Follow by Email

Tuesday, 28 April 2015

සතර පෙර නිමිති

ගොවියෙක්... වෙළෙන්දෙක් .. දඟයෙක් සහ උනන්දුවෙක්

දැන් අපි අරලගංවිල නවයේ පන්තියේ ඉන්න කාලයයි. මේ වන විට මගේ ධාර්මික අවධානය කාරණා සතරක් වෙත යොමුවී තිබු බව මගේ හැඟීමයි.

මින් පළමු කරුණු එකිනෙක බද්ධ වී තිබුනේ එකක් නොමැතිව අනික කල නොහැකි නිසාවෙනි.

එහෙත් අනික් කාරණා දෙක එකිනෙකට පරස්පර ඒවා බව ඕනෑම උපාසකයෙකුට තේරුම් ගත හැකි විය යුතුය.


ඒ කාලයේ මම ගොවිතැනින් සහ වෙළඳාමෙන් බොහෝ ඉදිරියට ගොස් සිටියෙමි. ඒ  අප මල්දෙණියේ පල්ලැහැ වත්තේ මෙන්ම අපේ ගේ වටාද එළවලු වැවු කාලයයි.

එ පමණක් නොව, ඒ දිනවල   පේරගස්වැල්ල කුඹුරේද ලොකු මාමලා  රාජු මාමලා සමග අපිත් හරි හරියට එළවලු වගා කළෙමු.

මේවායේදී බොහෝවිට පෙරමුණ ගත්තේ මා විසිණි.  එමෙන්ම  අක්කා , ලොකු නංගි සහ  තම නෑ ගෙවල් වල චාරිකාව මදකට නවතා නිවසට පැමිණ සිටි සමන්ත අය්යාද මෙකල වගා සටනේ පෙර ගමන් කරුවෝ වුහ.

උඩ පල ගත්තත් වට්ටක්කා

සිරිතක් හැටියට මා අත ගැසූ ඕනෑම වැඩක් හරි ගිය අතර වගාවද එයට සාක්ෂි දරයි.

උදාහරණයක් ලෙස පල්ලැහැ වත්තේ හැදු වට්ටක්කා වැල් වල මා එතෙක් මෙතෙක් දුටු විශාලතම වට්ටක්කා පලගත්තේ අපට වඩා යම් තරමක ගොවිතැන ගැන අවබෝධයක් තිබු අම්මා හා තාත්තා  පවා පුදුමයට පත් කරවිමිනි.
මෙකල සෝමේලාගේ ගෙට පහළින් තිබු මේ වත්තේ අපි තක්කාලි, අල, බෝංචි, මාළු මිරිස්, කොළ ගෝවා , ගෙඩි ගෝවා මෙන්ම වට්ටක්කාද වගා කළෙමු.

ආණ්ඩුවේ රිස්වේසම අයිනට වන්නට තද කළු පැහැයෙන් යුත් පසින් පිරිණු ප්‍රදේශයේ මා හැදු වට්ටක්කා මන්ඩි දෙක තුනකි.  ඒවායින් අපි ලොරි භාගයක පමණ අස්වැන්නක් ලැබූ බව මා ඔබට පවසන්නේ සාඩම්බර ගොවියෙකු ලෙසිනි.

දිය සීරාවට හැදී තිබු අලි බෝඹු සහ බොර ගස් මුදුනේත්, ජල රක්ෂිත කැලයේත් දිවූ මගේ වට්ටක්කා වැල් වලින් හට ගත් ගෙඩි  ඉතා විශාලය.

ඇත්ත වශයෙන්ම, එක් වරකට ගෙඩි දෙකකට වඩා ගෝනියකට හෝ යුරියා බෑග් එකකට දමමන්නට බැරි තරම් විය.

වතුර ටිකක් සෙනේ වලා....


ජල රක්ෂිතය අයිනේ අප ගිනි මැල ගසන විට නැගෙන දුම කිරඹ ඔය දෙසට මැනවින් පෙනේ .. එක් වරක් නොව කිහිප වරක්ම මේ දැක තම කුඹුරට වතුර නැති වේ යැයි සිතු අයෙක් සිටියේය .

ඒ සෙනේ බාස් නොහොත් පන්සල ළඟ ගෙදර සෙනෙවි මුත්තාය. ඔහු හනි හනිකට ඇවිත් අපි රක්ෂිතය ආක්‍රමණය කරන්නේ දැයි විපරම් කර ගියාට පසු අක්කාත් මමත් කියනා ගීතයක් මගේ සිහියට නැගේ.. එය හින්දි සිංහල කවලම් ගීතයකි.

"සොභාවර්ති මෙතිමි සලා....   සොභාවර්ති මෙතිමි සලා. ... වතුර ටිකක් සෙනේ වලා....සොභාවර්ති මෙතිමි සලා..."
මෙය ගායනා කෙරුවේ .. පැරණි සිංහල ගීයක් වූ .. සරා ගොය්යා.. ගීතයේ තාලයටයි.



අරලගංවිල පොලේදී පෝල් හමු වීම

අපි තුන් හතර දෙනාම වගාවේ යෙදී සිටියද අස්වැන්න රැගෙන වෙළඳාමේ යන්නේ තාත්තාත් මාත්ය. පොඩි පොඩි දේවල් විකුණන්නට ඇති දිනවල පොලේ යන්නේ මා තනිවමය. මේ ගමනද හරි රසවත් මෙන්ම සමහර විට දුක හිතෙන  සිදුවීම් වලින් ගහන එකකි.

ඒ දිනවල බ්‍රහස්පතින්දා සහ ඉරිදා පොළට අපි එළවලු රැගෙන යන්නේ බාස් මාමලා ඩේලිකා එකෙන්ය. පාන්දර හතර හමාරට  පහට පිටත් වෙන සිරි අය්යාගේ වැන් එක මල්දෙණියේ සහ කිරඹ ඔයේ පාර අයිනේ ඉන්නා ගොවියන් එකෙනිකා එකතු කරගෙන නගරයට ලඟා වෙයි.

මා තනිවම යන දවස් වලට මට ලාභ වන අතර අම්මලාට මුදලින් මෙන්ම ආපසු රැගෙන එන බඩු වලින්ද බර පාඩුය. මගේ කොමිස් එක ( මෙය අද වෙනතුරු අම්මානොදනී) බෝංචි කිලෝවකට රුපියලක්  , තක්කාලි කිලෝවකට  සත 50ක්ආදී වශයෙන් වෙයි. උදාහරණයක් ලෙස රුපියල් 3.50 කට තක්කාලි කිලෝවක් විකුණන මා අම්මාට ගෙනවිත් දෙන්නේ රුපියල් තුන ගන්නේය.  එතැනින් නොනවතින මා කිලෝ විස්සකට වැඩි ප්‍රමාණයක් රැගෙන ගියහොත් කිලෝ ගණනින්ද ගසා කැවෙමි.  මේ  පොලේ මුදලාලිලා කුඩේට කපන කිලෝ එකට අමතරවය.

අම්මා ඉරිදාට මට " එනකොට හරක් මස් පන් සියකුත්  අරන් වරෙන් චුටි පුතා"  යැයි කියයි.  මස්කඩේ තනි මස් හා කටු මස් යනුවෙන් දෙවර්ගයකි. මා තනි මස් වෙනුවට කටු මස් පන්සියයක් රැගෙන එන්නේ අපිම කන මස් ටිකෙනුත් රුපියල් දෙකක පමණ අධික ලාභයක් උපයා ගනිමිනි.

අපේ එළවළු විකුණා වැටකොළු , පතෝල වැනි අනෙක් පළාත්වල හැදෙන එළවලු ගෙදරට රැගෙන එන්නට අප පුරුදු වී සිටියෙමු.  මෙසේ එළවලු සොයමින්  සිල්ලර පොලේ කරක් ගහන මට එක් දිනක්

 "පොල් ලාබයි.. පොල් ලාබයි.   එකක් සත තිහයි... දෙකම පනහයි..."  යනුවෙන් කෑ ගසන කෙල්ලෙකුගේ හඬක් ඇසිනි.

මා ඒ දෙසට ඇදී ගියේ මේ කවුද කියා බලන්නටත් .. හොඳනම් පොල් ගෙඩි දෙකක් ගන්නටත් ය.  ලඟට ගිය මගේත්  කුඩා පොල් වෙළෙන්දියගේත්  නෙත් එකිනෙක ගැටුනු මොහොතේ අපි දෙදෙනා මොහොතක් ගල් ගැසී සිටියෙමු.

වෙළෙන්දිය වෙන කවුරුත් නොව අපේ පන්තියේ හිටි කටකාර චරිතයකි.

ඇයට කොල්ලෝ  "පෝල්"  හෝ "පොල් පොල් පොපොල් පොල්" කියා කිව්වේ ඇයි දැයි මට තේරුණේ දැන්ය.

එදා  එසේ හමුවුවද  මගේ පන්තියේ සිටි කුඩා මිතුරිය වත්  මම වත් අද වෙන තුරු මේ ගැන කතා නොකළෙමු.

කොල්ලෝ මට "කිටී" නොකියා "තක්කලියා හෝ වට්ටක්කයා" යැයි කීමේ පැහැදිලි අවධානමක් තිබේ.

 මම පොලුත් නොගෙන හීන් සීරුවේ  එතැනින් මාරු වුනෙමි.

දොස්තරයෙක් වීමට කමටහන් ලැබූ හැටි


සමන්ත අය්යා උ.පෙ. සයන්ස් කාරයෙක් නිසා මෙය සිදුවුවා යැයි පාසලේ සිටි බොහෝ  උවැසු උවැසියන් අවබෝධ කරගෙන සිටි බව මම දනිමි .

ඒ සාමාන්‍ය තත්ව යටතේ යමක් සිදු වන්නේ ඒ ආකාරයට බැවිනි. එසේ වුවත් මට කමටහන් දුන්නේ සමන්ත අය්යා නොව අරලගංවිල නගරයට ආසන්න නගරයක  රෝහල් අධිකාරි වරයෙකි.

ඒ මගේ දකුණු දණහිස ඉදිමි තිබු කාලයයි . එයට හේතුව වුයේ මම වෙසක් කාඩ් විකුනන්නට කඩයක් දාන්න ගොස් සිදුවූ ඇබැද්දියකි. කඩේ කණු හය  සිටවා වහලේ  මුදුන් හරස් ලීය දමන්නට සැරසුණු මා ලීය මත දනහිස තබා එල්ලකළ වක් පිහි පාර ලීය මග හැරී ගොස් මගේ දණහිස පසාරු කළා මතකය.

අරලගංවිල එකල පවතී යම් යම් අඩු පාඩු සහිත  ව්‍ය්දය ප්‍රතිකාර මද්‍යයේ  (වැරදි රෝග විනිශ්චය වැනි ) මාස ගනනක් ප්‍රතිජීවක බොමින් ගත කලෙමි.

අවසානයේ චැනල් කිරීමකින් පසු තෙළුල්ල මහා රෝහලේ ශල්‍ය කර්මයට බදුන් වී සිටියෙමි.

ශල්‍ය කර්මයට පෙර මා සිටියේ මල් පෝච්චි තබා තිබු දෙකේ වාට්ටුවේය. ඒ දිනවල දුන්හිඳ පල්ලමේ බසයක් පෙරලීමෙන් තුවාල වූ බොහෝ පිරිස් වාට්ටුවේ සිටියහ.

ඔවුන් බොහෝ දෙනෙකුට කැන්ටිමෙන් උදේට ඉඳි ආප්ප ගෙනත් දුන්නේ කකුල ඉදිමුනත් 100% ජංගම වූ මා විසිනි.
 දෙකේ ඉතා සතුටින් සිටි  මා ශල්‍ය කර්මයට පසුව වැසිකිළියකට කිට්ටු කල නොහැකි 18 වාට්ටුවට දැමීම නිසා තරමක හිතේ අමාරුවෙන්ද සිටියෙමි.කකුල බැරි මට වැසිකිලි යෑමට උදව්වට ආ සමන්ත අය්යාට වමනේ නොගියා විතරය.

එදා මම ටිකට් කපාගෙන ගෙදර එන දවසයි.  තාත්තා මාව ගෙදර ගෙන යන්න පැමිණ සිටියි. වාට්ටුවේ  හැඳ සිටි පොඩි කොටු කොටු සරම පිටින්ම ගෙදර යමු යැයි තාත්තා මට යෝජනා කළේය. තට්ටු දෙකේ ගොඩනැගිල්ලෙන් එළියට ආ අප තෙළුල්ල -අරලගංවිල ප්‍රධාන මාර්ගය දෙසට එන්නට ගත්තා පමණි..

"සර්... සර්... මේ කොහේද? " ගිලන්රථ යිකින් හඬක් නැගේ...

ඒ සවුක්‍ය දෙපාර්තමේන්තු වේ සිටි කාලයේ තාත්තා හඳුනන ගිලන් රථ රියදුරෙකි.

ඒ දෙසට ගිය තාත්තා අපි මගේ ටිකට් කපා ගෙන අරලගන්විලට ආපසු යන බවත් .. බස් එකක් ගැනීමට ප්‍රධාන මාර්ගය දෙසට යන බවත් තම හිතවතාට පැවසීය.

"අපි යන්නේ  සපුගස් තලාවට අපිත් එක්ක යමු සර්...  නිකන් යන වාහනේ නේ ...තව ටිකකින් ඩි. ඇම්. ඕ. මහත්තයා ආපු ගමන් අපි යනවා..බබා නගින්න වැන් එකට"

මට ගිලන්රථයේ රෝගියා යන  කොටසට යන ලෙස කිව්  "ඇලන් මාමා  " අනතුරුව තාත්තත් සමග අසල තිබු තේ කඩය දෙසට ගියේ සිගරට්ටුවක් දල්වා ගන්නටය.

අනවසර රෝගියා..


අලංකාර යුරෝපීය ඇදුමින් සැරසුණු ඩි. ඇම්. ඕ. මහත්තයා  ගිලන්රථයේ ඉදිරි දොර ඇර ආසනයට සැපත් වුයේ හිස ඔසවා පිටු පස බලමිනි.

"මේ  කව්ද?  වහාම මේකෙන් බැහැලා යනවා ... මොකද මේක බස් එකක් කියලා හිතුවද... කාගෙන් අහලද මේකට නැග්ගේ ..? ආදී ප්‍රශ්න වැලකි..
එතුමාගේ කථා විලාශය අනුව   කුඩා මම පිළිතුරක් දෙන්න බිය වුවා විය යුතුය..

නැවත ඉදිරි දොර විවුර්ථ කර එළියට බැස්ස දොස්තර මහතා දුටු ඇලන් මාමා ඒ දෙසට දුවගෙන ආවේය.

ඇලන් අපි යන්නේ නැද්ද? දොස්තර මහතා ප්‍රස්න කළේය. කිසි සබ්දයක් නැතිව රියදුරු අසුනට සැපත් ඇලන් මාමා
සර් ... මේ මම දන්න සර් කෙනෙක් ඉස්සර තෙළුල්ල SHS එකේ වැඩ කලේ.. අපේ සර්ලගේ පඩි, මාරු එහෙම හදලා දුන්නේ මේ සර් ලා තමයි.  ඔහු එසේ කියමින් තාත්තාව හදුන්වා දුන්නේය.

අනවසර ලෙඩා ගැන කිසිවක් නොපැවසීම දොස්තර මහතාට වත් ප්‍රස්නයක් නොවිණි.

 සිගරට්ටුව නිවා පැමිණි තාත්තා ඉදිරි අසුනේ වාඩි වෙත්ම ම කල ඉල්ලීමෙන් ඩි. ඇම්. ඕ. මහත්තයා  සිද්දිය පරිවර්තනය කර ගන්නට ඇත.

" මුහුණ පුළුටු කරගෙන සිටි මා දෙස බැලූ තාත්තා .. ඇයි පුතේ .. බඩගිනියිද? ඇසුවේය....

"නෑ.. නෑ'' මට මගේ කලිසම දෙන්න ඇඳ ගන්න..  කලිසම ඇඳගෙන ගියානම් හොඳයි.. " මම පිළිතුරු දුන්නෙමි.

නෑ .. නෑ.. පුතා අපි අපි නේ වාහනේ ඉන්නේ සරමක් ඇදන් හිටියා කියලා ප්‍රස්නයක් නෑ... දොස්තර මාමා ස්වෙච්චාවෙන්ම ඉදිරිපත්විය.

දැන් ගිලන් රිය වේගයෙන් අරලගංවිල දෙසට ඇදේ.. දොස්තර මාමත් අපේ තාත්තත් ඉදිරි අසුනේ හරි හරියට කතාවය. හිටි ගමන් ඇලන් මාමද හු මිටි තබයි.

සීනි බනිස් සමග කිරි තේ


දැන් ගිලන් රිය වේගයෙන් අරලගංවිල දෙසට ඇදේ.. දොස්තර මාමත් අපේ තාත්තත් ඉදිරි අසුනේ හරි හරියට කතාවය. හිටි ගමන් අලං මාමද හු මිටි තබයි.

ඉදිරි අසුනේ සිටි දොස්තර මාමා .. අපේ තාත්තාටත් ඇලන් මාමා ටත් යෝජනාවක් කලේ ගිලන්රිය ගම්මෝදරට  ලඟා වෙද්දීය.

"නාමරත්න මහත්තයා තේ එකක් බොමුද .. අපේ පුතාටත් බඩගිනි ඇතිනේ..?" ඔහු හොරැහින් මා දෙසද බැලුවේය.
කට්ටිය දැන් වාහනෙන් බසී. මම ගිලන් රියේ ලෙඩ ඇඳේ සුවසේ සැතපී ඉඳිමි. එන්න පුතේ. ඇලන් මාමා කතා කරයි. "මට බෑ.." මම අවධාරනයෙන් පැවසුවෙමි.

ඊළඟට පැමිණියේ දොස්තර අංකල්ය "එන්න පුතා තේ එකක් බොන්න.. " දොස්තර අංකල් කෙලින්ම මගේ ඇස් දෙක එල්ලේ නොබලුවේය.

මම මගේ දැඩි තීරණය වෙනස් නොකලෙමි. තාත්තා මාව තේ බිමට කැඳවන්න නොගත් උත්සාහයක් නැත.

මම මාගේ උපවාසය අත් නොහැරීයෙමි.

එහෙත් කවදා හෝ ඩි. ඇම්. ඕ. කෙනෙකු වෙන්නට තරයේ සිතා ගත්තෙමි.





Sunday, 26 April 2015

පයිතගරස් ප්‍රමේයය හා තවත් කතා

දැන් කවිඳුලා, ගැට්ටලා සහ වම්බොට්ටලා අටේ පන්තියේ සිටින අවසන් මාස කීපයයි. කොතරම් දඟකම් කලද බී ශ්‍රේණියේ සිස්‍යයෙකු වූ මා පන්තියේ එක හෝ දෙක ස්ථානය සුරක්ෂිත කර ගන්නට සමත් වුනෙමි. මම අරලගංවිල මහා විද්‍යාලයට ගිය දා සිට වැඩිහරියක්  සිටියේ  ඒ සිට ඊ දක්වා වූ පන්ති පහෙන් "බී "කොටසේමය


අරලගංවිල මහා විද්‍යාලය එසේ මෙසේ විද්‍යාලයක් නොව "ඌව පළාතේ හදවත" යැයි විරුදාවලි ලත් විදු මාතාවකි. අද මේ ලියන මා මෙන්ම මා සිටින රටේ කීර්තිමත් විශ්ව විද්‍යාල දෙකකම මහාචාර්ය වරුන් බිහිවූයේද මේ පාසලෙනි.

කරුණු එසේ වුවද මගේ හා මගේ සගයින්ගේ "කොළු කම් "  වෙනස් කරන්නට නම් මේ ප්‍රසිද්ධිය බලපෑවේ ඉතාමත් අල්ප වශයෙනි.

දඟකාරකමත් ඉගෙනීමත් යන කරුණු දෙක වමත  හා දකුණත මෙන් තිබුණු කාලයකි මේ .

කෙසේ වුවත්  මෙතෙක් වමට බරව සිටි මා  ස්ථිරවම දකුණට හැරෙන්නට තීරණය කලේ මේ වකවානුවේදීය


පළමුව ඉගෙනුම දෙවනුව දඟකම



ඒ කාලයේදී  ජාලිය, සුපුල් නුවන්, සුපුල් චන්දික වැනි දඟයිනුත් ගැට්ටා, වම්බොට්ටා  සහ  කණ්ඩුල වැනි නොම්මර එකේ "උනන්දුවනුත් " හරි හරියට ඇසුරු කලෙමි.

බෝ පැල පහක් එක් කර තැනුවා වැනි වූත්, එකල මාගේ හොඳම පන්ති සගයා වුත්  සද්දේ හෙවත් "කණ්ඩුල සද්දාමංගල"  මේ අය අතරින් යම් විශේෂත්වයක් ඇති අයෙකි.

සද්දේ ගැන මෙහිදී යමක් කිව යුතු වන්නේ මේ වන විට ඔහු අවාසනාවන්ත ලෙස අකාලයේ ඔබ අප සැම අතහැර ගොසින් වන බැවිනි.

සද්දෙයා මා මෙන්ම පසුකාලීනව දොස්තරවරයෙක් වුවද ( ඔහු ගියේ රුහුණටයි),  විශ්ව විද්‍යාලයෙන් පිටත් වන විටද ඔහුගේ භයානක රෝග තත්වය සැහෙන්න ඔඩු දුවා තිබු බව මම අසා ඇත්තෙමි.

සද්දේ අටේ පන්තියේ මගේ අති ජාතම මිත්‍රයා වුවා පමණක් නොව එතැන් සිට විශ්ව විද්‍යාලයට යන තෙක්ම පන්තියේ එක හෝ දෙක තනතුරට  මා සමග තරඟ කරමින් සිටි මගේ පන්ති සගයායි.

 ඔහු කිසි දිනක මා වමෙන් ගලවාගන්නට උත්සහා නොකළ අතර මා කරන දඟ වැඩ බලා සිනා සුනා පමණි.

එසේ වුවද, සද්දේ යනු මා දකුණේ  නිට්ටාවටම ස්ථාපිත කල, අදටත් මගේ නෙතට කඳුලක් නංවන්නට සමත් මට අරලගන්විලදී  හමුවූ  වටිනාම පුද්ගලයෙකි.

සද්දේ හා මා නිසා එතෙක් වැඩි ගනුදෙනු නොතිබූ අපේ පවුල් වලද ඉතාම කිට්ටු සම්බන්දයක් (අපි දෙදෙනා ඉස්කෝලේ නොම්මර එකේ තරඟකාරයෝ බව ඔවුන් දැන සිටියහ) ඇතිවූ බව නොරහසකි.

පසුකාලීනව හිටි ගමන් වමට වැඩියෙන් ඇදෙන්නට ගොස් මගේ ජිවිතයද අනතුරට වැටෙන්නට ගිය අවස්ථාවක මා ඉන් මුදවා ගත් පිරිස් අතර "දොළුව" ප්‍රදේශයේ ජීවත්වූ සද්දෙලා අම්මලාද වුහ.

සද්දේ පරදා කවිඳු ජයගත් එක අවස්ථාවක් මගේ හිතේ සදාකාලිකව රැඳී ඇත්තේ  එහි ඇති යම් විශේසත්වයක් නිසාය.

ඒ මගේ හිතවතා පරදන්නට මා සමත්වූ නිසාම පමණක් නොව, දඟකම් හා ඉගෙනීම දෙක අතර දෝලනය වෙමින් ආ මා ඉගෙනීම දෙසට වැඩියෙන් තල්ලු කරන්නට මේ සිද්ධිය හේතුවක් වූ බැවිනි.

 පයිතගරස් අටේ පන්තියෙන් බිහිවෙයි.


අටේ පන්තියේ දෙවන හෝ අවසාන වාරය පන්ති පහේම සිටි බොහෝ උනන්දුවන්  හෙල්ලී ගිය සමයකි ( මෙහිදී නොසෙල්වුණු එකම  උනන්දුවන් දෙදෙනා වුයේ සද්දේ හා මා පමණක් බවද මෙහිලා සඳහන් කරන්නේ අප ගැන ඇතිවන නිහතමානී  ආඩම්බරයක් ද සහිතවය).

මෙම පන්ති කම්පාවට හේතුව අටේ පන්තියට අලුතින් කඩා පාත්වූ  අයෙකි. මගේ මතකයේ හැටියට ඔහු  සිස්‍යත්ව ලකුණු වලින් රාජකීය විද්‍යාලයට පවා තේරී  දෙමව්පියන්ගේ රැකියා නිසා අප විදුහල තෝරා ගත් අයෙකි.

ඒ හරීන් සෝමරත්න ගේ හදිසි ආගමනයයි. හරීන් ඉස්කෝලෙට ආවේ අපේ හයේ පන්තියේ ආදරවන්තයා වූ යෝෂිත කන්දෙකුඹුර මෙන් දෙහිගස්වත්ත ප්‍රදේශයේ සිටයි.

එකල මහා සිසුන්  පිරිසක් වැලිකන්ද ප්‍රදේශයේ සිට පටන්ගන්නා 79 දොර දෙකේ බසයෙන් අප විද්‍යාලයට පැමිණි අතර යෝෂිත හා හරීන් ඉන් දෙදෙනෙක් පමණි.

විශේෂයෙන් සඳහන් කල යුතු වර්ගයේ බොහෝ කොල්ලන් හා කෙල්ලන්  පිරිසක් 79න් අපේ ඉස්කෝලෙට පැමිණියද, ඉන්  සෑහෙන පිරිසක්  ( සමහර විට පවුල් පිටින්)  අවාසනාවන්ත ලෙස අප අකාලයේ හැර ගිය කොටසට අයිති වන බව පමණක් මෙහි සඳහන් කරමි.

ගැට්ටා පයිතගරස් වූ හැටි

හරීන් පැමිණි විගසම ඔහු කව්දැයි අපට පෙන්වා දුන්නේය. අටේ පන්තියේ ඉන්දෑද්දදී නවයේ ගණන් හැදු ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම පයිතෙකි.

හරින්ගේ ආගමනයෙන් අටේ පන්තියට පමණක් නොව ඌවෙ හදවතටම ගණිතමය පුනරුදයක් උදා වුයේය. හරීන් අටේ ඉඳන් නවයේ ගණන් හදද්දී .. මෙතෙක් ගණිත කාරයින් වී සිටි ගැට්ටා වැනි අයට සෑහෙන අභියෝගයක් එල්ල විය.

තම සටන අත් නොහරී ගැට්ටා එක් දිනක් පන්තියට පැමිණියේ  W. O. T. ප්‍රනාන්දුගේ අ. පො. ස ( සා. පෙ.) ගණිත පෙරහුරුව නම් පොතක්ද අතැතිවයි.

දැන් ගැට්ටා  අට බී පන්තියේ අප හැමෝටම පෙනෙන ලෙස ප්‍රනාන්දුගේ පොත පෙරලාගෙන ගණන් හදයි.  කණ්ඩුල (සද්දේ)  ටත් මටත් හිනා නොවී සිටිය නොහැකි විය.

සද්දේ මෙන් තනිකරම බෝ පැලයක් නොවූ මා මෙය දැක නිකම් හිටියේ නැත.  ගැට්ටා පයිතගරස් ලෙස අභිෂේක ලබන්නේ නම් තැබීමට ප්‍රසිද්ධියක් ඉසිලු මා හා එවැනිම කෙනෙක් වූ බොට්ටා ඇවිස්සීමේ  ප්‍රතිඵලයක් වශයෙනි.

නම් කිහිපයක් යෝජනා වූ අතර ගැට්ටා ගේ ගණිත ගැටළු විසඳීමේ හැකියාව සලකා බොට්ටාගේ යෝජනාවට අපි සහාය පල කළෙමු.

එතැන් සිට ගැට්ටා පයිතගරස්  නොහොත් ගැටු පයිතා ලෙස හඳුන් වන්නට කොල්ලෝ අමතක නොකළහ.

හොඳම සයන්ස් කාරයා


හරින්ලා , පයිතගරස් ලා ඇතුළු මුළු අටේ පන්තියම ගණිත පුනරුදයේ හිනි පෙත්තටම නැග තිබු මේ මොහොතේ හොඳ සයන්ස් කාරයෙක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු කාර්යක් විය.

සද්දෙලා සහ අපි සද්ද නැතිව වැඩ කරන් ගියේ සා. පෙ. විභාගෙට ගණන් පමණක් නොව තවත් විෂයයන් 7ක් ම තිබෙනා බව හොඳින්ම දන්නා බැවිනි.

මමද සයන්ස් ගැන ලොකුම ලොකු ඇල්මක් නොව සාමාන්‍යයෙන් සැලකිය යුතු උනන්දුවක් දැක්වුයේ  අපේ අය්යා සමන්තද ඒ කලේ  උ. පෙ. සයන්ස් කාරයෙකු වූ බැවිනි.

ඉගෙනීමේ කටයුතු මෙසේ සිදු වෙද්දි සුපුල් ඉන්දික ජාලිය වැනි අයගේ වමේ කටයුතු වලටද කිසියම් ප්‍රමාණයකට  සහභාගී වීමට අමතක නොකලෙමි.

කොල්ලෝ දෙතුන් දෙනෙක් අප පන්තියේම ගැහැණු ළමයින් සමග යාළු වූ මේ කාලයේ ඉන් ප්‍රධානම යුවලක් වුයේ  වම්බොට්ටා සහ ඈන්  නිලන්ති පීරිස් ගේ සම්බන්දයයි.

ගැට්ටා හෙවත් ගැටු පයිතා මෙන්ම බොට්ටාද මෙකල මගේ ලඟම හිතවතෙකි.  ඒ දිනවල බොට්ටා ගෙන් මා ඉගෙන ගත්තේ ගැහැණු ළමයින් ගැන නොව පිරිසිදුවට හැඳ පැලද පාසලට පැමිණීම වැනි කවුරුත් ආකර්ශනය කල හැකි ගති ගුණයි.

වෙළඳ  කටයුතු සහ ගමේ වගා කටයුතු වල තරමක් යෙදී සිටියද  බොට්ටා මෙන් නිදහසේ මොඩ් කරන්නට මට නොහැකි විය.

උදාහරනයක් ලෙස බොට්ටා ලස්සන "කිකිස්" සපත්තු දෙකක් දමා ගෙන අටේ පන්තියට එද්දී. මට "ඉලාස්ටෝ"  සෙරෙප්පු දෙකක් දමාගෙන පාසැල් එන්නට සිදු වුයේ මේ කාලයේදීය.

අපේ ඉස්කෝලෙට අළුතින් පැමිණි විදුහල් පති තුමා ( ඔහු කොළඹ ඩි. ඇස්. සේනානයකේ හිටපු උප විදුහල්පති කෙනෙකි)  ළමයින්ගේ නිල ඇඳුම ගැන ඉතා උනන්දු වුයේද මේ කාලයේය.

ගුරු දෙගුරු රැස්වීමක  මේ ටයි කොට් අඳින අලුත් විදිහල් පති "එඩ්වින් සර්"  කියපු කතාවක් අම්මා ගෙදර ඇවිත් කියනවා මට මතකය.

"මගේ ඉස්කෝලෙට ගෙදර කක්කුසියට දාන සෙරෙප්පු කෑලි දාලා ළමයි එවන්න එපා"  "ඉස්කෝලෙක නම පවතින්නේ ළමයින්ගේ පිරිසිදු කම හා ප්‍රිය මනාප බව හොඳට  තිබුනොත් තමයි"

මේ පින් බලයෙන් මටද කික්ස් කෙසේ වෙතත් දිනපතා සුදු හුණු ගාලා ලස්සන කල හැකි අඩිඩාස්  දෙකක් ගන්නට වරම් ලැබුණි.

දැන් අටේ පන්තියේ අවසන් වාර පරීක්ෂනයත් අවසන් වී ඇත . අපේ පන්ති බාර කමින් වන්නිගම ටීචර් එක් වසරකට මග හැරී ශාන්තිද සිල්වා නම් ගුරුතුමිය එයට පත් වී සිටි කාලයයි මේ.

මෙකල ලාලනී රත්නා  නම් ගුරුතුමිය  අපිට විද්‍යාව ඉගැන්වූවාය. දිනක් පන්තියට පැමිණි ලාලනී ටීචර්..

" කවුද කවිඳු ජයසිංහ කියන්නේ? " " කෝ නැගිටිනවා බලන්න.."

වන්නිගම නෝනා මෙන්ම සැර වැර සහිත මේ නෝනගේ හඬට මුළු පන්තියම මියට පිම්බාක් මෙන් නිෂ්ශබ්ද විය..

ලාලනී මැතිණියගේ මුහුණේ ඉරියව් වලින් පෙනුනේද සැර පාටමය. මට ඒ අවුරුද්දේ මුල පන්තියට ආ සුපුල් චන්දිකට ඔහුගේ මුල්ම පාසැල් දිනයේ ඇය දුන් දඬුවම මතක් විය.

ඒ ඔහු ටක.. ටක.. ගා රසායන විද්‍යා ලැබ් එකේ මේසයට තට්ටු කල වරදට ගිනි අව්වේ මිදුලේ දැන ගැස්සවීමයි.

සිහින් දාඩිය බිඳුවක් මගේ පිට කොන්ද දිගේ ගලා යනු මට දැනේ.. තුස්නිම්භුත වූ  මම  නැගිට්ටා නොව බයටම නැගිට වුනා කිව්වොත් නිවැරදිය.

ආ.. තමාද කවිඳු... කෝ එනවා ඉස්සරහට...

මේ අතර මා සලිත වී ඇති බව ඉවෙන් මෙන් දැන ගත් මගේ හිතවතා, සද්දෙයා මගේ ලඟම ඉඳගෙන මගේ අතින් අල්ලා ගත්තේ "ගණන් ගන්න එපා මචන්"...පලයන් ඉස්සරහට  කියමිනි.

"තමුන් දන්නවද ඇයි මං කතා කලේ කියලා?" ලාලනී ටීචර් එවර නම් ටිකක් සැර බාල කර ඇති සෙයකි.

එහෙත් අප අතර පැවතියේ දිගු නිහැඬියාවකි.................

"ඔයා තමයි  මේ පාර මුළු පන්ති පහෙන්ම විද්‍යාවට වැඩිම ලකුණු අරන් තියෙන්නේ..." ලාලනී ටීචර් නිහඬතාවය බිඳිමින් පවසයි.

මෙය අසා සිටි කොල්ලෝ කෙල්ලෝ  හැමෝම වේගවත් අත්පොළසන් නාදයක් දුන්නේ මගේ බයිලා ඇසීමෙන් නොව අළුත උපන් සයන්ස් කාරයා පිලිගැනීමටය.

ලකුණු ලබා ගත් දෙවැනි තුන් වැනි ස්ථානද මතක් කල ලාලනී ටීචර් .. තමා ළමයින්ගේ ගණිත උනන්දුව ගැන උනන්දුවෙන් පසුවූ බවද සඳහන් කලේ ගැට්ටා දෙසද බලමිනි.

මගෙත් සද්දෙගේත් ප්‍රීතියට තවත් හේතුවක් වුයේ මට වඩා ලකුණු 5-6 ක් අඩු වුවද සද්දේ පන්ති පහෙන්ම දෙවැනි තැනට පැමිණ සිටීමයි.

Saturday, 25 April 2015

අපි නමුණුකුල ගිහින්



හැත්තෑ හතේ මැතිවරණයට සහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සමන්ත අය්යාත් අපේ අක්කාත් ගමෙන් පිට කරන්නට අම්මාට සිදුවිය.
 ඒ කාලේ  ඔවුන්දෙදෙනා සිටියේ  නමුණුකුල බාප්පලා ගෙදරය.
ඉස්කෝලේ නිවාඩුවකට කාරිය අම්මා මාත් රැගෙන ඔවුන් බලන්නට නමුණුකුල යන්නට හුරුවී සිටියාය.

නමුණුකුල සිරි


අපේ අම්මාගේ නංගි කෙනෙක් විසු ඒ ගෙදර පිහිටා තිබුනේ නමුණුකුල කඳු පාමුල ඉතා මනරම් පරිසරයකයි. ගේ ලඟින්ම පහලට ගලා ගිය දීය කඳුර දෙපස උණගස් පෙලකින් හා දීය සීරාවට හැදෙන නොයෙකුත් පඳුරු වලින් වැසි පැවතින.

බාප්පලා ගෙදර ගල් රන්දක් අසල පිහිටා තිබුන අතර වත්ත පුරාම පිරි තිබුනේ පුවක් ගස්, කිතුල් ගස් සහ කොස් , දෙල්  වැනි බව භෝග වලිනි.


වත්තේ පහල උණ පඳුර ළඟ තිබු වැල් දොඩම් වැල් ද මගේ සිහියට එන්නේ ඒ දෙසට යෑමටද කැමත්තක් මා තුල තිබු බැවිනි.

නමුණුකුල යන්නට මා වඩාත් ප්‍රිය කල හේතුව වුයේ මේ එකක් වත් නොව අප එහි ලඟා වූ වහාම ගමේ පහළ පැත්තේ ගොස් බාප්පා කඩා ගෙන එන දෙල් සහ කොස් ය.

පුංචි අම්මා සැපට අබ උළුහාල් දමා තෙලින් බැද අපට හදා දෙන දෙල් මාලුව නිවාඩුවට එහි යන මගේ ප්‍රියතම අංගයයි.

පුංචිලාට ලතා, සීතා සහ රංජි යැයි දරුවන් තිදෙනෙකි. මින් මගේ වඩාත් සිත් ගත් තැනැත්තිය වුයේ ලතා අක්කා වුවත්,   අපි වැඩි පුර සෙල්ලම් කලේ දඟ කම් කලේ රංජි අය්යා සහ සිතා අක්කා සමගය.


ලතා අක්කා  ඒ දවස් වල ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යාලු බවත් .. එහි බ්‍රෝකර් .. කළුවේ අය්යා බවත් කුඩා මට කියනවා මට තාමත් මතකය.








රංජි නම් අනිත් ව්‍යාවසායකයා


ඒ කාලේ රංජි අය්යාද මා මෙන් පොඩි බිස්නස් කාරයෙකි.

ගස් බඩ ගෑමේ ශුරයෙකු වූ ඔහු තම ව්‍යපාරය ලෙස කලේ පා වළල්ලක් බැඳ පුවක් ගස් බඩ ගෑමත්,  එලෙස කඩා ගන්නා පුවක් අටේ කණුවේ හන්දියේ කඩයට විකිනීමත්ය.


සමන්ත අය්යාට සම වයසේ සිටි ඔහු එකල සමන්ත මෙන් පොත පතේ ඇලි ගැලී සිටීමට වඩා කලේ මෙවැනි මුදල් උපයන ක්‍රියා කාරකම්ය.

ඊට අමතරව ඔහු අත්මාරක්ෂක සටන් කලාවක්ද ප්‍රගුණ කල බව මා අසා තිබේ.

ඔහු කිරඹ ඔයේ ලොකු මාමාගේ ප්‍රියතම බෑනා වුයේ මෙම ව්‍යාපාරික කටයුතු හැදෙන එකෙකුගේ ලක්ෂණ ලෙස ඔවුන් මහා ඉහලින් වර්ණනා කල නිසාය.

රංජි අය්යා මගේ බලවත්ම හිතවතෙක් නොවුයේ ඔහුගේ සමහර වැඩ ඒ තරම්ම හොඳ ඒවා නොවන නිසයි. ඔහු සමන්ත අය්යාට කළා යැයි මාමා අසා තිබු සුළු සුළු අඩන්තේට්ටම් ගැන අපේ අම්මා කියනු මා අසා ඇත .

ඉන් මා සිත තදින් රැඳී තිබුණු එක් අවසථාවක්  වුයේ  "රන්ජියා අපේ කොල්ලගේ පපුවට තුවක්කු බටේ තිබ්බා " කියා අම්මා විස්තර කල සිද්යධියි. 

එක් දිනක පොඩිඋන් අතර ඇතිවූ සුළු ගැටුමකදී ඔහු විසින් ගෙදර තිබු බාප්පාගේ ලැය්සොන් තුවක්කුව අපේ සමන්තගේ පපුවට තබා ඔහු බය කිරීම මෙම "භයානක" සිද්ධියයි 


නමුණුකුල දී කල දඟකාරකම්



සමන්ත වැඩිය පෙන්නන්න්න බැරි වුවද රංජි අය්යා කුඩා කවිඳුට නම්  ප්‍රිය කල බව පෙනෙන්නට තිබුණි. හේතුව..

කුඩා මම අපේ අය්යා මෙන් නොව ඕනෑම දඟ වැඩකට ඔට්ටු මල්ලියෙක් නිසා වන්නට ඇත. බාප්පලා ගෙදර සිට නාන්නට යන ගමන අපගේ මෙම සම්බන්දයට  කදිම උදාහරණයකි. 

එහි සිට දවල් කාලයේ දීය නාන්නට යන අපට ඒ සඳහා ප්‍රධාන  ක්‍රම දෙකක් තිබුණි. 

පළමු වැන්න පුංචි, ලතා අක්කා වැනි අය කරනවා මෙන්  ගේ ලඟම තිබු පිල්ලෙන් හෝ.. කඳුරේ ටිකක් උඩහට ගොස් දීය නෑ ගැනීමයි.


මා හිතන හැටියට සමන්ත අය්යා වඩා ප්‍රිය කලේ මේ ක්‍රමයයි . රංජි අය්යා හා මට අනුව මේ ගැනු ළමයින් වගේ නා ගැනීමයි.

අනික නමුණුකුල කඳු මුදුනින් පටන් ගෙන බිබිලේගම ඉස්කෝලෙට පහළින් ගලා යන "බොස බොස ගා වතුර ගලා ගෙන එන" ගඟෙන් නා ගැනීමයි.


මේ අතරින් ඉතා කලාතුරකින් රංජි අය්යලා මුණ ගැහෙන්න නමුණුකුල යන මා වඩාත් ප්‍රිය කලේ මේ කොල්ලන්ගේ ක්‍රමයට නා ගත හැකි.. එහෙත් දැන් මතක් වෙන විට ඇඟ කිලිපොලා යන අපේ ගඟේ වික්‍රමයටයි.


නමුණුකුලදී රා බිව් හැටි



එදා රංජි අය්යා "ගඟේ යමු චුටි මල්ලි "කියා මට කතා කරද්දී අප සමග හිටියේ සීතා අක්කාත්, අපේ අක්කාත් රංජි අය්යාත් පමණි.


සරම් කමිස සහ තුවායක්ද රැගෙන ගිය අපි "සබන් කෝ.." කියා ලතා අක්කගේ රාණි සබන්  කෑල්ල ගන්න හදන කොටම රංජි අය්යා කිවේ "සබන් ඕනෑ නෑ මල්ලී.. එහේ සබන් තියෙනවා" කියලයි.

දැන් අපි කළුවේ ලා ගේ ගෙදර පසු කර ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හදිසියේම අපි තුන් දෙනාට බිම වාඩි වෙන්නයි අතින් සන් කල රංජි අය්යා.. ඔහු බොහෝ වෙලාවට ගෙදර ඉන්නා සේ සරම පොට දෙපා අතරින් පසු පස්සට දමා අමුඩයක් ගසා ගන්නට පටන් ගත්තේය.

ඔහු කරන්නට යන දේ කුමක් දැයි හිතා ගන්නට බැරිව සිටි මා කෙල්ලෝ දෙන්නත් සමග තණකොළ ගොල්ලේ වාඩි වී සිටියේ  ඕනෑ දෙයක් වෙච්චාවේ යන හැඟීමෙනි.


අපට වැඩිය සද්ද නොකරන ලෙස කී රංජි අය්යා බඩ වැටියේ තිබු කිතුල් ගහේ කඳෙන් මතු වෙනවා දුටු විට කුඩා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ වැඩේ එච්චරම දඟ නැති බව තේරුණු නිසා විය යුතුය. 


නෑමට පෙර පොල්කටු දෙක ගානේ



ඇඟ පුරා ගස් පොතු තැවරී සිටි රංජි අය්යා නැවත කැලයෙන් මතු වුයේ කළුවේ මදින කිතුලෙන් උණු උණුවේ බා ගත් සුදු පාටට පෙන දමමින් තිබු රා මුට්ටයක්ද අතින් එල්ලගෙනයි. දැන් අපි හතර දෙනා තණකොළ ගොල්ලේ මුට්ටිය වවටා බිම වාඩි වී සිටිමු.

රංජි අය්යා පොල්කට්ටෙන් එක ගානේ මටත් අක්කලා දෙන්නටත් රා පෙරා දුන්නේ හොඳ පුරුදු කාරයෙකු ලෙසිනි.සීතා අක්කාද තරමක පුරුදු කාරියක් යැයි මට සිතුනේ ඇය පෙරේත කමින් දෙවැනි පොල් කට්ටද ඉල්ලනවා දුටු බැවිනි.

තිත්තට තිත්තේ තිබු එහෙත් පෙන බුබුළු දකින විට කටට කෙළ උනන මේ පානය මට ප්‍රියතම එකක් නොවුවත් රංජි දුන් දෙවැනි කට්ටද මා ගුඩුස් ගා ගිල දැමුවේ ආශාවටද නැත්නම් ඔහුගේ තුවක්කු කට මතක් වීමෙන් දැයි මට අදටත් සිතා ගත නොහැකිය.


නෑමෙන් හොඳ නෑම



තරමක රා මතයෙන් යුත් අපි හතර දෙනා දැන් ගඟ දෙසට පල්ලම් බසිමින් සිටිමු. හෝ.. හෝ... ගා ගඟේ සද්දය ඇහෙන විට මට සියුම් භීතියක් ද ඇති විය.

 ඒ   උඩහ තේ වත්තේ පිල්ලෙන් හෝ කිරඹ ඔයේ පිල්ලෙන් මිස, ජීවිතේට මෙවැනි විශාල ගඟකින් ස්නානය කර නොතිබූ නිසා විය යුතුය.


අපේ නඩේ ගුරා රංජි අය්යා  කෙරෙහි මා සම්පුර්ණ විශ්වාසය තැබුවේ ඔහු හොඳ පුරුදු කාරයෙකු විය හැකි යයි සිතු නිසාය.

එමෙන්ම තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක මේ ගිය ගමනේ කුඩා මට වෙන කල හැකි දෙයක් නැති බව මට ඉවෙන් මෙන් වැටහී තිබුණි.

ගඟ දෙපස වූ ගොඩපර ගසකට නැගගත් රංජි අය්යා අප දෙසට ගොඩ පර ගෙඩි විසි කලේ "මෙන්න මල්ලිලා සබන්" කියමිනි.


සබන් ගා ගන්නේ කොහොමදැයි නොදැන සිටි මාගේ උදව්වට ආවේ සීතා අක්කාය.

"මල්ලි.. මෙන්න මෙහෙම ගෙඩිය ගලේ ගහලා අරන් එන නානු ඔළුවේ ගා ගන්න" යැයි කියමින් ඇය මට රූපලාවන්‍ය පාඩමක් කීයා දුන්නේ ඇය ගොඩපර සබන් ගා ගන්නා ගමන්මය.

සබන් නානු තවරා ගත අපි ඉන් අනතුරුව ගඟ වෙත පා නැගුවෙමු. රංජි අය්යත් සීතා අක්කාත් ගඟේ ගැඹුරු වලවල් වල පිහිනා අපට පෙන්වුයේ හොඳ පළපුරුදු කාරයින් මෙනි.



රංජි අය්යා මට කොහොමට වත් පිහිනන්න නොතේරෙන බව දැනගත් වහාම ලඟට පැමිණ මාව වේගයෙන් ගලා යන ජල පහර ගල් කුළු හේතුවෙන් අඩපනවූ ස්ථාන කරා රැගෙන ගියේය.


"චුටි මල්ලී... සරම දෙකට නමාගෙන මෙන්න මෙහෙම සරම පුම්බ ගන්න එතකොට ඔයා ගිලෙන්නේ නෑ..." යනුවෙන් පිහිනීමට ප්‍රයෝජනවත් .. ඔහු ප්‍රගුණ කල ප්‍රයෝගික කාරණයක් මට කීය දුන්නේය.

අපේ අක්කා කෙසේ පිහිනුවදැයි මට මතක නැත .. මම රංජි අය්යා කී ලෙස විවිද උපක්‍රම අත්හදා බලමින්.. ගඟේ වතුර ලීටර් ගණනාවක් බොමින්.. කාලය ගත කලෙමි.



අවසානයේ  මමද ඔවුන් සමග පන පිටින් ගෙදර ආ බව ඔබට කියන්නේ  තවමත් මා ජිවතුන් අතර සිටින්නේ කෙලෙසදැයි ..මටම අදහා ගත නොහැකි  නිසාවෙනි.



Friday, 24 April 2015

ගමයි පන්සලයි අපේ ජීවිතයි..

                                             

                                                     

  හවසට පන්සල් ගිය හැටි



අපේ අය්යා සමන්ත ඒ කාලේ මා මෙන් දඟ වැඩ කල අයෙක් නොවේ.

ඔහු ගමේ අය කියන්නා වාගේ "බෝධි සත්වයෙක්" වැනි නිවිච්ච ගති තිබු අයෙකි.

නන්දි පාල අය්යලා ගැන්සියත් එක්ක නටමින් ගෙදර එන මා යහ මගට ගැනීමට සමන්ත අය්යා නොගත් උත්සාහයක් නොමැත.

ඒ බව සනාථ කීරීමට  තරම්  සරල සාධක එමට තිබේ.

ඉන් එකක් වුයේ  ඒ කාලේ අපි දෙන්නා දිනපතා හවසට පන්සල් ගිය ගමනයි.


ඒ ගමන ගියේ ජේන් අක්කගේ  අය්යා (ඩිංගිරි බන්ඩේ මාමා), මුල්ලේ ගෙදර කිරි බන්ඩේ මාමා සහ ගමේම පෝසතා වූ බාස් මාමා සමගයි.

වැඩිහිටියන් තිදෙනා ගමේ අනෙක් කෙලවරින් පටන් ගන්නා මේ ගමනට අය්යා මලෝ දෙන්නා  එකතු වන්නේ හේරත් අය්යලා ගේ ළඟ තිබුණු පඩි පෙළ ළගදීය.

ඩිංගිරි බන්ඩේ මාමා


ඩිංගිරි බන්ඩේ මාමාද අපේ ඇතිමලේ බාප්පා මෙන් මගේ ජීවිතය හැඩ ගන්වන්නට සමත් වූ ගමේ අමුතු චරිතයකි.

ඔහු ඒ කාලේ අය්යාටත් මටත් වෙන වෙනම හදා ගන්න කියා  දුන් දෙළුම් පැල දෙක මල්දෙණියේ අපේ මහ ගෙදර තාමත් ආඩම්බරයෙන් බැබළෙයි.

කලාතුරකින් අපේ  මහගෙදර යන මට "ගුරු ගීතයේ ගස් වැටියටත්" මේ දෙළුම් ගස් දෙකත්  අතර සමාන කමක්  දැනුනේ  නිකමටම නොවේ.

ඔබට මතක් ඇත්නම් හැත්තෑ හතේ අපි ගල් ප්‍රහාරයට මුහුණ දෙද්දී අය්යත් මමත් බේරා ගත්තේ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තම දේශපාලන දැක්ම අපේ තාත්තලා මෙන් ප්‍රසිද්දියේ නොපෙන්වූ මේ උදාර මිනිසා අපිට කීයා දුන් පාඩම් රාශියකි.

ඔහුගෙන් අප ඉගෙනගත්  දේවල් අතර අනෙකාගේ තනතුර තරාතිරම නොබලා කෙනෙකුට උදව් කිරීම හෝ අනුග්‍රහය දැක්වීමේ ලක්ෂණය වැදගත් තැනක් ගනී.

 සංවර්ධනය වී ඇති රටක ජිවත් වන මාත් ,සුපුනුත් , සුපුන්ගේ අම්මාත් මෑතකදී අලුත් අවුරුද්දට ලංකාවේ අයගේ ගෙදර වල් වල  ගිය ගමන  මට  ඩිංගිරි බන්ඩේ මාමා සිහි ගැන්විය.

 කුඩා පෝච්චියක හැදු ගොටුකොල පැලයක් හෝ මුකුණු වැන්න පැලයක් බැගින් පළාතේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රැගෙන ගියෙමි.

ඒ අලුත් අවුරුද්දට  අපෙන් දෙන  ත්‍යාගයක් ලෙසයි. ඔවුන් එය කෙසේ බාරගත්තා දැයි  මා දන්නේ නැත.

නමුත්  මා සිත තිබුණේ ඩිංගිරි බන්ඩේ මාමා සමන්තටත් මටත් දෙළුම් පැල ලබා දෙන විට ඔහු සිත තිබු සිතුවිල්ලම  යැයි මා සිතමි.

ඒ කාලේ හවස පහ හමාර හය හමාර වන විට සමන්ත අය්යත් මමත් ගමේ පන්සල වෙත ඇදෙන ඩිංගිරි බන්ඩේ මාමා ඇතුළු  වැඩිහිටියන් තිදෙනා සමග එකතු වන්නෙමු.

ඒ මගේ ආශාවටකට  වඩා ඉතා ධාර්මික සහ තැන්පත් කොල්ලෙක්  වූ අපේ අය්යාගේ උවමනාවටයි.

අපි මේ පුද්ගල ත්‍රිතත්වයත් සමග යන ගමනේ මුල් ආරම්භයේදීම  මගේ අතට "යමක්" දෙන්නේ ඩිංගිරි මාමා විසිනි .

ඒ ලොකු හාමුදුරුවෝ සමග තුන් සුත්‍රය කියවා ආපසු එන ගමනේදී  අඳුර නිවීමට පහනක්  ලෙස යොදා ගන්නා දෙයකි.

 ජෑම් බෝතලයක් ඇතුලට පහන් තිරයක් ගිල්වා හැදු එය ලන්තරුමක් වැනි ලාම්පුවයකි.


අපි අම්මා  සමග වගා කටයුතු වල යෙදුනු  ඒ කාලේ අපේ අල කොටුවේ එල්ලිමටද එවැනිම ලන්තැරුමක් ඔහු විසින්  හදා දුන් බව මතකය.

එකල අපේ ගමේ ප්‍රසිද්ධම  මේසන් බාස්ලා වූයේ  තාත්තගේ අය්යලා දෙදෙනෙකි.

තාත්තා ගමේ නැති ඒ  කාලේ  ඔවුන් අපේ ගෙදර වැඩකට ගෙන්වා ගැනීම ඉතාම අපහසු දෙයකි.

එමෙන්ම ලොකු බාස්ලා වූ මේ දෙදෙනා  සුළු සුළු මේසන් වැඩ වලට කොහොමටවත් එන්නේ  නැත.

තම ලොකු මල්ලිගේ පවුලේ වැඩක් කියා ඔවුන්ට විශේෂයක් දැනුනේද නැත.

වරක්  අපේ වැසිකිළියේ පොඩි අලුත් වැඩියාවක් අවශ්‍ය වී අම්මා වරින් වර තාත්තගේ අය්යලාට මතක් කල හැටි මතකය.

එහෙත් ඔවුන් දෙදෙනාම  එය මග හරියේ කුඩා අපට වැසිකිළිය පාවිච්චි කිරීම ඉතා අනතුරුදායක බව දැන දැනමය.

අවසානයේ වැසිකිළියේ අලුත්වැඩියාව  කර දුන්නේ එකල මේසන් කෙනෙක් නොවුවද   ගමේ ප්‍රචලිත "handy man" කෙනෙකු වූ ඩිංගිරි බන්ඩේ මාමා විසිනි.

තුන්සුත්‍රය කියවීම


කිරඹ ඔය පන්සල පිහිටා ඇත්තේ කිරඹ ඔයත් මල්දෙනියත් එකිනෙක වෙන් කෙරෙනා දෙගම් මැද වූ උස් තනි තලාවකය.

අපේ ගෙදර මල්දෙණිය පැත්තේ කඳු මුදුනේම පිහිටා තිබු අතර මගේ එකල අති ජාත මිත්‍රයා චමින්ද රාජපක්ෂලාගේ ගෙදරත්,  අපේ අම්මලා මහ ගෙදර වූ පහළ ගෙදරත් කිරඹ ඔය පැත්තේ කඳු බැවුමේ පිහිටා තිබුණි.

අපේ ගෙදර පිහිටා තිබුණු තැන ඉතාම සුන්දරක් එකකි.

 ඒ  එහි ජීවත්වූ පොඩි අපි සහ අපේ ආදරණීය අම්මා  නිසාම පමණක් නොව.. හවස තුන හතර වනවිට හාත්පස වෙලාගනිමින් පැතිරී යන සුදු මිදුම් වලාවන් විසින් අපේ ගෙමිදුලද වට කර ගන්නා නිසාය.

පන්සලේ බුදු ගෙය  බිත්ති  සුදු හුණු පිරියම් කර හා  බිමට පිගන් ගඩොල් අල්ලා තිබු ඉතා කුඩා එහෙත් මනරම් මන්දිරයකි.

බුදු පිළිමයට වම් පසින් එකත් පස්ව  වාඩි වී සිටියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්නල බුද්ධ රක්ඛිත හිමියන්ය.

දකුණේ වැඩිහිටියන් තිදෙනාත් පොඩි හිටි අපි දෙදෙනාත් වාඩි වී සිටිමු. "ඒ වංමේ සුතං" කියමින් අපි සුත්‍ර කියවමු.

සමන්ත අය්යා දොහොත් මුදුන් දී බරටම පිරිත් කියද්දි මට කහඹිලියා ගාය හැදීගෙන එන්නේ "යානිධ භූතානි සමාග තානි .. එකේ දෙවෙනි කොටස කොයි වෙලේ කියවෙයිදෝ සිතමිනි.

 මම එහාට මෙහාට ඇඹරෙමින් එහෙත් ඇත්ත වශයෙන්ම හඬ නගා පිරිත් කියමින් බුදු ගෙය තුල කාලය මරන්නේ නිවනක් ගැන සත පහකට වත් නොසිතමිනි.

මේ ගමනේ අගය මට තේරුණේ අපේ පන්ති භාර මෙන්ම බුද්ධාගම ටීචර්ද වූ වන්නියලා අම්මා තුන් සුත්‍රය අපට කීය දෙද්දීය.

අටේ පංතියේ අණ්ඩ පාල කෙනෙකු වූ ජාලිය  ඔහුගේ ලඟම සගයන් මෙන්ම අපඅතරටද පැමිණ

" බැහැපන් දේවා මනුස්සයෙක් එනවා... මට පෙන්නේ එන පොට හොඳ නෑ වගේ... ආ ඕකා මොන සොත්තියෙක්ද.. මම බ්රුස් ගාලා බැහැල එන්නම්  හාමුදුරුවනේ....යැයි...

 "බහු දේවා මනුස්සාච...මංගලානි අචින්තයුන්...ආකංක මාන සොත්ථානං..... බෘහි මංගල මුත්තම" යන ගාථා ඛණ්ඩය අපේ භාෂාවෙන් විස්තර කරද්දී...

අන්ඩයා වුවත් පොත පතේ වැඩ හරියට කල  මම හිනාවෙමින් අපේ ගමේ පන්සල සිහියට ගත්තේ ඒ වනවිටත් මට සුත්‍ර තුනම කට පාඩම් නිසාවෙනි.

 සමන්තට එක හැන්දකිනුත් කවිඳුට තව හැන්දකිනුත් බෙදු ලොකු හාමුදුරුවෝ


සමන්ත බෝ පැලයක් යැයි කිව්වේ මම විතරක් ම නොවේ.

 ගමේ පන්සලේ ලොකු හමුදුරුවන්ද ඇතුළු සෙසු ගම් වැසියෝ හැමකෙක්ම අපේ අය්යා දැක්කේ ඉතා නිවුණු ගති ඇත්තෙකු ලෙසිණි.


ඔහු දහම් පාසැලේ වැඩ වලට මෙන්ම එකල තිබු  සර්වෝදය.. සිඟිති හවුල් .. ආදී මෙකි නොකී සමාජ වැඩ වැලට පන්සල කේන්ද්‍ර කර ගනිමින් යොදා ගත් ලොකු හාමුදුරුවෝ සමන්තට තද බල ඇල්මකින් පසුවූ සේක.


එහෙත්උන්වහන්සේ මා  දෙස බැලුවේ ඒ කෝණයෙන්ම නොවේ.

හේතුව මම ජීවිතේට ළදරු පාසැලකට හෝ දහම් පාසැලකට පා නගා නොතිබීම විය යුතුය.

පන්සලේ එවැනි වැඩ වල ප්‍රමුකත්වයක් නොගත්තද

වෙසක් පෝයට සිල් අරන් කටුස්සන්ට ගල් ගැහීම, ඉඳි ආප්ප දානේ බෙදද්දී කිරඹ ඔයේ "දොකන්" සමග තරඟයට ඒවා කෑම,  වැනි වැඩ වලදී  යසනන්ද අය්යලා මෙන්ම මාද ඉදිරියෙන්ම සිටි අයෙකි.

එහෙත් හාමුදුරුවන්ගේ සිත් තුල මා ගැන තිබු ඇල්ම බැල්ම මුලින්ම මතු වී ආ දිනය මට අද වාගේ මතකය.

ඒ කාලේ සමන්තට කටපුරා  සමන්ත කියා කතා කරන අපේ හාමුදුරුවෝ මගේ නම දැන සිටියේ නැත.

දිනය අපේ මාසික හීල් දානය දෙන 24 වෙනිදාය.  මම පුරුදු පරිදි අම්මත් සමග දම්මුරේ අරන් පංසලට ගියෙමි.

මා දුටු ලොකු හාමුදුරුවෝ..

"ආ ඔය ළමයා අද  දානේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද අද සමන්ත නැද්ද?

ඒක නෙවෙයි මට ඇහෙනවා තමුන් රෑට ..රැට .පැල් රකින ගමන් .සින්දු කියන සද්දේ...

අම්මලා තාත්තලාට වගා කටයුතු වලට උදව් කරනවා නේද?

 ඒවා හොඳ වැඩ.. හොඳා හොඳා .. ඔහොම කරගෙන යමු . "

යයි ඇස යටින් බලා මා හට පැවසු උන් වහන්සේ තව මොන මොනාදෝ අම්මගෙන් ඇසුවේ මගෙන් ඔවුන්ගේ වගා සටනට තිබු උදව් පදව් ගැන විය යුතුය.



සෝමේලා ගෙට පහළ පැලේ සංගීත සාජ්ජය.




ඒ අපි වගා සටනට බැස්ස මුල්ම අවුරුද්ද හෝ දෙක ගෙවීයන කාලයයි..

 ගමේ මගුල් ගෙවල් වල බජව් කාරයෙකු වූ සෝමේ ,

"ජිවත් වීමට කොහොමත් බැරි මම කිරඹ ඔයට ආවා" යනුවෙන් සින්දු කිව්වේ මේ කාලයේදීය.

 ඔහු ගැයූ අනෙකුත් ගීත අතර.. "මම ගියා අපායේ බජව් එකකට සීයේ" "

ලොකු ලොකු හෝටල් ගානේ .. රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් නටන්නේ".. යන ගීතද විය.



දුප්පත් වුවත් විනොදකාමියෙකු වූ සෝමේ එකල ජිවත් වූයේ කටු මැටි පැල්පතකයි.

එයට එක එල්ලේම  පහළින්  ආණ්ඩුවේ reservation එකක් ආසන්නයේ අම්මලා එළවලු හැදු අපේ "පල්ලැහැ වත්ත" පිහිටා තිබුණේය.

අම්මාත් මමත් අපි බීජ අල හෙවත් "ගොඩ අල" හදා තිබු මේ වත්තේ රාත්‍රියට  මුරට ගියේද මේ කාලයේමය.

ඉස්කෝලේ කොල්ලන් සමග දවල්ට කවකටු පෙට්ටි ඩ්‍රම් සෙට් ගැසූ මා  රාත්‍රියේ  අම්මා පැලේ ඇතුලේ නිදි අතර පැලේ එළිමහනේ තැනු කොටසේ ගිනිගොඩ ළඟ සිට මල් බාල්දි ඩ්‍රම් සෙට්  එකට ගසමින් සින්දු කිව්වෙමි.


එකල මාගැයූ ගීත අතර ප්‍රධාන තැනක් ගත්තේ ඒ දශකයේ  ජනප්‍රිය ගායකයෙක් ව සිටි මැක්ෂි ජයවිරයන්ගේ

" කවලා විළඳ ජාති.". ගීතයත් , "බැරි බර කරේ තියන් "  යන ගීතයත්ය.

මට මතක හැටියට මම  ඒ කාලේ මල්බාල්දී සාජ්ජය පටන්ගන්නේ

"ගෝ.. වේ... ගෝවේ  ගෑ නු පරාදයි  .. යන ගීතය  ගයමිනි.

මැක්සිගේ සිංදු දෙක එන්නේ සාජ්ජයේ මැද හරියේදීය.







ඒ කාලේ  මා වගේම   අය්යා සමන්තද ජනප්‍රිය ගායකයෙකී.

එසේ  වුවත් අම්මා ඔහු පැලේ සංගීත සජ්ජයට රැගෙන  ආවේ නැත.

හේතුව ඒ වනවිටත් තම ලොකු පුතා  පොත පතේ වැඩ වලට වැඩියෙන් යොමු කිරීමට ඇය සිතා සිටි නිසා විය යුතුය.



ප. ලි.

එදා පන්නල බුද්ධ රක්ඛිත හිමියන්  අපි හීල් දානේ  අරන් ගිය වෙලාවේ මට මතක් කලේ රෑ දෙගොඩ හරිය තෙක් උන්වහන්සේට ඇසුණු මේ නැගී එන බයිලා ගායකයාගේ කන් කරච්චලය ගැනයි.

දිනක් පාසැල අවසන් වීමෙන් පසු...



එදා අඟරුවාදා හෝ සිකුරාදා දිනයකි. අපි 318 ගල්ඒදණ්ඩ බසයෙන්  නිවෙස් බලා එන වෙලාවයි. දැන් තරමක ඉලන්දාරි ගති මතු වෙමින් එන අප අතර සිරිමල්වත්තෙන් බසයෙන් බැස අපේ ගමට එන පොඩි උන් ගෙන් සමන්විත කල්ලියක් ගොඩ නැගී ඇති කාලයකි. මෙහි මුලිකයන් අතර වුයේ මමත්, මගේ සම වයසේ වූ කයිවාරු මාමලා බින්දුත් .. ඒ වගේම අපට වඩා අවුරුදු කිහිපයකින් වැඩි බින්දු ගේ අය්යා යසනන්දත් කොස්බඩාගෙන් බසයේදී බැනුම් ඇසු නොම්මර එකේ අන්ඩපාලයෙකු වූ නන්දිපාල අය්යත්ය.

සොහොනේ ගහෙන් අඹ කැඩීමේ මෙහෙයුම.



සිරිමල් වත්තේ සිට අපේ ගම දෙසට එද්දී අප මුලින්ම පසු කරන්නේ චමින්දලා බාප්පලා කඩේ , බාබර් සාප්පුව ඇතුළු ප්‍රධාන කඩ පේලියයි. ඉන් අනතුරුව වත්තේ ලයින් කාමර පේලියට යටින් දිවෙන තැනිතලා ගුරු පාර එක් වරම නැග්මක් බවට පත්වේ. එතැන පාරෙන් පහළ පැත්තේ ඇත්තේ ඉන්ජින් ඩ්‍රයිවර ගේ කඩයයි.
අපේ කල්ලියේ ගුරා නන්දි පාල අය්යා එදා සිරිමල්වත්තේ කඩ පේලිය පසුකරද්දී අලුත් යෝජනාවක් ගෙනාවේය.

"මල්ලිලා... අද අපි ගෙදර යන ගමන් කරන වැඩේ දන්නවද?  අපි අද අම්බලම ළඟ සොහොනේ ගහෙන් අඹ කඩමු".

"නන්දී අය්යා  .. මමත් ඔය ගහ දිහා ඇහැ ගහගෙන හිටියේ  බන් .. උදේ මම දැක්ක හැටියට නම් එකේ අඹ ඉදිලා නැනේ."

නන්දිපාලට  අවුරුද්දකින් දෙකකින් බාල වුවත්  බින්දුලට අපිට ඔහු වැනිම තවත් අය්යා කෙනෙකු වූ. යසේ අය්යා කියයි..

"කමක් නෑ මං ගාව ප්‍රතිකරමය්ක් තියෙනවා..අපි අපේ වැඩේට බහිමුකෝ" යැයි  නන්දිපාල අය්යා ස්ථිර සාරවම පැවසීමත් සමගම ඒ යෝජනාවට එක පයින් කැමති වූ අපි එකිනෙකාගේ රාජකාරී තම තමන්ට පැවරෙන තෙක් බලා සිටියෙමු.

මල්ලිලා මේකයි ප්ලෑන් එක. "

මුලින්ම අඹ කන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්න ඕනේ.. යසේ මල්ලි .. ඔයා ඉන්ජින් ඩ්‍රයිවර ගොය්යා එක්ක කතාවක්  පටන් ගන්න .. කවිඳු මල්ලියි බින්දු මල්ලියි හිමිහිට ලුණු ටික ටික බක්කියෙන් අරන් සාක්කු වලට දාගන්න ඕනේ හරිද?.. ඒ අතරේ මම හිමිහිට මිරිස් කරල් ටිකක් පන්න ගන්නම්."
අපේ ගම් බිම් බලා යන කල්ලියේ ලොක්කා  නන්දිපාල අය්යා තම සැලසුම අපට හෙළි කළේය.

ගුරුපාරෙන් පරණ ටයර් තුනක් දමා සාදා තිබු පඩි පෙලින් ඉන්ජියා ගේ කඩයට ගොඩවූ අප අතරින් .. කපටි හිනාවකින් දමමින් මුලින්ම ඔහු දෙසට ගිය යසනන්ද අය්යා " හා.. මුදලාලී.. කොහොමද අද ගන දෙනු කාරිය.? " යයි ඔහුව සාකච්චා වට කැඳවූ යේ පසු පසින් ආ අපට ඇස කොනකින් සන් කරමිනි.

ආ ගිය තොර තුරු කතා කරමින් සිට විනාඩි දෙක තුනක් ඇතුලත  අපේ ප්‍රති සන්නිවේදන හරහා ..අදාළ රාජකාරිය ඉටුවූ බව දැන ගත්  යසේ අය්යා.." එහෙනම් අපි ගිහින් එන්නං කෝ මුදලාලි"  කියමින් ඉන්ජින් ඩ්‍රයිවර ගෙන් සමු ගත්තේය.


ප්‍රහාරය ඇරඹෙයි


දැන් අපි නැවතත් ගුරු පාරේ අම්බලම දෙසට කන්ද නගිමින් පසු වෙමු. බස් එකේ ගෙදර කඩේද පසු කිරීමෙන් පසු කන්දේ මැද හරියේදී හමුවන තුන් මං හන්දියේ එක පැත්තක සොහොනත් .. අනික් පැත්තේ තාමත් "ජුලි මහා වැඩ වර්ජනය" යනුවෙන් කලුතෙලින් ලියා ඇති අම්බලමත් අපට හමුවේ.

 තම පොත් ටික සොහොන් පිටියේ තණකොළ ගොඩක් මත තැබූ නන්දි පාල අය්යා දනි පනි ගා අඹ ගහට නැග්ගේය.  ගස් නැගීමට බැරි මමත් .. බිංදුත් සොහොනේ එහේ මෙහෙ ගියේ ගල් කෑල්ලක් හෝ පොළු කෑල්ලක් හොයා ගන්නටයි.

මේ වන විට අපේ සිංහල පොතේ තිබු " පාවෙන හිස" සෑහෙන වතාවක් කියවා තිබු මම  හොල්මන් අවතාර ගැන මර බියකින් පසු වුවෙකි. එසේ වුවද අපේ කල්ලියේ චන්ඩි වැඩ නිසා  ලොකු කොල්ලෙකු වූ මම මේ වෙලේ  සිංහාරුඩ වී සිටියා යැයි කීවොත් නිවැරදිය.
ගලක් පෙනෙන සීමාවක නැති බව දැනගත් බිංදු පසු බසිනු දුටු මා .. "බිංදු මල්ලි බිය නොවන්න පොලු හොයනා හැටි මාමා පෙන්වන්නම්" කියන්නාක් මෙන් .. ඔබ මොබ බලන විට දුටුවේ ලඟදි වත්තේ දෙමළ මනුස්සයෙකුගේ මිනියක් වලලා පස්ගොඩ කර තිබු තැනක මුදුනේ තිබු  ලී වලින් කල කුරුසයකි...

මගේ සුමිතුරා  .. එපා.. එපා.. කවිඳු .. කියද්දි කුරුසය ගලවාගත් මා එය රැගෙන කෙලින්ම  ගුරු පාර පැන්නේ එය අම්බලමේ කොට බිත්තියේ ගසා කඩා ගැනීමටයි.
අනතුරුව  පොලු කෑලි හතර පහකින් සන්නද්ධ වූ අපි තරඟයට අඹ ගහට ගල් ගැහුවේ නන්දිපාල අය්යලට උදව්වක් හැටියටයි.

දැන් දැන් අඹ ගෙඩි සොහොනේ  හැම තැනම විසිරී ගොසිනි සමහරක් අලුතින් මිනියක් වල දමා තිබු අර පස් ගොඩ උඩටද වැටී ඇත. කිසි බියක් සැකක් නැතිව ඒවා එකතු කර ගත් අය්යලා මල්ලිලා ලුණු මිරිස් සමග අඹ කෑම ඇරඹුවේ අම්බලමේ කොට බිත්තිය තම සිංහාසන කර ගනිමිනි.

දෙමළ ඉස්කෝලෙට ගල් ප්‍රහාරයක්



අම්බලමෙන් පිටත් වූ අප අත තවමත් ගලේ ගසා කඩා ගත් අමු අඹ කැලිත් ලුණු කැටත් සුරක්ෂිතව පවතී. දැන් අපි ඒවා මාරුවෙන් මාරුවට හපමින්. Dunlop වත්ත දෙසට ගමන් ගනිමින් සිටිමු. අඩි 100ක්-200ක් පහළින් රතුපාට ටකරන් වසා තිබු .. සුවඳේ අය්යලාගේ දියවන්නා ශෝකය හා නයනා රඟ දැක්වූ රඟහල , දෙමළ ඉස්කෝලේ එකම ශාලාව පෙනේ..

ගුරුපාරෙන් ගල්කැටයක් අහුලා ගත් අපේ කල්ලියේ දෙවෙනියා යස නන්ද අය්යා එය රතට රතේ දිලිසෙමින් තිබු වහළයට දමා ගැසුවේ .. ටාන්... යන හඬක් මතු කරවමිනි.. එක අතකින් තම නිල් කලිසම අල්ලා ගෙන අනික් අතින් වෙර දමා ගලක් විසි කලේ ඔහුගේම මල්ලි වූ  බිංදු විසිනි.

 මෙසේ අඩි පනහක් හැටක් ඉස්කෝලෙට සමාන්තරව ගමන් කල අපි.. තව තව දේවල් කරමින් පැමිණ නිවෙස් කරා ලඟා වන විට බොහෝවිට හවස හතර පහ  පසුවී හමාරය.


කවිඳුට තරු පෙනුණු හැටි.


ගෙදර අය්යලා අක්කලා සමග පන්සිල් අරන්  පොත් පත් වල වැඩ නිමා කල මා එදින රාත්‍රියේ කිසියම් වූ හිතේ දෙගිඩියාවකින් පසු වුයේ අපේ දවල් කාලයේ වීර ක්‍රියා සිහියට නැගීමෙන් වත්දෝයි මට නිකමට සිතේ. රෑ කෑමෙන් පසු අටුව තිබු මැද කාමරයේ තිබු ඇඳට වැටුනා මතකය.

මුළු ඇඟම දාඩියෙන් වැසි .. පපුව ඩිග්.. ඩිග්.. ගා ගැහෙමින් මා අවදි වුයේ අම්බලම ළඟ සොහොනේ සිට කරේ කුරුසියක් දරා ගෙන .. ඉදිරියට යන්න දඟලද්දී..දඟලත්දී  ඉදිරියට යා නොහැකිව එකම තැන රැඳෙමින් උන් මාවෙත බුරා ගෙන පැන ගෙන එන තඩි කළු බල්ලෙකු දැකීමෙනි.

"මම.... බොහොම බයවුණා .. මගේ පන එපා වුනා ... රෑ දොළහට හොල්මනකට .. මාව අසුවුනා...."
ගී පද මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා දැයි මට හරියටම නිච්චියක් නැත...



"මේ ළමයින්ට හැමදාම පන්සිල් අරන් නිදා ගන්න කියනවා.. චුටි පුතා අද උඹ පන්සිල් ගත්තේ නෑ නේද? " කියමින් අම්මා මගේ පපුවේ සිද්ධාර්ථ තෙල් ගල්වයි...

හේතුව ,... බුදු අම්මෝ... කියමින් බරට බරේ කර මත කුරුසියක්ද ගෙන ගල් ගැසී සිටි මා වෙත දත් විලිස්සන් ආ තඩි.. කළු බල්ලා දැක මා තැබූ විලාපයයි.

Monday, 13 April 2015

මං පුංචි වෙළෙන්දා



අටේ පංතිය සහ වන්නිගම ටීචර්  



අපේ යාළුවා වූ වන්නි ගේ අම්මා (පාසලෙන් පිටත දී වන්නි ඇන්ටි) ඒ කාලේ අටේ පන්තියට බුද්ධ ධර්මය ඉගැන්වූ ගුරුතුමියයි.

මේ කොල්ලෝ කෙල්ලෝ අපි හැමෝම තවත් වසරකින් තිරිහන් වී සිටින කාලයයි.

මේ කාලයේදී අපේ පන්තියට ළඟ තිබු හමුදා කඳවුරේ නිල නිවාසයේ සිට එන අලුත් කොල්ලෙක් එකතු වුවා මතකය.

ඔහු නමින්සුපුල් චන්දික නම් විය .

ඔහුගේ ආගමනයට  කලින් අපත් සමග සිටි දඹ ගල්ලේ  සුපුල් නුවන් කෝනර සමග දැන් පන්තියේ සුපුල් ලා දෙදෙනෙකි.

ලෝක අන්ඩයෙකුගේ පෙනුමෙන් හෙබි මේ අලුත් සුපුල් පරණ සුපුල් හා ජාලිය සමග එකතු වී නියමම වල ගැන්සියක් පන්තියේ නිර්මාණය කළේය.

ඇත්ත වශයෙන් කිවහොත් පහේ පන්තියේදී දක්ෂයෙකු වූ ජාලිය වල දෙසට ඇදීමේ යම් වගකීමක් මේ සුපුල් ලා දෙදෙනා පිට පැටවේ.

කොල්ලන් ටිකෙන් ටික දඟ වැඩ වලට යොමුවෙනවා දුටු වන්නි ඇන්ටි ( වන්නිගම ගුරුතුමිය) තම පුතාද මේ  බලපෑම් වලට ලක්විය හැකිබව දැන් සිටින්නට ඇත.

සුපුල් චන්දික ලා හා අප මෙන් විශ්ව විද්‍යාල වල නොගියද ඒ කාලේ සිටම  ඇයගේ පුත් "වන්නියා"   හෝදලා බොන්න පුළුවන් තරම් වර්ගයේ හොඳ එකෙකි.


ළමයින් හැදෙන වැඩෙන කාලේ



දැන් දැන්  ගැහැණු පිරිමි මල් පලතුරු  අපි හැමෝටම යම් යම් කුතුහලයන් වෙනස්කම් ඇතිවන කාලයයි.

මේ නිසා ළමයින් අතර සවිස්තරාත්මක පෙම් හසුන් හුව මාරු විය හැකි වන අතර ගැන්සි වලද සමාන්තර දේ සාකච්චා වෙයි.

එපමනක් නොව 318 බසයේද මෙය සිදුවිය හැකිය.

318 ට බසයට අලුතින් එකතු වූ අප වැනිම කොට ජාතිකයෙක් වූ රසිත චමින්ද මා හා තව දෙතුන් දෙනෙක් සමග ජය්ව විද්‍යාත්මක සංසිද්දියක් ගැන අපට  පැවසුවේය.

එයට සමාන්තර දිනකදී සුපුල් කණ්ඩායමේ ද එම මාතෘකාව සාකච්චා වී තිබුණි.

ව්‍යිදය විද්‍යාව හැදෑරීමෙන් පසු ළමයින්ගේ හෝමෝන වල වෙනස් කම් වෙන කාලය ගැන දන්නා මට මෙහි විමතියක් නැති වුවද අපේ ගමේ අම්මා කෙනෙකුට කිවා නම් මේවා අනේ අපොයි.. කියවෙන කතාය.

කෙසේ වුවත් රසිත අපට දුන් උපදෙසට සමාන උපදෙසක් ලැබූ ජාලිය පසුදා පන්තියට ආවේ සහලවලා උණ ගත් අයෙක් ලෙසිනි.

සුපුල් නුවන් ගේ සරල ප්‍රතිකර්මය අඩංගු උපදෙස  වුයේ  ...

 "ඉතින් ඔය වෙලාවට අපට උගන් වන කරුණු විතරක් හිතලා මදි .. උගන්වන ගුරුවරුන්වත් මතක් කර ගත්තා නම්  උණ ගන්නේ නෑ යනුවෙනි"

 එසේ කිවේ වන්නිගම ටීචර් ගැන නම් නොවේ.




ජයසිංහ න්‍යාය සහ විජේවීර අය්යාගේ පෙම් හසුන




කන්දේකුඹුර ගේ "ආදරය ප්‍රකාශ කිරීම" ජනතා මතකයෙන් ඈත්ව ගිය පසු  මගේ සඳා ගැන තිබු උවමනාව අටේ පන්තියේදී නැවතත් මතු වුයේ "සරණපාල න්‍යායේ" ව්‍යුත්පන්නයක් ලෙසිනි.

කොල්ලෝ සඳමාලි අපේ පන්තියේ කොට බිත්තිය  පසු කර යන හැම වාරයක් පාසාම  කවිඳු.. කවිඳු යැයි හය්යෙන් කා ගහන්නට පටන් ගත්හ.

ඒ  ඇත්ත වශයෙන්ම මගේ පුර්ණ ආශීර්වාදය මැදය.

සඳමාලි දිනකට දෙතුන් වතාවක් ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි අපේ පන්තිය ඉස්සරහින් ආවේ ගියේ මේ ජයසිංහ  න්‍යායට පින් සිදු වන්නටය.

මෙය දින කීපයක් සාවධානයෙන් බල සිටි වන්නිලා අම්මා අවසානයේදී

"තොපිට .... .. කිරි එරෙන්න ඉස්සෙල්ලා ගෑනු ඕනෑ වෙලා "

යනුවෙන් අපේ පන්තියට පැමිණ තම හඬ අවදිකළේ දින කීපයකින් පසු ඇයට කාන්තා පාර්ශ්වයේ සිද්දියක්ද අසුවීමට නියමිත බව නොදැන විය හැකිය.

අරලගංවිල නගරයේ මහා විදියේ තිබු විදුලි උපකරණ කඩයේ මුදලාලිගේ දියණිය වූ නෙළුම් සිටියේද මෙම පන්තියේමය.

ඔබට මතක ඇත්නම්  පහළ ඉස්කෝලෙදි හපුගස් තැන්න  වත්තේ ප්‍රියංක ගේ බැල්ම වැටුනේද මැයටමය.

නෙළුම් ගැන අවධානෙන් පසුවූ විජේවීර අය්යා ලියු පෙම් හසුනක් නෙලුම්ගේ පොතක් ඇතුලේ තිබී වන්නිගම ටීචර්ට අසුවූ දිනය උදා වුයේද අපි අටේ ඉන්නා දිනවලමය.





වෙළදාමෙන් තවත් පියවර කීපයක් ඉදිරියට







සැඟවුණු දය්වයෙන් ව්‍යාපාරික ලෝකයට අවතිර්න වූ මා ඉන් ඉදිරියට තවත් බිස්නස් කටයුතු වල නිරත වුයෙමි. බාප්පලා ගෙදර පුරා තිබු සීනි කෙසෙල් කැන් කපා ඒවා ගුණදාස මාමා ගේ කඩේට දීම ඉන් එකකි. 

එසේ දෙන්නට පෙර එක් දිනක් මම විද්දී අය්යා  (ගුණදාස මාමගේ පුතා)  සමග වැදගත් ව්‍යාපාරික සාකච්චාවක් පැවත්වුයෙමි.

"විද්දීඅය්යා... මේ කෙසෙල් ගෙඩියක් විකුනන්නේ කීයටද?"....

 "සත තිස්පහයි මල්ලි"...

"මම කෙසෙල් ගෙනත් දුන්නොත් එකකට කියක් දෙනවද? "

"සත විස්ස ගානේ දෙන්න පුළුවන් මල්ලී"

"එහෙම නෙවෙයි මට සත විසිපහ ගානේ දෙන්න .... ඔයාටත් ලාභයක් තියෙනවනේ...."

සකච්චාව සාර්ථක විය එහෙත් මගේ හිතට හරි නැත.

 මම දහ අතේ කල්පනා කර අලුත් නිගමනයකට ආවෙමි.


කවිදු මුදලාලියි ... නඩරාජා  ගෝලයයි.




මල්දෙනිය කිට්ටුව තියෙන ආණ්ඩුවේ වත්තේ "පඩි පොළ" මගේ සිහියට නැගිණි.

විද්දී අය්යාට දෙන සත 15ත් මටම තියා ගත හැකි ක්‍රමයක්.... 

අපේ ගමේ ඉන්නා මල්ලිකා අක්කා   සැම්සන් අය්යා... සූරී අය්යා වගේ  දෙතුන් දෙනෙක් හැරෙන්න වත්තේ වැඩි හරියක් ඉන්නේ දෙමළ මිනිසුන්ය.

එසේ   වීම මට නම් ජාතික ගැටළුවක්  නොව  වෙළඳ ගැටළුවකි..

උත්තරය? දෙමළ  සිංහල දෙකම දන්නා කොල්ලෙක් හොයා ගත යුතුය.

පල්ලැහැ බාස් මාමලාගේ  වල් කපන කොල්ලා මගේ හිතවත් නඩරාජා සිහියට නැගුනේ එවිටයි.

 වත්තේ පඩි දාන්නේ මාසේ 10 වෙනිදාටය.

මම කල් ඇතුව නඩාට මතක් කර තිබ්බේ මේ පාර පඩි දවසේ අපි වැඩට බහිමු යනුවෙනි.

කෙසෙල් කැන් තුන හතරක් කපා වලේ දැමු මා  දිනපතා දුම් ගසමින් ඒවා දහවෙනිදාට සුදානම් කලෙමි.

උඩහ මඩුව ලඟ පඩි පොලේ නඩාගේ  භාසා දැනුමත් මගේ ව්‍යාපාරික දැනුමත් මිශ්‍ර වුයේ කිසිම ජාති ආගම් කුල බේදයකින් තොරවයි.

මම ගුණදාස මාමාගේ ලාභයත් මගේ සාක්කුවට දමා ගත්තේ නඩාටත් රුපියල් කීපයක් මිට මෙල වීමෙන් පසුවයි.

ඊලග වෙළඳාම එච්චරම සාර්ථක වුයේ නැත.

එදා මම කැපුවේ මලු කෙසෙල් කැනකි. ඇවරි ගසා පෙට්ටියක දමා පාර අයිනේ තිබු මලු කෙසෙල් කිසිවකු ගන්න පාටක් තිබ්බේ නැත.

මා ව්‍යාපාරික ලෝකයේ පසු බසිනු දුටු තාත්තා යෝජනා කලේ  ගමේ ගෙයක් ගෙයක් ගානේ පෙට්ටිය අරන් ගියොත් විකුණා ගන්න පුළුවන් වෙයි කියාය.


ඇවරි කිහිපයක් බාබර් අය්යලා ගෙදර හා හාලි ඇල මාමලා ගෙවල් වලින් ගත්තත් කෙසෙල් කැනම විකුණා ගන්න මට හැකි වුයේ නැත.


කපටි ව්‍යාපාරිකයා




ඒ කාලයේ රට පුරා පුවක් හිඟයක් තිබුණු කාලයකි.

 දිනක් මගේ තියුණු ඇස්වලට හමු වුයේ කිරඹ ඔයේ අතම්මල ගෙදරට අල්ලපු ගෙදර තිබු වෙළඳ අවස්ථාවකි . එහි සිටියේ අපේ මුත්තාගේ තව අය්යා  කෙනෙක් වූ බෝගොන් මුත්තාය.

මේ ගෙවල් දෙකම එක වහලයකින් සම්බන්ද කර තිබු අතර ගමේ අය පොදුවේ පහළ ගෙදර නමින් හැඳින්  වුයේ මෙම ගෙවල් දෙකමය.

උදාහරනයක් ලෙස අපේ අම්මා පහල ගෙදර විමලා අක්කා විය. 


බෝගොන් මුත්තත් අතම්මත් මිය ගොස් සිටි ඒ දිනවල ගෙදර හිටියේ උක්කුන් පුංචි හා එකල ගුරුවරයෙකු වූ සමරේ මාමාය.


මම උන්කුන් පුංචිට වචනේ දැම්මෙමි.

"පුංචි.... පුවක් වලු දෙක විකුණනලා දෙන්නද?  "

 විද්දී අය්යලා කඩේ පුවක් වල ගනන් දන්නා මා ලොකු ලාභයක් ගැන කෙළ හලමින් පුංචි දෙස බලා සිටියෙමි..

"චුටි පුතා කීය ගානේ දෙනවද?..."

".සත විස්ස ගානේ දෙන්නම්".

මම නොපැකිලව උත්තර දුන්නේ විද්දියා  පුවක් ගෙඩියක් විකුනන්නේ සත පනහ ගානේ බැවිනි.


මම මේ වතාවේ උදව්වට ගත්තේ නඩා නොව හෙළ ගෙදර බණ්ඩාරේය.

 පුවක් ගස් නගින්න දෙමල දෑන ගන්න ඕනි නෑනේ.... බණ්ඩාරේ මගෙන් සල්ලි නොගෙනම වැඩේ කර දුන්නේ ඔහු මගේ කිරඹ ඔය පැත්තේ සෙල්ලම් සගයෙකුද වන  නිසයි.

මම පුවක් ගෙඩි දෙසිය ගණනක් මල්ලක දමාගෙන විකුණලා සල්ලි ගෙනත් දෙන පොරොන්දුව පිට උක්කුන් පුන්චිගෙන් සමුගත්තෙමි.  

එහෙත් මට  දවල් තරු පෙනුනේ විද්දී අය්යා ලඟට ගිය විටයි.

හෙට්ටු කරලා කරලා අන්තිමටම ඔහු එකඟ වුයේ සත විස්ස ගානේ පුවක් ගොඩම ගන්නටයි..

"මාර වැඩේ මෙහෙම ගියොත්මට සතයක්  වත් ලාභනෑනේ "

උක්කුන්ගේ හැටි දන්නා මම මල්දෙනියේ කඩේට පුවක් ටික නොදී ගෙදර ආවෙමි...
"මේ වෙළඳාම මලු කෙසෙල් වගේ ගෙන් ගෙට ගිහින් කරන්නත් බෑ"

මොකෝ එක ගෙදරට පුවක් ගෙඩි දෙක තුන ගානේ ගෙවල් කීයක කියලා අවිදින්නද...

ම‍ගේ ව්‍යාපාරික මොලය තදින් භ්‍රමණය වෙයි...

අතදිග හැර වියදම් කිරීමට මිසක් මා අද පවා පිළිගන්නා  හැටියට කිසිම අයුරකින් සට කපට ව්‍යාපාරික වැඩ නොදන්නා අපේ තාත්තා අයෙත් මගේ පිහිටට ආවේය.

"පුතා බාස් මාමා නම් බුලත් විට  කනවා. මිනිහා ඔය ටික ඔක්කොම වුනත් එක පාර ගනියි". තාත්තා මාව දිරිමත් කළේය.

මම පුවක් දෙසියම බාස් ලොක්කට දුන්නේ යන්තම් රුපියල් පනහකටය.

දැන් ගණිත මොලය භ්‍රමණය වන වෙලාවයි.

මම උක්කුන් වෙත ගියේ.. " පුංචි හරි වැඩේ තමයි.. විද්දී අය්යා සත දහ අට  ගානේ තමයි පුවක් ගත්තේ... රුපියල් තිහක් ඔයාට දෙන්නම් .  ඇති නේද..." කීයා  ගෙනයි. 

කාගෙන් ගැලවුනත් උක්කුන්ගෙන් බේරෙන්න බැරිය...

" ඒ වා හරියන්නෑ  පුතා .

උඹ කිව්වේ විස්ස ගානේ දෙනවා කියලනේ මට රුපියල් හතළිහක් දියන්."

අවසානයේ හිත හදාගත් මා ඇයගේ මුදල අය අත තබා රුපියල් 10 ක් ලාභ ලැබූ මුදලාලි කෙනෙක් ලෙස මල්දෙනිය දෙසට පිය මැන්නේ එතරම් හිත සතුටකින් නොවේ.


නැවතත් ගැනුම් කරු හමුවට




තවමත් මගේ  ව්‍යාපාරික හිත තවමත් සන්තෘප්ත වී නැත.

කිරඹ ඔයේ සිට මල්දෙනිය දෙසට එද්දී නැවතත් බාස් මාමලා ගේ පසුකල යුතුය. මම පාරෙන් හැරී නඩරාජා ගේ ගාල පසුකර බාස් මාමලා දිහාට පල්ලම් බැස්සෙමි.

"මාමා හරි වැඩේනේ පුවක් ගෙනාවේ උක්කුන් පුන්චිලා ගෙදරින් එයා සත හැට ගානෙම ඉල්ලනවා .. මාව බේරා ගන්න මාමා " මම පින්සෙන්ඩු වුයෙමි.  

ඒකත් එහෙමද පුතා ...මෙන්න මේක එයාට ගිහින් දෙන්නකෝ..

බාස් උන්නැහේ ලෝස් නැතුව රුපියල් දහයක් ඇද මා අත තැබුවේය. මම ඒ රුපියල් දහය උක්කුන්ට දුන්නේ නැත.


උක්කුන්ට පිටි පස්සෙන් හිනා වෙමින් මම රුපියල් විස්සක ලාභයක් ලබා ගෙදර ගියෙමි.
ගියෙමි.
මෙසේ  අටේ පන්තියේ කොල්ලෝ සමග මුසු වෙමින් ඔහේ ඉන්නා අතර අපේ අම්මාට සමරේ මාමා කියූ දෙයකින් උඩ ගොස් බිම වැටුනා යයි කිවොත් නිවැරදිය.



"ලොකු අක්කා සමන්ත පුතා වගේම  පොඩි පුතා ඉගෙන ගන්න දක්ෂයි නේද?

 මිනිහා ඉගෙන ගත්තොත් ඉහලටම යයි ...

හැබැයි සමන්ත වගේ අහිංසකයෙක් නෙවෙයි මෙයා..  

හෙන කපටි හාදයෙක්.. ඉගෙන නොගත්තත් හොඳ කපටි මුදලාලියෙක් වෙන ලකුණු තියෙනවා. "




බාස් උන්නැහේ සමරේ මාමත් එක්ක තව දුරටත් පුවක් ගනුදෙනුව සාකච්චා කරනු ඇති බවක් නොසිතීමේ වරදට මට දඬුවම් ලැබී ඇත.


Sunday, 12 April 2015

ඇතිමලේ බාප්පා

බණ්ඩාරේ දුන් පණිවිඩය

එදා සෙනසුරාදා හෝ ඉරිදා දවසකි. අපි අලුතින් ලැබුණු සරු සාර ගෙවත්තේ (පොඩි බාප්පලා ඉඩමේ) වැඩ කරමින් සිටියෙමු. දිවා  ආහාරය පසුවී ටික වෙලාවක් වන්නට ඇත. අම්මා , මම, අක්කා ඇතුළු පිරිස ගෙට උඩහ තේ කෑල්ලේ උදළු ගෑම, පස් දැමීම වැනි යමක්  කරමින් සිටි වෙලාවයි.

හාත්පස මූසල ගතියක් තිබිනා දැයි මට හරියටම මතක නැත. එක් වරම මහ පාරේ බුරුස් මාමලා කඩේ පැත්තෙන් නොව කිරඹ ඔය ඉස්කෝලේ පැත්තෙන් ඇසුණු කට  හඬකි..

"විමලා නැන්දා... විමලා නැන්දා... "

මගේ සම වයසේම වූ කිරඹ ඔය ආතලාගේ ගෙදරදී මට නිතර හමුවන යහළුවෙකු වූ හෙළ ගෙදර බණ්ඩාරේ ගේ හඬයි ඒ..

අම්මා ඇයි පුතා කියා අසන්නටත් පෙරම

" ඇතිමලේ මාමා මලා කියලා කියන්න කිව්වා"

යැයි බණ්ඩාරේ එක හුස්මට කියාගෙන ගියේය.


අම්මාට සිහි නැති වුවා දැයි මට නිච්චියක් නැත. එහෙත් ඇය සිහි විකල් වූ පරිදි බණ්ඩාරේ පනිවිඩ කරු ලෙස එවූ අපේ ආත්තම්මලාට දොස් කියූ අයුරු නම් මට මතකය.

එදා හෙළ ගෙදර බණ්ඩාරේ රැගෙන ආවේ  අපේ පවුලේ කිරඹ ඔය පැත්තේ හිටපු හොඳම නෑදෑයා  වූ ඇතිමලේ  බාප්පා අකල් මරණයකට ගොදුරු වූ සෝචනීය පුවතයි.

කවුද මේ ඇතිමලේ බාප්පා ?


ඒ වන විටත් අප ජිවත් වූ  පැරණි නිවසට   (අපේ පොඩි බාප්පා ගෙන් අලුතින් අපට ලැබුණු  සශ්‍රික නිවසට)  අලුත්  අංගයක් එකතු වී තිබුණි.

ඒ කිකිළියන් දෙදෙනෙක් සහ පැටවුන් ගනනාවකින් යුත් කුකුල් කුඩුවයි.

මෙහි සිටි වයසකම කිකිළිය සහ පැටවුන් දෙදෙනෙකු මුලින්ම අපට තෑගි දුන්නේ ඇතිමලේ බාප්පා විසිනි.


ඔහු ගැන වචන කිහිපයක් මෙහි නොලියාම බැරි යැයි මට සිතුනේ බාප්පා සිටියානම් යැයි අදටත් සිතෙන වාර ගනන අනන්ත අප්‍රමාණ වන බැවිනි.

බාප්පා ඇතිමලේ ප්‍රදේශයේ ඇති මානන් පතන කනිෂ්ට විද්‍යාලයේ විදුහල් පති වරයා විය.

වනසිංහ මුදියන්සේලාගේ  ජනදාස යන මුල් නම ඔහුට තිබුනද  ඔහු පා විච්චි  කලේ  ඇම්. ජනදාස කියාය.   ඇම්. ජනදාස  යනු  මානං පතනේ ජනදාස යන නම කෙටිකර ලිවීමකි.

අපි ඒ කාලේ බාප්පට ලියුම් යවන්නේ "  ඇම්. ජනදාස  , මො/ මානන්පතන කනිෂ්ට විද්‍යාලය. ඇතිමලේ " යන ලිපිනයටයි.

ඒ අපේ මාසික වාර ප්‍රවේශ පත්‍ර ගැනීමට හෝ පොත් පත් ගැනීමට හෝ මුදල්අ ඩුපාඩුවක්  ඇති බව බාප්පට දැන්වීමටයි.

බාප්පා ඇතිමලේ ඉපදුනු කෙනෙකු නොවේ.

ඔහු  තම ප්‍රථම රැකියාව සඳහා කැලෑබද ප්‍රදේශයක් වූ ඇතිමලේ පැත්තේ ගුරු සේවයට  ගොස්  විශාල කැලෑවක් එළිකර එහි පදිංචි වූ පුද්ගලයෙකි.

ඇතිමලේ බාප්පා විවාහ වී සිටියේ අපේ අම්මාගේ තුන්වැනි නංගි සමගය.

හැත්තෑ ගණන්ඒ වල ජිවත් වූ ප්‍රගතිශිලියෙකු වූ ඔහු ඒ  කාලේ  අපේ තාත්තාට කතා කලේ "සහෝදරයා" යන නාමයෙනි.

මට මතක හැටියට අපේ පල්ලැහැ ගෙදර ජේන් අක්කගේ මහත්තයා  වන සිරිසේන මාමා තාත්තාට කීවේද සහෝදරයා කියලයි.

සිරිසේන මාමා හා අපේ තාත්තාගේ සහෝදරත්වය කෙසේ වුවත් ඇතිමලේ බාප්පානම් නියම සහෝදරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක්  විය.

එහෙත්  අප සැමගේ නරක වෙලාවට  ඇම්. ජනදාස අපට අකාලයේ අහිමි වී ගියේය.

ගුරුවරයෙකු වූ බාප්පා ඒ කාලේ  ඉස්කෝලේ ඇරී ගෙදර ආ විගසම යන්නේ ඔහු කැලය එළිකර අලුතින් අස්වද්දන කුඹුර වෙතටයි.

හවස දෙක තුනේ සිට රෑ කළුවර වැටෙන තෙක් එක සීරුවට වැඩ කරන ඔහු අක්කර ගණනාවක් වූ ඉඩමේ එක පැත්තක කුඹුරක් ද  අනෙක් පැත්තේ දෙහි, දොඩම් , පොල් ,අන්නාසි , දේශ අල  ආදියෙන් පිරී ගොඩ වගාවක්ද පවත්වාගෙන ගියේය.

 දිනපතා කැලය එළිකරමින් .. වතුර බන්ට් හදමින් කුඹුරේ වපසරිය වැඩි කල ඔහු  වැඩිපුරම කාලය ගත කලේ කුඹුරේ හෝ වත්තේ මිස ගේ ඇතුලේ නොවේ.

අද අප දකින ගොවිතැන් සහ රජයේ රැකියා යන දෙකම කරන සමහරක්  අය මෙන් නොවූ අපේ බාප්පා ගම්  හත අටකට කට කන්න දෙන්න තරම් වැඩ කලා කිව්වා නම් නිවැරදිය.

අරලගංවිල භූතයෝ

 බාප්පා  ඉතාම කඩිසර මිනිසකු වූ අතර ඔහුට අලසකම පෙන්නන්න බැරි විය.

එවැනි අලස අය හඳුන් වන්නට ඔහු යොදා ගත්  වචනය වුයේ "භූතයා" යන්නයි.

කම්මැලියන් පෙන්නන්නට බැරි ඔහු කිරඹ ඔයේ අපේ පවුලේ හැමෝටම කිවේ  "කිරඹඔයේ භූතයෝ " කියලයි.

ඔහුගේ  තුන්මාසේ දානයට ඇතිමලේට යන තෙක්ම ඔහුගේ වැඩ දැක නැති මා .. ( ඇත්ත වශයෙන් ඔහු සමග වැඩකර  නැති මා) ඔහුගෙන් මේ ආමන්ත්‍රණය කෙදිනක වත් ලබා නැත.

මෙය හොඳින්ම දැන සිටියේ  ... 77න් පසු නිතර දෙවේලේ ඇතිමලේ ගිය අපේ අය්යාත්... ඇතිමලේ නැවතී බාප්පාගේ කෘෂි  කර්මාන්තයට ගොඩක්   උදවු කල රාජු මාමත් ය.

එසේ අපිට බනින ඔහු සති අන්තයක අප බලන්නට අපේ ගමටආවොත් එන්නේ හැම ගෙදරටම හාල් කිලෝ 10-15ක මල්ලක්. පොල්, ඉරිඟු, කෙසෙල්, දෙහි දොඩම් ආදී සකලමනාවම  ඉහින් කටින් දාඩිය දා ගෙන ඔසවා ගෙනයි.

අප ගමේ ටික දිනක් ගතකර ආපසු යන ඔහු අපෙන් සමු ගන්නේ සීසන් ටිකට් එකට මේක තියා ගනින් යනුවෙන් රුපියල් 5ක්-10ක් අප අත  තැබීමෙන් පසුවය.

බාප්පාට භූතයා යන අන්වර්ථ නාමය පාවිච්චි කල අපේ අය්යාත් රාජු මාමත් කිවේ

 " මෙහෙම භූතයෝ නම් හැමදාමආවත් මොකද?  " කියලයි.

මා ඇතිමලේ නොයන්නට හේතුව මා දෑන ගත්තේ බාප්පා මිය ගිය පසු අම්මා කියූ කතාවකිනි.

 "චුටි පුතා ඔය ඇතිමලේ අය්යා  උඹව හදා ගන්න ඉල්ලුවනේ ...

පේනවා නේද අර මනුස්සයා නැතිවුනාට පස්සේ කෙල්ලොන්ට යන කල දසාව ..

හොඳ වෙලාවට මන් පොඩි එක දුන්නේ නැත්තේ .....

ඇතිමලේ අය්යා මෙහේ අවොත් මට කියන්නේ ...

"චුටි පුතා මට දීපන් විමලා නංගියේ....මම උඹලට කොල්ලව  හොඳට හදලා දෙන්නම්"

 කියලමනේ..."

බාප්පා ගේ මරණයෙන් පසු දිනක ඇතිවූ මේ කතා බහ අවසානයේ  මා දෙසට හැරුණු අම්මා කිව්වේ ...

"ඔන්න දැක්කද  ඒ  කාලේ උඹ එහේ ගියා නම් දැන් ඉතින් උඳු කුඩු තමයි"..... යනුවෙනි.

අපේ ගමේ තවත් නාට්‍යයක්


සැඟවුණු දය්ව්‍ය  අති සාර්ථකව නිම වීමෙන් පසු ටික කලක ගෙවී ගිය තැන ප්‍රදේශයේ තරුණ කැල තවත් නාට්‍යයකට අත ගැසුහ.

මෙහි තිබු ප්‍රධාන වෙනස් කම් වුයේ තිර රචකයා සිරිමල්වත්තේ විමලේ අය්යා වීමත් .. ප්‍රධාන භූමිකා වල  රඟ පෑ තරුණයින්  හේරත් අය්යලා කුමාර අය්යාලට වඩා අවුරුදු අටකින් දහයකින් වැඩි මහල් අය වීමත්ය.

නාට්‍යයේ නම " දියවන්නා ශෝකය හා නයනා " විය.

ප්‍රධාන නළුවා දැනට අරලගංවිල නගරයෙන් භාගයක්ම හිමි ලොකු මුදදලි කෙනෙකු වූ.. එකල ගෝනියක් කරේ ගෙන අපේ පැති වල සිය පියා සමග එළවලු එකතු කල. වෙනුර හෙවත් විජේසේකර අය්යාය.

වෙනුර අය්යා කතාවේ පෙම්වතා වූ නයනානන්ද කුමාරයා විය.   පෙම්වතිය වුයේ නයනා කුමරියයි.

කතාවේ දුෂ්ටයා ගේ චරිතය ලෙස තිබුණේ මේ දෙදෙනාගේ ප්‍රේමයට අකුල් හෙලමින් වැඩ කල තවත් රජ කුමරකුගේ චරිතයයි.

කතාව අවසන් වන්නේ  ඒ  දුෂ්ට කුමාරයා කඩු පාරකින් මරණයට පත් වීමත් සමගය.

එය පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කල කාලයට සම්බන්ධ රජ කතාවකි.

 "නයනානන්ද කුමරුවනේ .... නයනා කුමරියනේ.. මට සමා වෙන්න" යනුවෙන් තමාගේ අවසන් හුස්ම පොද වා තලයට යොමු කරමින් අන්තිම දෙබස් ටික පැවසුයේ  කථාවේ දුෂ්ටයා වූ සුවඳේ අය්යා විසිනි.

නාට්‍යයේ  එන විනෝද ජනක අවස්ථාවක එන ගීත කණ්ඩයක් තවමත් මා සවනේ රැව් පිළිරැව් දෙයි.. මී වදයකි ජිවිතේ ... යන ගීතයේ තනුවට ගැයුණු මෙය...

" ගෝවේ පෘතුගීසියෝ .... ලක් වැසියාගේ මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු රට කෙළ ගිල ගිල ආවෝ"

යනුවෙන් ගයමින් නැටුවේ පෘතුගීසි කාරයන් ලෙස හැඳ ගත් පැහැපත් සමකින් යුත් තරුණයින් හතර දෙනෙකු විසිනි.

ඔවුන් ගෙන් එක් අයෙක් අසල තිබු ආණ්ඩුවේ වත්තේ නිල නිවසක සිටි අයෙක් බව මගේ මතකය කියයි. මේ අය අතර  මැලේ ජාතිකයින් හෙවත් ජා කොල්ලෝ දෙදෙනෙක්ද වූහ.


"දියවන්නා ශෝකය හා  නයනා"  නාට්‍යය  රඟ දැක්වුයේ කිරඹ ඔය විද්‍යාලයේ නොවේ.

 එය රංග දැක්වුයේ තව කිලෝමීටර තුන් කාලක් පමණ සිරිමල් වත්ත පැත්තට වෙන්නට තිබු පළාතේ දෙමළ විද්‍යාලයේය.



ඇතිමලේ බාප්පාගේ මරණින් පසු


ඇතිමලේ භූතයා මා පොඩි භූතයෙකු කරන්නට උත්සාහ කර තිබුණු හේතුව පැහැදිලි වුයේ ඔහුගේ මරණින් පසුවය.

 අපේ තාත්තා මරණයේ සියලු වැඩ කරට ගෙන කලා මතකය.  ඇතිමලේ බාප්පාගේ ළමයින්ගේ ඉදිරි අධ්‍යාපනය තමන්ගේ වගකීමක් ලෙස සලකා වැඩ කරන්නට ඔහු තීරණය කරන්නට ඇත.

 හත්ද වසේ දානයෙන් පසු අපේ තාත්තා අරල්ගන්විලට  ආවේ තවත් කෙල්ලෝ දෙදෙනෙක්  එකතු කරගෙනය.

සිවු දෙනෙක් සිටි අපේ පවුලට  තවත් සාමාජිකාවන් දෙදෙනෙක් එකතුවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ලොකුම නංගි අපේ ලොකු නංගිගේ වයසේ වූ අතර දෙවැනියා  මට වඩා අවුරුදු 5 කින් බාල අයෙකි.

දෙවැනි  පසු කලෙක මගේ " බ්‍රෝකර්" ලෙසද කටයුතු කලාය.

ඒ ඇයත්  පසුකලෙක  මගේ හිතවතිය වූ ජයන්ගනිත්  එකම පාසැලේ එකම පන්තියේ සිටි සිසුවියන් වූ බැවිණි.

 පොඩිම නංගි ඉපදීමම බාප්පාට අපලයක් වූ බව අම්මලා කිවේ ඇය ඉපදී මාස කීපයකින් බාප්පා අප හැර ගිය නිසාවෙනි.

අත දරුවෙකු වූ ඇය ඇතිමලේ පුංචි ලඟම රඳවා එන්නට තීරණය කර ගෙන තිබුණි.

ඒ කාලේ හයේ හතේ පංතිවල සිටි මම ඇතිමලේ බාප්පා මෙන්ම කඩිසර අයෙකි.

පාසල් ඇරී නිවසට ආ  වෙලාවේ සිටම වත්තේ එලවලු වගාවට සාත්තු කිරීමත් දවස අවසානයේ ලිඳෙන් වතුර ඇද වගාවට දැමීමත් මගේ රාජකාරියයි.

මා දවසේ වැඩ නිමාකරන විට බොහෝ විට රෑ හතහමාර හෝ අට වන බව මාගේ මතකයයි.

පල්ලැහැ බාප්පලා වත්තත්  විමලේ ලොකු තාත්තලා වත්තත් බෙදෙන තැන තිබු  ලිඳෙන් වතුර ටිකක් නා ගන්නේ මෙන්න මේ වෙලාවටයි.

 ඇතිමලේ බාප්පා සමග  ජීවිතේට එකට වැඩ කර  නැතත්  ඇතිමලේ නංගිලා තුන් දෙනා අපේ ගෙදර ආපු ගමන්ම ඔවුන්ව හසුරුවන වැඩේ භාරගන්නට තීරණය කලෙමි


වත්තේ පහල ලස්සනට පේලි දමා  කූර කොළ  පාත්ති 2 ක් හැදු මම  ඒවායේ  වල් ගලවන්නට  අකමැත්තෙන් වුවත් එහි ආ ඇතිමලේ දෙවැනි ව යොදවා ගත්තෙමි.

දෙවැනි මෙන් නොව ලොක්කි එතරම් වගාවට උනන්දුවක් දැක්වුයේ නැත.

ලොක්කි හිටපු ගමන් "ඔන්න තාත්තගේ ගඳ එනවා " කියමින් රාත්‍රියට අප බය කළා මිසක් තාත්තා ගිය පාරේ යන්නට උනන්දු වුයේ නැත.

මෙසේ මගේ වගා වැඩ වලට ඇතිමලේ නංගිලා යොදවා ගනිමින්  සිටිනා අතර ඇතිමලේ බාප්පා ගේ තුන්මාසේ දානය ළඟ බව අම්මා මා සමග පැවසුවාය.

බාප්පා මිය යන තෙක්  මා ඇතිමලේ රැගෙන නොගිය අපේ  අම්මා  මා තුන් මාසේ දානෙට ඇතිමලේ රැගෙන යන බවද සඳහන් කළාය.

තුන් මාසේ දානෙට ඇතිමලේ ගිය මා  දුටු දෙයින් විශ්මයට පත්වූයෙමි.

බලන බලන අත  දෙහි , දොඩම්, පැපොල්, කෙසෙල්, කොහිල පොල් ආදී වගාවන්ගෙන් පිරී ඉතිරී ගිය ඉඩමකි.

ගොඩ ඉඩමේ කෙළවරටම ගිය මට දක්නට ලැබුනේ  එක යායට  අස්වද්දා තිබු ඇතිමලේ බාප්පාගේ  කුඹුරු යායයි .

ඇතිමලේ වත්තේ ඔබ මොබ ඇවිදිමින්  අපරිමිත සතුටක් වින්දෙමි.  බාප්පා නෑ නේදෝ  කියා ඇතිවූ දුකකට වඩා ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල දුටු මා සිතට ඇතිවුයේ බලවත් සතුටකි.

 අක්කර ගණනාවක් විශාල ගොඩ ඉඩමත්  බාප්පා තම අකල් මරණය තෙක්ම අලුතින් කොටස් එකතු කරමින් අස්වද්දමින් තිබු කුඹුරු යායත් දුටු විට මට සිතුනේ ..

"දෙවැනි නංගිට  බැන බැන වල් ගලවවව්වේ මා සිත තුලට හදිසියේ ඇතුළුවූ ඇතිමලේ බාප්පාගේ භූත ආත්මය වත්දෝ"..... යන්නයි.

මුත්තාගෙන් මුණුබුරාට


ඇතිමලේ නංගිලා අපේ ගෙදරට පැමිණිම හොඳ දෙයක් ලෙස පෙනුනේ මට පමණක් විය.

මා මෙන් නොව බාප්පාගේ භූත ආමන්ත්‍රණයෙන් කිරඹ ඔයේ පුංචි මාමා හොඳට බැට කෑ හැටි දැක  තිබු අපේ අය්යත් අක්කත් භූත කතාව ඔවුන්ගේ  සිතේ හොඳින්රැදුණු බව මොනවට පෙන්නුම් කළහ.

අය්යලා සෙල්ලම් කරද්දී අලුත් සින්දුවක් කියන්නට පටන් ගත්හ.

" ඇතිමලේ භූත පැටව්... අරලගන්විලයන්ගේ  මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු බිම .... කෙල ගිල ගිල ආවෝ.....

යන්න ඒ  ගීතයයි.

මේ ගීතයත් සුවඳේ අය්යලා  දෙමළ ඉස්කෝලේ රඟ දැක්වූ දියවන්නා ශෝකය නාට්‍යයේ   ගීතය මෙන් ගැයුනේ .

සි. ටි  ප්‍රනාන්දු ගේ  "මි වදයකි ජිවිතේ "  ගීතයේ  තාලයටමය...


Friday, 10 April 2015

මා කුඩා ව්‍යාපාරිකයෙක් වූ හැටි...



ඒ වනවිට   මම  මහා විද්‍යාලයේ හතේ පන්තියට පැමිණ සිටියෙමි. 

අප සිටියේ ලෝහ වැඩ හා වඩු වැඩ පන්ති කාමර අසල ගොඩනැගිල්ලකයි. එබැවින් අපට දින පතාම කෙට්ටු කළු මනුස්සයෙකු වූ "ලොඩ්ඩා"  හෙවත් ලෝහ වැඩ ගුරු තුමත් .. කලිසම පහලට එල්ලේන්න අදින එම නිසා කොයි වෙලෙත් කම්සයෙන් භාගයක් එළිටට වැටෙන "වඩ්ඩා" හෙවත් වඩු වැඩ ගුරුතුමාද නෙත ගැටෙයි. 

මේ අතර මගේ පන්තියේ සිටි මා හා ගණුදෙනු කල පංති  සගයින් සංක්‍යාවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙයි.

කිරිකැටියන්ගේ   ආදර හසුන්.


එකල මගේ මහා විදුහලේදී හඳුනාගත්  "නව සගයෙක්" වූයේ දෙහි ගස් වත්තේ සිට පැමිණි  යෝෂිත කන්දේ කුඹුරයි. 

කන්දේ කුඹුර ගේ තාත්තා පාසැල්ගු රුවරයෙකි. ඔහුගේ අය්යා සිටියේද අපට පංති දෙකක් ඉහළිනි.

 ඒ කාලේ යන්තම් අවුරුදු 11 -12 වයස් සපුරා  සිටි අප  සම වයසේ කෙල්ලන් ගැනද උනන්දුවක් දක්වුයෙමු. 

පන්තියේ සිටි ඇහැට කනට පෙනෙන කෙල්ලක් වූ  ඈන් නිලන්ති පීරිස්  ඉන් එක් අයෙකි.

ඈන්  මා දෙසද ඉඳ හිට ඉඟි බිණි කල කෙල්ලන්  ගෙන් කෙනෙකි. 

ඒ කාලයේ හැටියට පොඩි පන්ති වල නංගිලා ලොකු පන්ති වල අය්යලා දෙස බලනවා මිසක් සම වයසේ අය ගැන සිතන වාර අඩුය.  

මේ තත්ත්වය හොදින් වටහාගෙන සිටියේ වුවද මා හට ද නිකමට වාගේ ඈන්  ගැන කිසියම් උවමනාවක් ඇතිව තිබු බව නොකියාම බැරිය.

හතේ පන්තියේ කාලය සෙමින් ගලා යයි.. මේ අතර දවසක් පන්තියේ මහා කසු කුසුවකි.  

කන්දේ කුඹුරගේ පොත් නම ලියන කොටසේ ඇති අකුරු තුනක් දෙස කොල්ලෝ උනන්දුවෙන් බලා සිනා සෙති. 

මමත් ඔලුව දමා බැලුවේ මේ සිද්ධිය තරමක් රසවත් බව වැටහුන නිසයි.

 දුටු දෙයින් මා සිත අධික කම්පනයකට පත්විය. 

කන්දෙයා  මගේ සියලු බලා  පොරොත්තු සිඳලමින් ඔහුගේ පොතේ  A. N. P. යනුවෙන් සටහනක් දමා තිබේ. 

තවත් මෙවැනිම ශෝක ජානක සිද්ධියකට  සහභාගි වන්නට මා අවාසනාවන්ත වූ  බව ඔබට කියන්නේ හද පිරි ශෝකයෙනි.

ඒකටත් මගේ මිතුරු කනේදෙකුඹුර  සම්බන්ධය. 

ඒ කතාව මෙසේය...

ඈන් නිලන්ති මෙන්ම සුදෝ සුදු නොවුවත් දැකුම් කළු පෙනුමකින් යුත් තවත් කෙල්ලෙක් අප පන්තියේ සිටියාය. 

A.N.P.  ගනු දෙනුව හිතින්ම කන්දෙට බැහැර කල මම කළු නිසා කන්දේ හෝ වෙන කිසිවෙක් හෝ ඇය දෙස නො බලාවි යැයි සිතුවෙමි.

ඒ  අදහස ඇතිව මේ දැකුම් කළු හතේ පන්තියේ ගැනු ළමයා ගැන සිතන්නට පටන් ගත්තෙමි. 

ඇය නමින් සඳ මාලි විය. සඳමාලි පාසැලට පැමිණියේ 79 වැලිකන්ද බසයෙනි. 

සඳා ඇත්තටම මා දෙස බලනවාද නැද්ද වත් පැහැදිලි නැති කාලයේ කන්දේ කුඹුර නැවතත් මගේ සතුරාගේ භූමිකාව රඟ දැක් වුයේ  මා නැවතත් ශෝක සයුරේ ගිල්වමිනි. 

ඒ අප දුටු කෙටිම කෙටි වුවත් අදහස ඉතා පැහැදිලි ආදර හසුනක් ඉදිරිපත් කරමිනි. 

මෙය පන්ති භාර වන්නිගම ගුරුතුමියට හසුවූ පසු සිදුවූ අකර තැබ්බය තවත් එකකි.  

කන්දේ එවර ලියා තිබුනේ " සඳ මාලි .. අප දෙදෙනාගේ ආදරය ප්‍රකාශ කරමු" යනුවෙනි.  

මෙවර ලියවුනේ ඔහුගේ පොතේ පිට කවරයේ නොව සඳ මාලිගේම  පොතේ කවරයේය.

මම  කන්දෙයා කන්න තරම් කේන්තියකින් පසු වුවත්  තනි හිතින්ම එයත්  විඳ දරා ගෙන අනාගතයට මුහුණ දෙන්නට හිත හදා  ගත්තෙමි.





අපේ ගමේ නාට්‍යයක්




මේ  කාලය ජාතික තරුණ සේවා සභාව ගම් වල තරුණ තරුණියන් අතර පැතිරුණ කාලයයි. 

අපේ ගමේ අය්යලා අක්කලාද  ශ්‍රී සිද්ධාර්ථ එකමුතු කලා හවුල නමින් තරුණ සන්විධානයක් පිහුටුවා ගත්හ. 

ඔවුන් අතර කුමාර අය්යා , විද්දී අය්යා , හේරත් , චුට්ටි , තෙලිහා වැවේ කරුණේ අය්යා වැනි අය්යලා පෙරමුණේ වුහ. 

එකමුතු කලා හවුලේ මුල්ම කලා කටයුත්තට දායක වූ අය අතර ඒ වනවිට අවුරුදු හැට පහක පමණ  'තරුණයෙකු"  වූ ගුණදාස මාමාද විය.

එයට නම තැබුවේ "සැඟවුණු දෛවය" යනුවෙනි. 

සැඟවුණු දෛවය නාට්‍යයේ දෙබස් හා තිර රචනය ගුණදාස මාමා ගෙනි. 

ඔහු ඒ දින වල අපේ ගමේ තිබු කඩය කල මුදලාලිද විය. 

ඔහුගේ කඩේට  දාන්  අදින්නට එන හේරත් අය්යලා කුමාර අය්යලා අල්ලා ගෙන ගුණදාස මාමා නාට්‍ය සකස් කලා විය යුතුය.

 දිනපතා හවසට පුහුණු වීම් කෙරුනේ කිරඹ ඔය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දිය.

මමද නාට්‍යයේ භූමිකාවක් නැතත්හේරත් අය්යලා සමග එහි ගැවසීමට පුරුදු වී  සිටියෙමි.


නාට්‍ය යේ චරිත වලින් මට මතක චරිත කිහිපයක් මෙසේය.   එහි සිටි පෝසතා ධනවර්ධන මුදලාලි ලෙස රඟපෑවේ  අපේ කුමාර අය්යා ය.  

මුදලාලිගේ ගෙදර සේවකයා ලෙස චුට්ටි අය්යා රඟපෑවේ ය.  

මේ මුදලාලි  පපුවේ අමාරුවකින් මියයයි.  ඉන් පසු ඔහුගේ සියළු ධනය  සේවකයාට හිමිවේ . 

මුදලාලි ලෙඩවූ වෙලාවේ  ඔහුට බෙහෙත් කරන දොස්තර මහතා තෙලිහා වැවේ  කරු අය්යා ය.  

කරු අය්යා ඒ කාලේ ගමේම සිටි කඩවසම් තරුණයන්ගෙන් ගෙන් මුල් තැන සිටි අයෙකි. 


මේ අතර රැකියාවක් නැති තාත්තට ඉල්ලමක් පෑදුනේ අපේ බාප්පා ගම අතහැර පුංචි අම්මලාගේ ගමට යෑමෙනි. 

බාප්පා අපේ තාත්තා ට ඔවුන්ගේ නිවසත් වත්තත් බලා ගැනීම භාර කළේය.අප දැන් සිටින්නේ තාත්තලාගේ මහා ගෙදරයි. 

එහි වත්තේ නැති දෙයක් නොමැත .. කිතුල්, පොල්, තේ , එනසාල්, කෙසෙල් මෙන්ම .. මම චමින්දලා ගෙදරදී රස විඳි ජෑම් පේර ද එහි විය. 

මෙය අප මුලින් සිටි අපේ ගෙදර මෙන් නොව බැලු බැලු අත මුදල් සෙවීමේ මාර්ග වලින් පිරුණි සරු සාර ගෙවත්තකි. 

බාප්පලා ගෙදර සිට නාට්‍ය පුහුණු වන තැනට ඇත්තේ මීටර සියත් -දෙසියත් අතර දුරකි.


බාප්පලා ගෙදර මුදල් උල්පත්


අම්මා තේ වත්තේ දළු වලින් අලුත් අදායමක් ලබා ගත්තේ එහි නිවසට ඉහලින් තිබු තේ කෑල්ලේ දුළු ටික කඩා පියර පන් දෝවේ දළු එකතු කරන තැනට දීමෙනි. 

මේ අතර තාත්තත් මමත් අත ගැහුවේ වත්ත එලි පෙහෙළි කරන ව්‍යාපෘතියටයි.

තාත්තා මේ මුවාවෙන් ලොකු ගස් වල අතු කප්පවා දර යාර ගසා විකුණුවා මට මතකය.

කුඩා මමද ව්‍යවසයක්ත්වයේ මුල් පියවර තැබුවෙමි. ඒ ජෑම් පේර ගසෙනි.



නංගිලට ගහ ලඟට වත් එන්නට ඉඩ නොදුන් මා පේර හුන්ඩුවක් සත විසි පහ ගානේ ගමේ ජෑම් හැදු පොරෝලිස් මහත්තයට විකුණු වෙමි. 

පොරෝලිස් ඒ මුදලට අමතරව මාසේ අන්තිමට නොමිලයේ ජෑම් හෝ කෝඩියල් බෝතලයක් ලබා දුන්නේ ව්‍යාපාරයෙන් ඔහුටද හොඳ ලාභ තිබු නිසා විය යුතුය. 

පොරෝලිස්ගේ බිරිඳ එකල කිරඹ ඔය විද්‍යාලයේ ගුරුවරියකි.




ඊට අමතරව බාප්පල වත්තේ තිබු ගිරා අඹ ගසද , අලි ගැට පේර ගස්ද අපට ලොකු ආදයමක් ලබා දුන් බව මෙහිදී සිහිපත් කරමි. 

ඇයි කිතුල් ගහ.... ලොකු කිතුලේ පලවෙනි මල පීදුනේ අප එම නිවසේ පදිංචි කාලයේදීය. 

අම්මා පැණි උණු කර හකුරු හදා විකිණීමෙන්ද අදායමක් ඉපයුවාය.

මේවා මෙසේ වෙද්දී මම වත්තේ පහල කොටසට සිත යොමු කලෙමි.  

අම්මලාද ඒවාට හවුල් වූ අතර මම ඒ කොටස මගේ ප්‍රධානම රාජකාරිය කර ගත්තේ පාසල් ඇරී නිවසට ආ වෙලාවේ සිට   ගොම්මන් කළුවර වැටෙන තෙක් එහි වැඩ කිරීමෙනි. 

අප  ඒ කොටසේ හැදු එළවළුවලට බප්පලාටත් ලොකු තාත්තටත් පොදු වූ ළිදෙන් වතුර ඇද දැම්මේ ද මා විසින් මය.

දවසේ වැඩ නිම වී ඒ ලිදෙන්ම නා ගන්නා මා පසු කර හවස හත අට අතර වගේ වෙලාවක ගමන් ගන්නා ලොකු තාත්තා දිනක් මා හට පැවසුයේ 

"තමුසේ මාර ළමයෙක් නේ අයිසේ මට නෑනේ ඔය වගේ එකෙක්" යනුවෙනි.

මෙවැනි විශාල වාසි තිබුනද කුඩා අපට මේ නිවසේ  තිබු එකම ප්‍රශ්නය වුයේ සුවඳේ අය්ය විසින් ඇඳ තිබු මුත්තගේත් අතම්මගේත් සුවිශාල පින්තුර දෙකයි.. 

ඒවා විශාල ඈස් වලින් අප දෙස බලා සිටිනවා යැයි මට සිතුනු වාර අනන්තය. 

බාප්පලා ගෙදර තිබූ  අත්තම්මගේත්  මුත්තගේත් සුවිශාල පින්තුර දෙකට බයවූ අය්ය මේ වන විට අප සමග එහි නොරැඳී  මොනරගම මාමලා ගෙදරට ගොස් සිටියේය. 

මා වුවද රාත්‍රියට සාලයෙන් ගමන් කලේ ඒ පින්තුර දෙක දෙසවත්  නොබලා බිම බල ගෙනය. 

හැබයි අක්කා මම ඔය කිසි කෙනෙකුට  බය නෑ කියමින් ඉස්සරහම තිබු මුත්තාගේ කාමරය ඇයට වෙන් කර ගෙන සිටියාය.



ව්‍යාපාරික ලෝකයේ තව පියවරක්






දැන් සැඟවුනු  දෛවය තිර ගත වෙන දිනයත් ළඟා වෙමින් පවතී. 

හේරත් අය්යලා බරටම පුහුණු වීම් වලය. 

මේ අතර තාත්තා මට වැදගත් යෝජනාවක් කළේය.


" චුටි පුතා පොඩි බිස්නස් එකක් කල හැකි ඔය නාට්‍ය දවසට .. හේරත්  අය්යාගෙන් අහල බලන්න කවුරු හරි ඉන්නවද ටොෆි සිගරට් විකුනන්න නැත්නම් ඔයාට එක කරන්න පුළුවන් "


මම හේරත් අය්යාට මෙය කියූ පමණින් අවශ්‍ය අවසරය ලබා දීමට ඔහු සංවිධායක  මඩුල්ලට දැනුම් දී තිබුණි. 

තාත්තා මොණර ගම මාමාගෙන් මට රුපියල් දෙසිය පනහක් අරන් දුන්නේ වැඩේට අවශ්‍ය මුලික ප්‍රාග් ධනය වශයෙනි.

මම බර්නි ටොෆි, 555 සිගරට් (මේ බ්‍රිස්ටල් .. ත්‍රී රෝසස් හිඟ කාලයයි) සහ වේඵස් යන වර්ග තුන සැඟවුණු ද්‍ය්වය අතර තුර විකුණන්නට තීරණය කලෙමි.

ඔයින් මෙයින් නාට්‍ය දිනයද උදා විය ..එය සෙනසුරාදාවකි.  මම ටකරන් පෙට්ටියක මගේ විකුණුම් භාණ්ඩ පුර වා ගෙන , එකතු වන සල්ලි දැමීමට PVC මල්ලක්ද සහිතව  වේදිකාව අසලට වී සිටියෙමි. 

හේරත  අය්යා  දිනයේ ප්‍රධාන සංවිධායක තනතුරට අමතරව මගේ මග පෙන්වන්නාද විය.

"ශ්‍රී ලංකා මාතා" පොල් තෙල් පහන, පිලි ගැනීමේ කතා ආදියෙන් අනතුරුව දර්ශන ආරම්භ විය. 

කිරඹ ඔය විද්‍යාල ශාලාව අතුරු සිදුරු නැතිව පිරි ගොසිනි.  

නාට්‍ය ජයටම යයි .. හිත හොඳ මුදලාලිට රඟ පෑවේ කුමාර අය්යා ය.  ඔහුට  පපුවේ අමාරුවක්  හැදෙන්නේ  ඒ හේතුවෙන් ම  ලය පැලි  මිය යයි. 

මිය යන්නට පෙර   සියළු සේසත  ඔහුගේ  කීකරු ගෝලයාගේ  නමට ලියන්නේ  ගෝලයාගේ "සැඟවුනු  දෛවය" එය බව අපට පෙන්වමිනි. 

නාට්‍ය  අතරමැද ක්‍රීං ගමින් සීනුවක් නාද විය. 

දැන් පළමු විවේකයයි. මිනිස්සු තරඟයට මගෙන් බඩු ගනියි.  

"ටොෆි මල්ලී  සිගරට් එකක් " අයෙක් කෑ ගසයි.  

කිරවනා  බිස්සේ කෙල්ලෝ  පොදියක් ඇවිත් මගෙන් වේඵස් අරන් ගියේ හීනියට නක්කලයක්ද දමමිනි.   

"ටොෆි මල්ලී වේදිකාව අසලට එන්න" 

හේරත් අය්ය යකඩ කටින් කෑ  ගසයි. 

ඒ අතර ගෙදරින් ගෙනා තොගද ඉවර වී ගොසිනි. 

මම PVC මල්ල (සල්ලිත් එක්ක)  හෙළ තැන්නේ බණ්ඩාරේ අතට දුන්නේ ගෙදර ගොස් ඉතිරි බඩු අරන් එන අටියෙනි.

දෙවන දර්ශනය 6.30 ට. මම නැවතත් බඩු තොග අර ගෙන වැඩට බැස්සෙමි. වැඩි පුර විකිනුනේ 555 වුනත් මගේ බිස්නස් එක නැගලා යයි.

ඉරිදා උදෙන් මොනරගම මාමා ගෙන නැවතත්  නයක් තාත්තා අරන් දුන්නේ පළමු වැනි දිනයේ ලාභ ගනන් කරන්නට වෙලාවක් නොතිබූ නිසා විය යුතුය.  

හෙළ තැන්නේ බණ්ඩාරේ (අපේ නැන්දගේ පුතා) මගේ විශ්වාසය කඩා කල බව තේරුම් ගන්න තරම් මට ශක්තියක්  නොතිබූ එකද මිට හෙතු වන්නට ඇත.

සත 16ක තොග මිලට ගෙනා බර්නි ටොෆියක් මම විකුණුවේ සත 30 කටයි. සත 75 ට ගෙනා 555 එකක් රුපියල් 1.50 ගානේ විකුණලත් මට ලැබුණු ලාභය  එතරම් නොවුයේ  ඇයි දැයි තේරුම් ගන්නට මගේ ව්‍යපාරික නුවන දියුණු වී නොතිබිණි.

අවසානයේ මොනරගම මාමගේ නය පියවා ඉතිරි වූ ලාභය මට ප්‍රමාණවත් වුයේ ඉස්කෝලෙට අදින්න නිල් පාට කොට කලිසම් 2 ක් මහ ගන්නට පමණි.