Follow by Email

Saturday, 30 May 2015

බ/ කිරඹඔය විද්‍යාලයේ නව විදුහල් පති සහ අපි.



බ/ කිරඹ ඔය විද්‍යාලයට නව විදුහල් පති කෙනෙක්.



පසුගිය සතියේ මා කණ වැකුණු ආරංචියක් නිසා මට මුලින් සතුටකුත් දෙවනුව කනගාටුවකුත් ඇති වුවා මතකය.  මගේ අපමණ සතුටට  කාරණය  වුයේ කුඩා කාලයේ අපත් සමග එකට පාසැල් ගිය සරණ සිරි අය්යා නව විදුහල් පති ලෙස කිරඹ ඔය විද්‍යාලයට  පත්වීමයි.

ඒ කාලේ සරණ සිරි අය්යා පාසැල් ගියේ මාත් සමන්ත අය්යාත් සමග එකම පාසැල් බසයෙනි.

දඹදිව විසු අසිත තවුසාට සිදුවුවා මෙන් එකවරම කනගාටුවකුත් මා සිතට පැන නැගුණි.

එයට හේතුව වුයේ සරණේ පාසැලට පත්වූ දිනයේම ගම් වාසී ගුරුවරයෙක් ඇතුළු පිරිසක් එයට විරුද්ධව පෙත්සමක් ඉදිරි පත් කිරිමයි.

සරණේ ගමේ එකා නිසා ගම්මු අකමැති වුවා වත්ද?

කෙසේ වෙතත් විරුද්ධ වුවන් අතර විශ්‍රාම ගිය රජතුමා නැවත ගෙන්වන්නට වලිකන පිරිස් ප්‍රමුකත්වය ගෙන ඇති බවයි ආරංචි වන්නේ.

සරණේ අය්යාත් අපේ සමන්ත අය්යාත් එකම උපන් දිනයකට හිමිකම් කියන්නෝ වෙති.

අපේ අම්මා සමන්ත හම්බ වෙන්න රෝහලේ ඉඳිද්දී එහා ඇඳේ හිටියේ සරණේ අය්යලා අම්මා බව මා අසා තිබේ.

එලෙස එකට උපන් මේ දෙදෙනා  පසුකාලීනව එක ළඟ පන්ති දෙකක ඉගෙන ගත් අය වෙති.  එකම පන්තියේ නොවී එක ළඟ පන්ති වලට වැටුනේ කෙසේදැයි අයෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.

සමන්ත කිරඹඔය විද්‍යාලයට ඇතුල් වූ හැටි


ඒ කාලේ කිරඹ ඔය විද්‍යාලයේ විදුහල් පති තුමා ලෙස සිට ඇත්තේ රණසිංහ මහත්තයාය.  ඔහු පසු කලෙක කණිස්ටයෙදී චමින්දත් මමත්  වේවැල් පහරට බදුන් කල විදුහල්පති වරයාය.

රණසිංහ මහතා අපේ සමන්ත අඩු වයසින් කිරඹ ඔය  ඉස්කෝලේ හෝඩියේ පන්තියට  බාර ගත් දිනය  ගැන අම්මා සිහි කරයි.

 ඒ එදිනම සරණ සිරි අය්යාද රැගෙන ඔවුන්ගේ දෙමාපියන් ඉස්කෝලෙට පැමිණීම නිසාවෙනි.

රණසිංහ මහත්තයා සමන්ත බාර ගත්තත් සරණ සිරි බාර ගෙන තිබුනේ නැත.

එමෙන්ම අද මෙන්ම එදත් පොත පතේ වැඩ වලට දක්ෂයෙකු වූ  සමන්ත double promotion ලබා සරණ සිරිට වඩා එක පන්තියක් ඉහලට ගිය බව මා අසා තිබේ.

කෙසේ වුවත් අද සමන්ත වත් මම වත් මල්දෙණිය-කිරඹඔය පළාතකවත් නැත.

එහෙත් සරණ සිරිට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ. ඒ අපි සැම මුලින්ම අකුරු කල පාසලේ විදුහල් පති වීමේ අවස්ථාවයි.

සිසුන් නොදැන සිටියත් දෙමව්පියන් විසින් ඇති කල සිසු අරගල


අපේ අම්මලාට සමන්ත වගේම සරණේ ගේ දෙමව්පියන්ට ඔහු උගතෙක් කිරීමේ අවශ්‍යතාවය තදින්ම තිබෙන්නට ඇත.

සරණේ අය්යාගේ තාත්තා අපි බන්ඩේ මාමා ලෙස හඳුනා ගෙන සිටියෙමු. ඔහු අපේ අසල්වැසි ජේන් අක්කා ගේ බාල මලණුවන්ය.

බන්ඩේ මාමා ජේන් අක්කා වගේම කාටත් ඉතා ලෙන්ගතු මනුස්සයෙකි. ඒ කාලේ අම්මත් මමත් ඉරිදා පොලේ ගිය විට අරලගංවිල දී අපට හමුවන හිතවතෙකි.

"ආ..විමලා නංගි කොහොමද ?" බුලත් කහට පෙන්වමින් කට පුරා හිනාවෙන   ඔහු අසයි.   "ඔහේ ඉන්නවා අය්යා.." අපේ අම්මා කියයි.

" මේ චුටි පුතත් ඇවිත් ඉන්නේ සන්දේ පොලට..."  "යමුද තේ එකක්  බොන්න? " ඔහු අපට ආරාධනා කරයි.
අරලගංවිල "හිදායා" හෝටලයට  ගොඩවෙන අපි  සීනි බනිස් සහ කිරි කහට වලින් සප්පායම් වන්නෙමු. ඒ හිතවතාගේ  අනුග්‍රහයෙනි.


අද වගේ කාලෙක නම් ඔහුගේ බිරිඳ ඔහුට මහා ගෝරනාඩුවක් නගනු ඇත.  එහෙත් ගමේ ගොඩේ ඒ කාලේ හිතවත් කම් හරි පිරිසිදු ඒවා විය.


" අම්මා .. කවුද ඒ අපිට තේ අරන් දුන්න මාමා ?" මම අම්මාගෙන් ඇසුවෙමි. "ඒ බන්ඩේ මාමානේ පුතා . ජේන් අක්කගේ මල්ලි" අම්මා පිළිතුරු දෙයි.

මෙවැනි අව්‍යාජ ගතිගුණ පිරුණු අයෙක් වුවත් බන්ඩේ මාමාත්  ඔහුගේ බිරිඳත්  අපේ සමන්ත ත් සමග හරි හරියට තරඟ කරන්නට  සරණසිරිව පොළඹවා තිබේ.

ආරම්භය වන්නේ සමන්ත පාසැල් ගිය මුල් දිනයයි.  සමන්ත ඉස්කෝලෙට භාර දුන් වග කණ වැකුණු සැනින් සරණ සිරිවත් පාසැලට ගෙනෙන්නේ ඒ අනුවයි.

පසුකාලීනව සමන්තට වඩා පන්තියක්  පහලින් සිටි සරණ සිරි අය්යා ඉගෙනීමට ඉතා උනන්දු වූ අයෙකි.

විද්‍යා විෂයයන් වලින් උසස් පෙළ හැදෑරු ඔහු විශ්ව විද්‍යාලයට යනු ඇතැයි ගැමියන් බොහෝ දෙනෙක් සිතුහ.

අවාසනාවකට ඔහු විශ්ව විද්‍යාලයට තේරුණේ නැත. එහෙත් ගුරු වරයෙක් ලෙස සේවය ඇරඹු ඔහු අද අපේ ගමේ ඉස්කෝලේ විදුහල් පති වරයාය .

මේ පත්වීම ගැන ඉමහත් සතුටට පත් සමන්ත අය්යාත් මමත් සරණසිරි අය්යට උණුසුම් සුභ පැතුම් පිරිනැමුවෙමු.

ඒ ඉදිරියේදී කිරඹ ඔය විද්‍යාලය අරලගංවිල තිබෙන හොඳම ඉස්කෝල වලින් එකක් කරන්නට ඔහුට සහය වන පොරොන්දුවද සමගිනි.

සරණේ ටත් හිටපු රජුගෙන් උපදෙස්


දැන් නව විදුහල් පති තුමා මගෙන් ඉස්කෝලෙට නව ගේට්ටුවක් තැනීම සඳහා උදව් ඉල්ලයි.

මල්ලි මිනිස්සුන්ට ඕනේ ෂෝ .. එක  නේ ඔහු කියයි.


ෂෝ .. එක නෙවෙයි වැඩ පෙන්නන්න යැයි මම ඔහුට යෝජනා කලෙමි.

 ළමුන් අටක් ඉන්නා පහේ පන්තියේ දෙදෙනෙක් වත් ශිෂ්‍යත්වයෙන් සමත් කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

එය එසේ වුවහොත් රුපියල් 75000 ක් වැය කර ඉස්කෝලෙ ගේට්ටුව හදා දීමට මට සිදුවේ.

මම මගේ  බ්ලොග් රසිකයන්ටත් අවස්ථාවක් දෙන්නට අදහස් කරගෙන සිටිමි. අපි ශිෂ්‍යත්වයෙන් පසු කතා කරමු.

Sunday, 17 May 2015

මැදුම් පිළිවෙත ... පළමු කොටස.. (නම් ගම් මනඃකල්පිතයි)



නවකයින් ලෙස කරගම්පිටිය (නම් ගම් මනඃකල්පිතයි )

ඒ වසරේ අරලගංවිල මහා විදුහලෙන් වෙද විදුහලට තේරුණු ගණන පහළොවකි. ඉන් තුන් දෙනෙක් පේරාදෙනියටත්  එක්කෙනෙක්  ජයවර්ධනපුරටත්  ඉතිරි සියළු දෙනාම රුහුණටත් තෝරා ගෙන තිබුණි. මින් මා සහ අපේ පන්තියේම සිටි සොමිල ජයමාන්න  සුහද මාරු මගින් රුහුණෙන් කරගම්පිටියට මාරු වූ දෙදෙනා විය.  

අප ඇතුළු වුයේ කරගම්පිටිය වෙද විදුහලේ හතරවෙනි වෙනි කණ්ඩායමටයි. එය  සිසුන් 120 කින් යුතු එකකි.  අරලගන්විලින් කරගම්පිටියට  ගියේ මමත් මහා විද්‍යාලයේ මාත් අපේ 12 සී පන්තියේ  සිටි ඉන්ද්‍රානිත්  එක්ක එකට physics ගණන් හැදු සොමිල  ජයමාන්නත්ය. 

දැන් කරගම්පිටිය ෆැකල්ටියට කිට්ටුවෙන් බෝඩිමක් හොයන කාලයයි.  වැල්ලවායේ වෙහෙරයාය  ඉස්කෝලේ මා සමග වැඩ කල සිරිතිලක ලවා මුලින්ම නවාතැන් සෙව්වෙමි.  එය එතරම් සාර්ථක නොවීය.

මගේ ගොවිතැනේ ප්‍රතිඵල ප්‍රයෝජනවත් වුනේ මෙතැනයි. අරලගංවිල පොලේ එළවලු වෙළදාමට සති පතා කරගම්පිටියේ සිට පැමිණෙන  කේ. පී. මුදලාලි මට සිහි වුනේ හොඳ වෙලාවටයි.
සති කිහිපයක් මේ වෙනුවෙන් වැයකර අවසානයේදී රාගම කේ. පී. මුදලාලිගේ යාළුවෙකු ගේ ගෙදරක් බෝඩිම ලෙස තෝරා ගතිමි. එම නිවස පිහිටා තිබුණේ නා ඉටිපේ පළමු පටුමගෙහිය.

ඒ කාලයේ සමාජ සබඳතා වලින් මා තරම් නොපොහොසත් අයෙකු වූ සොමිලට තනියෙන් නවාතැනක් සෙවීම අපහසු විය.  ඔහු සුපුරුදු අහිංසකත්වයෙන්ම උඹ බලන බෝඩිමෙන්ම මටත් කාමරයක් බලපන් කියා මට කිව්වේ ඒ නිසා විය යුතුය.

බෝඩිමේ අන්කල් කරගම්පිටිය නගර සභාවේ එකල විපක්ෂයේ (ශ්‍රී ලංකා) නාගරික මන්තිවරයෙකි . බඩ මහත තට්ටය සහිත ඔහුට මිනිස්සු කිවේ  “ලොකු මහත්තයා” කියාය. ඔහුද කේ. පී.  මුදලාලිත් එක්ක එකට  කරගම්පිටිය පොලේ එළවලු විකුණමින් සිට දේශපාලනය නිසා බිස්නස් වලින් විශ්‍රාම ගත් අයෙකි.

අන්කල් හා ඇන්ටි මට  ඉස්සරහම තිබු කාමරය පෙන්වුයේ ( මේ මම කරගම්පිටියට එන්නට පෙර වැල්ලවායේ වෙහෙරයාය කනිස්ටයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කරන කාලයයි) අරලගංවිල සර් වූ මාත් එහි ගිය සිරිතිලක  හෙවත් ගාල්ලේ සර්වත් පුදුමයට පත් කරවමිනි.

 එක ඇඳක්.. මේසයක් , පුටුවක් ආදිය තිබු කාමරය එක කොල්ලෙකුට හොඳට අත පය දිගැරලා ඉන්න පුළුවන් එකකි.  


කවිඳුගේ තුල සැඟවී තිබු නොමේරු එහෙත් අහිංසක   තාරුණ්‍ය මතුවන්නේ මෙතනදීය.

" අන්කල් මට තව යාලුවෙක් ගෙන්න ගන්න ඕනේ.. එයටත් මාත් එක්කම ඉන්න ඕනේ කිව්වා.. හරි අහිංසක කොල්ලෙක්.." කියමින් මේ කුඩා කාමරයට ඇඳන් දෙකක් දමා දෙන ලෙස මා ඉල්ලන්නේ සොමිල වෙත දැනුන අව්‍යාජ සහෝදරත්වය නිසාමය.

ඉබ්බා දියට දාන්නද කියා ඇසු විට ඇන්නෑවයි බොලේ ...කිව්වේලු. 

ලොකු මහත්තයා “ හරි හරි පුතා අපි ඇදන් දෙකක් දාලා දෙන්නම්කෝ” කියා මා සැනසුවේ අතළඟ තිබෙන වාසිය නොදන්නා පරිද්දෙනි.

සොමිලටත් වඩා මට අනුකම්පාව තිබුණේ සොමිලගේ අම්මා ගැනය. ඇය හපුගස්තලාවේ සමුපකාරයක මැනේජර් කමක් කලාය.  එය ඔවුන්ගේ පවුලේ එකම අදායම් මාර්ගයයි.

ඇය සොමිල හා ඒ පවුල වෙනුවෙන් විඳි දුක් කියාපෑවේ  කෙසඟ සිරුරත් ,  දුකම උරුම වූ ඇගේ අහිංසක සිනාවත්ය. 

අම්මා එසේ වුවද පුතාලා දෙදෙනා  ඒ වයසේ බොහෝ තරුණයින් මෙන් විනෝදයට බර අය වුහ. 



කැම්පස් එකේ මුල්ම මාස තුන...

අපි දැන් කරගම්පිටිය වයිදය පීටයේ  ඉංග්‍රීසි ඉගෙන ගන්නා කාලයයි.  මේ සඳහා අවට පාසැල් වල දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් පිරිසක් යොදවා තිබුණි.

අපේ කොටසේ ඉංග්‍රීසි ඉගැන් වූ ගුරුතුමිය තරමක් වයසක කාන්තාවකි. ඩයස් මැතිණිය නමින් හැඳින් වූ ඈ එකල ව්‍යිදය පීටයේ ජනප්‍රිය ආචාර්ය වරයෙකු ගැන නිතර සඳහන් කලාය. “ඩොක්ටර් අල්විස් හරි හොඳ මනුස්සයා” “එයා නවක වදයට හරි විරුද්ධයි”  කියමින් ඇය ඔහු වර්ණනා කලාය.  මේ කතා කලේ ඒ කාලේ කායික විද්‍යා අංශයේ අංශ අධිපතිව සිටි සුචරිත් අල්විස් මහතා ගැනයි.

සුචරිත් අල්විස් මහතාට නවක වදය වහ කදුරු වැනි විය . ඔහු sadism සහ masochism ගැන අපට මුලින්ම කියා දුන්නේ මේ කාලයේදීය. 

ආරෝහ පරිණාහ දේහයකිනුත් සිත් ඇද ගන්නා සුළු කතාවකිනුත් යුත් සුචරිත් සර්ට විරුද්ධ වන්නට කිසිම හේතුවක් අපට තිබුණේ නැත.

අපේ තාබ්රු සර් නොමිලේ ඉගැන්වූ "මෙඩිකල් ටම්ස් "වලින් සන්නද්ධ වී සිටි මට එතුමියගේ ඉංග්‍රීසි ලොකු දෙයක් නොවීය.  
ඇය “මෙඩල්ලා  ඔබ්ලන්ගටා” කියමින් මහප්‍රාණ ටයනු  කියන විට මම ඒ පිළිබඳව ආචාර්ය උපාදියක් කරනු ඇතියි හීනෙන් වත් හිතුනේ නැත.

දිනක් ඩයස් නෝනා අපෙන් තම  විනෝදංශ මොනවාදැයි සෙසු සිසුන්ට ඉංග්‍රීසියෙන් කියන ලෙස ඉල්ලා සිටියාය.  මාතරින් පැමිණි සමදරා..  “මම සමදරා සේක්කුහැන්නදි  මගේ
විනෝදාංශය සුරතල් බල්ලන් ඇති කිරීම යැයි කීවාය.

“මම ගාල්ලේසිට පැමිණි බන්දුල කැටපේ ආරච්චි  මම විනෝදයට කරන්නේ රැම් පාර්ට් එකේ බයිසිකල් පැදීම”. එසේ කීවේ සිරිතිලකත් එක්ක රාගම රාජපක්ෂ එකේ ඉගෙනගත් පසුව හතරේ කණ්ඩායමේ කරගම්පිටිය කල්ලියේ ප්‍රමුකයෙකු වූ කැටයාය.

ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ගොස් මම වැඩ වරද්දාගත් හැටි තාමත් මතකය."මම අරලගංවිල මහා විද්‍යාලයෙන් පැමිණි කවිඳු. මගේ විනෝදංශ අතර ප්‍රධාන තැනක් ගන්නේ පොත් කියවීම හා එළවලු වැවීමයි"

ඉංග්‍රිසි ගුරුතුමියට ඉංග්‍රීසි අමතක වුවා වත්ද?

"හා .. ඔයාල තමයි එහෙනම් අපිට වස කවන්නේ... ඔයාලට කන්න වෙනම එළවලු හදාගෙන අපිට වස කවපු උඩරට එළවලු එවනවලු නේද? " කියමින් ඇය පරල වුවාය.

 පසු කලෙක හතරේ කණ්ඩායමේ වැඩ වලදී අපට මහා හිසරදයක් වූ උඩ .. පහතරට.. ඌව.. බස්නාහිර.. දකුණේ සමාජවාදීන් .. ආදී මෙකි නොකී .. නොයෙක් බේද  බින්න වලට මුලික විය හැකි අදහසක් අප අතරට ආවේ එලෙසිනි.

මේ මුල් කාලය තුලදීම අප හතරේ කාණ්ඩය නැත්තට නැති වන ලෙස බේද කල කණ්ඩායමක් වුහ. 

ඒ  පසුකලෙක මට කරගම්පිටිය පැත්තට වත් යාම එපා වීමට හේතුවක් වූ   අපේ ජේස්ට උත්තමයින් හෙවත්  3 කණ්ඩායමයි.

ඔවුන්ගේ කරගම්පිටිය කල්ලිය අපි ඔවුන්ට යටත් වැසියන් විය යුතුයැයි සිතු අතර ඉන් වැඩි පිරිසක් සිසුන්ට හිතවත් නැති “අජිත්  සමරසේන”  වැනි ගුරුවරුන්ගේ කීකරු ගෝලයෝ වුහ.

මේ අය අපේ  නියෝජිතයා කරන්න හැදුවේ කණ්ඩායමේ සිටි  මට්ටකුලිය ඩිපෝවේ  බස් ඩ්‍රයිවර් කෙනෙකුට ගැලපෙන මුණක්  ඇති අයෙකි.  

එමෙන්ම තුනේ කණඩායමේ බලවත් කල්ලිය ( කෙන්ගල්ලේ හා මාතර සිසුන්ගෙන් සමන්විත වූ පිරිස )  ඔවුන්ට කීකරු  අයෙක් බලෙන් යොදා  අපිව පාලනය කරන්නට කැස කැවුහ.


 නා ඉටිපේ පළමු පටු මගේ හවස් කාලයට කරක් ගහන අපි දෙන්නාට  හිටි ගමන් තුනේ සිසුන් හමුවේ.  
මෙසේ යන තවත් දිනක "කරා තුනේ" ටිකක් අහිංසක පාට තුන් දෙනෙක් හමු වුනේ අහම්බෙනි. 

බිබිල පැත්තේ සිට පැමිණ සිටි ඔවුන් සිටියේ එකම බෝඩිමකය.

මින් එක් අයෙක්  සොමිලට වැඩි පුර කිට්ටු කලේ සොමිලට වඩා ඔහුගේ ඉංග්‍රීසි කණ්ඩායමේ සිටි කෙල්ලෙකුට තිබු අකර්ශනයටයි.

සොමිලටත් මටත් කිසිම නවක වදයක් නොදුන් ඔවුන් හිමින් හිමින් සොමිල ලවා කෙන්ගල්ලේ ශිරාණි අල්ලාගන්නට බැලුහ.

සොමිල ලේසි පාසු සගයෙක් නොවන බව මා දැනගත්තේ ශිරාණි මුල් සති කීපයේදීම ඔහු විසින්ම දැලේ දා ගැනීමත් සමගය.

නවක පෙම්වතාට තුනේ කණ්ඩායමේ අළුත් නමක් ලැබුණි.  සොමිල  නොහොත් " පෙමා" උපදින්නේ මෙලෙසිනි..

දැන් දැන් පෙමා  මුල් කාලයේදීම කරගම්පිටියට හුරුවූ ලකුණු පෙන්නුම් කරයි. හවසට ශිරාණි සමග කොටුව දෙසට පවා ගමන් කරයි.

මේ අතර අලුත් බෝඩිමේ යසට හිටි සොමිලට.. තව බෝඩිමක් සෙවීමේ උණක් පහල විය.  
ඔහු හේතුව ලෙස  මට කිවේ..

"මචං මට පීනසේ තියෙනවා .. ඒක නිසා තමයි මේ කොන්ඩේ සුදුවෙන්නෙත්,..මට ළිදක් තියෙන බෝඩිමක් සොයාගන්න් ඕනේ" යනුවෙනි..

කෑම හා නෑමට ලිඳක්  සහිත බෝඩිමක් සොයා.

අප මෙයින් පසු දිනපතා.. බෝඩිම් සොයා ලොකු මහත්තයාල ගෙදර අවට පයින් යන දුරින් පිහිටි නා නා ප්‍රකාර ගෙවල් ( විශේෂයෙන් ලිඳක් පෙනෙන ගෙවල්) වලට ගියෙමු.

එලෙස  “බෝඩින් කාරයෝ ගන්නවාද “ අසමින් අපේ හවස් කාලය සහ සති අන්තය ගතකලෙමු.
ලිං තිබුන ගෙවල් හමුවුනද සොමිලයා ඒවාටත් අකමැති වීමට යම් යම් හේතු ඉදිරිපත් කළේය.

දැන් දැන් මෙගේ ඉවසීමේ සිමාව ද ( මගේ සගයාට සරිලන බෝඩිමක් සෙවීමේ)  ඉක්මවා යමින් පවතී.
ඒ මදිවට ඔහු මට පෙනෙන්න බැරි මුනත්තහඩුව සහිත හාදයා  සිටි රාගම කල්ලියටද එකතු වුයේය.

එක් දිනක් මේ අරලගංවිල පුතාල දෙන්නා හවස සාමාන්‍ය  චාරිකාව ( නෑම, කෑම සහිත බෝඩිම සෙවීමේ මෙහෙයුම) නිමකර ගෙදර ආවේ හොඳටම හෙම්බත් වී අත පය කොර ගසමිනි.

ඒ  "කාමර ඇත" කියා බෝඩ් එකක් ලිං ගැට්ටේම ගසා තිබු ලොකු ඉඩමක තනියෙන් තිබු නිවසකට යාමෙනි.

පසුව අප කණ්ඩායමේ (කරා 4) කෙන්ගල්ලේ අපේ සගයින් පස් දෙනෙකුට උරුමවූ මෙහි ඒ වනවිට ඉඳ තිබුනේ  කෙන්ගල්ලේ 3 කණ්ඩායමේ ජේස්ට උත්තමයින් 5 දෙනෙකි.

ගොදුරු දෙකක් අතටම ලැබුණු මේ පිරිස  පෙමාටත්  මටත් හොඳ හැටි සැලකුවේ

 " හා තොපිට කෑමයි.. නෑමයි.. ..ලෑමයි තියෙන බෝඩින් නේද" එච්චරයි අඩු කියමිනි.

මොවුන් අපට කරන්නට කි සමහර දේවල් වලට මට පිටි පස්ස පැත්තෙන් හිනා පහල වුවා යැයි කිවොත් නිවැරදිය. 
ඒ     කුඹුරේ,  වත්තේ,  කැලේ, කොලේ ගැවසී පැමිණි මට ඒවා මහා ලොකු කජ්ජවල් නොවුණු නිසාය.

මෙහිදී සිදුවූ සමහරක් දේ අතර මගේ බෙල්ලට දිලිසෙන පිහියක් තියා තුනේ උතුමෙක් කරපු වික්‍රමය  මට තවමත් සිහිවේ.

තමන් අසහාය විප්ලව වාදියාගේ ගමේ අය යැයි ආඩම්බර වූ මේ උතුමන් නොදැන සිටි කාරණයක්  විය.  

ඒ ඔවුන් ටත් වඩා පර හිතකාමී විප්ලවීය මිනිසෙක් ඔවුන් ඉදිරියේ සිටින බවයි. 

ඒ දෑ හිතකාමියාට මෙවැනිම දිළිසෙන රම්බෝ පිහියක් එල්ල වන්නේ සිය පාසැල් කාලයේ අවසාන මාස කිහිපයේදීය.


මල්දෙණියේ කවියා සහ හෙළ තල්පේ කවියා

ලිඳ ළඟ බෝඩිමේ නවක සංග්‍රහයේ මා සිත් ගත් අංගයක්ද විය. ඒ පෙමා ඔහුගේ ගම වූ හෙළ තල්පේ කවියා වීමත් මම මල්දෙණියේ කවියා වීමත්ය.

අප දෙදෙනාට අසැබි වදන් සහිත කවි කොළ දෙකක ලැබිණි. ඒ වා වරින් වර හඬ නගා කීමට අණ කෙරුණි. මම කවදත් කවියට සින්දුවට ආශා කල බව මා හොඳින් හඳුනන්නෝ දනිති. තල්පේ කවියා එක කවියක් කියා අවසන් කළා පමණි.

හා.. හා  කෝ මල්දෙණියේ කවියා ජේස්ට උතුමෙක් පවසයි.. මම රැල් බුරුල් හැර පටන් ගතිමි.. මහා බඹු නිදැල්ලේ....ඒ ඒ ....ගමටම ඇහෙන්න ශබ්ද කලෙමි.  බෝඩිම අසල පාරට පෙනෙන දුරින් පිහිටි එකකි ..

“ඒයි ඒයි හිමිහිට කියහන් බන්... පාරේ යන උන්ට ඇහෙයි”. අපේ උතුමානන්ලා  කලබල වුහ.

පසු කලෙක මා දැන ගත පරිදි ලිඳ ළග බෝඩිමේ  සිටියේ තුනේ කණ්ඩායමේ කෙන්ගල්ලේ කට්ටියකි.

කෙන්ගල්ලේ, මාතර හා කඹුරුපිටියේ  අය එකතු වී ඔවුන්ට යටහත් අයෙක් හතරේ නියෝජිතයා කිරීමට උත්සාහ කල බව ප්‍රසිද්ධ රහසකි.

එකල තුනේ නියෝජිතයා වූ සුජිත් හෙවත් කදෝපැණියා මේ වනවිට සිටියේ  තුම්මෝදර හොස්ටල් එකේය. ඔහු කැකනදුර ප්‍රදේශයෙන් අපේ විශ්ව විද්‍යාලයට පැමිණි අයෙකි.

මේ අයත් සොමිලයා හෙත්තුවූ පැත්තේ තුනේ අයත් හරි හරියට එක්වී "කරා හතර" බේද බින්න කර දැමුහ. 

ඒ   අජිත්  සමරසේන වැනි අයගේ ආශිර්වාදයද නොමදව ලබමින්  බව මගේ පිළිගැනීමයි.

අප වැනි කල්ලි සැදිය නොහැකි එකා දෙන්නා සම්පුර්ණයෙන් නොසලකා හැරිනි. අපේ සාමුහිකත්වය පිලිබඳ අදහස් විමසිමක්වත් නොකෙරුණි.

මේ දෙපිරිසේම අය තම තම ගම් වල මල්ලිලාට පොත් පත් දී  උදව් කළහ. 

නංගිලාට බොහෝ විට ඒ පළාත් වල අක්කලගෙනුත් යාලු වෙන්න දඟලන අය්යලගෙනුත් උදවු ලැබුණි.

පෙමා , මා මෙන්ම තනියෙන් පැමිණි මොණරාගල යසරත්න බණ්ඩාර උහනේ විමල් සතිස්චන්ද්‍ර වැනි උන් නොසලකා හැරිණි. 

ඒ  අපි කල්ලි දෙකටම නොවැදගත් යයි සිතු නිසා විය හැකිය.

ඒ මදිවට.. අපේ කරුමයට දෝ අරලගන්විලින් කලින් පැමිණි සිටි අයගෙන් අපට කිසි සරණක් නොවීය. 

ඔවුන් අප වැනිම කණ්ඩායමකට එකා දෙන්නා බැගින් පැමිණි  අපේ පාසලේ අය්යලා අක්කලා වුහ. 

මේ අයට අර කල්ලි දෙක මෙන් අපව හැසිරවීමේ හෝ අප ගැන සොයා බැලීමේ හෝ උවමනාවක් නොතිබුණි.



දෙවියන්ගේ කැමැත්ත-තුම්මෝදර

දිනක් කැන්ටිමේ තිබු දැන්වීමක් දුටු මම අවසාන තීරණයට එළඹුනෙමි. 

පෙමාට ඕනෑ කුදයක් ගහ ගන්නයි කියා තුම්මෝදර  ශිෂ්‍ය නේවාසිකාගාරයට  යන්නට ඉල්ලුම්පතක් දැම්මේ .. ඒ ගැන මෙලොව හසරක් නොදැනය.

තුම්මෝදර ප්‍රසිද්ද වී තිබුනේ කෙන්ගල්ලේ බෝඩිමටත් අන්ත සහෝදරවරුන් ගහන සහෝදර ගුලාවක් හැටියටය. 

එහෙත් එය නවීන පහසුකම් සහිත වැසිකිළි , කාමර ආදියෙන් සමන්ත විත වුවක්  විය.

 කරා තුනේ සගයින් සහ කට ඇති සිසුන්ට බය පිරිස්  විසින් බය කර තිබු අපේ බැචාලා එහි නොගොස් අඩු පහසුකම් ඇති තැන්වල දුක් වින්දාහ.

අපේ කණ්ඩායමේ එකෙක් වත් රැග් සීසන් එකේ මුලම මෙවැනි ඇඟ කිලිපොලා යන තීරණයක් අර ගත්තේ නැත. ඔවුන් අඩු පහසුකම් ඇති පොඩි පොඩි බෝඩිම් වලට වී තම තම ගම පළාත් වල අය්යලා ගේ උපදෙස් මත පොත පතේ වැඩ කළහ.

 අරලගංවිල නම් කවුරුත් වැඩි පුරා ගණන් නොගන්නා ප්‍රදේශයකින් පැමිනි අප දෙදෙනාට එවැනි අය්යලා නැත.

පෙමා  ටික ටික කරගම්පිටිය කල්ලියට සම්බන්ද වුවද උන් වැඩි හරියක් අන්ත ගුණමකුවන් ගෙන් පිරි තිබුණු කල්ලියකි. 

ඔවුන්ට පෙමාට කල දෙයක් නැත . හොඳට රහ මෙර සප්පායම් වීමට ඉඩ සැලසුවා පමණි.

පසු කලෙක දෙවැනි වසරේ විභාගයෙන් විෂයයන් තුනම අසමත් වූ පෙමාට බෝඩිමටම ගොස් කුප්පි දුන්නේ මා විසින්මය.

 මගේ කාමරේ දෙකට බෙදා මගේ විහින් ම ලඟට ගත් මගේ පාසැල් සගයා (මොහු ජාලියලා , ගැට්ටලා වාගේ මා සමග උරෙනුර ගැටී සිටි අයෙක් නොවීය)   මාව එලවා දමන්නට හදයි. 

මේ වන විට වෙනත්  විකල්පයක් නැති තැනට පත් වී සිටියෙමි.  

අවසානයේ  ඕන දෙයකට ඔට්ටුයි සිතමින් තුම්මෝදරට පා නැගුවෙමි. 



මට මගේ "ස්වයං පාලනය" ගැන ලොකු විශ්වාශයක් තිබීම මේ තීරණයට එළඹීමට තුඩු දුන් අනික්  හේතුවයි. 

ඒ වනවිට මම සහෝදරයෙක් වූවොත් වෙන්නේ කාට වත් ඕන නිසා නොව මට හිතුනොත් පමණි යන්න අවධාරණය කරගෙන සිටියෙමි. 

ඒ අදහස ගලේ කොටා තිබුණාක් මෙන් මා සිතට කා වැදී තිබුණි.

ඇත්ත වශයෙන්ම  කවිඳු ජයසිංහ යනු අපේ වැනි විශ්ව විද්යලවල එකල පුරෝගාමී සහෝදයරන් ගේ ක්‍රියා කලාපය තදින් විවේචනය කල අයෙකි. 

ඔහු  ඔවුන්ගේ වත්මන් ක්‍රියාවන් පිළිබඳව  ඒ  කාලයේදීම ඉඟි පල කල, ඒ බොරු සහෝදරයින් තඹයකට වත් මායිම් නොකළ අයෙක් විය.


එහෙත්  කණ්ඩායමේ බහුතර  දෙපිරිසට අයත් කරගම්පිටිය හතරේ  අපේ උන් සිතුවේ වෙනෙකකි. 

ඔවුන් මෙවැනි නිර්පාක්ෂිකයකු වූ අහිංසක මා ඉබේම සහෝදර වරුන් ගොඩට ඇද දැම්මෝය.

ඒ මගේ ඇත්ත පාක්සිකත්වය කුමක්දැයි මගෙන් වත්   නොවිමසාය.

කෙන්ගල්ලේ හතරේ සගයෝ මෙන්ම අජිත්  සමරසේන වැනි තම රැකියාව හරියට හඳුනා නොගත් ගුරුවරු සිතුවේද මෙයමය. 

අජිත් යනු හුදී ජනයාගේ කරුමෙට consultant කෙනෙකු වූ එහෙත් තදබල හීනමානයකින් පෙළුණු අයෙක් බව මම අදටත් විශ්වාස කරමි. 

තුම්මෝදරදී මට ලැබුනේ කදෝපැණියාගේ කාමරයට ඉස්සරහ කාමරයයි. එක වරම තට්ට තනියම කඩා පාත්වූ මේ නිර්භීත හතරේ එකා දැක එහි සිටි ජෙෂ්ටයන් පුදුම වූ බවක් පෙනෙන්නට තිබුණි.  ඔවුන්ට දෙන්නට නවක වද සීතා ගන්නට බැරි වූ ගානය.  මට කිව්වේ නවක වද සමයේ  සිදුවන රසවත් දේවල් කිරිමටයි.

ඒවා අතර හොස්ටල් එකේ සියල්ලන්ම හඳුනාගත හැකි අංගයක් විය . ඒ වෙස්මුහුණක් පමණක් පැළඳ රැ එකොළහත් දොළහත් අතර කාමර වලට බලෙන් එබීමයි. අනතුරුව ඒ ඒ කාමර වලදී ලැබෙන අංග රඟ දැක්විය යුතු විය.

කවි මෙන්ම සින්දුද මෙහිදී  ගායනා කරන්නට සිදු විය. මම ඒවා ඉතා කැමැත්තෙන් සිදු කලේ  එහි සිටි වැඩි පිරිසක් ඉතා හිත හොඳ සගයින් බව වටහා ගනිමිනි. 

පසු කලෙක මගේ ළඟම මිතුරන් බවට පත්වූ කිහිප දෙනෙක්ම මෙහි අප සමග දුක සැප බෙදා ගත් ජේස්ට හා  කනිෂ්ට සොහොයුරන්ය.

දිනක් රාත්‍රියේ කදෝ සහ ඔහුගේ කණ්ඩායමේ තුම්මෝදර  කට්ටිය මා සමග බරපතල සාකච්චාවකට සහභාගී වුහ.  මාතෘකාව වුයේ හතර කණ්ඩායමේ නියෝජිත තනතුරයි.

“වෙස්මුනා ... උඹ කැමතිද  හතරේ නියෝජිතයා වෙන්න?”  “අපි උදවු කරනවා බය වෙන්න එපා “
 රාගම අය බදුගේ  නම් අයෙක් ඉදිරියට ගෙනෙන බවද මට පැහැදිලි කෙරිණි.

ඇත්ත වශයෙන්ම කියනවා නම් මම එම තනතුරට කැමැත්තෙන් පසු වුයෙමි. ඒ කවදත් මගේ තිබු අන්‍ය සේවයට ඇති කැමැත්තයි. 

අරලගංවිල විද්‍යාලයේදී අපි ඕනෑ තරම් හොඳ නායකයෝ දැක ආශ්‍රය කර තිබු බව සත්‍යයයකි.

එහෙත් මේ වන විටත්  කරගම්පිටිය වයිද්ද්‍ය පිටයට පිළිලයක් ව තිබු මේ කල්ලි කෙරුවාව හොඳින් දැන සිටියෙමි.

 මා ඒ යෝජනාව කදෝපැණියාට ඉතා කාරුණික වෙමින්   වුවත් හිතට එකඟව එක හෙලා ප්‍රතික්ෂේප කලෙමි.

Friday, 15 May 2015

ටොකු මුත්තා සහ පේර මුත්තා



අපි කුඩා කාලයේ අපේ ගෙදර ආ ගිය අය අතර සිටි අපේ සිත් ගත් පුදගලයින් දෙදෙනෙකි. ඒ අපේ මුත්තලා දෙන්නාය. එක් අයෙක් අපේ අම්මාගේ  පියාණන් වූ ආර්. ඇම්. සුභේරත්න බණ්ඩාර හෙවත් අපේ කිරඹ ඔයේ  මුත්තාය. අනෙක් මුත්තා ජේ. ඇම්. ලොකුබණ්ඩා හෙවත් අපේ තාත්තාගේ පියාණන්ය. ලොකු බණ්ඩා මහතා  ජීවත් වුයේ අපේ ගම වූ මල්දෙණිය ප්‍රදේශයේය.

කිරඹ ඔයේ මුත්තා.


කිරඹ ඔයේ මුත්තා හෙවත් අපේ අම්මාගේ පියා සුභේරත්න බණ්ඩාර යන නමින් හැඳින් විනි. ඔහු චමින්දලාගේ මුත්තාගේ බාලම මල්ලීට පෙර උපන් සහෝදරයායි. අපේ මුත්තාගේ අය්යලා හැම දෙනාම කොන්ඩේ බැන්ද අය වූ අතර කොන්ඩේ කැපු එකම රාජපක්ෂ සහෝදරයා ඔහු විය. එමෙන්ම රත් පැහැ හමකින් යුක්ත වූ නිසා ගැමියන් සමහර විට ඔහු "රත්තා" නමින්ද හැඳින් වූ බව මා ආසා තිබේ.
 වරක් අපේ  ලොකු නැන්දාගෙන් මා ඇසු පැනයකි.

 "නැන්දා අර හින්නි මාමගේ නළලේ පැල්ලමක් වගේ තියෙන්නේ මොකක්ද?"
 "ඒ ඉතින් රත්තාගේ වැඩ තමයි."

"රත්තා කියලා කිව්වේ ?"

"ඇයි තොපේ රත්තා මුත්තා .. කිරඹ ඔයේ ඉන්නේ..?" ඇය දුන් පිළිතුරයි.

හින්නි මාමා සමග සිය තරුණ කාලයේ ඇති වූ අරෝවකදී "හින්නාගේ නළලට රත්තා විසින් පොරෝ පහරක් එල්ල කර ඇති බව"  පොත පතේ සඳහන් වන බව ලොකු නැන්දා මා සමග කීවාය.

මේ පිබඳව අම්මාට කිවූ පසු ඇය අපේ මුත්තාගේ රත්තා නාමය ගැන ඒ සිද්ධියම මතක් කරමින් කියා  දුන්නා මතකය.


අපේ මුත්තා ඒ කාලේ සුද්දන්ගේ තේ වතු වලට මානං සැපයු කොන්ත්‍රාත් කරුවෙකි. එම නිසා එවකට ගම්මුන් ඔහුට තවත් නමක් පට බැඳ තිබුණි. ඒ "මානං බාස් " යන නාමයයි. ඔහුගේ යටතේ අපේ අම්මා හා තාත්තාද සති අන්තවල මානං සැපයුම් කරුවන් ලෙස වැඩකළ බව මා අසා තිබේ.

මුත්තා එකල ගමේ බලවත් මනුස්සයෙක් බව මට තේරුම් ගිය එක අවස්ථාවක් මගේ සිහියට නැගේ.

මාත් අය්යත් පන්සලේ ගිය දවසකි. අපට පන්සලේ ලොකු හාමුදුරුවන් මල් ආසනය ළඟ ඉඳන් පන්සිල් දී අවසන් වුවා පමණි. ලොකු හාමුදුරුවෝ කොහොමද සමන්ත කියමින් අය්යත් එක්ක කථාව පටන් ගත් සේක.  මගේ නෙත ගියේ බුදු පිළිමයට පහළින් තිබු මල් ආසනය වෙතයි.

එහි තිබු රතු අකුරින් ලියු නම් දෙකකි.  "පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිර " යැයි  උඩින්  ලියා තිබුණි. ඊට පහළින් "ආර්. ඇම්. සුභේ රත්න බණ්ඩාර" යනුවෙන් අපේ මුත්තාගේ නම දැකගත හැකි විය.

"මේන් අපේ මුත්තාගේ නම" මට කියවුනේ ඉබේටමය.

"ළමයා.. තමුන්ගේ මුත්තා තමයි මේ පිළිමයේ තැන්පත් කරලා තියෙන ධාතු අපිට ලබා දුන්නේ" .

පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිරයෝ එසේ පවසා සිටියේ මගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.

ටොකු මුත්තා


ගමේ අය එක එක නම් වලින් අපේ මුත්තා හැඳින් වුවද අපි ඔහු මල්දෙනියේ මුත්තාගෙන් වෙන්කර හඳුනා ගත්තේ වෙනත් නමක් හේතුවෙනි. අපේ අය්යත් අක්කාත් කිරඹ ඔයේ මුත්තා හැඳින්වුයේ  "ටොකු මුත්තා " යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව ඔහු අපිත් සමග තරහා ගිය විට අපිට ටොකු අනින්නෙක් වීමයි.

වරෙක මල්දෙනියේ අපේ ගෙදර එන ඔහු  "මම ටික දවසක් ලොකු කෙලීලා ගෙදර ඉන්නවා " කියා අපත් සමග නවතියි.  මෙය අපේ වත්තේ කෙසෙල් පඳුරු , කෝපි ගස් ආදියට හොඳ කල දසාවක් ලබන කාලයකි. ටොකු මුත්තා වෙලාවකට අපට ටොකු අනිමින් වැඩ ගන්නේ කෙසෙල් පඳුරු බත් දාන් කන්න පුළුවන් තරමට සුද්ද කරමිනි.  මුලින් මැරුණු කෙසෙල් කොළ කපා  ඉවත් කරන ඔහු ඉන් පසු  ඒවා වටා ලස්සනට පස් ගොඩ කරයි.


ඉතාමත් පිළිවෙලට අදින පළදින කෙනෙක් වූ අපේ ටොකු මුත්තා කෙරෙහි බොහෝ පිරිස් ආකර්ෂණය වී සිටි බව මා අසා තිබේ.

කාලයක් ඔහු  කහට ගහ වත්ත නම් ඉඩමේ තනියම පැලකට වී ජිවත් වුයේය.  තම ගෙදර සිට කිලෝ මිටර තුන්කාලක් පමණ දුරකින් වූ මෙහි මුත්තා  උයා පිහා ගත් අවස්ථාද තිබුණි.  බොහෝ දිනවල ආතම්මා බැඳ දෙන බත් මුල කහට ගහ වත්තට අරන් යාමේ රාජකාරිය කුඩා අපට පැවරේ.

ඇයගේ එළවලු රස මදි නිසාදෝ මුත්තා අසල ඇති රටබටු තක්කාලි ගසෙන් ගෙඩි කීපයක් කඩා තෙල් දා ගනියි.
අපටත් මඩක්කුවකට බත් ටිකක ලැබෙන බව දන්නා මා කෙළ ගිල ගිල බලා සිටින්නේ මේ රට බටු ඇඹුල රස බැලීමටයි.



කිරඹ ඔයේ කවි මඩුව


අපේ රත්තා මුත්තා ඒ දිනවල රහ මෙර පානය කල බවක් හෝ සුරුට්ටු පාවිච්චි කල බවක් හෝ මා දැක නොමැත. සියළු දුසිරිතෙන් තොර එහෙත් කිසිදාක පන්සලේ සිල් ගන්න නොගිය කෙනෙක් ලෙස මට ඔහු මතක තිබේ.

කහටගහ වත්තේ සිට අපේ අම්මලා මහා ගෙවල් පැත්තට එද්දී අපට හමු වන්නේ අළුත් ගෙදරයි. අළුත් ගෙදර ආතම්මා මියගොස් සිටි අතර එහි ජීවත් වුයේ බෝගොන් මුත්තා පමණි.
බෝගොන් මුත්තා දිළිසෙන තට්ටයකින් සහ බුරුසුවක් වැනි උඩු රැවුලකින්  යුක්ත අයෙකි.  එමෙන්ම හතරේ හයේ පුද්ගලයෙකු වූ තට්ට බෝගොන්  කොටු  කොටු සරමට තඩි රිදී හවඩියක් බැඳ සුදු අත් කොට බැනියම ඇන්දහම ඇත්තේ අමුතු අලංකාරයකි.

හවස් වෙද්දී රා කට්ටකින් සප්පායම් වෙන මොහුගේ සමාගමට  රා නොබිව්වද අපේ කිරඹ ඔයේ මුත්තාද එකතු වේ.  එවිට ආරම්භ වන්නේ හිටිවන කවි මඩුවකි. බෝගොන් බොහෝ විට කිවේ දෙපැත්ත කැපෙන වචන ඇති සීපදයි. එකල අවුරුදු පහක් හයක් වයස චු කොල්ලෙක් වූ මට ඒ සීපද වල තේරුමක් දැනුනේම නැත. එහෙත් පසු කලෙක ඒවා බොහොමයක් නොසරුප් වචන සහිත ඒවා බව තේරුම් ගතිමි.

මල්දෙණියේ මුත්තා


අපේ තාත්තගේ තාත්තා ඒ දවස් වල ජිවත් වුනේ පල්ලැහැ තිබු පොඩි බාප්පලා ගෙදරයි. සුභේරත්න මුත්තා මෙන් රතුම රතු නොවුණට මේ මුත්තාද අපට වඩා පැහැපත් පෙනුමකින් යුක්ත විය.  ජේ. ඇම්. ලොකුබණ්ඩා යන නමින් හැඳින් වූ මොහු නුවර කඩුගන්නාව ප්‍රදේශයේ සිට අරලන්ගවිලට ඇවිත් තිබුණේ සුද්දාගේ බංගලාවේ ප්‍රධාන කෝකියා ලෙස සේවය කිරීමටයි.

අපේ තාත්තා කුඩා කාලයේ බංගලාව අසල ගැවසෙන විට දෙමල මිනිසුන් විසින් ඔහු "දොරේ දොරේ " කියමින් සුරතල් කල බව මා අසා තිබේ. අපේ තාත්තට දැනටත් ගමේ සමහරු "දොරේ මාමා" කියා අමතන්නේ මේ හේතුව නිසාවෙනි.

මල්දෙනියේ මුත්තාට කිරඹ ඔයේ මුත්තාට රත්තා කීවා මෙන් "සුද්දා" වැනි නමක් ගම්මුන් පට බැඳ තිබු බවක් මා අසා නැත. එහෙත් අය්යා අක්කා ඇතුළු අපි කට්ටිය ඔහුට කීවේ "පේර මුත්තා" කියාය. අපේ තාත්තා මෙන් සැර  පෙනුමක් නොව ඉතා ලගන්නා සුළු සිනහවක් සහිත වූ මේ පේර මුත්තා 1980 දශකයේ මුල් භාගයේදී අප හැර එලොව ගියේය. මේ මුත්තාද මත්පැන් බිඩි, සුරුට්ටු ආදී කිසිවක් පාවිච්චි නොකළ ආදර්ශමත් පුද්ගලයෙකි.

අප තාත්තලාගේ මහ ගෙදර ගිය අවස්ථාවල අපට රතුම රතු ජෑම් පේර දෙන්නෙක් නිසා ඔහු "පේර මුත්තා" විය.



අපේ මේ පල්ලැහැ මුත්තාද කිරඹ ඔයේ මුත්තා මෙන් අපේ ගෙදර අවට වැඩ වලට අප යොදා ගත්තේය. එහෙත් ඔහු ටොකු වෙනුවට අපට දුන්නේ පේර නිසා අපි ඔහුට මේ  නම්බු නාමය ලබා දුන්නෙමු.

මල් දෙණියේ මුත්තා ගැන සොඳුරු මතක රාශියක් තිබුනද මට වඩාත්ම ඔහු මතක් වන්නේ ඔහුගේ මරණ යත් සමගිනි.

මුත්තා ලෙඩ ඇඳේ සිටිද්දී වඩාත්ම ශෝක වූ පුද්ගලයා වුයේ අපේ තාත්තාය. අම්මා කිව් ආකාරයට අපේ පේර මුත්තාගේ පණ ගිහින් තිබුණේ අපේ තාත්තගේ අත් දෙක මතය. ඒ අවාසනාවන්ත දිනයේදී තාත්තා හොඳටම ඇඬුව  බව අපේ අම්මා අපට පැවසුවාය.

මේ ගැන කිසිම ගානක් නැතිව සිටි මා මුත්තාගේ මරණේ පෙට්ටියෙන් එකයි කියන්නා සේ බලා සිටියේ අවසන් කටයුතු කෙරෙන දිනය ගැනයි.

එදා පොඩි බාප්පාගේ ලොකු පුතා අමල් ටත් මටත් පුදුම විනෝද ජනක දිනයකි.  අවුරුද්දක වෙනසකින් මට මල්ලී වූ අමල්ද එකල මා වැනිම අණ්ඩපාලයෙකි. අපි දෙදෙනා මළ ගෙදර කල වැඩක් නොමැත.කල එකමදේ  එහි තිබු අමුත්තන්ට සංග්‍රහ කරන්නට ගෙනා දේ වලට වග කීමයි.

ශාන්ති අක්කලා අපේ අක්කලා වැනි යුවතියන් පැමිණි පිරිසට ඔරේන්ජ් බාර්ලි විදුරු තැබූ බන්දේසි අල්ලමින් සිටියහ.
ඒ ශෝක ජනක දිනයේ අමල් හා මම නයිස් බිස්කට් කමින් තරගයට ඔරේන්ජ් බාර්ලි බිව්වේ  බන්දේසි එන එන පැත්තට ගොසිණි.


Saturday, 9 May 2015

උමා ඔය නිම්නයෙන් කිරිඳි ඔය නිම්නයට......






එවකට මා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යෑමට බලා පොරොත්තුවෙන් සිටියෙමි.  පන්තියේ අනිත් සගයන් වූ තාරක , ඉඳුනිල්  මෙන්ම ඉහල පන්තියේ සිට අප සමග විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වූ සමන්තද අප සමග ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිති. අප කාගේත් ඉංග්‍රීසි ගුරුවරයා වූ “ආබ්‍රෙව් සර්” මළලසේකරය ඇසුරින් අපට උසස් අද්‍යාපනයට වැදගත් වන වචන කියා දුන්නේ මේ කාලයේදීය.

මිරහවත්තේ විසු සමන්තත්  කදුරුගමුවේ සිට පැමිණි තාරකත් එකල මාගේ ලඟම හිතවතුන් විය. මේ දෙදෙනාම උසස් පෙළ ඉහලින්ම සමත් වී සිටි අයයි . එසේම ඔවුන්  මා මෙන් ජයටම එළවලු වගා කල ගොවි තරුණයෝ වුහ.

මම තාරක බලන්නට කදුරුගමුවේ ගිය සමහර දිනවල කෙලින්ම යන්නේ ඔවුන්ගේ කුඹුරටයි. හේතුව ඒ වනවිට තාරකලා අම්මා, නංගි මල්ලී ඇතුළු සැවොම තක්කාලි කොටුවේ තක්කාලි බඳිමින් සිටීමයි. නිලට නිලේ දිලිසුනු තක්කාලි පඳුරු අතර අව්වේ කරවී තම දෙකොපුල් රතු වූ තාරකගේ නංගි මා මතකයට නැගේ. විඩාබර ඇයගේ මුහුණත්  බාගෙට ඉදී ගෙන එන තක්කාලි ගෙඩියකත් වෙනස තෝරා ගැනීමටත් අපහසු ගානය.



මේ පවුලත් අපේ පවුල මෙන්ම ඉගෙනීමටත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් එකසේ හපන් කම් පෑවේය. අද තාරක අසල රෝහලක ව්‍යිදය වරයෙකි. නංගි කළමනාකරණ හදාරා ලොකු රස්සාවක් කරයි. මා සිතට  වත්මන් ඌවේ තරුණයින්ට මෙවැනි අවස්ථා උදා වේදෝයි සැකයක් ඇතිවේ.

තාරකාලා මෙන්ම එකල මිරහවත්තේ උමා ඔය නිම්නයේ ජයටම අර්තාපල් වගා කල සමන්ත මනතුංගලා  උත්සහ වන්ත ගොවි තරුණයෝ වුහ. අධ්‍යාපනයත්  ගොවිකමත් එකසේ උනන්දුවෙන් කල සමන්තලාගේ සහ අපේ ජිවිත එතරම් සරල හා විනෝද ජනක විය.

තාරකටත් මටත් ගුරු පත් වීම්


අබ්‍රෙව් සර් ගේ පන්ති යන ගමන් අපි කිහිප දෙනෙක්ම  DELIC විභාගයට පෙනී සිටියේ රස්සාවක අවශ්‍යතාවයටත් වඩා විනෝදයට මෙනි.  “ලැබුනොත් ලැබේවා...! “ යන සිතිවිල්ලෙන් ලිවූ විභාගයෙන් තාරකයත් මමත් ඉහලින්ම සමත් වී තිබුනේය.  අපට ලැබුනේ  DELIC  පාඨමාලාව නොව DIRECT පත් වීම්ය. හේතුව අපේ ලකුණු මට්ටම සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පැවතීමයි.

මේ හදිසියේ කඩා පාත්වූ ගුරු පත්වීම් නිසා උමා ඔය නිම්නයේ සාර්ථක එළවලු වගාවකට ආයුබෝවන් කියන්නට තාරකටත් මටත් සිදු විය.  එවකට  කිරිඔරුව ප්‍රදේශයේ උත්සහාවන්තම එළවලු ගොවියෙකු වූ මා එය සිදුකලේ කැමැත්තකින්ම නොවේ. ඒ බව සනාථ කරමින් ඉරිදා සෙනසුරාදා නිවාඩු දවස් වල ගමේ එන මා තවදුරටත් වගා සටනේ නිරත වුයෙමි.

නවක ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස අප පත් වීම් ලැබුවේ වැල්ලවායේ වෙහෙර යාය ප්‍රදේශයටයි.  තාරක වෙහෙරයාය මහා විදුහලටත් මම වෙහෙරයාය කනිෂ්ටයටත් අනුයුක්ත කර තිබුණි. මා සමග වෙහෙරයාය කනිෂ්ටයට පත් වූ තවත් ඉංග්‍රීසි ගුරුවරයෙකි. සිරිතිලක නම් ඔහු පැමිණියේ ගාල්ලේ වක්වැල්ල ප්‍රදේශයෙනි. තාරක  ලොකු ඉස්කෝලේ ළඟ බෝඩිමක් සොයාගත් අතර සිරාත් මමත් ඉස්කෝලේ විදුහල් පති තුමා සොයා දුන් බෝඩිමකට ගියෙමු.










සුද්දී අක්කාගේ බෝඩිම.


වැල්ලවාය තණමල්විල පාරේ මද දුරක් ගිය තැන හමුවෙන්නේ දෙහිගස් හන්දියයි . එතැන් සිට කිලෝ මීටරයක් පමණ ගිය තැන තුන්මන්හන්දියකි. වමට හැරුණු ගමන්ම ඇත්තේ වෙහෙරයාය කනිෂ්ටයයි. දකුණට හැරී මද දුරක් ගිය තැන කහ සහ  සුදු ඉරි ඉරි බිත්ති සහිත  විශාල නමුත් තරමක් පැරණි නිවසක් හමුවේ. ඒ සුදු අක්කලාගේ නිවසයි. සිරි තිලකත් මමත් නවාතැන් ගත්තේ මෙතැනයි.  සුදු අක්කලා වෙහෙරෙයාය දෙකේ කොලනියට ඇවිත් තිබුණේ බණ්ඩාරවෙල සිටයි. ඇයගේ ස්වාමි පුරුෂයා , සුදු අය්යා ඇඹිලිපිටියේ සිට හේන් වගාවට  “වන්දම “ නම් හඳපානාගලට එහායින් තිබු  ප්‍රදේශයට මුලින්ම ආ අයෙක් යැයි මා අසා තිබේ

සුද්දී අක්කටත් සුදු අයියා ටත් හිටියේ කුඩා දරුවන් දෙදෙනෙකි.  ඒ මුදිතා නම් දියණිය හා අපි “පුතා” ලෙස ඇමතු සුද්දී අක්කාගේ බාල දරුවාය. ඊට අමතරව ඔවුන්ගේ නෑදෑ දියණියන් දෙදෙනෙක් එහි සිට අප ඉගැන්වූ කනිශ්ටයට ගියෝය.  ඇඹිලිපිටියේ සිට පැමිණි මේ දෙසොහොයුරියන්ගේ  මව අකාලයේ ඔවුන් හැර ගොස් තිබීම එයට  හේතුවයි.

සිරාටත්  මටත් ගෙදර ඉස්සරහම තිබුණු කාමරය ලබා දුන්නේ සුදු අක්කා විසිනි. ඇය උසට සරිලන මහතක් ඇති මනා රූ සපුවකින් හෙබි කාන්තාවකි. නිවසේ සියලු වැඩ කටයුතු තම අනසකට නතු කර ගත් සුද්දී  කටකාර තැනැත්තියක්ද වුවාය.  සුදු අය්යා සමහර දිනවල පමණක් රෑ බෝ වී ගෙදර එන නිහඬ චරිතයක් විය.

මට බණ්ඩාරවෙල මල්ලී කිවූ ඇය සිරා ඇමතුවේ ගාල්ලේ මල්ලී ලෙසයි. අපි දෙන්නාට මුදිතත් නිල්මිණි සහ රමණි යන අක්කලත් කිවේ බණ්ඩාරවෙල මාමා සහ ගාල්ලේ මාමා යනුවෙනි. මෙම ආමන්ත්‍රණය පාසලේදී  ඒ ඒ ප්‍රදේශයේ සර් බවට පත් විය.

අප ගමේ ගොස් අවිත්දැයි ඉරිදා හවස් වරුවේදී අපේ කාමරයට එබෙන අයෙකි.  ඒ සුද්දී අක්කාගේ පොඩි පුතා  ගාමිණිය. “ මාමෝ... මාමෝ...  කෝ බණ්ඩාරවෙල මාමද ඇවිත් ඉන්නේ “ කියමින් කිවුල් වතුරට කහ පහ ගැන්වුණු කිරිදත් පාන මේ පුත්‍රයා අප සොයන්නේ ආදරයකට නොවේ.  අප ගෙනා එඩ්නා චොකලට්ටුවට ඇති ආදරයටයි.

කිරිඳි ඔයේ පැන් පහසුව



ඒ වැල්ලවාය හා බණ්ඩාරවෙල ප්‍රදේශ වලට පායන කාලයයි . ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන අපේ ගම් ප්‍රදේශයටත් සුද්දී අක්කලාගේ ගම වූ වෙහෙරයායේ දෙකේ කොලනියටත් ජුලි හා අගෝස්තු මාස වල තද බල වතුර හිඟයක් ඇතිවේ.  මේ කාලයට තාරකලා  අපේ එළවලු කොටු වලට වතුර හිඟ වෙයි. එසේම සුද්දී අක්කලාට වගාවට පමණක් නොව  බීමට පවා වතුර නැතිවේ.

සුද්දී අක්කලාගේ මිදුලේ විශාල ලිඳක් තිබුණද එය මේ කාලයේදී සම්පුර්ණයෙන්ම සිඳී යයි. වෙහෙරයාය ප්‍රදේශයේ සියල්ලෝම මේ කාලයට නෑමට රෙදි සේදීමට මෙන්ම බිමටද වතුර ගන්නේ කිරිඳි ඔයෙනි. කිරිඳි ඔය ගලා  යන්නේ  වෙහෙරයායේ දෙකේ කොලනිය පැත්තෙන් නොව තණමල්විල  පාරට අනික් පැත්තේ පැත්තෙනි.  
ගාල්ලේ සර් සහ මම ඉස්කෝලේ ඇරී ඇවිත් ටික වෙලාවකින් පසු  මෙම පාර පනින්නේ කිරිඳි ඔයෙන් ස්නානය කිරීම පිණිසයි. අප යන මග දෙපස කලගෙඩි පුරවා ගඟෙන් වතුර රැගෙන එන අපේ සිසු සිසුවියන් හමුවේ. එසේම අපේ ඉස්කෝලේ ගුණසිංහ සර් වැනි ගුරුවරු තම බයිසිකල් දෙපැත්තේ බැඳගෙන  වතුර කෑන් ගෙන එනවා අපට පෙනේ.

අවසානයේ ගඟට ලඟා වන අප දෙදෙනා වතුරේ ගිලි නාගනිද්දී අපේ සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයේ හිතවතුන් හිතවතියන්ද අප අසලම ගඟෙන් නා ගනු පෙනේ. මේ කාලයේ ගඟේ ඉහල රාවණා ඇල්ලේද ජයය ඇත්තේ ඉතා අඩුවෙනි. රාවණා ඇල්ල හෙවත් බඹරගම ඇල්ල පටන් ගන්නේ බණ්ඩාරවෙල බඹරගම ප්‍රදෙශයෙනි. මේ නිසා බඹරගමට පැවිල්ල එන කාලයට කිරිඳි ඔයේ ජල මට්ටමද සීග්‍ර ලෙස පහල බසී.





එසේම නොවැම්බර් දෙසැම්බර් මාස වලදී කිරිඳි ඔය පිටාර ගලන්නේ ඒ බව රාවණා ඇල්ලේ මහා ජල නද මගින්ද කදිමට පෙන්නුම් කරමිනි. ඒ කාලයට සුද්දී අක්කලාගේ ලිඳේද වතුර පිරී ඇති බැවින්  ගඟට යෑම අත්‍යවශ්‍යම නොවේ.

මේ ගඟට යන ගමන සිරාටත්  මටත් බොහෝ විනෝදය ගෙන දෙන්නකි.  යන ගමනේදී මගදී හමුවන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් “ ආ සර්ලා දෙන්නා නාන්න යනවා වගේ ? “ කියා අසයි. 

මෙය ඇසෙන සිරා මගේ කණට කර “නෑ මේ පොල් කඩන්න යනවා” කියා කියයි.  අපේ කරේ ඇති තුවායවල් හා අතේ ඇති සබන් පෙට්ටි දැක දැක මොවුන් අහන මේ ප්‍රශ්නය සිරා ට ලොකු ගැටලුවකි.  

නෑමෙන් අනතුරුව නැවත එද්දී අපි ටික වෙලාවක් ගත කර තණමල්විල පාරේ කරක් ගහන අපි පාර අයිනේ ඇති කඩ වලින් බොහෝ දේ මිලදී ගන්නෙමු. ඒ අතර අඹ ,පැපොල් වැනි පලතුරුද  තම්බපු ඉරිඟු වැනි ක්‍ෂණික ආහාරද වෙයි.




රෑ බෝ වනවිට සුදු අක්කගේ නිවසට එන අප දෙදෙනා රෑ කෑම ලැබෙන තුරු තරඟෙට කවි සින්දු කියන්නෙමු.  ඒ මුදිතලා ඇතුළු ගෙදර ඉන්න අපේ ඉස්කෝලේ සිසුවියන් තිදෙනා අපිට ගාල්ලේ කවියා හා බණ්ඩාරවෙල කවියා යැයි නම්බු නාම ලබදෙද්දිය.
සමහර විට පන්සිල් , බණ පද සහ තුන්සුත්‍රයද අප හඬ නගා කියන්නෙමු. එවිට අපේ ඒ ඒ ප්‍රදේශවල හිමිවරුන් බවට පත්වේ. මේ හැම දෙයක්ම කලේ සුදු අක්කාගේ නිවසේ සිටි වැඩිවිය පත් නෑදෑ දියණිවරුන්ගෙන් අනවශ්‍ය අවධානයක් අප දෙදෙනා වෙත යොමු වීම වැලක් වීමටයි.


සුද්දී අක්කාගේ ගෝන මස් මාලුව


ඉස්කෝලෙට පැමිණි අලුත් ඉංග්‍රීසි ගුරුවරු දෙන්නා නැවතී ඉන්නේ සුද්දිලා ගෙදර බව කොළනියේ බොහෝ දෙනෙක් දැන සිටියහ. ගෝනෙක් දඩයම් වූ දිනක අනිවාර්යයෙන්ම සුද්දිලා ගෙදරටද කොටසක් අලෙවි වන්නේ ඇය ගමේ ප්‍රසිද්ධ චරිතයක් නිසා මෙන්ම අපද එහි සිටීම නිසාය. සුදු අක්කා යහමින් අමු මිරිස්. තක්කාලි සහ යන්තමින් කංසා ටිකක්ද දමා ඉතා රසවත් මස් කරියක් හදන්නීය.

පාසැල අවසන් වී නිවසට එන සිර සහ මම අපේ ගුරු සටහන් පොත් ආදිය ඇඳ මතට විසිකර කෙලින්ම යන්නේ දිවා ආහාරය සකසා ඇති කෑම මේසයටයි.

වේවැල් බත් කූඩය ඔසවා බලන සිරා “ කිරෝ අදනම් ගෝන මස්”  කියමින් තළුමරයි. උදේ ඇඳන් ගිය රෙදි වත් ඉවත් නොකළ අපි දැන් තරඟයට ගෝන මස් දීසියට වග කියන්නෙමු. හරි හරියට ගෝන මස් කනු දුටු සුද්දි අක්කා “ හා..මල්ලිලා ආසා කරන කෑමක් හම්බ වෙලා වගේ “ කියමින් නැවතත්  දීසිය පුරවා මස් ගෙනත් තැබුවාය. උස්මුරුත්තා වන තුරු මස් කෑ අපි ඉහින් කනින්  දහදිය දමමින් අපේ ඇඳවල් වල වැතිරී සිටියේ කාපු මස් දිරවන තුරුය.

හවස පහ විතර වෙද්දී මට තද බල මුත්‍රා දැවිල්ලකි. සිරා ඊට ආසන්න ප්‍රදේශයක් දනවෝ කියමින් කෑ ගසයි. සිරා තම නින්දෙන් අවදි වුයේ “කස් මාලා .... පුනවා..”  යනුවෙන් ආරම්භ වූ ගිතයක් කියමිනි.  එය ගායනා කෙරුනේ අතුල අධිකාරි ගේ “හද..හඬලා... “ යන ගීතයේ තනුවටයි. මා ද පාපිල්ල පමණක් වෙනස් කර එම ගීතය ගැයුවේ ඇයි දැයි සිත ගැනීම මෙය කියවන ඔබට භාර කරමි.






සිරා අපේ ගමේ ඇවිත්


ඒ සීතල නොවැම්බර් මාසයයි. වෙහෙරයායටත් හොඳ වැසි වැටෙන කාලයකි මේ. හැම සති අන්තයකම ගාල්ලේ යන සිරිතිලක සර් මෙවර මාත් සමග අපේ ගමේ යන්න සූදානමින් සිටියි. සාමාන්‍යයෙන් බණ්ඩාරවෙල සර් සිකුරාදාට දවල් දොළහට පමණ පාසැලින් පිටත් වෙයි. ඒ ඇත්ත වශයෙන්ම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලය ඇරෙන වෙලාවට  නගරයට සේන්දු වීමටයි. මේ වගක් නොදත් විදුහල්පති තුමා ඒ අවසරය මට ලබා දී තිබුණේ ගාල්ලේ ගුරුවරුන්ද සිකුරාදාට එසේ කරන බැවිණි.

ඒ සිකුරාදා සිරාත් මමත් ඇතිලිවැවේ සිට පටන් ගන්නා ලොරි භාග බසයකින් වැල්ලවාය බලා පිටත් වූයෙමු. දොළහට බණ්ඩාරවෙල බලා පිටත් වන කහ කුරුල්ලා බසය අල්ලා ගැනීම අපේ අභිප්‍රාය විය. පාසැල් ඇරෙන්න ඔන්න මෙන්න කියා නගරයට ලඟා වූ අප විශාඛා එකේ නංගි එහිදී හමු වූයෙමු. සිරාට එලෙස මාගේ හිතවතිය හඳුන්වාදුන් මා ඇයත් සමග පාසැල් බසයට ගොඩ වුයේ අපේ නිවෙස් බලා යන්නටයි.




බසයෙන් බැස ආ අප තිදෙනා එකම මග ටික දුරක් ගමන් කළෙමු . නංගි සමහර අවස්ථාවල මගේ කරේ තිබු රෙදි මල්ලේ අඬු වල එල්ලී පාරේ කඳු සහිත පාර තරණය කරයි. මද දුරක් මෙසේ පැමිණි අප අකමැත්තෙන් වුවද ඇයටසමුදී  අපේ ගෙවල පැත්තට හැරුනෙමු. සිරාත් මමත් අපේ නිවසට ළඟ වන විට යන්තම් හවස හතර පහු වුනා පමණි.

සීතල බණ්ඩාර වෙල මනරම් කඳු ගැටයක් මත වූ අප නිවස වටා සුදු මිදුම් සළු වෙලා ගන්න වෙලාවයි මේ.  ජීවිතේට මෙවන් සීතල මීදුමක් ගත දැවටී නොමැති සිරිතිලක මහත්තයා දැන් පිස්සු වැටුණු ගානය. “ මචං උඹලා ඉපදිලා තියෙන්නේ මාර ලස්සන පළාතකනේ “ යැයි සිරා මට අවංකවම ඔහු සිතේ පැන නැගුනු සිතිවිල්ලයි.

එදින රාතී‍්‍ර අල්ලාප සල්ලාපයේ දී “ ඔයාගේ ගෝවා ටිකට තවම පස් දාන්න බැරි වුනා චූටි පුතා “ කියා අම්මා පැවසුවාය. ඒ සෙනසුරාදා දවසේ මම විශාඛා නංගි එක්ක රස්තියාදු වෙන වාට වඩා වත්තේ පිටියේ වැඩක යෙදුනා නම් කියා ඇයට සිතුනු නිසා විය යුතුය. හවස  කතා කරගත් පරිදි අඩිසම් බංගලාව බලන්නට යා නොහැකිය. මම සෙනසුරාදා පාන්දරම සිරාත් කැටුව මගේ කිරිඔරුවේ තිබු ගෝවා කොටුව වෙත පිය මැන්නෙමි.




නිලට නිලේ බැබලෙන ගෝවා ගස් වටා කඩියෙක් සේ පස් දමන මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටින්නෙකි. ඒ ගාල්ලේ සර් හෙවත් සිරිතිලක මහත්තයාය.  මමද ගෝවා ගස් මුලට කළුම කළු පස් වැටීමෙන් නැගෙන මනරම් දර්ශනයෙන් තව තවත් ප්‍රීතියට පත් වී දිගින් දිගටම වැඩ කලෙමි.
දිනය අවසානයේ කිරිඔරුවේ පීල්ලෙන් නාගෙන ගෙදර එන්නට කන්ද නගිද්දී සිරා කිව්ව කතාව මට තාමත් මතකය.

“ මචං උඹලා පැත්තේ තියෙන මේ සරල ජිවන ක්‍රමයට මම හරි ආසයි “ . “පස්සේ කාලෙක බණ්ඩාරවෙල පැත්තේ පදිංචි වෙන්න ඇත්නම් කියලා හිතෙනවා ....