Follow by Email

Wednesday, 24 June 2015

ඒ තීරණාත්මක දිනය



අපේ  අක්කා මගේ පෙරමගට පැමිණි එදා  උදේ හත හමාර වනවිට මම අපේ පාසැල වෙත ලඟා වීමි.

අරලගංවිල මහා විද්‍යාලයේ එල් හැඩයට පිහිටි ප්‍රධාන ශාලාව අපේ විභාග මධ්‍යස්ථානයයි. වන්නි, ගැට්ටා, ජාලිය , කණ්ඩුල මෙන්ම හරීන් සෝමරත්න ද උදෙන්ම ඇවිත් හා හා පුරා කියා විභාගයට මුහුණ දෙන්න බලා සිටිති.

අපි තැන තැන කල්ලි ගැසී අවසන් මොහොතේ වෙන සුදානම් වීම් කරමින් සිටියෙමු.
විභාග ශාලාධිපති තුමා අපි හැමෝටම ප්‍රධාන ශාලාවට ඇතුල් වන්නැයි උපදෙස් දුන්නා පමණි.

" සතර වට සිය බලය පතුරා....යනාදී වශයෙන් මගේ ඔළුවේ අර පනංගල මාමා දුන් කවිය කියවෙයි. ඉස්සරහ දොරෙන් ශාලාවේ ඇතුලට ගිය මා 7759 නම් විභාග අංකය තිබු මේසය වෙත ඇදුනෙමි. එය තිබුනේ ශාලාවේ මැදට වන්නටය.

සිංහල ප්‍රශ්න පත්‍රය තිබුණු එදා මට ලොකු අපහසුවක් තේරුණේ නැත. මනුතාපයේ අවස්ථා සම්භන්දය ආදිය ඉතා ලෙහෙසියෙන් ලියවුනා යැයි මම සිතුවෙමි. එදා සිදුවූ මතකයේ සදා රැදුණු සිද්ධිය සිදුවුයේ. දිනයේ විභාගය අවසන් වන්නට විනාඩි විස්සක් පමණ තිබියදීය.

"ටක්.. ටක්... ටක්...."  හඬ ඇසෙන්නේ  මගේ වම් පසින් මදක් ඉදිරියට වන්නට තිබුණු මේසයකිනි.  අපි සාමාන්‍යයෙන් විභාගය ලියද්දි ඔළුව උස්සන්නේ වත් නැත. කෙසේ වෙතත් සද්දයේ තරම නිසා ඉබේම හිස එසවිණි.
ඒ හඬ එන්නේ මාලිගාවත්ත ලී මොලෙන් නොව අපේ සගයෙක්ගේ මේසයෙනි.

විභාග ශාලාවේ සේවයේ නියුතු ගුරුතුමෙක් ඒ මේසය වෙත දිව එයි.  මෙතෙක් වෙලා සද්ද නැතිව සිංහල ප්‍රශ්න පත්‍රයට උත්තර ලියු හරීන්  සෝමරත්න තම හඬ අවදි කළේය.

"සර්... මට උත්තර වැරදුනා.."

තම අත ඇති ඔරලෝසුව දෙස බැලු ගුරුතුමා.  "පුතා තව විනාඩි විස්සයි තියෙන්නේ කමක් නෑ ඔය උත්තර පත්තරේම දෙන්න "
ගුරුතුමා හරීන් කවුදැයි හරියටම දන්නේ නැති පාටය.

"නෑ.. නෑ..මට අලුත් පේපර් එකක් දෙන්න .. මං ටක් ගාලා ලියලා දෙන්නම්" හරීන් පවසයි.

අවසානයේ ගුරුතුමා අකමැත්තෙන් එකඟ වෙයි..

කිසි ගානක් නැතිව නැවතත් ලියන්නට පටන් ගත් හරීන් අපත් සමගම තම උත්තර පත්තරය ගුරු තුමාට බාර දුන්නා මතකය.

අපි හැමෝම දැන් බලා සිටින්නේ හරින්ට ඩි අට අහිමි වෙයිද නැත්ද යන්නයි.  අහිමි වුවොත් වෙන්නේ සිංහල නිසා බවද අප දැන සිටියෙමු.

විද්‍යාව ප්‍රශ්න පත්‍රය දා

විභාගයේ දෙවැනි දවසේ පැවැත්වුනේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයයි. මාපා සර්ගේ පන්තිය අතර මග නැවත වූ මමත් එහි දිගු කාලින සාමාජිකයකු වූ කරඹේත් අපි හැමෝටම වැදගත් දවසකි මේ.

මාපා සර් ඇයි ඒ.. ඒ ඇයි.. යනුවෙන් හඳුන්වමින් අපට කියා දුන් විද්‍යාත්මක හේතු අපි දෙන්නටම මතකය.

 මම අපේ එළවලු වගාවෙන් අත්දැකීමෙන් ලත් විද්‍යාත්මක හේතු දැනුමද අද පරික්ෂා කරනු ඇත.

අලුතින් තක්කාලි පැල හැදු පසු තුන් වරක් වතුර දාන්නේ ඇයි? ..
.
ඒවා වැරැල්ල කොළ වලින් අඩුම ගානේ දවස් තුනක් වත් වසා තබන්නේ ඇයි? ...

වදුලේ හැදෙන පැලයක් ඉර එලිය දෙසට නැමෙන්නේ ඇයි?

වැනි මෙකි නොකී විද්‍යාත්මක හේතු මම ප්‍රයෝගිකවම අත් විඳි ඒවා විය.

ප්‍රශ්න පත්‍රය අතට ලැබුනා මතකය. දිගට හරහට ලියන්නට ගත්තෙමි.

විද්‍යාත්මක හේතු කොටසට ලඟා වුනා විතරයි.. විභාග ශාලාවේ වැඩ කරන සර් කෙනෙක් මම ලියන හැටි උරහිසට උඩින් බලා ගෙන සිටි.. මේ කැල්ල නම් කජු කනවා වගේ ලේසියි. මම සිතුවෙමි.

සර්ට පේන්නත් එක්ක හේතු පහද පහදා ලිව්වෙමි.

ටික දිනකට පසු කන්තෝරුවේදී තාත්තා හමුවන අමුත්තෙකි.

"නාමරත්න මහත්තයා.... පොඩි පුතා නම් ඉහලින්ම විභාගේ පාස් වෙයි. මම එයා විද්‍යාව පේපර් එක ලියන දවසේ ශාලාවේ හිටියා. මිනිහා ලිව්වා ලිවිල්ලක් ... මාර දක්ෂයි නේද?"

ප්‍රතිඵල ඇවිත්.

ප්‍රතිඵල නිකුත් වූ ආරංචිය සිසුන් අතර පැතිර ගියේය. අපි හැමෝම කාර්යාලය ළඟ ගැවසුණේ කට්ටියගේ ප්‍රතිඵල බලන්නටත්, ඩි අටේ ඒවා කියක් තිබේද බලන්නත්ය.

හැමෝම සිතු පරිදි හරින්  ඩි අටක් ලබා සමත් වී තිබුණි. එදා විනාඩි විස්සෙන් ලියු සිංහලයටද ඔහුට විශිස්ට සම්මානයක් ලැබී තිබුණි.

කණ්ඩුල සහ මාලිනි රත්නායක ඩි හතක් ගත් සිසුන් දෙදෙනා වුහ.

මට තිබුණේ ඩි පහක් හා  සි තුනකි. සිංහල , ඉංග්‍රීසි  හා ගණිතයට මට තිබුණේ සි සාමාර්ථයන්ය.

ආරංචි වූ හැටියට ඌව පළාතේ විද්‍යාවට ඩි තිබුණේ  අටක් හෝ දහයක් වැනි ගණනකි  . ඒ අය අතර මාත් හරිනුත් සිටි බව අදටත් මා මතකයේ රැඳී  තිබේ.

ඩි හයේ පිරිස් අතර ගැට්ටා සහ  වන්නි සිටියා මට මතකය. කරඹේ ගත්තේ ඩි තුනයි සි පහයි බව මාගේ හැඟීමයි.




Tuesday, 23 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (තුන්වන කොටස) - විභාගය අතලඟ



අපේ අම්මා තරම් අපේ ඉගෙනීම ගැන උනන්දු වූ වෙන කෙනෙක් මා දැන සිටියේ නැත. ඇය අපේ සමන්ත පාඩම් කරන්නට නැගිට්ටවන්නේ උදේ පාන්දර තුනට පමණය. කොච්චර උනන්දු ශිෂ්‍යයෙක් වුනත් අපේ අය්යා උදේට නැගිටින්නේ හරිම කම්මැලිකමකිනි.

දිනක් අපේ අම්මා  ඔරලෝසුවේ බෙල් වදිද්දිත් ගණන් නොගෙන සිටි එකට සමන්තට තරවටු කල හැටි මට තාමත් මතකය.

" සමන්ත.... හොඳින් කියන්නේ උඹ නැගිටිනවද නැද්ද ?"

කියමින් ඇය ඇඳේ මෙට්ටය ඔසවනවා දුටුවෙමි.

ටික වෙලාවකින් ඇඳේ පහලම හරියෙන් ඇඳ පොල්ලක් ගත් ඈ... මට එහායින් ඇඳේ ගුලි වී සිටි අය්යාට ඉන් තඩි බෑවේ පාඩම් කිරීමේ අගය හොඳින් දැන සිටි නිසාය.

මේ සද්දයෙන්ම උදේට අවදිවෙන මම වැඩක් තිබුනත් නැතත් අය්යා එක්කම පාඩම් කරන්නට පුරුදු වී සිටියෙමි.

විභාගය අතළඟ තියෙද්දත් වගා සටනේ.


අපේ අම්මා ඇඳ පොලු අරන් හරඹ කරන්නේ අපට තිබු බලවත් ආදරය නිසාමය.

ඒ  දොස්තරලා බවට පත්වූ බොහෝ දෙනෙකුට කුඩා කල නොලැබුණු අත්දැකීම්  අප‍ට ලැබුණු නිසා විය යුතුය.

ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආ ගමන් අපි එළවළු කොරටුවේ වැඩට යන්නෙමු.

සමහරවිට රෑ  හත -අට වෙන තුරු නිවසට නොපැමිණෙන අපට නිදා ගන්නට පෙර පාඩම් කරන්නට අවස්ථාවක් නොලැබේ.

සෙනසුරාදා , ඉරිදාත්  මුළු දවස පුරාම වාගේ අපි වගා සටනේ නිරත වූයෙමු.

තම දු දරුවන් මෙවැනි පරිසරයක හැදෙන්නට ඉඩ හැරිය  අපේ  අම්මා ගුණමකු කාන්තාවක නොවේ.

ඇය අප වෙනුවෙන් දුටු සිහිනයේ රැඳී තිබුනේ කවදා හෝ තම පුතුන් රටේ ලෝකයේ ඉහළ තැන් වලට යැවීමේ බලාපොරොත්තුවයි.

විභාගයට සෙත් කවියක්


අම්මා මට ඒ තරම් සැර වැර නොකළේ මගේ ඇති කිසි හොඳ කමක් නිසා නොවේ. මම දහයේ පන්තියට එනවිට මා කල යුත්තේ කුමක්දැයි අය්යා විසින් මට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබුනේය. එහෙත් මම විභාගකදී කුමක් කරාවිදැයි කිසිවෙකුට විශ්වාස කල නොහැකි තත්වයක් තිබුණු බව රහසක් නොවේ.

අවශ්‍ය වන්නේ කුමක්ද යන්න අපේ අම්මා හරියටම දැනගෙන සිටියාය. ලොකු පුතා මෙන් පොත් ගුල්ලෙකු නොවූ මේ දඟයාට ඉල්ලා සිටිය යුත්තේ "දෙවියන්ගේම පිහිට" පමණි.

අම්මා  අ.පො. ස. (සා. පෙ. ) විභාගයට ටික දවසක් තිබියදී මම පනන්ගල පැත්තේ ගෙදරටකට එක්කන් ගියාය.

එහි සිටියේ  සුදු රෙදි ඇඳ ඉනේ සහ හිසේ රතු පටි බඳින මාමා කෙනෙකි.

මගේ උපන් වෙලාව බැලු  ඔහු .....

"පුතේ මෙන්න මේ කවිය හොඳට පාඩම් කර ගන්න.

මේක අද ඉඳලා හැම කෙම්මුර දවසකම ගෙදර පහන තිබ්බට පස්සේ කියන්න ඕනෑ."

ඔහු අදහන්නේ කතරගම දෙවියන් බවත් මගේ වෙලාව අනුව මගේ ඉටු දෙවි වන්නේත් උන් වහන්සේ බවත් පැවසුවේය.
මෙයට අමතරව විභාග ශාලාවේ දොරටුවෙන් ඇතුල් වෙන කොටම ඒ කවිය හිතෙන් කියන ලෙසත් උපදෙස් ලැබිණි.
කොහොමටත් දින පතා ගෙදර පහන තියන රාජකාරිය පැවරී තිබුනේ මටය.

එදා සිට අද දක්වාම මම ඒ මාමා දුන් සෙත් කවිය පහන තියද්දි මෙනෙහි කරන්නෙමි.

මගේ විභාගය දා


ඒ ශීතල දෙසැම්බරයේ තවත් එක් දවසකි. අම්මා වට කරගත් අපි පස්දෙනා සිටි කැදැල්ල වටා ඝන මිදුම් වලා වන් රැඳෙන්නේ මේ කාලයටයි.
එදා උදෙන්ම අවදිවූ අම්මා ...

"චුටි පුතා මේ වැදගත් දවසේ දෙවියන් බුදුන් සිහි කරලා යන්න ඕනෑ" කියා මාව ඒ සඳහා යොමු කලාය.

"කවුරු මගේ දරුවාගේ ඉස්සරහට ඒවිද දන්නේ නෑ බස් එක ලඟට යන අතරේ.." කියා මදක් කල්පනා කල ඇය අක්කා දෙසට හැරුණාය.

" චුටි අර කලේ හෝදලා අරන් උදෙන්ම ළිදට පලයන්"

" මල්ලි ගෙදරින් එලියට බහින වෙලාවට වතුර කලෙත් අරන් එයාගේ ඉස්සරහට එන්න ඕනේ"

කලේට දමන්නට කියා සුදෝ සුදු පිච්ච මල් අහුරක් අක්කා අතට දෙමින් අම්මා කීවාය.

අම්මා සිය අසීමිත ආදරය කැටි කොට හැදු කිරිබතින් සප්පායම් වූ මා දැන් ගමනට සුදානම්ය.

දකුණු පය පෙරට තියා මිදුලට බැස්සෙමි.

" ඩි අටක්.. ඩි අටක්" කියමින් චුටි නංගි හිකි හිකි  ගා සිනහවෙයි.

"උඹ කට පියාගෙන හිටපන් මගේ කොල්ලට වරදින්නේ නෑ ".

එදා සමන්ත සහ තාත්තා ගෙදර සිටි බවට මතකයක් ම සිතේ රැඳී නොමැත.

ඔවුන් බොහෝ විට වෙන කොහේ හෝ සිටියා විය හැකිය.

අපේ දෙළුම් පැල දෙක (ඩිංගිරි බන්ඩේ මාමා අය්යටයි මටයි දුන්නු) පසු කර මම අසල්වැසි  #$% අක්කලා ගෙවල් වලට උඩින් පල්ලම් බැස්සෙමි.

අම්මාට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුයේ මගේ ඉස්සරහට #$%  අක්කගේ දුව  @#$%  වාගේ කෙනෙක් එන එක වලක් වන්නටයි.

අවුරුදු දහයක් පල්ලම් බැස්ස පාර අද මහා වෙනසක ලකුණු පෙන්වයි.

මම අදටත් දකින්න ආසම කරන සුදෝ සුදු දත් දෙපලත් දැකුම්කළු සිනහවත් මා ඉදිරියට එයි.

දිගු වරලස කරල් දෙකට ගොතා සිය උකුලේ රැඳුනු කල ගෙඩියත් රැගෙන එන කළු එහෙත් දැකුම්කලු යුවතියකි.

මා මුණ ගැසෙත්ම තම උකුලේ තිබු කලයට අත දැමු ඈ ඉන් සමන් පිච්ච මල් කීපයක් රැගෙන විහිලුවට මෙන් මගේ මුහුණට දමා ගැසුවාය.

චුටි නංගි වාගේ ඔලොක්කුවටම  නොවුනත්  ඈ මට කට පුරා සිනාසුණාය.

හැමදා   මතකේ රැඳෙන ආදරණිය වූ සිනහවක් රැගෙන මේ එන්නේ මගේ සදාදර අක්කණ්ඩියයි.


Monday, 22 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (දෙවන කොටස)

දියමන්ති ටීචර්ලා ගෙදර රාත්‍රී ඉංග්‍රීසි පන්තිය

ගැට්ටලා ඇතුළු  අපි ඩි අටක් ගන්න දඟලන මේ කාලයේ අපේ අය්යා සමන්ත උසස් පෙළ සමත්ව ගෙදර සිටියා මතකය. ඔහු මුදුන් හෙළ  ටයර් කඩයක වැඩ කලේ මේ දිනවලය. අය්යත් සමගම වාණිජ අංශයෙන් රුහුණ විශ්ව විද්‍යාලයට තේරී සිටි අයෙක්ද අපේ ගමට අසන්න ගමක සිටියේය. ඒ සඳ තැන්නේ හේමසිරි අප්පුහාමි නොහොත් පැටිස් අය්යාය.

මේ කාලයේ අපේ අය්යටත්  හේමසිරි අය්යටත් ඉංග්‍රීසි උගන්වන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ අයෙකි. ඒ අපිට තුනේ පංතියේදී ( කිරඹ ඔය විද්‍යාලයේ ) ඉංග්‍රීසි ඉගැන්වූ දියමන්ති ටීචර් ගේ මහත්තයා ය. ඔහු ඒ කාලයේ තම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මාස්ටර් උපාධිය අවසන් කර නිවසට වී සිටි අයෙකි.

අය්යලාගේ මේ ඉංග්‍රීසි පන්තියට මටත් සහභාගී වන්නට අවස්ථාව උදා වුයේ  අහම්බයකින්ම නොවේ. ඒ කාලේ අපේ සමන්ත කල ඕනෑම දෙයකට මාවත් ගාවා ගැනීම සිරිතක්ව තිබිණි.  ඒ වාගේම මම දියමන්ති ටිච්ර්ගේ කිරඹ ඔය විද්‍යාලයේ හිටපු හොඳම ගෝලයෙක් වීමද මෙයට බල පෑවේය.

ඒ කාලේ තම නිවසටම කැඳවා අපි තුන්දෙනාට නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වූ ගාමිණී ෆොන්සේකා මහතා දැන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ මහාචාර්ය වරයෙකි. ඔහු වත්මන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ අංශ අධිපති ලෙස කටයුතු කරයි.

කිරඹ ඔය -දෝව අතර  මහා රෑ සංචාරය

අපේ පන්තිය පටන් ගත්තේ ගාමිණී  සර්ට විවේක තිබු වෙලාවට මිසක් අපට ඕන වෙලාවකට නොවේ. නිකන් දෙන අශ්වයාගේ දත් හොයන පුරුද්දක් සමන්තට වත් මටවත් නොතිබීම අපේ පෙර වාසනාවකි.  මෙයටම තකට තක මෙන් සිටි අනිත් පුද්ගලයා හේමසිරි අය්යාය. ඔහුත් ඕනෑම දේකට ඔට්ටු අපි වාගේම කොල්ලෙකි.

අපි තුන්දෙනා දෝවේ කොලතැන්න කන්දේ බැවුමේ තිබු දියමන්ති ටීචර් ලා ගෙදරට ලඟා වන්නේ රාත්‍රී හත හමාර වන විටයි.  නමය හමාර විතර වෙන තෙක් ගාමිණී සර් අපට ඉංග්‍රීසි කියා දෙයි. ඒ අපේ ටිචර් ගේ ආදරණිය තේ පැන් සංග්‍රහය හෙම ලැබීමෙන් අනතුරුවයි.

ඇත්තම ඇත්ත කියනවා නම් ඒ ඉගෙනගත් දේවල් ගැන මට දැන් කිසි දෙයක් මතක නැත ( ඉංග්‍රීසි සාහිත්‍යට ඔහු විශේෂ ඇල්මක් දැක්වූ බව මට මතකය.) . එහෙත් දෝවේ සිට කිරඹ ඔය දෙසට ආපසු එද්දී අප කල හපන්කම් නම් අද ඊයේ වගේ ම සිතේ රැඳී ඇත.

මෙයින් ම සිත් ගත් එක් රාත්‍රියක් මා ඔබ හමුවේ තබන්නෙමි.  ඒ කාලේ නැගී එන ශිෂ්‍යයන් ලෙස අපි කොතරම් විනෝද වුවාදැයි සිතා ගැනීම ඔබට බාර කරමි.

සුපුරුදු පරිදි අප තිදෙනා  නිවෙස් බලා එමින් සිටියෙමු. අපිට එලිය දුන්නේ ඉටිපන්දමක්  පොල්කට්ටක් ඇතුලේ ගසා හදා ගත් දේශීය පහනකිනි.

අපේ සමන්ත ඒ කාලේ මටත් වඩා පෙනුමෙන් පොඩි කොල්ලෙකි. එහෙත් හේමසිරි අය්යා හතර රියනක් උස දිගන්චියෙකි.  ඒ මදිවාට හේමසිරි පළඳින්නේ හෙන තඩි බුට්ස් දෙකකි.
ගම් තුලානේ රෑ පානේ ඇවිදින කොට වන අකරතැබ්බ අතර ප්‍රධාන තැනක් ගන්නේ බල්ලන්ගෙන් සිදුවන කරදරයයි.
හැම ගෙදරකම වාගේ ඉන්න බල්ලෝ අපට බුහ්.. බුහ්.. ගා පොඩි සද්දයක් දැමීම සාමාන්‍ය දෙයකි.

 එහෙත් අප කිරඹ ඔය හරියට ලඟා වීමත් සමගම හමුවන පියුම් මාමලාගේ බල්ලා එහෙම එකෙක් නොවිය.

ජේ. ආර්. යන සුරතල් නාමයෙන් හැදින්වුණු මේ බල්ලා අපි තුන් දෙනා පන්න පන්නා බුරන්නට පුරුදු වී සිටියේය.
මේ කියන දවසෙත් ජේ. ආර්.  අපේ පස්සෙන් එන්නට විය. අපි හේමසිරි අය්යා පියුම් මාමලා ගෙවල් පැත්තට වෙන ලෙස පාරේ ගමන් කරමින් සිටියෙමු.

පියුම් මාමගේ ගේ තියෙන්නේ මහා පාරෙන් අඩි දහයක් දොළහක් පහලිනි. පාරත් ගෙපොලත් වෙන් කරන්නේ එතරම් උස්‌ වේල්ලකිනි.

දැන් බල්ලා මහා පාරේ අපේ පස්සෙන් පන්නන වෙලාවයි. ඉවසීමේ සිමාව ඉක්මවා ගිය හේමසිරි අය්යා ..

"හිටපන් උඹට"

කියමින් අර තඩි බුට්ස් දැමු කකුලෙන් වේගවත් පා පහරක් ජේ. ආර්.  වෙත එල්ල කළේය.

කුන්.. කුන්.. යැයි හඬක් නැගිණි . බල්ලා පාරේ කොහෙවත් පේන්නට නැත.

ජේ. ආර්.  මලාවත්දෑයි භය වූ අපි ටිකක් විපරම් කර බැලුවෙමු. කළු පාට ගුලියක් පියුම් මාමලා මිදුලේ ඒ මේ  අත පෙරළෙනවා පෙනෙයි.

දුවමු.. දුවමු.. කියමින් අපි පස්ස නොබලා ගෙවල් පැත්තට ගියෙමු.

පසුදා අපි මාර ගස් වැල්ල කුඹුර දෙසට යන විට මම ඉතා ඕනෑකමෙන් පියුම මාමලා ගෙවල් දෙස බැලුවෙමි. හේමසිරිගේ පා පහර කෑ ජේ. ආර්.  තාමත් ජිවතුන් අතරය.



Sunday, 21 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ.

අපි දැන් වදෙන් පොරෙන් දහයේ පන්තියට ( එකොළහ වසරට ) පැමිණ සිටින වකවානුවයි.  මේ වන විට කවිඳුට සඳමාලි ලා වැනි චරිත  ඉන්නේ කොහේද කියා වත් ගානක් නැත. ඔළුවේ තිබෙන්නේ එකම දෙයකි. ඒ අවුරුද්ද අවසානයේ එන අ. පො. ස. (සා. පෙ.) විභාගයයි.

එකම අරමුණක් හෙවත් ඩි අටක් කරා.

අරලගංවිල මහා විද්‍යාලයේ ඒ සිට ඩි දක්වා සියළුම පන්තිවල සිසුන් අධික තරගයක යෙදී සිටින කාලයයි මේ. අපේ කොටසේ සිටි ගැට්ටා, කණ්ඩුල ඇතුළු අපි සැම සමාජ අධ්‍යයනය,  බුද්ධ ධර්මය වැනි විෂයන් ගැන පවා උනන්දුවෙන් පසු වුනෙමු.

ඒ කාලේ අපි ගණිතය හැර කිසිම විෂයයක් සඳහා උපකාරක පන්ති ගියේද නැත. අපේ  අමතර  ගණිතය ඉගෙන ගත්තේ අරලගංවිල ලංකා බැංකු ගොඩනැගිල්ලේ පන්ති පැවැත්වූ දිලිත් සර් ගෙනි. දිලිත් සර් අපේ පාසලේම ඉගැන්වූ ගුරුවරයෙකි.

ජාලියලා කණ්ඩායම   " ඌවේ ශ්‍රී ගණිත මාන  දීලිත් මිස්ට තෙන...  ගණිත පොතත් පසෙක තබා රේණු ලඟට ගෙන ... යනුවෙන් සීපද ගෙතුවේ මේ දිලිත් සර්ටය.

දිලිත් සර්  පංති පැවැත් වූයේ සවස් වරුවේය. සවස පාසැල අරුණු පසු බිංගේ උඩ කඩේට යන අපි පාන් කාලක් හා වඩේ එකක් ශත හැත්තෑ පහකට මිලදී ගන්නෙමු.

 හාල් මිටියක් හෝ සිනි මිටියක් උඩට වී එය සප්පායම් වූයෙමු.  අනතුරුව   තට්ට සොමේගේ කරවනැල්ල බස් එකෙන් අරලන්ගන්විල නගරයට සේන්දු වන අප ලලිත් සර්ගේ කැලෑසියේ ස්ථාන ගත වන්නෙමු.


ගණිතයට පන්ති ගියත් මම විද්‍යාවට පන්ති නොයා යුතු යැයි තීරණය කරගෙන සිටියෙමි. එහෙත් අපේ පංතියට අළුතින් පැමිණි සොමිල කරඹවත්ත මට දවසක් යෝජනාවක් ගෙනාවේය.

"මචං කිටී නියම විද්‍යා පංතියක් තියනවා යමුද? "

" මම විද්‍යාව තනියෙන් කරනවා කියලා හිතුවේ " මම කීවෙමි.  "උඹ වරෙන්කො යන්න මාර දක්ෂ කෙල්ලෝ ටිකකුත් එනවා " සොමිල පවසන්නේ හොඳ තරඟකාරී පරිසරයක් ගැනයි.

ඒ බාලිකා පාසැල් දෙකක කෙල්ලන්ගෙන් පිරුණු විද්‍යා පංතියක් පිළිබඳවයි. එය පැවැත් වුනේ අරලගංවිල සුදු නෙළුම් බාලිකා  විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලකයි.

ගුරුවරයා මාපා සර් නම් නාඹර තරුණයෙකි. මාපා ගේ විද්‍යා පන්තියේ සිසු සිසුවියන්  හැත්තෑ පහක් පමණ සිටියහ. ඒ  අතර එහි කොල්ලන්ට සිටියේ සොමිලත් තවත් එක් අයෙකුත් පමණි.

සොමිලගේ පෙරැත්තය මත එහි ගිය මට ප්‍රථම වතාවට කෙල්ලන් බහුතරයක් සිටි පන්තියක් ඉගෙන ගන්නට අවස්ථාව උදා විය.

සොමිල කිව්වා සේම අරලගන්විල තිබු අනිත් බාලිකාවේ  (සුජාතා විද්‍යාලයේ) සිටි සුරේකා නම් කටකාර කෙල්ලෙක් මෙහි සිටියාය. ඇය මාපාගේ විද්‍යාත්මක හේතු පැහැදිමේ කොටසට පැන පැන උත්තර දුන් හැටි මට තාමත් මතකය.

සුරේකා පසු කලෙක අපත් සමග එකට මහා විද්‍යාලයේ උසස් පෙළ පන්ති වල සිටියත් ඇය සරසවි වරම් ලැබුවේ නැත.
ටික දවසක් මාපාගේ පංතියට ගිය මට මාසිකව ගෙවන්නට සිදුවූ රුපියල් විසි පහ හැම මාසෙම තාත්තාගෙන් ලැබුනේ නැත. මම ඔහු මට මුදල් දුන් මාස වලදීත් මාපාට මුදල් නොගෙව්වෙමි. ඒ කඩින් කඩ දෙනවාට වඩා නොදීම සිටීම හොඳ යැයි මට සිතුන බැවිනි.
ඇත්තටම මාපා සර් උගන්වන දේවල් මට පෙළ පොත කියවීමෙන්ම තේරුම් ගත හැකි විය.

දවසක් මම සොමිලට මෙසේ කිව්වෙමි.
"මචං මාපා කාරයා කරන දේ මටත් කරන්න පුළුවන්. විද්‍යා පොතම අකුරක් නෑර ආපහු උගන් වන එක".

"මම ලබන සතියේ ඉඳන් පන්ති එන්නේ නෑ." කිව්වා වගේම  මම දහයේ විභාගය තෙක්ම ආයේ පන්ති නොගියෙමි.

 සොමිල නම් උනන්දුවා

ඉගෙනීමට තද බල ආශාවක් දැක්වුවද සොමිල කරඹවත්ත අපේ උනන්දු ගැන්සිය මෙන් පන්තියේ මුල් තැනට ආවේ නැත. ඔහු ඉංග්‍රීසි වලට තේරුණේ තාබ්රු සර්ගේ පන්තියට නොවේ.

අද විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු වන කරඹේ එච්චර දුරක් යනු ඇතැයි අපි කවුරුවත් හිනෙකින්  වත් හිතුවේ නැත.

එහෙත් සොමිල ඉන් පසුබැස්සේ නැත. වර්තමානයේ ඔස්ට්‍රලියාවේ ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරන සිසිතට ( ඒ කාලේ අපේ පංති සගයා) සොමිල යෝජනාවක් ගෙනාවේය.

"මචං අපි ඉංග්‍රීසි බැහැ කියලා පස්ස ගහලා හරියන්නේ නෑ. කොහොම හරි තාබ්රු සර්ගේ පන්තියට පැන ගන්න බලමු. මම යනවා සර්ව හම්බවෙලා මේ ගැන කතා කරන්න. "
පසු දිනෙක සිසිත වෙත ලඟා වෙන මදක් හඬ පහත වූ එහෙත් තම උනන්දුව එසේම හඬේ රැඳුනු ශිෂ්‍යයෙකි.

"වැඩේ  හරි ගියේ නෑ බන් තාබ්රු කාරයා අපිව පන්තියට ගන්න බෑ කිව්වා" කරඹේ බලාපොරොත්තු බිඳ වැටුණු හඬකින් කියයි.

"එහෙම කියලා අපි පස්ස ගහලා හරියන්නේ නෑ . අපි ටික අපේ ගෙදරට එකතුවෙලා වෙනම ඉංග්‍රීසි කරමු."

කරඹේ සහ සිසිතලා ( දෙවන පෙළ ඉංග්‍රීසි සිසුන්) නව ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ව්‍යාපාරයක් අරඹන්නේ එලෙසිනි.