෙන්ද සප්පායම් වුහ. 

පුංචි ළමයි පංචි දැමීම, ලුඩෝ කාර්ඩ් සෙල්ලම් කිරීම ආදිය කලේ හැමෝම කෑම මේසයට එනතෙක්ය.

එදා හවසත් සුපුරුදු පරිදි කට්ටිය එකතු වුයේ එවන් දිනයක් ගත කිරීමේ බලාපොරුත්තුවෙනි. මල්කා , රාජු මාමා ආත්ම්මලා ඇතුළු හැමෝම රැස්වී සිටි බව මගේ සිහියට නැගේ. 

මට තරමක හිසේ කැක්කුමක් ආවේ හැමෝම රාත්‍රී ආහාර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

" මේ පැනඩෝල් දෙක බිලා බලන්න " ජයසිංහ බාප්පා මට කිවේය.

අනිකුත් හැමෝම කුකුල් මස්, බෝංචි බැදුම හා තද කර ඉවූ පරිප්පු ආදිය සමග රෑ කෑම ගනිමින් සිටියහ. 

" චුටි පුතා .. බත් ටිකක් කමු " පොඩි පුංචි ආරාධනා කරයි.

මට  කෑම දෙස බලන්න වත් නොහිතෙන වස අප්පිරියාවක් හට ගෙන තිබේ.

"එපා මට කන්න  බෑ.."

ගත වුයේ සුළු වේලාවකි. මගේ අප්පිරියාව වැඩි වී එක දිගට වමනය යන්න පටන් ගත්තේය.

ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනියමු. රාජු මාමා වාහනයක් සොයා දිව්වේය.

"උදේ ඉඳලම බෙහෙත් ගැහැව්වනේ" අම්මා රෝග නිධානයත් සොයා ගෙනය.

අරලගංවිල රෝහලේදී මෙම රෝග ඉතිහාසය ඩි ඇම් ඕ මහතා සමගද කියැවිණි. ලෙඩා ඇඩ්මිට් කරන්න ඔහු කිවේය . එදා සිට අවුරුදු දවස්ද ඇතුළුව දින ගනනාවක් මා රෝහලේ ගත කලෙමි.

සතියේ දවස් වල උදේ බංගලාවේ බෙහෙත් දෙන ඩි ඇම් ඕ මුණ ගැහෙන්නට තාත්තලා යන්නේ  ( රුපියල් විසි පහක් ගෙවා) වාට්ටුවේ මා සිටිනා බව මතක් කරන්නටය.

වාට්ටු සංචාරයට එන ඔහු මට පැනඩෝල් SOS නියම කර ඇඳ හිස පතේ සටහනක් දමයි.

දැන් සති දෙක තුනක් ගෙවී ගොසිනි. මගේ තද හිසේ කැක්කුමත් , නොනවතින වමනයත්  අඩුවක් නැත.

හිසේ ඇම්ම වැඩි පුරම එන්නේ උදේ ඉර නගින වෙලාවටය. මට ලයිට් එළියක් දිහා බලන්නටවත් බැරි තරම් ඔළුව පුපුරු ගසයි.

අම්මලාගේ රෝග ඉතිහාසය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඩි ඇම් ඕ හරි රෝග විනිශ්චයක් කල බවක් නොපෙනේ.
තාත්තගේ යාළු මේල් නර්ස්ලා " මේ ළමයාව තේලුල්ලේ වත් යැව්වනම්  හරි " කියමින් සිටිති.

දිනක් මා බලන්නට රෝහලට ආවේ දොළුවේ නැන්දා ගේ අය්යා කෙනෙකි . ඔහු හිසේ කැක්කුම් වලට කෙමක් දන්නා කෙනෙක් බව අම්මා මට කීවාය.

"දොරේ මල්ලී ... පුතාට තියෙන්නේ ඉරුවාරදය"

ඔහු රෝගය හරියට විනිශ්චය කළේය.

"ටිකට් කපාගෙන ගෙදර අරන් යන්න අපි කෙමක් කරලා බලමු " ඔහු යෝජනා කළේය.

එතැන් සිට දින හතක් මට උදේ පාන්දරම නාන්නට සිදුවිය. නෑමෙන් පසු ඔහු පොල්කිරි මිශ්‍ර නානුවක් මගේ හිසේ ගැල්වුවේය.

හත් දවසක් ගතවූ තැන ඉරුවාරදය සුව වන බව අපේ අම්මාටත් තාත්තාටත් පැවසුවේය.


එහෙත් මගේ හිසරදයත් වමනයත් සඳතැන්නේ වෙද මාමාගේ කෙම් ක්‍රමයෙන් සුව වුයේ නැත.

ඒ වෙනුවට මා එන්න එන්නම දුර්වල විය. දැන් අවුරුද්ද පසු වී මාසයකටත් වැඩිය.

අපේ අම්මලා පැත්තේ නෑයෝ පමණක් නොව තාත්තලා පැත්තේ අයද මා බලන්නට නිවසට එන්නට වුහ.

මට තවමත් කෑම බීම අපුලය. ලෙඩ බලන්නට එන ඇය ක්‍රීම් ක්‍රැකර් , බීම ජාති ආදිය ගෙනාවත් ඒවා දිහා බලන්නට වත් නොසිතේ.

විජලනය හේතුවෙන් බෙහෙවින් අබල දුබල වී සිටි මගේ ඇඳේ අනික් පැත්තේ දවල් කාලයේත් තාත්තා හිටියා මට මතකය.
එක් දිනක් නින්දත් නොනින්දත් අතර  සිටි මට තාත්තා ඉකි ගසමින් හඬන බව දැනුනි.

"තාත්තා ඇයි අඬන්නේ? " මට ඇසුනේ ඉබේටමය.

"ආ චුටි පුතා ... තාම ඉන්නවා නේද? " නින්දෙන් අවදි වූ තාත්තා පෙරලා මගෙන් ප්‍රශ්න කලේ කඳුළු පිරී දෑසින් යුතුවය.

මා තවමත් ලෙඩ ඇඳේ බව  දැන ගත්  තාත්තලා පැත්තේ නෑදෑයෝද  වැල නොකැඩි මා බලන්නට ඇදී ආහ.

හොඳටම දුර්වලවූ රෝගියා ලෙඩ ඇඳේ වැතිරී සිටියි. පල්ලැහැ ලොකු තාත්තා සහ අම්පිටියේ විසු ඔහුගේ දියණිය කරුණා අක්කා ඇවිත් සිටිති.

ලොකු තාත්තා මගේ කකුල් මිරිකයි..

ඉකි ගසමින් හඬා ගෙන ආ කරුණා අක්කා මගේ මුහුණ අත ගාමින් අනේ... චුටි මල්ලි... .  කියා වැලපෙන්නට වුවාය. 

මට සිද්ධිය පරිවර්තනය කර ගැනීම අපහසුවිය. ඒ දෙදෙනා පිටත්ව ගිය පසු මම තාත්තාට කතා කලෙමි.

" ඇයි ඒ කරුණා අක්කා එච්චර අඩන්න වුනේ..?"  " ලොකු  තාත්තා මගේ කකුල් මිරිකුවේ ඇයි "

"ඒ ඔයාට ගොඩාක් අමාරු නිසානේ " තාත්තා උත්තර දුන්නේ තම කඳුලද කෙසේ හෝ සඟවා ගනිමිනි.

ගැලවුම් කාරයා ගමේ ඇවිත් 



සංක්‍රාන්ති සමය තුන්වන කොටස- පෙරියතම්බි අය්යා

ඒ වනවිට අපේ  සා. පෙ. ප්‍රතිඵල ලැබී මාස කිහිපයක් ගතවී ගොස් තිබුණි.

පාසැල් නොගොස්  නිවසට වී  සිටි ඒ කාලේ  තාබ්රු සර් ගේ නිවසේ තිබුණු පන්තියට අපි හැමෝම වාගේ සහභාගී වුනෙමු.

ඔහු පන්තිය පැවැත්වුයේ බිඳුණු වැව තිබුණු ඔහුගේම නිවසකයි. 

තම විසිත්ත කාමරයේ තිබු කෑම මේසයේ අප  වාඩි  කරගන්නා තාබ්රු සර් අපට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කරයි.

 ඒ අතර ඔහුගේ ගෙදර බලාගන්නට සිටි පවුලේ අය අපට තේ එහෙමත්  පිළියෙළ කර දුන්හ.  

සා . පෙ. අවසන් කර සිටි අපට ගෙදරට වී නිකන් කාලය ගත නොකර වැඩක් කරන්නැයි ඔහු අපට කිවේය.

ඒ අරමුණ ඇතිව ඉංග්‍රීසි සහ  පරිගණක ගැන ඉගෙන ගන්නට ඔහු අපව පෙළෙඹ වුයේය.

ටික දිනක් පංතිය කරගෙන යද්දී  ඉංග්‍රීසි සහතික  (National Certificate of English) විභාගයට  සුදානම් වන්නැයි අපට උපදෙස් ලැබිණි..

NCE කරන්නට සුදානම් වූ පිරිසට හරීන්, කණ්ඩුල , ගැට්ටා මෙන්ම තිලාන් සේමගේ සහ මාද ඇතුලත් වුහ.

අපි හැමෝම රුපියල් හැට පහ බැගින් වියදම් කර අදාල වැඩ පොත මිලදී ගත් බව මට මතකය. 

අපි සතියේ දිනවල උදේ  නවයේ සිට එකොළහයි තිහ පමණ වනතෙක් කාලය ගෙව්වේ තාබ්රු සර් ගේ නිවස තුලයි.

ඉංග්‍රීසි ඉගැන්වීමට අමතරව තම පවුලේ විස්තර ටිකෙන් ටික කියන්නටද ඔහු එය අවස්ථාවක් කරගත්තේය. 

තාබ්රු යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා නියමු කණ්ඩායමේ  (සුද්දෝ නොවන)  සිටි හය දෙනාගෙන් කෙනෙකි.

පුහුණුවෙන් පසු ලංකාව හැරදා ගොස්  ස්වීඩනයේ  SAS ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කල ඔහුට එරට කාන්තාවකට දාව ලැබුණු දියණියන් දෙදෙනෙක් සිටියේය. 

විශ්‍රාම ගැනීමෙන් පසු අරලගන්විලට පැමිණ පදිංචි වූ තාබ්රු සර්  ස්වේච්ඡා ගුරු සේවයට පැමිණියේ  අප ඉගෙන ගත් අරලගංවිල  මහා විද්‍යාලයටයි.

එහිදී ඔහුට මුණ ගැසුන මුල්ම සිසු කණ්ඩායමට  කවිඳු ඇතුළු පිරිස අයත් වුහ.



ඇස් වහ කට වහ



අනිත් යහළුවන් NCE වලට පමණක් සුදානම් වන කාලයේ මම ඊට අමතරව මාගේ විනෝදාංශය වූ එළවලු වගාවද  කරගෙන ගියෙමි.

ඒ දවස්වල කළුලා ගෙට පහල වත්තේ අපි විශාල තක්කාලි වගාවක් පවත්වා ගෙන ගියෙමු.

මේ දිනවල සමන්ත විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි.

 නිවසේ සිටි අක්කාත් මමත් අම්මාගේ දකුණත සහ වමත මෙන් හරි හරියට වැඩ කළෙමු.

චුටි නංගීද  එහෙන් මෙහෙන් උදවු කලා වුවත් ප්‍රධානම බර  දැරුවේ අක්කා සහ මා විසිනි.

නිලට නිලේ දිලිසෙන තක්කාලි කොටුවට ඇස්වහ කටවහ වදිනු ඇතැයි  අම්මා විශ්වාස කළාය.

එසේ ඇස් වහ වැදීම  වැලක්වීමට අපි විවිධ උපක්‍රම යෙදු හැටි මට තාමත් මතකය. 

සුදු පාට පොලිතීන් පටි තක්කාලි කෝටුවල ගැට ගැසීම ඉන් එකකි.

සමහර එලවලු කොටු කාරයෝ පඹයෙක් කොටුව මැදට වන්නට හිටුවා තබති. 

මේ සඳහා අපි යොදා ගත් තවත්  උපක්‍රමයක් වුයේ  පුළුල් සුදු පොලිතීන් කොටුවක  ලොකු  රවුම් අකුරින් . " චික්!! තුක් !!! " කියා ලිවූ බැනරයයි.

එවන් බැනර් දෙකක් සකස් කල මා  උඩහ ගෙදර කලුලා  යන එන පාරට පෙනෙන ලෙස ගැට ගැසුවේ ඔවුන්ගේ කට වහෙන් කොටුව ගලවා ගන්නටය.

අපේ කොටුව දෙස බලන්නන් ගේ ඇස්  මගේ බැනර් දෙස යොමුවුවද  තක්කාලි ගෙඩි හිල් කරන පනුවෝ මේ  උපක්‍රම වලින් මෙල්ල වුයේ නැත.

පණුවන් මර්ධනය කීරීමට ටැමරෝන් වැනි කෘමිනාශක යොදන්නට අපට සිදු වුයේ ය. 

අම්මා මගේ සේවය වැඩි පුර ලබා ගත්තේ මේ පණු වින සහ දිලිර රෝග වලින් තක්කාලි බේරා ගැනීමේ සටනටයි.

අප පල්ලැහැ  කොටුවට යන පාර අයිනේ තිබු තවත් තක්කාලි කොටුවකි. එය අයිතිව තිබුණේ එහා ගෙදර පොඩි රාජාටයි.

එක් දිනක් මා අම්මා සමග වත්තට යද්දී පොඩි රාජලා  කොටුවට හැරෙන තුන්මං හංදියේ අඟුරු ගොඩක් මත  බාගෙට පිළිස්සුනු  මිරිස් කරල් සහ ලුණු කැට තොගයක් දක්නට ලැබිණි.

"මේ මොනාද අම්මා  මේ?  ඇයි මේ  මිරිසුයි  ලුණුයි  පුච්චලා තියෙන්නේ මෙතන ? "

මම අම්මාගෙන් ප්‍රශ්න කලෙමි.

"ඔය ඇස් වහ කට වහ පුච්චලා නේ බං .

මුන් හිතුවද දන්නේ නෑ අපි උන්ගේ තක්කාලි කොටුවට ඇස් වහ කරනවා කියලා.

වැඩේමයි . අපි තක්කාලි දැකලා නැති මිනිස්සු නම් කමක් නෑ "

අම්මා පොඩිරාජලා ඇස් වහ කටවහ පිච්චීම ගැන එතරම් මනාපයක් නැති පාටය. 


උඩහ  කඩේ 


මේ දිනවල අපේ තාත්තා  වැඩ කළේ පුංචි රාල මාමලා ගේ නිල්  පාට ඩෙලිකා  එකේ ය.  

ඔහු ඒ වන විට  සේවය අත්හැර ගිය ලිපිකරුවෙකි.

පුංචි රාල මාමලා කඩේ පිහිටා තිබුණේ  අපේ නිවස ආසන්නයේ සිට  අක්කර ගණනාවක් එපිටට පැතිරී යන තේ වත්තේ  ඉහළම කෙලවරට ආසන්නයේය.

කඩේ දෙපැත්තෙන්ම තිබුණේ  දෙමළ ලැයිම් පේලි කිහිපයකි.

අපේ ගෙදරත් පුංචි රාල මාමලා කඩෙත් අතර දුර කිලෝමීටර් මීටර් දෙකක් පමණය.

අපේ ගෙදරට සිට කඩේට යන පාරේ පිළිවෙලින් නාන පිහිල්ලත් , වත්තේ ගණදෙවි කෝවිලත් , අක්කර පනහේ ලැයිමත් , දළු පඩි දාන තැන හෙවත් වත්තේ ඔෆිසියත් හමුවෙයි. 


ඒ කාලේ අපේ ඉස්කෝලේ යාලුවෝ බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඒ නිල් පාට ඩෙලිකා වෑන් එක අපේ එකක් කියාය. 

" අන්න.. කවිඳු ලා වෑන් එක.."

කියමින් ජාලිය, තාරක වැනි යාලුවෝ  නගරයේදී කෑ ගසමින් මට පුංචිරාල මාමගේ වාහනය  පෙන්වූ වාර අනන්තය. 

මමද ආඩම්බරයෙන් අපේ වෑන් එක එනවා කියමින් සතුටු වූයෙමි. 

කතාව හරියටම දන්නා එකම සගයා කණ්ඩුල පමණි . ඒ ඔහු දොළුවේ නැන්දාගේ ලඟම නෑදෑයෙක් වූ බැවිනි. 

එහෙත් කිසිම දිනෙක 

"ඒ කවිඳුලා වැන් එක නෙවෙයි අපේ අක්කලාගේ එක "කියා ඔහු කිවේ නැත. 

උදේ NCE පංතියත් හවසට තක්කාලි කොටුවත් ආවරණය කරන මගේ සවස් කාලයේ විනෝදාංශය අමුතුම එකකි. 

හවස පහ හමාර පමණ වන විට මම අක්කර පනහේ ලැයිම සහ උඩහ කෝවිල පසු කරමින් ගමනක් යන්නෙමි. ඒ වැඩ නිමවී ගෙදර එන තාත්තා එක්කන් එන්න යන ගමනයි.

මෙහිදී මම මුලින්ම යන්නේ පුංචිරාළ මාමලාගේ කඩේටය.  කඩේ ඉන්නේ පුංචි රාල මාමත් ඔහුගේ දෙවැනි පුතා වූ චුටි අය්යත්ය. 

බොහෝ දිනවල මම එහි යන වෙලාවට දොළුවේ නැන්දාද  එහි සිටියි.

එවැනි දිනවල ඇය මට තේ කෝප්පයක් හෙම හදා දෙන්නේ දෙමල මිනිසුන්ට බඩු කිරා දෙන අතර තුරමය.

ඇත්තම කියනවානම් අපේ අම්මා ලඟට ඒ කාලයේ මම කැමතිම කාන්තා චරිතය දොළුවේ නැන්දාය.

" කොහොමද පුතා?" යැයි ඇය කට උල් කර කතා කරමින් අසන හැටි තවමත් මා මතකයේ රැඳී පවතී.

 මම හාල් ගෝනියක් හෝ අසල ඇති බන්කුව උඩට වී බටර් ඉස්කෝතුවක් හෝ ඉස්කිරින්නයක් කමින් නැන්දාගේ කහට කෝප්පය පානය කරන්නෙමි.

"කෝ.. දොරේ අය්යා තාමත් නෑනේ ?"

කියමින් ඇය පාර දෙස බලන්නේ මම කඩයට වී පැයක් දෙකක් සිටියාට පසුවය. 

 රූන් ගාමින් ශබ්ධයක් නගාගෙන නිල් පාට වෑන් එක කඩේ ලඟට එන්නේ ඔය වෙලාවටයි.

දවසේ අදායම මුදලාලි අතට දීම ඉන්පසු සිදුවේ.. සාමාන්‍යයෙන් රුපියල් පන් හය සීයක ශුද්ද ලාභයක් දිනකට ඔහු අතට ලැබේ.

අපේ තාත්තා බොහෝ දෙනෙක් හඳුනන කෙනෙක් නිසා ඔහුට වැඩි පුර හයර් ලැබේ.

සමහර දිනක පුංචිරාළ මාමා තාත්තාට මධුවිත සංග්‍රහයක් ද පවත් වයි.

එදාට මම රෑ නවය දහය වනතෙක් ඇනුම් අරිමින් කඩේට වී සිටින්නෙමි.

හැමදාම කඩේ සාදා පවත් වෙන්නේ නැත. 

විනෝද ජනකම සිද්ධි සිදු වන්නේ කඩේ සාදය නැති දිනවලටයි.

ඒ දිනවලට තාත්තා ගෙදර යන ගමන් කෝවිලට පහල තිබෙන අක්කර පනහේ ලැයිමටද ගොඩවෙයි. 

ඒ ලයින් පේලියේ කෙලවරේම තිබු පෙරියතම්බි අය්යාගේ පොට් එකටය.

අවිවාහකයකු වූ පෙරියතම්බි ජිවත් වුයේ තනිවමය. හිත් ඇද ගන්නා අහිංසක හිනාවක් තිබු ඔහු කල වෙළඳ කටුයුතු තරමක් නිතී විරෝධී ඒවා විය.

සීල් අරක්කු ගෙනත් ගෙදර හංගා තබා ගන්නා ඔහු අශෝකා වීදුරුවක් රුපියල් පහ ගනනේ අනෙකුත් කම්කරුවන්ට විකුණයි.

රෑ හත අට පමණ වන විට පෙරියතම්බිගේ ගෙදර සූ... ගාලා සෙනග පිරී සිටිති.

අරක්කු බොන්නට එන ඇය හැමෝටම නැතත් පෙරිය තම්බි තාත්තාට වඩේ හෝ වෙන කටගැස්මක් හෝ ලබා දෙයි.

මම එහි යන්නේ පෙරිය තම්බි හදනා උණු උණු වඩේ නොමිලේම මටද  ලැබෙන බැවිනි.

 ඩ්‍රයිවර් මහත්තයා බිමට මෙන්ම කෑමටද සල්ලි දුන්නාද නැත්ද කියා මට මතකයක් නැත. සමහර විට පඩි හම්බ වුනාම දෙන තෙක් නයට ගන්නවා වෙන්නට පුළුවන.

අනතුරුව සිදුවෙන තාත්තාත් සමග කිලෝමීටරයක් පමණ දුරක් ගෙවා අපේ නිවසට එන ගමන මගේ ප්‍රියතම අංගයකි. 

මගේ අතේ පුංචිරාල මාමලා කඩෙන් ගත් බඩුමල්ලයි. එහි ඇත්තේ ගෙදර එදිනෙදා පාවිචියට අවශ්‍ය මිරිස් තුනපහ හාල් පොල් ආදියයි.

ඊට අමතරව එහි තිබු වැදගත්ම අංගයන් වුයේ රෑට පාඩම් කිරීමේදී පාවීච්චි කරන ක්‍රීම් ක්‍රැකර් සහ ක්ෂණික දොඩම් පාන පැකට් දෙකයි.

දැන් අපි දෙන්නා තේ වත්ත මැදින් අපේ ගෙවල් දිහාවට පල්ලම් බසින් සිටිමු. මම බඩු මල්ලත් අතේ ඇතිව ඉදිරියෙන් ගමන් කරමින් සිටිමි.

මට පසු පසින්  පෙරිය තම්බි දුන් කඩල අහුරක් හපමින් ගමන් කරන් තාත්තාය . 

වරින් වර "චුටි පුතා මෙන්න ඔයාටත් " කියමින් ඔහු මට අත්ල දික්කරයි.

මෙසේ ටික දුරක් ගොස් ගල උඩ පුටුව පසු කලා පමණි.

එක් වරම බුසු ... බුසු...ගා ශබ්දයක් මා පසු පසින් ඇසේ. පස්ස හැරී බැලුවෙමි.. තාත්තා පාරෙන් පිට පැන තේ ගස් ගොල්ලට ඇදී යයි.

"ඇයි තාත්තා මොකද? වැටෙන්න ගියාද?" මම අසන්නෙමි.

"චුටි පුතා .. ඔයා බය වුනාද?"  " මං මේ අත් දෙක පිහදා ගත්තා තේ ගස් වල තියෙන පින්නෙන් "

 තාත්තා මාව අස්වාසාලයි.

මම මගේ හිනාව තද කරගත්තේ අමාරුවෙනි.

දැන් අපි ගෙදර ළඟ තියෙන නෙත්ති කානුව බසින් සිටිමු. මෙය උඩහ පාරේ සිට තනි කෙලින් ජේන් අක්කලා වත්ත මායිමට දිවෙන්නකි. 

තාත්තා දිගින් දිගටම තම අත් පිසින ශබ්දය මට ඇසේ ..

" තවමත් අත් හේදිලා නැත්ද  තාත්තා? "  යි අසන මම හිනහ වෙමින් අම්මා වෙත දිව යන්නේ බඩු මල්ලත් සමගය. 

Saturday, 4 July 2015

සංක්‍රාන්ති සමය දෙවන කොටස...රෑ පැල් රැකලා

 



පසුගිය  කොටස...


එදා පැලට ලඟා වූ මා මුලින්ම කලේ පැලේ එල්ලන ලාම්පුවත් ගිනි මැලයත් දැල්විමයි.

අනතුරුව  අම්මා තේ බිමට සකස් කර දුන් අඩුම කුඩුම ටික පසෙකින් තැබුවෙමි.

 තේ මුට්ටියක් ලිප තබා  තාබ්රු සර්ගේ පන්තියේ දෙන ඉංග්‍රීසි ටිකකුත් පාඩම් කලෙමි.

ඉගෙනීමේ  වටිනාකම  හොඳින් දැන සිටි  අපට  ඒ කාලයේ පොත් පත් බලන්නට තැනක් නොතැනක්  අවශ්‍ය නොවීය.

ගෙදර හිටියොත් සමන්තගේත් මගෙත් පොදු කාමරයේ අපි පාඩම් කළෙමු.

පැලේ සිටියා කියා නිකන් ඉන්නට මගේ සිත කවදාවත් ඉඩ දුන්නේ නැත.

එහිදීත් පොතක් පතක් කියවීම මගේ සිරිතයි.

පසු කලෙක (උසස් පෙළ කාලේ) පැලේ  ගිනිමැල යෙන් පාඩම් කරද්දී අප ඉගෙන ගනිමින් සිටි කරුණු ප්‍රයෝගි ක වූ අවස්ථාවක් මා මතකයට නැගේ .

 පුරුදු පරිදි ගිනිමැලය ලඟට වී පාඩම් කලෙමි. ශීතල නිසා  ගිනිගොඩට වැඩියෙන් ලං වූවෙමි.

හදිසියේම මට යම් දෙයක් කරවෙන ගිනි මැලයේ රස්නය නිසා මගේ " තාපය" නෝට් එක ජ්වලන උෂනත්වයට ඔන්න මෙන්න ලංවී ඇත.

පසුදා පතිරණ සර්ගේ පන්තියට යත්දී මගේ  තාපය නෝට් එකේ යට පැත්තේ දුඹුරු පැහැති රවුමකින් පෙන්නුම් කලේ එම සංසිධියයි.

මේ සමබන්ධ වැඩි විස්තර උසස් පෙළට  ගිය පසු  ඉදිරි පත් කරමි.

මේ  තාබ්රු සර් වෙන්න ඩොක්ටර් ලා, වෙන්න ඉන්ජිනියර්ලා,  ඇතුළු අපි සැම දෙනාට සිය නිවසට කැඳවා ඉංග්‍රීසි කියා දුන්න කාලයයි.

මමද දවල් කාලයේ කුඹුරු වැඩ නිමකර හවස දෙකේ සිට හතර දක්වා පැවැත්වූ ඔහුගේ පන්තියට ගියෙමි.


ඒ කාලේ අපි පැලේ නිදා ගන්නෙත් හොඳ සැප පහසු මෙට්ටයක් දැමු  ඇඳකයි.

එහෙත් එය පිට පලු වලින් හැදු ඇඳකි.

අපේ අම්මා පැලේ ඇඳට දැමීමට පොඩි මෙට්ටයක්  සකස් කර දුන්නේ  අපට ඒ සුව පහසුව සැලසීමටයි.

මා තනිවම පැලට ගිය  මේ කියන දවසේ  කුඹුරු යායේ වෙන එක කුඹුරක වත් මිනිස් පුළුටක් වත් සිටියේ නැත.

 මගේ පැලට මීටර් හාර පන්සීයකට එහායින් තිබුනේ   දෙමල කුමාරලා ගෙදරයි.

කුමාරලා  ගෙදරත්  ඔයෙන් එගොඩ තිබෙන පිස්සි ආතාගේ පුතාගේ ගෙදරත්  හැරෙන්න වෙන මිනිස් වාසයක් අහලක වත්  නැත.

බයේ ගැහි ගැහි පැමිණියද දැන් මා වෙත නිදි දෙව්දුව ලඟා වුන මොහොතයි.

මම පැලේ ගිනි මැලයේ උණුසුම  මැද සැප පහසු නින්දකය.

හූ... හූ....උදේ පාන්දර තුනට හතරට පමණ එගොඩ ගොඩේ තේ වත්තේ උඩ හරියෙන් ශබ්දයක් ඇසේ.

ඒ  චමින්දලා ගෙවල් කිට්ටුව තිබු කිරඹඔය සොහොන පැත්තෙනි.

පොඩි කොල්ලෝ රංචුවක් එකට එකතු වී හු.. කියමින් ශබ්ද කරති.

එකෙක් මුලින්මත් ඊට ටිකකට පසු තවකෙක් යානාදී වශයෙන් පස් හය දෙනෙකුගේ හඬ ඇසේ. මා පොඩ්ඩක් වත් ඒ ශබ්දයට බයවුයේ නැත. කොල්ලෝ හු කිව්වාට මට මොකද කියා නැවතත් නිදා ගත්තෙමි.

දැන් නිදි දෙව්දුව මා ලඟට එන්නට අකමැති හැඩයි. කිරි බැබලෙන හඳ පාන මාරගස්වැල්ල වෙලා ගෙන තිබේ.

හදිසියේම මට දවල් කාලයේ ඇලේ වතුර හරවා ගන්න ගොස් ලොකු මාමලා එක්ක ඇති වන කතා බහ මතක් වෙයි.
දැන් තක්කාලි ටිකට වතුර දැම්මානම් එලි වෙන කොට වැඩේ ඉවර කල හැකිය.

එසේ කළහොත් ලොකු මාමා උදේම වතුර හරවන්න එන විට මට කිසි ගැටළුවක් ඇති නොවේ.

පැල ලඟින් පොඩ්ඩක් උඩට ගොස් වතුර පාර අපේ කෑල්ලට හැරවුයෙමි.  ඉපනැලි කෑලි දමා කානු බ්ලොක් කර වතුර පුරවා ගත්තෙමි.

 හඳ එළියේ රාජු මාමලා කරනවා මෙන් බෙලෙක් පිගානක් ගෙන තක්කාලි ගස් පුරා පැතිරෙන්නට වතුර විසි කලෙමි.

උදේ පාන්දරම නිසා ගතට කිසි වෙහෙසක් නොදැනේ.  මාමලා එනවිට ඔවුන් සමග වතුරට ගැටීමට සිදු නොවන බව දත් නිසා සිතත් සතුටින් පිරී ගොසිනි.

මම හඳ පානේ කොල්ලන්ගේ හු හඬ මැද මුළු කොටුවටම ජල සම්පාදනය කලෙමි.

උදේ හය හමාර පමණ වන විට වැඩ අවසන් කල මා නැවතත් මල්දෙනියේ නිවස දක්වා ගමන් කලෙමි.

ගෙදර ගිහින් අම්මා උණු උණුවේ හැදු කිරි කෝප්පය බොන ගමන් කොල්ලෝ රංචුව ගැනත් උන්ගේ හු හඬ ගැනත් ඇයට පැවසීමි.

අම්මා කොල්ලෝ කවුරුන්දැයි මට කියා දුන්නාය.


මා කොලු හූවක් කියා රැවටී තිබුනේ නරි රංචුවක් එකතු වී කල හූවකටය.




අස්වනු නෙලීම සහ ප්‍රවාහනය





තක්කාලි ගෙඩි එක දෙක රත් පැහැ ගැන්වෙන බව දුටු අම්මා අස්වැන්න විකුණන හැටි ගැනත් සිතා බැලුවාය.
අක්කා හා මා දෙස බැලු ඇය..

"චුටි.. චුටි පුතා....උඹලා මොකද හිතන්නේ?  .... මම හිතුවේ ඉදෙන ඉදෙන තක්කාලි ටික ටික කඩාලා ගෙදර ගිහින් දැම්මොත් හොඳයි කියලා" යැයි කීවාය.

අපි දෙදෙනා මුණින් මුණ බැලුවෙමු.

මේ තක්කාලි කන්දරාවම මරගස්වැල්ලේ කුඹුරේ සිට මල්දෙනියේ කන්ද මුදුනේ තිබු අපේ ගෙදර යා යුතුය.

 ඒ  අප දෙදෙනාගේ සහ අම්මාගේ  හිස් මතිනි.

අම්මාගේ තර්කය සරලය. ඇයට කිරඹ ඔයේ ඇයගේ මල්ලිලා නංගිලා ඒ වන විට ලොකුවට උදව් කලේ  නැත. ඒ නිසා ඇයට ඔවුන් ගැන එතරම්ම තද විස්වාසයක් තිබුනේද නැත.


ඔවුන්ගේ ගෙවල් සියල්ල පසු කර මලදෙනියේ අපේ ගෙදර දක්වාම තක්කාලි අදින්නට ඈ සිතුවේ ඒ  නිසාය.

කිලෝ විස්සක් විසි පහක් වූ තක්කාලි පෙට්ටි දෙකක් හිස මත දරා ගත් මාත් අක්කත් දැන් නාන පීල්ල පසු කර මල්දෙනිය දෙසට කන්ද තරණය කරන්නෙමු.

තාර පාර දක්වා කන්ද නැග විඩා නිවා ගන්නා අපි නැවතත් පෙට්ටි දෙක හිසේ තබා ගන්නේ ඉතිරි ටික යන්නටයි.

උඩ කිවුලේ චන්දරේලා ගෙවල් ළඟ සිට නැවතත් දෙවැනි කන්ද පටන් ගනියි. අවසන් වන්නේ අපේ ගෙදරිනි.

මට්ට කොල්ලෙක් වත් හිටියනම් උදව් කරනු ඇත. ලොකු මාමගේ මට්ට කොල්ලෝ දවල් කාලයේ ගස් නගින්නේ නැත.

මෙම තක්කාලි ප්‍රවාහනය  දැන් නම් මතක් වන විටත් ඇඟ හිරිවැටි යන ව්‍යායාමයකි.

එහෙත් ඒ කාලේ අපි තුන්දෙනා මෙලෙස තක්කාලි කොටුවක්ම අපේ ගෙදර දක්වා හිස මතින් ප්‍රවාහනය කළෙමු.
මේ අතර ඩිංගිරි බන්ඩේ මාමලා ගෙදර වෙනම තක්කාලි තොගයක් එකතු කෙරිණි.



අස්වැන්න කෙලින්ම  කොළඹට 



හා හා පුරා කියා විශාලෙට කල වගාවේ ඵලදාව ගමේ පොලේ විකිනීමට අම්මා කැමති වුයේ නැත. 

මේ කාලයේ අපේ තාත්තා පුංචිරාළ මාමලාගේ නිල්පාට වෑන් එකේ රියදුරු තුමා ලෙස කටයුතු කළේය. දවසක් පුංචිරාළ මාමගේ නැන්දා අම්මාට  හමුවිය. 

අප ඇය හැඳින්වුයේ දොළුවේ නැන්දා යන නමිනි.ඇය කණ්ඩුලලා ගමවූ දොළුවේ කෙනෙකි.

"විමලා නංගි කොහොමද ඉතින්?  ...දැන් කොටුවේ තක්කාලි කැඩෙනවාලු නේද ?"

"ඔවු අක්කා අපේ කොටුවෙයි චුටි පුතා හවුලට හදපු එකෙයි දෙකේම තක්කාලි ඉදෙනවා දැන්.."

"කිරඹ ඔය කොටුවේ තියෙන්නේ කටුගස්තොට .. චුටි පුතා ගේ කොටුවේ මාගලොබ්  තක්කාලි තමයි තියෙන්නේ"

"
නංගි තක්කාලි කොළඹ යවමුද? දොළුවේ අපි දන්නා මල්ලි කෙනෙක් ගේ කඩයක් තියෙනවා පිට කොටුවේ තොගපොලේ... එහාට යවමු."
RAW කියලා විලාසම ගහලා ලොරියට දැම්මහම හරි."

"හරි අක්කා එහෙම කරමු.." මම  ඩිංගිරි බන්ඩේ අය්යාගෙනුත් අහන්නම්කො RAW  ටම ඒ තක්කලිත් යවමුද කියලා" අම්මා වැඩේට කැමති වුවාය.

අපි එතැන් සිට ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනවල අපේ ගමට එන ලොරියට තක්කාලි පෙට්ටි හතරක් හෝ පහක් ගානේ පැටවුයෙමු.  
උඩහ තෙවත්තේ හන්දියට ගෙන ගොස් තක්කාලි පෙට්ටි ගොඩගසා RAW  විලාසම ගසා තිබු පෙට්ටි මුර කිරීමේ රාජකාරිය කලේ මා විසිනි. 

ගුණතිලක අය්යා දන්නා වෙන පිටකොටුවේ තැනකට මගේ හවුල් තක්කාලි යැවිණි. 

සති පතා RAW  ලස්සන අකුරින් ලියු බිලක් අම්මා වෙත එවයි. අපි සතිපතා එකතු වන මුදල බලා සතුටු වෙමින් සිටියෙමු.  

ඒ කාලේ කොළඹත් තක්කාලි කිලෝව රුපියල් තුනයි පනහ හෝ හතර වැනි මිලකට අලවි විය.

රුපියල් හාර දහස් ගනනක් පමණ එකතු වූ පසු තාත්තා කොළඹ යවන්නට අම්මා තීරණය කලාය.
ඇයට හොඳ චේන් එකක් ගැනීම ප්‍රධාන අරමුණක් විය.

එහෙත් තාත්ත යන දවස් වල  R A වර්ණසුරිය මුදලාලි ඔහුව මග හැරියේය. අවසනායේ ඔහු අපිට මුදල් නොදී පිටකොටුවේ මැනින් මාර්කට් එකේ බක්කියෙනුත් පැන ගොස් තිබිණ.

මාස ගනනාවක් කඹුරා හෙවු සියල්ල වතුරේ ගොසිනි. 

අම්මා වර්ණසුරියට දෙස් දෙවොල් තිබ්බද  අපි ඔහුට විරුද්ධව නිතී මගට බැස්සේ නැත. 

RAW  එසේ අපට කොකා පෙන්වද්දී ගුනතිලක අය්යා හොරෙන්ම මගේ තක්කාලි මුදල් අරගෙන තිබිණි. 

මැනින් මාර්කට් එකේ ඔහුගේ මුදලාලි හමුවන්නට තාත්තා ගියවිට පවසා තිබුනේ ගුණේ මල්ලී සල්ලි ඔක්කොම ඉල්ලා ගත්තා යනුවෙනි.

මේ දැන බොහෝ සෙයින් කම්පාවට පත් ඩිංගිරි බන්ඩේ මාමා මගේ හවුල් කොටස වූ රුපියල් 1500 ක් ඔහු අතින් අපට ලබා දුන්නේය.





Friday, 3 July 2015

සංක්‍රාන්ති සමය පළමු කොටස...


සාමාන්‍ය පෙළ අවසන් කොට නිවසට    වී සිටි කාලය අපි  එළවලු වගාවෙන් සෑහෙන්න ඉදිරියට ගිය සමයකි.


මේ වන විට ගජ ඉලන්දාරියෙකු  වූ මම අම්මා සමග මෙන්ම  තනියමත්  එළවලු හදන්නට පුරුදු වී සිටියෙමි.

සමහර අවස්ථාවල මෙය හවුලට හෙවත් අඳේට  හැදීම දක්වාද ව්‍යාප්ත වූවේය.

හවුලට හැදීමේදී වියදම් කරන්නාට අදායමෙන් භාගයකුත් ගොවියාට භාගයකුත් ලෙස ආදායම බෙදී යයි.

ශ්‍රමය තනිකරම ගොවියාගෙනි.

කුලියට යමෙක් වැඩට ගන්නේ නම් ඔහුගේ වැටුප ගෙවිය යුත්තේද ගොවියා විසිනි.

පසුකාලීනව අප අක්කර පනහේ පුෂ්ප රාජා වැනි අය කුලියට ගත්තද මේ දිනවල අප  කවුරුත් කුලී කරුවන් යොදා ගත්තේ නැත.

වයසින් අඩු වුවද ඒ කාලේ ඉතා කඩිසර වගා කරුවෙක් ලෙස ගමේ යම් ප්‍රසිද්ධියක් ලබන්නට තරම් මම වාසනා වන්ත වීමි.

ඒ නිසාම ගමේ මිනිසුන් මා සැලකුවේ අනෙකුත් වැඩි මහලු එළවලු ගොවීන් සේම යමක් කල හැකි අයෙක් වශයෙනි.

දිනක් මට මගදී හමු වූ සීට්ටු ගෙදර ඩිංගිරි බන්ඩේ මාමා කල යෝජනාවකි.

"චුටි පුතා කොහොමද? "  "ඔහේ ඉන්නවා  මාමා" " මම පොඩි කාරණාවක් අහන්න කියලා හිටියේ.."

"අපේ ගෙට පහල කෑල්ලේ තක්කාලි ටිකක් හදමුද? "  "මම බෙහෙත් පොහොර අරන් දෙන්නම්. "

ඩිංගිරි බන් ඩේ මාමා  ඒ වන විටත් වැඩේ මට බාර දෙන්න තීරණය කර ගෙන ඇති සෙයකි.

"අම්මාගෙන් අහලා හවසට කියන්නම් කෝ මාමා "

මම උත්තර දුන්නෙමි.

තමාගේම පුත් ගුණතිලක සිටියදී  ඩිංගිරි බන්ඩේ මාමා මට තක්කාලි හදන්න බාර දුන්නේ එලෙසිනි.

ගුණතිලක අය්යාද සොහොන් කන්ද පැත්තේ තමාගේම තක්කාලි කොටුවක් කළා මට මතකය.

අම්මා සහ මම අපේ කොටුවේ වැඩ කල අතර ගුණේ ගේ  කොටුවේ වැඩ කලේ ගුණතිලක අය්යා සහ ඔහුගේ බිරිඳ සුමනා අක්කාය.

ඩිංගිරි බන්ඩේ මාමා මෙන් අහිංසකයෙකු නොවූ ගුණතිලක අය්යා කරන තරමක් කලේ කපටි කයිරාටික වැඩමය.
ඔහුගේ ප්‍රධාන රැකියාව වුයේ අපේ අසල් වැසි කළුලා තාත්තා සෝමේ සමග ලී ඉරීමයි.

සෝමේ ඉරුම් පලංචියේ උඩත් ගුණතිලක පලංචියේ යටත් ඉඳ කියතක් ඉහල පහල අදිමින් ලී ඉරන දර්ශනය එකල ගමේ සුලභ දසුනකි.

හවස් වරුවේදී ගුණේ  එලවලු කොටුවල වැඩ කල අතර සෝමේ ගංජා සුරුට්ටුවක් හෝ අඩියක් ගසා හන්දිය පැත්තේ කැර කෙනු දක්නට ලැබුණි.

එදා හවස ගෙදර ගිය ගමන් මම අම්මාට වචනය දැම්මෙමි.

 " ඩිංගිරි බන්ඩේ මාමලා වත්තේ මට තක්කාලි හදන්න කිව්වා අම්මා..."

මදක් කල්පනා කල ඈ ඩිංගිරි බන්ඩේ මාමාගේ හොඳ ගතිගුණ සලකා දෝ මගේ අදහසට සිය කැමැත්ත පල කලාය.

අපි ඔවුනේගේ වත්තේ පල්ලැහැ කෑල්ලට ගියෙමු.

ලස්සනට පාත්ති දමා තිබුණ ඒ කොටස මදක් කහ පැහැ පසින් යුක්ත විය. පොලව බිඳ බිම් සකස් කිරීමෙන් පසු අම්මගේ අවසරය මෙන්ම උදවු උපකාරද ලබමින් හවුලේ තක්කාලි වගාව ජයටම කලෙමි.

ඇයගේ උදවු වැඩිපුරම ලැබුනේ උදේ හවස වතුර දැමීමටත්  තක්කාලි බැඳීම වැනි කටයුතු වලටත් ය.

මා එහි වගා කලේ  කලේ අම්මාගේ ප්‍රධාන වගා ප්‍රදේශය වූ මාර ගස් වැල්ලේ කුඹුරේ තක්කාලි හැදීමට අමතරවයි.

කුඹුරේදී වූ ඇබැද්දිය


තක්කාලි බැඳීම කිවූ සැනින් මා මතකයට නැගෙන්නේ නොකියාම බැරි කතාවකි.

එදා සෙනසුරාදා දිනයකි,  අම්මා  සහ මම මෙන්ම චුටි නංගි සහ අක්කාද එදා කුඹුරේ සිටියහ.

 කාන්තාවන් තිදෙනෙක් සමග කුඹුරේ ඒ කොටසේ සිටි එකම පිරිමියා මමය.

එදා අපි කරමින් සිටියේ තක්කාලි බැඳීමයි. අම්මා සහ අක්කා කුඹුරේ උඩ ලියද්දකය. පහල තිබු මහා ලියද්දේ සිටියේ මාත් චුටි නංගිත් ය.

කුඩා හතරැස් පාත්ති ලෙස මනාව සකස් කර තිබු ඒ කොටසේ එක පැත්තක මම තක්කාලි  බඳින අතර චුටි නංගි සිටියේ එහිම අනික් පැත්තට වන්නටයි.

උදේ සිට ගිනි මද්දහන තෙක් වැඩ කලද අපට කිසි මහන්සියක් දැනුනේ නැති ගානය.

හේතුව තක්කාලි ගස කෝටුවකට තබා ගැට ගැසීම එතරම් වෙහෙසක් ගෙන දෙන වැඩක් නොවන්නාසේම  දෙදෙනා බැගින් එක පාත්තියක සිටි නිසා කුමක් හෝ කතා කරමින් එය සිදු කිරීමයි.



මාරගස්වැල්ල කුඹුරු යායේ අනෙක් වගා කරුවන් අතර  අම්මා ප්‍රමුඛ අප  ප්‍රසිද්ධව සිටියේ දවසට හතර පස් වතාවක් තේ බොන කණ්ඩායමක් හැටියටයි.

පාන් පොල් සම්බල් ආදිය මෙන්ම නොයෙකුත් පලතුරු හෝ තවත් කෑම වර්ග  මේ තේ වෙලාවල් වලට එක් වූ හැටි මට තාමත් මතකය.

කෙසේ වෙතත් මේ හැම වතාවකම සිරුරට ඇතුල්වන දියර ප්‍රමාණය ගැන සිතුවොත් එය ලීටර් බර ගණනකි.

කවදාවත් නොවූ පරිදි එදා  මගේ ශරීරයට  අපේ තේ බිමේ ආදීනව දැනෙන්නට පටන් ගෙන තිබිණි.  මට එක පාරම තද මුත්‍රා බරක් හට ගත්තේ මහා දවල් නංගි සමග තක්කාලි බඳිමින් සිටිද්දීය.

ඒ වයසේ බොහෝ දෙනෙක් කරන්නාසේ කෙසේ හෝ මෙය මැඩ පවත්වාගෙන වැඩ කරමින් සිටියෙමි.

කුමුරු යායේ පිහිටීම හරියටම දන්නා අය මගේ ඒ අසාර්ථක වැයමට හේතු  වටහා ගනු ඇත. තුන් පැත්තකින්ම තේ වත්තයි.

ඉහලින් විශාල ගෙයක් සහිත වත්තකි. කිසිම ගස් හෙවනක් පලාතක වත් නැත. අසල ඇති පැලකට මුවා වුවත් පිටි පස්ස තේ දළු නෙලනා ද්‍රවිඩ යුවතියන්ට පෙනේ.

කර කියා ගත හැකි දෙයක් නොමැති මා හිතේ දහිරිය ගෙන මගේ  ශරීරයේ ස්වභාවික පාලනයට එරෙහිව අරගලයක නිරත වූයෙමි.

චිරි.. චිරි .. ගාමින් මා සිටි තක්කාලි පාත්තිය පැත්තෙන් හඬක් නැගේ.

මා අසලම සිටි චුටි නංගි.. " ආ... මම මේ කව්ද බැලුවා මෙයානේ මේ.. " කියමින් කිසිවක් නොවූ ගානට සිනා සුනාය.

මගේ ඇඟට හීන් දාඩිය දමා ගෙන එයි.  මම මිනිස් සිරුරේ ස්වභාවික පාලනයට එරෙහිව සටනින් පැරදී ගොසිනි.

එහෙත් වාසනාවට ළඟ සිටියේ චුටි නංගියි. ඇය කිසිවක් සිදු නොවූ ලෙස දිගටම වැඩ කරගෙන ගියාය.

සිරුරේ තිබු අධික තෙහෙට්ටුව නිමවූ බව දැනුනු මා සැනසුම් සුසුමක් හෙලුවෙමි. හේතු දෙකකි,  එක.... බර සැහැල්ලු වීමයි.

දෙක.... චුටි නංගි  සමන්ත හෝ සමහර වෙලාවට අපේ මාමලා මෙන් මගේ දුර්වලතා වලට සිනා සෙන්නියක් නොවීමයි.

අස්වැන්න නෙලන්න ලංවී...


දැන් අම්මාගේ ලොකු තක්කාලි කොටුව වාගේම මගේ ඩිංගිරි බන්ඩේ මාමට හවුලට හැදු කොරටුවත් හොඳ ගානට ඵල දරා ඇත.

කොටු දෙකම හොරුන් ගෙන් රැක ගත යුතු වුවා මෙන්ම වැඩි පුර ඉදුනොත් කුරුල්ලන්ගෙන්ද හානි විය හැකිය.

ඩිංගිරි බන්ඩේ මාමා එයාගේ වත්තේ ආරක්ෂාව සහතික කලේ අම්මා අස්වසාලමිනි.

කුඹුරේ තක්කාලි කෑල්ල මුර කරන්නට අප එහි යා යුතු යැයි අම්මා තීරණය කලාය.

පොඩි පැලකට අවශ්‍ය අඩුම කුඩුම රැස් කෙරිණි.

අම්මාගේ පොඩිම මල්ලි අංජු මාමා ද පැල හැදීමට උදව් කළේය.  මම ඒ දිනවල රාජු මාමාට එච්චර කැමැත්තක් නොදෑක්වුයෙමි.

"ඔය යකා එන්නේ අපේ තේ ටිකට විදින්න.."

මම අක්කලාට කියන්නේ අපේ හතර පස් වතාවක් ලැබෙනා තේ පැන් සංග්‍රහයට  රාජුද බොහෝවිට ආරාධිතයෙක් වෙන බැවිනි.

අංජු මාමා මුත්තාගේ කුඹුරේ වගා කල අතර අපි වගා කලේ අසලම තිබු එහෙත් වෙන අයෙකුගෙන් කුලියට ගත කුඹුරකයි.

මගේ විරෝධයට දෙවැනි හේතුව වුයේ එයයි.

"අපට කුඹුරු කෑල්ලක් නොදුන්නා මදිවට තේ එකටත් වග කියන්න එනවා..."

තවත් කාරණයක් වුයේ අපේ තක්කාලි ටික රැක දීමට ඔහු ඉදිරිපත් නොවීමයි.

අංජුමාමා වවා තිබුනේ අර්තාපල්  නිසා ඔහුට පැල් රකින්නට වන්නේ කන්නයේ අවසාන දින ටිකේදි පමණි.

පසු කලෙක ඔහු මගේ සමීපම මිතුරෙක් වූ බව පමණක් මෙහි ලියා තබමි.

වැඩි විස්තර පසුවට.

අවසානයේ පැල් රැකීම වැටුනේ අම්මාගේ සහ මගේ කර පිටටයි. දවස් කීපයක් මගේ තනියට පැලේ ගිය අම්මා.

 "චුටි පුතා දැන් ඔයාට මේ ගමන හුරුයිනේ "  "හෙට ඉඳලා තනියෙන් පැලේ යන්න  පුළුවන් නේද? " කියා මගෙන් ඇසුවාය.

හිතට බියක් දැනුන මුත් ඒ බවක් නොපෙන්වූ මම ඇගේ අදහසට එකඟ වූයෙමි.

පලවෙනියට තනියෙන් පැලේ ගිය හැටි ගැන පොඩි විස්තරයක් ඔබ හමුවේ තබමි.

සොළොස් වියේදී.. මාරගස්වැල්ල කුඹුරු යායේ තනියම රාත්‍රියක්.




වීරයා මෙන් තනියම පැලේ යන්නට භාර ගත්තත්  හවස් වෙද්දී මා සිත සලිත වෙන්නට ගත්තේය.  

උඩකිවුල චන්දරේ ලා ගේ ළඟ කැලේ මට්ට කොල්ලෝ ගැන කථා මට සිහි  වෙයි.  

මල්දෙනියේ සිට කිරඹ ඔය හරහා කුඹුර දක්වා යන ගමනේ පසු කරන පලවෙනි හොල්මන් ස්ථානය මෙයයි.  

දිනක් අපේ ලොකු මාමා දවල් කාලේ. එතැනින් යනවිට මට මට්ට කොල්ලන් ගැන කියා දුන්නේය.  

රෑ දෙගොඩ හරියේ චන්දරෙලා ගේ ළඟ උස දඹ ගහෙන් පෝලිමට මට්ට කොල්ලෝ රංචුවක් බැහැගෙන එනවා ඔහු දැක තිබු බව ඒ කතාවයි.

මම දැන් අම්මා පැලේ යන්න හදා දුන් අඩුම කුඩුම මල්ලත් රැගෙන චමින්දලා බාප්පාගේ තේ වත්ත පසුකරමින් සිටිමි.

ඊළඟට එන්නේ උඩ කිවුල ගෙදර ළඟ කැලෙයයි. පසු පසටත් ටෝච් එක ගහමින් කැලය පසු කලෙමි.ඒ  යන අතරේ දඹ ගහ දෙස නොබලා සිටින්නටට වග බලා ගත්තෙමි.

වෙලාවට මට්ට කොල්ලෝ ආවේ නැත. මම තව කිලෝ මිටර් එක හමාරක් පමණ යායුතුය.  

පියුම් මාමගේ ජේ. ආර්. ටත් නොදැනෙන ලෙස බෝගොන් මුත්තාගේ ගේ ලඟින් කුඹුර දෙසට පල්ලම් බැස්සෙමි. 

දෙවැනි හොල්මන් ස්ථානය .. වතුර පීල්ලට ලඟා වූයෙමි. 

රෑ අට නමය විතර වූ මේ වෙලාවේ කවුරුත් පිල්ලේ නාන්නේ නැත.  එහෙත් වතුර ශබ්දය හිතේ සියුම් භීතියක් ඇති කරයි.

නැවතත් පිටු පසට ටෝච් ගැසුවෙමි. කවුරුත් නැත. 

දැන් නැවතත් කුඹුර දෙසට ගමන් කලෙමි. තවමත් පපුව ඩිග්..  ඩිග්... ගා ගැහෙයි.

අවසානයේ ආණ්ඩුවේ තේ වත්ත අයිනෙන්  ඇති ඇල  දිගේ  ගොස් පැල වෙත ලඟා වූයෙමි. 


ඊළඟ  කොටස මෙතනින්