Follow by Email

Saturday, 9 May 2015

උමා ඔය නිම්නයෙන් කිරිඳි ඔය නිම්නයට......






එවකට මා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යෑමට බලා පොරොත්තුවෙන් සිටියෙමි.  පන්තියේ අනිත් සගයන් වූ තාරක , ඉඳුනිල්  මෙන්ම ඉහල පන්තියේ සිට අප සමග විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වූ සමන්තද අප සමග ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිති. අප කාගේත් ඉංග්‍රීසි ගුරුවරයා වූ “ආබ්‍රෙව් සර්” මළලසේකරය ඇසුරින් අපට උසස් අද්‍යාපනයට වැදගත් වන වචන කියා දුන්නේ මේ කාලයේදීය.

මිරහවත්තේ විසු සමන්තත්  කදුරුගමුවේ සිට පැමිණි තාරකත් එකල මාගේ ලඟම හිතවතුන් විය. මේ දෙදෙනාම උසස් පෙළ ඉහලින්ම සමත් වී සිටි අයයි . එසේම ඔවුන්  මා මෙන් ජයටම එළවලු වගා කල ගොවි තරුණයෝ වුහ.

මම තාරක බලන්නට කදුරුගමුවේ ගිය සමහර දිනවල කෙලින්ම යන්නේ ඔවුන්ගේ කුඹුරටයි. හේතුව ඒ වනවිට තාරකලා අම්මා, නංගි මල්ලී ඇතුළු සැවොම තක්කාලි කොටුවේ තක්කාලි බඳිමින් සිටීමයි. නිලට නිලේ දිලිසුනු තක්කාලි පඳුරු අතර අව්වේ කරවී තම දෙකොපුල් රතු වූ තාරකගේ නංගි මා මතකයට නැගේ. විඩාබර ඇයගේ මුහුණත්  බාගෙට ඉදී ගෙන එන තක්කාලි ගෙඩියකත් වෙනස තෝරා ගැනීමටත් අපහසු ගානය.



මේ පවුලත් අපේ පවුල මෙන්ම ඉගෙනීමටත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් එකසේ හපන් කම් පෑවේය. අද තාරක අසල රෝහලක ව්‍යිදය වරයෙකි. නංගි කළමනාකරණ හදාරා ලොකු රස්සාවක් කරයි. මා සිතට  වත්මන් ඌවේ තරුණයින්ට මෙවැනි අවස්ථා උදා වේදෝයි සැකයක් ඇතිවේ.

තාරකාලා මෙන්ම එකල මිරහවත්තේ උමා ඔය නිම්නයේ ජයටම අර්තාපල් වගා කල සමන්ත මනතුංගලා  උත්සහ වන්ත ගොවි තරුණයෝ වුහ. අධ්‍යාපනයත්  ගොවිකමත් එකසේ උනන්දුවෙන් කල සමන්තලාගේ සහ අපේ ජිවිත එතරම් සරල හා විනෝද ජනක විය.

තාරකටත් මටත් ගුරු පත් වීම්


අබ්‍රෙව් සර් ගේ පන්ති යන ගමන් අපි කිහිප දෙනෙක්ම  DELIC විභාගයට පෙනී සිටියේ රස්සාවක අවශ්‍යතාවයටත් වඩා විනෝදයට මෙනි.  “ලැබුනොත් ලැබේවා...! “ යන සිතිවිල්ලෙන් ලිවූ විභාගයෙන් තාරකයත් මමත් ඉහලින්ම සමත් වී තිබුනේය.  අපට ලැබුනේ  DELIC  පාඨමාලාව නොව DIRECT පත් වීම්ය. හේතුව අපේ ලකුණු මට්ටම සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පැවතීමයි.

මේ හදිසියේ කඩා පාත්වූ ගුරු පත්වීම් නිසා උමා ඔය නිම්නයේ සාර්ථක එළවලු වගාවකට ආයුබෝවන් කියන්නට තාරකටත් මටත් සිදු විය.  එවකට  කිරිඔරුව ප්‍රදේශයේ උත්සහාවන්තම එළවලු ගොවියෙකු වූ මා එය සිදුකලේ කැමැත්තකින්ම නොවේ. ඒ බව සනාථ කරමින් ඉරිදා සෙනසුරාදා නිවාඩු දවස් වල ගමේ එන මා තවදුරටත් වගා සටනේ නිරත වුයෙමි.

නවක ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස අප පත් වීම් ලැබුවේ වැල්ලවායේ වෙහෙර යාය ප්‍රදේශයටයි.  තාරක වෙහෙරයාය මහා විදුහලටත් මම වෙහෙරයාය කනිෂ්ටයටත් අනුයුක්ත කර තිබුණි. මා සමග වෙහෙරයාය කනිෂ්ටයට පත් වූ තවත් ඉංග්‍රීසි ගුරුවරයෙකි. සිරිතිලක නම් ඔහු පැමිණියේ ගාල්ලේ වක්වැල්ල ප්‍රදේශයෙනි. තාරක  ලොකු ඉස්කෝලේ ළඟ බෝඩිමක් සොයාගත් අතර සිරාත් මමත් ඉස්කෝලේ විදුහල් පති තුමා සොයා දුන් බෝඩිමකට ගියෙමු.










සුද්දී අක්කාගේ බෝඩිම.


වැල්ලවාය තණමල්විල පාරේ මද දුරක් ගිය තැන හමුවෙන්නේ දෙහිගස් හන්දියයි . එතැන් සිට කිලෝ මීටරයක් පමණ ගිය තැන තුන්මන්හන්දියකි. වමට හැරුණු ගමන්ම ඇත්තේ වෙහෙරයාය කනිෂ්ටයයි. දකුණට හැරී මද දුරක් ගිය තැන කහ සහ  සුදු ඉරි ඉරි බිත්ති සහිත  විශාල නමුත් තරමක් පැරණි නිවසක් හමුවේ. ඒ සුදු අක්කලාගේ නිවසයි. සිරි තිලකත් මමත් නවාතැන් ගත්තේ මෙතැනයි.  සුදු අක්කලා වෙහෙරෙයාය දෙකේ කොලනියට ඇවිත් තිබුණේ බණ්ඩාරවෙල සිටයි. ඇයගේ ස්වාමි පුරුෂයා , සුදු අය්යා ඇඹිලිපිටියේ සිට හේන් වගාවට  “වන්දම “ නම් හඳපානාගලට එහායින් තිබු  ප්‍රදේශයට මුලින්ම ආ අයෙක් යැයි මා අසා තිබේ

සුද්දී අක්කටත් සුදු අයියා ටත් හිටියේ කුඩා දරුවන් දෙදෙනෙකි.  ඒ මුදිතා නම් දියණිය හා අපි “පුතා” ලෙස ඇමතු සුද්දී අක්කාගේ බාල දරුවාය. ඊට අමතරව ඔවුන්ගේ නෑදෑ දියණියන් දෙදෙනෙක් එහි සිට අප ඉගැන්වූ කනිශ්ටයට ගියෝය.  ඇඹිලිපිටියේ සිට පැමිණි මේ දෙසොහොයුරියන්ගේ  මව අකාලයේ ඔවුන් හැර ගොස් තිබීම එයට  හේතුවයි.

සිරාටත්  මටත් ගෙදර ඉස්සරහම තිබුණු කාමරය ලබා දුන්නේ සුදු අක්කා විසිනි. ඇය උසට සරිලන මහතක් ඇති මනා රූ සපුවකින් හෙබි කාන්තාවකි. නිවසේ සියලු වැඩ කටයුතු තම අනසකට නතු කර ගත් සුද්දී  කටකාර තැනැත්තියක්ද වුවාය.  සුදු අය්යා සමහර දිනවල පමණක් රෑ බෝ වී ගෙදර එන නිහඬ චරිතයක් විය.

මට බණ්ඩාරවෙල මල්ලී කිවූ ඇය සිරා ඇමතුවේ ගාල්ලේ මල්ලී ලෙසයි. අපි දෙන්නාට මුදිතත් නිල්මිණි සහ රමණි යන අක්කලත් කිවේ බණ්ඩාරවෙල මාමා සහ ගාල්ලේ මාමා යනුවෙනි. මෙම ආමන්ත්‍රණය පාසලේදී  ඒ ඒ ප්‍රදේශයේ සර් බවට පත් විය.

අප ගමේ ගොස් අවිත්දැයි ඉරිදා හවස් වරුවේදී අපේ කාමරයට එබෙන අයෙකි.  ඒ සුද්දී අක්කාගේ පොඩි පුතා  ගාමිණිය. “ මාමෝ... මාමෝ...  කෝ බණ්ඩාරවෙල මාමද ඇවිත් ඉන්නේ “ කියමින් කිවුල් වතුරට කහ පහ ගැන්වුණු කිරිදත් පාන මේ පුත්‍රයා අප සොයන්නේ ආදරයකට නොවේ.  අප ගෙනා එඩ්නා චොකලට්ටුවට ඇති ආදරයටයි.

කිරිඳි ඔයේ පැන් පහසුව



ඒ වැල්ලවාය හා බණ්ඩාරවෙල ප්‍රදේශ වලට පායන කාලයයි . ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන අපේ ගම් ප්‍රදේශයටත් සුද්දී අක්කලාගේ ගම වූ වෙහෙරයායේ දෙකේ කොලනියටත් ජුලි හා අගෝස්තු මාස වල තද බල වතුර හිඟයක් ඇතිවේ.  මේ කාලයට තාරකලා  අපේ එළවලු කොටු වලට වතුර හිඟ වෙයි. එසේම සුද්දී අක්කලාට වගාවට පමණක් නොව  බීමට පවා වතුර නැතිවේ.

සුද්දී අක්කලාගේ මිදුලේ විශාල ලිඳක් තිබුණද එය මේ කාලයේදී සම්පුර්ණයෙන්ම සිඳී යයි. වෙහෙරයාය ප්‍රදේශයේ සියල්ලෝම මේ කාලයට නෑමට රෙදි සේදීමට මෙන්ම බිමටද වතුර ගන්නේ කිරිඳි ඔයෙනි. කිරිඳි ඔය ගලා  යන්නේ  වෙහෙරයායේ දෙකේ කොලනිය පැත්තෙන් නොව තණමල්විල  පාරට අනික් පැත්තේ පැත්තෙනි.  
ගාල්ලේ සර් සහ මම ඉස්කෝලේ ඇරී ඇවිත් ටික වෙලාවකින් පසු  මෙම පාර පනින්නේ කිරිඳි ඔයෙන් ස්නානය කිරීම පිණිසයි. අප යන මග දෙපස කලගෙඩි පුරවා ගඟෙන් වතුර රැගෙන එන අපේ සිසු සිසුවියන් හමුවේ. එසේම අපේ ඉස්කෝලේ ගුණසිංහ සර් වැනි ගුරුවරු තම බයිසිකල් දෙපැත්තේ බැඳගෙන  වතුර කෑන් ගෙන එනවා අපට පෙනේ.

අවසානයේ ගඟට ලඟා වන අප දෙදෙනා වතුරේ ගිලි නාගනිද්දී අපේ සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයේ හිතවතුන් හිතවතියන්ද අප අසලම ගඟෙන් නා ගනු පෙනේ. මේ කාලයේ ගඟේ ඉහල රාවණා ඇල්ලේද ජයය ඇත්තේ ඉතා අඩුවෙනි. රාවණා ඇල්ල හෙවත් බඹරගම ඇල්ල පටන් ගන්නේ බණ්ඩාරවෙල බඹරගම ප්‍රදෙශයෙනි. මේ නිසා බඹරගමට පැවිල්ල එන කාලයට කිරිඳි ඔයේ ජල මට්ටමද සීග්‍ර ලෙස පහල බසී.





එසේම නොවැම්බර් දෙසැම්බර් මාස වලදී කිරිඳි ඔය පිටාර ගලන්නේ ඒ බව රාවණා ඇල්ලේ මහා ජල නද මගින්ද කදිමට පෙන්නුම් කරමිනි. ඒ කාලයට සුද්දී අක්කලාගේ ලිඳේද වතුර පිරී ඇති බැවින්  ගඟට යෑම අත්‍යවශ්‍යම නොවේ.

මේ ගඟට යන ගමන සිරාටත්  මටත් බොහෝ විනෝදය ගෙන දෙන්නකි.  යන ගමනේදී මගදී හමුවන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් “ ආ සර්ලා දෙන්නා නාන්න යනවා වගේ ? “ කියා අසයි. 

මෙය ඇසෙන සිරා මගේ කණට කර “නෑ මේ පොල් කඩන්න යනවා” කියා කියයි.  අපේ කරේ ඇති තුවායවල් හා අතේ ඇති සබන් පෙට්ටි දැක දැක මොවුන් අහන මේ ප්‍රශ්නය සිරා ට ලොකු ගැටලුවකි.  

නෑමෙන් අනතුරුව නැවත එද්දී අපි ටික වෙලාවක් ගත කර තණමල්විල පාරේ කරක් ගහන අපි පාර අයිනේ ඇති කඩ වලින් බොහෝ දේ මිලදී ගන්නෙමු. ඒ අතර අඹ ,පැපොල් වැනි පලතුරුද  තම්බපු ඉරිඟු වැනි ක්‍ෂණික ආහාරද වෙයි.




රෑ බෝ වනවිට සුදු අක්කගේ නිවසට එන අප දෙදෙනා රෑ කෑම ලැබෙන තුරු තරඟෙට කවි සින්දු කියන්නෙමු.  ඒ මුදිතලා ඇතුළු ගෙදර ඉන්න අපේ ඉස්කෝලේ සිසුවියන් තිදෙනා අපිට ගාල්ලේ කවියා හා බණ්ඩාරවෙල කවියා යැයි නම්බු නාම ලබදෙද්දිය.
සමහර විට පන්සිල් , බණ පද සහ තුන්සුත්‍රයද අප හඬ නගා කියන්නෙමු. එවිට අපේ ඒ ඒ ප්‍රදේශවල හිමිවරුන් බවට පත්වේ. මේ හැම දෙයක්ම කලේ සුදු අක්කාගේ නිවසේ සිටි වැඩිවිය පත් නෑදෑ දියණිවරුන්ගෙන් අනවශ්‍ය අවධානයක් අප දෙදෙනා වෙත යොමු වීම වැලක් වීමටයි.


සුද්දී අක්කාගේ ගෝන මස් මාලුව


ඉස්කෝලෙට පැමිණි අලුත් ඉංග්‍රීසි ගුරුවරු දෙන්නා නැවතී ඉන්නේ සුද්දිලා ගෙදර බව කොළනියේ බොහෝ දෙනෙක් දැන සිටියහ. ගෝනෙක් දඩයම් වූ දිනක අනිවාර්යයෙන්ම සුද්දිලා ගෙදරටද කොටසක් අලෙවි වන්නේ ඇය ගමේ ප්‍රසිද්ධ චරිතයක් නිසා මෙන්ම අපද එහි සිටීම නිසාය. සුදු අක්කා යහමින් අමු මිරිස්. තක්කාලි සහ යන්තමින් කංසා ටිකක්ද දමා ඉතා රසවත් මස් කරියක් හදන්නීය.

පාසැල අවසන් වී නිවසට එන සිර සහ මම අපේ ගුරු සටහන් පොත් ආදිය ඇඳ මතට විසිකර කෙලින්ම යන්නේ දිවා ආහාරය සකසා ඇති කෑම මේසයටයි.

වේවැල් බත් කූඩය ඔසවා බලන සිරා “ කිරෝ අදනම් ගෝන මස්”  කියමින් තළුමරයි. උදේ ඇඳන් ගිය රෙදි වත් ඉවත් නොකළ අපි දැන් තරඟයට ගෝන මස් දීසියට වග කියන්නෙමු. හරි හරියට ගෝන මස් කනු දුටු සුද්දි අක්කා “ හා..මල්ලිලා ආසා කරන කෑමක් හම්බ වෙලා වගේ “ කියමින් නැවතත්  දීසිය පුරවා මස් ගෙනත් තැබුවාය. උස්මුරුත්තා වන තුරු මස් කෑ අපි ඉහින් කනින්  දහදිය දමමින් අපේ ඇඳවල් වල වැතිරී සිටියේ කාපු මස් දිරවන තුරුය.

හවස පහ විතර වෙද්දී මට තද බල මුත්‍රා දැවිල්ලකි. සිරා ඊට ආසන්න ප්‍රදේශයක් දනවෝ කියමින් කෑ ගසයි. සිරා තම නින්දෙන් අවදි වුයේ “කස් මාලා .... පුනවා..”  යනුවෙන් ආරම්භ වූ ගිතයක් කියමිනි.  එය ගායනා කෙරුනේ අතුල අධිකාරි ගේ “හද..හඬලා... “ යන ගීතයේ තනුවටයි. මා ද පාපිල්ල පමණක් වෙනස් කර එම ගීතය ගැයුවේ ඇයි දැයි සිත ගැනීම මෙය කියවන ඔබට භාර කරමි.






සිරා අපේ ගමේ ඇවිත්


ඒ සීතල නොවැම්බර් මාසයයි. වෙහෙරයායටත් හොඳ වැසි වැටෙන කාලයකි මේ. හැම සති අන්තයකම ගාල්ලේ යන සිරිතිලක සර් මෙවර මාත් සමග අපේ ගමේ යන්න සූදානමින් සිටියි. සාමාන්‍යයෙන් බණ්ඩාරවෙල සර් සිකුරාදාට දවල් දොළහට පමණ පාසැලින් පිටත් වෙයි. ඒ ඇත්ත වශයෙන්ම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලය ඇරෙන වෙලාවට  නගරයට සේන්දු වීමටයි. මේ වගක් නොදත් විදුහල්පති තුමා ඒ අවසරය මට ලබා දී තිබුණේ ගාල්ලේ ගුරුවරුන්ද සිකුරාදාට එසේ කරන බැවිණි.

ඒ සිකුරාදා සිරාත් මමත් ඇතිලිවැවේ සිට පටන් ගන්නා ලොරි භාග බසයකින් වැල්ලවාය බලා පිටත් වූයෙමු. දොළහට බණ්ඩාරවෙල බලා පිටත් වන කහ කුරුල්ලා බසය අල්ලා ගැනීම අපේ අභිප්‍රාය විය. පාසැල් ඇරෙන්න ඔන්න මෙන්න කියා නගරයට ලඟා වූ අප විශාඛා එකේ නංගි එහිදී හමු වූයෙමු. සිරාට එලෙස මාගේ හිතවතිය හඳුන්වාදුන් මා ඇයත් සමග පාසැල් බසයට ගොඩ වුයේ අපේ නිවෙස් බලා යන්නටයි.




බසයෙන් බැස ආ අප තිදෙනා එකම මග ටික දුරක් ගමන් කළෙමු . නංගි සමහර අවස්ථාවල මගේ කරේ තිබු රෙදි මල්ලේ අඬු වල එල්ලී පාරේ කඳු සහිත පාර තරණය කරයි. මද දුරක් මෙසේ පැමිණි අප අකමැත්තෙන් වුවද ඇයටසමුදී  අපේ ගෙවල පැත්තට හැරුනෙමු. සිරාත් මමත් අපේ නිවසට ළඟ වන විට යන්තම් හවස හතර පහු වුනා පමණි.

සීතල බණ්ඩාර වෙල මනරම් කඳු ගැටයක් මත වූ අප නිවස වටා සුදු මිදුම් සළු වෙලා ගන්න වෙලාවයි මේ.  ජීවිතේට මෙවන් සීතල මීදුමක් ගත දැවටී නොමැති සිරිතිලක මහත්තයා දැන් පිස්සු වැටුණු ගානය. “ මචං උඹලා ඉපදිලා තියෙන්නේ මාර ලස්සන පළාතකනේ “ යැයි සිරා මට අවංකවම ඔහු සිතේ පැන නැගුනු සිතිවිල්ලයි.

එදින රාතී‍්‍ර අල්ලාප සල්ලාපයේ දී “ ඔයාගේ ගෝවා ටිකට තවම පස් දාන්න බැරි වුනා චූටි පුතා “ කියා අම්මා පැවසුවාය. ඒ සෙනසුරාදා දවසේ මම විශාඛා නංගි එක්ක රස්තියාදු වෙන වාට වඩා වත්තේ පිටියේ වැඩක යෙදුනා නම් කියා ඇයට සිතුනු නිසා විය යුතුය. හවස  කතා කරගත් පරිදි අඩිසම් බංගලාව බලන්නට යා නොහැකිය. මම සෙනසුරාදා පාන්දරම සිරාත් කැටුව මගේ කිරිඔරුවේ තිබු ගෝවා කොටුව වෙත පිය මැන්නෙමි.




නිලට නිලේ බැබලෙන ගෝවා ගස් වටා කඩියෙක් සේ පස් දමන මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටින්නෙකි. ඒ ගාල්ලේ සර් හෙවත් සිරිතිලක මහත්තයාය.  මමද ගෝවා ගස් මුලට කළුම කළු පස් වැටීමෙන් නැගෙන මනරම් දර්ශනයෙන් තව තවත් ප්‍රීතියට පත් වී දිගින් දිගටම වැඩ කලෙමි.
දිනය අවසානයේ කිරිඔරුවේ පීල්ලෙන් නාගෙන ගෙදර එන්නට කන්ද නගිද්දී සිරා කිව්ව කතාව මට තාමත් මතකය.

“ මචං උඹලා පැත්තේ තියෙන මේ සරල ජිවන ක්‍රමයට මම හරි ආසයි “ . “පස්සේ කාලෙක බණ්ඩාරවෙල පැත්තේ පදිංචි වෙන්න ඇත්නම් කියලා හිතෙනවා ....


13 comments:

  1. Thank you for the post. Nice read indeed. Many folks who visited this place from my end said the same thing on many occasions. One of them ( currently a well known surgeon) was planning to purchase the whole mountain one day:)
    Keep writing when you can.

    ReplyDelete
  2. කාලෙකින් අදයි බ්ලොග් කියවන්න ආවේ. අරලගන්විල ටික ටික බණ්ඩාරවෙලට ඇවිත්. තාබ්‍රෙව් සර් ආබෘ සර් වෙලා. ඒත් ලිවිල්ල හරිම ලස්සනයි. දැන් දැන් කවින්දුගේ භාෂාවත් රසබර උපමා උපමේයවලින් පෝසත් වෙනවා. ලියමු ලියමු.

    ReplyDelete
  3. මේ මම ආසම කරන වර්ගයේ ලිවීම් රටාවක්. බොහෝම වින්දා. ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. තිලකසිරි අය්යාට.. තරුට... හා මනොෂ්ට මගේ හර්දයාංගම ස්තුතිය.. මේ කොමෙන්ටු දැක්කහම තව තවත් ලියන්න හිතෙනවා වෙලාව හොයාගන්න අමාරු වුනත්..

      Delete
  4. A/L වලින් පස්සෙ ගතකල හොදම කාලයට ආපහු ගියා.ගොඩක් තුති කවිදු.තව ලියමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තාරක.. හරිම විනෝද ජනක කාලයක් තමයි.. මට රාගම ෆැකල්ටියට එන්න බැරිවීම ගැන මම හැමදාම දුක්වෙනවා..

      Delete
  5. A/L වලින් පස්සෙ ගතකල හොදම කාලයට ආපහු ගියා.ගොඩක් තුති කවිදු.තව ලියමු

    ReplyDelete
    Replies
    1. හැබැයි තාරක ලොග් සටහන් ඉරපු කෑල්ලට එන්න බැරිවුනා තවම..

      Delete
  6. අයියා ලියපු මේ ලිපිය අදට වඩා අනාගතයේ දවසක ලොකු වටිනාකමක් තියේවි.
    දැනටමත් වැලලිලා තියෙන සුද්දි අක්කාගෙ ගෝනමස් මාලුවෙන් කියැවෙන කතාව වගේම අධූර ධර්ශීව කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති හෙතුවෙන් ලහි ලහියේ අතීතයට එකතුවෙමින් පවතින ජල සම්පත් හා ඒ හේතුවෙන්ම නැතිවෙමින් පවතින එලවලු වගාවන් හා ජන ජීවිත පිලිබඳ අනාගතයේ දවසක සක්ශි ලෙසට උදවු වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි අදහස් දැක්වීමට. කතාව ඇත්ත. දුරදිග නොබලා අකීකරු පාලකයින් විසින් කරනා සමහර සංවර්ධන ව්‍යපෘති (දැනට කෙරෙමින් පවතින උමාඔය වගේ) නිසා මම මේ විස්තර කල ජිවන රටාව සම්පුර්ණයෙන් උඩු යටුකුරුවෙමින් තියෙන්නේ. මේ වතාවේ ලංකාවේ ඇවිත් බණ්ඩාරවෙල අපේ ගෙදර හිටපු දවස් ටිකේම අපේ පාවිච්චියට අවශ්ය ජලය ගත්තේ දවසට ලීටර් 1000-2000 සල්ලි වලට ලොරිකාරයෙක් ලවා ගෙන්වා ගැනීම මගින් . එළවළු වගාව දැනමත් නැවතිලා හීල්ඔය වගේ පැතිවල

      Delete
  7. කවුදෝ අරුණාලෝකය ගෘප් එකට ශෙයා කරලා ඒ දිගේ මෙහෙට ආවේ.මුලින්ම පරිසර සටහනක් කියල පස්සේ කියවන්න තියාගත්තා. කියෙව්වමනේ ඒකෙ රස. හිතෙන් සිතියමක් හදාගෙන මංපෙත් ඔස්සේ ගියා. අතරින් පතර මගේ ගුරු දිවියේ මුල් අවධිය අනුරපුරේ ගෙවුණු හැටිත් මතක් වුණා. හරිම මියුරු සටහන එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙහාට ආව එකට. මමම තමයි අරුණාලෝකයට දැම්මෙ මගෙ මුහුනු පොත් ගිණුමෙන්. ඔබදැනටමත් මගේ මුහුණු පොතෙ ඉන්නවා.

      Delete
  8. අද වනවිට මෙහි එන චරිත සෑහෙන දුරක් ගිහින් කදුරුගමුවේ තාරක වෛද්‍යවරයෙක් ලෙස හපුතල ප්‍රදෙශයේ සේවය කරනවා. මමත් මිරහවත්තේ සමන්තත් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. සමන්ත මෙහි ඉන්ජිනේරුවරයෙක්. සිරිතිලක ගාල්ලේ ඉස්කෝලෙක විදුහල්පති. සුද්දි අක්කාගෙ දුව මුදිතා බණ්ඩාරවෙල රියැදුරු පාසලක් කරනවා.

    ReplyDelete