Follow by Email

Friday, 10 April 2015

අපේ ගම යුධ පිටියක් කල 1977 මැතිවරණය....

හැත්තෑ හතේ මැතිවරණය..


1977 ජුලි  22 හා 23වෙනිදා රටක් හා ජාතියක් ලෙස අපේ ගමන් මග සම්පුර්ණයෙන් වෙනස් කල දෙදිනකි. 

මේ දින දෙක  මුලික කරගෙන චමින්දලා හා අප ජීවත් වූ අපේ ගම (කිරිඔරුව-මාරබැද්ද) පමණක් නොව මුළු ශ්‍රී ලංකාවේම මහා වෙනස්කම් සිදුවූ බව ඔබ අප සැමට රහසක් නොවේ. 

හැත්තෑ හතේ චන්දය තිබ්බ දවස්වල මා චමින්දව හෝ ඔහුගේ ගෙදර අය කවුද යන්නවත් දන්නේ නැත. 

 මැද පුරණේ ගෙදර හා එයට ආසන්නම තිබුණු "ඉහළ ගෙදර" ගැන අම්මාගෙන් සහ කිරිඔරුවේ  ආතලාගෙන්  අසා තිබුනෙමි.

ඒ ගෙවල් දෙකේම  හිටියේ  අපේ අම්මාගේ ලඟම නෑදෑයින් වන රාජපක්ෂලා කට්ටියක් වුවත් ඒ වන විට අප ඔවුන් දැන සිටියේ තාත්තලාගේ දේශපාලන සතුරන් කොටසක් වශයෙනි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ නොපනත්කම්


එකල පැවති සමග පෙරමුණු රජය අපේ තාත්තලාගේ පක්ෂයේ රජයයි. 

ඒ කාලයේදී සිදුවූ දේවල්  එවකට අවුරුදු හතක් වත් නොවූ මට මුළුමනින්ම මතක නැති වුවත්.. චමින්දලා පවුලේ එවකට රජයේ සේවය කල එකම සාමාජිකයා වූ චමින්දලා තාත්තා  අපේ නගරයේ  රෝහලේ සිට හඳපානගලට  පලිගැනීම් මාරුවක් ලෙස යවා තිබුනේ ඒ කාලයේදීය.

එතැන් සිට විශ්‍රාම යනතෙක්ම ඔහු හඳපානගල සිටිය බව මම දනිමි. 

ඒ අනුව අද මගේ පුත් සුපුන්ට හෝ චමින්ද ගේ දියනියන්ට දිනපතාම ලැබෙන තාත්තෙකුගේ  ඇල්ම බැල්ම චමින්දලාට ලැබුනේ සතියකට දෙකකට වරකි. 

මෙය 1977 න් පසු පවුලක් ලෙස අපටද විඳවන්න වූ කටුක දේශපාලන සත්‍යයයි.

එමෙන්ම චමින්දලගේ ගේ ඉදිරිපස නිවසේ සිටි, පසු කලෙක නගරයේ මද්ය මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයකු වූ  මද්දුම බණ්ඩාර මාමාගේ අක්කා කෙනෙකුට ලැබෙන්න ගිය රස්සාවක් මන්ත්‍රී තුමාගේ ලිස්ට් එකෙන් කැපී ගිය බවද මම අසා ඇත්තෙමි. 

මේ දෙකටම ආසන්න හේතුව වී තිබුනේ එම පවුල්වල UNP පක්ෂ පාතිත්වයයි.

චන්ද සටනට සුදානම් වෙමින්.


77 අප්‍රේල් -මැයි මාස වල අපේ ගෙදර ශ්‍රී ලංකා එකේ කුඩා කණ්ඩායම් රැස්වීම් කීපයක් පැවතුනා මට මතකය. 

ඒ අපේ තාත්තා එවකට ප්‍රදේශයේ මන්ත්‍රී ආර්. ඇම්. අප්පුහාමි ( ශ්‍රී ලංකා අප්පුහාමි නොහොත් පොලොස් අප්පුහාමි) ගේ දකුණු අත මෙන් වැඩ කල කාලයයි. 


අපේ ගෙදර සාලයේ පැවතී රැස්වීම් වලදී ජන්දයෙන් දිනුවොත් ගමට කර ගත හැකි වැඩ ගැනද සාකච්චා විය.

ඉන් එක යෝජනාවක් වුයේ  කිරිඔරුව-මාරබැද්ද හරහා පාරක් කැපීමත් එය මදුවැල්පතන පාර දක්වා දික්කිරිමත්ය. 

එම රැස්වීම් වලට ගමේ හැමෝම පාහේ  සහභාගී වූ ඒවා වුවද හාල්පොලු , මිරිස් පොලු ආදියට මුහුණ දී තිබුණු ඔවුන් කිසියම් පැහැදිලි වෙනසකට අර අදිමින් සිටින්නට ඇත. 

 ජේ . ආර් . දිනුවොත් ඇට වර්ග අටක්ම ලබා දෙන බවට පොරොන්දුවක් ද දී තිබීම ඔවුන් මේ වෙනසට තව තවත් පොලඹවන්නට හේතුවක් විය.
  

UNP එකෙන් බණ්ඩාරවෙල ආසනයට  තරඟ කලේද ආර්. ඇම්.අප්පුහාමි කෙනෙකි . 

"දළු අප්පුහාමි" නමින්ද හැඳින්වූ  ඔහු කන්නාඩි දාන කෙනෙක් වූ අතර පළාතේ දළු බිස්නස් කිරීම මගින් පෝසතෙක් බවට පත් වී සිටි අයෙකි. 


මරබැද්ද-වටගමුව  හන්දියේ බුරුස් මාමලා කඩේ ළඟ තිබුණ රැස්වීමකට පැමිණි වාචාල කටකින් යුතු  ආර්. ප්‍රේමදාස නම් කථිකයකු පොල් බෑ දෙකක් අත් දෙකට ගෙන "මේක කීයද? සත තිස්පහයි. මේක කීයද ඒකත් සත තිස්පහයි.. හැබැයි අපේ ආණ්ඩුවක් අවහම අපි මේ දෙකම සත තිස්පහට දෙනවා" යැයි කියමින් ජනතාව විපක්ෂයේ පැත්තට පෙළ ගස්වනවා අපට අද වාගේ මතකය. 

ඊට දින කීපයකට පසු නිල් පාට ටී සර්ට් එකකින් සහ සුදු සරමකින් සැරසී පැමිණි අපේ පොලොස් අප්පුහාමි මැතිතුමා අපේ ගම්වැසියන් ඇමතුයේ බුරුස් මාමලා ගෙට අල්ලපුවත්තේ ... කිත්සිරි අය්යලගේ  මිදුලේ හදපු වේදිකාවක සිටිමිනි. 

අපි.. අය්යලා ඇතුළු කට්ටිය නිල් පාට ඉටිරෙදි තොප්පි දමාගෙන රැස්වීම් භුමියේ ගැවසුනා මට මතකය.

සමන්තත් චන්ද සටනේ 


මට වැඩ අවුරුදු හතරකින් වැඩි මගේ අය්යා සමන්ත ඔහුගේ චන්ද වැඩ වලට යොදා ගන්නට තාත්තා තීරණය කර ඇති සෙයකි. 

ජීප් රථවල නැගී තාත්තා චන්ද ප්‍රචාරක වැඩ වලට යනවිට ඔහු අය්යාද රැගෙන ගියේය. 

මා මෙන් ජයසිංහ කෙනෙකු නොව නාමරත්න කෙනෙකු වූ ඔහු ( අපේ තාත්තා ඔහුගේ නම අගට පමණක් තමාගේ මුල් නම වූ නාමරත්න යන්න යොදා තිබේ, අක්කල නංගිලා ඇතුළු සෙස්සෝ  ජයසිංහ යන අපේ පරම්පරා නාමය ලබා ඇත) ලොකු නාමරත්න මෙන්ම කටකාරයෙකු විය.. 

ඔහු හැත්තෑ හතේ චන්දය වෙනුවෙන් ගායනා කල කවි මට මතක නැතත්  1982 ජනාදිපතිවරනයට ගායනා කල කවියක් මට මතක් විය.
     
        අදිරද වහල් බැමි සිඳ බිඳ දැමුව              අත
        බස් ජනසතුවේ රන් අසිපත රැදුනු          අත
        වතු ජනසතුවේ රන් අසිපත රැදුනු          අත
        කොබ්බැකඩුව මැතිදුගේ  ජය ලකුණ   අත

අම්බලමටත් සටන් පාඨ


මල්වත්තේ දෙස  සිට  අපේ ගමට  එද්දී හමුවන ප්‍රධාන සන්දිස්ථානයක් වන අම්බලමේ   බිත්තියේ "සිරිමා ඩබින්"  යැයි  කළු තෙල් වලින් පොල්ගෙඩි අකුරින් ලියවුනේද මේ දිනවලමය. 

චමින්දලා සහ අපේ කුඩා ජීවිත මේ හැල හැප්පීම් මැද ගලා යන හැටි අවුරුදු ගනනක් බල සිටි මේ අම්බලමට කතා කල හැකිනම් කියනු ඇති කතා සමහරක් මා ඔබ ඉදිරියේ තබමි. 

1980 වැඩ වර්ජනයට ඔන්න මෙන්න කියා තිබියදී එතෙක් එහි බිත්තියේ තිබූ "සිරිමා ඩබින්" මකා ලොකු පොල්ගෙඩි අකුරින් "ජූලි මහා වැඩ වර්ජනය" යැයි ලියැවිණි. 

ඒ  ගල්වත්තේ සුමනසේකර ලා තාත්තා ( එවකට සාන්ත ජෝෂප් විද්‍යාලයේ පියන් ) විසිණි. 

ගල්වත්තේ මාමා කළුතෙල් බාල්දියකුත් ගෙන  ජුලි වර්ජනය ගැන ලියද්දි මමත්  318 වරකාදන්ඩ පාසල් බසයෙන් බැස ගමට එන කයිවාරු මාමලා බින්දුත්  ඒ බව දුටුවෙමු. 

මේ කාලෙදී  බින්දුත් මමත්  තරඟයට ඇවිදින්නට පුරුදු වී සිටියෙමු. 

බසයෙන් බැස්ස වහාම එකිනෙකා ඉස්සර කරමින් බිංදුත් මමත් ඉතා වේගයෙන් ඇවිදින්නේ පාසැල් නිමවී ගමට එන ළමුන් අතරින් පළමු වැනියා වීමටයි. 

චන්ද ප්‍රතිඵල ඇසු හැටි.


චන්ද ප්‍රචාරක වැඩ නිමවී චන්දයට මුහුණ දුන් අපේ ගමේ අය චන්ද ප්‍රථිපල අසන්නට සුදානම් වී සිටිති. 

 පල්ලැහැ ගෙදර ජේන් අක්කා, මැණිකෙලා සහ එහා ගෙදර ගාමිණී ඇතුළු අහල පහල ගෙවල් වල අය  අපේ ගෙදරට එක් රොක් වී සිටිතී. 

මේ කාලයේදී අසල්වැසි නිවෙස් එකක වත් රේඩියෝවක් තිබුණේ නැත. 

රේඩියෝවක් තිබු එක නිවස අපේ නිවසයි. ඒ නිසාම අහල පහළ හැමෝම වාගේ අපේ ගෙදරට පැමිණ චන්දය අසන්නට සුදානම් වී සිටියහ. 

අම්මා වට කරගත් අපි හතර දෙනාත් චන්දය අසන්නට රේඩියෝව වටා රොක්වි සිටියෙමු. 

අම්මා ඊට මාස දෙකකට පෙර ඉපදුනු අපේ බාලම නංගි ( නිම්මි) වඩා ගෙන සිටියාය. 

මේ වන විටත් ගමේ ප්‍රභලම ශ්‍රී ලංකා කාරයා වූ අපේ තාත්තා ගෙදර පැමිණ සිටියේ නැත. 

චන්ද වැඩ වලට ඉහළින්ම් සහභාගී වී සිටි ඔහු ඒ වන විට  පොළොස් අප්පුහාමි මහතාගේ නිවසේ සිට චන්ද ප්‍රතිඵල අසමින් සිටියේය. 

තවම චන්ද ප්‍රතිඵල පිටවී නැත.  අම්මා ඇතුළු සියළුම දෙනා ශ්‍රී ලංකා එක දිනනු ඇතැයි සිතනා බවක් පෙනේ. 

දිනපතා උදේ තාත්තා කන්තෝරුවේ වැඩට ගිය පසු අප නිවසට එන ජේන් අක්කා  අපෙන් අහන ප්‍රශ්නය  " චුටි බේබි කෝ කිලාක් මහත්තය?  වැඩට ගියාද ? " යන්න එදා තරමක් වෙනස් කර අම්මගෙන් අසනු මට මතකය. 

"නංගි කෝ කිලාක් මහත්තය ?  චන්දෙ අහන්න  ගෙදර එන්නේ  නැද්ද?" 

තාත්තා මන්ත්‍රී තුමාලා ගෙදර සිට  චන්දය අසනා බව  අම්මා ඇයට පැවසුවාය. 

චන්ද ප්‍රතිඵල එකින් එක පිටවෙයි.. එහෙත් තවමත් බණ්ඩාරවෙල ප්‍රතිඵලය ඇසෙන්නට නැත.  

මෙතෙක් පිටවූ ප්‍රතිඵල සියල්ල ලැබී තිබුණේ අපට  අවාසි වන අයුරිණි. 

"ඒකත් යුඇන්පීයට , ඒකත්  යුඇන්පීයට " කියමින් කෝපයෙන් සිටි අම්මා  ගුවන් විදුලියේ වාදනය වූ ගීත ගැනද අවධානයෙන් පසුවූවාය. 


ගාල්ලේ චන්ද ප්‍රතිඵලයට පෙර 

"දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී... "




නැමති චිත්‍රා සෝමපාල ගයනා  ගීතයැ  වාදනය වන්නට විය. 

 "මුන් දාන සින්දු...  ඒකත් එකටම මේකත් UNP එකට තමයි "

අම්මා නැවතත් තම කෝපයෙන් පිරුණු හඬ අවදි කලාය.

මෙන්න ගාල්ල චන්ද ප්‍රතිඵලය  .. එක්සත් ජාතික පක්ෂය  ලබා ගත් චන්ද සන්ක්‍යාව .... 

"ඔය මං කිව්වේ නැද්ද , රේඩියෙකේ ඉන්නෙත් උන්ගේ එවුන්මයි" 

අම්මා නැවතත් කලබලයට පත්වෙයි.

මේ අතර  ආරම්භයේදී  ශ්‍රී ලංකා පැත්තේ සිටි ජේන් අක්කා චන්ද ප්‍රතිඵල ගැන සතුටින් පසුවන බව පෙනෙන්නට තිබිණි. 

එහෙත් ඒ වගක් වත් අම්මා හට නොකියා සිටින්නට තරම් ඇය ප්‍රවේශම් වුවාය. 

අපි  radio එක වටේ වාඩිවී  චන්දය අසමින් සිටියෙමු.

මේ  අතර අල්ලපු ගෙදර ගාමිණීගේ  අත වැදී   ජනෙල් පඩිය උඩ තිබූ කුප්පි ලාම්පුව පෙරලීගියේය. 

ලාම්පුව පෙරලීම නිසා  ජනෙල් රෙද්දටද  ගිනි ඇවිලුනේය. 


එම සිද්ධිය දුටු ජේන් අක්කා  සසල වූ බවක් දක්නට ලැබිණි. 

 මෙතෙක් වේලා සන්සුන්ව සිටි ජේන් අක්කා පරල විය...

 "අය්යෝ.. කොල්ල ඉවරයි.. කොල්ල ඉවරයි..ජනෙල් රෙද්ද ගිනි ගත්තා නේද... අශුභ ලකුණක් ..අශුභ ලකුණක් .... ඕක තමයි මං කිව්වේ..."

 යැයි කියමින්.. අත් දෙකෙන් පපුවට ගසා ගත් ඈ හය්යෙන්  කෑ ගසන්නට වුවාය. 

එදා  ඇය එසේ හැසිරීම මගින්  තමං කලින්  අසා දැන සිටි කිසියම් අනතුරක හෝඩුවාවක් ගැන අපේ අම්මාට ඉඟි කලා යැයි මට සිතුනේ ඊට පසු දිනක  අප බැලීමට නිවසට එමින් සිටි අපේ තාත්තා යුඇන්පී කාරයන් ගෙන්  හොඳහැටි ගුටි කෑ බව ඇසීමත් සමගයි.  

4 comments:

  1. මේකට එක එක කමෙන්ට් එකක් වත් වැටිලා නැහැ කිව්වම මට අදහ ගන්නත් බැහැ. කවිඳු 70 දශකයේ ළමයෙක්.සතුටුයි බොහොම. නම නිසා මම හිතුවේ අපට වඩා බොහොම බාල කෙනෙක් කියල.මටත් 77 මැතිවරණය මතකයි.හැබැයි යන්තමට.ප්‍රතිපල අහන්න ගමේ ගෙදරකට ගියා. අපේ තාත්ත නම් ඉතින් ජේ ආර් ලට.මැරෙනකම් ම අපේ අනෙක අවලාද කට කැඩුණු කතා විඳ විඳ කැපුවත් කොළ. හැබැයි බොහොම අහිංසක යුඑන්පි කාරයෙක්. අබ ඇටයක් තරම දෙයක් නොගත්තු කටින් විතරක් දේශපාලනය කල මනුස්සයා. අනෙක අපේ අම්මගේ තාත්තා ආතා,රනිල් කොලුවට ( ඒ කාලේ තරුණයනේ) බොහොම මනාපයි. අපි අසු අනු ගණන්වල ජේ වී පි එකට වැඳගෙන ඉද්දි ආතා කිව්වේ ඔය චේ ගුවේරා කාරයෝ කියල .71 අත්දැකීම් නිසා වෙන්න ඇති. මේක මෙහෙම අත අරින්න බැහැ . මං ආයේ එන්නම් ගෙදර වැඩ ටිකක් කරලා. තව ටිකක් කොටන්න

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ sසවිස්තරාත්මක කමෙන්ටුවට. මේක මගේ දෙවැනි පොස්ට් එක . මම බ්ලොග් නම් වෙනස් කිරීමක් කළා මුල් කාලෙයේ . එතකොට ගොඩක් අයට මග හැරෙන්න ඇති.. සමහරු බයයිනේ දේශපාලනේ කියලා.. හැබැයි මෙතන තියෙන්නේ මගේ "සොඳුරු අතීතය විතරයි "....//කවිඳු 70 දශකයේ ළමයෙක්//.අපි තමයි හැත්තෑව දශකය පටන් ගත්තේ..

    ReplyDelete
  3. ඔය කාලය මට මතකයි වයස 13 විතර ඇති මට අපෙ තාත්ත යු එන් පි කනුවක් හැබැයි කිරිඔරැවෙි විජෙට ගහල කියල දුක් උනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වුවට. ඔබේ පියා දේශපාලනය මොළයක් ඇතුව කල් කෙනෙක් බව පෙනෙනවා. වැරැද්ද තමන්ගේ අය කලත් වැරැද්ද විදිහට දකින්න ඔහුට හැකි වුණේ ඒකයි. දේශපාලන මැති මතාන්තර නිසා මනුස්සකම නැතිවෙන්න බෑ ඒකයි අපිට ගහපු අය ළඟ නොතිබුනේ.

      Delete