Follow by Email

Friday, 15 May 2015

ටොකු මුත්තා සහ පේර මුත්තා



අපි කුඩා කාලයේ අපේ ගෙදර ආ ගිය අය අතර සිටි අපේ සිත් ගත් පුදගලයින් දෙදෙනෙකි. ඒ අපේ මුත්තලා දෙන්නාය. එක් අයෙක් අපේ අම්මාගේ  පියාණන් වූ ආර්. ඇම්. සුභේරත්න බණ්ඩාර හෙවත් අපේ කිරඹ ඔයේ  මුත්තාය. අනෙක් මුත්තා ජේ. ඇම්. ලොකුබණ්ඩා හෙවත් අපේ තාත්තාගේ පියාණන්ය. ලොකු බණ්ඩා මහතා  ජීවත් වුයේ අපේ ගම වූ මල්දෙණිය ප්‍රදේශයේය.

කිරඹ ඔයේ මුත්තා.


කිරඹ ඔයේ මුත්තා හෙවත් අපේ අම්මාගේ පියා සුභේරත්න බණ්ඩාර යන නමින් හැඳින් විනි. ඔහු චමින්දලාගේ මුත්තාගේ බාලම මල්ලීට පෙර උපන් සහෝදරයායි. අපේ මුත්තාගේ අය්යලා හැම දෙනාම කොන්ඩේ බැන්ද අය වූ අතර කොන්ඩේ කැපු එකම රාජපක්ෂ සහෝදරයා ඔහු විය. එමෙන්ම රත් පැහැ හමකින් යුක්ත වූ නිසා ගැමියන් සමහර විට ඔහු "රත්තා" නමින්ද හැඳින් වූ බව මා ආසා තිබේ.
 වරක් අපේ  ලොකු නැන්දාගෙන් මා ඇසු පැනයකි.

 "නැන්දා අර හින්නි මාමගේ නළලේ පැල්ලමක් වගේ තියෙන්නේ මොකක්ද?"
 "ඒ ඉතින් රත්තාගේ වැඩ තමයි."

"රත්තා කියලා කිව්වේ ?"

"ඇයි තොපේ රත්තා මුත්තා .. කිරඹ ඔයේ ඉන්නේ..?" ඇය දුන් පිළිතුරයි.

හින්නි මාමා සමග සිය තරුණ කාලයේ ඇති වූ අරෝවකදී "හින්නාගේ නළලට රත්තා විසින් පොරෝ පහරක් එල්ල කර ඇති බව"  පොත පතේ සඳහන් වන බව ලොකු නැන්දා මා සමග කීවාය.

මේ පිබඳව අම්මාට කිවූ පසු ඇය අපේ මුත්තාගේ රත්තා නාමය ගැන ඒ සිද්ධියම මතක් කරමින් කියා  දුන්නා මතකය.


අපේ මුත්තා ඒ කාලේ සුද්දන්ගේ තේ වතු වලට මානං සැපයු කොන්ත්‍රාත් කරුවෙකි. එම නිසා එවකට ගම්මුන් ඔහුට තවත් නමක් පට බැඳ තිබුණි. ඒ "මානං බාස් " යන නාමයයි. ඔහුගේ යටතේ අපේ අම්මා හා තාත්තාද සති අන්තවල මානං සැපයුම් කරුවන් ලෙස වැඩකළ බව මා අසා තිබේ.

මුත්තා එකල ගමේ බලවත් මනුස්සයෙක් බව මට තේරුම් ගිය එක අවස්ථාවක් මගේ සිහියට නැගේ.

මාත් අය්යත් පන්සලේ ගිය දවසකි. අපට පන්සලේ ලොකු හාමුදුරුවන් මල් ආසනය ළඟ ඉඳන් පන්සිල් දී අවසන් වුවා පමණි. ලොකු හාමුදුරුවෝ කොහොමද සමන්ත කියමින් අය්යත් එක්ක කථාව පටන් ගත් සේක.  මගේ නෙත ගියේ බුදු පිළිමයට පහළින් තිබු මල් ආසනය වෙතයි.

එහි තිබු රතු අකුරින් ලියු නම් දෙකකි.  "පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිර " යැයි  උඩින්  ලියා තිබුණි. ඊට පහළින් "ආර්. ඇම්. සුභේ රත්න බණ්ඩාර" යනුවෙන් අපේ මුත්තාගේ නම දැකගත හැකි විය.

"මේන් අපේ මුත්තාගේ නම" මට කියවුනේ ඉබේටමය.

"ළමයා.. තමුන්ගේ මුත්තා තමයි මේ පිළිමයේ තැන්පත් කරලා තියෙන ධාතු අපිට ලබා දුන්නේ" .

පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිරයෝ එසේ පවසා සිටියේ මගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.

ටොකු මුත්තා


ගමේ අය එක එක නම් වලින් අපේ මුත්තා හැඳින් වුවද අපි ඔහු මල්දෙනියේ මුත්තාගෙන් වෙන්කර හඳුනා ගත්තේ වෙනත් නමක් හේතුවෙනි. අපේ අය්යත් අක්කාත් කිරඹ ඔයේ මුත්තා හැඳින්වුයේ  "ටොකු මුත්තා " යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව ඔහු අපිත් සමග තරහා ගිය විට අපිට ටොකු අනින්නෙක් වීමයි.

වරෙක මල්දෙනියේ අපේ ගෙදර එන ඔහු  "මම ටික දවසක් ලොකු කෙලීලා ගෙදර ඉන්නවා " කියා අපත් සමග නවතියි.  මෙය අපේ වත්තේ කෙසෙල් පඳුරු , කෝපි ගස් ආදියට හොඳ කල දසාවක් ලබන කාලයකි. ටොකු මුත්තා වෙලාවකට අපට ටොකු අනිමින් වැඩ ගන්නේ කෙසෙල් පඳුරු බත් දාන් කන්න පුළුවන් තරමට සුද්ද කරමිනි.  මුලින් මැරුණු කෙසෙල් කොළ කපා  ඉවත් කරන ඔහු ඉන් පසු  ඒවා වටා ලස්සනට පස් ගොඩ කරයි.


ඉතාමත් පිළිවෙලට අදින පළදින කෙනෙක් වූ අපේ ටොකු මුත්තා කෙරෙහි බොහෝ පිරිස් ආකර්ෂණය වී සිටි බව මා අසා තිබේ.

කාලයක් ඔහු  කහට ගහ වත්ත නම් ඉඩමේ තනියම පැලකට වී ජිවත් වුයේය.  තම ගෙදර සිට කිලෝ මිටර තුන්කාලක් පමණ දුරකින් වූ මෙහි මුත්තා  උයා පිහා ගත් අවස්ථාද තිබුණි.  බොහෝ දිනවල ආතම්මා බැඳ දෙන බත් මුල කහට ගහ වත්තට අරන් යාමේ රාජකාරිය කුඩා අපට පැවරේ.

ඇයගේ එළවලු රස මදි නිසාදෝ මුත්තා අසල ඇති රටබටු තක්කාලි ගසෙන් ගෙඩි කීපයක් කඩා තෙල් දා ගනියි.
අපටත් මඩක්කුවකට බත් ටිකක ලැබෙන බව දන්නා මා කෙළ ගිල ගිල බලා සිටින්නේ මේ රට බටු ඇඹුල රස බැලීමටයි.



කිරඹ ඔයේ කවි මඩුව


අපේ රත්තා මුත්තා ඒ දිනවල රහ මෙර පානය කල බවක් හෝ සුරුට්ටු පාවිච්චි කල බවක් හෝ මා දැක නොමැත. සියළු දුසිරිතෙන් තොර එහෙත් කිසිදාක පන්සලේ සිල් ගන්න නොගිය කෙනෙක් ලෙස මට ඔහු මතක තිබේ.

කහටගහ වත්තේ සිට අපේ අම්මලා මහා ගෙවල් පැත්තට එද්දී අපට හමු වන්නේ අළුත් ගෙදරයි. අළුත් ගෙදර ආතම්මා මියගොස් සිටි අතර එහි ජීවත් වුයේ බෝගොන් මුත්තා පමණි.
බෝගොන් මුත්තා දිළිසෙන තට්ටයකින් සහ බුරුසුවක් වැනි උඩු රැවුලකින්  යුක්ත අයෙකි.  එමෙන්ම හතරේ හයේ පුද්ගලයෙකු වූ තට්ට බෝගොන්  කොටු  කොටු සරමට තඩි රිදී හවඩියක් බැඳ සුදු අත් කොට බැනියම ඇන්දහම ඇත්තේ අමුතු අලංකාරයකි.

හවස් වෙද්දී රා කට්ටකින් සප්පායම් වෙන මොහුගේ සමාගමට  රා නොබිව්වද අපේ කිරඹ ඔයේ මුත්තාද එකතු වේ.  එවිට ආරම්භ වන්නේ හිටිවන කවි මඩුවකි. බෝගොන් බොහෝ විට කිවේ දෙපැත්ත කැපෙන වචන ඇති සීපදයි. එකල අවුරුදු පහක් හයක් වයස චු කොල්ලෙක් වූ මට ඒ සීපද වල තේරුමක් දැනුනේම නැත. එහෙත් පසු කලෙක ඒවා බොහොමයක් නොසරුප් වචන සහිත ඒවා බව තේරුම් ගතිමි.

මල්දෙණියේ මුත්තා


අපේ තාත්තගේ තාත්තා ඒ දවස් වල ජිවත් වුනේ පල්ලැහැ තිබු පොඩි බාප්පලා ගෙදරයි. සුභේරත්න මුත්තා මෙන් රතුම රතු නොවුණට මේ මුත්තාද අපට වඩා පැහැපත් පෙනුමකින් යුක්ත විය.  ජේ. ඇම්. ලොකුබණ්ඩා යන නමින් හැඳින් වූ මොහු නුවර කඩුගන්නාව ප්‍රදේශයේ සිට අරලන්ගවිලට ඇවිත් තිබුණේ සුද්දාගේ බංගලාවේ ප්‍රධාන කෝකියා ලෙස සේවය කිරීමටයි.

අපේ තාත්තා කුඩා කාලයේ බංගලාව අසල ගැවසෙන විට දෙමල මිනිසුන් විසින් ඔහු "දොරේ දොරේ " කියමින් සුරතල් කල බව මා අසා තිබේ. අපේ තාත්තට දැනටත් ගමේ සමහරු "දොරේ මාමා" කියා අමතන්නේ මේ හේතුව නිසාවෙනි.

මල්දෙනියේ මුත්තාට කිරඹ ඔයේ මුත්තාට රත්තා කීවා මෙන් "සුද්දා" වැනි නමක් ගම්මුන් පට බැඳ තිබු බවක් මා අසා නැත. එහෙත් අය්යා අක්කා ඇතුළු අපි කට්ටිය ඔහුට කීවේ "පේර මුත්තා" කියාය. අපේ තාත්තා මෙන් සැර  පෙනුමක් නොව ඉතා ලගන්නා සුළු සිනහවක් සහිත වූ මේ පේර මුත්තා 1980 දශකයේ මුල් භාගයේදී අප හැර එලොව ගියේය. මේ මුත්තාද මත්පැන් බිඩි, සුරුට්ටු ආදී කිසිවක් පාවිච්චි නොකළ ආදර්ශමත් පුද්ගලයෙකි.

අප තාත්තලාගේ මහ ගෙදර ගිය අවස්ථාවල අපට රතුම රතු ජෑම් පේර දෙන්නෙක් නිසා ඔහු "පේර මුත්තා" විය.



අපේ මේ පල්ලැහැ මුත්තාද කිරඹ ඔයේ මුත්තා මෙන් අපේ ගෙදර අවට වැඩ වලට අප යොදා ගත්තේය. එහෙත් ඔහු ටොකු වෙනුවට අපට දුන්නේ පේර නිසා අපි ඔහුට මේ  නම්බු නාමය ලබා දුන්නෙමු.

මල් දෙණියේ මුත්තා ගැන සොඳුරු මතක රාශියක් තිබුනද මට වඩාත්ම ඔහු මතක් වන්නේ ඔහුගේ මරණ යත් සමගිනි.

මුත්තා ලෙඩ ඇඳේ සිටිද්දී වඩාත්ම ශෝක වූ පුද්ගලයා වුයේ අපේ තාත්තාය. අම්මා කිව් ආකාරයට අපේ පේර මුත්තාගේ පණ ගිහින් තිබුණේ අපේ තාත්තගේ අත් දෙක මතය. ඒ අවාසනාවන්ත දිනයේදී තාත්තා හොඳටම ඇඬුව  බව අපේ අම්මා අපට පැවසුවාය.

මේ ගැන කිසිම ගානක් නැතිව සිටි මා මුත්තාගේ මරණේ පෙට්ටියෙන් එකයි කියන්නා සේ බලා සිටියේ අවසන් කටයුතු කෙරෙන දිනය ගැනයි.

එදා පොඩි බාප්පාගේ ලොකු පුතා අමල් ටත් මටත් පුදුම විනෝද ජනක දිනයකි.  අවුරුද්දක වෙනසකින් මට මල්ලී වූ අමල්ද එකල මා වැනිම අණ්ඩපාලයෙකි. අපි දෙදෙනා මළ ගෙදර කල වැඩක් නොමැත.කල එකමදේ  එහි තිබු අමුත්තන්ට සංග්‍රහ කරන්නට ගෙනා දේ වලට වග කීමයි.

ශාන්ති අක්කලා අපේ අක්කලා වැනි යුවතියන් පැමිණි පිරිසට ඔරේන්ජ් බාර්ලි විදුරු තැබූ බන්දේසි අල්ලමින් සිටියහ.
ඒ ශෝක ජනක දිනයේ අමල් හා මම නයිස් බිස්කට් කමින් තරගයට ඔරේන්ජ් බාර්ලි බිව්වේ  බන්දේසි එන එන පැත්තට ගොසිණි.


8 comments:

  1. බොහෝම ලඟ ලඟ යන කාල හා කතා අතීතයක් අපිට තියෙන බව තේරෙනවා.. ඒ නිසාම ඔබේ කතන්දර මට අතීතයෙන් එන මිහිරි සුවඳක් වගේ.. කියවන ගමන් අතීතයේ සැරිසරන්න බොහෝම පහසුයි..

    ReplyDelete
  2. ස්තුතියි කල්‍යාණ ... මෙය තව ටිකක් අලංකාර කරන්න හිතාගෙන ඉන්නවා... ඇත්ත.. අපි 80-90 දශකයේ කතා කාරයෝ.

    ReplyDelete
  3. හරිම අපූරුයි. දිගටම ලියන්න. ඇවිත් අනිත් ටිකත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...කාලෙකින් දැක්කේ නෑ.. මොකද වුණේ??

      Delete
  4. ස්තුතියි බස්සා... වෙලාව ඇතිවිට ටික ටික ලියන්නම්..

    ReplyDelete
  5. සරලයි. රසයි. මට ටිකක් පැටළුනා දෙන්නව . මුලින්ම මුත්තලා දෙන්න ගැන තරමක හැඳින්වීමක් කරානම් අගෙයි කියා හිතනවා.

    ReplyDelete
  6. සුළු වෙනස් කිරීමක් කළා .. ස්තුතියි පෙන්වා දුන්නාට..

    ReplyDelete
  7. Another nice episode... my favourite part is the one how kids enjoy Muththa's funeral...

    ReplyDelete